Sabtu, 2 Julai 2016

ජය මාවත

 


ජය මාවතෙන් පනින කොල්ලෝ 

නාලන්දේ තාප්පයක් පිපිරී හිඩැසක් සෑදී තිබුනේය​. පසුව මෙම හිඩැස කොල්ලන් විසින් හාරා තාප්පයෙන් කොටසක් කඩා වැටුනේය​. මෙම කොටස කටුකම්බි ගසා ආරක්‍ෂා කෙරුවද කොල්ලන් මේ ආරක්‍ෂක වැටවල් කඩා පොඩි මාර්ගයක් විවෘත කර ගන්නා ලදි. මෙම මාර්ගය ජය මාවත ලෙස හඳුන්වන ලදි. 

කොල්ලන් පාසලෙන් කට්ටි පැනීමට ජය මාවත යොදා ගත් හ​. ජය මාවතෙන් පනින කොල්ලන් යාබද සයිමන් අයියාගේ සැලූන් එකට හෝ නැතහොත්  කුප්පියාවත්ත හෝටලයට ගොස් වල්පල් කතා කරමින් ( සමහරු සිගරට් උරමින්ද කාලය කති) පසුව ශිෂ්‍ය නායකයන් කැලෑ පනින කොල්ලන් ඇල්ලීමට යොදවා ගත් නිසා ළමුන් මරදාන , කැම්බල් පිටිය වැනි දුර ස්ථාන කරා ගොස් පච හැලූහ​. ශිෂ්‍ය නායකයන්ට නියමිත වූ ශිෂ්‍ය නායක කාමරයක් තිබූ නිසා බොහොමයක් ශිෂ්‍ය නායකයන් පන්ති කට් කොට ශිෂ්‍ය නායක කාමරයේ වල්පල් කතා කරමින් උන්හ​. 

අට වසරේ සිටියදී මමත් රුෂාන්තත් , ලාල් රූපතුංගත් අවසන් පීරියඩ් දෙකට පෙර ජය මාවතෙන් පැනීම සඳහා ඒ දෙසට ගියෙමු. රුෂාන්තත් , ලාල් රූපතුංගත් මට පෙර ගිය අතර මම ජය මාවතෙන් පැනීමට යන විට අපගේ පන්ති භාර ගුරුවරිය වූ රොද්‍රිගූ ටීච ආවාය​. මම එකෙහින්ම අසල තිබූ පණිට්ටුවක් ගෙන රොද්‍රිගූ ටීච වවන ඇන්තූරියම් වගාව වෙත ගියේ මල් වලට වතුර දමන බවක් පෙන්වීමටය​. 

මගේ රඟපෑම සාර්ථක වූ නමුත් මට එදින පැනීමට නොහැකි විය​. රොද්‍රිගූ ටීච මා අතට රේක්කයක් ද දුන් හෙයින් මම පාසල අවසන් වන තෙක් බැන බැන රේක්ක ගෑවෙමි.   

තවත් දිනෙක මමත් කපිල විදාණරාළත් උදෑසනක ජය මාවතෙන් පැන්න අතර ශිෂ්‍ය නායකයන් අප පසුපස දිව ආවේය​. අප දෙදෙනා දෙපසකට දිව ගියෙමු. මා පසුපසින් ආ ඌචා නම් ශිෂ්‍ය නායකයා මාව අල්ලාගෙන විදුහල්පතිවරයා  වෙත ගෙන ගියේය​. මම ඌචාට නොවඳිනා වැඳුම් වඳිමින් මාව අත හරින ලෙස කීවෙමි. එසේම ඔහුගේ නිවස අසල සිටින තරිඳු පෙරේරා නම් ආනන්දීයාද මගේ මිතුරෙකු බව කීවෙමි.  මාව විදුහල්පතිතුමාගේ කාර්‍යාලය අසලටම කොලර් එකෙන් අල්ලාගෙන ගිය ඌචා අවසානයේදී මා අත හැරියේය​. මම ඌචාට ස්තූති කරමින් පන්තියට දිව්වෙමි. 

එදින අමරසිංහ හෙවත් මැස්සාද ජය මාවතෙන් පනින විට ශිෂ්‍ය නායක සෝභිත රාජකරුනා සහ තවත් පිපෙට් කෙනෙක් ඔහුව අල්ලගෙන ආවෝය​. අතරමගදී කැන්ටිමට බීම ගේන එන වෑන් රථය ආවෙන් ශිෂ්‍ය නායකයන් දෙදෙනා පාර අද්දරට ගියහ​. මැස්සා පාරේ අනෙක් පසට ගොස් එකහින්ම වෑන් රථයේ පසුපස එල්ලුනේය​. ඉන්පසුව වෑන් රථයේ පළුවක් ඇර බීම බෝතල් අස්සේ සැඟ විය​. බෝතල්  තොගයක්  බෑමෙන් පසු රියැදුරා විදුහල් ගේට්ටුවෙන් ඉවතට වාහනය ධාවනය කරන ලද අතර මගක් දුරදී මැස්සා වාහනයේ බඳට තට්ටු කොට වෑන් රථය නවතා ඉන් බැස්සේය​. මේ අතර අතට හසුවූ සැකකරු අන්තර්ධානවීම නිසා සිසු නායකයන් දෙදෙනා අන්දමන්ද වූහ​. පසුදින් ඔවුන් මැස්සා වෙත ගොස් ඔහු අන්තර්ධාන වූයේ කෙසේදැයි අසා තිබුනි. 

මෙසේ කොල්ලන් නිතරම ජය මාවතෙන් පැනීම ගැන ආරංචි වූ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා වරක් රැස්වීමකදී මේ ගැන කියමින් එය ජය මාවත නොව පරාජයේ මාවත යැයි කීවේය​. ඉන්පසු මම කිසි දිනෙක ජය මාවතෙන් කට්ටි පැන්නේ නැත​. පසුව තාප්පය අලුතින් සාදමින් ජය මාවත සදහටම  වසා දමන ලදි.




30 ulasan:

  1. Me kolloda? Kolu thaththalada?

    BalasPadam
  2. කැන්ටිම පැත්තේ බාස්කට් බෝල් කෝට්ස් හරහා බ්ලූම්ෆීල්ඩ් පැතත්ට පැනිය හැකි කොට තාප්පයක් අපේ පාසැලෙත් තිබුණා. මම නම් ඒක පාවිච්චි කලේ පාසැල ඇතුලට පැනීමට. හැමදාම වගේ ප්‍රමාදවී පාසැලට එන නිසා ප්‍රධාන ගේට්ටුවෙන් නොයා මෙතනින් පැනීම ගැලපුණා.

    පාසැලෙන් කලින් යන්න ඕන විට පාවිච්චි කලේ අංශ ප්‍රධානී ගුරුතුමාගේ අත්සන ඔහුට වඩා හොඳින් ගැසීමේ තිබූ හැකියාව. ඒ අත්සනත් එක්ක ප්‍රධාන ගේට්ටුවෙන් කිසිම කරදරයක් නැතුව පිට වීමට හැකිවුණා. විභාග ලකුණු, පිටවීමේ අවසර සහිත පොතක් තමයි ඒ පාසැලේ තිබුණේ. එම නිසා හොර අත්සන තිබෙන පිටේම ඔහුට කියා නියම අත්සන ලබා ගත් අවස්ථා තිබුණා. අරූ මහතා කියවනවා නම් යූස්ටස් ගුරුතුමා මතක ඇති.

    BalasPadam
    Balasan
    1. යූස්ටස් ගුරුතුමා ගැන අරූ අයිය ලියල තිබ්බ..

      Padam
    2. හොර අත්සන තිබෙන පිටේම ඔහුට කියා නියම අත්සන ලබා ගත් අවස්ථා තිබුණා//////////// Mara Aiyala

      Padam
  3. විදුහල්පති තුමා ගැටලුව විසදූ හැටි විශිෂ්ඨයි..

    BalasPadam
  4. 1970 කාලයේ ආනන්දයේත් ඔය වගේ තාප්පයේ සිදුරක් තිබුනා පන්සල පාරට පැනීමට හැකි ලෙසට. මාත් එය පාවිච්චි කර තියනවා. ශිෂ්‍ය නායකයකුව සිටියදීත් බැජ් එක ගලවාගෙන මේ සිදුරේ පිහිට ලබා ගත් වාර අනන්තයි!

    BalasPadam
    Balasan
    1. මාත් එය පාවිච්චි කර තියනවා. ශිෂ්‍ය නායකයකුව සිටියදීත් //////////// ඔය පේනව නේද

      Padam
  5. පොල් ටොක්කා මහතාගෙන් ගුටිකා ඇති මාත් ඔය පැනිල්ලට මාට්‍ටු වෙලා. දවසක් කේජුකොටා මහතා බලා ඉන්දැද්දි මහ ගේට්‍ටුව උඩට බඩ ගාලා පනින්න වුනා. කෙලින්ම නැවතුනේ පුංචි බො‍රැල්ලටම දුවලා. ඒක වුනේ ගේට්‍ටුවට අත තියනකොටම කේජුකොටා මහතා දැකලා "ඒයි" කියලා කෑගහපු නිසයි.

    BalasPadam
    Balasan
    1. කේජුකොටා මහතා හමු නොවී දිව්ව එක හොඳයි නැත්නම් ගුටි මල් හතයි

      Padam
  6. රුවන් සහ හෙන්රි,

    කිත්‍යාකාර පාරෙ ඕරමන්ඩි ගෙදර මතකද? එක දවසක් තක්ෂිලා හෝල් එක පිටිපස්සෙ තාප්පෙන් පැන්නම ප්‍රිෆෙක්ට්ල පන්නගෙන ආව. කරන්ඩ දෙයක් නැතිතැන ඕරමන්ඩි ගෙදර සාලෙ මැදිං ගිහිල්ල ඉස්සරහ දොරෙං එළියට ගියා. සාලෙ කතාකරකර හිටපු වයසක ඇන්ටිල දෙනෙනෙක් කටත් ඇරගෙන බලා හිටිය. ඒ ගැන වෙනම ලියන්ට ඕන...:)

    BalasPadam
    Balasan
    1. මචං ඔය ඕරමන්ඩි ගෙදා ඕරමන්ඩියා කාලයක් ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා හිටියා. ඌත් මාව අල්ලගෙන තියෙනවා කීපවතාවක්. එක පාරක් ඕරමන්ඩියෝ කියලා කෑගහනකොට ඌ නොහිතපු විදියට මතුවෙලා. පස්සෙ කාලෙක ඕරමණ්ඩිය ප්‍රවාහන ක්ෂේත්‍රයෙද කොහෙද ලොකු පු‍ටුවක හිටිය නේද? ඕරමණ්ඩියා මිසක් නියම නම මතක් වෙන්නෙ නැති හැටි බලහංකො, සික්.

      Padam
    2. Henry,

      ඕරමන්ඩි ගෙදර බෝඩිමකුත් තිබ්බ. රොෂාන් මහානාමල එක්ක ක්‍රිකට් ගැහුව කපිල වික්‍රමසූරිය මට මතකයි ඔය ඕරමන්ඩි ගෙදර හිටියෙ. ඒත් පොරගෙ ගෙදර ඒකද බෝඩ් වෙලා හිටියද කියන එකනම් මතක නැත.

      ප්‍රවාහන ක්ෂේත්‍රයෙ?... කවුද බං ඒ?..නෝ අයිඩියා..එහෙම කෙනෙක් මම දන්නෙ ලංගම සභාපති විතරයි... රමාල් සිරිවර්ධන. ඒත් රමාල් ගැන වෙන්න බෑ උඹ කියන්නෙ.

      Padam
    3. මම හිතන්නෙ රමාල් තමයි ඕරමන්ඩියා. පොඩ්ඩක් හොයලා බලහං. උඹට කන්ටැක්ට්ස් තියෙනවනෙ.

      Padam
    4. ඕරමන්ඩියා කිව්වේ අර ඇස් ලොකු හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච අමර බන්දුට නේද ?

      Padam
    5. රුවන් මල්ලි ,නැවත පාසල් සමයට රැගෙන ගියාට ස්තුතිවන්ත වෙමි. මගෙ පරන ගොලයෙක් ලින්ක් එක එව්වෙ. අනිවාර්යයෙන් කියවන්න කියල. මගෙ ගෑනත් කොම්මෙන්ට් එක්කක් තියනවා කියල.දැන් පැය ගනනාවක් මම ඔයාගෙ බ්ලොග් එකෙ. හරිම හරවත් හා රසවත්. මම හිතන විදියට ඔර්මන්ඩියා කියන්නෙ මටවත් රමාල්ටවත් නෙමෙ. මම ඔය නම අහල තිබ්බට්ට පුද්ගලයා හමුවෙලා නැහැ . නමුත් කපිල සහ සූනන්ත ලගෙ ඇනෙක්සිය තිබුණේ ඒ ගෙදර. නමුත් ඔබගේ මතකයේ මගෙ නම තිබුනට ස්තුතිවන්ත වෙමි.
      කුලුපන ඔබගේ මතකයෙ ඇතැයි සිතමි. ගිය මස අග ඔහු ජය මාවත ගැන මතක් කරලා අතිතය රස වින්දා.
      පසු ගිය මැයි මස ලන්කාවට ගිය වෙලාවෙ සිසිර දාබරේ හමු වුනා. නාලන්දාව කවදාවත් අපට අමතක නොවනු ඇත. !

      ප්‍රසන්න අමරබන්දු

      Padam
    6. අමරබන්දු අයියේ සොරී මම අපහාසාත්මක චේතනාවකින් නෙවෙයි ඇහුවේ. අයියව අන්තිමට දක්ක්කේ 1983, 84 කාලයක වගේ උනත් අද දක්වා (2016) අයියව මට මතකයි. ලඟදී අතුල (ගොරකයා) අපේ ගෙදර ආවා දුවව බලන්න ආපු ගමන​. අපි අයියාවත් මතක් කලා . අතුල කිව්වා අයියා සිරා ජොබ් එකක් කරනව කියලා. හරි සතුටුයි. FB eken connect venna

      Padam
    7. හා ..හා .. එය රසවත් අතීතයේ සොඳුරු වදනක් ! මම තාමත් ආදරෙයි ඒ අතිතයට !

      Padam
    8. Ormandiya kiyala nama watila thibune Wimalanatha ta. Ae mage samakaaleenayek.

      Padam
  7. ඒ ගෙදර තවම තියනවද?

    BalasPadam
    Balasan
    1. සුනන්ත වික්‍රමසූරිය හිටපු ගෙදර මතකයි

      Padam
  8. ඒ කාලේ ඉස්කෝලේ වටේට තාප්පයක් නොතිබුන නිසාත්, ගේට්ටුවේ මුරකාරයෙක් නොහිටිය නිසාත්, අපිට නම්, හැම වෙලාවේම, ජය මාවත විවෘතව තිබුණා.

    BalasPadam
  9. රුවන් අයියා, සෝභිත රාජකරුණා නේද දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ. සෝභිත වීරසේකර කියලා නසරානියෙක් හිටියා . ඌ දැන් හමුවුනත් ගහනවා ඇත්තමයි. ඒ තරමට ඌ අපේ පස්සෙන් පැන්නුවා . තාප්පෙන් පනින කොට මූ එහා පැත්තේ ඉන්නවා. නොදකින්!!!

    BalasPadam
    Balasan
    1. සෝබිත වීරසේකර මගේ පස්සෙනුත් පන්නල තියනවා දැන් නම් මගේ එෆ් බී එකෙත් ඉන්නවා

      Padam
  10. අපි 8 වසරේ ඉන්න කාලේ ඔය පන්ති හරියේ තමයි හිටියේ (ඔය පේන්න තියෙන ගොඩනැගිල්ලේ). එතකොට ඔතනින් පනින්න බෑ, මොකද පනින තැන් එතකොට වහලා තිබ්බේ. මම මේ කියන්නේ 2003-2004 වගේ. මොනවා හරි ගන්න ඕනේ නම් සමහර වෙලාවට ටීචර් කෙනෙක්ට කිව්වම යන්න පුලුවන් ඉස්සරහා ගේට්ටුවෙන්ම වගේ.එහෙම කියලා කිහිප සැරයක්ම වගේ මම ළග තිබ්බ කඩේට ගිහින් තියෙනවා, නමුත් පොඩි ළමයින්ට නම් යන්න දෙන්නේ නෑ, දිග කලිසම් වගේ නම්, ඉස්කෝලේ හොද නමක් තියෙනවා නම් ප්‍රශ්ණයක් නෑ. අපි හිටියේ එතකොට ඔය හරියේම තමයි, ඉස්කෝලෙට දාගන්න කියලා, තාත්තා ගෙයක්ම ගත්තා ඔය ලගින්ම, එක පාරක් ඉවෙන්ට් එහෙකට ඕන කරන ඇදුම් වගයක් ගන්න ගෙදරටම යන්න ටීචර් ඉඩ දුන්නා. එදා නම් ටිකක් බය වෙලා හිටියේ මොකද කොට කලිසම් නිසා, පාරත් පාළුයි, නමුත් ප්‍රශ්ණයක් නැතුව ගෙනාවා ඇවිදගෙන යන දුර නිසා. දැන් ඉස්කෝලේ යන අයට මට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි, ඉස්කෝලෙන් කට්ටි පනින්න ලැස්තිවෙන්න එපා. කවුරුත් ගහනවට බනිනවා බයේ නෙවෙයි, අවංකවම හිතට ගන්න එහෙම පැන්නොත් ඒක අධ්‍යාපනයට බාදා වෙනවා කියලා. ඉස්සරහට ETCA එන නිසා, හොද අධ්‍යාපනයක් නැත්නම් පාරේ හිගාකන්න තමයි පේන්නේ දැන් තියෙන බඩු මිලේ හැටියට. අපිට නම් ප්‍රශ්ණයක් නෑ මොකද අපි දැනටම ජොබ් කරන නිසා, නමුත් ඉස්සරහට එන අයට තමයි ප්‍රශ්ණය බරපතල වෙන්නේ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook