Tuesday, November 18, 2025

ආගමික ජුන්ටාවට බිය වීම

 



නිදහසින් පසු ආගමික ජුන්ටාකාරයන් රටට කල හාණිය සුළු පටු නැත​. ඔවුන් ආගමේ නියෝජිතයන් නොවේ ආගම විකුනාගෙන කන පිරිසකි. ආගමික ජුන්ටාකාරයන් තමන් ගේ ආගම අදහන්නේ වත් තමන් ගේ ශාස්තෘවරයාවත් අනුගමනය කරන්නේ නැත​. ආගමික ජුන්ටාකාරයන් දුස්සීලයන් වන අතර ඔවුන් ධනය බල රතිය සඳහා තමන් ගේ විනාශකාරී ව්‍යාපෘති ආගමික අන්තවාදීන් ගේ සහායෙන් ගෙන යති. ඔවුන් ගෙන් යැපෙන ගිහි පිරිසක් ද  ආගමික ජුන්ටාකාරයන්ට සහාය පිණිස රොද බැඳ සිටිති. 

ආගමික ජුන්ටාකාරයන් නිසා ශ්‍රී ලංකාව ගෙවන ලද මිල අප්‍රමාණය​. ඔවුන් ලංකාව විනාශකාරී වාර්ගික සහ ආගමික යුද කෝලහල වලට ඇද දැමූහ​. 1956 දී බණ්ඩාරනායක ආගමික ජුන්ටාකාරයන්ට බිය විය​. ස්වභාවයෙන්ම බියසුළු පුද්ගලයෙකු වූ බණ්ඩාරනායක ඔවුන් හමුවේ දණ නැමීය​. මේ නිසා තිස් අවුරුදු යුද්ධයකට මුල් ගල තබන්නට ආගමික ජුන්ටාකාරයන්ට හැකි විය​. ආගමික ජුන්ටාකාරයන් ඉදිරියේ නොසැලී නොබියව සිටියේ සර් ජෝන් කොතලාවලය​. ඔහු නොබියව ආගමික ජුන්ටාකාරයන් ගේ පශ්චාත් භාගයේ තාර  ගෑ යුතු බව කීවේය​. පසුකාලීනව සිරිමාවෝ , ජේ ආර් මෙන්ම ප්‍රේමදාසටද ආගමික ජුන්ටාකාරයෝ බාල්දි පෙරලූහ​. 

රාජපක්‍ෂ රෙජීමය ආගමික ජුන්ටාකාරයන්ව ඔවුන් ගේ කුණු කොන්ත්‍රාත් සඳහා   භාවිතා කල අතර  ආගමික ජුන්ටාකාරයන්ට   ඩිෆෙන්ඩර් ඇතුළු වදරාන මෙන්ම සිවිල් බලයක් ද ලබා දුන්නේය​. මින් ජවයක් ලද ආගමික ජුන්ටාකාරයන්  මුස්ලිම් විරෝධයක්ද අවුලා සහරාන් ලබා බෝම්බ ගැස්සුවේය​. ඉන් ආගමික ජුන්ටාකාරයන්ට කිසිදු හාණියක් නොවූ අතර අහිංසක සිවිල් ජනයා එහි වන්දිය ගෙව්වේය​. 

වර්තමානයේ ආගමික ජුන්ටාකාරයන් යලිත් සමාජයට හාණි කරමින් සිටිති. ශබ්ද දූෂණය​, ළමා අපචාර මෙන්ම සමාජය භේධ භින්න කරමින් බලකාමී දේශපාලකයන්ට මාර්ගය සකස් කර දීම ඔවුන් විසින් සිදු කරති. ආගමික ජුන්ටාකාරයන් ජන මතයට ගරු නොකරති. සිවිල් සමාජය අතලොස්සක් වූ අන්තවාදී ආගමික ජුන්ටාකාරයන් ඉදිරියේ හිස නැමිය යුතුද ?  එදා බණ්ඩාරනායක මෙන් අද අනුර කුමාර ආගමික ජුන්ටාකාරයන් ඉදිරියේ දණ ගැසුවේද ? 

ජේවීපී - එන්පීපී ආණ්ඩුව  බහුතර බලයක් ලබා නීත්‍යානුකූලව පත් වූ රජයකි.  නමුත් සැලකිය යුතු කොටසක් ජේවීපී - එන්පීපී ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයන් අනුමත කරන්නේ නැත​. එහෙත් ඔවුන් ජේවීපී - එන්පීපී විරෝධය ආගමික ජුන්ටාකාරයන්ට පාවා  දෙන්නේද නැත. වර්තමාන රජයේ සතුරෙකු වන නන්දන ගුණතිලක පවා ආණ්ඩුවේ තක්කඩිකම් පැරදවීමට ,ජාතිවාදය ආගම් වාදය නොඅවුළුවනු කියා ප්‍රසිද්ධියේ කීවේය​. ලක්‍ෂයක් මරා හෝ බලයේ සිටින බවට කී ජයලාල්ට හෝ සතුරන්ට කිසිදා සමාව නොදෙමු කී ටිල්වින්ට 88/89 දී මෙන් තමන් ගේ ගල් කටස් සිවිල් ජනතාව වෙත හැරවිය යුතු නැත​. එවැනි විනාශයක් කිරීමටද සිවිල් සමාජය ඉඩක් දෙන්නේ නැත​. එහෙත් වගාඩම් බර කියූ ටිල්වින් ආගමික ජුන්ටාකාරයන් ඉදිරියේ පසු බැස්සේ කෙසේද යන්න විමතියකි. සමාජය බෙදා භින්න කරන ආගමික වාර්ගික අන්තවාදය අවුලවා සමාජය විනාශ කරන ආගමික ජුන්ටාකාරයන්ට එරෙහිව සාමය ලැදි අන්තවාදය ප්‍රතික්ශේප කරන ජනතාව  මෙන්ම ආණ්ඩුවේ විවේචකයෝද සිට ගන්නේ ජනතා චන්දයෙන් පත් වූ නීත්‍යානුකූල රජය සමග බව  කිව යුතුය​. 

අනුර කුමාර ඔබ ඉදිරියේ විකල්ප දෙකකි. 56 දී සෙවල බණ්ඩා මෙන් ආගමික ජුන්ටාකාරයන්ට බිය වී සිවිල් සමාජය  අනාගත විනාශයකට පාවා දෙනවාද නැතහොත් සර් ජෝන් මෙන් ආගමික ජුන්ටාකාරයන් බැඳ තබනවාද ? ඉතිහාසය විසින් ඔබව විනිශ්චය කරනු ඇත​. ප්‍රමාද නොවී පිස්සු බල්ලන් බැඳ තබා සමාජය බේරා ගන්න​.





1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook