Saturday, November 18, 2023

කොලින් ද සිල්වා සහ වින්ඬ්ස් ඔෆ් සිංහල

 


කොලින් ද සිල්වා විසින් රචිත  වින්ඬ්ස් ඔෆ් සිංහල නවකතාව අන්තර්ජාතික ප්‍රජාව වෙත ගිය නවකතාවකි. මෙම කෘතියේ ජර්මානු පරිවර්තනයක් ද වරක් මම බර්ලින් හි පොත් සාප්පුවකදී දුටුවෙමි. එහෙත් 1980 දශකයේ සිංහල පුවත් පත් කොලින් ද සිල්වා ගේ වින්ඬ්ස් ඔෆ් සිංහල නවකතාව බරපතල ලෙස විවේචනය කරන ලදි. හේතුව නම් මේ නවකතාව මගින් දුටු ගැමුණු රජුට සහ ගැමුණු රජු ගේ මාතාවට කතුවරයා විසින් අපහාස කොට තිබීම බවයි. එම කාලයේ ආගමික අපහාස නීති නොතිබූ නිසා විවේචන මිසක කතුවරයා සිර ගත කල යුතු බවක් කියවුනේ නැත.​උත්ප්‍රාසය නම් මේ පොත විවේචනය කල සිංහල විචාරකයෝ බහුතරය වින්ඬ්ස් ඔෆ් සිංහල නවකතාව කියවා තිබුනේද නැත​. මයිකල් ඔන්දච්චි , ශාම් සෙල්වදොරේ මෙන් අන්තර් ජාතික ලෝකය ජයගත් සිංහල ලේඛකයෙකු වන කොලින් ද සිල්වාට උපන් දේශයෙන් බුහුමනක් ලැබුනේද නැත. 

හවායි හි ධනවත්  ජීවිතයක් ගත කල කොලින් ද සිල්වා පිලිබඳව හිටපු යුද හමුදාපතිවරයෙකු වූ ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා මට වරක් අපූරු කතාවක් කීවේය​. ජෙනරාල් ඩෙනිස් පෙරේරා 1980 දශකයේ හවායි වෙත ගිය විට කොලින් ද සිල්වාට ජෙනරාල් ඩෙනිස් පෙරේරා හමු වීමට වුවමනා විය​. මේ සඳහා කොලින් ද සිල්වා තමන් ගේ රෝල්ස් රෝයිස් රථය රියැදුරා සමග ජෙනරාල් ඩෙනිස් පෙරේරා නැවතී සිටි හෝටලයට එවන ලදි.  කොලින් ද සිල්වා හවායි හි ධනවත් ජීවිතයක් ගත කල බව අපගේ සිංහල විචාරකයෝ දැන නොසිටීම ඔහුගේ වාසනාවකි. නැතහොත්  කොලින් ද සිල්වා කෙරෙහි වයිරය තවත් උග්‍ර වීමට ඉඩ තිබුණි. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook