Jumaat, 22 Januari 2016

එදා අපිට පෙනුනෙ ඔබව ......




නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මම ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේ සේවය කලෙමි. වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා ගේ නීති තදය​. නිසි වේලාවට වාට්ටුවට පැමිණිය යුතුය​. රෝගීන් ගැන මනා සේ දැනගෙන සිටි යුතුය​. සෙල්ලම් කල නොහැක​. මේ හේතුවෙන් ඒ කාලය හිරේ ගියාක් මෙන් මට දැනුනේය​. කාල වේලාවට ප්‍රථම වාට්ටුවෙන් මාරු වීමට අපට අවකාශ නොවීය​. රණතුංග මහතා හිටි හැටියේ අන්තිම මිනිත්තු දෙකේද වාට්ටුවට එයි. කොරිඩෝවේ ඔහු එනු දකින අප සීතල වෙමු. අප සැනසුම් සුසුම් හෙලන්නේ ඔහු පිටත්ව යාමෙන් පසු ය​. 

වෛද්‍ය  රණතුංග රෝගීන් ගැන කෙස් ගහට දැන සිටි හෙයින් ඔහුට බොරු කිරීම කල නොහැක්කකි. එම නිසා අප රෝගීන්ගේ රෝග විස්තර ඉතිහාසය පොතේ ආකාරයටම ගත්තෙමු. ඔහු අපගේ ඇඳුම ගැන පවා විමසිලිමත් වෙයි. නවක දොස්තරවරු මනා සේ ඇඳ පැලඳ සිටි යුතුය​. දිවා රාත්‍රී වූවද කම් නැත​. 

 නාරි හා ප්‍රසව සායනයට රත්තොටින් වතු වල වැඩ කරන ද්‍රවිඩ  කාන්තාවන් ද එති වරක් එසේ පැමිණි කාන්තාවක් " රෙන්නතුංග මාතියාගේ ක්ලිනික් කෝද තීනවා " කියා මගෙන් ඇසීය​. මම තොල් සපාගෙන ඇයට සායන කාමරය පෙන්නුවෙමි. රණතුංග මහතා සිටින ඉසව්වක සිනහ වීමටද නොහැක​. 

ඒ කාලයේ මට දොර​ දෙකේ නිසාන් මාච් කාරයක් තිබුණි. නිර්වින්දන වෛද්‍යවරයාද කාර් ලෝලියෙකි අප ශල්‍යකර්මයක් කරන අවස්ථාවක නිසාන් මාච් කාර් ගැන කතා කරමින් සිටියෙමු. ශල්‍යාගාරයේ කතා කිරීම නිසා දඞුවමක් ලෙස  වෛද්‍ය  රණතුංග මහතා මාව එළියට දැමීය​. 

වෛද්‍ය  රණතුංග  මහතා ඉතා කලතුරකින් නිවාඩු යයි. එදිනට අපට කානිවල් ය. 

"  සර් කෑගැහුවට බැන්නට හිතේ කහටක් තියාගෙන නෙවෙයි කියන්නේ "  කියා ලේබ රූම් එකේ අමරා මිස් අපට පවසන්නේ නිතරම  බැනුම් අසන අපගේ සිත් සැදීමටය​. 

 "අපරාදේ පිඩියෑට්‍රික්ස් කරන්න තිබුන වෙලාවේ ඒකට යන්නේ නැතිව ජින් අැන්ඩ් ඔබ්ස් කරන්න ආවා . ඉල්ලං කෑවා වගේ " එක් ඉන්ටර්න්වරයෙක් කියයි. 

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා යටතේ මාස හයක් සීමාවාසික පුහුණුව ලබා එකී පුහුණුව අවසන් කිරීමෙන් පසු අපට මහත් සහනයක් දැණුනි. එය​ කමාන්ඩෝ කෝස් එක නිම කලා වැනිය​.  

වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා  දරදඞු පාලකයෙකු සේ පෙනුනද පසු කාලයක මට පෙනී ගියේ එ් වෛද්‍ය විනය ඉගැන්වීම සඳහා ගත් පියවරක් ලෙසටය​. එසේම එතුමා අපව දැණුමින් සන්නද්ධ කලේය​. ඒ ඉගැන්වීමේ වටිනාකම මට වැටහුනේ මුල් පත්වීම ගෙන ග්‍රාමීය රෝහලකට ගිය මුල් දිනයේදීය​. එම මුල් දවසේම දරුවෙකු ප්‍රසූත කල මවකගේ ගර්භාශයේ වැදෑමහ හිර විය​. රෝගියා  මාරු කර යැවීමටද ගිලන් රථයක් නොවීය​. මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා අපට පුහුණු කල පරිදි අත දමා සිරවූ වැදෑමහ සෙමෙන් සෙමෙන් ගත්තෙමි. එය ඉතා අසීරු ක්‍රියාවකි. යම් ලෙසකින් ගර්භාශය කණපිටගියේ නම් කාන්තාව ලේ වහනය වීමෙන් මිය ඇදෙනු ඇත​. නමුත් මා නිසි පරිදි එය ගත් නිසා ගැටළුවක් හට ගත්තේ නැත​.  මේ නිසා අළුතින්ම පත්වීම ගෙන ග්‍රාමීය රෝහලට ගිය මගේ කාඩ් කුඩු නොවීය​. අළුත් වෛද්‍යවරයා යමක් කමක් දත්තෙකු ලෙස කාර්‍ය මණ්ඩලය ඉදිරියේ වෘත්තීය ගරුත්වය ආරක්‍ෂා කර ගත්තේය​. 

 රළු වෙස් මුහුණක් දමාගෙන සිටියද වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතාගේ සිත බොහෝ විට උණු වේ.  අප සමග සිටි එක් ඉන්ටන්වරයෙකු හිතුවක්කාරයට කසාද බැඳ තිබුන නිසා ඔහුට දෙමාපියන් ගෙන් උදව් පදව් නොවීය​. ඔහුගේ බිරිඳ ගේ දරු ප්‍රසූතිය කරන ලද්දේ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා විසිනි. එසේම දරුවා ඉපදුනු පසු අවශ්‍ය කෙරෙන දේ ගැනීමට රණතුංග මහතා එම  ඉන්ටන්වරයාට මුදල් ද දුන්නේය​. 

සීමාවාසික පුහුණුවෙන් පසු අප වෛද්‍ය රණතුංග මහතා ගෙන් මිදී ගියෙමු. පසු කාලයක පරිණත වෛද්‍යවරුන් ලෙස අප එතුමා මුණ ගැසුනු විට ඉතා දයාන්විතව අප සමග එතුමා සංවාදයේ යෙදුනේය​. ඒ කාලයේ අපට සැර පරුෂ මුහුණක් පෙන්වාගෙන සිටින ලද්දේ අප නිසි මග යැවීමට  බව අප වටහා ගත්තෙමු. අද අපට එතුමාව පෙනෙන්නේ දෙවියකු ලෙසටය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග





නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග මහතා තම ධනය වැය කරමින් බදුරලියේ ගොඩනංවන ලද සෑය​. චායාරූපයේ මැද සිටින්නේ ඒ මහතාය​. 


21 ulasan:

  1. ඔබේ ලිපිය මෙවන් උතුමන්ට හොඳ උපහාරයක්. ඔහු තවම ජීවත්ව සිටිනවා නම් මෙය ප්‍රින්ට් කර ඔහුට තැපැල් කරන්න.

    BalasPadam
  2. ඔය වගේ රළු ගුරුවරු බොහෝ දෙනෙක් ඔහොම තමයි...

    මේ ලිපිය ඔහු වෙනුවෙන් ඔබ කල වටිනා උපහාරයක් ..

    BalasPadam
    Balasan
    1. විභීෂණ රළු දියමන්ති වගේ

      Padam
  3. Nice one. Being strict and being tough are two different things, which we tend to misunderstand.

    BalasPadam
  4. මේ ලිපියනම් සිඩ්නි සලුවඩන අයියට දිරවන එකක් නැහැ. මිනිහ මේ දෙක වසර ගුරුවරයෙක් කරපු තරවටුවත් හිතේ තියන් මේ නහින දෙහින කාලෙත් පැසව පැසව ඉන්නවනේ!

    BalasPadam
    Balasan
    1. කවුද සිඩ්නි සලුවඩන අයිය කියන්නේ

      Padam
  5. මාතෘකා කෑල්ල දැක්කා ම හිතුවේ ජාතියේ අප්පච්චි ගැන කියනවා කියලයි.

    BalasPadam
  6. ඉන්ටර්න්ලාට කරුණාවන්තව උගන්වන ස්පෙෂලිස්ට් කෙනෙකු ළඟ හිටියා නම් සාස්තරේ පිහිටන්නේ ම නැද්ද?

    BalasPadam
    Balasan
    1. මේ ලිපියනම් සිඩ්නි සලුවඩන අයියට දිරවන එකක් නැහැ. මිනිහ මේ දෙක වසර ගුරුවරයෙක් කරපු තරවටුවත් හිතේ තියන් මේ නහින දෙහින කාලෙත් පැසව පැසව ඉන්නවනේ!

      Padam
    2. කරුණාවන්තව උගන්වන ස්පෙෂලිස්ට් කෙනෙකු මට තාම හමුවී නැත​. කරුණාවන්ත අය උගන්වන්නේ නැත ඔවුන් තම පී පී එක ගැන සිතති

      Padam
  7. Remembered some phrases that written on class room walls those days in Trinco Navy Academy. . When going gets tough.. tough gets going.. also more you sweat on training.. less you bleed in war. A nice tribute to a smart instructor 😊

    BalasPadam
    Balasan
    1. more you sweat on training.. less you bleed in war +++++++++++++++++++

      Padam
  8. අර මව බේරාගන්න දරන ලද උත්සාහයේදී මව මියගියානම්, එය අත්වැරැද්දක් ලෙසද වෛද්‍ය නොසැලකිල්ල ලෙසද සලකන්නේ. මා හිතනවා එසේ කිරීම බොහොම අවදානම් ක්‍රියාවක් කියා, කොතරම් සද්භාවයෙන් කලත්.

    BalasPadam
    Balasan
    1. අර මව බේරාගන්න දරන ලද උත්සාහයේදී මව මියගියානම්, එය අත්වැරැද්දක් ලෙස + වෛද්‍ය නොසැලකිල්ල ලෙස වාර්තා වෙනවා, අපට කිසිම පහසුකමක් නොතිබුනු බව සැලකිල්ලට ගන්නේ නැහැ

      Padam
  9. ගරු කටයුතු ගුරුවරයෙක් වගේම වෙදදුරෙක්.එතුමන් ඇතුලු සැබෑ ගුරු පරපුරට මෙය උපහාරයක් ම වේවා..!!
    ජයවේවා..!!

    BalasPadam
  10. ඔහු හොද ගෝල පරම්පරාවක් හදන්න ඇති. ඒක විශ්වාසයි.. මට රණතුංග මහත්තයා ගැන කියෙව්වම මතක් උනේ සිඩ්නි ෂෙල්ඩන්ගේ පොතක හිටපු ඩොක්ටර් බේකර්..

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook