Jumaat, 17 Februari 2017

හොකී ගැසීම

 

නාලන්දා විද්‍යාලයේ හොකී කණ්ඩායමට බැඳී මම හොකී ගැසුවෙමි. විමලසේන මයා අපගේ හොකී භාර ආචාර්‍යවරයා වූ අතර මීට වසර කීපයකට උඩදී විමලසේන සර් මිය ගිය බව මට ආරංචි විය​. ඒ  කාලයේ හොකී පුහුණුවට විමලසේන සර් එන අතර ඔහු අපව පිට්ටනිය වටා දුවවයි. ඉන්පසු කණ්ඩායම් බෙදී අප හොකී ක්‍රීඩා කරන්නෙමු. 

මේ කාලයේ අප සමග වජිර ද සිල්වා , තේනබදු , සුමංගල ඩයස්, වීරමන් , නුවන් දිසානායක යන සිසුන් හොකී ගැසූ බව මතකය​. නුවන් දිසානායක පසු කාලයක නීතීඥයෙකු වූ අතර 2016 දී ඔහු මිය ගියේය​. 

වරක් හොකී ක්‍රීඩා කිරීමේදී හොකී පීත්තක් හිසේ වැදී වීරමන් තුවාල විය​. මම වීරමන් සමග පාසලේ සිට හදිසි අණතුරු වාට්ටුව වෙත ගියෙමි. මම ලෙඩා රෝහලට ගෙන යා යුතු මුත් කාගෙන් දෝ ඉල්ලාගත් බයිසිකලයක නැගි වීරමන් මාව හරස් පොල්ලේ තබාගෙන රෝහලට  පැද්දේය​. වීරමන්ට මැහුම් දමා පිටගැස්මට ඉන්ජෙක්‍ෂන් එකක් විද්ද අතර මැහුම් පිටින් වීරමන් යලි මාව බයිසිකලයේ තබාගෙන පාසල වෙත බයිසිකලය පැද්දේය​. 

අපි පුහුණුව සඳහා දෙකට බෙදී හොකී ගැසුවෙමු. ලොකු පෑඩ් දෙකක් දමාගත් වජිර ද සිල්වා ගෝලී වූ අතර අප එල්ල කරන පාරවල් ඔහු පාදයෙන් නවතා දැමුවේය​. 

වරක් ඉතා තියුණු තරගයකදී තේනබදු ගෝල් පෝස්ට් එකට ලංවූ අතර (මෙම ගෝල් පෝස්ට් සඳහා යොදා ගත්තේ කොල්ලන් ගේ පොත් බෑග් දෙකකි) වජිර ද සිල්වා ගෝලී ලෙස තේනබදු එල්ල කරන පහර රැක ගැනීමට උකුස්සෙකු සේ තියුණු ඇසින් සූදානම්ව සිටියේය​. මේ අතර නිකම් ක්‍රීඩා පිටිය අසලින් ගිය ආදි  සිසුවෙක් ආ මල්ලී දැන් ගහන්න කියා ගෝල් පෝස්ට් හෙවත් අඩි කීපයක පරතරයකින් යුතුව තබා තිබෙන පොත් බෑග් දෙක අතර දුර තවත් පලල් කලේය​. මින් තේනබදු මෙන්ම වජිරද කෝප ගත්හ. පසෙක සිටි විමලසේන සර් ඔහුට බැන වැදුනු අතර එම ආදි සිසුවා " සොරි සර් " කියා හිස කසමින් යන්නට ගියේය​. අපි හොකී පිති කරට ගෙන මෙම විනෝදජනක ජවනිකාව දෙස බලා සිනාසුනෙමු. මේ නිසා විමලසේන් සර් අපටද රැව්වේය​. 

හොකී ගසන විට බෝලය ගැනීමට කොල්ලන් හොකී පිති දමති. උදේනි හෙවත් පොළා උස මහතින් යුක්තය​. පොළා හොකී පිත්ත වේගයෙන් දමන විට එය විළුඹ ඇටයේ වදී දෝ කියා අප බිය ගත්තෙමු. එම නිසා නාලාගිරි ඇතා මෙන් පොළා  බෝලය දෙසට පිත්ත දමා ගසන විට අප අයින් වූයෙමු. එසේම වරක් බෝලය දෙසට දුවන පොළා  ගේ කකුල් දෙක අතරට මම සෙල්ලමට මෙන් මගේ හොකී පිත්ත දැමූ අතර පොළා අඩි භාගයක් පමණ උඩින් ගොස් නිවුටන් ගේ නියමය අනුව බිමට පාත් විය​. 

කොල්ලන් රොත්ත පිති දැමූ නිසා තමාගේ කකුල් දෙක අතරට එල්ලය බලා පිත්ත දැමූ එකා සොයා ගැනීමට බැරි වූ නිසා තවත් කෝප වෙමින්  පොළා දණහිසේ තැවරී තිබූ වැළි පිස දැමුවේය​. ඉන් පසු මම පොළා අසලටවත් නොගියෙමි. 

අප හොකී ගසන විට ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රිකට් ගසති. මළළ ක්‍රීඩකයෝ පට් එක හෝ හෙල්ලය විසි කරති. වරක් තිලංග සුමතිපාල ගැසූ හයේ පාරක් හොකී ගසමින් සිටි මගේ කන අසලින් ගියේය​. මේ නිසා මම හොකී බෝලයට මෙන්ම ක්‍රිකට් බෝලය වෙතටද අවදානය යොමු කලෙමි. 

හෙල්ල හෙවත් ජැව්ලින් එක විසි කරන්නෝ මාරයෝය​. වරක් නාලන්දා පිටියේදී ජැව්ලින් එකක් හිසේ වැදී සිසුවෙකු මිය ගිය කතාවක් අප අසා තිබුනි. එය සත්‍යද යන්න තවම නොදනිමි. දූසමාන කතාව අනුව ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශම්මි සිල්වා ජැව්ලින් එක විසි කල අතර එය ක්‍රීඩා පිටිය හරහා දිව ගිය සිසුවෙකුගේ හිසේ ඇනී පසාරු විය​. එවිට ඇඩ්ඩියා පැමින කොල්ලාගේ ඔළුවට පය තබා හෙල්ල ඉගිල්ලුවේය​. හෙල්ලත් සමග කොල්ලාගේ මොල කෑලිද එලියට ආවේය​. 

මේ කොල්ලන් කිවූ කතාවකි. එය සත්‍යක් නොවේ කියා මම සිතමි. කොල්ලන් කතා හැදීමේ රුසියෝය​. හොකී ගැසීමෙන් පසු අපි ලකුණු පුවරුව යට වාඩිවී මෙවැනි අද්භූත කතා ඇසුවෙමු. මෙවැනි කතා කීමට සමත් සිසුන් කිහිප දෙනෙකුද හොකී කණ්ඩායමේ වූ බව මතකය​.

විමලසේන සර් අපට හය වසරේදී විද්‍යාව ඉගැන්වීය​. වරක් විමලසේන සර් පන්තියට දුන් විද්‍යාව ප්‍රශ්න සියල්ලටම මම නිවැරදිව පිළිතුරු දුන්නෙමි. ඉන් පසු චාන්දන මට විද්‍යාදාස කියා නමක් පට බැන් දේය​. මේ  විද්‍යාදාස නම මට සාමාන්‍ය පෙළ දක්වා  ළමුන් කීවෝය​. එසේම පොඩි විතාන සර්ද මාව අමතන ලද්දේ විද්‍යාදාස කියාය​. මේ නම මට රෙජිස්තර කල චාන්දන දැන් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​. 

විමලසේන සර් හිටි හැටියේ ළමුන් බ්ලැක් බෝඩ් එක ඉදිරියට ගෙන්වා ප්‍රශ්න අසයි. වරක් බුද්ධික නානයාක්කාරව  බ්ලැක් බෝඩ් එක ඉදිරියට ගෙන්වා ආහාර මාර්ගය ආරම්භ වන්නේ කොතනින් ද කියා ඇසුවේය​. බුද්ධික ආහාර මාර්ගය ආරම්භ වන්නේ ගුදයෙනි කීවේය​. එවිට විමලසේන සර් ඒ තමුසේගෙ ආහාර මාර්ගය වෙන්න ඇති කියා කීවේය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

25 ulasan:

  1. ඔය ඇඩ්ඩියා අර හෙල්ල ඇනුන සිසුවෙකුගෙ ඔලුවට කකුල තියල පාගගෙන හෙල්ල ඇදපු කතාව මමත් අහල තියනව.හැබැයි හෙල්ල විසිකලේ කවුද කියල මම අහපු කතාවෙ කියවෙන්නෙ නෑ. හෙල්ලෙ තුඩත් එක්ක එළියට ඇදිල ආපු මොළ කෑලිත් එක්ක හෙල්ලත් අර සිසුවා එක්ක ඉස්පිරිතාලෙට අරං ගියාලු. ඊට පස්සෙ දොස්තරල ඒ මොළ කෑලි පරිස්සමින් තිබ්බ තැන්වලටම ආපහු දාල ඔලුව මහල සිසුවා සනීප කලාලු.

    79 විතර නාලන්දෙ හොකී කැප්ටන් හිටියෙ අපේ පන්තියෙ. දමිත් ජයසේන.ඒ අවුරුද්දෙ සමස්ත ලංකා පාසල් හොකී කණ්ඩායමටත් මිනිහ තේරුනා. ඉන්දියාවෙ මාසෙක විතර සංචාරයකටත් ගියා. ඉන්දියාවෙ කෙල්ලො දුන්නු ඇඩ්රස් කියල තුණ්ඩු කෑලි හත අටක් දමිත් අපේ පන්තියෙ එවුන්ට ගෙනත් දුන්න. අපේ එවුං පොර කකා ඒ ඇඩ් රස් වලට ලියුං ලිව්ව...ඒත් එකෙකුටවත් උත්තරයක් ආවයි කියලනම් මට මතකයක් නෑ...හෙහ්,හෙහ්,

    BalasPadam
    Balasan
    1. මාත් ඔය කතාව අහල තියෙනවා. නමුත් ෂම්මි ඒ කාලෙ අපිත් එක්ක ඉස්කෝලෙ ගියා. එතකොටත් ඒ කතාව ඔය රුවන් කිව්ව විදියටම තමයි ප්‍රසිද්ධ වෙලා තිබුනේ. ඒ කියන්නෙ මේ කතාව වරින් වර අලුත් ක්‍රීඩකයෝ දාලා යාවත් කාලීන කරන එකක්. අර සමහර දේශපාලන කතාත් තියෙන්නෙ ඔය වගේ.

      Padam
    2. ශම්මිගේ කතාව බොරු බව තමයි අහන්න ලැබෙන්නේ.

      Padam
    3. අරූ,

      හරි මචං...දෙමටගොඩ කිව්වම ඔන්න මතක් වුනේ... මවුන්ට් මේරි වල තියෙන රේල්වේ ග්‍රවුන්ඩ් එකේදි ඔහොම හෙල්ලක් වැදිල වේළුවන ඉස්කෝලෙ පොඩි එකෙක් මැරිච්ච කතාවකුත් තිබ්බ තමයි.

      ෂම්මි ඉස්කෝලෙන් පස්සෙ සී.සී.සී. එකට සෙල්ලම් කලා පී.සරා ට්‍රෝෆි මැච්වලට. ඊටත් පස්සෙ ක්‍රිකට් අත ඇරල ස්කොෂ් වලට ගිහිල්ල ලංකාවෙ ජාතික ශූරයත් වුනා.

      Padam
    4. ඔය හෙල්ල වැදුණු කතා කීපයක්ම තියනවා

      Padam
    5. නම් ගම් මාරු වෙවී ජවලින් කතාව ඉස්සරහට යනවා වගේ සුමතිපාල ගේ සික්සර් කතාවත් යන්න පටන් ගනී ද මන්දා?

      Padam
    6. එහෙම කොහෙද ඒක මගේ අත්දැකීමක්

      Padam
  2. යකෝ මාර දක්ෂ දොස්තරලානේ ඒ කාලේ ඉඳලා තියෙන්නේ. මොල කෑලිත් හරියට තියලා ඔපරේෂන් කරන්න

    BalasPadam
    Balasan
    1. ?? මොකක් ගැනද මේ මල් මල්ලි කියන්නෙ??

      Padam
    2. මොලේ පුරුද්දලා මහලා තියෙන්නේ

      Padam
  3. මේ හෙල්ල වැදීමෙන් සිසුවෙක් මියගිය කතාව ඇත්ත. ඒ බව මගේ වයිෆ් සනාථ කරනවා. ඇය ඒ ෆියුනරල් එකටත් ගිහින් තියෙනවා. දෙමටගොඩ කුඩා නිවසක පදිංචිව සිටි දරුවෙක්. ශම්මිලාගේ නිවෙස් කිට්ටුව ලමයෙක්. ඇය ඉගෙනගත් ආනන්ද බාළිකාවෙන් මේ අවමගුලට සහභාගිවි තිබෙනවා. ඔහුගේ නම තේමියබන්දු බවට ඇය මතක් කරනවා. ශුවර් නැහැ.
    ඩී.එස්.විදුහල්පතිව සිටි අලස් මහත්මයාගේ පුත් මලික් අලස් මියගියෙත් බෝලයක් හිසේ වැදීමෙන් බව මතකයි. ඒ ඩී.එස්. එකේදි.

    BalasPadam
    Balasan
    1. මේක 1974 -75 කාලේ වෙච්ච සිදුවීමක් වෙන්න ඕනේ.

      Padam
  4. කොල්ලන්ගේ හොකී මැච් නම් වඩක් නෑ.. දැන් උනත් වහානේ නවත්තගෙන පුතයි මායි දෙන්නම බලනවා රෙස් කෝස් එකේ තියෙන කෙල්ලෙන්ගේ හොකී මැච් නම්...

    BalasPadam
    Balasan
    1. කෙල්ලෙන්ගේ හොකී මැච් ආතල්

      Padam
    2. කෙල්ලොන්ගේ හොකී කොහොම වෙතත් වෙන වෙන ඒවා මේ උදවිය යහමින් බලනවා වගේ ...

      අපි නම් ඒ දවස වල දැක්කම අහක බලා ගත්ත... කතරගම දෙයි හාන්දුරුවම්ප සත්තයි :)

      Padam
  5. හෙල්ලේ කතාව ඇත්තය. අවුරුද්ද මට හරියටම මතක නෑ. රුවන්ගේ අනුමානයට වඩා අවුරුද්දක් විතර පස්සේ. ශම්මි අපේ පංතියෙ හිටියේ 11/12. එයා අතින් තමයි වුනේ. ඔය ඇඩ්ඩිං ඒක ගලවපු කතා බොරු. ඒක එක්කම ඇක්සිඩන්ට් වෝඩ් ගෙනිහින් තිබුනත් ඒ ලමයව බේර ගන්න බැරිවුනා.

    BalasPadam
    Balasan
    1. ඒක තමයි එහෙනම් ඇත්තක්

      Padam
  6. ආනන්දයේ කුඩා සිසුවෙකු අවුරුදු දෙකකට විතර ඉස්සර ක්‍රිකට් පිටිය තලන ගල් රෝලට යට වී මිය ගියා.

    BalasPadam
  7. දින දෙකකට කලින් පැවති ආනන්ද නාලන්ද Battle of the morons එකේ දී හොකී පිති පාවිච්චි වෙන්න ඇති.

    BalasPadam
    Balasan
    1. අපේ කාලෙ නම් මේ ඉස්කෝල දෙකම එකතු වෙලා අනික්වට නෙලපු එක තමයි සිද්ධ උනේ ... කවමදාවත් හොකී පිති පාවිච්චියක් නම් තිබුණේ නැහැ.

      Padam
  8. තිලංග සුමතිපාල කිව්වේ සභාපතිතුමා ද ?

    මාර පොරකටනේ බාර දීලා තියෙන්නේ ලෙඩෙක්ව ඉස්පිරිතාලෙ ගෙනියන්න... :D

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook