Rabu, 8 Februari 2017

අල්ලස් නොහොත් පගා

 

 
වෛද්‍යවරු අතර අල්ලස් ගැනීම ඉතා අවම බව මම විශ්වාස කරමි.  එහෙත් මීට කලකට ඉහතදී අල්ලස් ගත් වෛද්‍යවරු ගැන වාර්තා වී තිබුනි. ගාමිනී ෆොන්සේකාගේ සාගරයක් මැද චිත්‍රපටය පාදක වන්නේද 1970 දශකයේ අල්ලස් ගත් වෛද්‍යවරයෙකු වටාය​. තවද හෙන්රි ජයසේන ගේ හුණු වටයේ කතාව නාට්‍යයේ පගා ගසා අසුවූ වෛද්‍යවරු දෙදෙනෙක් ගැන සංවාදයක්ද තිබේ. 

ග්‍රාමීය රෝහලක ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කල කාලය තුලදී රෝගීන් ගේ ඥාතීන් කිහිප දෙනෙකු මට අල්ලස් දී රෝගී සත්කාරය කරවා ගැනීමට ආවෝය​. මෙය මට හිසරදයක් වූ අතර මගේ කාර්‍යාලය අසල බිත්තියේ මෙලෙස පෝස්ටරයක් ගැසුවෙමි. ; මෙය රජයේ රෝහලකි. රෝහලේ සේවය කරන නිලධාරීන්ට අල්ලස් දීමට තැත් කිරීම නීති මගින් දඞුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මේ පෝස්ටරය එතරම් එලදායක නොවූයේය. ඉන් සති දෙකකට පමණ පසු එක් පුද්ගලයෙකු විසින් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගී කාන්තාවකට සේලයින් එකක් දෙන්නට කියා මට රුපියල් සීයක් අල්ලස් ලෙස දීමට තැත් කලේය​. මින් උරණ වූ මා එම රුපියල් සියයේ නෝට්ටුව ඔහුට කැවීමට තැත් කලෙමි. එය නැවතුනේ බාහිර රෝගී අංශයේ සිටි ලයනල් සහ විජේරත්න බණ්ඩා විත් මේ පුද්ගලයා ඇදගෙන යාමෙනි. 

අල්ලස් දීමට තැත් කල පුද්ගලයාට නෝට්ටුව කැවීමට තැත් කිරීම ගැන අද මම එකඟ නොවෙමි. එය තරුණ කාලයේ තිබෙන ඩෝන්ට් කෙයාර් මානසිකත්වය නිසා සිදුවූවක් බව මම සිතමි.  පසුදින මෙම සිදුවීම  මම මා මිත්‍ර මිනිපේ නාගදීප ව්‍යාපෘති ඉංජීනේරු සිරිල් නානායක්කාර මහතාට කීවෙමි. රුපියල් සියයේ නෝට්ටුව අතින් අල්ලා අල්ලස් දීමට තැත් කල පුද්ගලයාට කැවීමට තැත් කිරීම ගැන සිරිල් අයියා මට දොස් පැවරුවේය​.  නෝට්ටුව අතින් ඇල්ලීමෙන් මම අනවශ්‍ය අවදානමක් ගත් බවත් ඉදිරියේදී යමෙකු අල්ලස් දීමට තැත් කලහොත් අදාල පුද්ගලයාව පොලිසියට භාර දෙන ලෙසට ජීවිතය ගැන බොහෝ අත්දැකීම් තිබෙන සිරිල් අයියා මට කීවේය​. කෙසේ නමුත් අල්ලස් මුදල් කැවීමට තැත් කිරීම ගැන ගම පුරා පැතිරී ඉන්පසු කිසිවෙකු මට පගා දීමට ආවේ නැත​. 

මීගමුව රෝහලේදී බාහිර රෝගී අංශයේ සේවය කල සමයේදී දිනපතා පාහේ ඩ්‍රග් රෙප්ස්ලා හෙවත් ඖෂධ සමාගම් වල වෙළඳ නියෝජිතයන් පැමිණ අපට අළුත් බෙහෙත් සාම්පල් නොමිලේ දී ඒවා රෝගීන්ට නිර්දේශ කරන ලෙස ව්‍යංගයෙන් ඉල්ලති. සමහර විට මෙම වෙළඳ නියෝජිතයන් කරච්චලයක්ද වූයේය​. සමහරු පැමිණ පැය ගනන් අපට තම ඖෂධ වල ක්‍රියාකාරීත්වය ගැන දේශනා කරති. ඔවුන් මෙම දේශනා කටපාඩමින් කියූ අතර අතරින් පතර රසායණික ක්‍රියාකාරීත්වය ගැන පැණයක් අසා ඔවුන්ව දුර්මුඛ කිරීමට අප පුරුදුව සිටියෙමු. 

මා ඇතුළු වෛද්‍යවරු බොහෝ දෙනෙකු රෝගීන් ගේ පිටින් ගන්නා බෙහෙත් චිට් වලට යටින් එස්.පී.සී කියා ලියා ඖෂධ සංස්ථාවේ බෙහෙත් පමණක් නිර්දේශ කලෙමු. මෙය පසුව දැනගත් ඩ්ග් රෙප්ස්ලා අපව මග හරිමින් ඔවුන් ගේ බෙහෙත් ලියූ දොස්තරලාට වැකියුම් ක්ලීනර්ස් වැනි අරුමෝසම් ත්‍යාග දුන්හ​. 

ඖෂධ සමාගම් වල සමහර බෙහෙත් ඖෂධ සංස්ථාවේ බෙහෙත් වලට වඩා ප්‍රබල වූ බව සැබෑය​. ඖෂධ සංස්ථාව මගින් ගෙන්වන ඉන්දියාවේ නිපදවන ලද ඇමොක්සසිලින් කරල් වල පාන් පිටි පුරවා තිබූ බවටද රාවයක් තිබුනි. එග්සෙමා චර්ම රෝගය  සඳහා එක් ඖෂධ සමාගමක් විසින් නිපදවන ආලේපයක් ඉතා ගුණදායක විය​. එම නිසා අප එම බෙහෙත රෝගීන්ට නිර්දේශ කලෙමු. මෙම බෙහෙත නිර්දේශ කරන විට මමද ඕපීඩී වෛද්‍ය රුවාඩ් පෙරේරා මෙන් මෙය පුද්ගලික ඖෂධ සමාගමකින් නිපදවන එකක් බවත් අවශ්‍ය නම් භාවිතා කල හැකි බව දන්වා අපට මෙම පුද්ගලික ඖෂධ සමාගම සමග කිසි ගනුදෙනුවක් නැති බවද කීවෙමි. 

සමහර ඖෂධ සමාගම් වල වෙළඳ නියෝජිතයන් අප වැනි හාල් කෑලි මග හැර සමහර විශේෂඥ වෛද්‍යවරු වෙත ගොස් ඔවුන් ගේ ඖෂධ ප්‍රචාරණයට අාධාර ඉල්ලා සිටියහ. ​ඊට එඟතාව පළ කල එක් විශේෂඥ වෛද්‍යවරයෙකුට ඩ්‍රග් රෙප්ස්ලා කළ ගුණ සැලකුවේ ඔහුට මාලදිවයිනට දෙසතියක ට්‍රිප් එකක් දීමෙනි. 

ඖෂධ සමාගම් බූවල්ලන් වූවද සමහර විට ඔවුන් වෛද්‍ය කොන්ෆරන්ස් සඳහා තම දායකත්වය ලබා දෙති. ඒ කාලයේ මීගමුව බ්‍ර්වුන්ස් බීච් හෝටලයේ පැවති වෛද්‍ය සමුළු සඳහා දායකත්වය දෙන ලද්දේ එක් සුප්‍රකට ඖෂධ සමාගමක් විසිනි.  මේ නිසා මෙහි දෙපැත්තක්ද තිබේ. 

මීට වසර දහයකට පමණ පෙර දංකොටුව රෝහලේ එක් මධුලෝලී වෛද්‍යවරයෙකු සිටියේය​. ඔහු දක්‍ෂ රෝග නිර්ණය කරන්නෙකි. රෝගියෙකු ආ විට රෝගියාගේ රෝගය ටක්කෙට කියා ප්‍රතිකාරය සඳහා බෙහෙත් දීමට අරක්කු බෝතලයක් ගෙන එන ලෙස කියයි. බෝතලය ගෙනා පසු රෝගියාද පාවිච්චි කරන්නෙකු නම්  ඔහු සමග කාලක්‍රියා කොට නියමිත බෙහෙත ලියා දෙයි. මෙය අරුම පුදුම බෝතල් පගාවක් විය​. පසුකාලයක මධුලෝලීතාව නිසා ඔහු මිය ගියේය​. 

මා දැන සිටි එක් නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෙකු ප්‍රසවය සඳහා එන ඉහල මධ්‍යම පාන්තික මවුවරුන් ගෙන් රුපියල් තිස් දහසක පමණ මුදලක් ලබා ගෙන ( මේ 1998 -99 කාලයේදීය​) රජයේ රෝහලේදී ඔවුන්ව සීසර් කිරීමට යොමුව සිටියේය​. 

එක් වරක් ඔහුට සීසර් ශල්‍යකර්මයට ඒමට නොහැකි වූ අතර ඔහු එය කිරීමට මට නියම කලේය​. මා විසින් නියමිත ලෙස සීසර් ශල්‍යකර්මය කොට දරුවා ගත් පසු ශල්‍යකර්මයට ලක් කල කාන්තාවගේ සැමියා නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයා විසින් තම බිරිඳ ශල්‍යකර්මයට ලක් නොකොට ඒ සඳහා මට භාර දීම ගැන ඔහුගේ අසතුට ප්‍රකාශ කොට මේ සඳහා අදාල නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයාට මීට සති කීපයකට ඉහතදී මුදල් දුන් බව කීවේය​. සැමියා විසින් කරන ලද මෙම චෝදනාව අසා මම නිරුත්තර වූයෙමි. 

වෛද්‍ය සේවය තුල මෙවැනි අක්‍රමිකතා තිබෙන බව නොරහසකි. එහෙත් 95 % වෛද්‍යවරු අල්ලස නොගෙන සේවය කරන බව මම විශ්වාස කරමි. බහුතරයක් වෛද්‍යවරු අල්ලස් නොගන්නා මට්ටමට පැමින සිටීම ඉතා හොඳ  දෙයකි. එය වෛද්‍ය සේවයේ ගුණාත්මක භාවය පෙන්වන්නකි. මේ නැඹුරුව එලෙසම පවත්වා ගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් සහයෝගය දිය යුතුය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

43 ulasan:

  1. //එහෙත් 95 % වෛද්‍යවරු අල්ලස නොගෙන සේවය කරන බව මම විශ්වාස කරමි. බහුතරයක් වෛද්‍යවරු අල්ලස් නොගන්නා මට්ටමට පැමින සිටීම ඉතා හොඳ දෙයකි//
    අපිට පුරුදු විදිහට නැතුව වෙන වෙන වංගු දාලා පගාව ගන්නෙත් නැත්තං හොඳයි....

    BalasPadam
  2. වෛද්‍ය රුවන් මේ දේ ඔබ කියනවාට වඩා පැතිරුණු දෙයක්. නොමිලේ සාම්පල් දීම බොහෝ රටවල වෙනවා. මම එහි වරදක් දකින්නේ නැහැ. එහෙත් සුමානයක පමණ විදේශික සංචාර කියන එක විශාල වශයෙන් වෙනවා. ප්‍රිස්ක්‍රයිබ් කරන ප්‍රමාණය අනුව මුදල් දෙන එකත් වෙනවා. මට අත්දැකීමක් ඇති දෙයක් නම් ඔහු අනාගතයේ පාවිච්චි කරන යම් උපාංගයකින් එකකට 35000 ක් මිල වැඩියෙන් යොදා පවුලට අප්‍රිකාවේ සංචාරයක් ලබා ගැනීම. මෙම ක්‍රමය නිසා සමහර අනවශ්‍ය උපාංග රෝගියාට සවිකිරීම වෙනවා.

    BalasPadam
  3. ඕව මොන අල්ලස්ද ඩොක්ටර්,
    මෙන්න මේක බලන්න, සුපිරි අල්ලස්
    http://www.bbc.com/news/world-australia-38902973

    BalasPadam
    Balasan
    1. සොරි සොරි Link එක පොඩ්ඩක් ටැපලුනා.

      http://www.bbc.com/news/world-asia-38906880

      Padam
  4. වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් වගකීම් රහිත ක්‍රියාවන් මෙන්ම වක්‍රාකාරව ඖෂධ සමාගම් සමග ඇති සම්බන්ධතා ගැන විවේචන තිබෙනවා. නමුත්, වෛද්‍යවරුන් හෝ හෙදියන් රෝගීන්ගෙන් කෙලින්ම අල්ලස් ගත් අවස්ථාවන් නම් ඉතාම ඉතාම විරල බව මගේ දැනීම නම්. මම නම් කිසිවිට එවැනි දෙකට මුහුණ දී නැහැ.

    එත් රෝහල් වල වෙනත් සේවකයන් එහෙම කෙලින්ම අල්ලස් ගන්න අවස්ථා නම් විරල නැහැ. අඩුම තරමේ ගේට්ටුවේ ඉන්න ආරක්ෂක සමාගමකින් ආ නිලධාරියා වුනත් රෝගීන් ළඟ ඉන්න අයගෙන් පවා සිගරට්ටුවක් හෝ අල්ලස් වශයෙන් ගන්න පුළුවන් වෙලාවට ගන්නවා.

    BalasPadam
  5. දොස්තර සරත් විමලසුරියගේ ලිපිය අනුව දොස්තරලා අල්ලස් විදිහට ගන්නේ රෝගින්ගේ ජිවිතයි. ඒනම් අල්ලස සෘජුව නොව වාක‍්‍රාකාරයෙන් ගැනිමකි.

    BalasPadam
    Balasan
    1. ඒකනම් පොල්ලෙන් ගහන්න වගේ ලියල තියෙන්නේ

      Padam
  6. මම කුරුණගල හොස්පිටල් එකේ ගේට්ටුවෙ මෑන්ට සිගරට් එකක් දීල අවේලාවෙ ලෙඩෙක් බලන්න ගියා. අවුරුදු 20කට විතර කලින්.

    BalasPadam
  7. දැන් නම් රජයේ රෝහලේ නවතිනවා නම් "අල්ලස්" දීම උනත් බොහෝම වැදගත් විදියට වෙන්නේ.

    කෙලින්ම ඕ පී ඩී ගියොත් ඇඳකුත් නෑ පයිසෙකට ගනන් ගන්නෙත් නෑ. ඒ නිසා හදාගෙන තියෙන සිස්ටොන් එක (මෙය අල්ලස් ගැනීමකයි වරදවා වටහා නොගන්න. ස්තූතියි..)

    නොරිල් ක්නල් රෝඩ් එකේදි ලොකු දොස්තර මහතා චැනල් කිරීම

    ලොකු දොස්තර මහතාගේ ලියුම ලබා ගැනීම

    බාහිර රෝගී අංශයට ලෙඩා නොව ලියුම පෙන්වීම

    ඇඳක් සමඟ වී අයි පී ට්‍රීට්මන්ට්ස් ලබා ගැනීම

    ලොකු දොස්තර මහතා හවසට චැනල් සේවයෙන් මුදල් ලබාගෙන ගෙදර යාම..

    ඕනම දෙයක් ක්ලාස් විදියට කරන ක්‍රමත් තියෙනවා ලොක්කා..

    උසාවියත් මෙහෙම්මම තමයි...

    BalasPadam
    Balasan
    1. සිස්ටම් එක අල්ලසක් වෙලා....අල්ලස සිස්ටම් එක වෙලා....
      රෝස් පාන් නයි වෙලා....නයි රෝස් පාන් වෙලා.... අනේ හුකේ නන්නානේ..

      Padam
    2. උසාවියත් මෙහෙම්මම තමයි... //////// +++++++

      Padam
  8. බහුතරයකට ලෙඩ්ඩුන්ව මිරිකගෙන සාරය උරා බොන්න පුළුවන් කම තියෙද්දී අල්ලස් අරගෙන චා වෙන්නේ මොකටද...

    (මෙය pp නොකරන, ගසා කමින් චැනලින් නොකරන උදවිය සඳහා අදාළ නොවේ...)

    BalasPadam
    Balasan
    1. ඉතා වටිනා බෙහෙත් තිබූ යුද හමුදා රෝහලේ 2002 - 2006 දක්වා සේවය කලා. පැනඩෝල් පෙත්තක්වත් හොරෙන් ගෙදර ගෙනාවේ නෑ සේවය කල මුළු අවුරුදු හතරේම හමුදාව වෙනුවෙන් අතිකාල දීමනා ගත්තේ නෑ . වෛද්‍ය ජෙනරාල් සංජීව මුණසිංහ මහතා මේ ගැන සාක්‍ෂි දරයි

      Padam
  9. අද ගොඩක් වෙලාවට වෙන්නෙ වි.වයිද්‍යවරයව චැනල් කරාට පස්සෙ ඔහු විසින් ඔප්ශන් දෙකක් දෙන එකනෙ.ප්‍රයිවට් ද? ඉස්පිරිතාලෙද? ඉස්පිරිතාලෙට යනව නම් ලියුමක් දෙනවා.හැබැයි ඒ ලියුම තිබුනා කියලා මහා සැලකිලි දැන් කාලෙ ලැබෙන්නෑ.(ඔක්කොම කොරන්නෙ ඒක නෙ.) හැබැයි එල්ලවෙන අඩත්තේට්ටම් ප්‍රමාණාත්මකව අඩුයි.(ඒකම ඇති )
    ඔපරේශන් එකක් වගේ කලොත් ක්ලින්ක් අනිවාර්යයි.ඒ කට්ට දීලම තමයි නොමිලේ ප්‍රතිකාරයට යොමුකර ගන්නෙ.ඒක හොඳ වැඩක්.මොකද රටේ ලෝකෙ මිනිස්සු කන කට්ටත්,ලෙඩ්ඩු වෙනුවෙන් වන මහන්සිය සහ කරන වියදම දැකගන්න අවස්ථාවක් ලැබීමත් නිසා.
    අනන්තවත් රජයේ ඉස්පිරිතාල අත්දැකීම් අතරේ කිසිම අල්ලස් සිද්ධියකට මූණ නොදෙන්න වාසනාවන්ත උනා.. ආ.. හැබැයි නෙවිල් ෆනෑණ්ඩු එකේදි ඒකෙ පොරක් ට්‍රයි කරා.මම උට සත පහක් වත් දුන්නෙ නෑ.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. එල්ලවෙන අඩත්තේට්ටම් ප්‍රමාණාත්මකව අඩුයි ///// මිනිසුන්ට හිංසනයකින් තොරව බෙහෙත් ගන්න බැරි ඇයි

      Padam
    2. එක විසඳුමයි පෙනෙන්නෙ.
      නර්ස් ලටයි ඩොක්ටර්ස් ලටයි ටෙක්නීශියන්ලටයි ලයිසන් එක උපරිම අවුරුදු 3කට වතාවක් අළුත් කරගන්නත්,ඒ සඳහා ලකුණු ක්‍රමයකුත් සැකසීම.
      මයිනර් ස්ටාෆ් පුරවන ඇමතිලාගෙ හෙංචයියො ආන් බාන් කොරන්න ක්‍රමයක් සැකසීම.
      නිසි පරීක්ශනයක් යක්ස අයුරින් පවත්වා සෑම වෘත්තීය තලයකම අවම වශයෙන් පස්දෙනෙක් වත් අදාලවන පරිදි සිදුකරන වැරදි සඳහා දඬුවම් වශයෙන් වැඩ තහනම් කිරීම.

      Padam
    3. මයිනර් ස්ටාෆ් පුරවන ඇමතිලාගෙ හෙංචයියො ආන් බාන් කොරන්න ක්‍රමයක් සැකසීම///// ඒක නම් අත්‍යාවශ්‍යයි

      Padam
    4. මගේ අදහස නම් ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ඇති කරලා, රජයේ රෝහල් සහ පුද්ගලික රෝහල් සියල්ලම ඔවුන් උපයා ගන්න මුදලින් නඩත්තු විය යුතු තත්වයට පත් කිරීම.

      එතකොට මිනිස්සු කැමති රෝහලකට යාවි. රැකියා විරහිත අයගේ සම්පූර්ණයෙන් සහ අනෙක් අයගේ බිල උපයන ප්‍රමාණය අනුව 70% සිට 95 % දක්වා ප්‍රමාණයක් ජාතික සෞක්‍ය රක්ෂණයෙන් අය කරගැනීමට හැකිවන ලෙස ක්‍රමවේධ සැකසීම.

      ඒවගේම මිනිස්සු යන රෝහල අනුව ජාතික සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවන ප්‍රමාණය වෙනස් විය හැකියි. අධි සුඛෝපභෝගී රෝහල් වලට සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවන්නේ නැති අතර රජයේ රෝහල් වලට යන අයට වැඩි ප්[රතිශයක් ආවරණය කිරීම වගේ දේවල් අපේ රට හැටියට එකතු වෙන පුළුවන්.

      හැබැයි මේවා කරන්න හැදුවොත් "නිදහස් සෞඛ්‍ය රැකගමු" කියන වචන ටිකට මුවා වෙලා මුලින්ම වර්ජන තරජන් කරන්නේ සෞඛ්‍ය සේවකයෝ.

      Padam
  10. ඉස්සර ගම්පහ පැත්තේ ඉස්පිරිතාලෙක ඩොක් මහත්තයෙක් හිටියලු. රෑට ගෙදර එක්කන් යන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකට උස්සගෙන දාගෙනලු. අහපු කතාවක්.

    BalasPadam
    Balasan
    1. බෙබේලා හැමදාම හිටියා

      Padam
  11. ඩොක්ට රුවන්, ඔබ තුමා කිසිම දෙයක් පර්සනල් ගන්නේ නැති මම ගරුකරන දොස්තර කෙනෙක් වශයෙන් මාතලන්ගෙ පොස්ට් එකක කොමෙන්ට් එකක් වශයෙන් දමපු කොමෙන්ට් එකක් මෙතනත් දමමි.

    දොස්තරලා අල්ලස් ගන්නෙ නැති උනත් ඔවුනට නීතිය මගින් ලූප් හෝල් හරහා රෝගියාව මංකොල්ල කෑමට ලියාපදිංචි අයිතිවාසිකමක් ඇතිබව මෙයින් පෙන්වීමට මම කැමතිය.

    ඔබලා වැනි ගති ගුණ යහමින් ඇති දොස්තරවරු ලංකාවෙන් පිටවීම ගැන බොක්කෙන්ම මට සතුටුය. ඔබලා වැනි ය ලංකාවේ සිටීමෙන් ලංකාවට කෙසේ උනත් උබලට ඇති සෙතක් නැතිය..

    "2007 වසරේදී දරුණු බඩේ අමාරුවකට මම ජයවර්දන ගෙවන වාට්ටුවේ මම නැවතුනා. බිල ඒ දවස්වල ලක්ෂ 4ක් උනා. ඔපෙරේෂන් දෙකයි. ටෙස්ට් 10ක් වගේ. හිටියේ දවස් 5යි. සල්ලි බාගයක් ගෙව්වේ තාත්තගේ EPF එක අරන්.

    මෙහෙදී 2011 දී ඒ ලෙඩේම ආයෙ ආව. කේස් එක ෆුල් සීරියස්. දොස්තරලා ෂොක්. මට ඇඟට අතක් තියන්ට කලින් කිව්වෙ 2007 රෙකෝඩ්ස් අම්මට කියපන් මෙහෙට එවපන් කියල. බඩු ඔක්කොම ආව. ඒ වෙනකොට මට NHS එකෙන් GERMAN ඩොකෙක් මෙහෙට ගෙන්න ගන්න එපොයින්ට්මන්ට් එකකුත් දීල තිබ්බ ලෙඩේ හොයාගන්න. මොකද ලංකාවේ හිස්ටරි එකෙන් NHS එක බය වෙලා හිටියෙ ලංකාවේ කල ඔපරේෂන් නිසා..

    GERMAN ඩොක්ට මාස දෙකකට පස්සෙ ආව. මම තමයි ඉතිං ඔන්න ප්‍රයෝරිටි ලෙඩා. එයා පැය 4ක් මම එක්ක කතා කළා. ලංකාවේ රෙකෝඩ්ස් ඔක්කොම චෙක් කළා. පස්සෙ කොලොනොස්කොපි ටෙස්ට් දෙකකට දැම්ම.


    ආයෙ එයාම මට එන්න කිව්වා සතියකින්. පස්සේ මගෙන් ඇහුව ඇයි උබ ලංකාවේ ඔපරේෂන් වලට ගියේ කියල. මම කිව්වා ගියේ නැහැ. එයාල කිව්ව නිසා ඔපරේෂන් වලට ගියා කියල. මිනිහ මට කිව්ව උබ එව්වා සල්ලි වලට කලානම් උබේ සල්ලි අපරාදේ. නීතියෙන් බැහැ ලෙඩක් අඳුරගන්න කන් කිසිම මිනිහෙකුගේ අඟ කපන්න කොටන්න. මම උබට දැම්මේ කැමෙරා විතරයි. උබට ලොකු අමාරුවක් නැහැ. උබට තියෙන්නේ සිම්පල් ලෙඩක් ISB. උබට කිරි ඇලජික්. හැබැයි බෙහෙත් නැහැ. උබේ ෆුල් බොඩි එක ෆුල් ක්ලියර්.

    සමහරක්විට NHS එක පවුම් 10000ක් වොතර වය කරන්ට ඇති GERMAN වලින් දොස්තර කෙනෙක් ගෙනල්ල හරියට මට වෙදකන් කරන්ට. එත් ඒ ඔක්කොම මට නිකං. හිතන්න දොස්තරලගේ ආතල් වලට ගියපු සල්ලි. තාත්තගේ EPF එක.

    හිතපන් දුප්පත් අහිංසක මිනිස්සු. සල්ලි නැති නිසා මැරෙන ලෙඩ්ඩු.

    දේපල විකුණලා මේ කපටි කයිරාටික දොස්තරලට අහුවෙන මිනිස්සු,..?? "

    BalasPadam
  12. මම දවසක් ෆාමසියකට ගියා. එතන තිබුණා නොට් ෆො සේල් කියලා සඳහන් කරපු බේත්. මම ඒවා ගැන ඇහුවාම ෆාමසියේ එකා මට කිව්වේ මේ ඔක්කොම අහල පහල දොස්තරලා එවන බේත් කියලා. මේ ගැන මට පොඩි පැහැදිලිකිරීමක් දෙන්න පුලුවන්ද

    BalasPadam
    Balasan
    1. මම නම් හිතන්නේ නැහැ දොස්තරලා සාම්පල් බෙහෙත් ෆර්මසි වලට විකුනනවා කියලා. මොකද විකුනන්න තරම් ලොට් එකක් එහෙම ලැබෙන්නේ නැහැ. සාම්පල් එකයි දෙකයි ලැබෙන්නේ.

      Padam
    2. මොකද විකුනන්න තරම් ලොට් එකක් එහෙම ලැබෙන්නේ නැහැ. සාම්පල් එකයි දෙකයි ලැබෙන්නේ.//// athha

      Padam
  13. ඖෂධ සමාගම් විසින් Conference සඳහා ලබා දෙන දායකත්වයනම් අගය කලයුතුම වේ. තවද ඖෂධ සමාගම් විසින් විසින් රුපියල් 500 1000 කුපන් ලබාදීමත් සිදු කරනු ලබනවා. වයිෆ් දවසක් මට කිවා ඒ කුපන් එගොලෝ රෝහලට එන රෝගීන්ට පිටතින් පරීක්ෂණ කරගන්න මුදල් හදල් නොමැති අය වෙනුවෙන් නොමිලයේ පරිත්‍යාග කරනවා කියලා.

    BalasPadam
    Balasan
    1. මගෙත් දැනට ආශ්‍රය කරන ලංකාවේ හොඳම යාළුවෙක් ඖෂද වේදියෙක්. ලක්ෂයක් ඖෂදවේදීන් එක්ක බලනකොට ඌත් හොඳ එකෙක්. ඔබ කියන විදිහෙ .

      Padam
    2. ඖෂධ සමාගම් විසින් හොඳ දේවලුත් කරනවා

      Padam
  14. දොස්තරට හපං සැලකිල්ලක් දෙනවා පාමසිකාරයට ...එයාල කරල තියන සේල් එකේ හැටියට වර්ගිකරනය කරනවා .......දහදාහයි .....විසිදාහයි ....පනස්දාහයි....එන්න ඔය විදිහට .....ඒ මුදලට හරියන තෑග්ගක් පාමසිකාරයගෙන්ම අහලා මොනවද ඕන කියල දෙනවා ......

    BalasPadam
  15. ඔය දංකොටුවෙ ඩොක්ට ගැන මමත් අහලා තියේ,,හැබෑ එක්කෙනෙක් නම් නෙමේ දෙන්නෙක් ගැන අහලා තියේ,,මමත් දංකොටු පොරක් ඒකයි අහලා තියෙන්නෙ

    BalasPadam
    Balasan
    1. ඔහු දැන් ජීවතුන් අතර නෑ

      Padam
  16. දැන් දොස්තරලගෙයි, කොන්දොස්තරලගෙයි වැඩි වෙනසක් නෑ...

    BalasPadam
  17. ඔය කියන VOG මහතා දැන් චිත්රපටි නිෂ්පාදකය‍ෙක්ද?

    BalasPadam
  18. ඔය කියන VOG මහතා දැන් චිත්රපටි නිෂ්පාදකය‍ෙක්ද?

    BalasPadam
  19. දිගටම ලියන්න doctor. ජය!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook