Jumaat, 12 Oktober 2018

කැප්ටන් කොතලාවල ගැන හිටපු එල්.ටී.ටී.ඊ නායක රහීම් කතා කරයි

කැප්ටන් ජයන්ත කොතලාවල (පසුකාලීනව ලුතිනන් කර්නල්) සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකි. ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කල නිලධාරියෙකු විය. මුහුණ පුරා රැවුල වවාගෙන සිටි  කැප්ටන් කොතලාවල හයයි හයේ පුරුෂයෙකු විය. ඔහු සහ එවකට යාපනයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සිටි  ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වූ රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්) අතර අපූරු මිතුදමක් වූයේය . මේ මිතුදම ගැන රොහාන් ගුණරත්න මෙන්ම මහාචාර්‍ය රාජන් හූල් පවා ඔවුන් ගේ පොත් වල ලියා තිබේ. පසුකාලීනව එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වන රහීම් වර්තමානයේ කැනඩාවේ ජීවත් වෙයි. පහත දැක්වෙන්නේ මා විසින් රහීම් සමග  කපිතාන් කොතලාවල ගැන කරන ලද සංවාදයයි  


1) ඔබට කපිතාන් කොතලාවල මුලින්ම මුණ ගැසෙන්නේ කොහොමද ?  
එය සිදු වූයේ 1986 වසරේදී. 1986 ඔක්තෝබර් 12 දින අඩම්පන් හි එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර  අවි ගැටුමක් ඇති උනා. මේ ගැටුමේදී මන්නාරමේ එල්.ටී.ටී.ඊ නායක වික්ටර් ඔස්කා ඇතුළු පිරිසක් මිය ගියා. එසේම හමුදාවේ සාමාජිකයන් අට දෙනෙකුද මිය ගියා. එක් සෙබලෙක් සහ දෙවන ලුතිනන්වරයෙක් අප ජීවග්‍රහයෙන් අල්ලා ගත්තා. ඔවුන් සෙබළ බණ්ඩාර සහ දෙවන ලුතිනන් අජිත් චන්ද්‍රසිරි. ඔවුන් දෙදෙනා සිටියේ අප ඔවුන්ව මරා දමයි කියන බියෙන්. මම ඔවුන් වෙත ගොස් කිව්වා අපි අත් අඩංගුවට ගත් සතුරාව මරා දමන්නේ නැති බව. ඒත් මිය ගිය ගිය හමුදා සෙබළුන් ගේ මෘත ශරීර වලට කරන්නේ කුමක්ද කියා අප දැන සිටියේ නෑ. එවකට යාපනයේ සිටි එල්.ටී.ටී.ඊ නායකයා වූයේ කිට්ටුයි. එහිදී මම යාපනය කොටුවේ හමුදා කඳවුරට කතා කොට කැප්ටන් කොතලාවලව අමතා මේ මළ සිරුරු මා ගෙන එන බව කීවා.  ඉන්පසු මළ සිරුරු අට ලොරියක දමාගෙන යාපනය කොටුව අසල සුබ්‍රමනියම් පිට්ටනියට   ගියා. මම ගියේ නිරායුධව. කොටුව අසලදී කැප්ටන් කොතලාවලව මට හමු උනා. ඔහු මගෙන් ඇහුවා මේ මළ සිරුරු  භාර දීමට සිතුනේ මන්ද කියා. එහිදී  මම කිව්වා මේ සටනේදී මා මිය ගියහොත් මගේ අවසාන කටයුතු කිරීමට මගේ මවට මගේ දේහය ඕනෑ වෙනවා. ඒ වගේ මේ සෙබළුන් ගේත් අම්මලාට මේ  මෘත ශරීර වටිනවා. ඒ නිසා මා මනුෂ්‍යත්වය විශ්වාස කොට නායක කිට්ටු ගේ අවවාදයවත් නොසලකා නිරායුධව ඔබලාගේ කඳවුරට ආවා මේ මිනී භාර දීමට කියා. එහිදී ඔහු ඉතාම හැඟීම් බරව මාව වැළඳගෙන සෙබළුන් ගේ මෘත ශරීර භාර ගත්තා . ඒ අපගේ ප්‍රථම හමු වීමයි  

2) ඉන්පසු ඔබට ඔහුව හමු වූයේ කොහේද ?  
දෙවන වර මට ඔහුව හමු වන්නේ 1986 දී විජය කුමාරතුංග යාපනයට ආ අවස්ථාවේදී. ඉන් පසුව 1987 ඉන්දු ලංකා සාම ගිවිසුම කාලයේ යාපනයේ එල්.ටී.ටී.ඊ කාර්‍යාලයේදී අප හමු වූවා. එහිදී කපිතාන් කොතලාවලට ප්‍රභාකරන්ව හමු උනා. අප ඔහුට දිවා ආහාරයෙන් සංග්‍රහ කලා. ඒ වගේම අපි සමහර විට එකිනෙකා දුරකතනයෙන්   ඇමතුවා. අප දෙදෙනා අතර යම් සුහද බවක් ගොඩ නැගුනා.  

3) සමහරු කියනවා ඔබ සහ  කැප්ටන් කොතලාවල ක්ලාස්මේට්ලා කියලා    
ඒක බොරුවක්. ඔහු ඉගන ගත්තේ කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ. මම ඉගෙන ගත්තේ නුවර ත්‍රිත්ව විද්‍යාලයේ. අප එකිනෙකා මුණ ගැසුනේ යුද භූමියේ.  

4) තවත් ජනප්‍රිය කතාවක් තමයි කැප්ටන් කොතලාවල තම සොල්දාදුවන්ට නියෝගයක් දී තිබුණාලු ඔබව යම් ලෙසකින් අත් අඩංගුවට ගතහොත් ඔහු වෙත ගෙන ආ යුතු බවට. එසේම ඔබ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ටම එවැනි නියෝගයක් දී තිබුණාලු. එසේම රාජන් හූල්ගේ  Sri Lanka: The Arrogance of Power: Myths, Decadence & Murder  පොතේ සඳහන් වෙනවා වරක් එල්.ටී.ටී.ඊ ස්නයිපර් කෙනෙක් කපිතාන් කොතලාවලට වෙඩි තැබීමට ගිය විට ඔබ එය වැලැක්වූ බව සහ එයට නායක කිට්ටුට තරහා ගිය බව. මේ කතා සත්‍යද ? 
මේවා ඔක්කොම විහිළු කතා. අප අතර එහෙම ගිවිසුමක් තිබුනේ නෑ. තවත් කතාවක් තමයි යාපනය කොටුව කඳවුරට දර  අවශ්‍ය වූ විට මම දර ලොරියක් ගෙනා බව. මේවා එකක්වත් ඇත්ත නෙවෙයි. අපි ප්‍රති විරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ මට ඔහුව යුද භූමියේ සටනේ මුහුණට මුහුණ හමු උනා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්වය යටතේ ඔහුද මට දෙවරක් නොසිතා වෙඩි තියනවා. අප අතර තිබුනේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවෙකු  බව ඔහු අමතක කලේ නෑ. ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෙකු බව මම අමතක කලේත් නෑ. නමුත් අපි එකිනෙකාට ගරු කලා.  

5) මේ අමුතු මිත්‍රත්වය නිසා ඔබලාට ගැටළු මතු උනේ නැද්ද ?  
අප දෙදෙනාගේ මිත්‍රත්වය ගැන කිට්ටුට යම් අවබෝධයක් තිබ්බා. ඒ නිසා මට ඉන් පීඩනයක් ආවේ නෑ. නමුත් යම් යම් අවස්ථා වලදී කපිතාන් කොතලාවලට උසස් නිලධාරීන් පීඩනය එල්ල කලා. තවත් එකක් ඔහු ඇරොගන්ට් චරිතයක්. උසස් නිලධාරීන්ව සමහර විට කෙයාර් කලේ නෑ. ඒ නිසා ඔහුට උසස්වීම් පවා ලැබුනේ ප්‍රමාදවී. වරක් මම විහිළුවට කිව්වා ඔබ තමයි ආසියාවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම කපිතාන්වරයා කියලා. අපි අතර මිත්‍රත්වයක් තිබුනත් එකිනෙකා හමුදාමය තොරතුරු හුවමාරු කර ගත්තේ නෑ. බුද්ධි වාර්තා ගැන කතා කලේ නෑ. අප අතර තිබ්බේ උසස් මිත්‍රත්වයක්.  වරක් අපගේ මිත්‍රත්වය ගැන ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා ඔහුගෙන් අසා තිබුනා. ඔහු ඊට නියම පිලිතුරක් දී තිබුණා. ඔහු කිව්වාලු දෙවන ලෝක යුද සමයේ නත්තල් දිනක  ඉංග්‍රීසි හමුදාව සහ ජර්මන් හමුදාව  පාපන්දු තරඟයක් පැවැත්වූවා කියා. සමහර විට සතුරා සමග යම් මිත්‍රත්වයක් තිබිය යුතුයි කියා ඔහු කීවාලු. ලලිත් ඇතුලත්මුදලි උගත් පුද්ගලයෙක් ඔහු එය වටහා ගත්තා. මගේ පියා සහ රවී ජයවර්ධන එක පාසලේ එක පන්තියේ මිතුරන්. එයද ඇතුලත්මුදලි  දැන සිටියා.  

6) පසුකාලීනව ඔබට ඔහුව හමු වන්නේ කොහොමද ?  
1990 වන විට මම එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත්වී කැනඩාවට යනවා. 1991 වගේ කාලයක ඔහු පුහුණුවක් සඳහා ඇමරිකාවට එනවා. කෙසේ හෝ මගේ දුරකතන අංකය සොයාගෙන ඔහු මට කතා කරනවා. ඉන් පසු අපි දෙදෙනා ටොරොන්ටෝ නගරයේදී හමු වෙනවා.  

7) ඔහුගේ මරණය ඔබට ආරංචි වන්නේ කොහොමද ?   
ඔහු මිය යන්නේ රිය අණතුරකින්. ඔහුගේ මරණය මාව විමතියට වගේම කණගාටුවට පත් කලා. ඔහුගේ බිරිඳ සහ දියණිය දැන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. මම අදටත් ඔවුන් ගේ පවුලේ හිතවතෙක්.     

8) මේ මිත්‍රත්වය ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද?  
අද ජයන්ත කොතලාවල කියන හමුද නිලධාරියා ජීවතුන් අතර නෑ.  හිටපු සටන්කරුවෙකු වූ මම   දැන් සන්නද්ධ අරගලයෙන් ඉවත් වෙලා  සාමකාමී සිවිල් ජීවිතයකට ඇතුල් වෙලා. ප්‍රභාකරන් ගේ සටන පරාජයන් අවසන්. මේ   ගතවූ  කාලය ගැන  බලන විට සිතට එන්නේ කොපමණ ජීවිත යුද්ධය නිසා විනාස  උනාද ,  කොපමණ දේපළ විනාශ උනාද කියා. අවසානයේ අපි හැමෝම ලබා ගත් දෙය මොකක්ද කියා මම ප්‍රශ්න කරනවා. යුද්ධය නම් අවලස්සන තරඟයෙන් ඉතිරි උනේ අපගේ මිත්‍රත්වය පමණයි. අපි එකිනෙකා සමග   සටන් කරත්  , ගහ මරා ගත්තත් අපට යම් අවස්ථාවක්  එනවා සතුරා සමග මානවවාදී ලෙස ගණුදෙනු කරන්න. එය  මඟ හැරීම නුසුදුසුයි. ඒ මානුෂික ගනුදෙනුව සිදු වන අවස්ථාවේදී අප එකිනෙකා වටහා ගන්නවා. ඒ අවබෝධය ලැබුණු පසු අපි කා කොටා ගන්නා තිරිසනුන් නොව තවත් මිනිසෙකු දෙස මානුෂික ඇසින් බැලිය හැකි මිනිසෙකු  බවට පරිවර්තනය වෙනවා. 


රහීම් ( ශ්‍රී කුමාර් කනගරත්නම්)



සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

50 ulasan:

  1. Balasan
    1. Can we please have a English translation. This is also important to our Tamil brotheren.

      Padam
  2. ස්තූතියි ඔබට මේ වටිනා තොරතුරැ අප වෙත ගෙනාවට! ජය!!

    BalasPadam
  3. If there were more people like these..

    BalasPadam
  4. Meya wata gayja hakke manawa daywe pirichcha usas manushyanta witharai.



    BalasPadam
  5. "ඒ අවබෝධය ලැබුනු පසු අපි කා කොටා ගන්නා තිරිසනුන් නොව තවත් මිනිසෙකු දෙස මානුෂික ඇසින් බැලිය හැකි මිනිසෙකු බවට පරිවර්තනය වෙනවා".Bro Raheem,100% agree with you.

    BalasPadam
  6. රහීම් ගැන විජය හමුවෙන් පසුව ආරංචියක් නැතිවූ බැවින් මම හිතා හිටියේ ඔහු යුද්ධ යෙන් මියගොස් ඇති කියා.ස්තූතියි

    BalasPadam
    Balasan
    1. Really good to learn he realised the truth and left the war and Sri Lanka.

      Padam
  7. රහීම් මෙහෙම කියනවා.
    //අපි ප්‍රති විරුද්ධ සංවිධාන දෙකක සාමාජිකයෝ මට ඔහුව යුද භූමියේ සටනේ මුහුණට මුහුණ හමු උනා නම් මම ඔහුට වෙඩි තියනවා. එසේම එම තත්වය යටතේ ඔහුද මට දෙවරක් නොසිතා වෙඩි තියනවා. අප අතර තිබුනේ මනුෂ්‍යත්වය හරහා ගිය බැඳීමක් පමණයි. තමන් සොල්දාදුවෙකු බව ඔහු අමතක කලේ නෑ. ඒ වගේම මම ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෙකු බව මම අමතක කලේත් නෑ. නමුත් අපි එකිනෙකාට ගරු කළා. //

    මේක තේරුම් ගන්න කීයෙන් කී දෙනකුට හැකි වේවිද?

    BalasPadam
    Balasan
    1. Certainly Yes, Mahinda. There are somany things. Some are covered by Politics too.

      Padam
  8. කලා කරුවන්ට අහුවෙන්න ඕනා යුද්දයේ මේ අතුරු කතා.. සංහිදියාව එන්නෙ ඒවයින්..

    BalasPadam
  9. බොහොම වටිනා සංවාදයක්. අපට ගෙන ආවාට ඉස්තුතියි!

    BalasPadam
  10. We loose everything in a war and win nothing

    BalasPadam
  11. මෙය නම් අපූරු කතාවක් . ඔබ 71 කැරැල්ල පසු විපරම ඇතුළු බොහෝ ලිපිවලින් ප්‍රත්‍යක්ෂ කල සැබැව හැමට අවබෝධ වෙතැයි සිතනවා .

    BalasPadam
    Balasan
    1. Why what about Embilipitiya and Mjr EPA stories. It's good that you do this Ruwan. We would like to catch up with Ibrahim and also Col Kothelawela family.

      Padam
  12. ඇත්තටම මෙනන් මනුෂ්‍ය කම

    BalasPadam
  13. How does he feel about the Anuradhapura town attack today which was purely an attack on unarmed innocents?It is on record that Major Raheem played a leading role in this attack using his fluency in Sinhala language.Perhaps the Dr can ask him about it

    BalasPadam
  14. නියම මානුශිකත්වයෙන් පිරි කතාවක්

    BalasPadam
  15. Adampan is in Mannar distict. Victor was killed in Mannar.how can he take those POWs to Jaffna Fort by a lorry. There is Elephant Pass army camp. Don't tell lies

    BalasPadam
    Balasan
    1. why dont you give your identity and I will connect you with Raheem ; then you can ask this question from him

      Padam
    2. May be they took the route through Pooneryn.

      Padam
    3. WE WERE LAID THE AMBUSHED SOMEWHEREE NEAR POONERN AREA BUT THEY USED POONERN FERRY AND TRANSPORT TO JAFFNE AND FROM THEIR LTTE TV WE SAW DEAD SOLDIERS BODIES LAID ON FLOORS AND SCHOOLCHILDREN AND CIVILIANS VIST THE BODIES .THEIR AFTER THEY ARRANGED TO HAND OVER BODIES TO jAFFNA FORT CAMP .That time I WAS 2nd LT SAME DAY THESE WERE TRANSPORT TO Mandativu Island where AIR force arrange Choppers to transport palay and elsewhere in dark night without red cross support

      Padam
  16. \\ මහාචාර්‍ය රාජන් හූල් //
    කියලා එක තැනෙක සඳහන් වෙනවා...
    මම එයාගෙන් ඉගෙන ගෙන තියෙනවා...
    දන්න තරමින් නම් එයා මහාචාර්ය නෙමෙයි...
    ආචාර්ය විතරයි...
    ඒ වගේම ආචාර්ය උපාධි දෙකක් නම් කරපු කෙනෙක් මට මතක විදිහට...

    BalasPadam
  17. //ඔහු යාපනය කොටුව එල්.ටී.ටී.ඊ ග්‍රහණයට අසු නොවීමට ඉඩ නොදී සටන් කල නිලධාරියෙකු විය.//
    "අසු නොවීමට ඉඩ නොදී" මේකේ තේරුම මොකක්ද?

    BalasPadam
  18. මේ කතාවෙන් තවත් දෙයක් පැහැදිලියි. යුද්ධය ගැන වාර්තා කල අය කොපමණ බොරු ලියා තිබෙනවාද යන වග.

    BalasPadam
  19. I was a student when jayantha kothalawala was a senior prefect at Ananda Collage.I was in grade 9 and everybody afraid of him.That time too we saw him as a giant.If anybody said Kothalawala is coming whole class is going silent.I can remember how he kicked one of my claass mates out of the class.He was tough on arrogent students but very kind while talking others always using the word MALLI.Very sad to hear he is no more.

    BalasPadam
  20. Great narrative. The balance between duty and humanity...

    BalasPadam
  21. mmama 1985 or 87 awadaye puwath pathaka cpt kothlawalage inteeview ekak baluwa... ekedi ohu kiyal thibba ohu kotuwe innwa nam kotuwata motar gahnne na kiyala raheem,,
    raheemge facebook account eka share karanna pls

    BalasPadam
  22. Uddayaka sita nomari inna kawru unath me samana katha thamai kiyanne.eth awasanawakata apita a dawal mulin nawaththa ganna bari wela thiyenawa mata prasidda kathawak mathak wenawa ....wadihitiyo udda prakasa karanawa tharunayo eeta goduru wenawa...aparade nathi una jeewitha .

    BalasPadam
  23. Wow, that's a real great story. Yes, we Salute Cpt Kothelawela and Ibrahim.

    BalasPadam
  24. me video mama dekala thyenwa ,caption ta rahim kathakaranawa good mornong kiyyla ,wedagath lipyak obata bohoma sthuthi ,uda sahithyak nethi rataka mehem lipiyak liwima gena

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook