Khamis, 14 Januari 2016

නත්තල් දිනයක සිදුවූ දුක්බර සිදුවීම - 2





2001 වසරේ දෙසැම්බර් 25 දින මම හලාවත රෝහලේ නිර්වින්දන අංශයේ වැඩ ආවරණය කලෙමි. නත්තල් දිනය නිසා සැලසුම් කරන ලද ශල්‍යකර්ම සිදු නොවූ බැවින් මම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ට ලබා දී තිබුණු කාමරයේ පොතක් කියවමින් සිටියෙමි. සවස් වරුවේ මගේ වැඩ මුරය නිම කිරීමට පැය භාගයක් පමණ තිබියදී වාහන අනතුරකින් තුවාල ලැබූ ළදරුවෙකුට ස්වසනය කිරීමට පහසු කෙරෙන ස්වාසනාල බටයක් (Tracheal intubation) දැමීමට උපකාර කරන ලෙස ඉල්ලා බාහිර රෝගී අංශයෙන් දුරකථන ඇමතුමක් ආවේය​. මම ඉක්මනට බාහිර රෝගී අංශයට ගියෙමි. 

මුන්දලම ප්‍රදේශයේ සිදුවූ වෑන් අණතුරකින් තුවාල ලත් එකම පවුලේ පිරිසක් රෝහලට ගෙනවිත් තිබුණි. ඔවුන් අතරින් මාස අටක පමණ ළදරුවෙකුගේ හා වයස අවුරුදු හයක පමණ ළමයෙකුගේ තත්වය බරපතල විය​. ඔවුන් ගේ හිස් තුවාලව තිබුණි. මම දෙදෙනාටම වහ වහා ස්වාසනාල බට දමා ඇම්බු බෑග් සවි කලෙමි. ළදරුවාගේ සහ ළමයාගේ තත්වය බරපතල බැවින් ඔවුන්ව කොලඹ හදිසි අණතුරු අංශයට මාරු කර යවන ලෙස දැන්වූ බැවින් මම හෙදියක සමග රෝගීන් දෙදෙනා ගෙන ගිලන් රථයට ගියෙමි. 

ළදරුවා සිටියේ මා අතය​. අප බාහිර රෝගී අංශය හරහා ගිලන් රථයට ගොඩ වීමට යන විට ට්‍රොලියක සිටි ළදරුවාගේ මව හිස අසීරුවෙන් ඔසවා "අනේ මගේ බබාව ගෙනියන්නේ කොහේද"කියා ඇසුවාය​. වෑන් අණතුර නිසා ඇයගේ කකුලක් කැඩී තිබුණි. හෙදියක් ඇයව අස්වැසුවාය​. අප වහ වහා ගිලන් රථයට ගොඩ වැදුනෙමු. ගිලන් රථය පණ ගැන්වූ ගිලන් රථ රියැදුරා පවණට බඳු වේගයෙන් හලාවත කොලඹ මාර්ගයේ රිය ධාවනය කරන ලදි. ඒ අතරවාරයෙ මම හෙදිය සමග රෝගීන් දෙදෙනාට ඔක්සිජන් නොකඩවා දුන්නෙමු. 

ළමයාගේ හිසේ දරුණු තුවාලයක් විය​. ඔහුගේ මස්තිෂ්ක පටක කොටස් සහ මස්තිෂ්ක සුෂම්නා තරලය අපගේ දෑත් වලද තැවරුණි. එහෙත් අප ඇම්බු බෑගය මිරිකමින් ඔවුනට ඔක්සිජන් ලබා දුන්නෙමු.

ලංකාවේ ගිලන් රියක් ධාවනය කරන විට අසංවර රියැදුරන් ගිලන් රිය පසුපසින් ධාවනය කරති. එසේම ගිලන් රථයේ හඞ ඇසුනද ඉඩ දීමට මැලි වෙති. එහෙත් ඇමරිකාවේ සහ කැනඩාවේ ගිලන් රථයක් යන විට රියැදුරන් වහාම තම මෝටර් රථ පසෙකට ගෙන ගිලන් රථයට යාමට ඉඩ සලසා දෙති. නමුත් අපි වසර 2500 සභ්‍යත්වයක උරුමකරුවෝ වෙමු. මේ හේතුව නිසා අපගේ ගිලන් රථ රියැදුරාට පාර ඉඩ නොදෙන  තවමත් ශිෂ්ටාචාර ගත නොවූ රියැදුරන්ට මුවින් බැන ඉඩ ඉල්ලා ගැනීමට සිදු විය​. කෙසේ නමුත් කොලඹට කිට්ටු වන විට ළදරුවා මිය ගියේය​. ඉන්පසු අප සියළු වීරිය දැමුවේ ළමයා බේරා ගැනීමටය​. 

අප ළමයා හදිසි අණතුරු අංශය වෙත ගෙන ගියෙමු. එහි හෙදියන් තිදෙනෙකු සිටි අතර කිසිවෙකු අපගේ උපකාරයට නාවේය​. කාලවර්ණ තරුණ හෙදියක් අනවසරයෙන් තම නිවසට පැමිණි අමුත්තන් දෙස බලන්නක් මෙන් අප දෙස බලා සිටියාය​. ඒ අතරවාරයේ මමත් අපගේ රෝහලේ හෙදියත් ළමයාට නොකඩවා ඔක්සිජන් ලබා දුන්නෙමු. 

විනාඩි විස්සක් පමණ ගතවූ පසු මැදිවිය ඉක්මවූ එතරම් නොඋස්  ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්  පැමිණ ළමයා පරික්‍ෂා කොට තවත් පැය භාගයක් තුල ළමයාගේ තත්වය වර්ධනය නොවූවහොත් ඇම්බු කිරීම නවතා දමන ලෙස මට කීවේය​. එහෙත් මම නොකඩවා ඇම්බු කලෙමි. අප එම අංශයේ පැයක් පමණ සිටියෙමු. අවසානයේදී ඉතා දුර්වල ලෙස හෘද ස්පන්දනය සිදුවූ ළමයා නිසල විය​. ඔහු මිය ගියේය​. 

තවත් විනාඩි විස්සක් පමණ එතැන රැඳුණු අප ගිලන් රථයට ගොඩවී හලාවත බලා පිටත් වූයෙමු. ඉන් සති දෙකකට පමණ පසු මට හලාවත රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කල වෛද්‍ය පයස් ප්‍රනාන්දුව හමු විය​. පයස් මෙම අණතුරට පත් වූ පවුල දැන සිටියේය​. ඔහුගේ විස්තර අනුව මෙම මුස්ලිම් පවුල කල්පිටියේ සිට කටුනායක ගුවන් තොට වෙත ගමනේ යෙදී සිටි අතර මිය ගිය ළදරුවාගේ නැගනිය එනම් ළමයාගේ මව මැදපෙරදිග රැකියාවකට යාමට නියමිතව තිබිනි. ගුවන් යානයට ප්‍රමාද වන නිසා  රථ රියැදුරා අධික වේගයෙන් වෑන් රිය ධාවනය කරන ලද අතර මුන්දලමේදී ඔවුන් ගමන් ගත් වෑන් රිය තවත් වෑන් රථයක ගැටුනේය​. අවසානයේදී මැදපෙරදිග රැකියා ගමන කෙලවර වූයේ නොදරුවන් දෙදෙනෙකුගේ මරණයත් සමගය. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


16 ulasan:

  1. Tragic. ..
    Westerners give way to ambulances bcos they are simply humans. But in Sri Lanka, people are much more special bcos they got Sinha-le hikis.

    BalasPadam
  2. හරිම ශෝචනීයයි.මහ රෝහලේ වැඩ දැන් කෙරෙන්නෙත් එදා ආකාරයටමද?

    BalasPadam
    Balasan
    1. ඒකනම් හැලප අයීයේ දන්නේ නැහැ , ඉම්ප්රූමන්ට් වෙලා ඇති

      Padam
  3. මේ ලමයාව ප්‍රතිකාර කරා නම් බේරා ගැනීමට හැකි වී තිබූ බවද ඔබතුමාගේ අදහස?

    ගියේ මහ රෝහලටද ලේඩි රිජ්වේ රෝහලටද? මහ රෝහලේ ලමා වාට්ටු නැති බවයි මම සිතා හිටියේ.

    BalasPadam
    Balasan
    1. මේ ලමයාව ඉතා ඉක්මනට ප්‍රතිකාර කිරීමට හලාවත පහසුකම් තිබුනා නම් බේර ගැනීමට තිබුණා. අපි ගියේ ජාතික රෝහලෙ හදිසි අණතුරු සේවය​ට

      Padam
  4. (අතීත සිදුවීමකි.)
    ගස්ලබ්බා අනතුරකට පත්වී මාතර රෝහල් හදිසි අනතුරු අංශයට ඇතුලත් කිරීමට තුවාලකරු රැගෙන ගිය ත්‍රීවීල් සොයුරන්ට සෑහෙන වෙහෙසක් දරන්න සිදු විය.ගස්ලබ්බාගේ කළු ටී ශර්ට්,තොප්පි,අතේ තිබූ බැංගල්ස් ආදිය හිසකෙස් පාට කල,කරාබු දැමූ ත්‍රී වීල් සොයුරන් හා සමපාත වීම එයට හේතුවක්.
    රැකියා ස්ථානයේ හැඳුනුම්පත නිසා ඇතුලත් වුන නමුදු හදිසි අනතුරින් තුවාල ලැබූ රෝගියා පිරික්සීමට පැමිනි බඩ මැද්දට රවුල වවාගත් දොස්තර කලේ අතේ තිබූ බැංගල්ස් ගණන් කිරීමයි.කකුල් බසයකට යටවී ලේ ගලමින් වේදනාවෙන් සිටි ගස්ලබ්බාගේ කටට පණ ආ අතර ඩොකා මාරු විය.
    පසුදා දහව දොලහට පමණ ශල්‍යාගාරයට ගියද තුවාල වලට මැහුම් නොදැමීම නිසා සති ගණනක් තුවාල සමඟ පොර බැදීමට සිදු විය. එහෙව් තුවාලකරු නැවත දෙපයින් සිටවූයේ ද බටහිර සහ දේශීය වෙදදුරන් බවද කිව යුතුම ය.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ලැජ්ජත් හිතෙනවා ඔවා අහනකොට ගස්

      Padam
  5. //ලංකාවේ ගිලන් රියක් ධාවනය කරන විට අසංවර රියැදුරන් ගිලන් රිය පසුපසින් ධාවනය කරති. එසේම ගිලන් රථයේ හඞ ඇසුනද ඉඩ දීමට මැලි වෙති. එහෙත් ඇමරිකාවේ සහ කැනඩාවේ ගිලන් රථයක් යන විට රියැදුරන් වහාම තම මෝටර් රථ පසෙකට ගෙන ගිලන් රථයට යාමට ඉඩ සලසා දෙති.//
    මේ වනවිට ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල ගිලන් රථයක් හෝ පොලිස් වාහනයක් (හදිසි තත්ත්වය යටතේ) පැමිණෙන විට වාහනය වහාම පැත්තකට කරගෙන නවත්වාගත යුතු වීම හෝ වෙනත් ලේන් එකකට ගැනීම අනිවාර්ය නීතිමය අවශ්‍යතාවයකි. එසේ නොකළහොත් රියදුරු බලපත්‍රය අත්හිටවිය හැකිය.

    BalasPadam
    Balasan
    1. නීතියට බය නිසාමත් නෙවෙයි Econ එය මානව යුතුකමක් කියා ඔවුන් සිතනවා

      Padam
  6. රුවන් මහතා...............

    අපි තාම මහපාරවල් වල කිලෝමීටර් දෙක තුන වාහන පෝලිම් තියාගෙන දියුණු වෙන්න බලන රටක්...... රියදුරන්ගේ සදාචාරය ගැන මොන කතාද??????? අනේ මේ දේවල් පිරිමැහෙන්නේ අර වගේ මුකුත් නොදන්නා උන් පිටින් වීමයි දුකට කරුණ...

    BalasPadam
  7. ඒක තමයි වැඩියෙන්ම දුක කුරුටු

    BalasPadam
  8. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  9. මේ දිනවල ලංකාවේ රිය පදවමි. ඔබ කියනා පරිදි ගිලන් රිය පි‍ටුපසින් යන අසංවර රියදුරන් සියසින් දැක්කෙමි. රියදුරු සදාචාරය ගැනනම් කියලා වැඩක් නැත.නුවර පාරේදී බස් එකක් මගේ වම් පසින් ඉස්සර කලවිට අනතුරක් බේරා ගැනීමට දන්නා සියලු ශිල්ප දාන්නට සිදුවිය.ඉවසීමක් නැතිකම හා මාර්ග නීතී නොතැකීම සාමාන්‍ය දෙයකි.වරක් මට ඉදිරියෙන් ගිය බී,එම්.ඩබ්ලිව් එකක් දකුනට සිග්නල් දමා වමට හැරවීම බලා සිටි මගේ පුතා කිව්වේ Nice Cars Stupid Drivers.

    BalasPadam
    Balasan
    1. Nice Cars Stupid Drivers.++++++ මේ ළමුන් ගේ පරම්පරාවත් ලංකාව මේ නාරා වලෙන් ගොඩගන්නවානම්

      Padam
  10. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook