1978 මම හිටියේ හය වසරේ. අගෝස්තු නිවාඩුවට අපි මාරස්සන ගියා. මාරස්සන අත්තම්ම සහ අක්කලා ඉතාම කරුණාවන්තයි. අපිට හොඳින් සැලකුවා. ඔවුන් ගේ ඉඩම තිබ්බේ ලොකු කන්දක් මුදුනේ. ඉඩම අක්කර 30 වඩා විශාල ඇති. තව නෑදෑ ලමයි පස් හය දෙනෙක් නිවාඩුවට ඇවිත් හිටියා. අපි උදේ සිට හවස් වෙන තෙක් සෙල්ලම් කරනවා , මේ ඉඩම් වල ඇවිදිනවා.
දවසක් උදේ 10 විතර ගෙදර පිටිපස්සේ ( මීටර් 200 විතර ඈතින්) තිබූ අත්තම්මලාගේ කොස් ගහක අවුරුදු 16 විතර සරමක් ගහ ගත්ත කොල්ලෙක් නැගලා කොස් කඩනවා. මේ කොල්ලා ගමේ එකෙක්. ඒ කාලේ මට අවුරුදු 12 විතර ඇති. මේ අවුරුදු 16 ගමේ කොල්ලා එක්ක ගහ ගන්න මට ෆිට් එකක් තිබ්බේ නෑ. මම ඉක්මනට ගෙදරට දිව්වා. අත්තම්මගේ ලොකු පුතා පොලිස් නිලධාරියෙක් ඒ කාලේ ඒ.එස්.පී කෙනෙක් විය යුතුයි. නුවර පොලිසියේ හිටියේ.
මට ඕනේ දැන් මේ කොල්ලව ගහෙන් බිමට බාගෙන ඌට දෙකක් ඇනලා කුදල ගෙන පොලිසියට ගෙනියන්න. මම සිහින මැව්වා ඌට ගහන හැටි. ඒ කාලේ ජෝන් වේන් ගේ චිත්‍රපට කව් බෝයි ෆිල්ම් එහෙම බලලා ගහ ගන්න සීන් වලට මම ආසා කලා. දණහිස නවලා යටි බඩට ගහන ශොට් එකට තමයි මම ආසා කලේ. කොස් ගෙඩි හොරා ගහෙන් බස්සවලා ඌට දණහිස නවලා යටි බඩට ගහනවා කියලා හිතුවා.
මම දුවගෙන ගිහින් අත්තම්මට කිව්වා කොල්ලෙක් හොරෙන් කොස් කඩනවා කියලා. අත්තම්ම කමක් නෑ පුතේ කියලා හිනා වෙලා මගේ ඔලුව අත ගෑවා. මට අත්තම්මා එක්ක තරහයි, මම දුවගෙන ඇවිල්ලා කියපු මේ ඉන්ෆර්මේෂන් එකට අත්තම්මා ප්‍රතිචාර නොදැක්වීම ගැන. තරහා නිසා මම කාමරයට ගිහින් ඇඳේ හාන්සි උනා. මම ඉන් පැයකට විතර පස්සේ කොස් ගහ ලඟට යන කොට ඒ කොල්ලා හිටියේ නෑ.
පසු කාලයක මට තේරුනා අත්තම්මාගේ රියැක්‍ෂන් එක. ගමේ ඉන්න දුප්පත් කොල්ලෝ බඩගින්න නිසා අනුන් ගේ වතු වල කොස් ගෙඩි කඩනවා. ඒවා වලට ලොකු විරෝධතා අත්තම්මලා දක්වන්න ගියේ නෑ. ගමේ සමහර දුප්පත් ගෑණු ඇවිත් වී කොටලා සාල්ලි හාල් අරගෙන යනවා. ගමේ කෙනෙක්ට හදිස්සියක් වුනොත් අත්තම්මලා පිහිට උනා. ඒ අයගේ තිබ්බ හිල්මන් කාර් එක දුන්නා ලෙඩෙක් නුවර ගෙනියන්න.
1988/89 කාලේ මාරස්සන හිටපු ගමේ කොල්ලොම කැරලිකාරයෝ වෙලා සමහර ගෙවල් මංකොල්ල කෑවා. ඒත් අත්තම්මලා හිටපු ගෙදර බල්බ් එකක් වත් ගලවගෙන ගියේ නෑ. අපි රදළ වැඩවසම් චින්තනය කියලා එදා ගමේ තිබ්බ බෙදීම් ගමේ තිබ්බ සමාජ ආකෘතිය විවේචනය කරනවා. අත්තම්මලාට දුප්පත් මිනිසුන් ගේ තිබ්බ බඩගින්න තේරුනා. ඔවුන් ඒ සමාජ ආකෘතිය යටතේ ඔවුන්ට උදව් කලා.
කැරලි ආවා. ගම් වල දුප්පතුන් ආයුද අතට ගත්තා. මිනී මැරුවා. කඩ ගෙවල් මංකොල්ල කෑවා. ට්‍රාන්ස්ෆෝමර් බස් ගිනි තිබ්බා. අත්තම්මලා මේ දේවල් දිහා කම්පාවෙන් ඒත් උපේක්‍ෂාව පෙරදැරි කරගෙන බලාගෙන හිටියා. කැරලිකාරයෝ අත්තම්මලාගේ වතු උඩින් ගල් කටස් අරගෙන ගියා. ඒත් ගෙදර උලු කැටයකටවත් හානි කලේ නෑ. පස්සේ ආරක්‍ෂක හමුදා පොලිසිය ඇවිත් මේ කැරලිකාර ගමේ කොල්ලෝ අරගෙන ගිහින් වෙඩි තියලා මරලා මහවැළි ගඟට දැම්මා. උන් ගේ දෙමාපියන් ලතෝනි දීගෙන දුක කියන්න ආවේ අත්තමාට. අත්තම්මා ඒවා අහගෙන ඉන්නදලා උන්දෑ දන්න බුදු බණ පදයක් කියලා ඒ දෙමාපියන් ගේ හිතේ ගින්දර සුළුවෙන් හෝ නිවන්න උත්සහ කලා.
මම උතුරු කොලඹ රෝහලේ සේවය කරන කාලේ (2000) අත්තම්මා මිය ගියා. මට හදිසි නිවාඩු ගන්න අපහසුයි. මම දවසක් පරක්කු වෙලා මාරස්සන ගියා. එතකොට මලගම ඉවරයි. මම වත්ත පහලට ගියා. අත්තම්මා ආදාහනය කරපු තැන අඟුරු දැක්කා. මම එතන ටික වෙලාවක් ඉඳලා ආපසු අත්තම්මලාගෙ නිවසට එන්න පිටත් උනා. ඒ එන විට මම දැක්කා අර ලොකු කොස් ගහ. ඒක යෝධයෙක් වගේ තාම තියනවා ඒ ගහ කාලය හරහා ගලා ගිය අපේ කතන්දර සිදුවීම් ඔක්කොම විට්නස් කලා
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments