Sabtu, 16 Januari 2016

සෝවියට් යුදෙව්වෝ


                                      


විනිට්සා වෛද්‍ය පීඨයේ සිසුවියක වන තත්‍යානා චායිකා රූමත් ය​. එහෙත් ඇයගේ කොණ්ඩයේ පැහැය කළුය​. හිස්ටොලොජි හෙවත් පටකවේදය දේශන වලදී ඇය මා අසලින්ම වාඩිවී සිටියාය​.  තත්‍යානා චායිකා  මා සමග සාමීචීයේ යෙදුනේ ඉංග්‍රීසි බසිනි. අනෙක් සෝවියට් සිසු සිසුවියන්ට සාපේක්‍ෂව ඇයගේ ඉංග්‍රීසි දැණුම ඉහලය​. ඉංග්‍රීසි දැණුම ලබා ගැනීම පිණිස තමා රාදියෝ සබෝදා ඉංග්‍රීසි සේවයට සවන් දෙන බව ඇය මට වරක් රහසින් කීවාය​. රාදියෝ සබෝදා ගුවන් විදුළි සේවයට සවන් දීම තහනම් ය​. එය ප්‍රචාරණය කරන්නේ බටහිර ලෝකයේ සිටය​. ඇය එවැනි රහසක් මට කීවේ මා කෙරෙහි ඇති විශ්වාසය නිසා බව මට සිතුණි. 

" මේ සෙනසුරාදා හොඳ ජීඩීආර් (නැගෙනහිර ජර්මානු) චිත්‍රපටයක් තියෙනවා බලන්න යමුද ? ඇය ඇසුවාය​. නැගෙනහිර ජර්මානු චිත්‍රපටය මට රුචි නැත​. එහෙත් ආරාධනාව එකවර ප්‍රතික්ශේප කිරීම සුදුසු නැති නිසා එදින මම ඔලෙග් ගේ නිවසට යන බව කීවෙමි. ඔලෙග් වෛද්‍ය පීඨයේ එක් දෙපාර්තමේන්තුවක සේවය කල තරුණයෙකි. ඔහු රොක් සංගීත ලෝලයෙකි. කැසට් ඉල්ලා ගැනීම පිණිස නිතරම මා හමු වීමට එයි. ඔලෙග් මගේ මිතුරෙකු බව ඇය දන්නීය​. 

විරාමයේදී අප දෙදෙනා කැන්ටිමට ගියෙමු. එතැන දිගු පෝලිමකි. කෙසේ හෝ මම තේ කෝප්ප දෙකක් සහ කුඩා ප්‍රමාණයේ පිත්සා දෙකක් මිලට ගත්තෙමි. අප දෙදෙනා කැන්ටිමේ වාඩිවී තේ බොමින් සිටින අයුරු ලූදා බලා සිටියාය​. 

දේශනයෙන් පසු තත්‍යානා තම මව හමු වීම පිණිස මයික්‍රෝ බයලොජි දෙපාර්තමෙන්තුවට ගියාය​. ඇයගේ මව එම දෙපාර්තමෙන්තුවේ කථිකාචාර්‍යවරියකි. මම නේවාසිකාගාරය බලා ගියෙමි. මා පසුපස ලූදා පැමිණියාය​.

" ඔයා දන්නවාද තාන්‍යා ශිද් කෙනෙක් කියලා? ඇය මගෙන් විමසුවාය​. ශිද් යනු යුදෙව් ජාතිකයන් හඳුන්වන අපහාසාත්මක වදනකි. එය සක්කිලියා යන අරුත ගෙන එයි. 

" මට එයාගේ ජාතිකත්වය අදාල නැහැ "මම රළු ලෙස පිළිතුරු දුන්නෙමි. 

" නැහැ මම කිව්වේ ඒක ඔයා දන්නේ නැත්නම් දැනගන්න කියලා " ලූදා පසුබසින ස්වරයකින් කීවාය​. 

යුදෙව්වනට සෝවියට් දේශයේ පවා වර්ගවාදීව සලකනු ලැබීම මා පුදුමයට පත් කලේය​. අපගේ මහාචාර්‍යවරු බොහොමයක් යුදෙව්වෝ වෙති. කායික රෝග මහාචාර්‍ය ශ්ක්ලෙයාර් නැගෙනහිර ලෝකයේ පමණක් නොව බටහිර ලෝකයේද පිළිගැනීමක් ඇති උගතෙකි. ඔහුගේ පියාද මහාචාර්‍ය කෙනෙකි. එසේම මහාචාර්‍ය මිකුනිස් , මහාචාර්‍ය සෙලීන්ස්කි යුදෙව් ජාතියට අයත් වන බව මා දැන සිටියෙමි. මොවුන් උගතුන් ගෙත් උගත්තුය​. 

මහාචාර්‍ය මිකුනිස් පසු කාලයක සෝවියට් දේශය හැර දමා ඊශ්‍රායෙලයට ගියාය​. ඒ වන විට ඇය ඇවිදීමට පවා නොහැකි මහළු වියේ වූවාය​. එහෙත් පොරොන්දුවූ දේශයට තම මරණයට පෙර යාම ඇයගේ අභිලාශය බව පලස්තීන ජාතික සිසුවෙකු වූරයීෆ් මට කීවේය​.

රයීෆ් යුදෙව්වන් පිළිකුල් කරති. "උන් ඔක්කොම යුදෙව්වෝ" ඔහු අපගේ යුදා ජාතික ආචාර්‍යවරුන් වෙත පොදුවේ වෙන් කරමින් පවසයි. රයීෆ් ගේ යුදෙව් විරෝධය මට තේරුම් ගත හැකිය​. පලස්තීන අනාතයෙකු ලෙසට ජෝර්ධානයේ ඊශ්‍රායෙල මිලිටරි බලය සියැසින් දකිමින්  කරදඞු උස් මහත් වූ ඔහුගේ යුදෙව් විරෝධය  ලේ මස් වලටම කා වැදී තිබේ. වරක් ඈතින් එන  මහාචාර්‍ය මිකුනිස්ට " ෂැලොම් ෂැලොම් " කියා ඔහු සමච්චලයට සමාචාර කලේය​. හොඳ වේලාවට මහාචාර්‍ය මිකුනිස්ට එය ඇසුනේ නැත​. 

මගේ කොන්ඩය කපන කරණවෑමී වෝවා යුදෙව්වෙකි. ඔහු මා හැඳින්වූයේ ශ්‍රී ලාංකික මස්සිනා කියාය​. 

" ශ්‍රී ලාංකික මස්සිනා උඹලගේ රටේ යුද හමුදාවක් ඉන්නවද ? ඔහු අසයි. මම හිස් සලමි. 

උඹලගේ රටේ  හමුදාවෙ රොකට් අවි , සබ්මැරීන් , පරමාණු බෝම්බ තියනවද ? ඔහු මගේ හිසකෙස් කපමින් අසයි. 

මගේ ප්‍රතිචාරය අසන ඔහු මෙසේ කියයි. 

අපොයි සබ්මැරීන් එකක්වත් නැති හමුදාව , ඒක හමුදාවක් ද පාණ්ඩුවක්ද ? වෝවා මිත්‍රශීලී ලෙස මට සමච්චල් කරයි. 

හිසකෙස් කැපීමෙන් පසු   මගේ හිසේ ඕඩිකොලොන් ගල්වන ඔහු එය පැරීසියේ නිශ්පාදනයක් කියයි. එහෙත් එය සෝවියට් දේශයේ නිෂ්පාදිත බාල වර්ගයේ  එකකි. එසේම මිලෙන් ද අඩුය​.
" මගේ අදහස කවදා හරි ඊශ්‍රායලයට යන එක වෝවා කියයි. මුන් ( සෝවියට් බලධාරීන්) මාව මෙහෙන් යවන එකක් නැහැ. 

ඒ කාලයේ සෝවියට් යුදෙව්වන්ට ඊශ්‍රායලයට යාම අපහසු විය​. එය ඉතා දීර්ගකාලීන වෙහෙසකර ක්‍රියාවක් විය​. නිලධාරිවාදය විසින් එය තව තවත් දුෂ්කර කොට තිබුණි. ඊශ්‍රායලයට ගිය සෝවියට් යුදෙව්වන් බොහෝ දෙනෙකු එතැනින් ඇමරිකාවට හෝ කැනඩාවට ගියහ​.  නීති රීති ලිහිල් වීමෙන් පසු රුසියන් ජාතිකයන් සමහරක් ද බොරුවට යුදෙව් සම්භවයන් පෙන්වා ඊශ්‍රායලයට ගියෝය​. 


යුදෙව් ජාතික ෂාම්‍ රායි ඔවුන් ගේ යුදෙව් සම්භවය ගැන උදන් අනයි. " නුඹ දන්නවාද සයිමන් සහ ගාෆන්කල් එමෙන්ම බොබ් ඩිලන් යුදෙව්වන් කියා ?  ඔහු මගෙන් අසයි. 

" මම දන්නා පරිදි බාබරා ස්ට් රයිසෑන්ඩ් , බිලී ජොඑල් , ජීන් සිමොන්ස් පවා යුදෙව් " මම ඔහුට පවසමි .

ෂාම්‍ රායි ආඩම්බරයෙන් හිස වනයි. " ඔව් අපේ මිනිස්සු තමයි සෝවියට් දේශයේ න්‍යෂ්ටික බෝම්බ පවා තැනුවේ. සෝවියට් දේශය ආරක්‍ෂා කලේ අපි ඒත් රුසියන්වරු  අපි කොහේ ගියත් අපිව​ කොන් කරනවා. 

ෂාම්‍ රායි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු සෝවියට් ක්‍රමයට අකමැතිය​. ඔහුගේ අභිලාශය කවදා හෝ ඇමරිකාවට යාමටය​. ලීවයිස් ඩෙනිම් ජීන්ස් අඳින මල්බරෝ සිගරට් පානය කරන ෂාම්‍ රායි සිතෙන් බටහිරයෙකි. ඔහු සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයට සිනාසේ. 

"ඒකේ ඉන්නේ හොරු රංචුවක් . උන් අපිට කවදාවත් ඊශ්‍රායලයට යන්න දෙන එකක් නැහැ. අපි ගියොත් සෝවියට් ක්‍රමය කඩා වැටෙනවා" 

මට  න්‍යෂ්ටික විද්‍යාඥ අන්ද්‍රේ සහාරොෆ් සිහිපත් වේ. ඔහුට සෝවියට් දේශයෙන් පිට යාමට බලධාරීන් ඉඩ නොදෙති. එසේම සෝවියට් දේශය ආරම්භක ලෙනින් සමග උරෙන් උර වැඩ කල ලියොන් ටේ‍රොස්කිද යුදෙව්වෙකි. අවසානයේදී ස්ටාලින් ගේ නියෝග මත මෙක්සිකෝවේදී  ඔහුගේ හිසට පොරෝ පහරක් දෙනු ලැබීය​. 

අපෙගේ නේවාසිකාගාරයේ වක්තියෝර්කා හෙවත් මුරකාරිය - සීදරොව්නා නූගත් ගැමි අර්ධ රුසියානු , යූක්‍ර්‍රයීන කාන්තාවකි. ඇය ප්‍රසිද්ධියේම යුදෙව්ව්න්ට පරිභව කරන්නීය​. 

"අපොව් යුදෙව්වෝ ශිද් පහාරයෝ උන්ට අපේ පලාතේ කියන්නේ මලාන්සි කියලා. (මලාන්සි යනු යුදෙව් ජාතිකයන්ට කියන අපහාසාත්මක වදනකි) උන් හරිම අපිරිසිදුයි. එක සැරයක් යුදෙව් ගෙදෙරකින් සුප් බීලා මට තුන් සැරයක් වමනේ ගියා" 

එහෙත් මම දන්නා තත්‍යානා චායිකා ඇතුළු අනෙකුත් යුදෙව්වන් පිරිසිදුය​. උගත් ය. ප්‍රිය මනාප හැසිරීමෙන් යුක්තය​. 

 " මම ලබන වාරයෙන් පසු නැවත වෛද්‍ය පීඨයට එන්නේ නැහැ " දෙවන වසර අවසානයේදී තත්‍යානා චායිකා මට කීවාය​. " මමයි අම්මයි ඊශ්‍රායලයට යනවා" 

" එතකොට ඔයාගේ වෛද්‍ය අධ්‍යාපනය? මම ඇසුවෙමි.

"මම ටෙල් අවිව් වල වෛද්‍ය පීඨයකට යන්න අදහස් කරනවා " ඇය සංවාදය නිම කළාය​. මම ඇයට සුභ පැතුවෙමි. 

තෙවන වසර අරඹන විට තත්‍යානා චායිකා අප අතර නොවූවාය. සෝවියට් දේශයෙන් ගිය පසු ඇයගෙන් කිසිම ලිපියක් මට ලැබුනේ නැත​. එහෙත් මේ කළු කෙස් සහිත යුදෙව් කෙල්ල මට අමතක නොවේ. මේ වන විට ඇය වෛද්‍යවරියකව ඊශ්‍රායලයේ රෝහලක සේවය කරනවා නිසැකය.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

42 ulasan:

  1. යුදෙව්වෝ තමයි ලෝකේ ඉන්න බුද්දීමත්ම මිනිස්සු කියල අපිට ගුරුවරයෙක් ඉගැන්නුවා මතකයි. සමහරවිට මේකෙ අර්ද සත්‍යකුත් තියනවා වගේ.

    BalasPadam
  2. සමාජවාදී සෝවියට් දේශය ගැන නොසිතූ පැත්තක් . මම ලංකාවේ ප්‍රොජෙක්ට් එකක වැඩ කරනකොට ප්‍රධානියා හිටියේ යුදෙව්වෙක්. ඒ මට හමු වූ දක්ෂම ඉදිකිරීම් කළමනාකරුවෙක්

    BalasPadam
    Balasan
    1. සමාජවාදී රුසියාව..?

      "...ලෙනින් සමග උරෙන් උර වැඩ කල ලියොන් ටේ‍රොස්කිද යුදෙව්වෙකි. අවසානයේදී ස්ටාලින් ගේ නියෝග මත මෙක්සිකෝවේදී ඔහුගේ හිසට පොරෝ පහරක් දෙනු ලැබීය​...." ඇයි මේක දැක්කෙ නැද්ද...

      රුසියාව සමාජ වාදී කියාගත්තෙ නිලධාරීවාදී ස්ටලින් වාදියොයි මාවෝ සේතුංල කැස්ත්‍රොල සහ විප්ලව කොරන්නෙ ගිනිබටෙං කියල හිතං හිටපු චේල ඉස්සරකොර ගත්ත තනිරටේ සමාජ වාදියොයි..තමයි. ( ඇයි ලංකාවෙත් ඉන්නෙ සමාජ වාදී කියාගෙන පාලකයොත් එක්ක කරට කර මිනීමරාපු ජනතා දේපල විනාස කරපු කම්කරු අරගල පිට පොට යවල පාලකයොන්ට ජනතාව මර්ධනය කොරං පාලනය කොරගෙන යන්න සපොර්ට් කොරපු පාලකයන් ලවා ශිෂ්‍යයන්ගෙ ඔලුගෙඩි පලවන්න ශිෂ්‍යයන් ඉදිරියට දක්කපු ෆැසිස්ට් වාදී සුලුධනේශ්වර කන්ඩායමක් දැන් අංශක 180 කනපිට හැරිල රතු පාට රෝස පාට වෙලා රොස පාට ලා රෝස පාට වෙලා 2020 ධනේශ්වර ආන්ඩු බලය ගන්න කෙල හලන..)

      Padam
    2. යුදෙව්වෝ තමයි ලෝකේ ඉන්න බුද්දීමත්ම මිනිස්සු/////////යුදෙව්වන් තමයි වැඩිම ප්‍රමානයක් නෝබෙල් ත්‍යාග දිනලා තියෙන්නේ

      Padam
    3. ඒ දිනපු නොබෙල් තෑගිත් ඔක්කොම විද්‍යාව හා තාක්ෂණ අංශ වලින් බුද්ධිය මෙහෙයවලා ගන්න පුළුවන් අංශ වලින්,

      Padam
  3. වක්තෲන් මෝසස් දෙවියන්ගෙන් ලද​ ප්‍රධාන ඉල්ලීමක් වනුයේ, තම ජාතිය (යුදෙව්) අයිතිවාසිකම් කියාගන්න තමන්ගෙම කියා වාස බිමක් නොහිමිව ජීවත් වුවත්, බුද්ධි සම්පන්න පිරිසක් ලෙස ඔවුන් ජීවත් කරවන ලෙසයි. අද එය ඒ ලෙසම සිදුවෙනවා. අද ලෝකයේ අනසක පතුරුවගෙන සිටින්නේ මිලියන 1.7 පමන වන යුදෙව් ප්‍රජාවයි

    BalasPadam
    Balasan
    1. ද ලෝකයේ අනසක පතුරුවගෙන සිටින්නේ මිලියන 1.7 පමන වන යුදෙව් ප්‍රජාවයි /////ඇත්ත

      Padam
    2. මට තේරුනේ නෑ මිලියන 1.7 කතාව?

      Padam
  4. දිමිත්‍රි ගස්(Guz) මගේ ලොක්කා. අපි කතා කරන්නේ 'දීමා' කියල. දීමා තරුණ කාලේ තමන්ගේ දෙමව්පියෝ එක්ක රුසියාවේ ව්ලැඩිමීර් (Vladimir) නගරේ ඉඳලා ඊශ්‍රායලයට සංක්‍රමණය උනා. දීමා එතනින් නැවතුනේ නැහැ. ඊශ්‍රායලය හොඳ මදි නිසා කැනඩාවට සංක්‍රමණය උනා. ඊට පස්සේ එතනින් පල්ලෙහාට, ඇමෙරිකාවටත් සංක්‍රමණය උනා. දිමා ගේ දෙමව්පියෝ තවම ඊශ්‍රායලයේ. මේ වෙනකොට දිමා ඇමරිකානු පුරවැසියෙක්. එත් දත් පුරවන වගේ ඇමරිකාවේ වියදම් වැඩි වැඩ වලට තවම ඊශ්‍රායල් ගිහින් කරවාගෙන එනවා.

    මම හිතන්නේ සැප කොහෙද, මිනිස්සු එහෙට යනවා, තමන්ගේ ජාතිය ගැන බලනවට වැඩිය.

    BalasPadam
    Balasan
    1. මම හිතන්නේ සැප කොහෙද, මිනිස්සු එහෙට යනවා, තමන්ගේ ජාතිය ගැන බලනවට වැඩිය.++++++++

      Padam
  5. //උඹලගේ රටේ හමුදාවෙ රොකට් අවි , සබ්මැරීන් , පරමාණු බෝම්බ තියනවද ? ඔහු මගේ හිසකෙස් කපමින් අසයි.//
    අර ජේආර්ගේ කරණවෑමියා ඔහුගේ කොණ්ඩය කපන විට උතුරේ ප්‍රශ්නය ගැන අහපු හේතුවටද දන්නේ නැහැ. :)

    යුදෙවු ජාතිකයින්, ඔන් ඇවරේජ්, ඇත්තටම ගොඩක් දක්ෂ හා බුද්ධිමත් පිරිසක්. බොහෝ ක්ෂේත්‍ර වල ඔවුන්ගේ දායකත්වය ඔවුන්ගේ ජනවාර්ගික ප්‍රතිශතයට වඩා ගොඩක් විශාලයි. ඇමරිකාවේ යුදෙවු ජනගහණය 2% පමණ වුවත් පසුගිය කාලයේම ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ධුරයට පත්වුණේ යුදෙවු සම්භවයක් ඇති අයයි.

    //ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය ජැනට් යෙලන්ය. ඇයනම් යුදෙව්වියක වුවත් ඇමරිකාවේ ඉපදුනු තැනැත්තියකි. ඇගේ පියා පෝලන්ත සංක්‍රමණිකයෙකි. ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති වීමේ විභවයක් ඇති එහි වත්මන් නියෝජ්‍ය සභාපති ස්ටැන්ලි ෆිෂර් සංක්‍රමණික යුදෙව්වෙකි. ඇමරිකාවේ මෙන්ම ඊශ්‍රායලයේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ඊශ්‍රායල (මහ) බැංකුවේ අධිපති ධුරයද හොබවා තිබේ. ජැනට් යෙලන්ට පෙර ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරුන් වූ බෙන් බර්නැංකි මෙන්ම ඇලන් ග්‍රීන්ස්පැන් ද ඇමරිකානු යුදෙව්වෝය.//

    (http://economatta.blogspot.com/2015/06/blog-post_40.html)

    මම හිතන්නේ ඔවුන් ලෝකය පුරා විසිරී වෙනත් ජාතීන් සමඟ ඔවුන්ගේ ජාන මිශ්‍රවීම වගේම සංස්කෘතිකව මිශ්‍ර වීමත්, ඔබ විස්තර කරන ආකාරයේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සියවස් ගණනක් ජීවත් වී ඒ තත්ත්වයන්ට මුහුණ දීමට හැඩ ගැසීමත් මෙයට හේතුවන්නට ඇති බවයි. අනෙත් කරුණ, යම් ජන කොටසක වැඩි ප්‍රතිශතයක් විවිධ පාරිසරික සාධක නිසා මැරෙන කොට ඉතිරි වන්නේත් වඩාත් උචිතම කොටසනේ.

    කොහොමවුනත්, සෝවියට් කාලයේත් මෙවැනි තත්ත්වයක් තිබුණු බව මම දැනගෙන හිටියේ නැහැ.

    BalasPadam
    Balasan
    1. ඔවුන් ලෝකය පුරා විසිරී වෙනත් ජාතීන් සමඟ ඔවුන්ගේ ජාන මිශ්‍රවීම වගේම සංස්කෘතිකව මිශ්‍ර වීමත්, ඔබ විස්තර කරන ආකාරයේ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ සියවස් ගණනක් ජීවත් වී ඒ තත්ත්වයන්ට මුහුණ දීමට හැඩ ගැසීමත් මෙයට හේතුවන්නට ඇති බවයි.////////////// හොඳ පන්නරයක් ලද ජාතියක්

      Padam
  6. ඊශ්‍රායෙල් කියන්නේ මම කැමතිම ජාතිය.

    රුසියන් කාරයෝ තියා වෙන මොකෙක් කිව්වත් මට වැඩක් නැහැ.
    බුද්ධිය ද, යුධ තාක්ෂණයද, සෞභාග්‍යය ද අරක ද මේකද ඔක්කොම බැලුවත් උන් එක.

    BalasPadam
    Balasan
    1. ඇයි මචෝ අහිංසක මිනිස්සු මරණ එක

      Padam
    2. බුද්ධිය ද, යුධ තාක්ෂණයද ///// Athha

      Padam
    3. ඇනෝ @ ඔයා පිට ඉදලා ඔය කියන කතාව හරිම වැරදියි, මේ රටේ අරාබි,(මුස්ලිම්/ක්‍රිස්තියානි) හැමෝටමත් සලකන්නේ එකම විදියට. පිටරටවලින් ඇවිත් ඉන්න අපිටත් එකම විදිය, ඉතාම නීතිගරුක මිනිස්සු. හැම දවසකම පලස්තිනියන් අරාබි (මුස්ලිම්) අය යුදෙවුවෝ කිපදෙනේක්ව මරනවා හැමදාමත් මරනවා, ඒ හැම මරනෙකම වගේ සිසී ටීවී දර්ශන දකිද්දී පේනවා මුස්ලිම් මිනිස්සු රටේ සාමාන්‍ය මිනිස්සු ලබන හැම වරප්‍රසාදයක්ම ලබන ගමන් හරි අමානුෂික විදියට අහිංසක මිනිස්සු මරන බව. මාත් මෙහෙ එන්න කලින් හිතුවේ යුදෙවුවෝ කියන්නේ යුද්ධම කරන මිනිස්සු මරණ ජාතියක් කියලා ඒත් ඇත්ත නෙමේ ඒ.

      Padam
    4. මම එකඟයි මම දන්න යුදෙව්වෝ හරිම සංවේදී අය , මම Israel හමුදාවේ සොල්දාදුවෙකුටත් EMDR ප්‍රතිකාර කරලා තියනවා නිවාඩුවට ආපු

      Padam
  7. හපොයි අර කරණවෑමියා රුසියන් ඔත්තු කාරයෙක්ද කොහෙද. ඔබට කියන්න තිබුණේ, 'මේ මොනවා අහනවද, අපේ යුද හමුදාපති දිනපතා වැඩට යන්නේ රොකට් අවි හයිකරපු යුද්ධ ටැංකියකින්, අපේ නාවික හමුදාපති දිනපතා වැඩට යන්නේ පරමාණු අවි සහිත සබ්මැරීන් එකකින්, අපේ ගුවන් හමුදාපති දිනපතා වැඩට යන්නේ පරමාණු බෝම්බ සහිත ප්‍රහාරක යානයකින්, ඒ විතරක් නෙවෙයි අපේ ගෙවල් ළඟ තමයි ඔය ආයුධ හදන කම්හල තියෙන්නේ' කියලා. :D

    ජාතිය, වර්ගය, හමේ වර්ණය, කුලය, ආගම, පදනම් කරගනිමින් එහෙනේකාට අවමන් කිරීම, හෙළාදැකීම, හිරිහැර කිරීම නමැති දුර්ගුණය, මානව වර්ගයා මේ මිහිපිට සිටින තුරු එලෙසින්ම තිබෙනු ඇති.

    BalasPadam
    Balasan
    1. ජාතිය, වර්ගය, හමේ වර්ණය, කුලය, ආගම, පදනම් කරගනිමින් එහෙනේකාට අවමන් කිරීම, හෙළාදැකීම, හිරිහැර කිරීම නමැති දුර්ගුණය, මානව වර්ගයා මේ මිහිපිට සිටින තුරු එලෙසින්ම තිබෙනු ඇති.///// so sad

      Padam
  8. යුදෙව්වන් හා ඊශ්‍රායලයේ ජීවත් වූ වසර පහ මා පනපිටින් දිවිය ළෝකයේම යාමක් විය...

    BalasPadam
    Balasan
    1. ඔව් මචෝ, උන්ගේ වැඩේ දිව්‍ය ලෝකේ පෙන්නන එකයි.ඔමාත් දැන් ඉන්නේ දිව්‍ය ලෝකේයි

      Padam
    2. අහවල් මගුලකටද ආපහු ආවේ උඹව එලෙව්වද ?

      Padam
    3. එහෙ පීආර් දාගන්න දෙනවද ?

      Padam
    4. බැහැ. විවාහයක් හරහා පමණයි. ඒකත් අවුරුදු 5 ක් එකට ජීවත්වෙන්න ඕනේ. PR ලැබෙන්නේ ලෝකේ කොහෙන් හෝ එන යුදෙව් ආගම අදහන අයට විතරයි. එකම සුදුසු කම යුදෙවුවෙක් වීම පමණයි ( පියා කවුරු වුණත් මව යුදෙව් විය යුතුයි.මවගේ ආගම තමයි දරුවට හිමි ;පියා ගැන විශ්වාසයක් නැහැ :D )

      Padam
  9. යුදෙවුවන් අනිත් ජාතීන්ට සාපේක්ෂව බුද්ධිමත් කියල මතයක් තියනව.බලං ගියාම කොයි රටෙත් ජාති වාදේ

    BalasPadam
    Balasan
    1. යුදෙවුවන් අනිත් ජාතීන්ට සාපේක්ෂව බුද්ධිමත් //////// reason -ඔවුන් ලෝකය පුරා විසිරී වෙනත් ජාතීන් සමඟ ඔවුන්ගේ ජාන මිශ්‍රවීම වගේම සංස්කෘතිකව මිශ්‍ර වීම

      Padam
  10. ඉතින් තේ බිව්ව විතරද? හැක්

    BalasPadam
  11. සෝවියට් දේශය ඇතුලෙත් "යුදෙව්වන්ට" වෙන් කොට සැලකීමක් තිබ්බා කිව්වම පොඩි මොකක්ද වගේ.මම හිතන්නේ බයිබලයේ පොරොන්දු දේශය වෙච්චි ඊශ්‍රායලය 1948දී යලි පිහිටුවන තුරුම යුදෙව්වෝ මේ වගේ පීඩන වලට ලක් වෙන්න ඇති.

    BalasPadam
    Balasan
    1. ඊශ්‍රායලය 1948දී යලි පිහිටුවන තුරුම යුදෙව්වෝ මේ වගේ පීඩන වලට ලක් උනා

      Padam
  12. මම දන්නා තරමට සෝවියට් යුදෙව්වන්ට ඊශ්‍රායලයට ඒමට ඉඩ දීමට ගනු දෙනුවක් සිද්ධ උනා.

    ඇමරිකන් බුද්ධි අංශ නිලධාරීන්ගේ විශ්වාසය අනුව, ඊශ්‍රායලය තමන් සතුව තිබූ ඇමරිකාව ගැන බුද්ධි තොරතුරු සෝවියට් දේශයට ලබා දුන්නා.

    නමුත් දැනට රුසියාවේ තත්වය කලින්ට වඩා හොඳයි. පරන සෝවියට් ජනරජ (යුක්‍රේනය වැනි ) වල තත්වය මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.

    BalasPadam
    Balasan
    1. සෝවියට් යුදෙව්වන්ට ඊශ්‍රායලයට ඒමට ඉඩ දීමට ගනු දෙනුවක් සිද්ධ උනා./////ඇත්ත​

      Padam
  13. යුදෙව්වන්ට රුසියානුවන් සලකන්නේ මේ විධිහට තමා. නමුත් ඒ නුගත් අය. ඉස්සර බටහිරින් අපි ගෙන බදු විකුණලා දුන්නෙත් යුදෙව්වෙක්. යුදෙව්වට තියෙන්නේ වැඩ කරලා මහන්සිවෙලා ලබාගත්ත දැනුම. පුංචි කලේ ඉඳලම ළමයින්ට ස්වාධීනව වැඩ කරන්න පුරුදු කරනවා මම දැකල තියනවා.

    BalasPadam
  14. රුවන් හොඳ ලිපි කීපයක්ම ලියල තිබෙනවා මම නිවාඩු ගිය කාලේ මිස් වෙලා.

    BalasPadam
  15. ඔයා ලියන විදිය හරිම සිත්ගන්නා සුළුයි,මාතලන් ගේ ලින්ක් එක හරහා ආවේ.

    BalasPadam
  16. dr.Chaika Tatiana
    Diagnostic Radiology
    Haifa

    http://www.doctorinfo.co.il/doctor/%D7%A6'%D7%99%D7%99%D7%A7%D7%94%20%D7%98%D7%98%D7%99%D7%90%D7%A0%D7%94-142574

    BalasPadam
  17. රුසියානු සමාජවාදීය .....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook