Sunday, October 8, 2023

පලස්තීනය සහ ඊශ්‍රායලය​

 


පලස්තීන  සහ ඊශ්‍රායල  ගැටුමේදී මට කිසිදු පාර්ශවයකට සහාය දීමට නොහැකි තත්වයක් උදාවී තිබේ. මට පලස්තීනය සහ ඊශ්‍රායලය යන දෙරටේම මිතුරන් සිටිති. එහෙත් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර නිසා මිය යන සිවිල් වැසියන් ද  පලස්තීන හමාස් බෝම්බ කරුවන් නිසා මිය යන සිවිල් වැසියන් පිලිබඳවද කණගාටුවක් තිබේ.


පලස්තීන මිතුරන් පිලිබඳව කතා කිරීමේදී මට වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙන ගත්  පලස්තීන ජාතික මිතුරන් කිහිප දෙනෙකු පිලිබඳව සිහිපත් වෙයි. ඒ අතරින් මන්සූර් තරීෆ් සහ ඊබ්‍රහීම් අබුතීනා මාගේ මතකයට නැගෙයි. ඔවුන් දෙදෙනා ආවේ ජෝර්ධානයේ සිටය​. මා ඇතැම් දින වල රාත්‍රියේ ආහාර ගත්තේ ඔවුන් දෙදෙනා සමගය​. සූරියකාන්ත තෙල් වලින් බැද ගත් අර්තාපල් ,හරක් මස් හෝ කුකුල් මස් සමග සලාදයක් අප පාන් සමග අනුභව කලෙමු. බොහෝ විට අප ඊට ලූණු , තක්කාලි සහ බිත්තර ද දැමුවෙමු. අප කෑවේ පිඟන් වල නොව කෙලින්ම  අර්තාපල්  සහ මස් බැදගත් විශාල ඇළුමීනියම් භාජනයට ගෑරැප්පු ගසාය​. එසේ කන විට අප තිදෙනා අතර නිතැතින්ම සහෝදරත්වයක් වර්ධනය විය​.  ඔවුන් දෙදෙනා මට පල්ස්තීනය සහ ඊශ්‍රායලය පිලිබඳ බොහෝ කතා කීවේය​. එසේම ගිම්හාන නිවාඩුවෙන් පසු ජෝර්ධානයට ගොස් එන විට මන්සූර් මට අනගි සපත්තු දෙකක් සහ ඊබ්‍රහීම් ස්පෝට්ස් ඇඳුම් කට්ටලයක් තෑගි කලේය​. ඔවුන් දෙදෙනා තවමත් මාගේ හදවතේ ජීවත් වන මිතුරන් දෙදෙනෙකි.

ලෙබනනයෙන් පැමිනි රයිෆ් ද පල්ස්තීනුවෙකි. ඔහුට  ඊශ්‍රායලය මතක් කල විට කෝප වෙයි. ඔහු යුදෙව්වන්ට වයිර කරන්නෙකි. "උන් ඔක්කොම යුදෙව්වෝ" ඔහු අපගේ යුදා ජාතික ආචාර්‍යවරුන් වෙත පොදුවේ වෙන් කරමින් පවසයි. රයීෆ් ගේ යුදෙව් විරෝධය මට තේරුම් ගත හැකිය​. පලස්තීන අනාතයෙකු ලෙසට ජෝර්ධානයේ ඊශ්‍රායෙල මිලිටරි බලය සියැසින් දකිමින්  කරදඞු උස් මහත් වූ ඔහුගේ යුදෙව් විරෝධය  ලේ මස් වලටම කා වැදී තිබේ. වරක් ඈතින් එන  මහාචාර්‍ය මිකුනිස්ට " ෂැලොම් ෂැලොම් " කියා ඔහු සමච්චලයට සමාචාර කලේය​. හොඳ වේලාවට මහාචාර්‍ය මිකුනිස්ට එය ඇසුනේ නැත​.වරක් එක් ශ්‍රී ලාංකික සිසුවෙක් රයිෆ්ට උඹලා රටක් නැති අනාතයෝ කියා කී විට රයිෆ් ගේ මුහුණ කෝපයෙන් සහ ශෝකයෙන් බරිත විය​.

පලස්තීනයේ ජීවත් වූ  දියාබ් ලෙබනනයේ දියාබ් උස මහත ශක්තිමත් පුද්ගලයෙකු වූ අතර ගෝරියටද බර විය​. වරක් කැන්ටිමේදී දියාබ් පෝලිම පැනීම නිසා මම දියාබ්ව ඇද ඉවතට ගත්තෙමි. ඒ නිසා දියාබ් මා සමග දබරයට ආ අතර මමද නොබියව ඔහුට පහර දීමට අත මිට මෙලවූයෙමි. සහජයෙන් අරාබින් පහරට පහරක් ගහන පුද්ගලයන් හමුවේ පසුබා යති. එම නිසා දියාබ් පසු බැස්සේය​. මෙම මූලධර්මය ඊශ්‍රායෙලය විසින් අරාබීන් විශයෙහි යොදා ගන්නා බව මට සිතේ. එහෙත් පසු කාලයක දියාබ් සන්සුන් පුද්ගලයෙකු වූ අතර මා සමග මිතුරු විය​. ඔහු රුසියානු යුවතියක් කසාද බැන්දේය​. ඔහු පස් වන වසරේ සිටියදී පියෙකුද විය​.

මාගේ ඊශ්‍රායල මිතුරන් අතර බොහෝ මහාචාර්‍යවරු වෙති. ඔවුන් මට බෙහෙවින්ම උපකාර කොට තිබේ. එසේම මගේ පොත් වලට පෙරවදන් පවා සපයා ඇත්තේ මෙම යුදෙව් විද්වතුන් විසිනි.  මාගේ ඊශ්‍රායල මිතුරන් අතරින්   IDFහෙවත්   ඊශ්‍රායල  ආරක්‍ෂක සේවයේ නිරතව සිටි යාකොබ් එතරම් උස මහත පුද්ගලයෙකු නොවේ. එහෙත් ඔහු කුළු හරකෙකු මෙන් ශක්තිමත් ය​. එසේම යෝක් විශ්ව විද්‍යාලයේ මාගේ ගුරුවරයෙකු වූ ටෝනි ෂිම්බ්‍රි මිතුරෙකුද විය. ඔහු මා නාලන්දා විද්‍යාලයේ උසස් පෙළ කල සමයේ සිටි භෞතික විද්‍යා ගුරුවරයෙකු වූ තිලක් අල්විස් මෙන් මචං ගුරුවරයෙකු විය​.  ටෝනි අප සමග කතා කරන විට ඔහුගේ පුද්ගලික ජීවිතයේ දේවල්ද කීවේය​. අප අතර ගුරු -සිසු තාප්පයක් නොවීය​.  ඔහු මුලදී සිතුවේ මගේ මූලයන් ඉන්දියාවේ කියාය​. ඒ නිසා වරක් ඉන්ඳියාවට ගිය ගමනකදී චොක්ලට් පාට සහ කුණු සපිරි ගංගා නම් නදියේ හිස ඔබාගත් අයුරු කීවේය​. පසු කාලයක ටෝනි  ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට ගියේය​.

බයිබලයට අනුව  පලස්තීනය සහ ඊශ්‍රායලය යනු සොහොයුරන් දෙදෙනෙකු ගෙන් ආරම්භ වූ පරම්පරාවන් දෙකක් වෙති. ඔවුන් වසර දහස් ගනනක් පුරා එකිනෙකා සමග මරා ගනිති. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් පලස්තීනයේ ස්ථාපිත කිරීම නිසා මේ ගැටුම් තවත් උත්සන්න විය​. ඊශ්‍රායල රාජ්‍යය බ්‍රිතාන්‍ය විසින් මුලින්ම ස්ථාපිත කිරීමට යන ලද්දේ ලංකාවේ උතුරු මැද පලාතේ බවත් ඊට විරුද්ධව හේමපාල මුණිදාස විසින් උද්ඝෝෂණය කල බවත් කියවේ. යම් ලෙසකින් ඊශ්‍රායල රාජ්‍යය ලංකාවේ උතුරු මැද පලාතේ ඇති කලේ නම් ලංකාවේ මෑත ඉතිහාසය සහමුලින්ම වෙනස්  වීමට ඉඩ තිබුණි.





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook