Rabu, 13 Januari 2016

නත්තල් දිනයක සිදුවූ දුක්බර සිදුවීම




1999 වසරේ දෙසැම්බර් 25  නත්තල් දින මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කලෙමි. දෙසැම්බර් 25 නිවාඩු දිනයක් වූවද ක්‍රිස්තු භක්තික වෛද්‍යවරුන්ට නත්තල් උත්සවය සැමරීමට ඉඩ දෙනු වස් මා  ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් දෙසැම්බර් 25  නත්තල් දින රෝහලේ වැඩ ආවරණය කිරීමට ඉදිරිපත් වූයෙමු. 

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශය කාර්‍යබහුලය​. එසේම ඉඳ හිට ගෝරිද යයි. වරක් ප්‍රදේශයේ මදාවියෙකු බරපතල තුවාල ලැබ බාහිර රෝගී අංශයට ගෙන එනු ලැබීය​. අවාසනාවකට මෙන් රෝහලට ගෙන එන ලද විගසම ඔහුගෙ පණ ගොස් තිබුණි. බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරයා රෝගියා මිය ගොස් ඇති බව ඔහුව ගෙන එන ලද පිරිසට දන්වන ලදින් ඉන් කුපිත වූ පිරිස වෛද්‍යවරයාට හා හෙදියන්ට පහර දී බාහිර රෝගී අංශය කුඩු කරන ලදි. 

රෝහලේ පොලිස් පෝස්ට් එකක් තිබුනද එහි සිටියේ ආරියරත්න රාලහාමි නම් අහිංසක පොලිස් කෙනෙකි. සමහර විට රෞද්‍ර මුහුණක් පෙන්වා සමහර කලබලකාරයන් බියට පත් කලද  ආරියරත්න රාලහාමි නිය පිටින්වත් කිසිවෙකුට පහර දෙන පුද්ගලයෙකු නොවේ. එම නිසා අපගේ ආරක්‍ෂාව අපටම සලසා ගැනීමට සිදු විය​. ඇරත් ප්‍රදේශයේ දේශපාලකයන් ගේ හෙන්චයියන් රෝහල් කාර්‍ය මණ්ඩලයට බුරා සපා ගියද නීතිය ක්‍රියාත්මක වුයේ නැති තරම් ය​. එසේම අහිංසක පොලිස් ආරියරත්න රාලහාමි බාහිර රෝගී අංශයේ යාබද කාමරයේ සිටියද කිසිවෙකු ඔහු ගෙන් ආරක්‍ෂාව බලාපොරොත්තු වූයේ නැත​. නමුත් මම ආරියරත්න රාලහාමි ගෙන් ක්‍රියාන්විතයේ සිටි කාලයේ අත්දැකීම් ඇසීමට ප්‍රිය කලෙමි. ආරියරත්න රාලහාමි යුද කාලයේ නැගෙනහිර ප්‍රදේශයේ එතරම් යුද ගැටුම් නොමැති කළාපයක සිටි අතර ඒ කාලයේ තිබූ  කාන්සිය මුසු වූ කතා නිබඳව කීවේය​. 

දෙසැම්බර් 25 දින උදෑසන අටට පමණ මම බාහිර රෝගී අංශයට ආවෙමි. රාත්‍රී මුරය කල වෛද්‍යවරිය නිදහස් වී ගියාය​. උදෑසන දහය වන තෙක් සුළු සුළු ප්‍රතිකාර සඳහා පැමිනි රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර මම ලබා දුනිමි. උදෑසන දහයට පමණ  කොස් ගසකින්   වැටී විසංඥව සිටි  තරුණයෙකු බාහිර රෝගී අංශයට ගෙන එන ලදි. උක්ත තරුණයා කොස් ගෙඩියක් කැඩීමට උස කොස් ගහකට නැගි අතර අත්තක් කඩාගෙන බිම වැටී තිබේ. ශරීරයේ බාහිර තුවාල නොතිබුනද ඔහුගේ හිස බිම වැදී ඇත​. 

රෝගියා පැමිණ සිටියේ ඔහුගේ මහළු මව සහ දුප්පත් පෙනුමින් යුත් අසල්වාසීන් කිහිප දෙනෙකු සමගය​. මෙම තරුණයා මහළු මවගේ එකම පුත්‍රයා බව මට ඔවුන් ගේ කතාවෙන් වැටහුණි. මම රෝගියාව පරීක්‍ෂා කලෙමි. ඔහුගේ කිසිදු චලනයක් නැත​. හුස්ම ගැනීම සිදු වන්නේ නැත​. ඇසේ කළු ඉංගිරියාව විදුලි පන්දමේ එළියට ප්‍රතිචාර දක්වන්නේ නැත​.  රෝගියා මිය ගොස් ඇති බව මට වැටහුණි. එහෙත් මහළු මව එය තවම නොදනී. තම පුතාට අවශ්‍ය ප්‍රතිකාර දැන් ලැබී ඔහු සිහිය ලැබ නැගිටිනු ඇතැයි ඇය අපේක්‍ෂා කරන්නීය​. මට ගෝර්කිගේ ස්වයං චරිතාපදානයේ එන ට්සිගනොක් තරුණයාගේ මරණය සිහි විය​. 

මම මහළු මාතාව දෙස බැලුවෙමි. දුප්පත්කමත් අසරණකමත් දිවි ගැටගහ ගැනීමට මුළු දිවිය පුරා වෙහෙසීම නිසා දිරා ගිය කයත් මගේ දෙනෙත් වලට අසු විය​. මේ මාතාවට ඇයගේ එකම පුතාගේ මරණය ගැන මම කියන්නේ කෙසේද​? මම ඔවුනට නොතේරෙන සේ තරුණයාගේ සිරුර සහිත ට්‍රොලිය බාහිර රෝගී අංශයේ  ඉස්ක්‍රීමකින් මුවා කරන ලද කොටසකට ගෙන ගියෙමි. ඉන්පසු මහළු මාතාවට මගේ මේසය  අසල ඇති රෝගීන් ඉඳ ගන්නා පුටුවේ වාඩි වන ලෙස කීවෙමි. ඇය වාඩි වූවාය​. මම මගේ දෑත් වලින් ඇයගේ මහළුවී හා කෘෂවී ගිය කරගැට පිරුනු දෑත් අල්ලාගත්තෙමි.  

මම අසීරු හඞකින් කථා කලෙමි. " අම්මේ හිත හදා ගන්න බලන්න පුතාගේ පණ ගිහිල්ලා " මම ඇයට ඇසීමට අපහසු වදන් පැවසුවෙමි. වෘද්ධ මාතාව හිස් බැල්මකින් මා දෙස මොහොතක් බැලුවාය​. ඇයගේ දෙනෙත් වලට කඳුළු ගලා ආවේය​. එහෙත් ඇය විලාප දුන්නේ නැත​. ඇය කෙලෙස හිත හදා ගන්නද ? ඇයගේ එකම පුතු හදිසි අණතුරකින් මිය ගොසිනි. ඇයව රක්‍ෂා කල ඇයට සවියක් වූ පුතා ජීවතුන් අතර නැත​. දුගී මාතාව ජීවිතයට මින් පසුව මුහුණ දෙන්නේ කෙසේද​? දහසකුත් ප්‍රශ්න අතර මම අතරමං වූයෙමි. දුප්පත්කම , අසරණකම හව්හරණක් නොමැතිබව යන සමාජ ව්‍යාධී කුණාටු වලට ජීවිත කාලය පුරා මුහුණ  දුන් ඇයට දෛවය විසින් අවසන් වරට ඉතා බරපතල පහර දීමක් කොට තිබේ. 

ඇයගේ පුතාගේ මෘත ශරීරය මරණ පරීක්‍ෂණයක් සඳහා මෝචරියට ගෙන යන ලෙස රෝහල් කම්කරුවෙකුට නියම කල මම අවශ්‍ය ලියකියවිලි පිරවූයෙමි. ඒ අතර මහළු කාන්තාවගේ අසල්වාසීන් ඇයව වත්තන් කරගෙන ඉවතට ගෙන ගියාය​. 

මෙම දුක්බර සිදුවීම මා ලේඛනගත කරන්නේ  2015 දෙසැම්බර් වලය​.  මේ වන විට එකී මරණය සිදුවී වසර 16 ගතවී තිබේ. ඒ මහළු කාන්තාවගේ එකම පුතාගේ මරණින් පසු ඇය කෙසේ ජීවත්වීද යැයි මා නොදනිමි. එසේම මේ වන විට ඇයද ජීවතුන් අතර සිටිනවාද කියා මා නොදනිමි.  එහෙත් එම මාතාවගේ අවසන් දිනය තෙක් තම පුතුගේ අකල් මරණය ඇයගේ සිත දැවූ බව මම  හොඳාකාරව දනිමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

31 ulasan:

  1. සංවේදී කථාවක්. මවක් දරුවෙකුගේ අභාවය ඉවසන්නේ කොහොමද කියන එක අපිට තේරුම් ගන්න පහසු නෑ.

    BalasPadam
  2. Very sad. Death is the only certainty 8n life.

    BalasPadam
  3. අති සංවේදී කතාවක් රුවන්. දරුවෙකු ගේ අකල් මරණයක් මවක් කෙසේ දරාගන්න ද?

    BalasPadam
    Balasan
    1. රසික දරුවෙකු ගේ අකල් මරණය , දුගී බව , සමාජ හව්හරණක් නොමැති බව ; මේ සියල්ලම ඉතා දුක්මුසුයි

      Padam
  4. මෙවැනි සිදුවීම් රාශියක් ඔබේ මතකයේ ඇති. මෙලෙස වරින්වර ඒවා පළකරන්නේ නම්, ජීවිතය කියන්නේ මොනතරම් අස්ථිර දෙයක්ද යන්න, කාටත් වැටහෙනු ඇති.

    BalasPadam
  5. මගේ වැඩිමල් සොහොයුරා මිය ගිය පසු අම්මා සහ තාත්තාගේ හැසිරීම මොනවගේද කියල මං දැක්ක. ඒ මීට වසර 10 ට පෙර. තවමත් ඒ ගැන සිහි කර පියා යම් අවස්තාවල හඬන බව මා නිරීක්ෂනය කලා. තමන් ජීවත්ව සිටියදී තම දරුවන් මිය යාම කොයිතරම් කනගාටුදායක සිදුවීමක්ද යන්න මම තවමත් අද්දකිනවා.

    BalasPadam
    Balasan
    1. කසුන් එය ඉතා දුක්බරයි. ඔබගේ වැඩිමල් සොහොයුරාට නිවන් සුව ; ඔබගේ සිතේ වේදනාව අඩුවෙවා ;

      Padam
  6. අපේ අක්කා ගැන මමයි හාමිනෙයි කතා කලත් අපේ අම්මයි තාත්තයි කතා බහක් නැනේ

    BalasPadam
  7. එවන් පණිවුඩයක් සන්නිවේදනය කරගන්න ශක්තියක් මා හට නම් නැති ගානයි.. සංවේදී සටහනක්..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මටත් ශක්තියක් තිබුනේ නැහැ , නමුත් මොනා කරන්නද ?

      Padam
  8. සංවේදී කතාවක්. අපි අර සිසුන්ට පොත් පත් අරන් දෙනවා වගේ දරුවෝ නැතුව මේ වගේ අසරණ වෙලා ඉන්න මා පියන්ටත් උපකාර කරන ක්‍රමයක් හදා ගන්න ඕනේ.

    BalasPadam
    Balasan
    1. ඇත්ත අජිත් අපේ මොනාද සෝෂල් සෙකුරිටි කියල තියෙන්නේ?

      Padam
    2. අපේ සෝශල් සෙකුරිටි තියෙන්නෙ හිත හොඳ මිනිස්සු අතේ.කිසිම වගකිවයුතු වැඩ පිලිවලක් හරියට නෑ.පුදුම අනාරක්ශිත තත්වයක්.ඉන්ශුවරන්ස් පොලිසි වල උනත් දෙයක් උනාම වන්දියක් ගන්න බෑ ගොඩක් වෙලාවට තියෙන නීති රීතිත් එක්ක.

      Padam
    3. අපේ සෝශල් සෙකුරිටි තියෙන්නෙ හිත හොඳ මිනිස්සු අතේ +++++

      Padam
  9. ඉතාම සංවේදි කතාවක් ට්‍රාන්ස්.. ඔබ ක්‍රියා කළ ආකාරය හා ඒ අම්මාගේ දුක විදීමේ හුරුකම අති ප්‍රභලව දැනුන මොහොතක් ඒ අවස්ථාව.. ඇතත්ටම ගල් ගැහෙන අවස්ථාවක්.. ඔබ අවුරුදු 16 ක් ගියත් ඒ දේ ඒ විදියටම ආවර්ජනය කිරීම නම් අපුරු හැකියාවක්.. ජය වේවා..

    BalasPadam
    Balasan
    1. දේශක ඒ වගේ සිද්ධි ගනනාවක් තියනවා

      Padam
  10. මොකක් කියන්නද කියල මම කල්පනා කලේ. දරුවෝ දහයක් පහළොවක් උන්නත්,එකෙක් උන්නත් දරුවෙක් නැති උනහම දෙමවුපියන්ට දැනෙන්නේ කොහොමද කියන එක මට හිතෙන්නේ සමානයි කියලා. සමහර අම්මලා ජීවත්ව ඉන්න දරුවන්ට වඩා මැරුණු දරුවා ගැන දුක් වෙනවා. එහෙම ආරංචියක් කියන්න ලැබෙන එක මට නම් කරුමයක් වගෙයි දැනෙන්නේ. ( ඔබට කල අපහාසයක් ලෙස ගන්න එපා)

    මට නිතර හිතෙන දෙයක් මම කියන්නම්. ඒ තමයි මම අද , දැන් මැරුණොත් මොකද වෙන්නේ කියන එක. ඊට පස්සේ මට හිතෙනවා අම්ම හරි අප්පච්චි හරි මැරුණා කියල කිව්වොත් මොකද වෙන්නේ කියල. ඒ හැම වේලීම එකවරම ඔක්කොම බ්ලෑන්ක් වෙනවා තාම. නියමිත උත්තරයක් හදාගන්න බැහැ. ඒ තරම් දුර්වලයි

    BalasPadam
    Balasan
    1. උපේක්‍ෂා අපගේ ජීවිත අස්ථිරයි

      Padam
  11. ඉතා දුක්බර කතාවක්. වසර 16ක් ගතවූවත් ඔබගේ සිතේ එදා ඇතිවූ ශෝකය තවමත් අඩු නොවූ බවට මෙම ලිපිය සාක්ෂි.

    BalasPadam
  12. මේ කථාව කියවන කොට මගේ පියාගේ මරණය සිදුවූ දින මතක් උනා, ඔහු මියගොස් ජනවාරි 07ට වසර 03ක් වෙනවා, මොළයේ ලේ කැටියක් සිරවීම මරණයට හේතු උනා, බොහෝ කලක් අදි රුදිර පීඩනයෙන් පසුඋනා.

    BalasPadam
    Balasan
    1. ලලිත් ජීවිතය කෙටියි. ජීවත් වන කාලය තමන්ටත් අනුන්ටත් සේවය කිරීම වැදගත්. ඔබගේ ඒ උදාර පියාට නිවන් සුව

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook