Tuesday, September 15, 2020

අපට විද්‍යාත්මක චින්තනය ඉගැන්වූ කේ ආරියසිංහ ගුරුතුමා



විද්‍යාව ඉගැන්වූ දක්‍ෂ ගුරුවරු තිදෙනෙක් මුණ ගැසීමට සහ ඔවුන් ගෙන් ඉගෙනුම ලැබීමට මට භාග්‍ය ලැබුණි. පිළිවෙලින් ජී .ගෞතමදාස , පී.ඩී.ඩබ් ජයවර්ධන සහ කේ ආරියසිංහ යන මහතුන් මෙසේ නම් කල හැකිය​. කේ. ආරියසිංහ මහතා අපට විද්‍යාව ඉගැන්වූයේ ප්‍රගති විද්‍යායතනයේය​. එතුමාගෙන් ඉගෙනුම ලැබූ දහසක් වූ වෛද්‍යවරු ඉන්ජිනේරුවරු සහ විවිධ විශේසඥයෝ අද ලෝකය පුරා තම සේවය ප්‍රජාවට ලබා දෙති. 

කේ. ආරියසිංහ මහතා අපට දුන්නේ විද්‍යා දැණුම පමණක් නොවේ. විද්‍යාත්මක චින්තනයටද ආරියසිංහ මහතා අපව හුරු කලේය​. එතුමාගේ පන්ති වලදී බොහෝ විට සිසුන්ට පත්‍රිකා ලැබුනු අතර එහි විවිධ ප්‍රශ්න තිබුනේය​. මේ ප්‍රශ්න සාමාන්‍ය ජීවිතයේ අප මුහුණ දෙන ඒවාය​. එම ප්‍රශ්න විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීම​ට එතුමා අපව යොමු කලේය​. උදාහරණයක් ලෙස 1981 වැනි කාලයක එතුමා අපට දුන් ප්‍රශ්නයක් මට තවමත් මතකය​. දිගු ගමනකින් පසුව මෝටර් ර්ථයක ටයරයක පීඩනය අඩුවේද ? වැඩිවේද ? මේ ප්‍රශ්නයට අප හතර අතේ කල්පනා කලෙමු. එවැනි ප්‍රශ්න මගින් එතුමා අපට  තර්කාණුකූල ලෙස සිතීමට  හුරු කලේය​. මේ තර්කාණුකූල විද්‍යාත්මක චින්තනය විශ්ව විද්‍යාලීය ජීවිතයේදී පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී අපට උපකාර විය​. 


කේ. ආරියසිංහ මහතාට ද්වී භාෂා කුසළතාව තිබේ. එතුමාට සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් විද්‍යාව ඉගැන්වීමේ හැකියාවක් ඇත​. අද කාලයේ එවැනි හැකියාවක් ඇත්තෝ සීමිතය​. තවද කේ. ආරියසිංහ මහතා සිසු විනය පිලිබදවද සැලකිලිමත් විය​. වෙනත් ටියුෂන් කාරයන් මෙන් පන්තියේ විනය උලංඝනය කිරීමට උඩ ගෙඩී දීම , දෙපිට කැපෙන කතා සිසුන්ට කීම වැනි දේ එතුමා නොකලේය​. ඇත්ත වශයෙන්ම අප පාසලටත් වඩා ප්‍රගති ආයතනයේදී හොඳින් හැසිරුනෙමු. 

සාමාන්‍ය පෙළ කාලයේ සිටම මට විද්‍යාත්මක ලිපි ලිවීමේ පුරුද්දක් තිබුණි. වරක් මගේ ලිපියක් කියවූ කේ. ආරියසිංහ මහතා මාව ලේක් හවුස් ආයතනයට රැගෙන ගොස් නවයුගය කර්තෘට හඳුන්වා දුන්නේය​. එසේම ලේඛන කලාවට මට දිරි දුන්නේය​. එතුමා ශ්‍රී ලංකා විද්‍යා ලේඛකයන් ගේ සංගමයේ සභාපති වූ අතර එම සංගමයට මාව බඳවා ගත්තේය​. මේ වන විට බොහෝ පොතපත ලියා ඇති මා හට ලේඛන කලාවේ අයන්න ආයන්න ඉගැන්වූයේ කේ. ආරියසිංහ මහතා බව මා කෘතවේදීව කියමි. 

කේ. ආරියසිංහ මහතා සිසු සිසුවියන් පරම්පරා කීපයකට ඉගැන්නුවේය​. එතුමා හුදු විද්‍යා ගුරුවරයෙකු නොවේ ; කේ. ආරියසිංහ යනු විරල ගනයේ වෘත්තාන්තකි. අධ්‍යාපන පහන් ටැඹකි. ඒ පහනින් ආලෝකය ලැබුවෝ බොහෝ දෙනෙකි. එම ආලෝකය තවමත් වර්තමාන ශිෂ්‍ය පරම්පරාවට ආලෝකය ලබා දෙයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

2 comments:

  1. වෛද්‍ය රුවන් ජයතුංග
    ඔබගේ අප්‍රමාණ හැකියාවන් ඔබ සා.පෙල
    අධ්‍යයනයකරන කාලයේදීම මාහොදින් අවබෝධ කරගෙන සිටියෙමි. විවිධ ක්ෂේත්‍ර
    ගණනක ඹබගේ විශේෂඥ භාවය සමග
    ඔබ තුළ ඇති මිනිස් ගුණය හා ගුණගරුක බව අති උදාරය. වෛද්‍ය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නාමාවලියේ ඔබගේ නම මා නිතර සිතින් දකිමි. සම්මා සම්බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි ආරියසිංහ සර්

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook