Rabu, 2 Ogos 2017

මානසික රෝගියාගේ පරිකල්පනය

මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගීන්ගේ මනැස් තුළ කවර ආකාරයේ වියෝජනයක් සිදු වන්නේ දැයි වරක් ෆිලඩෙලිපියාවේ කෝට්ස්විල් මනෝ ප‍්‍රතිකාර රෝහලේ සායනික මනෝ විද්‍යාඥ එමී විල්ස් සමඟ මා ගැඹුරු සංවාදයක යෙදුනෙමි. එම මානසික ප‍්‍රතික‍්‍රියාවල මනෝ රසායනික පාර්ශ්වය මෙන්ම දාර්ශනික පාර්ශ්වයද අපගේ විමසුමට ලක් වූ බව කිව යුතුය. වින්සන්ට් ලංකාතිලක යනු හුදු මනඃකල්පිත චරිතයකි. එම චරිතය වඩාත් සංකීර්ණව ගොඩ නගා ගැනීමට මට ආචාර්ය එමී විල්ස්ගේ සංවාදය උපකාරී විය. එම සංවාදය විසින් ඇති කරන ලද බුද්ධි කලම්බනය වින්සන්ට් ලංකාතිලක චරිතය නිර්මාණය කරන ලදී.
වින්සන්ට් ලංකාතිලකගේ ගේ චින්තනය නිරවුල් නැත. අසමවාය චින්තනය සහ කථනය ඔහු තුලින් දක්නට ලැබේ. ඇතැම් විට සිතුවිලි දෝංකාරය නිසා ඔහු සිතුවිලි වචන වලට පරිවර්තනය කරයි. එහි බොහෝ විට තර්කානුකුලබවක් නොමැති සෙයක් හැඟුනත් මානසික රෝගීන් වඩාත් යථාර්තයට සමීප වෙති යන කියම සනාථ කිරීමට දෝ ඔහු ඇතැම් අවස්ථාවල තර්කානුකුල විශ්ලේෂණයන් මානව සමාජය හදාරා පවසයි. මෙම චරිතය ගොඩනැගීමට මට ජිවත්වන හෝ මියගිය පුද්ගලයෙකුගේ ජිවිත කතාව යොදාගැනීමට අවශ්ය වුයේ නැත. නමුත් අංගොඩ මානසික රෝහලේදී සහ ෆිලඩෙල්ෆියාවේ කොට්ස්විල් රෝහලේ මට හමු වූ මානසික රෝගීන්ගේ කථන සහ චින්තන විලාශය වින්සන්ට් ලංකාතිලක චරිතය ගොඩ නැගීමට උපකාරී වූ බව නම් සත්‍ය ය. එසේම ටොරොන්ටෝහි නොර්ත් යෝර්ක් ජෙනරල් රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගෝරාන් එරෙවැක් , සායනික මනෝ විද්‍යාඥ හාවර්ඩ් වයිසර් , යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බර්නාඩ් ප්‍රොලොක්ස් යනාදීන් සමග කළ සංවාදයන් මගින් ලබාගත් දැනුමද වින්සන්ට්ගේ මානසික ස්වභාවය , සිතුවිළි ගමන් කිරීම චින්තනය සකස් කිරීමට උපකාර විය.
චිත්ත ව්‍යාධියකින් පෙලෙන මිනිසෙකුගේ මනසේ අභ්‍යන්තරයේ සිට ගලා යන සිතිවිලි ධාරාව සාහිත්‍යයමය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට ගත් වැයමක් ලෙස වින්සන්ට් ලංකාතිලකගේ කතාව හැඳින්විය හැකිය. වින්සන්ට් ලංකාතිලකව විනිශ්චය නොකරන්න. නමුත් ඔහුට සවන් දෙන්න

වෛද්‍ය රුවන් එම්. ජයතුංග

3 ulasan:

  1. වින්සන්ට් ලංකාතිලක යන නම නිර්මාණය කළේ කොහොමද?

    BalasPadam
    Balasan
    1. බටහිර නමක් ලාංකික නමක් සංකලනයෙන්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook