Wednesday, January 24, 2018

ඌරුකන් මහත්තයා

 

වරක් කර්නල් සූරියකුමාර සමග නෙළුව ප්‍රදේශයේ සෞඛ්‍ය වැඩසටහනකට මම ගියෙමි. යුද හමුදාවේ සහාය මත පවත්වන ලද මෙම සෞඛ්‍ය වැඩසටහනට ප්‍රදේශයේ ගුරුවර ගුරුවරියන් රැසක් සහභාගී වී සිටි අතර අප එම ප්‍රදේශයේ තාවකාලික ව අටවාගත් කඳවුරක නැවතී වැඩසටහන කරගෙන ගියෙමු. 

 එක් දිනක් සවස් වරුවක අපගේ කඳවුරේ අරක්කැමියාට හමුදාවේ මහත්තුරුන්ට දෙන්නට කියා යම් පුද්ගලයෙකු විසින් විශාල වල් ඌරු මස් ගාතයක් දී ඇත. මෙම  වල් ඌරු මස් ගාතය දුන්නේ කවුද කියා සොයා බැලීමේදී ඔහු එවකට නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති බව හෙළි විනි. කෙසේ නමුත් නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ගෙනැවිත් දුන් වල් ඌරු මස් ගාතය කඳවුරේ අරක්කැමියා විසින් ඉතා රසවත් ලෙස උයන ලද අතර එදින රාත්‍රියේ නිලධාරීන්  ගිනිමැළයක් ගසා  සාමීචීයේ යෙදෙමින් වල් ඌරු මස් භුක්ති වින්දහ​. 

ප්‍රදේශ වාසියෙකු වූ එක් සේවකයෙකු කඳවුරේ සිටි අතර ඔහුගෙන් මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පිළිබඳව තොරතුරු අපට ලබා ගත හැකි විය​. ඔහු කී පරිදි මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගම්මුන් විසින් හඳුන්වන ලද්දේ ඌරුකන් මහත්තයා කියාය​. ඉතා දක්‍ෂ දඩයම්කරුවෙකු වූ ඌරුකන් මහත්තයා සතියකට වරක් දඩයමේ ගොස් වල් ඌරෙකු එළා ගනියි.  තව දුරටත් ඌරුකන් මහත්තයා ගැන කියූ සේවකයා වරක් ඔහු විසින් අහුන්ගල්ල  සත්ව උද්‍යානයෙන් මුදා හරින ලද කොටියාට (දිවියා?)  පවා ගිණි බින්ද බව කීවේය​. මෙම අහුන්ගල්ල  සත්ව උද්‍යානයේ කොටියා කතාව ගැන සොයා බැලීමේදී හෙළි වූයේ අහුන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලික සත්ව උද්‍යානයක් තිබූ බවත් වරක් එම සත්ව උද්‍යානය නැරඹීමට පැමිණි පාසල් සිසුවෙකු මෙම කොටියා විසින් මරා දැමූ බවත් ය​. එම සිද්ධියෙන් පසු අහුන්ගල්ල  පුද්ගලික සත්ව උද්‍යානය වසා දැමුණු අතර කොටියාව සිංහරාජයට මුදා හරින ලෙසට නියෝග කෙරුනි. 

මෙම කොටියා සිංහරාජයට මුදා හරින  ලද අතර මිනිසුන්ට හුරු වීම නිසා කොටියා මිනිස් වාසයන් සොයා ඒම සිරිතක් කර ගත්තේය​. මෙලෙස කොටියා කැළයෙන් මෑත්ව ආ අවස්ථාවක  ඌරුකන් මහත්තයා තම තුවක්කුවෙන් ඉලක්කය ගෙන කොටියාට වෙඩි තබා තිබේ. අණතුරුව ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් කොටි මස් කිලෝව රුපියල් දෙසීය ගනනේ විකුනාගෙන ඇත. කොටියාගේ සමට සිදු වූයේ කුමක්ද කියා කිසිවෙකු දැන සිටියේ නැත​. එදින රාත්‍රියේ අප ඌරුකන් මහත්තයා ගෙනැවිත් දුන් වල් ඌරු මස් ගාතය භුක්ති විඳිමින් ඌරුකන් මහත්තයා පිළිබඳ කතන්දර අසමින් සිටියෙමු. 

අප එහි සිටි කාලය පුරාවට ඌරුකන් මහත්තයා අප හමුවීමට නාවේය​. එම නිසා නිලධාරීන්ට ඔහුට ස්තූති කිරීමටවත් නොහැකි විය​. මෙම කඳවුර අවසානයේදී මම කර්නල් සූරියකුමාර සමග කොලඹ ආවෙමි. ඉන් වසරකට හෝ දෙකකට පසුව මෙම ඌරුකන් මහත්තයා දඩයමේ ගිය අවස්ථාවක ගෝනෙකුට බඳින ලද කඳන් තුවක්කුවක් පත්තුවී තුවාල ලබා රෝහලකට ගෙන ඒමටත් ප්‍රථම මිය යන ලදි. මම ඔහුගේ මරණය පිළිබඳ පුවත දිවයින පුවත් පතෙන් කියවූයෙමි. 

ඌරුකන් මහත්තයා දඩයක්කාරයෙකු නිසා ඔහු සත්ව ඝාතකයෙක් , පවුකාරයෙක් කියා පහසුවෙන්ම විනිශ්චය කොට ඔහුව හෙළා දැකිය හැක​. එසේම ඔහුගේ මරණය දිට්ඨධම්ම වේදනීය කර්මයටද පහසුවෙන් බැර කල හැකිය​. මම ඔහුව විනිශ්චය නොකරමි. කෙසේ නමුත් මට කිසි දිනෙක මුහුණට මුහුණ හමු නොවූ ඌරුකන් මහත්තයා අපූර්ව පුද්ගලයෙකු කියා මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

14 comments:

  1. ඔහුගේ නම වැරදියි නිවැරදි නම "ඌරු කළු " මහතා ඔහුට අයත් බස්රථයක් නෙළුව -කොලඹ අතර ධාවනය වූ අතර එය නම්කර තිමුනේ' MIG ටුවර්ස්' ලෙසයි නමුත් ජනතාව පැවසුවේ' pigටුවර්ස්" කියයි .පසුකාලීනව මොහු දඩයමේ ගියවිට තැබූ වෙඩිපහරකින් තේ දළු නෙලන කාන්තාවක් මියගිය අතර .ඌරු කළු මහත්තයා ද මියගියේ වෙනත් කෙනෙකු දඩයමේ යනවිට තැබූ වෙඩි පහරකිනි

    ReplyDelete
  2. අහුන්ගල්ලේ ළමයෙක් මැරුනේ සිංහයෙකු ඔළුව සපාකෑමෙනි

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ ලියන්නෙ නැද්ද?

      Delete
    2. ඔය මහත්තය ලියන්නෙ නැද්ද?

      Delete
  3. මරු පොරක් වගේ.

    ReplyDelete
  4. ඌරු කලු මහත්තයා තමා හරි නම. M.I.G කියන්නෙ එයාලගෙ surname එක. එයාලගෙ ගොඩක් බිස්නස් තියෙනවා නෙලුව ටවුන් එකේ.

    ReplyDelete
    Replies
    1. දේශපාලනයත් එක්ක සල්ලි

      Delete
  5. දේශපාලනය කරන්න සුදුසුකම් තිබිලා තියෙනවා

    ReplyDelete
  6. අවි ගත්තෝ අවියෙන්ම නසිති

    ReplyDelete
  7. ඌරුකලුව වෙඩි කෑවම චන්ද්‍රිකා චොපර් එක එව්ව උඩින් ගියේ ඉස්පිරිතාලෙ .... තව ඕකට ලියන්න කියවන්න බෑ
    කණ අස්සන ගැහුවෙ සභාපති උනාට

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook