Monday, August 28, 2017

රැකියාව අයිතියක් ?


රැකියාව අයිතියක් නම් රැකියාවට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබීමද වැදගත් වෙයි. උපාධියක් තිබෙන නමුත් කිසිම සොෆ්ට් ස්කිල්ස් නොමැත​. උපාධි පාඨමාලා නවීනත්වයට නොගැලපෙන යල් පැනපු ඒවාය​. මෙවැනි පින් රැකියා දීම මගින් ආර්ථික වර්ධනයක් වෙයිද ? 





Sunday, August 27, 2017

කස්ටමර් කෙයා

 

කස්ටමර් කෙයා හෙවත් පාරිභෝගික සේවය යනු තම පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා පරිදි ඔවුන් ගේ උවමනා ප්‍රශස්ථ ලෙස ඉටු කර දීමයි.  කස්ටමර් කෙයා පිලිබඳව යම් අදහසක් මා ලබා ගන්නේ සය හැවිරිදි වියේදීය​. ඒ කාලයේ තිබුනේ සමගි පෙරමුණු රජයයි. පාරිභෝගික භාණ්ඩ කූපන් එකට ලබා ගැනීම සඳහා වැඩිහිටියෙකු සමග කෝපරේටිව් කියා හැඳින්වූ සමූපකාරයට ගිය විට කස්ටමර්කෙයා පිලිබඳව මුල්ම පාඩම මම අවබෝධ කර ගත්තෙමි. 

නාගරික ප්‍රදේශයක පිහිටා තිබූ මෙම සමූපකාරයේ බිල් ලිවීමට එක් සේවිකාවක්ද බඩු කිරා දීමට කම්කරුවන් දෙදෙනෙකුද වූහ​. බිල් ලියන තැනැත්තිය සමූපකාරයේ මැනේජර්ද කියා මම නොදනිමි. එහෙත් ඇය ඉතා බලවත් තැනැත්තියක් බවත් රිසි සේ පාරිභෝගිකයන්ට බැණ වදිමින් ඇය බිල් ලියූ බව මට මතකය​. ඇය පාරිභෝගිකයන්ට සැලකූයේ තම වත්තට පැන මයියොක්කා අල උගුල්ලවන ප්‍රවිෂ්ටයන්ට කතා කරන ලෙසටය​. ඇය කිසිවෙකුටත් බිය නොවූවාය​. තම ගෙදර දොරේ අසහනයද ඇය යවන්නට ඇත්තේ අසරණ ගැනුම්කරුවන් හරහා විය යුතුය​. ඒ කාලයේ පැවති රජයේ ආධාරකරුවෙකුගේ සබඳතා මත රැකියාව ලබා ගත් ඇය බිය වූයේ අගමැතිනියට පමණි.  තෙරක් නොමැතිව දොස් දෙවොල් තබන ඇයගේ වාග් ප්‍රහාරයන් විඳි පාරිභෝගිකයෝ නිහඞවම තමන් ගේ බඩු මිලදී ගෙන ගියහ​. අද මෙන්  වත් පොත වැනි සමාජ මාධ්‍ය තිබුනේ නම් මේ ඉතිරිය මිනිසුන්ට බනින අයුරු විඩියෝ කොට දමන්න හැකියාවක් තිබුණි.

විවෘත ආර්ථිකය පැමිනීමෙන් පසු සමුපකාරයේ ගෑස් බැස ගියේය​. පාරිභෝගිකයාට තරමක ගරුත්වයක් ලැබුනේය​. කස්ටමර් කෙයාපිලිබඳව මූලික වර්ධනයක් ලංකාවේ සිදු වූයේ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බව මම සිතමි. ඒ කාලයේ  සමුපකාර වල මහගේලා  පාරිභෝගිකයන් බල්ලා මාක් එකට දමා කතා කරන විට සංචාරක කර්මාන්තයේ සේවය කල කාන්තාවෝ සංචාරකයන්ට විනීතව කතා කලහ​. 

සෝවියට් දේශයේදී පාරිභෝගික සේවය පිලිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට මට හැකි විය​. සමාජවාදය පැවති සමයේ රජය විසින් සියළු ව්‍යාපාර පවත්වාගෙන යන ලදි. මේ නිසා සුපිරි වෙළඳසැල් වල සිට සාමාන්‍ය කඩ වල සිටි භාණ්ඩ අලෙවිකරුවන් පාරිභෝගිකයන්ට සැලකුවේ එපා වාහෙට හොදි බෙදන්නා සේය​. 

වරක් චීස් රාත්තල් භාගයක් සහ මස් කිලෝ දෙකක් ගැනීමට පෝලිමේ සිටි මට රජයේ සේවිකාවක වූ වෙලෙන්දිය ගෙන් ආඩම්බර කතා අසමින් බඩු මිලදී ගන්නට සිදු විය​.  ඇය මිනිසුන්ට බඩු වික්කේ අාඩපාලි කියමිනි. මාරු සල්ලි නොතිබුනේ නම් බැණුම් වැලකි.  

තවත් වරක් මොස්කව් හිදී සුපිරි වෙළඳ සැලකදී සෙනිත් කැමරාවක් මිලදී ගන්නට ගිය මට වෙළඳ සැලේ සේවකයාගේ අලසකම හොඳින්ම තේරුණි. ඔහුට ගැනුම්කරුවන් භාණ්ඩ මිලදී ගත්තද නොගත්තද කම් නැත​. මාසය අන්තිමට ඔහුට වේතනය ලැබේ. කැමරා වර්ග කීපයක් බලා සුදුසු එකක් තෝරා ගැනීමට මා අදහස් කොට තිබුනද ඔහුගේ එපා වාහේ හැසිරීම මාගේ උනන්දුව හීන කලේය​. ඔහු සෝවියට් ගනුදෙනුකරුවනට වඩාත් නරක ලෙසට සැලකීය​. මෙලෙස පැය එක හමාරක් පමණ රස්තියාදු වූ මා සෝවියට් කැමරාවක් මිලදී ගත්තෙමි. 

ඉන් මාස දෙකකට පමණ පසු මම බටහිර ජර්මනියට ගියෙමි. සෝනි වෝක්මන් එකක් මිලදී ගැනීමට මම බටහිර ජර්මනියේ වෙළඳ සැලකට ගිය අතර විනාඩි ගනනකදී උනුසුම් පිළිගැනීමක් සමග මම භාණ්ඩය මිලට ගත්තෙමි. මෙම වෙළඳ සැලෙන් එලියට ආ මා හට මොස්කව් හිදී කැමරාවක් මිලදී ගන්නට ගිය විට වූ රස්තියාදුව සිහියට ආවේය​. 

පෝලන්තයේද , බල්ගේරියාවේද , නැගෙනහිර ජර්මනියේද  කස්ටමර් කෙයා  මා විසින් අත් දැක තිබේ. මේ රටවලද ඒ කාලයේ පාරිභෝගිකයන්ට සලකන ලද්දේ ඇල් මැරුණු විලසිනි. වරක් පෝලන්තයේ ආණ්ඩුවේ ගෝස්තිනිත්සා හෙවත් අවන්හලකින් බැදපු කුකුලෙකු සහ අර්තාපල් ඉස්ටුවක් ලබා ගැනීමට විනාඩි හතලිස් පහක් ගත විය​. කාලය ගත වූයේ බිල් ලිවීමටය​. ඒ කාලයේ බටහිර ලෝකයේ ක්‍රියාත්මක වූ ෆාස්ට් ෆුඩ් සංකල්පය පිලිබඳව මොවුන් දැන නොසිටින්නට ඇත​. 

පැලමර්චුක් යනු අපගේ නේවාසිකාගාරයේ සිටි වඩුරාලය​. වරක් මම ඔහුට කියා බාර් එක්සසයිස් කිරීමට හරස් පොල්ලක් සාදවා ගැනීමට උත්සහ කලෙමි. 

" මොකටද ඕක "

එය ඔහුගේ ප්‍රථම ප්‍රශ්නය විය​. ප්‍රශ්න අනවශ්‍ය බවත් මම ඔහුගේ ශ්‍රමයට සහ අමු ද්‍රව්‍ය වලට ගෙවන බවත් කීවෙමි. එහෙත් යලිත් ඔහු මදෙස බලා " මොකටද ඕක "කියා ඇසුවේය​.  මුලින්ම පාරිභෝගිකයා තෘප්තිමත් කල යුතු බව ඔහු නොදත්තේය​. 

කැනඩාවේදී මගේ බල්ලාට අතිරේක ඩෝග් හවුස් එකක් වත්තේ සෑදීමට  මම අදහස් කලෙමි. මේ සඳහා මට පැරණි සෝවියට් දේශයේ සිට සංක්‍රමණය වූ වඩුවෙකු වූ ඇනතෝලි ගේ සහාය ලබා ගැනීමට සිදු විය​. සමාජවාදී රාජ්‍යක සිට ධනවාදී සමාජයකට සංක්‍රමණය වූ ඇනතෝලි කස්ටම කෙයා ගැන ඉගෙන ගෙන තිබේ. පැලමර්චුක් මෙන් ඔහු " මොකටද ඕක "කියා නොඇසුවේය​. 

වරක් ඕස්ට්‍රේලියාවේදී මම තැපැල් කන්තෝරුවකට ගියෙමි. එහි සිටි සුදු ජාතික සේවකයා ඉතා විනීතව මගේ අවශ්‍යතා ඉටු කරදී මට සුභ දිනයක්ද පැතුවේය​. ඉන් සතියකට පසුව මම ලංකාවට ආවෙමි. ලංකාවේදී මා තැපැල් කන්තෝරුවකට ගිය අතර එහි සිටි බාප්පලා  ඔවුන් ගේ සීල් එක බලෙන් පැහැර ගැනීමට ආ අයෙකු දෙස බලන්නක් මෙන් මා බැලූහ​. කවුන්ටරයේ සිටි පුද්ගලයා මට මුද්දරය සහ ඉතිරි සල්ලි විසි කලේ මුහුණ දෙසවත් නොබලාය​. ලියුම් කවරය සඳහා ගම් තිබේද කියා ඇසූ විට ඔහු නොසැලකිල්ලෙන් බිත්තියේ කොනක තිබූ මේසයක් පෙන්වීය​. මට ඕස්ට්‍රේලියාවේ තැපැල් සේවකයා මතක් විය​. "හැව නයිස් ඩේ" ඕස්ට්‍රේලියාවේ සුදු තැපැල් සේවකයා මට කී අයුරින් මම ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ  කවුන්ටරයේ සිටි සේවකයාට කීවෙමි. ඔහු තිගැස්සී මා දෙස බැලීය​. 

ඇමරිකාවේ කස්ටමර් කෙයා ඉහලින්ම තිබේ.  පාරිභෝගිකයා යනු ගරුත්වයෙන් සැලකිය යුතු පුද්ගලයෙකි. ඔවුනට අනුව සෑම විටම පාරිභෝගිකයා නිවැරදිය​. මේ මුක්තියට මුවාවී සමහරක් අලෙවිකරුවන්  හෙම්බත් කරවති.  වරක් එක් පුද්ගලයෙකු වෝල් මාට් වෙළඳ සැලකදී මේ මුක්තිය යොදාගෙන වෙළඳ සේවිකාවක් හෙම්බත් කරනවා මම දුටුවෙමි. වෙළඳ සේවිකාව මෙම පුද්ගලයාට සර් කියමින් ගරුත්වයකින් කතා කලද මේ පුද්ගලයා ඉතා නිහින වචන වලින් වෙළඳ සේවිකාවට බැණ වැදුනාය​. මෙයද  කස්ටමර් කෙයා හි එක්  එක් අන්තයකි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, August 26, 2017

කතෝලික සභාවේ ප්‍රගතිය




ඒකාලයේදී ක්‍රිස්තුස් නොඅදහන ජාතීන් ම්ලේච්ඡයන් ලෙස නම් කරමින් ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ ජන ඝාතන කිරීමට අනුබල දුන් වතිකානුව ඇතුළු කතෝලික සභාව මේ වන විට මානුෂිකත්වය පෙන්වමින් කළළයක් හෝ විනාශ කිරීමට එරෙහි වෙයි.  ඒ කාලයේ මානසික රෝගීන් සාතන් ගේ ඒජන්තයන් කියමින් පුළුස්සා දැමුවද මේ වන විට ඔවුන් කළළයක අයිතිය වෙනුවෙන් වූවද පෙනී සිටිති. මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් වන අතර මෙලෙස යහපත් වීමට ඔවුන්ට ගත වූයේ සියවස් කීපයක් පමණි. 


Wednesday, August 23, 2017

මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි ; චානුක වත්තේගමගේ ඇසින්



වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ "මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි." කෘතිය මා අතට පත් වන්නේ මා ප්‍රේමකීර්ති ද අල්විස් ගැන කියවමින් සිටියදීය. මේ දෙදෙනා අතර අපූරු සමානකමක් මම දකිමි. ඒ ඔවුන්ගේ ගවේෂණාත්මක නිර්මාණකරණය සම්බන්ධයෙන් පමණක් නොවේ. ප්‍රේමකීර්ති ගීත රචක මැෂිමකි. වෛද්‍ය රුවන් එම්. ජයතුංග පොත් ලියන මැෂිමකි. ප්‍රේමකීර්තිට ඕනෑම නීරස මාතෘකාවක් ඔස්සේ රසවත් අරුත්බර ගීතයක් ලියන්ට හැකියාව තිබුණේය. රුවන්ට එසේම ඕනෑම නීරස මාතෘකාවක් ඔස්සේ රසවත් අර්ථවත් එසේම කියැවියැකි පොතක් ලියන්ට හැකියාව තියේ. "මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි." එබඳු පොතකි.  

මේ පොත ඇසුරින් රුවන් කියන්ට උත්සාහ ගන්නේ ලොව විවිධ සංස්කෘතීන් පිළිබඳ කතාවකි. මේ සංස්කෘතීන් රුවන් දකින්නේ අජීවී සංචාරක සිහිවටන තුළින් නොව සජීවී මිනිසුන් තුළිනි. ඒ මිනිස්සු ඔහු දිවියේ යම් යම් කාල වකවානු වල හමු වූවෝය. මින් වැඩි දෙනකු රුවන්ට හමුවන්නේ ඔහු පැරැණි සෝවියට් සංගම් ශිෂ්‍යත්වයක් යටතේ රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටියදීය. රුසියාවේදී ඔහුට සෙනිත් කැමරාවක් විකුණන ටැක්සි රියැදුරා, "අපි උඹලාගේ රට තියෙන ඉසව්වත් දන්නෙ නැහැ. ඒත් උඹලා ෆෝක්ලන්ත යුද්ධයේදී අපට විරුද්ධව ඡන්ද දුන්නු රටක් කියලා අපේ මිනිස්සු දන්නවා" කියූ ආජෙන්ටිනා පාපන්දු ක්‍රීඩකයා, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සඳහා සටන් වැදුණු වෙතරණුවකු වූ ආතර් ස්මිත්, කරාතේ කළුපටි ධාරියකු වූ කම්පුචියානු සොත්තිය හාමුදුරුවෝ, අමිතාභ් බච්චන් බඳු වූ මුරිසියානුවා, කැඩුණු මෝටර් රථයක් අඩු මුදලට මිළට ගෙන එය ගත් මිළ මෙන් හත් අට ගුණයකට එස්තෝනියාවකුට විකිණූ සැම්බියානුවා මේ පොතේදී ඔබට හමුවන චරිත කිහිපයක් පමණෙකි.  

මේ තථ්‍ය කෙටිකතා එකතුවේ මා දකින විශේෂත්වය මෙයයි. දීර්ඝ කාලයක් තිස්සේ ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබීම නිසා හා අපේ රට විධිමත් ලෙස ගොඩ නඟන ලද්දේ බ්‍රිතාන්‍යයන් නිසා හිරු නොබසින අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර සැත්තෑවකට පමණ පසුව අදත් අප බොහෝ දෙනකුට ලෝකය පෙනෙන්නේ බ්‍රිතාන්‍ය ඇසිනි. ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳව 'සුද්දන්' ගොඩ නැඟූ විවිධාකාරයේ මිථ්‍යා මත රාශියක් අදත් අපි එසේම විශ්වාස කරමු. වෛද්‍ය රුවන් එම්. ජයතුංග මේ බ්‍රිතාන්‍ය ඇසින් මිදී ලෝකයේ විවිධ සංස්කෘතීන් පියවි ඇසින් දකින්ට පාඨකයාට ආරාධනා කරයි. එහි සැඟැවීමක් හෝ අතිශයෝක්තියක් නැත. එසේම පක්ෂග්‍රාහී බවක්ද නැත. පාඨකයා මේ සියළු සංස්කෘතීන් හඳුනා ගන්නේ ඒවා සංසන්දනාත්මකව අධ්‍යයනය කිරීමෙනි. 

ලෝකයේ විවිධ සංස්කෘතීන් පිළිබඳ පළමෝත අත්දැකීම් ඇති ලේඛකයකු අතින් ලියැවුණු මේ ග්‍රන්ථය ඒවා අධ්‍යයනයෙහි රිසි කවර වයසෙක කවරාකාරයෙක හෝ පාඨකයකු පිණිස නිර්දේශ කරනු කැමැත්තෙමි. 

- චානුක වත්තේගම

Find Us On Facebook