Ahad, 17 Julai 2016

වැලැන්ටයින් කුමාරයා

 



මඩොල් දූව පොතේ මගඩි නාටකය කොටසේ රාක්සයාගේ කටින් යතුර අරගෙන කුමාරි බේරගත්ත වැලැන්ටයින් කුමාරයා කියා කෑල්ලක් තිබේ. මේ සටහන ඒ වැලැන්ටයින් කුමාරයා ගැන නොව වෙනත්  වැලැන්ටයින්  කෙනෙක් ගැනය​. 

වෛද්‍ය පීඨයේ පළවන , දෙවන සහ තෙවන වසරවල් වලදී මා ජීවත් වූයේ මහල් නවයකින් යුත් විශාල සිසු නේවාසිකාගාරයකය​. මෙම නව මහල් නේවාසිකාගාරයේ පාලන පහසුව සඳහා කොමෙන්ඩාන්ට් කෙනෙක් ද , ඉලෙක්ට්‍රික් වැඩ සඳහා විදුළි කාර්මිකයෙක් ද , ඇඳ රෙදි පිරිසිදු කරන්නියක් ද , කැන්ටින්කරුවෙක් ද වූහ​. මීට අමතරව පයිප්ප වැඩ කිරීමට  වැලැන්ටයින්  නම් කෙට්ටු පුද්ගලයෙකු ද විය​. 

මෙම  වැලැන්ටයින්  මට අමතක නොවන චරිතයකි. වැලැන්ටයින් නිතරම සිටියේ බීගත් ගමන් ය​. ඔහු කොමෙන්ඩාන්ට්ට අතිශයින් කීකරු විය​. එසේම වැසිකිලියක වතුර ලීක් එකක් පයිප්ප හිරවීමක් තිබුනහොත් එතනට වැලැන්ටයින් එයි. වැඩය කර දීමෙන් පසු විදේශ සිසුන් වැලැන්ටයින් අත රූබල් කීපයක් මිට මොලවති. එය රැගෙන ඔහු තැබෑරුමට ගොස් බොයි. නැතහොත් වොද්කා බෝතලයක් මිලට ගෙන පහත මාලයේ තිබෙන කුඩා පයිප්ප වැඩ කාමරයට ගොස් එය පානය කරයි. 

වැලැන්ටයින් ඉඳ හිට සුද්දද දුන්නේය​. මධ්‍යම රාත්‍රියේදී නේවාසිකාගාරයේ සෑම තට්ටුවකට යන  වැලැන්ටයින් එලියේ සේදීමට දමා තිබෙන ප්‍රෙශර් ලිප් වැනි දෑ ගල් කරයි. වරක් ඉන්දියානු සිසුන් ගේ සාදයකට පසුව සේදීම සඳහා එලියේ දමා තිබූ විශාල ප්‍රෙශර් ලිප් දෙකක් අතුරුදහන් වී තිබුනේය​. මෙයට සුද්දය දුන්නේ කවුරුද කියා සහ සුද්දෙන් දැනගෙන සිටි සිද්ධාර්ත් සහ ආර් පී සිං වැලැන්ටයින් ගේ කාමරයට කෙලින් ම ගොස් ප්‍රෙශර් ලිප් දෙක ඉල්ලීය​. මොහොතක් කල්පනා කළ වැලැන්ටයින් කාමරයේ සඟවා තබන ලද ප්‍රෙශර් ලිප් දෙක  ඉන්දියානු සිසුන් දෙදෙනා අතට දුන්නේය​. 

ශ්‍රී ලාංකික සිසුවියක වූ ශෙරින් අක්කා ජීවත් වූයේ හතරවන මහලේය​. ඇයගේ කුඩා දියණිය වූ මරින්කාගේ ඇඳුම් සේදීමට කුඩා වොශින් මෙෂින්  එකක් ඇය මිලට ගෙන තිබුනාය​. මෙම රෙදි සෝදන යන්ත්‍රය තබා තිබුනේ රෙදි වනන කාමරයේ ය​. එක් දිනක් රාත්‍රියක වැලැන්ටයින් රෙදි සෝදන යන්ත්‍රයේ මෝටරය ගලවාගෙන ගොස් තිබුනි. 

වැලැන්ටයින් මෙසේ වරින් වර සොරකම් කිරීම් කලද කිසිවෙකු ඔහුට විරුද්ධව පොලිසියට පැමිනිලි නොකලේ මේ පුද්ගලයා කෙරෙහි යම් අනුකම්පාවක් පෙරදැරි කරගෙනය​. ඔහුගේ සේවය නේවාසිකාගාරයට අත්‍යාවශ්‍ය විය​. 

වරක් මම නිවාඩුවට ලංකාවට යද්දී මගේ කාමරයේ දොර බලා ගන්න කියා වැලැන්ටයින්ට රූබල් විසි පහක් දුන්නෙමි. ඒ කාලයේ රූබල් විසි පහට වොද්කා බෝතල් දෙකක් ද පීවා හෙවත් බියර් බෝතල් පහක් ද මිලට ගනු හැකි විය​. 

මගේ කාමරයේ දොර බලා ගන්න  යනු දොර පේන්ට් කිරීමටද කියා වැලැන්ටයින් ඇසීය​. පේන්ට් කිරීම අනවශ්‍ය බවත් ඉඳහිට ඒ පැත්තේ ගොස් දොර තිබේද කියා බැලීම ප්‍රමාණවත් බව මම කීවෙමි. මම නොකියා කීවේ මගේ කාමරය තිබෙන ඉසව්වේ  කිසි දෙයක් සොරා නොගන්න කියාය​. එය තේරීමෙන් දෝ ඔහු හිස් වනා මට අනුකූලතාව දැක්වීය​. පොරොන්දු වූ පරිදි මම ලංකාවට ගිය කාලය තුලදී ඔහු කිසිවක් සොරකම් කරගෙන තිබුනේ නැත​.

වරක් මා ජීවත් වූ හත් වන මහළට අළුතින් ලතින් ඇමරිකානු සිසුවියක් ආවාය​.  අපගේ නේවාසිකාගාරයේ නිල නොවන නීති නොදත් ඇය වරක්  තමා සතු හොට් ප්ලේට් එක එලියෙන් තබා තිබුනාය​. උදේ බලන විට හොට් ප්ලේට් එක නැත​. මගේ කාමරය වෙත පැමිණි ඇය තමාගේ හොට් ප්ලේට් එක නැති බව කීවාය​. 

" වැලැන්ටයින් ගෙන් අහන්න"  මම ඇයට කීවෙමි.

වැලැන්ටයින් ? ... මොහොතක් කල්පනා කල ඇය කකෝයි වැලැන්ටයින් ? ( මොන වැලැන්ටයින් ද ? ) කියා මගෙන් යළි ඇසුවාය​. 

" රාක්සයාගේ කටින් යතුර අරගෙන කුමාරි බේරගත්ත වැලැන්ටයින් " කියා මඩොල් දූව පොතේ තිබූ නාමාවලිය එලෙසටම සිංහලයෙන් මම  ස්පාඤ්ඤ සහ රුසියන් යන භාෂා පමණක්  දන්නා ඇයට කීවෙමි. 

ලතින් ඇමරිකානු සිසුවිය දෙවුර සොලවා යන්නට ගියාය​. 

පසුව වැලැන්ටයින් විසින් හොට් ප්ලේට් එක යළිත් ඇයට භාර දී තිබුනි. 


17 ulasan:

  1. පුදුමයි හොරාගත්ත දෙයක් ආපහු දෙනවයි කීවම.

    BalasPadam
  2. වැලන්ටයින් හොරා ගත්ත ඒවා ආයේ එහෙම දුන්නට, රාජපක්ෂලා ගත්ත දේවල් ආයේ දෙන්නම නෑ නේ... උසවියෙන් ඉල්ලන්නෙත් නෑ නේ..

    BalasPadam
  3. //" රාක්සයාගේ කටින් යතුර අරගෙන කුමාරි බේරගත්ත වැලැන්ටයින් " කියා මඩොල් දූව පොතේ තිබූ නාමාවලිය එලෙසටම සිංහලයෙන් //

    ලංකාවට ගොස් ආපසු එනවිට තුනපහ වැනි දේවල් බොහොමයක් රැගෙන ඒමට පුරුදුවී සිටි කෙනෙක් මෙවන් දෙයක් කලා. සිංහල නොදත් රේගු නිලධාරීන් එම ද්‍රව‍ය මොනවාදැයි අසන විට ඇය ඒවායේ සිංහල නම් කියනවා. අද මේ ද්‍රව‍ය බහුලව පවතින එම රටට මේව රැගෙන යාම විහිළුවක් වුණත් දශක දෙකකට පමණ පෙර බරෙන් භාගයක් පමණ තුන පහ රැගෙන යාම සුලභ දෙයක් වී තිබුණා.

    BalasPadam
    Balasan
    1. අද කැනඩාවල පියර්සන් එකේ රේගු නිලධාරීන් කරපිංචා වචනය පවා දන්නවා

      Padam
  4. ඔය වැලන්ටයින්ගෙන් බඩු බේරාගන්න රුවන් යොදපු උපක්‍රමය මමත් අත්හදා බලලා තියෙනවා. වැඩේ හරි ගියා.

    BalasPadam
  5. අයිතිකරු ඉල්ලාසිටියවිට හොරබඩු ආපසදෙන ප්‍රතිපත්තිගරුක හොරෙක් !. අපේ දේශපාළුවන්ට ආදර්ශයක් !

    BalasPadam
  6. අයිතිකරු ඉල්ලාසිටියවිට හොරබඩු ආපසදෙන ප්‍රතිපත්තිගරුක හොරෙක් !. අපේ දේශපාළුවන්ට ආදර්ශයක් !

    BalasPadam
  7. අපට හිටිය කොමෙන්ඩාන්ට්මයි වැලන්ටයින්ගේ සේවාවන් දෙකත් ඉටු කරේ, රෙදිමාරුකරන්න වැලන්ටිනා.හොරා පොලිස් දෙන්නම එක්කෙනා වුනාමත් ලේසියි, නියමිත වාරිකේ ගෙව්වේ නැත්නම් විතරයි බඩු නැතිවෙන්නේ. අපි ඔය අජීවී බඩු වලට නම් කොමෙන්ඩන්ට වාරික ගෙව්වේම නෑ.

    ලැට්ටිගේ වැලන්ටයින් අවුල නම් පැහැදිලියි, ගොඩක් වැලන්ටයින්ලා ආවේ ස්පැනිෂ් කතා කරන රටවලින්මයිනේ.

    BalasPadam
    Balasan
    1. අත්දැකීම් ගැන ලියන්න

      Padam
  8. දොර මුර කරවපු හැටි තමයි නියම වැඩේ.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    BalasPadam
  9. බඩු හොරාගන්න වැලන්ටයින්ලට වැඩිය භයානකයි හිත හොරාගන්න වැලන්ටයින්ලා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook