Ahad, 16 Oktober 2016

වෛද්‍ය සංඛජ පතිරගේ

 


වෛද්‍ය සංඛජ පතිරගේ මට මුලින්ම හමු වන්නේ 2003 වසරේදී පමණ කොලඹ යුද හමුදා රෝහලේදීය​. ඒ කාලයේ ඔහු ප්‍රී ඉන්ටර්න්වරයෙකි. ඉතා විනීත ගති පැවතුම් තිබූ සංඛජ රෝගී සත්කාරය හොඳින් කලේ‍ය​. ඔහු වැඩ කලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා යටතේය​. 

දිවා ආහාරය සඳහා නිලධාරී නිවස්නයට යන මට නිතරම සංඛජව හමුවේ. සමහර විට මම ඔහු සමග පිලිසඳරේ යෙදෙමි. ඔහුට හොඳ වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සමාජ දැණුමක් තිබුනේය​. 

ඇක්ට් -16 විභාගය සමත් වීමෙන් පසුව සංඛජ ඔහුගේ සීමාවාසික පුහුණුව සඳහා ගියේය​. ඉන් පසු ඔහු ගැන තොරතුරක් නොවීය​. එහෙත් 2005 වසරේදී මට ඉතා බිහිසුණු පුවතක් ආරංචි විය​. එනම්  සංඛජ විසින් ඔහුගේ බිරිඳත් සය මසැති බිළිඳාත් පිහියෙන් ඇන ඝාතනය කොට දැමූ බවයි.  

ඉතා නිවුනු ගති තිබූ සංඛජ විසින් මෙවැනි අපරාධයක් කල බව මම විශ්වාස කිරීමට පවා මැළි වූයෙමි. එහෙත් මිනිස් චිත්තය මහත් සේ සංකීර්ණය. මතුපිටින් ඉතා ශාන්තව තිබුනද අභ්‍යන්තරය ඉතා වික්‍ෂේපණයන් සහිතය​. 

ඔහුගේ බිරිඳද වෛද්‍යවරියක වූවාය. ඔවුන් දෙදෙනාම රුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනගත් අතර එහිදී ඇතිවූ හැඳුනුම්කම මත විවාහය සිදු විය​.  ඔවූන් පදිංචිව සිටියේ මහනූවර ලේඩි ගෝර්ඩ්න්ස් මාවතේ නිවසකය.  

2005 වසරේ සැප්තැම්බර් 17 දින සංඛජ තම ඔහුගේ බිරිඳ වූ චාන්දනී සහ සය මසක් වයසැති චමුත් පුතු  ඉතා සහාසික ලෙස පිහියෙන් ඇන මරා දැමූ බව පොලිසිය පවසයි. වෛද්‍ය චාන්දනීගේ සිරුරේ පිහි පාරවල් 28ක් තිබුණ බව මරණ පරීක්‍ෂණයේදී හෙලි විය​. දරුවාගේ ගෙලෙහි පිහි පාරවල් හයක් තිබී ඇත​. 

ඒ වන විට සංඛජ සේවය කලේ දියතලාව රෝහලේය​. එකල ඔහුගේ වයස අවුරුදු විසි නවයකි. මහනුවර පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සංඛජව රිමාන්ඩ් කරන ලදි. පසුව ඔහු ඇප පිට නිදහස් විය​. 

සංඛජ ගේ නඩුවට සංඛජ වෙනුවෙන් පෙනී සිටියේ සුප්‍රකට නීතිඥයෙකු වූ විජය වික්‍රමරත්න මහතාය. සිංහල කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග විය​. නමුත් නඩුව අතරමගදී සංඛජ අතුරුදහන් විය​. මේ නිසා විත්තිකරුවා නොමැතිව නඩුව ඉදිරියට ගෙන යන ලදි. මෙම නඩුව විභාග කල නුවර මහ අධිකරණ විනිසුරු විමල්  නම්බුවසම් මහතා 2009 මැයි 25 වන දින මෙකී ද්විත්ව මිනී මැරුම සඳහා වෛද්‍ය සංඛජ පතිරගේට  මරණීය දණ්ඩනය නියම කරන ලදි. එහෙත් ඒ වන විටත් චූදිතයා අතුරුදන්ව සිටියේය​. 

උසාවියෙන් වරදකරුවෙකු කරන ලද සංඛජ මෙම ඝාතන කලේ කෙසේද කියා සමහරක් විට මම සිතමි. මට ලැබුණු ආරංචි අනුව ඔහුගේ බිරිඳ සංඛජට අනියම් සබඳතාවක් තිබෙන බව කියා නිතරම දොස් කියා තිබේ. දෙදෙනා අතර නිතරම රණ්ඩු තිබී ඇත​. මෙවැනි අවස්ථාවක බිරිඳ සංඛජ කෙරෙහි ඇතිවූ තරහා මත ඔහුට පෙනෙන සේ කෝපයෙන් බිළිඳාට  පහර දී තිබේ. මේ අවස්ථාවේදී උරණ වූ සංඛජ පිහියක් ගෙන බිරිඳට ඇන ඇයව මරා දමා ඉන්පසු බිළිඳාටද පිහියෙන් ඇන ඔහුවද මරා දමන ලදි. මේ කතාව සියයට සියයක්ම ප්‍රත්‍යක්‍ෂ නැත​. මේ ඔහුව දැන සිටි වෛද්‍යවරුන් කී කතාය​. නියම සත්‍ය සිද්ධිය දන්නේ සංඛජම විය හැකිය​. 

සංඛජ විසින් මේ ඝාතන දෙකම කලේ නම් එය මිනිස් මනස ආවේගශීලීව ක්‍රියා කරන අයුරු පෙන්වා දෙන සිද්ධි අධ්‍යනයකි. කෝපය , ද්වේෂය, එදිරිය හමුවේ අධ්‍යාපනික දැණුම​, ශිෂ්ට ගති, සදාචාරය යටපත් වේ. ක්‍රෝධයෙන් අන්ධ වූ සංඛජට තම බිරිඳත් කුඩා දරුවාත් මරා දැමීමට හැකි විය​. එසේම ඔහු අධිකරණය මග හැර ගියේය​. 

මට සහ ඔබට සංඛජව විනිශ්චය කල හැකිද ?​. ඉතා ලෙහෙසියෙන් ඔහු ක්‍රෑර මිනීමරුවෙකු බව අපට කිව හැකිය​. එහෙත් ප්‍රාථමික මිනිස් ආවේග මතු වුවහොත් ඔබත් මමත් සංඛජ මෙන් ක්‍රියා කිරීමට ඉඩ තිබේ.  අප සියලු දෙනා තුල සංඛජ කෙනෙක් සිටින බව මම සිතමි.  

රුසියානු ලේඛක ඩොස්තයෙව්ස්කි  මිනිස් සිත තුල පවතින අඳුරු  ආගාධයන් පෙන්වා දෙයි. ඔහු පවසන පරිදි අප සෑම දෙනා තුලම ක්‍ෂාන්තිවාදී තවුසෙකු මෙන්ම ඝාතක ආවේගයෙන් යුතු මිනීමරුවෙකු සිටියි. එදින සංඛජ තුලින් බැහැරට ආවේ මේ ඝාතකයා විය හැකිය​. 

සංඛජ ජීවත් වන්නේ කොහේද කියා මම නොදනිමි. ඔහු ලංකාවේ වෙස් වෙලාගෙන හෝ ඉන්දියාවේ හෝ යුරෝපයේ රටක වෙනත් අනන්‍යතාවකින් සිටිනවා විය හැකිය​. ඔහු ද්විත්ව මිනීමැරුමක් සඳහා අධිකරණයට අවශ්‍ය කරන පුද්ගලයෙකි. එහෙත් යම් දිනක ඔහු මගේ නිවසට පැමින දොරට තට්ටු කලහොත් මම සංඛජට දොර අරින්නෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

16 ulasan:

  1. දුෂ්ටත්වය, ම්ලේච්ඡත්වය කියන ස්වාභාවික මිනිස් ගති මිනිසුන් විසින් සභ්‍යත්වය, ශිෂ්ඨත්වය කියන කඩතුරාවෙන් වසාගෙන ඉන්නෙ.. වරින් වරේ ඒවා මතුවෙලා ආයෙත් යට යනවා...

    මටනම් හිතුනේ ඔය කියන කතාවේ අනිත් පැත්ත සිද්ධියට හේතු වෙන්න ඇති කියලා..

    BalasPadam
    Balasan
    1. දුෂ්ටත්වය, ම්ලේච්ඡත්වය කියන ස්වාභාවික මිනිස් ගති මිනිසුන් විසින් සභ්‍යත්වය, ශිෂ්ඨත්වය කියන කඩතුරාවෙන් වසාගෙන ඉන්නෙ.. වරින් වරේ ඒවා මතුවෙලා ආයෙත් යට යනවා///// athha

      Padam
  2. /* ඔහු ද්විත්ව මිනීමැරුමක් සඳහා අධිකරණයට අවශ්‍ය කරන පුද්ගලයෙකි. එහෙත් යම් දිනක ඔහු මගේ නිවසට පැමින දොරට තට්ටු කලහොත් මම සංඛජට දොර අරින්නෙමි. */

    ඉන් පසු පොලිසියට කතා කරන්න!

    BalasPadam
    Balasan
    1. එපා එහෙම කරන්න එපා ... ඔහුට පුලුවන් උදව්ක් කරන්න . ඊට පස්සේ යන තැනක යන්න අරින්න

      Padam
    2. මම ඔහුව විනිශ්චය නොකරමි

      Padam
  3. මේ සන්සාරය අති බයන්කාරය. ඒ සුන්දර මාර්ග ඵලයට පිවිසෙන තුරු අපි සියල්ලෝම කුමන මොහොතේ කුමන ආකාරයේ ආඝාතයකට වෑටේද කියා කිව නොහෑක. එක් අයකුගේ කර්මය ගෙවෙන විට තවත් අයකුට කර්මයක් ගොඩ නෑගේ. එය චක්‍රයක් ආකාරයි.

    BalasPadam
    Balasan
    1. එක් අයකුගේ කර්මය ගෙවෙන විට තවත් අයකුට කර්මයක් ගොඩ නෑගේ++++++

      Padam
  4. විශ්වවිද්‍යාලයක පෙම් සම්බන්ධක් නිසා පෙම්වතියට පිහියෙන් ඇනලා මරපු සිද්ධියක් තිබුණා. ඒ කොල්ලත් පස්සේ කාලෙක හොරෙන් ජපානයට ගියාලු. මේ කතාව පාදක කරගෙන සළෙලු වරම කියලා ෆිල්ම් එකකුත් හැදුනා.

    BalasPadam
  5. මේක මට නං ටිකක් සංකීර්ණ ප්‍රශ්ණයක්:

    Strange Case of Dr. Jekyll and Mr. Hyde?

    මෙතන තර්කය , සාමාන්‍යයෙන් සාමකාමී පුද්ගලයෙක් , බාහිර පරිසරය , බලපෑම මත සමාජවිරෝධී අපරාධකාරයෙක් වෙන්න පුළුවන් බවත්, අපටත් මෙවැනි පරිසරයකදී මේ තත්ත්වයම ඇති වීමට ඉඩ තියෙන නිසා, චූදිතයා දෙස සානුකම්පාවෙන් බැලිය යුතුයි යන අදහස නම්, පහත ප්‍රශ්ණ වලට ඔබගේ පිළිතුර කුමක්ද?

    1. සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකල, ඒත් ‍රැකියාව/ පුහුණුව විසින් " බෙලි කපන්නා" බවට පත්කල , දැනට මරණ දණ්ඩනයට නියමවී ඇති යුධ සෙබලා ගැන අප සිතන්නේ කුමක්ද?

    2. මීට වඩා සහාසිකත්වයෙන් අඩු චෝදනාලත්, සුදු වෑන්/ නාඳුනන තුවක්කුකරුවන් / ආයුධ පෙන්නන්න යෑම් මගින් ඝාතනය වූ "අපරාධකරුවන්" ගැන " ආ, ඒ ඉතිං අපරාධකාරයො නෙව? ඒකට කමක් නෑ" වැනි දියාරු ආකල්ප, අප අතර සමාජගතවී ඇත්තේ මන්ද?

    අපරාධය සහ දඬුවම

    BalasPadam
    Balasan
    1. දැනට මරණ දණ්ඩනයට නියමවී ඇති යුධ සෙබලා අවු 5 ක ලමයෙකුගෙත් බෙල්ල කැපුවේ මන්ද ?

      Padam
    2. සංඛජ විනිශ්චය නොකරන ඔබ, යුධ සෙබළා විනිශ්චය කරන්නේ මන්ද? කුමක්ද වෙනස?

      Padam
    3. එය විනිශ්චයක් නොව කරුණු දැක්වීමකි

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook