Friday, November 10, 2017

කියුබාවට අත නොතබනු

 

අශ්වයන් ද ප්‍රවාහන සේවයේ එක් අංගයකි

සෝවියට් සමාජවාදී ක්‍රමය යටතේ  1986  සිට ජීවත් වෙමින්  පෙරෙස්ත්‍රොයිකාවද ඉන් පසු සෝවියට් දේශයේ අසමෝධානයද මම සියැසින් දුටුවෙමි. සමාජවාදී ක්‍රමයේ ධනාත්මක මෙන්ම ඍණාත්මක පාර්ශවයන් ද අප පසක් කලෙමු.  

එකල වර්සෝ ගිවිසුමට සම්බන්ධ වූ සමාජවාදී රටවල්වූ පෝලන්තය , බල්ගේරියාව , රුමේනියාව , නැගෙනහිර ජර්මනිය යන රටවල් ගනනාවකද  මම සංචාරය කලෙමි. එසේම  සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු වූ රුසියාව , බිලොරෂියාව , යූක්‍රයීනය සහ මෝල්දෝවියාව  යන ජනරජ වලද සංචාරය කොට සමාජවාදී ජීවන රටාව අධ්‍යයනය කලෙමි. එහෙත් සමාජවාදී කියුබාවට යාමට මට නොහැකි වූ අතර අවසානයේදී එම භාග්‍ය උදා වන්නේ 2017 නොවැම්බර් මාසයේදීය​. 

1986 දී මම යූක්‍රයීනයේ හිමෙල්නීස්කි නගරයට ගිය අතර එම නගරයේදී මට බොහෝ කියුබානුවන් මුණ ගැසුනි. මේ හැර කියෙව් නගරයේදීද කියුබානු සිසුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවකාශය මට ලැබුනේය​. තවද  ලොස් ඇන්ජලීස් සහ ටොරොන්ටෝ යන නගර වලදීද මට කියුබානුවන් හමුවී තිබේ. කෙසේ නමුත් කියුබාවට ගොස් කියුබානුවන් හමුවීමට ලැබීම විශේෂත්වයක් විය​. 

කියුබාව යනු ලෝකයේ සුවිශේෂ රටකි. 1492 වසරේ කොළම්බස් විසින් කියුබා දූපත සොයා ගන්නා ලදි.  කොළම්බස් පැමිනීමට පෙර ස්වදේශික ඉන්දියානුවන් (සිබෝනි ගෝත්‍රිකයන් ) කියුබාවේ සිටියද ඔවුන්ව ජන ඝාතනයට ලක් විය​. මේ නිසා කියුබාවේ ආදි වාසීන් සිටින්නේ ස්වල්ප ප්‍රමාණයකි.  ටයිනෝ භාෂාවෙන් කියුබාව යනු සාර භූමිය නම් වෙයි.  කියුබාවේ උක්ගස් , දුම්කොළ , කෝපි වගා කෙරේ.

කැරිබියන් දූපත් වලින් වැඩිම ජන ඝනත්වයක් ඇත්තේ කියුබාවේය​. කියුබාව ලෝකයේ විශාලත්වයෙන් 17 අගය දරණ දූපත වෙයි.  ජනගහනයෙන් 51% සුදු සහ කළු ජාතිකයන් ගෙන් සමිශ්‍රණව තිබෙන අතර 11% කළු අප්‍රිකානු සම්භවයකින් යුත් ජනයන් ද 37 % සුදු ස්පාඤ්ඤ සම්භවයකින් යුක්තය​.  අප්‍රිකානු ජනතාව පැවතගෙන එන්නේ හිටපු වහලුන් ගෙනි. නීත්‍යාණුකූලව කියුබාවේ වර්ගවාදයක් නැත​. එහෙත් අභ්‍යන්තරව දිවෙන කළු සුදු භේධ තිබෙන බව මා සමග කථා කල කියුබානුවෝ කීහ​. කියුබාවේ සාක්‍ෂරතාව 99.8% කි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය රජය විසින් නොමිලේ දෙනු ලබයි.  

කියුබාවේ සමාජවාදී විප්ලවය සිදු වන්නේ 1959 දීය​. මුල් කාලයේදී තමා කොමියුනිස්ට්වාදියෙකු නොවන බව ප්‍රසිද්ධියේ කියූ ෆිදෙල් කැස්ත්‍රෝ පසුව ඇමරිකානු සම්බාධක නිසා සෝවියට් කඳවුරට හේත්තු විය​. ඇමරිකානු සහාය ලත් කියුබානු ප්‍රති විප්ලවවාදී කොටස් බේ ඔෆ් පිග්ස් හි පරාජය කිරීමත් සෝවියට් මිසයිල කියුබාවේ ස්ථානගත කිරීමත් නිසා ෆිදෙල් කැස්ත්‍රෝ ඇමරිකාවේ උදහසට ලක් විය​. එහෙත් කැස්ත්‍රෝ තම මරණය දක්වා ඇමරිකානු අධිරාජ්‍යවාදයට නොබියව මුහුණ දුන්නේය​. 

කියුබානු ආර්ථිකය ශක්තිය ලැබුවේ සෝවියට් දේශයෙනි. සෝවියට් දේශය කියුබාවට බොහෝ සහනාධාර දුන් අතර බොර තෙල් බැරල් එකක් විකිනුවේ කොපෙක් සුළු ගනනකටය​. එහෙත් පෙරෙස්ත්‍රොයිකාවත් සමග සෝවියට් දේශය වාෂ්ප වී යාමත් සමගම කියුබාවට තම දකුණු අත අහිමි වූවාක් මෙන් වූයේය​. මේ නිසා කියුබාවේ බොහෝ සමාජ ආර්ථික ප්‍රශ්න පැන නැග්ග අතර මේ දක්වා එකී සමාජ ආර්ථික ප්‍රශ්න කියුබානු සමාජය වෙලා ගෙන තිබේ. 

ස්ටාලින් සෝවියට් දේශයේ ඇති කරන ලද සමූහ ගොවිපළවල් ක්‍රමය විප්ලවයෙන් පසුව කියුබාවේද ක්‍රියාත්මක විය​. එහෙත් අකාර්‍යක්‍ෂම පරිපාලනය , ඥාති සංග්‍රහය , පොලිට් බියොරෝව තෘප්තියට පමුණුවන්නට ව්‍යාජ දත්ත සැපයීම​, පොදු අලස බව , වගකීම් විරහිත බව යනාදී කරුණු නිසා බොහෝ සමූහ ගොවිපළවල් බංකොලොත්වී තිබේ. සමහර සමූහ ගොවිපළවල් වල් බිහිවී ඇත​. සමහර ඉඩම් කැනේඩියානු , චීන සහ නෙදර්ලන්ත සමාගම් වලට බදු දී තිබේ. 

මා සංචාරය කල සමාජවාදී රටවල් අතුරින් දිළිඳුම රට කියුබාව කියා මට සිතේ. කියුබාවට බට මොහොතේ සිට දරිද්‍රතාව දැක ගත හැකි විය​. එසේම මුළු රටේ උග්‍ර පේන්ට් හිඟයක් තිබේදෝ කියා මට සිතුනි. ඒ මෙන්ද යත් බොහෝ රජයේ ගොඩනැගිලි මෙන්ම නිවාස තීන්ත බුරුසු වල පහස නොලබා ජරාවාසව​ දිස් විය​. එහෙත් සමහර ගොඩනැගිලි සහ හෝටල් අලංකාර ලෙස පින්තාරු කොට තිබූ බව කිව යුතුය​. 


මෙවැනි දිලින්දන්ද හවානාවේ හිඟ නැත 

මේ වන විට කියුබාවේ ආර්ථිකය යන්නේ රිම් එකෙනි. බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට බෙදා දෙන්නේ සලාක ක්‍රමයටය​. හාල් , බෝංචි ඇට , මස් , උයන තෙල් , සීනි , බිත්තර , හිඟයක් වෙළඳ පොලේ පවතින අතර මේ භාණ්ඩ බෙදා හරිනු ලබන්නේ කූපන් මගිනි. එහෙත් සලාකයට බෙදන මෙම ආහාර ද්‍රව්‍ය පවුලක යැපීමට ප්‍රමානවත් නොවන බව බොහෝ කියුබානුවෝ පවසති. අතිරේක ආහාර ඔවුන් වැඩි මිලට කළු කඩයෙන් මිලදී ගනිති. මේ සඳහා මුදල් අවශ්‍ය කෙරේ. ඒ නිසා ඔවුන් අතිරේක රැකියා වල යෙදෙති. උදාහරණයක් ලෙස භූගෝල විද්‍යා ගුරුවරියක වූ මේබල් සති අන්තයේ සංචාරකයන් සඳහා ගයිඩ් කෙනෙකු ලෙස සේවය කරන්නීය​. සමහර විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරු රාජකාරී වේලාවෙන් පසු ටැක්සි එලවති. පාරේ හිඟාකෑ හිඟන්නන් කීප දෙනෙකුද මම දුටිමි. එසේම සංචාරකයන්ට පමණක් අතපෑ  දිලින්දන්ද හවානාවේ වූහ​. 



සාමාන්‍ය කියුබානුවෙකුගේ නිවසක් (හවානා) 

සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත​. එහෙත් අප හෝටල් වලදී   සොසේජස් , කුකුල් මස් , හරක් මස් , රිබ්ස් , චීස් , යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින්  බෙදා ගෙන  නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති.  මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත​. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය​. 

හවානා වලදී මම සමුපකාර කීපයක් දුටුවෙමි. භාණ්ඩ හිඟ එම සමුපකාර මට සිහිපත් කලේ 1970 යුගයේ සමගි පෙරමුණ ආණ්ඩුව කාලයේ තිබූ සමුපකාරය​. ඒ කාලයේ  තිබූ එක් විහිළුවක් නම් බොහෝ සමූපකාර වල දොරවල් ගෙවී තිබුනේ මිනිසුන් සමූපකාරයේ දොර ලෙවකා කහට බීම නිසාය​. කියුබාවේ සමුපකාර වල දොරවල් නොගෙවී තිබුනද  මැළවී ගිය එළවලු සහ තම සළාකය ගැනීමට නොසන්සුන්ව පෝලිමේ සිටි මිනිසුන් දැකිය හැකි විය​. 

කියුබාවේ ආර්ථිකය පණ නල ගැට ගසාගෙන තිබෙන්නේ සංචාරක කර්මාන්තයෙනි. කියුබානු විප්ලවය තිබූ කාලයේ බොහෝ ග්‍රාම්‍ය විප්ලවවාදීන් එකල ඉතා හොඳ තත්වයේ තිබූ සංචාරක හෝටල් විනාශ කලහ​. ඒ ඇමරිකානු සංචාරකයන්ට විරෝධය පෑම සඳහාය​. සමහර පිරිස් පවුල් පිටින් පැමින හිල්ටන් බඳු හෝටල් වල කාමර අත්පත් කර ගත්හ​. විප්ලවයේ උණුසුම නිසා මේවා සමාජවාදී ක්‍රියා ලෙස අර්ථ දක්වන ලදි. එහෙත් සෝවියට් ආධාර ක්‍ෂයවී යාමත් සමගම සිදු කල මෝඩකම් අවබෝධ කර ගත් කියුබා රජය යලි සංචාරක හෝටල් අළුත්වැඩියා කොට ඒවා බටහිර සංචාරකයන්ට විවෘත කළහ​. සමාජවාදයේ නාමයෙන් හෝටල් වල ලැග සිටි පවුල් ඉවත් කොට යලි ඒවා ප්‍රකෘතිමත් කළහ​. දැන් මේ හෝටල් වල බටහිර සංචාරකයන් බොහෝ සෙයින් දැකිය හැකිය​.  වර්තමානයේ  සංචාරක කර්මාන්තය නිසා කෙලින් සහ වක්‍රව කියුබානුවන් මිලියන ගනනක් යැපෙති.  


පරණ කාර් අතර BMW එකක් 

කියුබාවේ සංචාරකයන් සඳහා විශේෂ මුදල් වර්ගයක් තිබේ. එය බිහි වන්නට ඇත්තේ එකල සමාජවාදී ලෝකයේ තිබූ අඩුපාඩු අධ්‍යනය කිරීමෙන් පසු විය හැකිය​.  සෝවියට් දේශය , පෝලන්තය ,නැගෙනහිර ජර්මනිය යන රට වල ඇමරිකානු ඩොලර් සහ බ්‍රිතාන්‍ය පවුම් ඉතා අගය කොට සලකන ලදි. මේ නිසා බටහිර සංචාරකයන් ගෙන එන ඩොලර් සහ පවුම් බැංකු වල නීති ගත අගයට වඩා දහ ගුණයක් පමණ ගෙවා මිලදී ගැනීමට ටැක්සි කරුවන් සහ ජාවාරම්කරුවන් පුරුදුව සිටියහ​. උදාහරණයක් ලෙස  එකල (1989) බටහිර ජර්මනියේ ඩොයිෂ් මාක්ස් පහක් නැගෙනහිර ජර්මානියේ කළු කඩයෙන් මාරු කල විට නැගෙනහිර ජර්මානු මුදල් බොහෝ ප්‍රමාණයක් ලැබුනි. මේ මුදලින් දෙතුන් දෙනෙකුට නැගෙනහිර ජර්මනියේ ඉතා හොඳ හෝටලයකින් දිවා ආහාරයක් ලබා ගත හැක​. එහෙත් එකල ඩොයිෂ් මාක්ස් පහකින් බටහිර ජර්මනියේ ලබා ගත හැකි වූයේ හොට් ඩෝග් එකක් සහ මිනරල් වතුර බෝතලයක් පමණි. මෙයාකාරයෙන් ඇමරිකානු ඩොලර් 50 සෝවියට් දේශයේ කළු කඩයෙන් මාරු කල සංචාරකයාට සෝවියට් දේශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ මාසික වැටුපට ආසන්න මුදලක් ලැබුණි.  මෙම ක්‍රමය කියුබාවේ බලධාරීන් අවබෝධ කර ගත් අතර එය වැලැක්වීම සඳහා සංචාරකයන් සඳහා පරිවර්ත්‍ය පෙසෝ නෝට්ටු හඳුන්වා දෙන ලදි. මෙම පරිවර්ත්‍ය පෙසෝ එකක් කැනේඩියානු ඩොලර් එකකට වඩා මිලෙන් අධිකය​. එනම් කැනේඩියානු ඩොලර් 100 සඳහා ගෙවන්නේ පරිවර්ත්‍ය පෙසෝ 78.66 පමණි. 

බොහෝ සංචාරකයන් පවසන පරිදි ඔවුන්ට කියුබාවේ විශාල මුදලක් වැය කිරීමට සිදු වෙයි.  එක් දිනක් සඳහා වාහනයක් කුලියට ගැනීමට ගිය ජර්මානු සංචාරකයෙකුට ඇමරිකානු ඩොලර් 105 ගෙවීමට සිදු විය​. එහෙත් ඇමරිකාවේ හෝ කැනඩාවේදී ආසන්න වශයෙන් ඩොලර් 25 - 30  ගෙවා වාහනයක් එක් දිනක් සඳහා කුලියට ගැනීමට හැකිය​. කියුබාවේදී කුරුම්බා ගෙඩියක් මිලදී ගැනීමට සංචාරකයෙකු කැනේඩියානු ඩොලර් දෙකක් ගෙවිය යුතුය​. මේ අනුව කියුබානු සංචාරක ව්‍යාපාරය විසින් බටහිර සංචාරකයන් ගේ දත් වහල්ලම ගලවා ගනියි. එහෙත් බටහිර සංචාරකයෝ කියුබාවට ඒම ප්‍රිය කරති. කියුබාව පියකරු රටකි. රට වටා වූ මුහුද කියුබාවට ආභරණයකි. 

සාමාන්‍යයෙන් කියුබානුවන් ඉතා සුහදශීලීය​. ඔවුන් එකිනෙකා සමගත් ඉතා සහයෝගයෙන් සාමුහික චින්තනයෙන් යුතුව වැඩ කරති. ඔවුන් නිතරම සිනහසෙමින් සිටිති. ස්පාඤ්ඤ සහ අප්‍රිකානු සංස්කෘති වලින් පෝෂණය වූ කියුබානුවන් සංගීතයට සහ නැටීමට ප්‍රිය කරති.  ශ්‍රී ලාංකික සමාජයේ දැඩි ලිංගික අසහනය සහ පර පීඩක මානසිකත්වය උඩුදුවා ඇත්තේ කියුබානුවන් මෙන්  සංගීතය  සහ නර්තනය  ශ්‍රී ලාංකිකයන් තුල හොඳින් අවශෝෂණය නොතිබීම නිසා බව ඇතැම් විට මට සිතේ. 

කියුබාවේ පාරවල් ඉතා පිරිසිදුය​. කුණු ඉවත් කිරීම ක්‍රමවත්ව කෙරේ. ඒ නිසා මැසි මදුරුවන් අවමය​. ඩෙංගු නිවාරණයේ ඔවුන් ලද සාර්ථකත්වය මේ පරිසරය පිරිසිදුව තබා ගැනීම මත ලද ජයග්‍රහණයකි. එහෙත් හවානා වලදී අපිරිසිදු මෙන්ම උතුරා ගිය කාණු තිබූ පාරවල් කීපයක් මම දුටුවෙමි. 

පාරේ වාහන එලවීම ඉතා විනීතය​. ලංකාවේ මෙන් ගාල කඩාගත් අවිනීත වාහන එලවීමක් කියුබාවේ නැත​. ලංකාවට සාපේක්‍ෂව වාහන පාරවල් වල ඉතා අඩුය​. බොහෝ වාහන 1940 ගනන් වල ඇමරිකානු පැරණි කාර් වන අතර මේවා තවමත් පාරවල් වල දිවීම කියුබානු මිකැනික්වරුන් ගේ දස්කම පෙන්වයි. ඇමරිකානු පැරණි කාර් වලට අමතරව සෝවියට් දේශයෙන් ගෙන්වන ලද ලාඩා , මොස්කවිච් , තවුරියා යන කාර් වර්ගද කමාස් වර්ගයේ සෝවියට් ට්‍රක්ද මම දුටුවෙමි. එසේම අතරින් පතර මර්සෙඩේස් බෙන්ස් සී ක්ලාස් වාහන කීපයක් සහ බී එම් ඩබ්ලිව් කීපයක් දුටුවෙමි. මේ වාහන ධනවත් කියුබානුවන් ගේ හෝ පක්‍ෂයේ බලවතුන් ගේ විය හැකිය​. සාමාන්‍ය ජනයා සඳහා බස් සේවයක් පවතියි. එහෙත් බස් ප්‍රමාණය අඩුය​. අශ්ව කරත්ත සහ බූරුවන් ගැට ගැසූ ප්‍රවාහන කරත්තද මම දුටුවෙමි. මේ ආදිකාලේ ප්‍රවාහන ක්‍රමද යොද ගෙන තිබෙන්නේ ඉන්ධන අර්බුධය නිසාය​. නමුත් සංචාරකයන් සඳහා ලක්‍ෂරි බස් තිබෙන අතර මේ බස් දෙස හෝල්ටිං ප්ලේස් වල සිටින කියුබානුවෝ ඉතා කෑදර දෙනෙතින් බලා සිටිති. 

කියුබාව වටා අගනා වෙරළ තීරයක් තිබේ. මේ වෙරළ ලංකාවේ මෙන් නොව ඉතා පිරිසිදුය​. එසේම සංචාරකයන් සඳහා ආරක්‍ෂිත රිසෝට් නමින් හඳුන්වන හෝටල් පද්ධති සහ වෙරළ තිබේ. මේ නිසා තංගල්ලේ ප්‍රාදේශීය  සභාවේ සභාපති කලාක් මෙන් සංචාරක හෝටලයකට කඩා වැද සංචාරකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම වැනි සිද්ධීන් කියුබාවේ නොමැත​. මෙම ආරක්‍ෂිත රිසෝට් වලට සාමාන්‍ය මිනිසුන්ට යා නොහැක​. එසේම සංචාරකයන් ආරක්‍ෂිත රිසෝට් වලින් බැහැරට යාමද අධෙර්‍යමත් කොට තිබේ.  සංචාරකයන් ආරක්‍ෂිත රිසෝට් වලින් බැහැර නොයෑමේ එක් හේතුවක් නම් බටහිර රට වල පාස්පෝට් උදුරාගෙන දුවන  හෝ හොරකම් කරන කල්ලි කියුබාවේ සිටීමයි. මේ නිසා හවානා වල කරක් ගසන විට මම මගේ කැනේඩියානු පාස්පෝට් එක නිරන්තරයෙන්ම ඉදිරි කලිසම් සාක්කුවේ තබා ගත්තෙමි.  මේ හැර මා කුමන රටෙන් ද කියා ඇසූ විට කිව්වේ ඉන්දියාවෙන් කියාය​. ඉන්දියානු පාස්පෝට්  එතරම් ඩිමාන්ඩ් නොවූ නිසාදෝ මාව ජාවරම්කරුවන් ගේ දෙනෙත් වලට ලක් වූයේ නැත​. 

කියුබාවේද ජාවාරම්කරුවන් සිටිති. ඔවුන් පිට කොටුවේ අයියලා බඳුය​. සංචාරකයන් පසු පස ගොස් කුඩු , බඩු හෝ කොල්ලන් ඕනෑද කියා ඔවුන් අසති. සමහරු අසන්නේ කියුබානු සිගාර් හෙවත් සුරුට්ටු අවශ්‍යද කියාය​. සාමාන්‍යයෙන් ඉහල ප්‍රමිතියේ කොහීබා නම් වන කියුබානු සුරුට්ටුවක් මිලෙන් අධිකය​. එහෙත් මේ අයියලා නියමිත මිලෙන් 50 % අඩුවට කියුබානු සුරුට්ටු විකුනති. මේ සුරුට්ටු මැදට දමා තිබෙන්නේ වේලන ලද කෙසෙල් කොලය​. මේ බව නොදත් සංචාරකයන් කෙසෙල් කොල මැදට දමා ඔතන ලද කියුබානු සුරුට්ටු පෙට්ටි ගනන් ජාවාරම්කරුවන් ගෙන් මිලදී ගනිති. 

හවානා වලදී  මම කැනේඩියානු ඩොලර්  50 ගෙවා රියැදුරෙකු සමග පැරණි ඇමරිකානු Chevrolet වාහනයක් කුලියට ගෙන හවානා නගරයේ සුප්‍රකට ස්ථාන බැලීමට ගියෙමි. මේ ස්ථාන අතර රෙවලූෂන් ස්ක්වයා , ජෝන් ලෙනන් උද්‍යානය , හවානාවේ සුප්‍රකට සුසාන භූමිය​, පැරණි ස්පාඤ්ඤ බල කොටුව​, ක්‍රිස්තුස් ප්‍රතිමාව​, එර්නස්ට් හෙමිංවේ නිතර පැමිනි බාර් එක , ඇල් කැපොන් හවානා වලට පැමිනි විට රැඳී සිටි හෝටලය , බැටිස්ටාගේ හවානාහි මන්දිරය , හොසේ මාටි ස්මාරකය වැනි ස්ථාන වූහ​. සමහර ස්ථාන වල චේ ගුවේරාගේ විශාල ප්‍රමාණයේ චිත්‍ර දැකිය හැකි විය​. චේ ගුවේරාද කියුබාවට මුදල් සපයන එක් මාධ්‍යකි. චේ ගුවේරා ගේ ටී ෂර්ට් , කැප් සංචාරකයෝ මිලදී ගනිති. චේ ගුවේරා ගේ ටී ෂර්ට් එකක් සාමාන්‍යයෙන් කැනේඩියානු ඩොලර් 12 පමණ වෙයි. 

දේශීයව චේ ගුවේරා යනු තව දුරටත් තොරොම්බල් කල නොහැකි ප්‍රපංචයක් බව කියුබානු බලධාරීන් අවබෝධ කර ගෙන තිබේ. වර්තමාන කියුබානු තරුණ පරම්පරාවට චේ ගුවේරා හෝ කැස්ත්‍රෝගේ වීර ක්‍රියා අසනවාට වඩා අවශ්‍ය කුස පුරවා ගැනීම සහ අලංකාර ලෙස ඇඳුම් පැළඳුම් කිරීමය​. මා සමග විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු කතා කල අතර විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු රැකියාවක් ලැබුනද එය යැපීමට ප්‍රමාණවත් නොවන බව ඔවුන් කීහ​. බැටිස්ටාගේ කාලයේ කියුබාව අන්වර්ථව හඳුන්වන ලද්දේ ඇමරිකානුවන් ගේ ගණිකා මඩම කියාය​. එකල ඩොලර් විසි පහකට ඇමරිකානුවන් සමග යාමට කියුබානු ගණිකාවන් සිටියහ​. එහෙත් වර්තමානයේ දරුවන් ගේ කුස පිරවීමට බිත්තර දහයකට නිදි වදින ගැහැණුන් සමාජවාදී කියුබාවේ හිඟ නැති බව කියුබාවට නිතර එක ආජේන්ටීනා ජාතික සංචාරකයෙකු මා සමග කීවේය​. 

තරුණයන් ගේ මානසිකත්වය රාවුල් කැස්ත්‍රෝ අවබෝධ කර ගෙන තිබේ. තව දුරටත් ඇමරිකානු අධිරාජ්‍යවාදී බිල්ලා පෙන්වා ජනතාව සන්සුන්ව තබා ගත නොහැකිය​. එසේම පොතේ ගුරු මාක්ස්වාදී න්‍යායන් ඔස්සේ ගොස් ආර්ථිකය තවත් අනා ගැනීමට ඔහු සූදානම් නැත​. රාවුල් කැස්ත්‍රෝ ප්‍රායෝගිකවාදියෙකි. දැන් කියුබානුවන්ට කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර ඇරඹිය හැක​. එසේම තම නිවෙස විකිනීමට හෝ කුලියට දීමට හැකිය​​. දැන් තරුණයන් අත ජංගම දුරකථන දක්නට තිබේ. ඉන්ටනෙට් සේවාවන් ද ඉබි ගමනින් කියුබානු සමාජයට එකතු වෙමින් පවතියි. සන්නිවේදන පහසුකම් නම් 1970 යුගයේ ලංකාවේ තිබූ තත්වය කියා මට සිතේ. වරක් කැනඩාවට දුරකථන ඇමතුමක් ඉල්ලා පැය භාගයක් බලාගෙන සිටීමට මට සිදු විය​. වයිෆයි පහසුකම් නම් රිසෝට් වල තවමත් නොමැත​. ලංකාවේ ඊනියා සමාජවාදීන් ලංකාව කියුබාවක් කිරීමට වෙර දරන අතර රාවුල් කැස්ත්‍රෝ  කියුබාව ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වලට සම කිරීමට වෙර දරණු බව පෙනේ. රාවුල් කැස්ත්‍රෝ  විදේශීය ආයෝජකයන්ට අත වනයි. ඔහු විදේශීය ආයෝජකයන්ව  ඉඹලා පිළිගනියි. 

කියුබාව ගැන කතා කිරීමේදී ඔවුන් ගේ වෛද්‍ය සේවාවන් ගැනද කතා කල යුතුය​. තුන්වන ලෝකයේ රටවල් වලට සාපේක්‍ෂව කියුබාවේ හොඳ වෛද්‍ය සේවයක් තිබේ. මම ප්‍රධාන පෙලේ රෝහල් කීපයක්ද ෆාමසි කීපයක්ද දුටුවෙමි. කියුබානු වෛද්‍යවරු ජනතාවට සමීපය​. ඔවුන්ට ඩියුටි ෆ්‍රී වාහන නැත​. ග්‍රාමීය ප්‍රදේශ වල වෛද්‍යවරු අසු පිටින් නිවෙස් වලට ගොස් රෝගීන් බලති. සියළු වෛද්‍ය සේවා නොමිලේය​. එහෙත් පිටරැටියන් මුදල් ගෙවා වෛද්‍ය සේවා ලබා ගැනීමට එති. ඇමරිකාවේ සිදු කරන කොස්මෙටික් ශල්‍යකර්මයක් 80% පමණ අඩු මුදලක් ගෙවා කියුබාවෙන් කර ගැනීමට සංචාරකයන් එති. එසේම නුදුරු කාලයේ මුදල් ගෙවා කියුබානු වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට අන්තර් ජාතික සිසුන්ට හැකි වනු ඇත​. 

මා සමග හවානා හිදී දිවා ආහාරය ගත් මහාචාර්‍ය Lourdes Zumalacárregui කියුබානු ඇකඩමි ඔෆ් සයන්ස් හි සාමාජිකාවකි. එසේම කියුබානු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකාවකි. ෆිදෙල් කැස්ත්‍රෝගේ මිතුරියකි. ඇය බෙල්ජියමේද ස්පාඤ්ඤයේද විශ්ව විද්‍යාල වල ආරාධිත කථිකාචාර්‍යවරියකි. ඇය පැවසූ පරිදි ෆිදෙල් කැස්ත්‍රෝ හොඳ කථිකයෙකි. එහෙත් රාවුල් කැස්ත්‍රෝ තුල  කථා කිරීමේ දක්‍ෂතාව එතරම් නොමැත එහෙත් ඔහු නිහඞ වැඩකාරයෙකි. මහාචාර්‍ය Lourdes Zumalacárregui පවසන පරිදි කියුබානු සමාජය පරිවර්ථනය වෙමින් පවතියි.  එහෙත් මෙම පරිවර්ථනය කුමන දිශාවටද කියා තවමත් කිව නොහැක.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 comments:

  1. Thanks Ruwan, very interesting reading about your first hand experience..:)

    ReplyDelete
  2. සංචාරක විස්තරය සම්පූර්ණයෙන්ම කියවීමි.තොරතුරු ලීවාට ස්තුතියි.

    ReplyDelete
  3. රුවන්, පරිවර්ථනය නෙවෙයි පරිවර්තනය.

    ReplyDelete
  4. හොඳ ලිපියක් රුවන්. /බොහෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට බෙදා දෙන්නේ සලාක ක්‍රමයටය// හැබැයි ඒ කාලෙත් එහෙමයි නේ නේද . මට අපේ යාලු කියුබන් එවුන් කිව්වේ එහෙම.

    ReplyDelete
    Replies
    1. ඔව් 1980 ගනන් වල ඉඳන් සලාක ක්‍රම තිබ්බා

      Delete
  5. //ලංකාවේ ඊනියා සමාජවාදීන් ලංකාව කියුබාවක් කිරීමට වෙර දරන අතර රාවුල් කැස්ත්‍රෝ කියුබාව ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වලට සම කිරීමට වෙර දරණු බව පෙනේ. //

    හැමෝටම තේරෙන්නෙ උනාට පස්සෙ.
    හොද ලිපියක්. කියුබාව ගැන ලිව්වාට වඩා ලංකාවට පාඩමක් වගේ !

    ReplyDelete
  6. සමාජවාදයේ මෙන්ම ධනවාදයෙත් අඩුපාඩු එමටයි.හරියට සාධාරණ ලෝකයක් කොහෙත් නෑ.ලංකාවේ කරන්නේ අපිට බණ කියමින් කපටි රැළක් සියලු සැප ගන්නවා.බොහෝ සාමාන්‍ය මිනිස්සු බලන්නේත් එතැනට යන්නේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. Lalith මම මේ සමාජවාදී සහ ධනවාදී ක්‍රම තිබෙන රට වල ජීවත්වී තිබෙනවා මේ ක්‍රම දෙකෙන්ම මිනිසුන් තෘප්තිමත් නෑ. ක්‍රම දෙකේම බරපතල අඩුපාඩු තිබෙනවා. තෙවන මානුෂිකවාදී ක්‍රමයක් ඇති කල යුතුයි

      Delete
    2. සමාජවාදය ලුණු වගෙයි. නැතුවම බෑ. තනිකර ලුණු කන්නත් බෑ. නිසි පදමට මුසු කළ යුතුය.

      Delete
  7. ඔබේ කියුබානු සංචාරයෙන් අනතුරුව ඒ පිළිබඳව ඔබ ලියන තුරු ඉවසිල්ලෙන් බලාසිටියෙමි .ඔබේ ලිපිය මැදහත් ඇසින් බලා ලියා තිබේ.මෙය සමාජවාදී මත දරණ ඔලු තිබෙන අය කියවන්නේ නම් ඔවුන් සමාජවාදය ගැන යලි කලපනා කරනු ඇත

    කියුබානු සංචාරයේ ඇත දැකීම පිළිබඳව තවත් ලිපි දෙකක්වත් ලියන ලෙස ඔබට ඇරයුම් කරමි

    ReplyDelete
  8. අනේ බං අහවල් විග්‍රහය.
    ඉස්සරම මහලොකු ධනවාදී ලංකාව ගැන ලියහංකෝ.

    ReplyDelete
  9. Very Interesting read doctor. I've seen a few tv programs on cuba recently (their food, life in general, tourism..) and the picture I got of the country was exactly what you've written here.
    Hope you'll write more on your time in Cuba.

    ReplyDelete
  10. ඇමරිකා ඔරුමත්තුනාඩුව යනු කැනඩාවටත් වඩා දරුණු ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සහිත රටක්.
    කියුබාව කතෝලික රටක්, එහි සිට ඇමෙරිකා ඔරුමත්තුනාඩුවට යන්නන් කෙටි කලක් තුල ඇංග්ලිකන් ක්‍රිස්තියානින් බවට පත්වෙනවා.
    අවාසනාවට සමාජවාදය මෙම කරුණට සංවේදී නෑ.
    කියුබානු රජයට කරන්න තියෙන්නේ සමාජවාදය බල්ලාට දමා ඇමරිකා ඔරුමත්තුනාඩුව තුල කතෝලික සංස්කෘතිය පැතිරවීමට උත්සාහ කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මෙක්සිකෝව සහ ඇමරිකා ඔරුමත්තුනාඩුව අතර තාප්ප බැඳීමේ යෝජනාව
      ආර්ථික විද්‍යාවෙන් තේරුම්ගැනීමට උත්සාහ කිරීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්

      එහිදී සිදුවන්නේ කතෝලික සහ ඇංග්ලිකන් සංස්කෘති අතර ගැටුමක්.

      Delete
  11. ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන

    ReplyDelete
  12. Nice eye opening article. Thanks Ruwan.

    ReplyDelete
  13. Good eye opener. Even I thought Cubans are having a good life. Never thought it is this bad. And sad to hear it's having the same corrupted political system like we are having

    ReplyDelete
  14. Really interesting doctor ,, ill tel a story once a my friend told me..


    In Sri Lanka one of the old man in member of communists party (LEFT) having drink and talking with his old friend.

    Man :- Hay .. you know about CUBA ,, that is the country .so great . socialism running very well.
    Friend :- how you know about it ?
    Man :- I have been there .. around one year.
    Friend : - ohh..
    Man :- I was works for WFP (world food programme) kn.. join with so many humanitarian operations.
    Friend : - soo what you did in Cuba?
    Man :- we have join to spread out donations from AMERICA...


    ReplyDelete
  15. තත්වය හිතුවට වඩා ශෝචනීයයි..

    ReplyDelete
  16. මේ ලේඛකයා කියුබාව ගැන ලියන කරුණු බොහොමයක් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු තත්වයන්ය. එහෙත් 1990 ට ප්රතම කියුබාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ වාර්තා වලට අනුව ඉතා ඉහළ ජීවන දර්ශක පෙන්වූ රටකි. පැහැදිලි ලෙසම බටහිර බලවේග විසින් ඉතා කුමන්ත්රණකාරී ලෙස සෝවියට් සමූහාණ්ඩු පද්ධතිය විනාශ කළ හෙය්න් කියුබාවේ ආර්තිකයත් සමුර්ධියත් විනාස විය. එය කියුබාවේ පමණක් නොවේ සමාජවාදී කඳවුරෙ සියළු රටවල් වල තිබූ ශක්තිය පාගා දමන ලදී. මට මතක හැටියට සියළුම බටහිර රටවල් පරයා ඔලිම්පික් ක්රීඩා වලදී කියුබාව ඉදිරියෙන් සිටින ලදී. අධ්යාපන හා සවුඛ්ය සේවාවන් ආකර්ෂණීය මට්ටමෙ පැවතුනි.
    මේ ලේඛකයා ලෝකයේ බටහිර ග්රහණයට ලක්ව ඇති බොහෝ රටවලට ගොස් ඇත්නම් අප්රිකානු මද්වීපයේ සංචාරය්ක් කර ඒ රටවල් වල තත්වය වාර්තා කරන්නේ නම් මැනවි. කියුබාව අද වන විට අන්තර්ජාතික සහයොගයක් නැතිව හෝ පෙර තිබූ තත්වය නැවත ගොඩ නැගීමට උතසාහ කළත් මේ බටහිර රටවල් තම ආධිපත්යාය පතුරුවාගෙන සිටින රටවල් කොතෙක් තිබේද ඒවායේ තත්වය අද කියුබාවේ තත්වයටත් වඩා බොහෝ පහළින් ඇති බව අමතක නොකරන්න. ඒවායේ වෙනසකට ඇත්තේ මත් ද්රව්ය බහුල වීම, ගණිකා වුර්තිය අධික වීම මිනිසුන් සතුන් සේ ජීවත් වීම ආදියයි..බොහෝ මහත්වරු කියුබාව ගැන මොනවා ලීවත් තවමත් රටෙ සාක්ෂ්රතාවය, සෞඛ්ය්ය යනාදෙ රාජ්ය මැදිහත් කරන සේවාවන් පවත්වාගෙන යයි. එම ජනතාව තවමත් දුප්පත් කම තිබුනත් ගෞරවයක් සහිතව ජීවත් වේ. නමුත් තුන්වන ලෝකයේ බොහෝ රටවල තත්වය කුමක්ද?
    කියවන විට විචාරාත්මකව කියවීමටත් ලියන විට ලෝක දෘෂ්ටියකින් ලිවීමටත් උත්සාහ කරන මෙන් ඉල්ලමි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook