Isnin, 11 April 2016

එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී




එම් ඕ එච් හෙවත් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ජනතාවගේ සෞඛ්‍යය රැක්ම සඳහා වැදගත් රාජකාරියක් කරයි. එසේම එය  අභියෝගාත්මක  රාජකාරියකි. මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල කාලයේදී මම විවිධ අත්දැකීම් ලැබුවෙමි. 

මිනිපේ දිස්ත්‍රික්කය විශාලය එහි බොහෝ ග්‍රාමසේවා වසම් තිබුනේය​. මේ සෑම ග්‍රාමසේවා වසමක්ම ආවරණය වන සේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සේවය කලහ​. ඔවුන් ගර්භණී  මව්වරුන් ගේ සුවතාවය , ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් , පාසල් ළමුන් ගේ සෞඛ්‍ය වැනි විශාල වපසරියක් තුල තම දායකත්වය ලබා දුන්හ​. 

මා යටතේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් , මැලේරියා මර්ධන ඒකකයේ නිලධාරීන් සිටි අතර අපගේ ප්‍රධාන කාර්‍යාලය පිහිටියේ හසලක නගරයේය​. ළමුන් ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ඒකකය විසින් විශාල වැඩකොටසක් කරන ලදි. ගලමුදුන උඩගල දෙබොක්ක වැනි වාහනයකින් යාමට පාරවල් පවා නොවූ අලින් ගෙන් ගහන වූ ප්‍රදේශ වලටද මේ සේවාවන් ලබා දෙන ලදි. 

වරක් වන ජීවී කාර්‍යාලයෙන් ආරක්‍ෂකයෙකු ලබාගෙන මම සෞඛ්‍යය සේවා නිලධාරිනියන් සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් කිහිප දෙනෙකු සමගින් පයින්ම පුරා පැය තුන හතරක් දුෂ්කර මාර්ගයක ගමන් කොට ගලමුදුන ගම්මානයට ගොස් එහි සිටි ගම්වාසීන්ට සෞඛ්‍ය සායනක් කලෙමි.  දුප්පත් ගැමියන් අපට කොස් සමග බත් උයා දුන්හ​.තේ දුන්නේ ප්‍රණීත නැවුම් කිතුල් හකුරු සමගය.  අප ඔවුනට සැමන් ටින් සහ බිස්කට් ගෙන ගියෙමු.  සෞඛ්‍ය සායනය නිම කිරීමෙන් පසු අප සවස් වරුවේ නමෝ විත්තියෙන් පල්ලම් බැස්සේ අලියන් ගෙන් බේරීමටය​. වන ජීවී කාර්‍යාලයේ ආරක්‍ෂකයා ලඟ තුවක්කුවක් ද අලි වෙඩිද තිබුන නිසා සහනදායි හැඟීමක් පිරිසට දැනුන මුත් ඊට මාස කීපයකට එපිටදී අලියෙකු විසින් පහර දී ගම්වාසියෙකු මරු දැක තිබුනි. 

අප සමග කොලොන්ගොඩ ග්‍රාමයේ ගැමියන් කිහිප දෙනෙකුද ගමන් කල අතර හින්නි මුදලාලි නම් ගැමියා නොයෙකුත් විනෝද කතා කීමෙන් ,සීපද කීමෙන් අපගේ වෙහෙස දුරු කලේය​. මෙම දුෂ්කර ගමන දැන් අගනා සිහිවටනයකි.  මේ අත්දැකීම දිගාමඩුල්ල ගැන ලියූ මායා රන්ජන් ගේ අත්දැකීම් වලට සමාන වෙයි.  

වාර්ශිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අප ඉතා ආශාවෙන් සහ උනන්දුවෙන් කලෙමු. ප්‍රජා වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ මිය අපට මනා සහයක් දුන්නාය​. එසේම මේ වැඩසටහන් සඳහා පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් විසින් ස්ව කැමැත්තෙන්ම කිසිම මැසිවිල්ලකින් තොරව කරන ලද වැඩ කොටස ගැන සිතන විට අද මා විමතියට පත් වෙමි. වාහන පහසුකම් , ශීතතකරණ පහසුකම් නොතිබූ නොදියුණු පසුගාමී දිස්ත්‍රික්කයක ඔවුන් සැතපුම් ගනන් පයින් ගොස් ළදරුවන්ට පෝලියෝ ප්‍රතිශක්තිකරණය ලබා දුන්හ​. 

පෝලියෝ වැක්සීනය නිරන්තරයෙන්ම අයිස් සමග ගැටෙමින් තිබිය යුතු අතර ශීතතකරණ නොමැති ප්‍රශ්නය අප නිරාකරනය කලේ ඉතා ගොරහැඩි නමුත් එලදායී ක්‍රමයක් මගිනි. අප උපත් පාලන කොපු වලට වතුර පුරවා ඒවා හසලක නගරයේ තිබූ ඉතා සීමිත ශීතතකරණ වල තබා අයිස් වන්නට හැරියෙමු. ඉන්පසු මේ   අයිස් කොපු කුඩා කන්ටේනර් වල බහා ඒ මධ්‍යයේ පෝලියෝ වැක්සීන වයල් තබා දිස්ත්‍රික්කය තුල අදාල ග්‍රාම සේවා වසම් වලට ප්‍රවාහනය කලෙමු.   

අපට තිබුනේ එකම එක ඩබල් කැබ් රථයකි. එහෙත් මා සමග මිතුරු කමින් සිටි  මිනිපේ  වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  ඉංජීනේරුවරු වූ අබේරත්න සහ සිරිල් නානායක්කර යන මහතුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කැබ් රථය  පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනයේදී අපට දුන්නෝය​. එසේම  ජාතික ශිෂ්‍යභට බලකායේ රන්ටැඹේ කඳවුරේ මේජර්  සූරියකුමාර සහ කපිතාන් මිල්ලවාන ද අපට වාහන ලබා දීමෙන් මෙම වැඩසටහනට උපරිම සහයක් දුන්නෝය​. මේ හැර හසලක ප්ලෑන් ආයතනයද අපට උදව් කලහ​. 

විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මා විසින් පවත්වාගෙන ගිය මිතුදම් නිසා එක දුරකථන පණිවිඩයක් මගින් බොහෝ දේ කර ගැනීමට හැකි විය​. පෝලියෝ ප්‍රතිශක්තිකරණ දිනවලදී මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩා මහතා සහ අනෙකුත් නිලධාරී මහතුන් වූ මිල්ලගස්පතන , හේරත් (සමහරෙකුගේ නාමයන් මට අමතකය​) නොනිඳා සර්ව රාත්‍රිකව පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය දේවල් පිලියෙල කලෝය​. මේ සියලුමදෙනා සේවය කලේ වැටුපට නොව ආත්ම තෘප්තියටය​. 

මේ වැඩසටහන් වලදී විනෝද ජනක දේවල් ද සිදු වූ බව මතකය​. මමත් මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ රියැදුරු පුංචි  බණ්ඩාත් අපගේ කැබ් රථයේ ලවුඩ්ස්පීකරයක් බැඳ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන ගැන ගමින් ගමට යමින් ගැමියන් දැනුවත් කලෙමු. එක් පණ්ඩිත ගැමියෙකුද අපගේ වාහනයට නැග කවි බසින් ඒ මහා භයානක පේලියෝ රෝගය​ට  (ඔහු පෝලියෝ රෝගයට කිව්වේ පේලියෝ රෝගය කියාය​) ප්‍රතිශක්තිකරණ අහවල් දිනයේ අහවල් තැන තියෙන බව කියා අවසානයේ සාදුකාරයක් දුන්නේය​. 

තවද අපගේ පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනී කෙල්ලකගේ ගේ අතපසුවීමකින් ප්‍රතිශක්තිකරණ වැඩසටහන අවසානයේදී කොන්ඩොම්වල බහාලූ අයිස්  දියවීමෙන් පසු ඉතිරි වූ කොපු ඇය කසල ගොඩකට විසි කරන ලදි. මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මොරයාය ප්‍රදේශයේ පන්සලක තිබූ අතර පන්සලේ කසල ගොඩේ උපත් පාලන කොපු විසිරී තිබීම නිසා විහාරාධිපති  ස්වාමින් වහන්සේ අපගේ ඇඟට වැඩි සේක. මෙම අයිස් දමා තිබූ  ඉතිරි වූ උපත් පාලන කොපු  යළි හසලක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට ගෙනවිත් එහිදී බැහැර කරන ලෙස මා උපදෙස් දී තිබුනද මෙම මධ්‍යස්ථානයේ සිටි පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් දෙදෙනාට එය අමතක වීමෙන් මේ ගැටුම හට ගත්තේය​. අවසානයේදී අප විහාරාධිපතිගෙන් සමාව ඉල්ලා කසල ටික සිලි සිලි මළු වලට  පුරවාගෙන ගෙනැවිත් බැහැර කලෙමු. 

එම් ඕ එච් ලෙස සේවය කිරීමේදී වරක් මම හසලක නගරයේ අපිරිසිදු හෝටල් වැටලුවෙමි. එක් හෝටලයක කක්කුස්සිය අසලම ගැසූ නල ලිඳක් ද විය​. මේ අපිරිසිදු තත්වයන් සතියක් තුලදී වෙනස් කරන ලෙස මම ඔවුනට දැන්වූයෙමි. එසේම මේ හෝටල් වල අරක්කැමියන් ගේ නිය කැපීමටත් මාස හයක​ට වරක් ඔවුනට පණු බෙහෙත් ද ලබා දුන්නෙමු. 

සමහර වෛද්‍යවරු එම් ඕ එච් තනතුර   සායනක අත්දැකීම් වලින් තොර ඉතා කාන්සිජනක එකක් ලෙස සලකති. නමුත් ප්‍රජාව සමග සම්බන්ධ වෙමින් සෞඛ්‍යය වැඩසටහන් කරන අයුරු මා ඉගන ගත්තේ මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදීය​. පසුකාලීනව පුත්තලම් දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන කාලයේදීද , කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව මහාචාර්‍ය ජිම් ඇල්කොක් යටතේ මානසික රෝගී තත්වයන් නිසා නිවාස  රහිත ( homeless )  ප්‍රජාව ගැන අධ්‍යනයේදීද මෙම මිනිපේ අත්දැකීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

33 ulasan:

  1. මේක නම් මේ බ්ලොගේ පළවුනු සුපිරිම කතාවක්. මම ලින්ක් එක දුන්නා කීප දෙනෙකුට.

    BalasPadam
  2. හරිම අපූරු ලිපියක් ඩොක්ටර්.

    ///සේවය කළේ වැටුපට නොවේ තෘප්තියට///// මේ වගේ මිනිස්සු උතුම් මිනිස්සු...

    අපි ලබන අද්දැකීම් ජීවිතේ මොනයම්ම හෝ වෙලාක අපිට වැදගත් වෙන්න පුලුවන්..

    BalasPadam
    Balasan
    1. ඒක නම් ඇත්ත නිර්මාණි

      Padam
  3. හරියට අපිත් මේ සිදුවීමේ කොටස්කාරයෝ වගේ දැනෙනවා. අපේ පැත්තේ නම් මම හිතන්නේ එම් ඕ එච් එකේ බෙහෙත් ගෙනිච්චේ ප්ලාස්ක් වලට අයිස් දාලා වෙන්න ඕනේ. එහෙමයි මට මතක. මතක බොහොමයක් තියෙනවා මේ හා සම්බන්ද. අපිට තිබ්බේ නිශාන් පැට්‍රල් එකකුයි පැජරෝ එකකුයි. ඩ්‍රයිවර්ලා දෙන්නත් ඔබ කියපු ජාතියේමයි. රාජ්‍ය දේපල වුනත් ඒ කාලේ අපේ ළමා කාලෙ ඇඩ්වෙන්චර් වලටත් අපූරු සහයෝගයක් දුන්නා.

    BalasPadam
    Balasan
    1. අහන්නත් සතුටුයි

      Padam
    2. It was not surprising ,i suppose that the Buddist monk expressed his displeasure over the condom being disposed indecent manner .Working with public demands lot of attention.Even if your aim is pure slightest of mistake can lead to you being misunderstood .That can have bad consequences on your project'd final outcome .

      Padam
  4. ඇත්තටම බොහොම වටිනා පොස්ට් එකක්.

    ඔබ ලබපු ඒ අත්දැකීම් හරිම ලස්සන ට විස්තර කර තියෙනවා.

    BalasPadam
  5. / විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග මා විසින් පවත්වාගෙන ගිය මිතුදම් නිසා එක දුරකථන පණිවිඩයක් මගින් බොහෝ දේ කර ගැනීමට හැකි විය​. /

    ඇත්තම ඇත්ත. නිල වශයෙන් කරගන්ට ගියොත් දවස් දෙක තුනක් ගතවෙන වැඩ එහෙම නැත්නම් කවදාවත් කරගන්ට බැරි වැඩ පෞද්ගලික සබඳතා මත අසුරු සැණෙන් කරගත්තෑකි. මම එහෙම අනන්ත උදව් අරගෙන තියනව. ඒ වගේම උදව් කරලත් තියනව. ඒත් ඒ එකක්වත් පෞද්ගලිකව මට කරගත්ත එව්ව නෙවෙයි. පොදු යහපත වෙනුවෙන් කරපුවා.

     / මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මොරයාය ප්‍රදේශයේ පන්සලක තිබූ අතර පන්සලේ කසල ගොඩේ උපත් පාලන කොපු විසිරී තිබීම නිසා විහාරාධිපති අපගේ ඇඟට ආ සේක​./

     මෙම ප්‍රතිශක්තිකරණ වැඩසටහන මොරයාය ප්‍රදේශයේ පන්සලක තිබූ අතර පන්සලේ කසල ගොඩේ උපත් පාලන කොපු විසිරී තිබීම නිසා විහාරාධිපති ස්වාමීන් වහන්සේ අපගේ ශරීරවලට ගොඩවී වදාළ සේක. සාදු! සාදු!! සාදූ!!! ./

    හෙහ්, හොඳ වෙලාවට තමුන්නැහැල පන්සලෙන් යන්ට ඉස්සරවෙලා කහල ගොඩේ කොපු තිබිල මාට්ටු වුනේ. කොහොමද ඔබතුමන්ල එතනිං මාරු වුනාට පස්සෙ ගමේ අයියල දෙතුං දෙනෙකුට ඔය සීන් එක බදර් වුනා නං එහෙම. ආතල් ද බ්‍රේව් නේ??

    මොරයාය පන්සලේ පැවති ප්‍රතිශක්ති කරන වැඩ සටහනින් අනතුරුව දින දෙකකට පමණ පසුව මම කාර්යාලයේ යම් රාජකාරියක යෙදෙමින් උන්නෙමි.

    " සර් කවුද ඇවිල්ල සර්ව හම්බ වෙන්න " ..කාර්යාලයේ පියන් මවෙත පැමිණ පැවසීය.

    " කවුද පියසිරි ? නමක් කිව්වෙ නැද්ද? "

    " නෑ සර් නම කිව්වෙ නෑ. සර්ව හම්බ වෙන්නම ඕනෙය කියල කිව්ව."

    " හරි එන්න කියන්න."

    ඊට මොහොතකට පසුව මා ඉදිරියෙහි පෙනීසිටි පුද්ගලයාගේ මුහුණුවර දැක පුරුදු බවක් හැඟුනද ඔහු කවුරුදැයි එක්වරම හඳුනාගැනීම අසීරු විය.හිස වටා බූල් තුවායක් ඔතාගෙන සිටි ඔහු හැඳ සිටියේ සුදු පැහැ කමිසයක් සහ කලු පැහැ කලිසමකි.

    " මාව හම්බ වෙන්ඩ ඕනෙ කිව්වෙ? "

    "ඔව් මම ඔහෙව හම්බ වෙනකල් තමයි හිටියෙ."

    "ඒ මොකටද? "

    "ඔහේ දන්නවද මම කවුද කියල? "

    "මූණ නම් දැකල පුරුදුයි. ඒත් හරියට මතක නෑ. "

    "මම තමයි මොරයාය පන්සලේ ලොකු හාමුදුරුවො. ඔහේලා අර පෝලියෝ සායනය තිබ්බෙ පලමුදා…. ඒ මගේ පන්සලේ."

    "නෑහ්?...ඉතිං මොකද ඔබතුමාට වුනේ? "

    "වෙන මොනව වෙන්ටද ඔහේල පන්සලේ කහල ගොඩට වීසි කරල ගිය අර කොපු ගමේ මිනිස්සුන්ට අහුවුනා. එච්චරයි වුනේ.."

    "ඊට පස්සෙ? "

    "ඊට පස්සෙ ආය මොනවද අඳනෙ පිටිං මූකලංකැලේ මුලු රැයක් ඉඳලයි මම උංගෙං ජීවිතේ බේරගත්තෙ. "

    "අපොයි මට බොහොම කණගාටුයි. මම ඉතිං මොකක්ද ඔබතුමා වෙනුවෙන් කරන්න ඕන? "

    "වෙන මොකවත් ඕන නෑ..මට මොකක් හරි රස්සාවක් හොයල දෙන්න. ඔය කොපු වලට වතුර පුරවන රස්සාව හරි කමක් නෑ,"

    BalasPadam
    Balasan
    1. Ha ha ha ha ඉල ඇට රිදෙනවෝ

      Padam
  6. නියම ජොබ් එක... බයෝ කලා නම් කියල හිතුනා ඒ අත්දැකීම් ටික කියවනකොට.. හරිම උණුසුම් හැඟීමක් දැනුනා ඩොක්.
    ජයවේවා..!!

    BalasPadam
  7. දොස්තර මහත්තයටයි රවියටයි දෙන්නටම මාට්ටු වෙලා නෑ. විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇඟට වැඩි සේක යනුවෙන් නිවැරදි විය යුතුය.

    BalasPadam
  8. තෘප්තියක් නොලැබෙන රාජකාරීයකින් ඉටුවන සේවයක් නැහැ. එය නිකම්ම නිකම් ජොබ් එකක් පමණයි. නමුත් නිකම්ම නිකම් ජොබ් එකක්, හොඳ ආත්ම තෘප්තියක් ලබන තත්වයට පත්කරගන්නත් පුළුවන්, ටිකක් පුළුල්ව හිතලා බැලුවම.

    සෞඛ්‍ය සේවය කවදත් මහජන සේවයක් මිස ජොබ් එකක් නොවේ.

    BalasPadam
    Balasan
    1. සෞඛ්‍ය සේවය කවදත් මහජන සේවයක් මිස ජොබ් එකක් නොවේ++++++++++++++++++

      Padam
  9. රුවන් වැඩකරලා තියෙන්නේ VW van වැඩ කරපු කාලෙට පස්සේ වගේ.

    BalasPadam
  10. ඇත්තට, ගල මුදුනටත් ගියා? මාත් කවදාාා හරි යන්ඩ ආසාවෙන් ඉන්න තැනක් ඒක.

    BalasPadam
    Balasan
    1. නියම ගමන කැලෑවේ කඳු අස්සෙන් යන්නේ

      Padam
  11. රන්ටැඹේ හරි ලස්සන පැත්තක් (විශේෂයෙන් TREE centre එකේ සිට විදුලිබල මණ්ඩලේ සර්කිට් බන්ගලාව පැත්තට ප්‍රදේශය). හසලකට යන පාරේ ගල් වලින් පිරී ගිය ගඟත් හරි ලස්සනයි

    BalasPadam
  12. සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් අරන් ඔබ වැඩ කර ඇති අයුරු අගය කල යුතුයි.හැමෝටම එකතු වෙලා මෙහෙම වැඩ කරන්න පුළුවන් නම් ආණ්ඩුවෙන් හැම දේම දෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ.

    BalasPadam
  13. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පුළුවන්. වුවමනා කරන්නේ නිවැරදි මඟ පෙන්වීමක් .ඔබ එය දී තිබෙනවා. අඳුරට ශාප කරනවාට වඩා ඉටි පන්දමකින් හෝ එළිය දීම අගෙයිනේ !

    BalasPadam
  14. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ව යහපත් දෙයට පොළඹවන්න පුළුවන්. වුවමනා කරන්නේ නිවැරදි මඟ පෙන්වීමක් .ඔබ එය දී තිබෙනවා. අඳුරට ශාප කරනවාට වඩා ඉටි පන්දමකින් හෝ එළිය දීම අගෙයිනේ !

    BalasPadam
  15. මගේ එම් ඕ එච් අත්දැකීම්ද මීට දෙවැනි නැහැ. අවුරැදු තුනක් අරණායක බාරව සිටි මා සහ මගේ බැචා සමග අප දෙදෙනා නොගිය ගමක් තිබුනෙ නෑ. පුදුමාකාර තෘප්තියක් ලැබුවා. ලංකාවෙ පලමු වරට වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පටන් ගත්තෙ අපි. ඒකට ලැබුනු ජපාන ශිෂ්‍යත්වයට නං ගියේ කොළඹින් එපිට පස් පාගලවත් තිබුනෙ නැති අනුන්ගේ ලකුණු වලින් එක දාගත්තු ෆැමිලි හෙල්ත් බ්‍යුරෝ එකේ නෝන කෙනෙක්. අදටත් අපි ගියාම අරණායක මිනිස්සු අත් දෙක අල්ලගෙන අපට කෘතගුණ දක්වනව. මම හරිම වාසනාවන්තයෙක්කියල එතකොට හිතෙනව.

    BalasPadam
    Balasan
    1. ඒකට ලැබුනු ජපාන ශිෂ්‍යත්වයට නං ගියේ කොළඹින් එපිට පස් පාගලවත් තිබුනෙ නැති අනුන්ගේ ලකුණු වලින් එක දාගත්තු ෆැමිලි හෙල්ත් බ්‍යුරෝ එකේ නෝන කෙනෙක්. ////////////// අපේ හම ඒ අයගෙ නම

      Padam
  16. සියලුම රජයේ වෙදැදුරන්ට පෞද්ගලික සේවයේ නිරතවීමට දී ඇති අවසරය නිසා ප්‍රජා සෞඛ්‍යය වෙදද්රන් කියා කොටසක් ඉන්නවදැයි හිතන්නත් අමාරුයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook