Sabtu, 14 Januari 2017

කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට





මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සඳහා ජනතාව වෙත සෞඛ්‍ය අධ්‍යාපනය නොලැබීම යම් ප්‍රමාණයකට හේතු කාරක වන බව  මගේ හැඟීමයි. ජනතාවට ප්‍රශස්ථ ලෙස සෞඛ්‍ය අධ්‍යාපනය නොලැබීම  නිසා  විසි එක් වන සියවසේ වූවද තවමත් මේ සිදුවීම් ගැන තවමත් අසන්නට ලැබේ.  මෙම කපුවන් බොහෝ දෙනෙකු කපටීන් වෙති. නැතහොත් විඝටන ආබාධ හෙවත් Dissociative Disorders වලින් පෙලෙති.  ජනමාධ්‍යවේදීන් , දේශපාලකයන් මිත්‍යාව ප්‍රවර්ධනය කරන යුගයක සෞඛ්‍ය අංශයේ සාමාජිකයන් සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කල යුතුය​. ඝන අන්ධකාරය බිඳින්නට අප කුඩා මැටි පහණක් හෝ දල්වමු. 

කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ


දේවාලයක කපුවකු විසින් කාන්තාවකට පෙවූ යම් දියරයක්‌ විෂ වී එම දේවාරූඪයට සහභාගිවූ කාන්තාවක පෙරේදා ( (11 දා) රාත්‍රියේ මිය යැමේ පුවතක්‌ දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.



වැලිපැන්නගහමුල්ල පාලියගාර වැව අසල පිහිටි දේවාලයකදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ එසේ දියරයක්‌ පානය හේතුවෙන් මියගොස්‌ තිබුණේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි ඉශාරා උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී සිටි අයකි. තමන්ට මතුව ඇති අපල හා වෙනත් අයෙකු විසින් කළ බව කියන දෝෂ සහිත තත්ත්වයක්‌ සඳහා පිළිසරණක්‌ ලබා ගැනීමට අදාළ කාන්තාව සිය ඥාති නැගණියකද සමඟ දේවාලයට පැමිණ තිබේ. දේවාලයේ කට්‌ටඬියා විසින් ඇය ආවේෂකොට අවසිහියෙන් යම් දියරක්‌ පානය කිරීමට ලබාදී ඇති අතර එය පානයෙන් පසුව ඇය දැඩි අපහසුතාවට පත්ව සිටි බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

සැකකාර කපුවා දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය වූ ස්‌ථානයට (12 වැනිදා) පෙරවරුවේ ගිය කුලියාපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් නිහාල් ජයසිංහ මහතා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළ අතර මෘත දේහය තැන්පත්කර තිබූ දුනකදෙණිය රෝහලට ගොස්‌ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඥාතීන්ට භාරකිරීමට නියම කරන ලදී.

දුම්මලසූරිය පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කපිල සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කුලියාපිටිය පොලිස්‌ අපරාධ ස්‌ථානීය පරීක්‍ෂක කණ්‌ඩායමද, උප පොලිස්‌ පරීක්‍ෂක රංජින් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද විසින් මූලික පරීක්‍ෂණ සිදුකොට තිබිණි.

6 ulasan:

  1. අනේ මංදා තාමත් කපුවෝ , දේවාල පස්සේ දුවන මෝඩ හරක් ඉන්නවා කියලා හිතෙනකොට පුදුමත් හිතෙනවා..

    ඔය කපුවන්ව, දේවාල කාරයන්ව නීතියෙන් තහනම් කරලා දඩුවම් දෙන්න විදිහක් නැද්ද දන්නෑ...

    BalasPadam
    Balasan
    1. මගේ අදහස ජනතාව දැණුවත් කිරීම තමයි කල යුත්තේ

      Padam
  2. හැබයි ඉතින් දොස්තර බෙහෙත් වැරදිලත් මිනිස්සු මැරෙනවා හිටන්... :)

    BalasPadam
    Balasan
    1. ඇත්ත මාතෙ නමුත් දොස්තර අතින් ලෙඩා මිය යන්නේ නීති ගත සම්මත ප්‍රතිකාරයක් හරහා. නමුත් මේ කපුවෝ අතින් මැරෙන්නේ විකාර විදිහ​ට

      Padam
  3. අවාසනාවන්ත තත්වය වන්නේ වෛද්‍යවරුන් පවා මෙවැනි තත්වයන් හඳුනාගන්නට අසමත් වීමයි. තමන් මරන්නට එන බව කියමින් තැන් තැන්වල හැංගෙමින් සිටි අපේ ගමේ අයකු පසුගිය දිනෙක නාගොඩ රෝහලට ගෙන ගිය විට වෛද්‍යවරයා ඔහු ඇතුළත් කළේ වෛද්‍ය වාට්ටුවකටයි. නාගොඩ රෝහලේ මානසික රෝග වාට්ටුවක් ද විශේෂඥ වෛද්‍යවරයකු ද සිටියි. ඒ රෝගියා එතැනින් පැන ඇවිත් දැන් නැවතත් හැංගි හැංගී සිටියි.

    BalasPadam
    Balasan
    1. අජිත් බොහෝ වෛද්‍යවරුන්ට සයිකෙයාට්‍රි පිලිබඳ දැණුම අඩුයි. මම මෙය නිරික්‍ෂණය කල දෙයක්

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook