1907 මාර්තු 2 වැනිදා ලංකාවේ පාසල් පරීක්ෂකවරයා විසින් සියලුම පාසල්වලට "වේවැල් පහර දීම" යන මැයෙන් යවන ලද චක්‍රලේඛයක එම නිලධාරියා කියා සිටියේ ඇතැම් පාසල්වල සිසුන්ට නිකරුණේ වේවැල් පහර දී ඇති අවස්ථා ගණනාවක් ඔහුගේ අවධානයට යොමු වී ඇති බවත් මෙවැනි සිද්ධීන් නිසා ළමුන් ආණ්ඩුවේ පාසල්වලට ගෙන්වා ගැනීම අසීරු වන නිසා ගුරුවරුන් පහත දැක්වෙන රෙගුලාසි අනුගමනය කළ යුතු බවයි.
1. සිසුන්ට වේවැල් පහරවල් දිය යුත්තේ එක්කෝ බරපතළ විනය කඩකිරීමක් කර තිබෙන අවස්ථාවකය. නැතිනම් නිරන්තරයෙන්ම අලස බව ප්‍රදර්ශනය කළහොත් පමණි. අලස භාවය වැළැක්වීමට වේවැල භාවිතා කිරීමේදී එසේ කළ යුත්තේ සිසුවාගේ උනන්දුව වැඩි කිරීමට ගත හැකි අනෙක් සියලුම පියවර ගෙන අසාර්ථක වූ පසුව පමණි. මෙකී කාරණා දෙක හැරුණු විට වෙනත් කිසිදු හේතුවකට සිසුවකුට වේවැල් පහර නොදිය යුතුය. (වෙලබඩගේ සර් අපිට නෙලුවේ ලී කෙලි පොල්ලකිනි. කුමාරසිංහ සර් හෙවත් මෝරා අපිට දේයි දේයි කියා බොක්සිං පාරවල්ද දුන්නේය. ජාසිංහ සර් නෙළුවේ කොසු පොල්ලකිනි. විජේවර්ධන සර් හෙවත් බොහොඞා මටත් කපිල විදානරාලටත් පස්ස පැත්තට 6 බැගින් වේවැල් පාරවල් දුන්නේය; වරද පන්තියේ ගීත ගායනා කිරීමය )
2. සිසුන්ට වේවැල් පහර දිය යුත්තේ මුල් ගුරුතුමා පමණි. (අපිට විදුහල්පති පියන් ලක්ෂ්මන් පවා පහර දීමට ඇවිත් තිබේ)
3. සිසුවකුට වේවැල් පහර දුන් සෑම අවස්ථාවකම වේවැල පාවිච්චි කිරීමට හේතුව, දුන් පහරවල් ගණන යනාදී සියලු විස්තර මේ සඳහා වෙනමම පවත්වාගෙන යන පොතක ලිවිය යුතුය. ( ලොකු විතාණ සර් ගහපු ඒවා ලිවීමට නම් මොනිටර් එක්සසයිස් පොතක් අවශ්‍ය වේ)
4. ශාරීරික දඬුවම් සඳහා හැම විටම වේවැලක් පාවිච්චි කළ යුතුය. එයින් ද පහරවල් 6 කට වඩා එක අවස්ථාවදී ගැසිය නොයුතුය. (ක්ලාන්ත නම් කොල්ලාට පහර දීම නිසා 1979 කුසුමලතා ටීචර් එක අතට 10 බැගින් අත් දෙකට වේවැල් පාරවල් 20 මට දුන්නේය )
5. කිසිම අවස්ථාවක වේවැල ගුරුවරයාගේ මේසය උඩ පෙනෙන්නට නොතැබිය යුතුය. වේවැල තිබිය යුත්තේ ආචාර්ය මණ්ඩලයේ කාමරයේය. අවශ්‍ය වෙලාවට පමණක් එය එළියට ගත යුතුය.( නිලවීර සර් පන්තියට ආවේ වේවැල කළු හම්පඩ ගැසුනු හම් බෑග් එකේ දාගෙනය )