Jumaat, 18 November 2016

රජරට වකුගඩු රෝගය


වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා විසින් ලිපි කිහිපයක් ලියා තිබේ. වරක් මගේ ලිපියක නගන ලද ප්‍රශ්නයක් වෛද්‍ය චන්න ජයසුමන වෙත යොමු කල විට ඔහු කුණුහර්ප ප්‍රතිචාරයක් එවූ බව එක් මාධ්‍යවේදිනියක් මට දැණුම් දුන්නාය​. කාන්තාවකට අසභ්‍ය වචන කීම අනුමත කල නොහැකි වූවද මෙම මාධ්‍යවේදිනියගේ මාධ්‍ය භාවිතාව ගැන මට යම් යම් ගැටළු තිබූ නිසා මේ පිලිබඳව මම වැඩිදුර ප්‍රශ්න නොකලෙමි. කෙසේ නමුත් වකුගඩු රෝගය පිලිබඳව  රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා දක්වන උනන්දුව මම අගය කරමි. 

රජරට වකුගඩු රෝගය  හෙවත්   CKDU (Chronic Kidney Disease of Unknown Aetiology)  ලංකාවේ  මහජන සෞඛ්‍ය ගැටලූවක්  බවට පත්වී තිබේ.   ගිරාදුරු කෝට්ටේ, කුරුණෑගල, ඇඹිලිපිටිය, හම්බන්තොට යන ප්‍රදේශ වල ගොවි ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙලෙති.  කෘමි නාශක භාවිතයේදී නිවැරදි ක්‍රමවේදයන් භාවිතා නොකිරීම, කෘමිනාශක වැඩිපුර වැව්වලට එකතුවීම .එම වැව් ජලය ජනතාව පානය කිරිම,  මෙම රෝගය පැතිරීමට එක් හේතුවක් ලෙස සැලකේ. 

ගොවි ජනපද වල රෝහල් වල සේවය කල කාලය තුලදී ලාංකික ගොවීන් කෘමි නාශක , වල් නාශක ඉතා අපරික්‍ෂාකාරීව භාවිතා කරන අයුරු මම සියැසින් දුටුවෙමි. මෙම රසායණිකයන් භාවිතා කිරීමේදී ඔවුන් බොහෝ විට අත්වැසුම් , මුඛවාඩම් නොමැතිව ඒවා ඉසින අතර අවසානයේදී කෘමි නාශක , වල් නාශක ටැංකි ජලාශ වල සෝදති. මේවා ගබඩා කරන්නේද වගකීම් විරහිතවය​. සංඛ්‍යා ලේඛන අනුව දැනට රෝගීන්  20,000-22,000 අතර ප්‍රමාණයක් වකුගඩු රෝගය නිසා මිය ගොස් තිබේ. 

වකුගඩු රෝගයට හේතුව සොයා මහාචාර්‍ය නලින් ද සිල්වා සහ වෛද්‍ය චන්න ජයසුමන  පරීක්‍ෂණ සිදු කල අතර ප්‍රියන්තා සේනානායක නම් කාන්තාවක් මගින් දෙවියන් සමග සම්බන්ධ වී වකුගඩු රෝගයට හේතුව ඔවුන් පෙන්වා දුන්හ.   මේ අනුව රෝගීන්ගේ වකුගඩු රෝගයට හේතුව   ආසනික් බව  ඔවුන් පවසති. 

මහාචාර්‍ය නලීන් ද සිල්වා මහතා වරක් කී පරිදි  විපස්සක දෙවියන් විසින් ඔහුගේ දේව පනිවිඩ මධ්‍යකාරිනිය ප්‍රියන්තා සේනානායක  මගින් දැනටමත් රජරට වකුගඩු රෝගයට බෙහෙතක් ඔවුන්ට  ලැබී තිබේ. එහෙත් මෙම බෙහෙත යොදාගෙන වකුගඩු රෝගය සුව කරගත් කිසිවෙකු ගැන නම් අසන්නට නැත​. තවද මෙම කාන්තාවගේ උපදෙස් පරිදි දේව කැඳක් සකස් කොට රාජකීය විද්‍යාලයේ සිසුන්ට දීමට එම විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතා  කටයුතු කලේය​. 

දෙවියන් සමග සම්බන්ධවී කරන පරියේෂණ වල විද්‍යාත්මක භාවය මම නොදනිමි. මෙම පරියේෂණය පිලිබඳව  වරක් මම යෝක් විශ්ව විද්‍යාලයේ පරියේෂකයෙකු වූ මහාචාර්‍ය ඇල්ස්ටෙයාර් මැප්ට පැවසූ අතර ඔහු දෙනෙත් මහත් කොට මා දෙස බැළුවා විනා කිසිවක් නොකීවේය​. දෙවියන් සමග කතා කොට රෝග කාරකය ගැන මහාචාර්‍ය නලින් ද සිල්වාටත් , වෛද්‍ය  ජයසුමනටත් කරුණු කියන  ප්‍රියන්තා සේනානායක නම් කාන්තාව නිරවුල් මානසිකත්වයෙන් සිටිත් ද නැතහොත් ඇය ඩිලියුෂනල් ඩිස්ඕඩර් නම් මානසික රෝගී තත්වයෙන් පෙලෙන්නේද කියාද මම නොදනිමි. එහෙත් තමන්ට දෙවිවරු සමග සබඳතා තිබෙන බව කියූ ඩිලියුෂනල් ඩිස්ඕඩර් (Delusional Disorder) නම් මානසික රෝගී තත්වයෙන් සහ භින්නෝන්මාදයෙන් (Schizophrenia) පෙලුණු රෝගීන් නම් මට හමුවී තිබේ. ඔවුනද පවසන ලද්දේ තමන් දෙවියන් සමග කතාබස් කරන බවය​. 

දේශපාලන වාසි සඳහාත්  , ජනයා නොමග යැවීම සඳහාත් රජරට වකුගඩු රෝගය ලංකාවට පමණක් සීමාවූ රෝගයක් ලෙස පෙන්වා දීමට ඇතැමෙකු උත්සහ කලද මේ රෝගය ලෝකයේ රටවල් කිහිපයකම දැඩි ලෙස ව්‍යාප්තව තිබෙන බව  විශේෂඥයන් පෙන්වා දෙති. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේත්, මෙක්සිකෝව, ග්වාතමාලාව, එල්සැල්වදෝරය, නිකරගුවා, හොන්ඩුරාස් හා කොස්ටාරිකා යන ලතින් අමෙරිකානු රටවලත්, ඊජිප්තුවේත් මෙයට සමාන රෝග තත්ත්ව හමුවී ඇත​. 

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කවරක්ද යන්න මෙතෙක් සනාථ වී නැතැයි චීන, ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්‍යේෂණ පර්‍යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා වන ආචාර්‍ය එස්කේ වේරගොඩ පවසා තිබේ. ඔවුන් පවසන පරිදි රෝගය පැතිර පවත්නා කලාපය තුළ හමුවන කැඩ්මියම් සහ ආසනික් සංයුතිය සැලකීමේ දී ඒවා වකුගඩු රෝගයට හේතුවන්නේ යැයි කිසිදු ආකාරයකින් මෙතෙක් සනාථ වී නැත​. ඒ ආකාරයටම ග්ලයිෆොසේට් වල බලපෑමක් තිබෙන බව සනාථ කිරීමට ප්‍රමාණවත් පර්‍යේෂණ සිදුවී නැති බවද ඔහු පවසා ඇත​.  තවද මෙම රෝගය පිලිබඳව කිසිම විශේෂඥ දැණුමක් නොමැති පුද්ගලයන් ද ලාබ ජනප්‍රියතාවන් ලබා ගැනීම සඳහා තම මත සහ න්‍යායන් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වීම නිසා නිර්ව්‍යාජ විශේෂඥයන් ගේ හඞ යටපත් වී තිබේ. 

මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට මේ මහා මානුෂික ප‍්‍රශ්නය තමන්ගේ පටු න්‍යාය පත‍්‍රවලට අමතර තර්කයක් බවට හරවා ගත් සමහර අන්තවාදී පරිසරවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්   සහ  ඔවුන්ගේ ප‍්‍රකාශ හා උද්ඝෝෂණ නිසා මේ අභියෝගය හරිහැටි තේරුම් ගෙන එයට ප‍්‍රතිචාර දැක්වීම ව්‍යාකූල වී  ඇත​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග

34 ulasan:

  1. නලින් ද සිල්වාගේ කණ්ඩායමට වකුගඩු රෝග පිලිබඳ දෙවියෙක් හම්බවුනා වගේ තවත් කණ්ඩායමකට (හෝ නලින් ද සිල්වාගේ උනත් කමක් නෑ) පිළිකා, ඒඩ්ස් වගේ ඒවා ගැන විශේෂඥ දෙවියෙක්, අලුත් ඉන්ධනයක් ගැන විශේෂඥ දෙවියෙක් හෙම අහම්බෙන් හරි හම්බ උනොත් ලංකාවත් ගොඩ!
    නොවෙන්නත් චාන්ස් එකක් නෑ. මොකද තිස් තුන් කෝටිය කොටි දෙකෙන් බෙදුවම එක කෙනෙකුට දෙවියෝ 16ක් වත් ඉන්න ඕනෙනේ. නැද්ද මන් කියන්නේ.

    BalasPadam
    Balasan
    1. තිස්තුන් කෝටියක් දෙවියන් සිංහල බෞද්ධයන් හැර සියලු ජනතාව අතර බෙදීමේ කුමන්ත්‍රණය හෙලා දකිමු .

      Padam
    2. අලුත් ඉන්ධනයක් ගැන විශේෂඥ දෙවියෙක් හෙම අහම්බෙන් හරි හම්බ උනොත් ලංකාවත් ගොඩ!

      Padam
  2. ඇත්තෙන්ම වකුගඩු රෝගය ගැන මේ කාරණාවේදී මගේ පෙර ගුරුවරු ද ඇතුලත්ව ලංකාවේ විද්‍යාත්මක ප්‍රජාව ක්‍රියාත්මක වූ සමහර ආකාරයන් ගැන මට ඒ කාලයේ වටහාගැනීමට අපහසු තැන් තිබුනා. ඒ බොහෝ දෙනෙක් මේ ගැන මත ප්‍රකශ නොකර මුනිවත රැකීම ගැනයි. නමුත් මට දැන් වැටහෙනවා ඔවුන් එසේ මුනිවත රැකීමට තීරණය කලේ ඇයිද කියා.

    මේ කතාවට දෙවියන් ඈඳා ගැනීමට අමතරව ඔවුන් තවත් විශාල වරදක් සිදුකලා. ඒ ඔවුන්ගේ මතයට එරෙහි වූ පර්යේෂකයන්ට ඍජුව මෙන්ම වක්‍රව වෙන අය ලවා අවලාද නගමින් මඩ ප්‍රහාර එල්ල කිරීමයි. ඇත්තෙන්ම වකුගඩු රෝගය ආසනික් හෝ කැඩ්මියම් හෝ බැර ලෝහ වලටම පමණක් බැර කිරීම මම නම් පිළිගන්නේ නැහැ. ඉතා විෂ සහිත සංස්ලේෂිත කාබනික සංයෝග (toxic synthetic organic compounds) පලිබෝධ නාශක ලෙස අධිකව භාවිත කෙරෙනවා මේ ප්‍රදේශ වල. ඒවායේ අවශේෂ (residuals) ඉතා විෂ සහිතයි. සමහර විට මුල් පලිබෝධනශකයටත් වඩා විෂ සහිත වෙන්නත් පුළුවන් (Ex. chlorpyrifos oxon). නමුත්, මේවා කියනවාට ඔවුන් කැමති නැහැ. වකුගඩු රෝගයට එකම හේතුව ආසනික් බව පිළිනොගන්නා හැම දෙනාම එහෙම කරන්න කාගෙවත් මුදල් නිසා නොවෙයි. නමුත්, එක ඔවුන්ගේ විද්‍යාත්මක මතය (scientific opinion). පෙර කී එක මහාචාර්ය නලින්ගේ මතය. ඒ දෙකම මත මිසක් ප්‍රත්‍යක්ෂ කරුණු (facts) නොවෙයි.

    මම දන්නා කරුණක් නම් එවකට මේ අය ආසනික් ප්‍රමාණික විශ්ලේෂණය කලේ පරමාණුක අවශෝෂණ වර්ණාවලිමානයක (Atomic Absorption Spectroscopy) Hydride Generation නමැති ක්‍රමය මගින්. මම ඉතා හොදින් පුද්ගලිකව දන්නා ලංකාවේ විශ්විද්‍යාලයක ජේෂ්ඨ කතිකාචාර්ය වරු දෙදෙනෙක් මේ සාම්පල් ජපානයට ගෙනවිත් ඉතා නවීන, සාපේක්ෂව අතිශය සංවේදී Inductively coupled plasma mass spectrometry (ICP-MS) ක්‍රමය මගින් පරීක්ෂා කළා. එහිදී ආසනික් අනාවරණය වුනේ නැහැ. නමුත් ඔවුන් ඒ ප්‍රතිපල වලට ලොකු ප්‍රසිද්දියක් දී ප්‍රකාශ නොකර ඉන්නේ මේ මුදල් ගත්තා යන අවලාද චෝදනා ඇසීමට අවශ්‍ය නැති බව කියමින්.

    අනෙක, බර ලෝහ වුවද ඒවා පවතින ආකාරය අනුව විෂ වෙනස් වේ. උදා.සාමානයෙන් Cr(iii) ට වඩා Cr(vi) ක්ෂීරපායීනට විෂ වේ. ජලීය අයන වල සහ organometalic සංයෝග වල විෂ වෙනස් වේ. ජීරණය කිරීමන් පසුව පරමාණුක අවශෝෂණ වර්ණාවලිමානයකින් ලැබෙන්නේ මුළු සාන්ද්‍රණය පමණි. ආසනික් වැනි ලෝහ අයන වුවද රෝගයකට බලපානවා යයි හරියමට කීමට නම් Ion Chromatography, MS හෝ Cyclic voltametry වැනි ක්‍රමවලින් speciation විශ්ලේෂණය කල යුතුබව මගේ දැනීමයි. මේවා කියනවාට මොවුන් කැමති නැත.

    හැමදේටම ඩොලර් සහ බටහිර කුමන්ත්‍රණ සම්බන්ධ කරගැනීම ඉතා කණගාටුදායක කරුණක්. වකුගඩු රෝගයට හේතුව ආසනික්මය යන මතයට එකග නොවෙන හැමදෙනාම එහෙම කියන්නේ මුදල් අරගෙන නොවෙයි.

    වකුගඩු රෝගයෙන් රටේ මිනිසුන් මියයාම සැමට කම්පනයක්. නමුත් පරල වූ යකදුරෙක් මෙන් ලවක් දෙවක් නැතුව විරුද්ධ මත දරන්නන්ට බැණ වදීමෙන් හෝ අවලාද නැගීමෙන් පමණක් මේ ගැටලුව නොවිසදෙන බවත් එයින් වන්නේ මේ ගැටලුවට යමක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නා පර්යේෂනකයන් තව තවත් එලවා දැමීමක් බවත් අමතක කරන්න හොද නැහැ.

    BalasPadam
    Balasan
    1. බොහොම හොඳ කරුණු පැහැදිලි කිරීමක්. මේ ගැන සවිස්තර ලිපියක් ලියන්න කියා ඔබෙන් කාරුණිකව ඉල්ලනවා.

      Padam
    2. විරුද්දවාදී මත දරන්නන්ට එවැනි අවලාද නගන්නෝ මරියන්ම වෙති

      Padam
  3. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව මෙතෙක් සනාථ වී නැතිවුනත් ඔය විස රසායනික දේවල් පාවිච්චිය නැති හෝ අඩු කරන්න කාලේ ඇවිල්ලා නේද?

    BalasPadam
    Balasan
    1. විස රසායනික දේවල් පාවිච්චිය නැති හෝ අඩු කරන්න කාලේ ඇවිල්ලා

      Padam
  4. ඒ කියන්නේ බටහිර වෛද්‍ය විජ්ජාවයි, බූත විජ්ජාවයි දෙකම වැඩක් නැතෙයි කියන එක.

    දෙගොල්ලොම වැල් බයිලා ගහනවා. මිනිස්සු මරෙනවා එකසිය ගානට. කොහොම හරි කෘෂි රසායන භාවිතය අත් හල ප්‍රදේශ මේ උවදුරෙබ් බේරුනා කියලා කියනවා. ඒත් ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න උන් කියන ඒවා කාටද පිලිගන්න පුළුවන්.

    BalasPadam
    Balasan
    1. බැරිද ඕකට හේතුව අංජනමෙන් හරි කෙන්දෙරෙන් හරි හොයාගන්න?

      Padam
    2. දෙගොල්ලොම වැල් බයිලා ගහනවා. මිනිස්සු මරෙනවා එකසිය ගානට +++++++

      Padam
  5. CKDU ව්‍යාප්තව ඇත්තේ බහුලව වී නිපදවෙන ප්‍රදේශවල (Rice bowl) කීවත් එය නිවැරදිද කියා සැකයි, එම ප්‍රදේශ වල වාරි ජල සැපයුම අවුල්, වී ගොවිතැනට අමතරව ගොඩ ගොවිතැනද බහුලව කෙරෙන බව නිරීක්ෂණය වී තියෙනවා, එ නිසා කෘෂි රසායන භාවිතය සාපේක්ෂව පහළයි.අදාල විද්වතුන් වෙනත් පාර්ෂව වල නිරීක්ෂණ කනකට වත් නොගන්නා උදවිය, ඇත්තෙන්ම මානසික ආබාධිතයෝ වගයක් ද කොහෙද. කෙන්යූෂා කිවූ පරිදිම මේ පිරිසේ ගර්හාවට ලක්වී මට ඇති ලජ්ජාව නිසා පර්යේෂකයෝ බොහොමයක් මෙම රෝගය පිළිබඳ පර්යේෂණ වලට මැදිහත් වෙන්නේ නෑ, රජරට වෛද්‍ය පීඨයේ එතිකල් කමිටුව ඒක පාර්ෂවිකයි, ඔවුන් අමනාප කරගත් කෙනෙකුට රජරට ප්‍රෙද්ශයේ වෛද්‍ය පර්යේෂණ අනුමත කරවාගන්න බැරි බවයි කියවෙන්නේ.

    වෙළඳ පොලේ ඇති වස විෂ නැති දේශීය සහල් මීළඳී ගන්න අය දෙවරක් හිතන්න, ඒවායේ රසායන නැති බවට කිසිදු සහතිකයක් නෑ, ඇරත් දේශිය යයි කියන වී වර්ග බොහොමයක් සුළබ පළිබෝධකයනට ඔරොත්තු දීමේ ශක්තිය වර්ධනය කෙරූ ඒවා නොවේ.

    BalasPadam
    Balasan
    1. ඇණයා,

      //වෙළඳ පොලේ ඇති වස විෂ නැති දේශීය සහල් මීළඳී ගන්න අය දෙවරක් හිතන්න, ඒවායේ රසායන නැති බවට කිසිදු සහතිකයක් නෑ//

      මේගැන යමක් කිවයුතුයි, මම ගෙදරදී පහත දේ නිරීක්ෂණය කළා.
      එනම් "මගේ පියා දියවැඩියාවෙන් පිඩා විදිනවා මෙනිසා කෑම පාලනය අනිවර්යයි, මේ අතරම Glucometer යොදා ආහාරයෙන් පැය 2කට පමණ පසු පරික්ෂා කරනවා, මෙනිදී බත් ආහාරයට ගන්න විට රුදිරයේ සිනි ප්‍රමාණය වේගයෙන් ඉහල යාම නිරික්ස්ෂණය කළා, පසුව මම වසවිස නැතුව වගාකළ මඩතවාලු කියන සහල් වර්ගයෙන් ගත්ත බත් ලබාදීලා බැලුව රුදිරයේ සිනි ප්‍රමාණය, කියන්න පුදුමයි රුදිරයේ සිනි වැඩිවීම මේ සහල් වල ඉතා අඩුයි"

      මම මේ සහල් නිපදවන්නා කවුද කියල නොකියන්නේ මෙය කියවන අය කියයි මම ප්‍රචාරණය ලබාදීමට මෙය කරනවා කියල, එවෙනුවට ඔබට කියන්නේ වෙලදපොලේ විශ්වාසනීය තැනකින් මෙවැනි සහල් මිලදී ගෙන ආහාරයට පසු රුධිර පරීක්ෂාවක් ගරාගෙන ඔබම සොයාගන්න හොද සහල්වර්ගය මොකද්ද කියල

      Padam
    2. රජරට වෛද්‍ය පීඨයේ එතිකල් කමිටුව ඒක පාර්ෂවිකයි //////////// OMG

      Padam
  6. එක සැරයක් ඔය නඩය ජෝගියක් නැටුව නේද පරීක්ෂණ ක්‍රමයක් හොයාගත්ත කියල. කෙන්කියුෂාගේ කමෙන්ටුවෙන් කියල තියන ජපානයේ පරීක්ෂාව වැරදියි, උෂ්ණත්ව වෙනසක් නිසා එයාලට ආසනික් ලැබුනෙත් නෑ කියල කිව්ව මතකයි. කවුරුහරි කමක් නෑ රෝගයට හේතුව සහ ඖෂධයක් හොයාගන්න පුළුවන් නං වැඩේ හරි. නමුත් මේ නඩය බයිල ගහනව.

    BalasPadam
    Balasan
    1. //කෙන්කියුෂාගේ කමෙන්ටුවෙන් කියල තියන ජපානයේ පරීක්ෂාව වැරදියි, උෂ්ණත්ව වෙනසක් නිසා එයාලට ආසනික් ලැබුනෙත් නෑ කියල කිව්ව මතකයි//
      එහෙනම් ඉතින් කෙන්යුෂා කියන එවා පිලිගන්නත් බෑ නේද.. මොකද අනිත් පාර්ශවය ආවට ගියාට නෙවේ හේතුවත් එක්කම කියලා තියනවනේ ඇයි ඒ පර්යේෂණ පිළිගන්න බැරි කියලා..
      රාජ් මොන හේතුවක් උඩද කියන්නෙ මේ නඩය බයිලා ගහනවා කියලා.

      Padam
    2. වුරුහරි කමක් නෑ රෝගයට හේතුව සහ ඖෂධයක් හොයාගන්න පුළුවන් නං

      Padam
  7. ඩොක්ට. මෙච්චරටම දරුණු වකුගඩු ප්‍රශ්නයකින් 20,000ක් 22,000ක් මැරුණ රටක ජනාදිපති වරයකුගේ සිට වකුගඩු ප්‍රශ්නයකට පිළියම් හොයන මහාචාර්යවරුන් පවා දෙවියොන්ගෙන් ලැබෙන ප්‍රතිකර්ම විශ්වාස කරනවානම් රටට දෙය්යන්ගේම පිහිටයි.!!!

    BalasPadam
    Balasan
    1. රටට දෙය්යන්ගේම පිහිටයි , නමුත් දෙවි පිහිට තියෙන්නේ ස්විස්ටර්ල්න්තය, ඔසී , නෝර්වේ, ස්වීඩ්න් වගේ රටවලටනේ. අපි වගේ 24 දෙවියන් යදින රටවල් හිඟන රටවල් වෙලා

      Padam
  8. වකුගඩු ප්‍රශ්නෙ නම් දරුණුයි.දැණුම සහ හැකියාව ඇත්තවුන් මේ ගැන අත දාන්න , විසඳුමක් හොයන්න බය වෙනතාක්, පසුබසිනතාක් අහිංසක ජනතාව ජීවිත වලින් වන්දි ගෙවාවි.ඇත්තටම මේ රෝගය සහ එයට ලැබෙන ප්‍රතිචාර බොහොමයක් අභව්‍ය වීම ම ප්‍රශ්නයක්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මෙය සිතාමතාම පවත්වාගෙන යන තත්වයක් වෙලා

      Padam
  9. චන්න ජයසුමන යනු සමාජයේ ඇත්තටම ඇති ප්‍රශ්නයක් අල්ලාගෙන ඒ ඒ අවස්ථාවේ ප්‍රචලිත ජනප්‍රිය ස්ථාවරයන්ට අනුව ඊට අර්ථකථන දෙමින් දේශපාලන පොරත්වය ලබා ගන්ට උත්සාහ දරණ කෙනෙකි.

    1. උතුරේ ත්‍රස්තවාදය පැවැති සමයේ කීවේ වකගඩු රෝගයට හේතුව LTTE සංවිධානය විසින් කරන bio terrorism බවය. (මූලාශ්‍ර තවමත් ඉන්ටර්නෙට් එකේ තියේ.)

    2. කෘමිනාශක වලට එරෙහිව සමාජයේ යම් මතයක් ඇති අවස්ථාවක ඔහු මේ හේතුව ආසනික් බවට වෙනස් කළේය.

    3. අද ජාත්‍යන්තරව ග්ලයිපොසේට් විරෝධතාවයක් ඇති විටෙක ඔහු වකගඩු රෝගයට හේතුව එයය කියයි.

    තව ටික දවසකින් සමාජයේ පාන් කෑමට විරුද්ධ මතයක් ගොඩ නැඟුණොත් ඔහු වකගඩු රෝගයට මුල පාන්ය කියන්නටද බැරි නැත.

    BalasPadam
    Balasan
    1. +++++

      ඔහු පහු ගිය දිනවල කියා තිබුනා ග්ලයිෆොසෙට් භාවිතය නිසා පංශු ජීවීන් මිය යන නිසා වැව් බැමි දුර්වල වී ඒවා බිඳීයන බවක්, මිනිහට හිතෙනව ඇති වැව් බැමිත් කුඹුරු වල නියරවල් වගේ කියා. මිනිසුන් භීතියට පත්කරන ෂොක් තෙරපිය ඔවුන්ගේ ක්‍රමයයි.

      Padam
    2. // උතුරේ ත්‍රස්තවාදය පැවැති සමයේ කීවේ වකගඩු රෝගයට හේතුව LTTE සංවිධානය විසින් කරන bio terrorism බවය. (මූලාශ්‍ර තවමත් ඉන්ටර්නෙට් එකේ තියේ.)//මූලාශ්‍රය දෙන්න පුලුවන්ද.. ලොකු උදව්වක්.

      Padam
    3. මිනිසුන් භීතියට පත්කරන ෂොක් තෙරපිය ඔවුන්ගේ ක්‍රමයයි.////// WOW

      Padam
  10. නලින් සිල්වා නාථ ඉන්නවා බවට සක්ෂිලෙස ඉදිරිපත් කරන කාන්තාව (නාථ දෙවියන් තමන්ට කතා කරනවායි පැවසු කාන්තාව) එක්කො වන්චකාරියක් එහෙම නැත්තම් බරපතල මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් බව ඔවුන් සමග පර්යේෂණවල නිරතවූ චන්න ජයසුමන පවසා තිබෙනවා. මීට මාස කීපයකට පෙරත් චන්න ඇතුළු කණ්ඩායම, මේ නාථ සිද්ධිය ගැන ප්‍රියන්තා සේනානායක ගැන දිවි හිමියෙන් පෙනී හිටිය. ඔහුගෙන් මාත් ඇහුවා ඇයට මානසික රෝගයක් තිබෙනවා කියලා සැකයක් තියනවා නම් ඇයි ඇය කියූ දේවල් මිනිසුන්ව නොමග යවන්න පාවිච්චි කරේ කියලා එකටත් පිලුතුරක් නැ. ඔහු තමන්ගේ වෝල් එකේ නම් දාලා තියනවා මානසික රෝග ගැන ඔහුගේ මතය ඉදිරියේදී කියනවා කියලා
    සමහර විට ඒ මතය අනුව මානසික රෝග ගැන කතා කරන්නේ යමෙක් තරහ වුනාම බැනීම සඳහා විතරක් වෙන්න පුළුවන්

    Chittahari Abhayanayaka

    BalasPadam
    Balasan
    1. තරහා කරගත්තොත් පොළඟා

      Padam
  11. ලංකාවේ වෘතිකයෙක්ට මුදල් සහ ප්‍රසිද්දිය අවශ්‍යනම් (තමන් උගත් දෙයින් හැකියාවෙන් මුදල සහ ප්‍රසිද්දිය ලබා ගත නොහැකිනම් ) යන පාරක් තියනවා විමල් විරවංශ තමයි මේ ක්‍රමයේ ගෝඩ් ෆාදර්

    මුලින්ම සතුරෙක් පෙන්න්වනවා ඊට පස්සේ ඒ සතුරාට ගහනවා
    ඒ සතුරා තමන් මරන්න එන ආකාරය ගැන කතා කරනවා
    ඒ සතුරා ගැන සතුරා කියා නිගමන වලට එළෙඹී ආකාරය යමෙක් ප්‍රශ්න කරනවා නම් ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඒ පුද්ගලයා ඒ සතුරා ගෙන් මුදල් ගත් කෙනෙක්යි ප්‍රකශ කරනවා, තමන්ව ප්‍රශ්න කරන සියන්ම ජාතියේ සතුරෙක් කාගෙන් හෝ සල්ලි ගත්ත කෙනෙක් කියලා අඬන්න ගන්නවා. කිසිවිටෙක අභියෝග වලට පිළිතුරු දෙන්නේ නැ.
    මිනිසුන්ගේ තියන බිය ප්‍රයෝජනයට අරගෙන යම් තරමක fan බේස් එකක් හදා ගන්නවා ඒ fans ලා ප්‍රශ්න කරන මිනිසුන්ට මඩ ගහන්න පාවිච්චි කරනවා. මඩ සහිත වලිවල පැටලෙන්න අකමැති අනිත් ප්රෝෆෙෂන්ල්සලා මිනිහ කරන්නේ බොරුවක් බව දැනගෙනත් පස්ස ගහනවා

    ඊළඟට සයන්ටිෆික් කොමියුනිටි එකට සහ දැනුවත් මිනිසුන්ට එකක් කියන අතරසාමාන්‍ය ජනතාවට කියන්නේ තව එකක් උදාහරණයක් විදියට යමකට හේතුව තමන් තාම හොයාගෙන නැති කියා දැනුවත් මිනිසුන්ට කියන අතර සාමාන්‍ය ජනතාවට ඒ හේතුවට එරෙහිව මාරාන්තික සටනක් කරන බව පවසනවා

    ඒ වගේම යමක් විකිනීමට පාරකුත් කපා ගන්නවා සමහරු එකමුතුව බිස්නස්එඑක කරනවා

    හැබැයි කවදා හරි මේ යන පාර අවුල් වෙනවා
    මේ යන පාර අවුල වෙන්නේ සමහරු තනියම හම්බකරන්න ගිහින් බිස්නස් පට්නාර්ලා එක්ක වලි දාගන්නවා , ඒ බිස්නස් පට්නාර්ස්ලා එකිනෙකාගේ රෙදි ගලවගන්න පටන් ගත්ත තැනදී තමයි සාමාන්‍ය ජනතාවට කරපු මගඩි හෙළිදරව් වෙන්නේ, Chittahari Abhayanayaka

    BalasPadam
  12. මේ ප්‍රශ්නයේ අපි නොදන්නා පැති තිබෙන බව පෙනෙනවා. ඉතා පුළුල් ලෙස සමාජ කථිකාවක යෙදිය යුතුයි.

    BalasPadam
    Balasan
    1. මේ සම්බන්දව Nalaka Gunawardene at Open Minds! (formerly: Moving Images blog) කියවන්න ඔහු ගොඩාක් දේ ලියාතියනවා.

      Padam
  13. අනේ බන් උඹල, නාථ හරි, විෂ්ණු හරි, යෝහොවා හරි, අල්ලා හරි මේ ලෙඩේට හේතුව හරි බෙහෙතක් හරි හොයල දෙනවනම් ඊට වඩා වෙන මොනවද.

    BalasPadam
  14. මේගොල්ල කිව්වට මේ නම් නාථ දෙවියෝ වෙන්න බෑ කිසිම විදියකට.

    මේ කවුරු හරි 'පල් දෙයියෙක්'
    නැත්තං හාල් වල ආසනික් තියෙනවා කියල ඒක හොඳ කරන බෙහෙත නොකිය ඉඳීවිද?
    ඔය 'පල් දෙයියා - නලින් දෙයිය' කියන්න ඕනේ නෑ, හාල් වල කොහොමත් ආසනික් තියෙනවා.
    ඕන නම් බලන්න ඇමරිකාවේ FDA කරපු විශ්ලේෂණ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook