Jumaat, 18 Disember 2015

කක්කුස්සිකාරයෝ



කක්කුස්සිකාරයෝ හෙවත් අන්ටචබල්ස්ලාද මිනිසුන්‍ ය​. ලංකාවේ රෝහල් වල මා දුටු දෙයක් නම් කක්කුස්සිකාරයෝ හෙවත් වැසිකිලි සුද්ධ කරන්නවුන් සහ දොස්තරලා අතර මහා පරතරයක් තිබෙන බවයි. සමහර දොස්තරලා වැසිකිලි සුද්ධ කරන්නවුන් වාට්ටු හරහා ගියද ඔවුන්ව නොදකිති. හෙදියන් සහ ඇටෙන්ඩන්වරුන් නිතරම ඔවුනට බැණ වදිති. ඔවුන්ද හිස් පහත් කරගෙන වැසිකිලි ශුද්ද කොට නිහඞව යති. 

 කළුබෝවිල රෝහලේ වාට්ටු වැසිකිළි ශුද්ද කිරීම සඳහා කෙට්ටු පුද්ගලයෙක් විය​. ඔහු ගිණි වතුර කෑන් එකක් රැගෙන එයි. ඉන්පසු ඉදළකින් වැසිකිළි ශුද්ද කර දමයි. ඔහු  වැසිකිළි ශුද්ද කර ගිය මොහොතේ පටන් යළිත් රෝගිහු වැසිකිළි ජරා කරති. 

මාතලේ රෝහලේ මේ කහළ වැඩය කලේ පළනී නම් දෙමල මිනිසෙකි. ඔහු රෝහලේ ලේ සැරව ගෑවුනු රෙදි හෝදා  අමතර ආදායමක්ද ලැබුවේය​. ඔහු මේ රෙදි හේදුවේ ලොකු යකඩ බැරල් එකකය​. මෙම යකඩ බැරල් එකට දර හිස් සේලයින් බෝතල දමා  හවසට ගිණි ගහයි. එවිට පරිසරය දුමින් පිරී යයි. අපගේ වෛද්‍ය නේවාසිකාගාරය තිබුනේ  පළනීගේ වෙල්ලහැළිය ආසන්නයේය​.  පළනීගේ දුමේ ප්ලාස්ටික් විශ කාරකයන් තිබුනද ඉන් මදුරුවන් පළා ගිය හෙයින් කිසිවෙකු  පළනීගේ වෙල්ලහැළිය ගැන පැමිණිලි කලේ නැත​. 

වරක්  පළනී අසනීප වූ නිසාදෝ වැසිකිලි පවිත්‍ර කිරීමේ කාර්‍යය ඇණ හිටුනේය​. වාට්ටු නරකාදි මෙන් දිස් වූයේය​මේ හේතුවෙන්  පළනීගේ රැකියාවේ වැදගත්කම කාටත් අවබෝධ විය​.එම නිසා සෞඛ්‍ය අධ්‍යාපන පංතියකදී වරක් රෝහලේ වැගත්ම පුද්ගලයා කවරෙක්ද කියා විශේසඥ ප්‍රජා වෛද්‍යවරියක් මගෙන් ඇසුවාය​. ඇය මගෙන් අපේක්‍ෂා කලේ රෝහලේ වැගත්ම පුද්ගලයා රෝගියා යන පිළිතුරයි. නමුත් මම කීවේ රෝහලේ වැගත්ම පුද්ගලයා කක්කුස්සි හෝදන්නා බවයි. එයට හේතුවද මම කීවෙමි. වෛද්‍ය අධ්‍යක්‍ෂක නොමැති විට විශේසඥ වෛද්‍යවරයෙකුට අධ්‍යක්‍ෂක ගේ වැඩ ආවරණය කළ හැකිය​. විශේසඥ වෛද්‍යවරයා නොමැති විට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීට වැඩ ආවරණය කළ හැකිය . වෛද්‍යවරයා නොමැති විට හෙදියට වාට්ටුව බලා ගත හැක​. නමුත් කක්කුස්සිකරු නොමැති විට ඔහුගේ වැඩ ආවරණය කිරීමට කෙනෙකු නැත​. එම නිසා රෝහල කඩා වැටෙයි. 

කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ වැසිකිලි පවිත්‍ර කලේ විජේකෝන් බණ්ඩා නම් පුද්ගලයෙකි. ඔහුගේ ගම අඹගහපැලැස්ස වූවද අඹගහපැලැස්ස රෝහලට හූවක දුරක ඔහුගේ නිවස තිබුනද ඔහු සැතපුම් හතලිහකටත් වඩා දුරින් පිහිටි කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය සඳහා පැමිණියේ ගමේ රෝහලේ වැඩ කිරීම නිසා පාසලේදී තමන් ගේ දරුවන් නින්දාවට ලක් වෙන නිසා කියමිනි. රෝහලේ සුද්ධ පවිත්‍ර කිරීම් කරන ඔහු රාත්‍රියට මදුරුවන් පිරි බාහිර රෝගී අංශයේ බංකුවක් මත නිදයි. 

ඒ කාලයේ මම කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන  භාර වෛද්‍යවරයා විය​. දිනකට පැය හතරකට සීමාවූ අතිකාල දීමනා සහිතව මගේ වැටුව රුපියල් 20,000 ආසන්න විය​. නමුත් විජේකෝන් බණ්ඩාගේ වැටුප රුපියල් 1800 කි. මේ නිසා මට යම් වරදකාරී හැඟීමක් ද ඇති විය​. නව වාරයක් පටන් ගන්නා විට මම විජේකෝන් බණ්ඩාගේ දරුවන්ට පොත් පත් රැගෙන දුනිමි. නමුත් පසු කාලයක මට පෙනී ගියේ විජේකෝන් බණ්ඩාට ලොකු අහේනියක් නොමැති බවයි. අඹගහපැලැස්සේ ඔහුට තමන් ගේ ඉඩමක නිවසක් තිබුණි. එම ඉඩමේ පොල් එළවළු වගා කොට තිබුණි. කුඹුරෙන් හාල් ලැබුනේය​. රැකියාව ඔහුට අතිරේක ආදායම් මාර්ගයක් මෙන්ම විශ්‍රාම වැටුප මහළු කාලයේ ආරක්‍ෂණයක් විය​. 

මීගමුව රෝහලේ වාට්ටු වැසිකිළි ශුද්ද කිරීම සඳහා  කිහිප දෙනෙකු සිටි අතර ඔවුන් ප්‍රදේශයේ දේශපාලකයාගේ හෙන්චයියන් වූ හෙයින් ඔවුන් බීඩි බිබී රෝහලේ මුල්ලක වාඩිවී  වල්පල් කතා කරමින් සිටියහ​. මේ නිසා වැසිකිළි ශුද්ද කරන ලද්දේ අනියම් කම්කරුවන් දෙතුන් දෙනෙකි. මතු දින රැකියාව ස්ථිර කරනු ඇතැයි සිතාගෙන ඔවුන් වෙහෙසී වැසිකිලි ශුද්ද කලද රෝගීන් කොරිඩෝ‍රවලද ජරා කල නිසා ඔවුන් ගේ වෑයම සඑල වූයේ නැත​. 

යුද හමුදා රෝහලේදී  රාත්‍රී වැඩමුරය  කල දිනයක  මම අපගේ වාට්ටුවට පැමිනෙන කොල්ලෙකු අතට මුදල් දී යුද හමුදා කැන්ටිමෙන් මාළු පාන් හෝ රෝල්ස් දෙක තුනක් ගෙන එන ලෙස කීවෙමි. එහෙත් වාට්ටුවේ සිටි සාජන් මේජර් කොල්ලාගේ අතින් මුදල් ගෙන ඔහු කැන්ටිමට ගොස් මගේ උදෑසන ආහාරය ගෙන ආවේය​. පසුව  සාජන් මේජර්  මට පැවසුවේ කොල්ලා වාට්ටුවේ කක්කුස්සි සුද්ධ කරන්නා බවයි. එය ඇසූ පසු මගේ මුවට සිනහවක් ආවේය​. එහෙත් වාට්ටුවේ කක්කුස්සි සුද්ධ කරන කොල්ලාට සිනහවකින් සංග්‍රහ කිරීමට මම අමතක නොකලෙමි. 

 කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ වැසිකිලි ශුද්ද කරන්නා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයෙකි. ඔහු මා දුටු මුල් දිනයේදී මම සිංහලයෙකු ලෙස හැඳිනගෙන මා දෙස නොබලාම ගියේය​.   වරක් ඔහු වැසිකිලිය ශුද්ද කිරීමෙන් පසු මම වැසිකිලියට ගියෙමි. ඒ යන අතරතුර වැසිකිලිය ශුද්ද කිරීම ගැන මම ඔහුට ස්තූති කලෙමි.  ඔහු හිස් සැලීමෙන් ඒ ස්තූතිය පිළිගත්තේය​. 

කක්කුස්සිකාරයෝත්  මිනිසුන්‍ ය​. ඔවුනටද බඩගින්න සංතාපය වේදනාව දැනේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 ulasan:

  1. // කක්කුස්සිකාරයෝ// කියලා වුන්ට අපහාස කරයි කියලා තව ගෝරියක් වැටෙයිද දන්නේ නෑ වේටර් ව මඥ්ඥන් කරා වගේ.. හැක හැක.. විජේකෝන් බංඩා කියුවම මතක් වුණේ.. ගාල්ලේ සුනාමියෙන් පස්සේ අපි ගත්ත ගෙදර තියෙන ඉඩමේ ඉතිරි කොටසේ පදිංචි මුල් අයිතිකාරයෝ ළමයි නැති ටිකක් වයසක ජෝඩුවක්.. පොල් කුරුඳු ගම්මිරිස් බුලත් ගොරකා වගේ 'නැති දෙයක් නැති' ඒ ඉඩමේ පලදාව සියල්ල විකුනලා සල්ලි 'ගොඩ ගහ ගන්න' ඒ ජෝඩුව ළඟ 'පුස් කාපු සල්ලිත්' ඇති කියලයි ගමේ මිනිස්සු කියන්නේ.. වැඩේ කියන්නේ මනුස්සයා වැඩ කරන්නේ නගර සභාවේ.. 'කුණු ටැට්ටරේ' කම්කරුවෙක් විදියට.. ඒ පඩියෙන් ඒ මනුස්සයා කරේ හවසට හවසට බීපු එක විතරයි.. බිලා වැඩිවෙලම ලඟදි මැරුණා. දැන් අර තනි ගෑණු මනුස්සයට අර සියලු අදායම් සමඟ 'පැන්ෂන්' එකකුත් හම්බ වෙනවා.. :)

    BalasPadam
    Balasan
    1. කල්‍යාණ කක්කුස්සිකාරයාට කක්කුස්සිකාරයා නොකියා ටැක්සිකාරයා කියන්නද ? සමහරුන්ට රජයේ සේවාව විනෝදාංශයක් සහ අතිරේක ආදායමක්

      Padam
    2. We call them cleaning staff, cleaning experts.

      Padam
  2. ඇත්තටම දොස්තර මහත්තයෝ මේ ලංකාවේ දොස්තරලට විතරයි නේද මම දොස්තර කියන ලෙඩේ තියෙන්නේ

    BalasPadam
    Balasan
    1. මේ ලංකාවේ ඉගෙන ගත් සහ සේවය කරන කියාලා දොස්තරලට වෙනස් වුනොත් වඩා නිවැරදියි

      Padam
    2. මැලේ ඇත්තම කියනව නම් ඔය මම දොස්තර කියන ගැට්ට මට UK, US Canada වල සමහර දොස්තරලා (ලංකාවේ නොවේ) අතර තිබෙනවා මම අත්විදලා තියනවා. උතුරු ඇමරිකාවේ එක් වෛද්‍යවරයෙක් මට කිව්වා ලංකාවේ උඹට තියෙන්නේ තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් කියලා.

      Padam
  3. වටිනා පෝස්ට් එකක්... අර වේටර් කාරයාට කොචොක් දාපු දොස්තර මහත්තයාම තමා මේ කියලත් කියන්න ඇහැකි..

    අපේ වගේ රටවල් මේක කොයි තරං පහත් නිහීන රස්සාවක්ද?? ඒක දමිලයෙකුම කරන්න ඕන කියල නියමයක් තියෙනවා වගේ.. ඒවා තමා මනුෂ්‍ය පෙලීම්.. බොහොම ධාර්මිකයි කියන මිනිහත් කක්කුස්සිහෝදන්නා දැක්කම දේවදත්තල වගේ වෙනවා.. ඔබ කිව්ව හරි.. ආයතනයක වැදගත්ම තැන,, කව්රුත් නොසලකා හරින නඩත්තු කරන අංශයයි..

    ඇමරිකාවේ වගේ රටක මේ රැකියා පරතරය මොන ආකාරයද කියල ඔබට පහදල දෙන්න අවශ්‍ය නෑනේ.. හොද පෝස්ටුවක්.. තව එකක්.. වචන දෙක තුනකුත් මම ඉගෙන ගත්තා.. ජය

    BalasPadam
  4. කක්කුස්සිකාරයෝත් මිනිසුන්‍ ය
    මේ කතාව දැකල මටත් කතාවක් මතක් වුනා.
    http://raj1st.blogspot.com/2015/12/blog-post_19.html

    BalasPadam
  5. එක රුපවාහිනී නාට්‍යක මට මතකයි නගරේ කුණු ට්‍රක්ටරේ රියදුරු කියනවා "දොස්තරලා බෙහෙත් දෙන්නේ ලෙඩ වුනාම.අපි කුණු අයින් කරලා ලෙඩ වෙන්න නොදී බෙහෙත් කරනවා" කියලා.

    BalasPadam
    Balasan
    1. බරපතල ඇත්තක් එහි තියනවා

      Padam
  6. හොඳම කටු සෙට් වෙන්නෙ සුවර් ලයින් මේන්ටේනස් සෙට් උනාම.සාමාන්‍ය කම්කරුවො ඒ වැඩේට කැමති නෑ.වෙනම මිනිස්සු ගෙනාවට උන්ට බටයක් ගහන්න අත හුරු නෑ.ඒ නිසා ගොඩක් වෙලාවට රෑකට වැඩේ සෙට් කරගෙන අඩි ගහන ලේබර් කෙනෙක්ව තමා බෝතලයකුත් වැඩිපුර දීලා සෙට් කරගන්න වෙන්නෙ.ගොඩක් වෙලාවට මිනිහගෙ අත්වැඩ කාරයා වෙන්නෙ අපි.පහුවදාට අපිට සර් කියන අයම අර වැඩ කරපු කම්කරුවගෙන් විටට හුණු ටිකක් වත් නොගෙන කොන් කරනවා.ඕකයි තත්වෙ...
    හෙහ් හෙ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. සුවර් ලයින් මේන්ටේනස් ////මම දන්න කෙනෙක් හිටියා දිග බටයක් අරගෙන එනවා ඇවිත් බ්ලොක් එක හදනවා

      Padam
  7. වැසිකිලි පිරිසිදු කිරීමේ අවාසනාවන්ත තත්වය මා දැක්කේ හමුදා පුහුණුව සඳහා ඉන්දියාවට ගොස් සිටියදී. මට ලබාදී තිබුණු ඇනෙක්ස් එකේ වැසිකිලිය පිසිසිදු කරන පුද්ගලයා, රෙදි කෑල්ලක් අතේ ඔතාගෙන, කොමෝඩ් එකේ ඇතුල් පැත්ත රසායනික දියර දමා අතුල්ලන බව මා දැක්කේ, දවස් ගණනාවකට පස්සෙයි. මා ඔහුට එවෙලේම තේරෙන භාෂාවෙන් හා ඉඟියෙන් කියා මුදල් දුන්නා, ටොයිලට් බ්‍රෂ් එකක් ගෙන එන්න. ඔහු එය ගෙනාවත්, එයින් කොමෝඩ් එක මැද්දේ ටික දිනක් පමණයි. නැවත අතින් මදිනවා දුටු මම, දෙනවා හොම්බට එකක් කියලා ඉඟියෙන් කිව්වම ආයෙත් බ්‍රෂ් එකෙන් මදින්න පටන් ගත්තා. මම ඔහුට සතියකට ඉන්දියානු රුපියල් 20 ක ටිප් එකක් දුන්නා. පළමු වරට එසේ කලවිට, ඔහු කලේ, සම්පූරණයෙන් බිම දිගාවී මගේ දෙපතුල් අල්ලා වැඳීමයි. එය නොකළයුතු බව, තදින් කියාදීමෙන් පසු පිළිගත්තා. (රු 20 න් ඒ කාලේ (1995) දින දෙකතුනකට සෑහෙන්න හාල් තුනපහ ගන්න පුළුවන්) ඔවුන් ශුද්‍ර නමැති කුලයේ අයලු. කවුරුවත් ඔවුන්ගේ මූණ බලන්නේවත් නැහැ. අපි පාරේ යනවිට ඔවුන් පාරෙන් ඉවත්වී බිම බලාගන්නවා. ඉතා දැඩිලෙස ඔවුන්ව පහත්කොට සැලකීම තිබෙනු මා පැහැදිලිවම දැක්කා.

    සනීපාරක්ෂක කම්කරු ජනතාවට යම්කිසි පුරවැසි අධ්‍යාපනයක් දීම ඉතා වැදගත්.

    BalasPadam
    Balasan
    1. පසුගාමී සමාජවල පැතිකඩක්

      Padam
  8. ඇත්තටම හැම වෘත්තියකම අතවශ්‍ය සේවා බව තේරුම් ගන්නත් හොද අධ්‍යාපනයක් අවශ්‍යයි. තමුන් විතරයි ලොක්ක කියල හිතන ඉහල වෘත්ත්කයොත් ගැන බැලුවම ගොඩක් අයගේ ඒ ආකල්පය පිටුපස තිබෙන්නේ අදුරු වටපිටාවක්. මන් හිතන්නේ 3 වසරේ පරිසරයට කියල දුන්නට පස්සේ මේ අයගෙන් වෙන සේවාව පසල් වල ඉගැන්නුවේම නැද්ද කොහෙද! දවසකට වෙනත් වෘත්තීන්ගෙන් අපි කොයි තරම් සේවාවල් ප්‍රමාණයක් ලබා ගන්නවද ?

    BalasPadam
    Balasan
    1. හැම වෘත්තියකම අතවශ්‍ය සේවා බව තේරුම් ගන්නත් හොද අධ්‍යාපනයක් අවශ්‍යයි.+++++++++++++++

      Padam
  9. වේටර් මඥ්ඥ්ං කරත්, කකුස්සිකාරයාට මොකක් කිව්වත් ඔබ ඔවුන් සමඟ සිනාසීම ඉහලින් අගය කරමි. අපි හැමෝම එකයි කියල ඔවුන්ට හඟවන්න ඒක හොඳම ක්‍රමය.

    BalasPadam
    Balasan
    1. වේටර් මඥ්ඥ්ං කරත්????? මඥ්ඥ්ං කරත් සිතකින් නොවේ

      Padam
  10. අපේ අඡිත් ඉන්දියාවේ ගියා[ පුහුණුවකට නොවෙයි ]මිනිස්සු පාරේ කාණුවේ රෙනවා දැකලා සසර කලකිරිලා මේ ඇවිල්ලා පෝටබල් කක්කුස්සි බිස්නස් එකක් පටන් ගත්තා දැන් එයට හොඳයි යන්නේ මරුටි එකේ .

    BalasPadam
    Balasan
    1. පෝටබල් කක්කුස්සි බිස්නස් එකක් පටන් ගත්තා //////// ඉන්දියාවේ මිලියන 40 කට ලැට් නෑ බිස්නස් සරු වෙයි

      Padam
  11. කක්කුස්සි කාරයෝ ඉට්ටැයික් කලොත් කොහොමට තියෙයිද දොස්තර මහත්තයෝ...

    BalasPadam
    Balasan
    1. කෙලවෙනවා මාතලන් පුතේ

      Padam
  12. සමහරු දන්නේ නැතුවත් මේ රස්සාවට ඉල්ලුම් කරනවා, සනිපාරක්සක කම්කරු.

    BalasPadam
    Balasan
    1. සනිපාරක්සක කම්කරු ඉල්ලුම් කරන සමහරු දේශපාලකයන් ගේ ගෝලයෝ ; ඔවුන් සනිපාරක්‍ෂක කම්කරු ආවට කරන්නේ වෙනත් වැඩ. සමහර විට බොස්ටත් උපදෙස් දෙනවා

      Padam
  13. වෘතියේ ඉහලත්වය ගැන වැඩියෙන් තකන්නේ ආසියාතිකයන් තමයි.

    BalasPadam
    Balasan
    1. ඒක ශරීර ප්‍රමාණය කුඩා වීම නිසා මතු වූ හීනමාන තත්වයක් ද ?

      Padam
  14. මේක දැකල මටත් කතාවක් මතක් උනා. ඒ.පී.ඒ. ගුණසේකර මහත්තයා තමන්ගේ රැකියා අත්දැකීම් ගැන ලියපු 'හොරොව්පතානේ පළවෙනි ඩීයාරෝ' කියන පොතෙන්.

    පොතේ නමෙන් කියන විදිහටම, ගුණසේකර මහත්තයා තමා හොරොව්පතානේ මුළින්ම DRO කන්තෝරුවක් හදාගෙන රාජකාරි පටන් අරන් තියෙන්නේ 1975 අවුරුද්දේ. මේ අලුත් කන්තෝරුවට සනීපාරක්ෂක කම්කරු තනතුරට ඒ පාලතෙන්ම තරුණ කෙනෙක් ගත්තාලු.හැබැයි ආපු දා ඉඳලම කවදාවත් කක්කුස්සි හේදුවේ නැහැලු. ටික දවසක් යනකොට අළුත් කන්තෝරුව පැත්ත පළාතේ යන්න බැරි තරමට ගඳ ලු.
    ඒ පාර DRO මහත්තයා සනීපාරක්ෂක කම්කරුවා ගෙන්නුවාලු. කන්තෝරුවේ හැමෝම ඉස්සරහා ඇහුවලු මොකද වැසිකිළි හෝදලා නැත්තේ කියලා.
    කම්කරුවා කිව්වලු 'සර්, මට ඒක කරන්න බැහැ කියලා'.

    එතන ඉඳලා පොතේ තියෙන්නේ මෙහෙමයි:

    "ඇයි?"
    "සර්, මට ඒක කොරන්ට බෑ", ඔහු පොල්ලෙන් ගසන්නාක් මෙන් පිළිතුරු දෙයි.
    "හොඳයි ජයවර්ධන, ඒකට හේතුව මොකද්ද?" මම නිවුනු ස්වරයෙන් අසමි.
    "සර්, අපි මේ හොරොව්පතානේ වැදගත් මිනිස්සු, අපේ තාත්තා තමයි හොරොව්පතානේ හිටපු වැව් ලේකම. ඉතිං මම කොහොමද ඩියාරෝ කන්තෝරුවේ වැසිකිළි හෝදන්නේ? මට බැහැ සර් ඒ වැඩේ කොරන්ට, මට කන්තෝරුව ඇතුලේ වෙන රාජකාරියක් දෙන්ට."

    "ඉතිං ජයවර්ධන, තමන්ගේ පත්වීම සනීපාරක්ෂක කම්කරු නේ. එහෙම උණහම වැසිකිළි හෝදන එකත් කරන්ඩ ඕනෑ නොවැ"

    "ඒ උනාට මම දැන් සර් ට කිව්වා නේ. අපේ තාත්තා හොරොව්පතානේ හිටපු වැව් ලේකම. මට ඒ රාජකාරිය කොරන්ට බෑ" ඔහු ස්ථිර ස්වරයෙන් කියයි.

    "එහෙනම් ඉතිං මොනවා කරන්නද, ජයවර්ධන පැත්තකට වෙලා ඉන්නකෝ"

    මම කාර්යාල ගොඩනැගිල්ලේ වැසිකිළි පද්ධතිය දෙසට යමි. කිසිදු කථා බහක් නොමැතිව කලිසම් කකුල් දෙක දණහිස දක්වාත්, කමිසයේ අත් දෙක වැළමිට දක්වාත් නමා ගන්නා මම කොස්ස, බුරුසුව හා පනිට්ටුව ගෙන වැසිකිළි සේදීම ආරම්භ කරමි. ප්‍රධාන ලිපිකරු මෙත්තසේන දිව එයි. අනෙක් අයද දිව එති.

    "එපා එපා සර්. සර් වැසිකිළි හෝදන්න එපා. මේ ජයවර්ධනට කියලා බලෙන් හරි කරවන්න" මෙත්තසේන පවසයි.

    "හාමුදුරුවනේ මං හෝදන්නම්" කාර්යාල කාර්ය සහායක උක්කු බණ්ඩා මා අතින් කොස්ස උදුරාගැනීමට හදයි.

    ජයවර්ධන තුෂ්නිම්භූතව බලා සිටියි.

    "ඔයගොල්ල කලබල නොවී ඉන්නකෝ, මේක කළාට මට මදි පුංචි කමක් වෙන්නේ නැහැ, අපේ තාත්තා හිටපු වැව් ලේකම කෙනෙක් නෙවෙයිනේ. මේ වැසිකිළි ගඳ ගගහා තිබුනොත් මට තමා මදි පුංචි කමක් වෙන්නේ" මම පවසමි.

    පැය කාලකින් සියලු වැසිකිළි මැනවින් පිරිසිදු කර නිම කරමි. අනෙක් සැමදෙන මහා විස්සොපයකට පත්වී බලා සිටිති. අයෙක් ජයවර්ධනට දොස් නගති.කාර්යාලයට පැමිණි ගැමියන් කීප දෙනෙක්ද විමතියෙන් බලා සිටින්නේ කෙදිනකවත් සිදු නොවිය යුත්තක් සිදු වන්නේ යයි සිතන සෙයකිනි.

    වැසිකිළි සෝදා නිමකර මගේ නිළ අසුන වෙත යන මම ජයවර්ධන ම වෙත කැඳවමි. ඔහු පසු පසින් අනෙක් අයද පැමිණෙති.

    "ජයවර්ධන, තමන්ගේ තාත්තා කවුරුයි කියලද කිව්වේ?"

    "හිටපු වැව් ලේකම"

    "එතකොට මම කවුද?"

    "ඩීයාරෝ තුමා"

    "හිටපු ඩීයාරෝ ද? ඉන්න ඩීයාරෝ ද?"

    "ඉන්න ඩීයාරෝ."

    "ජයවර්ධන හිටපු වැව් ලේකම තනතුරයි ඉන්න ඩීයාරෝ තනතුරයි ගත්තහම ඔය දෙකෙන් කෝකද ලොකු?" මම අසමි. ජයවර්ධන පිළිතුරු නොමැතිව බිම බලා සිටී.

    "කියන්න ජයවර්ධන, මේ තනතුරු දෙකෙන් කොයි තනතුරද වැදගත්?" මම නැවත අසමි. ඔහු නිහඬය.

    "ජයවර්ධන ඒ තනතුරු දෙක අතරේ වෙනස කොයි වගේද?"

    "අහසයි පොළවයි වගෙයි."

    "එහෙම නං එච්චර වැදගත් ඩීයාරෝ තනතුර දරන මමත් කන්තෝරුවේ වැසිකිලිය හේදුවා, ජයවර්ධන දැක්කා නොවැ. ඉතිං වැව් ලේකම තනතුර දැරුවේ ජයවර්ධනත් නෙවෙයි. ජයවර්ධනගේ තාත්තා නොවැ. එහෙව් එකේ ජයවර්ධනට වැසිකිලිය හෝදන එක මදි පුංචි කමක් වෙන්නේ කොහොමද?"

    ජයවර්ධන නිහඬය. "මිට පස්සේ ජයවර්ධන වැසිකිළි හෝදන කොට මොකක් හරි ඒ වගේ අදහසක් අවොත් ජයවර්ධන හිතන්න මේ කරන්නේ ඩීයාරෝත් කරපු වැඩක් නේ කියල. දැන් ජයවර්ධන යන්න."

    පසුදින මම කාර්යාලය වෙත පැමිණි වහාම ලිපිකරු මෙත්තසේන මගේ කාමරයට පැමිණෙයි.

    "සර් ගේ වැඩපිළිවෙල හරි ගියා."

    "ඇයි මොකද උණේ?"

    "අද ජයවර්ධන උදේම්ම ඇවිල්ල කිසි කතා බහක් නැතුව වැසිකිළි ඔක්කොම හොඳට හෝදලා කන්තොරුවත් අතු පතු ගාල ඉවර කරා. අන්න දැන් වත්තත් සුද්ද කරනවා."

    == උපුටා ගැනීම අවසන් ==

    අපිට අදටත් ඉගෙන ගන්න තියන පාඩම් බොහොමයි!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook