මම මේ කතාව කියන්නේ දශක කීපයකට පස්සේ. මේ සිදුවීම වෙන්නේ කොටි සංවිධානය කර්නල් මුතාලිෆ්ව මරලා හමුදාවේ බුද්ධි අංශයේ පිරිස් එකිනෙකා මරා දමන කාලයේ. මිලෙනියම් සිටි පාවා දීමෙන් පසු යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධව සිටි 34 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් කොටි පිස්ටල් ගැං එක මරා දමනවා. හමුදා බුද්ධි අංශයේ (2MIC) හිටියා මා ප්‍රතිකාර කරපු සාමාජිකයෙක්. ඔහු තුල යුද කම්පනයේ ලක්‍ෂණ තිබ්බා. ප්‍රතිකාර වලින් පසු යම් ප්‍රගතියක් තිබූ නිසා ඔහු දිගටම රාජකාරී කරමින් හිටියේ. වරක් ඔහු මාව සොයාගෙන ආවා . මේ කාලේ තමයි කොටි දිගින් දිගට බුද්ධි අංශ සාමාජිකයන් දඩයම් කරන වකවානුව. ඔහු කිව්වා සර් මට ලබන සඳුදා මල්ලාකම් උසාවියේ පෙනී හිටින්න තියනවා. කොටි පිස්ටල් ගැං එක මම එනකං එතන ඉන්නවා මට ඩොට් එක තියන්න " කියලා. ඔහුට මරණ භයක් තිබුනේ නෑ. නමුත් තිබුනේ කලකිරීමක්. ඔහුගේ නිලධාරියා උනේ එකේ එවකට ෆුල් ලුතිනන් කෙනෙක්. Lt Perera බව මතකයි මේ වන විට කර්නල් හෝ බ්‍රිගේඩියර් කෙනෙක් විය යුතුයි. ඔහුත් මට මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කිව්වා.
මේ අවස්ථාවේ කරන්න තියන එකම දේ ඔහුට දිවි නසා ගැනීමේ යොමුවක් තියනවා කියලා රෝහල් ගත කරන එක. මේ අවස්ථාවේ කොලඹ යුද හමුදා රෝහලේ හිටපු අණ දෙන නිලධාරියා කෙලින් තීරණ ගන්න බැරි දුර්වල චරිතයක්. මේ නිසා මම ඔහුට මොකුත් කියන්න ගියේ නෑ. ඔහුට කිව්වා නම් දෙන උත්තරේ මට ෂුවර්. " අපිට කරන්න දෙයක් නෑ , ඕවා වලට අත ගහන්න එපා " කියන එක. මට මගේ ගුරුවරයෙකු වූ විශේසඥ මනෝ වෛද්‍ය එමෙන්ම යුද හමුදාවේ බාහිර මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පිලිබඳව තිබ්බේ විශ්වාසයක්. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාට කෝල් එකක් ගත්තා. මෙතන තිබෙන ජීවිත තර්ජනය ගැන කියලා අදාල සෙබලා රෝහල් ගත කරන්න අවසර ඉල්ලුවා. හැරෙන තැපෑලෙන් වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මගේ අදහස පිලි ගත්තා . මේ අනුව අපි නොදන්නා ගානට එම සෙබලා කොලඹ යුද හමුදා රෝහලේ මනෝ වෛද්‍ය අංශයට ඇතුලත් කරලා මාස දෙකක් විතර තියා ගත්තා පිස්තෝල කල්ලියේ තර්ජන අවම වෙන තෙක්. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවේ ලිව්වේ දිවි නසා ගැනීමේ යොමුවක් තියන නිසා රෝහල් ගත කර තිබෙන බව.ඒක සත්‍යක් නොවෙයි. අපේ මේ ක්‍රියාව නිසා එම සෙබලා බේරුනා. නමුත් බුද්ධි අංශයේ 34 විතර මැරුම් කෑවා. වර්තමානයේ මේ සෙබලා විශ්‍රාම ගිහින් නුවර එළිය ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඔහුගේ ජීවිතය බේරා දීම ගැන මට සතුටක් තියනවා. නමුත් අපි කලේ නීති විරෝධී ක්‍රියාවක් ද ?
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments