Sabtu, 5 Disember 2015

ලයනල් කිචී

 

කිතිකැවෙන නිලයන් බොහෝ සෙයින් තිබූ උපස්ථායකවරයෙක් මා සේවය කල එක් රෝහලක සිටියේය​. ඔහු කිති වලට කොතරම් සංවේදීද යත් දබර ඇඟල්ලක් ඔහුගේ ඉළ ඇට කූඩුවට ලං කල සැනෙන් ඔහු පසුපසට පනින්නට පුරුදුව සිටියේය​. මේ පසු පසට පැනිල්ලට අමතරව ඔහුගේ මුවින් කුණුහරුපයක්ද පිටවේ. රාජ සභාවක සිටියද දබර ඇඟල්ලක් ලං කලහොත් පසු පසට පැනිල්ල හා කුණුහරුපයක් කීම නිතැතින්ම සිදුවේ. එය ඔහුටම ආවේනික වූ ප්‍රතීක ක්‍රියාවකි. 

මෙම ප්‍රතීක ක්‍රියාව ගැන අවබෝධයෙන් සිටි ඔහුගේ වෘත්තීය සගයෝ ඔහුව ලයනල් කිචී ලෙස නම් කළහ​.   ඉඳහිට ඔහුගේ ඉළයට ඇන කුණුහරපයක් අසා ගැනීම ඔවුන් සිදු කලෝය​.​.   මෙම ක්‍රියාව   චර්‍යා විරෝධී නුසුදුසු ක්‍රියාවක් වූවද ආයතන සංග්‍රහයේ කිචි ගැන සඳහන් නොවන නිසා සමහර උපස්ථායකයන් , පිරිමි හෙදියන්  මොහුගේ ඉළ ඇට කූඩුව අසලට දබර ඇඟිල්ල දිගු කොට ඔහුගෙන් සහ සුද්දෙන් අසා ගත්හ​. 

වරක් කායික රෝග විශේෂඥ වෛද්‍යවරිය වෛද්‍යවරුන් හෙදියන් වෛද්‍ය සිසුන් පිරිවරාගෙන රෝගීන් බලමින් සිටියාය​. ලයනල් කිචී රෝගීන් ගේ ඇඳ ඉහපත් ගොන්නක් අත දරාගෙන  කායික රෝග විශේෂඥ වෛද්‍යවරිය සිටි අතර එක් නොහික්මුණු තරුණ හෙද නිලධාරියෙක් වෛද්‍යවරුන්, හෙදියන් ,වෛද්‍ය සිසුන් අතරින් සෙමෙන් සෙමෙන් රිංගා තම දකුණු අත දික් කොට ලයනල් කිචීගේ ඉළයට ඇන්නේය​. එකෙහින්ම ලයනල් කිචී කුණුසරුපයක් කීවේය​. 

කායික රෝග විශේෂඥ වෛද්‍යවරිය මෑතකදී ඕස්ටෙ‍්‍රලියාවේ සිට පුහුණු වී පැමිණි වෛද්‍යවරියකි එසේම සිංහල කුණුහරප අසා නොමැති කාන්තාවකි ඒ නිසා ඇය මේ අමුතු ශබ්දය කෙරෙහි අවධානයක් යොමු නොකොට රෝගියාගේ රෝග ලක්‍ෂණ හා ප්‍රතිකාරය ගැන වෛද්‍යවරුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් කියාගෙන ගියාය​. ලයනල් කිචීගේ කුණුහරපය හොඳින් ඇසුනු පිරිමි වෛද්‍යවරු සහ හෙදියෝ අසීරුවෙන් සිනහව තද කරගෙන සිටියහ​. 

ලයනල් කිචී ගේ ස්නායු චාලක අස්වාභාවික ප්‍රතික්‍රියාව සෙල්ලමකට ගෙන ඔහුව අපහසුතාවට පත් කිරීම සුදුසු දෙයක් නොවේ. එම නිසා මම එම ක්‍රියාව අනුමත කරන්නේ නැති බව කිව යුතුමය​. 

මෙවැනි දෙයක් නැවතත් මා අත් දුටුවේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සේවය කල කාලයේදීය​.  මා සේවය කලේ ශල්‍යාගාරයේය​. අපගේ නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරිය වූයේ දුෂ්ශන්ති පෙරේරා මැඩම් ය​. ඇය කොලඹ කාන්තා විද්‍යාලයේ ඉගෙනිම ලැබූ නාගරික ඉංග්‍රීසි පන්තියේ කාන්තාවකි. එම නිසා සිංහල කථා කලේ ඇක්සන්ට් එකක් සහිතවය​. 

වරක්  තරුණ වයසේ සියළු මදාවි වැඩ කොට කාලය ගත වීම නිසා මහළු  බවට පත් වූ පුද්ගලයෙක් ස්ට්‍රෙචර් එකක තබා ශල්‍යාගාරයට ගෙන එන ලදි. (මෙම පුද්ගලයා අරූගේ අඩවියේ සඳහන් වෙන පොරෝලිස් වැනි අයෙකි) මොහු පෙරදින මත්පැන්බී සිටි නිසාදෝ සිටියේ අඩ නිදිමතිනි. ඔහුගේ පාදයක   තුවාලයක් තිබුනේය​.

මෙම පුද්ගලයාගේ මැණික් කටුව ප්‍රදේශයට කැනියුලාවක් දැමීම සඳහා දුෂ්ශන්ති මැඩම් ඔහුව දැණවත් කලාය​. 

" සීයා අප්පි පොඩ්ඩි කටු එකක් අතට විදිනවා ටිකාක් රිදෙයි කඩියා බයිට් එකක් වගේ " මෙසෙ කියමින් ඇය අඩ නිදිමතින් සිටි මහල්ලාගේ දකුණු අතේ මැණික් කටුව ප්‍රදේශයට කැනියුලාව දැමීමට සම විද්දා පමණි අඩ නින් දේ සිටි මහල්ලා ගැස්සී ඇහැරී අම්මට ......කීවේය​. ඔහු ක්‍රියා පදය අවසන් කලේ .....න්ට කියමිනි එම නිසා මොහු උඩරට ප්‍රදේශයේ පුද්ගලයෙක් බව මම​ අනුමාන කලෙමි. 

සිංහල කුණුහරුප නොදත් දුෂ්ශන්ති මැඩම් කිසිදු වෙනසක් නොපෙන්වා කැනියුලාව ඔහුගේ අතට දැමුවාය​. අවශේශ පුද්ගලයෝ අසීරුවෙන් සිනා තද කරගෙන දුෂ්ශන්ති මැඩම්ට මහල්ලා නිර්වින්දනය කරන්නට සහය දුන්හ​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

18 ulasan:

  1. ඔය කිචි කියන එක ගොඩ දෙනෙකුගෙ වයසත් එක්කම නැති වෙලා යනව නේද ඩොක්..?
    දෙවනියාට 'කෙටමින්' වගේ දෙයක් දුන්න නම් වාට්ටුවේ අයගෙ මනසටත් පොඩි රිලැක්ස් එකක් ලැබෙන්න තිබුනා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. කිචි සමහර විට වයසත් එක්කම නැති වෙලා යනවා ස්නායු සංවේදිතාව අඩු වීමත් සමගම ,'කෙටමින් දුන්න වගේ නෙවෙයි සිහි එනකොට පතරංග ජාතකය කියන අයත් ඉන්නවා

      Padam
    2. ගස්ලබ්බා එක පාරක් කාඩ් කුට්ටමම ඉරාගත්තා කෙටමින් හිංදා.දැං කියන්න හිතාගෙන ඉන්නෙ කෙටමින් ඇලජික් කියලා.රටට ලෝකෙට මූණ දෙන්නත් එපැයි.. හැක්..

      Padam
  2. බයිට් කිරීම හා බයිට් වීම, හා හා.

    BalasPadam
  3. ඉස්සර සෙලින්කෝ එකේ වැඩ කරන කාලේ ලිෆ්ට්මන් කෙනෙක් උන්නා හෙන්‍රි කියලා. (සෙලින්කෝ බිල්ඩිමේ උන්න ඕන එකෙක් දන්නවා) අපිත් එක්ක හිටියා නොම්මර එකේ නොසන්ඩාලට්යෙක් ඩිරෙක්ටර් කෙනෙක්ගේ පුතෙක් වෙච්චි. ඕකා අර මනුස්සයට ඉන්න දෙන්නේ නෑ. දවසක් ලිෆ්ට් එකට නැග්ගා රන්ජන් විජේරත්න. නැගලා ලිෆ්ට්මන්ගෙන් ඇහුවා, බ්ලූ ඩයම්න් තිය්න්නේ කී වෙනි තට්ටුවේද කියලා. අරූ.. "සෑර් බ්ලූඩයම්න්ඩ් එක තියෙන්නේ... කියන කොටම අරූ හෙන්‍රියගෙ ඉල ඇටේට ඇන්නා...

    ඔක්කෝටම මැරෙන්න හිනා.. රන්ජන් විජේරත්නත් හිනා වෙලා 7 වෙනි තට්ටුවෙන් බැහලා ගියා..

    අරු මලේ හොඳම එකෙන් ඉඳලා අපි බහින්කොට අරූට කිව්වා.. සෑර් මෑනියන්ට අහවල් එක කලා නේද කියලා...

    BalasPadam
  4. එකෙකුට කුණුහරුප තවෙකෙකුට සාමාන්‍ය සද්දයක් පමණි.

    මට wanker යන වචනය මුලින්ම ඇසුනේ 1996 දී මෙල්බර්න්වල තිබුණු ලංකා-ඕස්ටේ‍ර්ලියා ක්‍රිිකට් මැච් එකක් බලන්න ගිය වෙලාවේදීයි. එහි තේරුම දැන ගත්තේ තවත් කාලයක් ගිහින්!

    BalasPadam
    Balasan
    1. onanism කියලත් ඇහුනෙ නැත්ද?

      Padam
    2. බාපන්කුලෝ-ඉතාලිය, මා චිකිනේ - ඉන්දියාව-----

      Padam
  5. කාලෙකට පස්සේ 'අරු' වයි පොරෝලිස් වයි මතක් උනා.. :)

    අපේ රස්සාවේදී ඔය වගේ horseplay කියන්නේ hazard එකක්..

    BalasPadam
    Balasan
    1. අරූ නිහඞයි නේද දැන්

      Padam
  6. හමුදාවේ ඔය රෝගය සහිත සෙබළුන්, මෙන්ම ඉතා පුදුම සහගත ලෙස සැරයන් වරියක්ද දැක ඇත්තෙමි. හැබැයි මගේ ඉදිරිපිටදී එවැනි 'රෝග ලක්‍ෂණ' පෙන්නුම් කළ අයට, Pack Drill දීමෙන් පසු, රෝගය නිට්ටාවටම සුවවිය. සමහරු මෙය හිතාමතා කරන බවට සෑහෙන සැකයක් ඇත.

    BalasPadam
  7. මං ඉඳපු එක ඔෆිස්සකක හිටිය පියන් කෙනෙක් එයත් ඔය වගේ. අපේ මෙන්ඩිස් මහත්තෙය කියනව, ඇඟල්ලෙං ඇන්නහම එයා ඇත්ත කියනවලු. උදාහරණයක් විදිහට,

    "උදේ කෑවෙ මොනවද?"
    "ගෙදර ඉද්දි මොකද කරන්නෙ?"
    "වයිෆ් දෑවැද්දට මොනවද දුන්නෙ?"
    වගේ ප්‍රශ්න අහල ඇන්නහම, ඇත්තම කියනවලු.

    පවු වැඩේ. ඒ වුනාට විශේෂයක් වුනේ ඒ වැඩේට ඒ කිචි මාමත් කැමති වෙච්ච එකයි. විශේෂයෙන් තරුණ ගෑණුළමයි ඉන්න තැන්වලදි.

    BalasPadam
    Balasan
    1. මිනිහා රඟපානවද දන්නේ නැහැ

      Padam
  8. ඔහොම කිචි කෙනෙක් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා.මම නම් කිසිදා මිනිහාට ඇනලා නැහැ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook