Khamis, 29 Jun 2017

දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම්

 

දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම් පොත මගේ මව විසින් මා වෙනුවෙන් මිලදී ගන්නේ 1973 වසරේදීය​. එවකට මම සත් හැවිරිදි ළමයෙකි. 1970 සිරිමා රජය විසින් පාසල් යන වයස ඉහල දමා තිබූ නිසා ඒ වන විට මා සිටියේ එකේ පන්තියේය​. එහෙත් ගෙදරදී අකුරු කියවා කුඩා පොත් කියවා තිබූ මම අසීරුවෙන් අකුරු ගලපා දැත්තා පොත කියවූයෙමි. 

දැත්තා මගේ කුඩා ලෝකයේ වීරයා විය​. ඔහු කළබලකාරයෙකි. ඉන්ද්‍රජාලම් පෙන්වන්නෙකි. එහෙත් දැත්තාගේ චරිතය පුරා අපූරු අලංකාරභාවයක් මම දුටුවෙමි. දැත්තා යනු කීඩෑවෙකි. ඔහු ජීවත් වන්නේ කුසුම් පුරයේය​. එම නගරය අසලින් පිපිඤඤා ගංගාව ගලා යයි. 

දැත්තාගේ මිතුරා ගැත්තාය​. එසේම සියළු දේ දන්නා දත්තා, දෙස්තර පෙත්තා, ලෝකුරුවන් වූ නැම්මා අඹරා , චිත්‍ර ශිල්පී සිනිඳු , සංගීතඥ නදා, බරතා , පැණි මිහිරා, දඩයක්කාර උණ්ඩියා සහ ඔහුගේ බල්ලා බිංදු , කඩිසරා, මොළකටුවා සහ නිතරම මැසිවිළි කියන මැසිවිල්ලා මගේ කුඩා ලෝකය චමත්කාර කලේය​. 

දැත්තා විවිධ දේ කරයි. වරක් ඔහු චිත්‍ර ශිල්පියෙකු වන්නට ගියේය​. එය අසාර්ථකවීමෙන් පසු වාදකයෙක් වීමට තැත් කලේය. තවද නැම්මා සහ අඹරා  විසින් සාදන ලද මෝටර් රථය හොරෙන් පැදවීමට ගොස් ඔහු අණතුරට ලක් විය​. මෙලෙස විවිධාකාරයේ දඟකාරකම් කිරීම දැත්තා ගේ පුරුද්ද විය​. 

දත්තා බැලුනයක් සෑදුවේය​. ඉන්පසු ඔහුගේ මිතුරන් සමග බැලුනයේ  නැගී සවාරියක් ගියේය​.  උනුසුම් වාතය අවසන් වීම නිසා බැලුනය පහළ බසින විට දත්තා සියළු දෙනාට පනින්නට නියම කොට නිදිකුම්බා  මලින් තනන ලද පැර්ශූටයක ආධාරයෙන්  පැන්න නමුදු අනෙකුත් අය පැන්නේ නැත​. මේ නිසා බැලුනය ගසා ගෙන ගොස් බිම වැදී පුපුරා ගියේය​. මෙයින් බොහෝ දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදි. මේ බැලුම කඩා වැටෙන්නේ තනිකර ගැහැණු ළමුන් පමණක් ඉන්න නගරයකටය​. ගැහැණු ළමුන් දැත්තාගේ යහළුවන්ව රෝහල් ගත කරති. සුළු තුවාල ලබූ දැත්තා සමන්මලී නම් ගැහැණු ළමයාගේ ගෙදර නවත්වා ගනී.  

මේ නගරයේ  පිරිමි ලමුන් නැත ඔවුන්  සරුංගෝල නගරය කියා නගරයකට ගොසිනි. දැත්තා තමා බැලුම සැදූ බවට පූචානම් කියා ගැහැණු ළමයි ඉදිරියේ වීරයෙකු වෙයි.  එසේම තමා බැලුම සෑදූ බව කීමට මිතුරන් හගිස්සවා ගනියි. මේ දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම් පළවන කොටසේ කතාවය​.  පළවන කොටස කියවීමෙන් පසු දෙවන කොටස සෙවීමට මම වෙහෙස වූයෙමි. එහෙත් දැත්තාගෙයි යාලුවන්ගෙයි හපන්කම් දෙවන කොටස මට ලැබුනේ වසර කීපයකට පසුවය​. දෙවන කොටසේ තිබෙන්නේ දැත්තා තමා බැලුම සැදූ බවට පූචානම් කියා අසු වූ පසු ඔහු විඳින අපහාසය​. එසේම දත්තා තම යාළුවන් සොයා එයි. අවසානයේදී සියළුමදෙනා එක්වී තමන් ගේ නගරය වූ කුසුම් පුරයට යති. 

දැත්තා පොත් දෙක ළමුන්ව අපූරු ලෝකයකට ගෙන යයි. එය ජේ කේ රෝලිග්ස් ගේ හැරී පොටර් පොත් මෙනි. යථාර්ථ ලෝකයෙන් පිටතට යන ළමයා දැත්තා ගේ ලෝකයට අැතුළු වෙයි. දැත්තා යනු තමා වැනි අයෙකු බව නිතර වැරදි කරන වැඩිහිටියන් ගෙන් බැණුම් අසන ළමයා වටහා ගනී.  කීඩෑවූන් ගේ ලෝකය ළමයින් ගේ ලෝකයට වඩා සුන්දරය​. එහි කෘරකම් නැත​. මෙවැනි ලෝකයකට යාමට දැත්තා පොත කියවන ළමයා සිහින මවයි. 

දැත්තගෙයි යාලුවන්ගෙයි හපන්කම් පොත ලියන ලද්දේ රුසියානු ගත් කතුවරයෙකු වූ නිකොලායි නොසොව් විසිනි. ළමා මනස තේරුම් ගනිමින් පොත් ලිවීමේ දක්ශතාවක් ඔහුට තිබුනේය​. දැත්තා රුසියන් බසින් නම් වන්නේ නිස්නායිකා කියාය​. නිකොලායි නොසොව් Vitya Maleev at School and at Home (1951). කියාද පොතක් ලියූ අතර එම පොත උඩකැන්දවෙල සිරි සරණංකර හිමියන් විසින් පාසල් විත්ති නමින් පරිවර්තනය කරන ලදි. 

නිකොලායි නොසොව් ගේ නිස්නායිකා හෙවත් The Adventures of Dunno and His Friends (1953–1954) පොත සිංහලයට පරිවර්තනය කලේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ලංකාවේ ළමුන්ට තේරුම් යන පරිදි සංස්කෘතික සලකුණු තබමින් මේ පොත පරිවර්තනය කිරීමට ඩී.බී. කුරුප්පු මහතා සමත් වීම දැත්තා පොත ජනප්‍රිය වීමට තවත් හේතුවකි. එසේම කුරුප්පු මහතා යොදා ගෙන ඇති සිංහල නාමයන් ගේ තේරුමද රුසියානු මුල් පිටපතේ නාමයන් ගේ  අරුතට සමාන වෙයි. උදාහරණයක් ලෙස මැසිවිල්ලා රුසියන් බසෙන් වොර්චූන්  නම් වන අතර එහි අරුතද මැසිවිළි කියන්නායි. 

දැත්තා පොත ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ජනප්‍රිය වූ පොතකි. එසේම ළමයින් පරම්පරා කීපයක් මේ පොත් දෙක කියවා තිබේ. මා විසින් කියවූ දැත්තා පොත මගේ පුතාද කියවූ අතර ඔහුද එය රස වින්දේය​. මේ පොත් දෙක මම ලංකාවේ සිට කැනඩාවට ගෙන ආ අතර ඒවා දැන් මගේ පුද්ගලික පුස්තකාලයේ තබා තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 ulasan:

  1. මේ පොතේ පරිවර්තන වර්ෂන් දෙකක් තියෙනවා. මම කියෝලා තියෙන්නේ අනිත් වර්ෂන් එක. ඒකෙ Dunno ගේ නම වැඩබැරිදාස.

    අපේ ගෙදර තිබ්බ පරණ පොත් ගොඩෙන් මමත් උස්සලා තියාගෙන ඉන්නවා හංගලා වගේ.

    BalasPadam
    Balasan
    1. මාත් මගේ පොත් 2 හංගලා තියෙන්නේ

      Padam
  2. මමත් ආසා පොතක්.

    BalasPadam
    Balasan
    1. පොත් සීරීස් එකක්. ලිඛිතා කිව්වා වගේ වැඩ බැරි දාසත් Dunno ම තමයි

      Padam
    2. මම ආසාම වැඩබැරිදාස සංගිතකාරයෙන් වෙච්ච හැටි කියල කියන කොටසට. හි හි හි.. බොරු කියන්නේ මොකටද මමත් සංගීත භාණ්ඩයක් අතට ගත්ත ගමන් ඒ කතාව මතක් වෙන නිසා, හෙමිහිට ඒක පැත්තකට කරලා නිකා ඉන්නවා. අන්න එහෙමයි අපි ආදර්ශ ගන්නේ

      Padam
    3. වැඩ බැරි දාස Dunno තමයි

      Padam
  3. දෙවනි කොටස හොයා ගන්න බැරි වුනා.

    BalasPadam
    Balasan
    1. මේ පොත් 2ම හොයාගන්න අමාරුයි

      Padam
  4. ස්තුතියි බෙදා ගත්තට. මාත් කුඩා කාලයේ කියවූ පොතක් මා කාලයක් තිස්සේ සොයනවා. එහි නමත්, කතුවරයාත් මට මතක නැහැ. එහි සඳහන් වෙන්නේ ඉත්ත හාමිත්, හා හාමිත් ගැන. ඔවුන් හොද මිතුරන්, පොතේ නමේ හැටියට "යහළුවෝ" වගේ නමක් තිබ්බේ. මතක කෙනෙක් ඉන්නවනම් කියන්න ඒක ගන්න පුළුවන් විදිහක්

    BalasPadam
    Balasan
    1. කතන්දර හා පින්තූර ?

      Padam
    2. නැහැ, ඒක ප්‍රමාණයෙන් මඩොල් දුව වගේම පොතක්. ඒ වගේම එක පරණ පොතක්. ඒ පොත කියවපු අය මේ වෙනකොට වයස 35 අනිවාර්යේන්ම පැනලා.

      Padam
    3. ඒ පොත් ආයෙත් මුද්‍රණය කරලා තිබ්බා. මම හොයාගත්තේ පොත් ප්‍රදර්ශනයකට ගිහින් කඩවල් පීරලා වගේ.

      Padam
    4. ලිඛිතා, ඔයා මම විස්තර කල පොත ගැන දන්නවද? හරි නමයි, කතෘ කව්ද? ගන්න තැනක් කියන්න පුලුවන්ද?

      Padam
  5. "ඊළඟ සැරේ නැව් තොට" කියලා ලමා නවකතාවක් කියවලා තියෙනවා.
    මතක හැටියට චීන පරිවර්තනයක්.

    BalasPadam
  6. මේ ළමා කතාවේ පරිවර්තක ඩී බී කුරුප්පු හොරණ තක්ෂිලා, කොළඹ නාලන්දා ආදි ශිෂ්‍යයෙකි. ඔහු 1952 දී පමණ ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේ ය.

    පසුව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු ඔහු, කර්මාන්ත අමාත්‍යාංශය, සිමෙන්ති සංස්ථාව, මහජන බැංකුව, එන්අයිබීඑම් වැනි ආයතනවල සේවයෙන් පසුව විශ්‍රාම ලබා 1990 දී පමණ ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කර මෙල්බර්න් නගරයේ ජීවත් විය.

    ඩී බී කුරුප්පු සිංහෙලන් සහ ඉංග්ලිෂ් භාෂාවෙන් පරිවර්තන, කෙටි නවකතාවක්, කෙටි කතා සහ වෙනත් විවිධ කෘති පනහකට වඩා පළ කළ ලේඛකයෙකි. රුසියානු ලේඛක ඇනටෝලි රබකොෆ් ගේ තුන් ඈදුතු නවකතාව ඔහු අර්බර් දරුවෝ නමින් ඛොටස් හතකින් යුතුව පරිවර්තනය කළේ ය.
    ඔහු මෙල්බර්න් හි පළවෙන මාසික සිංහල ප්‍රකාශනවලට නිති පතා තීරු ලිපි ලිවූ අතර, එනමින් අභීත ලේඛකයෙකු ළෙස තම නම සනිටුහන් කළේ ය.
    වසර 89 ක ජීවිතය පසුගිය සතියේ අවසාන කළ ඔහු හෙට ජූලි පළමුවෙනි දා අවසන් ගමන යයි.

    මා ලියූ පහත සටහනේ විස්තර කෙරෙන සිදුවීමට මූලික වු ලිපිය ලියුවේ ඔහු ය.

    ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ ගේ නිරුවත, පුකත්වය සහ තගරි හෙළිවේ..! - Sri Lankan High Commissioner in Australia threatens a local journalist
    http://rasikalogy.blogspot.com/2015/02/sri-lankan-high-commissioner-in.html


    මේ මා ඩීබී කුරුප්පු ගේ විශිෂ්ට පරිවර්තනයක් වූ මැංචෝසන් චාරිකා කෘතිය පිළිබඳව ලියූ සටහනකි.

    සිංහල මැංචෝසන් සාමි ගේ නික්ම යාම - In memory of Don Baldwin Kuruppu
    http://rasikalogy.blogspot.com.au/2017/06/in-memory-of-don-baldwin-kuruppu.html


    ඔහුට සුබ ගමන් පතමි!

    BalasPadam
    Balasan
    1. තුති රසික ඔබගේ ඩී බී කුරුප්පු පෝස්ට් එක කියවීමෙන් පසු තමයි මට මේක ලියන්න හිතුනේ

      Padam
  7. දැත්තා සහ වැඩබැරිදාස පරිවර්තන දෙකම කියවලා තිබෙනවා. වැඩි කැමැත්ත වැඩබැරිදාස පරිවර්තනයට. එකේ පරිවර්තක දැදිගම වී. රුද්‍රිගු වගේ මතක.

    BalasPadam
  8. අපේ දැදිගම වී රුද්‍රිගු පරිවර්තනයේ මැෂින් එකක් වුවත්, ඔහුගේ සියලු පරිවර්තන ඉතා නීරසයි. වැඩබැරි දාස එයට හොඳ උදාහරණයක්. මෙයින් එක පොතක් මා ළඟ තවම තියනවා රුවන්. මා, දරුවන් කුඩා කාලයේ කතන්දර කියන්න මෙය නැවත කියවූ විට, සිංහල දන්නා කෙනෙකුට කියවන්න කොතරම් නීරස දැයි සිතුනා.

    BalasPadam
    Balasan
    1. +++++++++++++++++++++

      මටත් එයා දීල තිබ්බ නම් හරිම නීරසයි වගේ දැනුනේ. වැඩබැරිදාස තමයි ආදරේම හිතෙන්නේ. මේ ළඟදී මම පොත් සාප්පුවක් පීරලා හොයාගත්තා ඒ පොත් හයක් විතර. ඒක වෙන කෙනෙක් රිවයිස් කරලා වගේ. මට ඒක ඇල්ලුවෙත් නැහැ. මම ආසා කුසුම්පුරේ 'වාමනයෝ' ගැන කියවන්න. එය ලියල තිබ්බේ අඟුටුමිට්ටෝ ජාතියක් ගැන. මට හරි යන්නේ නැහැ.

      Padam
    2. දැදිගමගේ වානේ පන්නරය ; අම්මා (ගෝර්කි පරිවර්තන​) රසවත්

      Padam
  9. මමත් කියෙව්වෙ ඔය දත්තා සහ දැත්තා පොත් සෙට් එක....:)

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook