Monday, April 19, 2021

ඉන්දියාවේ රෝ එක උමා මහේෂ්වරන්ව අත ඇරලා ප්‍රභාකරන්ව ඉහලට ගත්තා - අරුන් සිද්ධාර්ත්



අරුන් සිද්ධාර්ත් කියන්නේ කවුද ? දේශපාලකයෙක්ද නැතිනම් සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක්ද ? 

"මම සෝෂල් ඇක්ටිවිස්ට් කෙනෙක් දේශපාලන අරමුණක් සහිතව. මම විශ්වාස කරනවා අපි හැමෝම දේශපාලනය කල යුතුයි කියලා. නැතිනම් සිදුවන්නේ  ප්ලේටෝ කී පරිදි අඥාණ පාදඩයන් ගේ පාළනයට අපිව නතු වෙනවා. ඒ නිසා අපි ඔක්කොම දේශපාලනය විඤාණයක් ඇති කර ගත යුතුයි. ඒ වගේම දේශපාලනය කල යුතුයි."


2) ඔබ ලංකාවේ සාම්ප්‍රදායක දේශපාලකයන්ට වඩා වෙනස්. ලංකාවේ සාම්ප්‍රදායක දේශපාලකයා විස්තීර්ණ ලෙස කිසිම දෙයක් කියවලා නෑ. ඔවුන් තුල ගැඹුරු දැණුමක් නෑ. තමන් ගේ කතා වලින් ඔවුන් බුද්ධි කළඹනයක් කරන්නේ නෑ. නමුත් ඔබ මැල්කම් එක්ස් පිලිබඳව , ජෙෆර්සන් පිලිබඳව ආදී ලෙස කියවලා තියනවා. මේ වගේ කියවීමක් ලංකාවේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍යද ?

"මම හිතනවා එය අනිවාර්‍යයි කියලා. දැන් ඉන්න තරුණ පරපුර අයි.ටී දැණුමෙන් සන්නධයි. ඔවුන් දැණුම සොයාගෙන යනවා, කියවනවා. ඒ නිසා දේශපාලකයෙක් මෝඩ කතාවක් කියූ විගසම ඔහුව සති ගනනක් ෆේස් බුක් එකෙන් බයිට් කරනවා. මේක හොඳ ලක්‍ෂණයක්. මේක ජනතාව තුල පැතිරිලා ගියොත් දේශපාලකයන්ට අවශ්‍ය විදියට ජනතාව මුලා කිරීමට හැකි වෙන්නේ නෑ."

3) අරුන් ඔබ කිව්වා ඔබගේ විශ්ව විද්‍යාලය තිබ්බේ ජනතාව අතර කියලා ; 

"ඔව් මම සාම්ප්‍රදායික ඉගෙනීම ඔස්සේ ගියේ නැහැ. මම යුරෝපයේ බොහෝ රටවලට ගියා. මිනිසුන් අතර සමාජ අතර ජීවත් උනා. ඔවුන් ගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ දැණුම අත්දැකීම් තමයි මම භාවිතා කරන්නේ"

4) උතුරේ ජීවත් වන කාලයේ ඔබට එල්.ටී.ටී.ඊ එකෙන් බලපෑම් තිබ්බද ?

මම ඉපදුනේ 1978. එතකොට උතුරේ ගැටුම් ආරම්භ වෙන කාලේ. ඉන්දීය සාම හමුදාව එනකොට මම හිටියේ යාපනයේ. එල්.ටී.ටී.ඊ එකේ සාමාජිකයන්මා ව බඳවාගන්න  කර ගන්න උත්සහ කලා. මම අනෙක් අය වගේ නෙවෙයි ප්‍රශ්න අහනවා. වරක් මම ප්‍රශ්න කලා  එල්.ටී.ටී.ඊ එක විසින් සභාරත්නම් , උමා මහේෂ්වරන් වගේ සංවාදයට විවෘත වූ සටන්කාමීන් මරා දැම්මේ ඇයි කියලා. මේ නිසා මාව බඳවා ගන්න ආපු එල්.ටී.ටී.ඊ ප්‍රාදේශීය නායකයාට තරහා ගියා. ඔවුන් මට එල්ලලා පහර දෙන්න උත්සහ කරන කොට මගේ ඥාතියෙක් මැදිහත් වෙලා තමයි මාව බේර ගන්නේ.

5) ඔබ වරක් කියනවා ප්‍රභාකරන් අමු මෝඩයෙක් කියලා ? 

"ඔව් මම කිව්වා ප්‍රභාකරන් අමු මෝඩයෙක් කියලා. හිටපු සටන්කාමීන් වන සභාරත්නම් , උමා මහේෂ්වරන් වගේ පුද්ගලයන් අතර සිටි නූගත්ම , කිසිම විශන් එක නොතිබුනු පුද්ගලයා තමයි ප්‍රභාකරන්. ඉන්දියාවේ රෝ ඔත්තු සේවය උමා මහේෂ්වරන්ට කියනවා සිංහල ගම්මාන වලට පහර දීලා සිවිල් වැසියන් මරන්න කියලා. නමුත් උමා මහේෂ්වරන් ඒක ප්‍රතික්ශේප කරනවා. ඒ නිසා ඉන්දියාවේ රෝ එක උමා මහේෂ්වරන්ව අත ඇරලා ප්‍රභාකරන්ව ඉහලට ගන්නවා. ප්‍රභාකරන් කියන පරක්කුවට ඩොලර් ෆාම් , කෙන්ට් ෆාම් වලට ගහලා සිංහල සිවිල් වැසියන් මරා දමනවා. රෝ එක දුබළයා ප්‍රබලයා කලා " 

"ප්‍රභාකරන් එල්.ටී.ටී.ඊ සාමාජිකයන් අතර මුග්ධභාවය නඩත්තු කලා. ඔවුන්ට කිසිම බාහිර දැණුමක් දුන්නේ නෑ. වරක් සාම කාලෙදී මම වන්නියට ගියා. එහිදී එල්.ටී.ටී.ඊ එකේ දේශපාලන අංශයේ  ප්‍රාදේශීය නායිකාවක් මගෙන් ප්‍රශ්න කලා " ඔබ එන්නේ කොහේ ඉඳන් ද ? " මම කිව්වා මම එන්නේ මොස්කව් ඉඳන් කියලා. එතකොට මේ එල්.ටී.ටී.ඊ එකේ දේශපාලන අංශයේ  ප්‍රාදේශීය නායිකාව මගෙන් අහනවා මොස්කව් තියෙන්නේ කොලඹ කොහේද කියලා? මේ විප්ලවවාදී ගරිල්ලා කණ්ඩායමක දේශපාලන අංශයේ  ප්‍රාදේශීය නායිකාවක ගේ දේශපාලන භූගෝලීය දැණුම. මේ නිසා තමයි එල්.ටී.ටී.ඊ එකේ සාමාජිකයන් ප්‍රභාකරන්ව අන්ධ විදියට පුදමින් විනාශය කරා ගියේ."

6) යුද්ධයෙන් පසු උතුරේ තත්වය කොහොමද ?  : 

"උතුර කියන්නේ යුද කම්පනයට විශාල ලෙස භාජනය වූ ප්‍රදේශයක්. බොහෝ ප්‍රශ්න තියනවා. යුද්දයෙන් පසු මේ ප්‍රදේශයේ ආර්ථික , මනෝ සමාජීය ප්‍රශ්න වලට විසඳුම් දීමට පරිණත නායකත්වයක් ආවේ නෑ. ආවේ විග්නේශ්වරන් වගේ ජාතිවාදය අවුස්සලා එදාට සර්වයිව් වෙන පුද්ගලයෙක්. ඔහු කරන්නේ කාගේ හෝ න්‍යාය පත්‍රයක් අනුව උතුරේ සහ දකුනේ ජාතිවාදීන් අවුස්සවලා ප්‍රශ්න යටපත් කරගෙන සිටීම. අපි මේ වගේ ව්‍යාජයන් ප්‍රශ්න කරනවා. ඒ නිසා තමයි අපගේ හඞ යටපත් කරන්නට ඔවුන් උත්සහ කරන්නේ"

7) ඉදිරි කාලයේ ඔබගේ වැඩ කටයුතු මොනවාද ? 

"ඉදිරි කාලයේදීත් අපි අපේ දේශපාලන වැඩ සටහන් කරගෙන යනවා. ජනතාව දැණුවත් කරවනවා. ඒ වගේ ම ඉදිරි කාලයේ මගේ අදහස් අත්දැකීම් අළලා පොතක් ලිවීමටත් අදහස් කරගෙන ඉන්නවා"


සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook