Tuesday, May 5, 2026

කොල්වින් ජයසිංහ ගේ කතාව




කොල්වින් ජයසිංහ යෝක් වීදියේ ලංකා බැංකුවේ- බැංකු කැෂියර්. 1971 දී ඔහු රුපියල් 50,000 ක් බැංකුවෙන් පන්නලා පියතිලක හරහා විජේවීරට දෙනවා. පියතිලක පසුව ඔහුව හලාවත ප්‍රදේශයේ පන්සලක නවත්තලා සිවුරු පොරවනවා. කොල්වින් ජයසිංහ හිතුවේ 71 කැරැල්ල දිනනවා. කැරැල්ලෙන් පසු ඔහුට හොඳ තනතුරක් කැරලිකාර ආණ්ඩුවෙන් ලැබෙනවා කියලා. 71 කැරැල්ල පරාජයෙන් පසු 71 කැරැල්ලේ පලවන විත්තිකරු පියතිලකවත් අසු වෙනවා. පියතිලක ගෙන් ප්‍රශ්න කිරීමේදී  ඔහුට පහර දෙනවා. මේ අසල කැරැල්ලේ විත්තිකරුවෙකු වූ මිණිපේ සෝභිතත් ඉන්නවා.   71 කැරැල්ලේ විජේවීර ගේ දකුනත් සව්  වගේම කැරැල්ලේ පලමු විත්තිකරු පියතිලක සී අයි ඩී එකේ අයි පී සෝමපාලට වඳිනවා සර් ගහන්න එපා ඔක්කොම කියන්නම් කියලා. (මේ කතාව මට කිව්වේ මිණිපේ සෝභිත​. මේ සිද්ධිය දැකීමෙන් පසු මිණිපේ සෝභිත කලකිරී වියාපාරයෙන් ඉවත් වෙනවා) පියතිලක කොල්වින් ජයසිංහ ඉන්න තැන කියනවා. මේ අනුව කොල්වින් ජයසිංහ අත් අඩංගුවට පත් වෙනවා. හිරේදී කොල්වින් ජයසිංහ මානසිකව කඩා වැටෙනවා.  තමන් ජීවිතයෙන් විශ්වාස කල සගයන් තමන්ව පාවා දීම නිසා ඔහු විශාදයට ලක් වෙනවා. පසුව 71 කැරැල්ලේ තවත් විත්තිකරුවෙක් වූ  කීර්ති විජේසිංහ  සහ කොල්වින් ප‍්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා. නිදහස් වීමෙන් පසු ඔහු එංගලන්තයට ගොස් නීතීඥයෙකු වෙනවා. කොල්වින් ජයසිංහ මට කිව්වා ඔහුගේ ජීවිතය වෙනස් කලේ ඔහුගේ බිරිඳ බව​. බිරිඳ නිසා ඔහුට එංගලන්තයට ගොස් නීතීඥයෙකු වීමට හැකිවූ බව​. ඉන් පසු ඔහු ප්‍රසිද්ධියේ දේශපානයේ යෙදුනේ නෑ. 

පහත දැක්වෙන්නේ කොල්වින් ජයසිංහ පිලිබඳව පියතිලය සී.අයි.ඩී එකට දුන් කට උත්තරයේ කොටසක් 

එක් දිනක් විජේවීර කඳානේ  පොඩි අතුලගේ නිවසට මා එක්කරගෙන ගියේය. මෙයට පෙරාතුව මාද පොඩි අතුල බැලීමට ක`දානේ ඔහුගේ ගෙදරට ගොස් තිබුණි. අප එහි යනවිට කලූ ලකී, චුකී සමඟ පැමිණ සිටියේය. ලොකු අතුල හා සනත් විසින් පක්ෂයේ පාලනය අල්ලා ගැනීමට ගෙන යන ව්‍යාපාරය ගැන විෙජ්වීර සාකච්ඡා කළේය. ලොකු අතුල විසින් බෝම්බ ඛෙදා ඇත්තේ ඔහුට පක්ෂපාතී අයට පමණක් යයි කියා ඔහු කීවේය. ලොකු අතුලගෙන් වෙන්ව අපද වෙනම බෝම්බ නිෂ්පාදනය කළයුතු යයි කියා විජේවීර  කීවේය. දැනටමත් ඛෙදා ඇති බෝම්බ ආපසු පවරා ගැනීමට හැකි යයිද විජේවීර ට පක්ෂපාතී අයට ඒවා දීමට හැකියයිද කියා පොඩි අතුල යෝජනා කළේය. තවද, ලොකු අතුල නොමැතිව ස්වාධීනව අපට බෝම්බ නිස්පාදනය කිරීමට හා තුවක්කු මිලයට ගැනීමට අපට මුදල් අවශ්‍ය වන බව පොඩි අතුල කීවේය.

විජේවීර මේ ගැන උත්සාහ කිරීමට හා මුදල් සංවිධානය කිරීමට මට කීවේය. සාකච්ඡාවට පසු මට ලයියා මුණ ගැසුණි. ඔහුටද පක්ෂයේ ඇති වර්තමාන තත්ත්වය ගැන මම කීවෙමි. අවශ්‍ය තුවක්කු මිලයට ගැනීමට හා බෝම්බ නිෂ්පාදනය කිරීමට ඉක්මනටම අපට මුදල් අවශ්‍ය වෙන බවද කීවෙමි. අපේ සාමාජිකයෙකු වන බැංකු ලිපිකරුවෙක් ගැනද දන්නා බව ඔහු මට කීවේය. අප වෙනුවෙන් මුදල් ටිකක් ඔහුට කියා සොරකම් කොට ගත හැකි යයි කියා ඔහු යෝජනා කළේය. එක් දිනක් ලයියා කොල්වින් හමුවීම සඳහා ලංකා බැංකුවේ යෝක් වීදියේ ශාඛාවට මා එක්කරගෙන ගියේය. කොල්වින් ජයසිංහ නමැති බැංකු ලිපිකරු එහි සිටියේ නැත. මම ඊලඟ දිනයෙහි ලයියාගෙන් ලිපියක්ද රැගෙන කොල්වින් හමුවීමට බැංකුවට ගියෙමි.මා ඔහුට ලියුම දී, මා ගැන හැඳින්වීමක් කොට ඉතාම වැදගත් දෙයක් ඔහු හා සමඟ සාකච්ඡා කිරීමට ඇති බව මම කීවෙමි. පසුදින එන ලෙසට ඔහු මට කීවේය. ඊලඟ දිනයෙහි මා ඔහු හමුවීමට ගියවිට සවස ගාලූ මුවදොර පිට්ටනියේදී ඔහු හමුවෙන ලෙසට ඔහු මට කීවේය.

මා ගාලූමුවදොරට පිට්ටනියට ගොස්  කොල්වින් මට එක්කාසු වෙනතුරුම මම එහි පසුවුණෙමි. ව්‍යාපාරයට මුදල් අවශ්‍යවී ඇති බව හා ඔහුගේ ආධාරය අවශ්‍ය වී ඇති බව මම ඔහුට කීවෙමි. ටික වේලාවක් ඔහු කල්පනාකොට ව්‍යාපාරය සඳහා ඕනෑම දෙයක් ඔහු කරන්නේ යයි කියා කීවේය. ඔහුට බැංකුවෙන් මුදල් ගැනීමට පුළුවන් බව ඔහු මට කීවේය. පොහොයට පසු පළමුවෙනි දින විශාල තැන්පත් කිරීම් කරන දිනයක් නිසා එදින හැකියයි ඔහු යෝජනා කළේය. ඔහු සූදානම් වූ විට වැඩ පිළිවෙළ සකස් කර ගැනීමට හැකියයි කියා මම ඔහුට කීවෙමි. වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහුට කැෂියර් කවුන්ටරයේ සිටීමට සිදුවන්නේ යයි කියා ඔහු මට කීවේය.

මුදල් ගැනීමෙන් පසු ඔහුට සැඟවී සිටීම සඳහා පිළිවෙළක් මා සකස් කරන්නේ යයි කියා මම ඔහුට කීවෙමි. ලයියාද ඔහුව හමුවී මුදල්වල අවශ්‍යතාවය ඔහුට කී බව කොල්වින් මට කීවේය. හලාවත පන්සලෙන් අපේ සාමාජිකයන්ගෙන් කෙනෙකු වන ආරියරත්න තෙර ලියා ගෙන්වා ගැනීමට මම කොටවිල දේවසිරි හමුවුනෙමි. මාගේ බලාපොරොත්තුව වූයේ සොරකමෙන් පසු කොල්වින්ට සිවුරු පොරවා පන්සලක සැඟවී සිටීමට සැලසීමය. ටික දිනකට පසුව මා ලයියා සමඟ සංඝාරාමයේ සිටියදී කොල්වින් තවත් අයකු සමඟ එහි පැමිණියේය. මේ තැනැත්තා වැන්ඩබෝනා බව පසුව මම දැන ගතිමි.  

අපේ වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහු සූදානම් යයි කියා කොල්වින් මට කීවේය. පොහොයකට පසු දිනය ඔහු යෝජනා කළේය. දහවල් ආහාර විවේක වේලාවේදී මුදල් රැගෙන පිටතට පැමිණ තැප්‍රොබේන් හෝටලය අසලදී මා හමුවන ලෙසට මම කොල්වින්ට කීවෙමි. මේ අනුව එකඟවූ දින ප.ව. 1.00ට පමණ මම තැප්‍රොබේන් හෝටලය අසල පසුවුණෙමි. කොල්වින් එල්ලාගෙන යන බෑගයක් රැගෙන එහි පැමිණ ඔහු ළඟ මුදල් ඇති බව මට කීවේය. ඊලඟට මම කුලී රථයක් ගෙන කොල්වින් බම්බලපිටියට ගෙන ගියෙමි.

බම්බලපිටියේදී අපි බැස කුලීරථ මාරුකොට ගතිමු. එහි සිට අප නුගේගොඩට ගොසින් වෙනත් කුලී රථයකට මාරුවී දෙල්කඳට ගොස් චන්ද්‍රක්කාගේ නිවසට යාර 150ක් පමණ ඈතින් බැස්සෙමු. අපි චන්ද්‍රක්කාගේ නිවසට ගොස් බෑගය චන්ද්‍රක්කාගේ භාරයේ තැබුවෙමු. එහි බෝම්බ අඩංගු නිසා එයින් ප්‍රවේශම් වෙන ලෙසට මම ඇයට කීවෙමි. එහි සිට මම කොල්වින් සංඝාරාමයට එක්කරගෙන ගියෙමි. එහිදී ගරු සෝභිතගේ සහයෝගය ඇතිව කොල්වින්ගේ හිස බූගා, සිවුරු අන්දවන ලදි. ඔහු ඔහුගේ කලිසම් මාරු කරනවිට කොල්වින් ඔහුගේ සාක්කුවල තිබුණු රු. 1,000/} ක් මට දුන්නේය. මේ රු. 1,000/} න් රු. 500/} ක් මම කොල්වින්ට දුනිමි. මා කොල්වින් ගරු ආරියරත්න තෙරට හඳුන්වා දී හාමුදුරුවන් ඔහු හලාවතට එක්ක ගොස් එහි සඟවා තබා ගනීවි යයි කියා මම කොල්වින්ට කීවෙමි. අප විප්ලවය පටන්ගත් විට අප ඔහු සඳහා එන්නේයයි කියා මම කොල්වින්ට කීවෙමි. ඊලඟට මම චන්ද්‍රක්කාගේ නිවසට ගොස් බෑගය ලබාගෙන එය සංඝාරාමයට ගෙනවිත් කාමරයට වී තනිවම මුදල් ගණන් කළෙමි. එහි රු. 57,000/} ක් විය. මම කාමරයේ තිබුණු කබඩ් එකක මුදල් දමා කාමරය වසා විජේවීර  එනතුරු බලා සිටියෙමි.

ඊලඟට විජේවීර  පැමිණියේය. මා ළඟ තිබුණු මුදල් ගැන ඔහුට කීවෙමි. නුවරඑළියේ කපිලට ප්‍රවේශම්ව තබා ගැනීම සඳහා රු. 10,000/} ක් දීමට හා අනුර කුරුකුලසූරියට රු. 2,000/} ක් දීමට විජේවීර  මට කීවේය. විද්‍යෝදයෙහි ඉගෙනගන්නා විෙජ්වීරගේ ඥාති සොහොයුරෙකු වූ පර්සි විෙජ්වීර මා විසින් කැඳවන ලදි. ප්‍රවේශම්ව තබා ගැනීම සඳහා මම පර්සිට රු. 5,000/} ක් දුනිමි. තුවක්කු මිලයට ගැනීමට හා බෝම්බ සෑදීම සඳහා පොඩි අතුලට ඔහුට අවශ්‍ය කරන ප්‍රමාණයක් මුදල් දෙන ලෙස ඔහු මට කීවේය. මේ මුදල්වලින් සුසිල් වික්‍රමරත්නට රු. 1,000/} ක්ද, පොඩි අතුලට රු. 30,000/} ක පමණද පියසිරිට රු. 8,000/} ක් ද මම දුනිමි. පොඩි අතුලට දෙන ලද රු. 30,000/} දුන්නේ රු. 2,000/} සමහරවිට රු. 3,000/} යන කොටස් ගෙවීම්වලිනි. ලොකු අතුලටද මම රු. 500/} ක් දුනිමි. බැංකුවෙන් මුදල් සොරකම් කිරීමට පෙර 1971 ජනවාරි මාසයේ දිනකදී ලොකු අතුල මට රයිපල් තුවක්කු දෙකක් දුන්නේය. මේ රයිපල් තුවක්කු මා මුනිදාස රාජාගේ ගෙදර තබන ලදි. මාර්තු මාසයේ දිනක ලොකු අතුලගේ උපදෙස් පිට මිල්ටන් පැමිණ රයිපල් තුවක්කු දෙක ගෙන ගියේය. එක රයිපල් තුවක්කුවක් සනත්ටද අනෙක ඔස්මන්ඩ්ටද අතුල දුන් බව මම පසුව දැන ගතිමි...................

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook