වෛද්‍ය රුවන් එම් ජයතුංග
ළමා ලිංගික අපයෝජනය බරපතල ගැටලුවක් බවට පත්ව ඇති අතර, ආගමික ආයතන තුළ ශාරීරික හා ලිංගික අපයෝජනයට ලක්වන ළමුන් සංඛ්‍යාව ඉහල අගයක් ගනියි. මෑත දශක කිහිපය තුළ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ බුද්ධාගම ඇතුළු විවිධ ආගමික මධ්‍යස්ථාන වලින් ළමා ලිංගික අපයෝජන වාර්තාවී තිබේ. එවැනි විෂමාචාර පිළිබඳ වාර්තා මතු වීමේදී මෙම ආගමික සංවිධාන තුළ නායකත්ව භූමිකාවන්හි සිටින පුද්ගලයෝ සිදුවීම් සඟවා හෝ විමර්ශනවලට බාධා කිරීමට ඔවුන්ගේ අධිකාරිය භාවිතා කර, අපරාධකරුවන්ට ගැලවී යාමට ඉඩ සලසා දී ඇත.
ළමා ලිංගික අපයෝජන වින්දිතයින්ට පමණක් නොව සමස්ත සමාජයටම ප්‍රතිවිපාක ඇති කරයි. එවැනි අපයෝජනයට ලක් වූවන් බොහෝ විට දැඩි මානසික කම්පනයකට මුහුණ දෙන අතර, එය කාංසාව, මානසික අවපීඩනය සහ පශ්චාත් කම්පන ආතති ආබාධ ඇතුළු විවිධ ආකාරවලින් ප්‍රකාශ විය හැකිය. මෙම මානසික සෞඛ්‍ය ගැටළු සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමට, අධ්‍යාපනය ලබා ගැනීමට සහ වැඩිහිටි වියේදී ස්ථාවර රැකියාවක් පවත්වා ගැනීමට ඇති හැකියාවට බාධා කළ හැකි අතර එය විශම චක්‍රයක් බවට පත්වේ. ලිංගික අපයෝජනයන්ට ලක්වූ පුද්ගලයන් අතර පසුකාලීනව මත් ද්‍රව්‍ය භාවිතය, ගෘහස්ථ ප්රචණ්ඩඩත්වය, දිවි නසා ගැනීම් වාර්තා වී ඇත.
වතිකානුව සහ ළමා ලිංගික අපයෝජන
වතිකානුව ළමා ලිංගික අපයෝජන චෝදනා පිලිබඳ දරන ලද ස්ථාවරය මතභේධයට මෙන්ම විවේචන වලට බඳුන් වී තිබේ. වතිකානුව බොහෝ විට වින්දිතයින්ගේ සුභසාධනයට වඩා එහි කීර්ති නාමයට සහ ආයතනික අඛණ්ඩතාවයට ප්‍රමුඛත්වය දී ඇති ආකාරය විස්තර කරන බොහෝ වාර්තා ඇත. අපයෝජන චෝදනා ලැබූ පූජක සාමාජිකයින් නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීම වෙනුවට විවිධ පල්ලිවලට නැවත පත් කරන ලද අවස්ථා මෙහිදී පෙන්වා දිය හැකිය. එසේම ළමා අපයෝජන වසන් කිරීමේ රටාවක් විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම ක්‍රියාව ළමා අපයෝජක පූජකයන්ට තමන් ගේ අනිසි ක්‍රියා හැසිරීම දිගටම කරගෙන යාමට ඉඩ සැලසුවා පමණක් නොව වින්දිතයින්ට යුක්තිය ලබා දීම අතපසු කරන ලදි. මේ නිසා වතිකානුව තුල පූජකයන් විසින් සිදු කරන ළමා ලිංගික අපයෝජන පිලිබඳව විනිවිදභාවයකින් ක්‍රියා කිරීම සහ සහ වගවීම නීති ආයතන විසින් පෙන්වා දී තිබේ.
NBC News විසින් කරන ලද හෙළිදරව්ව
NBC News විසින් කරන ලද පුළුල් විමර්ශනයකින් ලොව විශාලතම පෙන්තකොස්ත නිකාය වන Assemblies of God තුළ සිදුවූ ළමා ලිංගික අපයෝජන වසන් කිරීම් පිළිබඳ ඉතිහාසයක් අනාවරණය වී තිබේ. මෙම පරීක්ෂණයෙන් වින්දිතයින් 475 කට වැඩි පිරිසකට අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැතිවරුන් සහ පල්ලියේ නායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ළමුන් වේ. බොහෝ අවස්ථාවන්හිදී, පල්ලියේ බලධාරීන් අපයෝජන හැසිරීම් පිළිබඳව දැන සිටියද, මෙම පුද්ගලයින් අධිකාරියේ භූමිකාවන්ට මාරු කිරීම මිස ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැත.
පාස්ටර් රොබට් මොරිස් විසින් සිදු කරන ලද ළමා ලිංගික අපයෝජනය
ටෙක්සාස් හි සවුත්ලේක් හි ගේට්වේ පල්ලියේ ආරම්භක දේවගැති රොබට් මොරිස් සම්බන්ධ ළමා ලිංගික අපයෝජන නඩුව, එක්සත් ජනපදයේ පල්ලියක් තුළ ආයතනික වසන් කිරීමේ සිදුවීමක් හෙළිදරව් කර ඇත. අපයෝජනය ආරම්භ වූයේ 1982 නත්තල් රාත්රියේදී එවකට එවැන්ජලිස්තවරයෙකු වූ 21 හැවිරිදි මොරිස්, ඔක්ලහෝමා හි හොමිනි හි ඇගේ පවුලේ අය සමඟ රැඳී සිටියදී 12 හැවිරිදි සින්ඩි ක්ලෙමිෂයර් අපයෝජනය කිරීමෙනි. ඇය අවසානයේ 1987 දී (වයස අවුරුදු 17 දී) ඇගේ දෙමාපියන්ට සහ පල්ලියේ නායකයින්ට මෙම අපයෝජනය හෙළි කළාය. අවාසනාවකට මෙන්, පල්ලිය නීතිය ක්‍රියාත්මක කිරීම නොකර සිද්ධිය යට ගසා කෙටි කාලයක් තුළ මොරිස්ට නැවත දේවසේවයට යාමට ඉඩ සැලසීය. ඔක්ලහෝමා නීතිපති කාර්යාලය විසින් කරන ලද සම්පූර්ණ විමර්ශනයකින් පසුව, ජූරි සභාවක් විසින් මොරිස්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන ලද අතර, 2025 ඔක්තෝබර් 2 වන දේවගැති රොබට් මොරිස් වරද පිළිගත්තේය. ඔහුට වසර 10 ක අත්හිටවූ සිර දඬුවමක් ලැබුණි.
කුඹකෝණම් හින්දු කෝවිලේ ළමා ලිංගික අපයෝජන නඩුව
මෑත වසරවලදී, හින්දු කෝවිල් තුළ සිදුවන ළමා ලිංගික අපයෝජන සිදුවීම් පිළිබඳ වාර්තා ලැබී ඇති අතර, විශේෂයෙන් කැපී පෙනෙන සිද්ධියක් 2026 දී තමිල්නාඩුවේ කුඹකෝණම් වෙතින් වාර්තා විය. තිරුවාලංචුෂි හි කෝවිලක් තුළ 13 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති 75 හැවිරිදි කෝවිල් පූජක විශ්වනාත අයියර් මෙහිදී අත් අඩංගුවට පත් විය. සම්පූර්ණ විමර්ශනයකින් පසුව, පොලිසිය චෝදනාවල වලංගුභාවය තහවුරු කළ අතර, මේ වන විට කෝවිල් පූජක විශ්වනාත අයියර් නීතිය හමුවට ගෙන ගොස් තිබේ.
13 හැවිරිදි සිසුවෙකු වන එම්.එස්. මුසාබ්ගේ මරණය
අම්පාර දිස්ත්‍රික්කයේ දිග හැරුණු සයින්දමරුතු මද්රසා නඩුව, නේවාසිකාගාර පහසුකම් සහිත පෞද්ගලික මද්‍රසාවක අබිරහස් ලෙස මිය ගිය 13 හැවිරිදි සිසුවෙකු වන එම්.එස්. මුසාබ්ගේ ඛේදජනක මරණය වටා කේන්ඳ්රගත වේ. පාසල විසින් සියදිවි නසා ගැනීමක් ලෙස මුලින් වාර්තා කරන ලද නමුත්, දැඩි සැකයෙන් පෙලඹුණු ප්‍රදේශවාසීන් එම පරිශ්‍රය වැටලීමක් සිදු කළ විට තත්වය තවත් උග්‍ර විය. පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් මුසාබ් ගෙල සිරවීමෙන් සහ ශ්වසන අපහසුතාවයෙන් මිය ගොස් ඇති බව තීරණය වූ අතර එය මිනීමැරුම් පරීක්ෂණයකට තුඩු දුන්නේය. මවුලවි ලෙස හඳුන්වන විදුහල්පතිවරයා මෙහිදී අත් අඩංගුවට පත් විය.
පහළගම සෝමරතන නඩුව
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුවක් වන පහළගම සෝමරතන එක්සත් රාජධානියේ දී දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු කරන ලදී. 2012 මැයි මාසයේදී ලන්ඩනයේ අයිල්වර්ත් ක්‍රවුන් අධිකරණය විසින් ලිංගික අපයෝජන චෝදනා හතරකට ඔහු වැරදිකරු බව තීරණය කරන ලදී. අධිකරණය ඔහුට වසර හතක සිර දඬුවමක් නියම කළ අතර ජීවිතාන්තය දක්වා ලිංගික අපරාධකරුවෙකු ලෙස ලියාපදිංචි කරන ලද චූදිතයෙකි. පහළගම සෝමරතනට දරුවන් සමඟ වැඩ කිරීම ඔහුට තහනම් කරන ලදි. එසේ තිබියදීත්, සෝමරතන ශ්‍රී ලංකාවට නැවත පැමිණ ගම්පහ ප්‍රදේශයේ ළමුන් සඳහා පන්සලක් සහ ඉරිදා පාසලක් පවත්වාගෙන යයි. ශ්‍රී ලාංකික බලධාරීන් ළමා ලිංගික අපරාධකරුවෙකු ලෙස උසාවිකින් නම් කොට තිබෙන පහළගම සෝමරතන පිලිබඳව මුණිවත රකිති.
නාඔටුන්නේ විජිත
ශ්‍රී ලංකාවේ ප්රමුඛ බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත, ළමා ලිංගික අපයෝජනය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජූරි සභාවක් විසින් වරදකරු කරන ලදී. ඔහු 1994 දී ඕස්ට්‍රේලියාවට පැමිණියේ මෙල්බර්න්හි ධම්ම සරණ බෞද්ධ විහාරස්ථානය මෙහෙයවීම සඳහා වන අතර ළමුන් සඳහා ඉරිදා පාසල් වැඩසටහනක් ආරම්භ කරන ලදි . 1994 සිට 2002 දක්වා වසර අටක් පුරා නාඔටුන්නේ විජිත දහම් පාසල් ළමුන් අපයෝජනය කරන ලදි. වසර ගණනාවක නිශ්ශබ්දතාවයකින් පසු, වින්දිතයින් තම අත්දැකීම් වික්ටෝරියා පොලිසියට වාර්තා කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2023 අගෝස්තු මාසයේදී නාඔටුන්නේ විජිත අත්අඩංගුවට ගන්නා ලදී. 2025 ඔක්තෝබර් 30 වන දින ජූරි සභාව විසින් ළමා ලිංගික අපයෝජන චෝදනාවලට ඔහු වැරදිකරු බව තීරණය කරන ලදී.
පල්ලේගම හේමරත්න නඩුව
බාල වයස්කාරියකට ලිංගික අපයෝජනය කිරීමේ බරපතල චෝදනාවලට මුහුණ දී සිටින 71 හැවිරිදි අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න චෝදනා ලබා සිටින අතර 2026 මැයි 22 වන දින, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රුපියල් 100,000 ක මුදල් ඇපයක්, රුපියල් මිලියන 5 බැගින් වූ ඇප දෙකක් සහ විදේශ ගමන් සඳහා දැඩි තහනමක් ඇතුළත් කොන්දේසි යටතේ ඇප ලබා දෙන ලදි.
ආගමික පූජකයන් ළමුන් ලිංගිකව අපයෝජනය කරන්නේ මන්ද ?
පූජක පක්ෂය විසින් ළමයින් ලිංගිකව අපයෝජනය කිරීම ගැඹුරු ප්‍රශ්න මතු කරයි. පූජකයෝ බොහෝ විට ළමුන් ඉලක්ක කරන්නේ ඔවුන් පහසු ගොදුරු නිසාවෙනි. එසේම පූජකයන් කෙරෙහි සමාජය දක්වන විශ්වාසය මෙන්ම ආගමික ආයතනවල බල ගතිකයද මෙහිදී අපයෝජක පූජකයන්ට ආවරණයක් වෙයි. මෙවැනි සිදුවීම් වලදී බොහෝ ආගමික සංවිධාන කරන්නේ අපයෝජකයා බේරා ගැනීම සහ සිද්ධීන් යටපත් කිරීමය. මෙයද අපයෝජකයන්ට වාසිදායක පරිසරයක් සපයයි. පොලිසිය මෙන්ම යුක්තිය පිලිබඳ ආයතනද පූජක බලය හමුවේ දුර්මුඛ වීම බොහෝ විට දකින්නට ලැබෙන සිදුවීමකි.
ළමා අපයෝජක පූජකයන් ගෙන් ළමුන් බේරා ගැනීම
ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කිරීම සහ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සමාජය මෙන්ම දෙමාපියන් සහ ආගමික ආයතන සාමූහිකව පියවර ගත යුතුය. ඒ සඳහා කළ අපයෝජන සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම, සුදුසු සහ නුසුදුසු ස්පර්ශයන් පිලිබඳ දරුවන් දැණුවත් කිරීම, අකමැති ස්පර්ශයන්ට "එපා" යැයි පැවසීමට දරුවා ධෛර්යමත් කිරීම, දරුවා සමග යහපත් සන්නිවේදනයක් පවත්වාගෙන යාම සහ ඕනෑම ගැටලුවක් බිය නැතිව පැවසිය හැකි පරිසරයක් නිවසේ නිර්මාණය කිරීම, දරුවාගේ හැසිරීම්වල හදිසි වෙනස්වීම් (භීතිය, හුදෙකලාවීම) ගැන සැලකිලිමත් වීම , නිරන්තරයෙන්ම දරුවා පිලිබඳ අවධානය, ආගමික ආයතනවල සේවකයන් සහ පූජකයන්ගේ පසුබිම නිසි ලෙස සොයා බැලීම අපයෝජනයක් සිදු වූ විට හෝ සැකයක් ඇති විට වහාම අදාල ආයතන වලට දැණුම් දීම මේ අතර වෙයි.
දෙමාපියන් විසින් අසීමාන්තිකව ආගමික පූජකයන් කෙරෙහි දක්වන විශ්වාසයද ළමා අපයෝජන සඳහා දොරටු විවෘත කරයි. මේ නිසා ආගමික මධ්‍යස්ථාන වල ගැවසෙන තමාගේ ළමයා පිලිබඳ නිරන්තර අවධානය ළමා අපයෝජක පූජකයන්ට ළමුන් ගොදුරු කර ගැනීම වලක්වාලයි.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments