Ahad, 13 Disember 2015

නැටුම් සර්ලාගේ විත්ති

 


නාලන්දේ නැටුම් සර්ලා දෙදෙනෙකු වූහ​. වෙළබඩගේ සර් සහ දයානන්ද සර් ය​. මේ සර්ලා දෙන්නාගෙන්ම ගුටි කෑමේ විරළ භාග්‍ය ලැබීමට මට හැකි විය​. 

අප හයේ පන්තියේ සිටියදී දයානන්ද සර් පැමිණ නැටුම් ඉගැන්වීය​. හනුමා වන්නම අපට ඉගැන්වූ ඔහු අපටද වන්නම කියමින් නැටීමට නියම කලේය​. හනුමා වන්නම මට තාම මතකය​. එය පටන් ගන්නේ මෙසේය​.  ...ගිරින් ගිරට පැන ලැගුම් සොයාගෙන ....... යනාදී වශයෙනි. 

මේ වන්නම කියමින් දයානන්ද සර් ඉදිරියෙන් නටයි. අප පසු පසට වී දයානන්ද සර් නටන අයුරු බලමින් එසේ නැටීමට තැත් කලෙමු. මේ අතර සර් ගේ පසු පස සිටි දීපාල් අත් දෙක කොළපුවක් සේ සදාගෙන සර් ගේ පිටුපසට ගොම්පස් ඇල්ලීය​. මේ විකාරය දුටු මට සිනහව නවතා ගත නොහැකි විය​. වන්නම කිය කියා නටන විට සිනාසුනු කෙනා කවරෙක්දැයි කියා ඇසූ ගුරුතුමා මගේ කනෙන් ඇද්දේය​. 

නැටුම් සර් ගේ උදව්වට සංගීත සර් ද විය​. ඔහුගේ නම පතිරණ සර් විය​. පතිරණ සර් වයලීනය වැයුවේය​. වරක් ඔහු සුවඳ රෝස මල් නෙලා යන ගීතය ස සරි දාම පාද සා කියමින් වයන විට පසුපස සිටි මමත් ප්‍රසාද් රන්උළුත් ඒ සංගීතයට සාමගාමීව කටෙන් ගිටර් හඞක් වැයුවෙමු. පතිරණ සර්ට  අසු වූයේ එක ගිටාර්කාරයෙකි. අනෙක් ගිටාර් වාදක ප්‍රසාද් රන්උළු බේරුණි. වර්තමානයේ ප්‍රසාද් රන්උළු නාරි හා ප්‍රසව විශේසඥ වෛද්‍යවරයෙකි. 

පසු කාලයක පතිරණ සර්ගේ සහයට තවත් සංගීත ගුරුවරයෙක් ආවේය​. ඔහු නමින් එඩ්වඩ් ජයකොඩි නම් විය​. පසු කාලයක මේ ගුරුවරයා ලංකාවම දන්නා ගායකයෙකු විය​. එහෙත් එඩ්වඩ් ජයකොඩි සර් ගෙන් මා ගුටිකා නැත​. 

1976 වසරේ දී වෙළබඩගේ සර් බාලදක්‍ෂ කන්ඩායමට නැටුමක් පුරුදු කිරීමට ආවේය​. ඒකාලයේ පෝතක බාලදක්‍ෂයෙකු වූ මා ඇතුළු බොහෝ  බාලදක්‍ෂයන් වරද්දන වරද්දන නැටුම් පියවරක් පාසා වෙළබඩගේ සර් ගෙන් කෑවෙමු. වෙළබඩගේ සර් වේවැල වෙනුවට අත තබාගෙන සිටියේ ලී කෙළි පොල්ලකි. 

1979 වසරේදී පාසලේ නව විද්‍යාගාරය ජනාධිපති ජේ . ආර් ජයවර්ධන මහතා අතින් විවෘත කෙරුණි. ජනාධිපති ජේ . ආර් ජයවර්ධන පිළිගැනීමේ ගීතය සහ නැටුම  සංවිධානය කරන ලද්දේ වෙළබඩගේ සර් විසිනි.  එම ගීතයේ කොටසක් මට තවමත් මතකය​. එය ආරම්භ වන්නේ මෙසේය. රාෂ්ඨ ප්‍රජාපතී... ජයවර්ධන ........මෙම ගීතය ගායනා කලේ අලයා ( මේ සිසුවාගේ නම මතක නැත​) ප්‍රමුඛ ගීත ගායනාවට දක්‍ෂ ළමුන් පිරිසකි. 

දොලහේ පන්තියේ සිටියදී අප නාට්‍යක් සංවිධානය කලෙමු. මේ නාටකය සඳහා යක් බෙරයක් අවශ්‍ය විය​. අප එය වෙළබඩගේ සර්ගෙන් ඉල්ලා ගත්තෙමු. නාට්‍ය රඟ දැක්වීමෙන් පසුත් මේ යක් බෙරය පන්තියේ තිබූ අතර සමහර සිසුන් දේයි දේයි ගාමින් යක් බෙරයට ගැසූහ​. තවත් සිසුවෙක් ලී කෙළි වලට ගන්නා ලී කොට දෙකකින් යක් බෙරයට ගසා යක් බෙරයේ එක් මුහුණතක් පැළුවේය​. මේ අතර වහාම යක් බෙරය නැටුම් කාමරය වෙත ගෙන එන ලෙස වෙළබඩගේ සර්ගෙන් විධානයක් ලැබුණි. 

මේ නියෝගයෙන් ගත සීතලවූ අප බේරීම සඳහා එක්සත්ව ක්‍රියා කලෙමු. සුදු  කඩදාසියක් ගෙන යක් බෙරයේ  පැලී ගිය මුහුණත මත ඇලවූයෙමු. ඉන් පසු කළු කඩදාසියක් ගෙන එය රවුමට කපා සුදු  කඩදාසිය මධ්‍යයේ ඇලවූයෙමු. ඉන්පසු යක් බෙරය ප්‍රවේසමෙන් ගෙන නැටුම් කාමරයට ගියෙමු. 

නැටුම් කාමරයේ වෙළබඩගේ සර් සිටියේය​. අපේ නඩයේ එක් කොල්ලෙක් සර් මෙන්න යක් බෙරය ගෙනාවා කියා බෙරයේ පැළුනු මුහුනත බිමට සිටිනසේ යක් බෙරය නැටුම් කාමරයේ බෙර තිබූ තැනින් තිබ්බේය . අප  වහ වහා පිටවී ගියෙමු. යක් බෙරය කොල්ලන් පලා තිබෙන බව නැටුම් සර් දැන ගත්තේ දොමි කිත කිත තා.... කියා යක් බෙරය ගැසීමට ගිය අවස්ථාවක බව අපට පසුව දැනගන්නට ලැබුණි. නමුත් යක් බෙරය පැලුවේ කව්දැයි සොයා ගැනීමට නැටුම් සර් අපොහොසත් වූයෙන් අපට හුස්ම වැටුණි. 

පසු කාලයක මම උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සේවය කරන විට ශල්‍යකර්මයක් කර ගැනීමට වෙළබඩගේ සර් පැමිණියේය​. මම සර්ව විශේසඥ ශල්‍ය වෛද්‍ය සරත් කොල්ලූරේ මහතා වෙත යොමු කිරීමට සහාය වූයෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

30 ulasan:

  1. ඉතින් අපට පාන්ද ඩොක්

    BalasPadam
    Balasan
    1. අපොයි නැ ඩබල් බනිස්

      Padam
    2. උඩ ඇනෝ උඹේ සර්නේම් එක පාන් ජොකා නේද

      Padam
    3. පාන් හරි බත් හරි

      Padam
  2. හිහ් හිහ් හිහ්, අම්මපා පුදුම ඇම්ඩෙක් නේ.

    අපේ කාලේ නැටුම් ගුරුවරයාව සෑම පාසලකම පාහේ පොදුවේ හඳුන්වපු නම තමයි, 'තක්කිටයා'.

    රාජකරුණා නමැති නැටුම් ගුරුවරයෙක් හිටියා 1960 දශකයේ. හිටියේ කොහෙද කියලා කියන්න බැහැ. ඔහුගේ පරපුරේ අය අදත් සිටින නිසා. උන්නැහේ නැටුම් කාමරයේදී ශිෂ්‍යාවන්ට 'පෞද්ගලිකව වන්නම් කියාදෙන බව' එකල කුප්‍රකට කතාවක්. ඒ වගේම, අද ඉන්න ජ්‍යොෂ්ඨ වයෝවෘද්ධ සිනමා නිළියකගේ, අවිවාහක කාලයේ නමේ අගකොටසට තියන නම හිමි ගුරුතුමියකගේ සෙරෙප්පුව, අර නැටුම් ගුරුවරයාගේ කම්මුල සිපගත් බවත්, ප්‍රසිද්ධ රහසක්.

    BalasPadam
    Balasan
    1. //අද ඉන්න ජ්‍යොෂ්ඨ වයෝවෘද්ධ සිනමා නිළියකගේ, අවිවාහක කාලයේ නමේ අගකොටසට තියන නම හිමි ගුරුතුමියකගේ// ඔච්චර අගේ කරන්නැතුව කියනවනම් කියන්නකෝ අෆ්ෆා...

      Padam
    2. අපේ බුවාලා දෙන්නට ඔය සබ්ජෙක්ට් තිබ්බේ නැහැ

      Padam
  3. හි..හි.. වෙලාවට නැටුම් කරේ නැත්තේ.. අපි සෞන්දර්ය විෂයන් ඉගෙන ගත්තේ මෙහෙමයි.. චිත්‍ර/ නැටුම්/ සංගීතය පෙරදිග හා සංගීතය අපරදිග කරපු ගුරුවරු හතර දෙනාගෙන් එක් කෙනක් බොහෝ දවසට එන්නේ නෑ.. අන්න ඒ දවසට අපි ඒ විෂය තමයි ඉගෙන ගන්නේ.. (තාක්ෂණය විෂයනුත් එහෙමයි..) මේවා ගොඩක් වෙලාවට ඩබල් පීරියඩ් නිසා මුල් කාලේ පිට්ටනියට වෙලා සෙල්ලම් කරන්නයි පස්සේ ඉස්කෝලේ තාප්පෙන් පැනලා ගිහින් 'ඕනි මජර වැඩක්' කරන්නයි ඇති වෙන්න වෙලාව තිබ්බා.. විභාග වලට චිත්‍ර විෂය ලියනකොට ඒ ගුරුවරු අපිව අඳුනන්නෙත් නෑ.. :-)

    BalasPadam
    Balasan
    1. එහෙම උන්ට ඉතින් හමුදාවක නැතුව වෙන රස්සාවකට යන්නයැ

      Padam
    2. //එහෙම උන්ට ඉතින් හමුදාවක නැතුව වෙන රස්සාවකට යන්නයැ// ඒකනේ.. හැමදාම කට්ටි පැන පැන හිටියට ඒ වෙලාවේදී හරි රස්සාව තොර ගත්තා.. :)

      Padam
    3. අපෙත් තිබ්බේ චිත්‍ර/ නැටුම්/ සංගීතය ; අපේ කොල්ලෝ එක වාරෙකට චිත්‍ර අනෙක් වාරේ නැටුම් යනාදී විශයෙන් කරා

      Padam
  4. මටත් හොඳට මතක් තියෙන එකම වන්නම තමයි ඔය "හනුමා" වන්නම.

    වෙළබඩගේ සර්ගේ බෙරේ පලපු කතාව නම් නියමයි.

    BalasPadam
    Balasan
    1. බෙරේ පලලා නොකා බේරුණු එක මාරයි

      Padam
  5. සුළගේ ලෙළෙනා මලසේ දගපා
    අපපාසල් ගිය කාලයේ
    යහළුවෝ අද නැත
    වෙන අය එහි ඇත
    කාලය මැව්
    වෙනසක අරුමේ.

    BalasPadam
    Balasan
    1. අප පාසල් ගිය කාලයේ යහළුවෝ අද නැත ......................

      Padam
  6. ස නි ම ම ප රි රි රි ප ග ප ග ග ග නි.
    දන්න එකෙකුට තේරෙයි

    BalasPadam
    Balasan
    1. මෙන්න වඩාත් හොඳ එකක්-
      සාරි මග දම දමා මාරී රිරී පාග පාගා නිදා ගනී!

      Padam
    2. සනි මමා දනි පනි ගගා පගා පගා

      Padam
    3. සනි මාම මගම රීරි පාග පාග ගාගනී...

      Padam
  7. Balasan
    1. ඒ උනාට ඒ පෝරියල් වල මිහිරක් තිබුනා , අද කාලේ වගේ ගුරුවරු ලමයින්ට තුවාල වෙන්න ගැහුවේ නැහැ

      Padam
  8. මල්ලිගෙ විත්ති පොත මතක් උනා.ගුරුවරුන්,සිසුන් සහ දෙමවුපියන් අන්තවාදීන් නොවූ ඒ අත්තීතය කොච්චර රසවත් ද?
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මල්ලිගෙ විත්ති මම ආස කරපු පොතක්

      Padam
  9. නටලා නටලා අන්තිමට දොස්තර කෙනක් වෙලයි නැවතිලා තියෙන්නේ.

    BalasPadam
    Balasan
    1. එතනින් නැවතුනා මදෑ

      Padam
  10. "නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ." කියන එක හරි වගේ. :)

    BalasPadam
  11. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  12. හයේ පංතියෙදි සෞන්දර්ය විෂයට චිත්‍ර නැටුම් හෝ සංගීතය තෝරාගන්න පුලුවන්.මුලින්ම මාසයක් වගෙ හැමෝටම අවස්ථාව දෙනව ඒ ඒ විෂය ඉගැන්වෙන පංතියට ගිහිල්ල ඉඳල බලල තමට ගැලපෙන විෂයය තෝරගන්ට. ඒ මාසෙ නැටුම් සර් ඇබ්සන්ට් දවසට අපි කරන්නෙ නැටුම්. චිත්‍ර මැඩම් ඇබ්සන්ට් දවසට චිත්‍ර.

    / ගිරින් ගිරට පැන ලැගුම් සොයාගෙන ..../

    ලැගුම් සොයාගෙන නෙවෙයි ලැගුම් සොයා....සුදු අසු පිට උඩ නැඟලා කියල කිව්ව වගේ...හෙහ්,හෙහ්..

    ගිරින් ගිරට පැන ලැගුම් සොය පුබුදමින් අරුණ කල මා
    ගොර දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදුමා

    / මමත් ප්‍රසාද් රන්උළුත් ඒ සංගීතයට  /

    ඔය නම රන්නුලු නෙවෙයිද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook