Selasa, 23 Ogos 2016

මං පොර මානසිකත්වය

 

තමන් ගේ හැකියාවන් සහ දක්‍ෂතාවන් මෙන්ම මස්තකප්‍රාප්තින් ගැන කතා කරන පුද්ගලයා මං පොර මානසිකත්වයෙන් පෙලෙන බවට ලංකාවේදී සැලකේ. මේ නිසා තමාගේ හැකියාවන් දක්‍ෂතා ගැන කතා කිරීමේදී මිනිසුන් බොහෝ සෙයින් නිහඬ වීමට උත්සහ දරති. එහෙත් උතුරු ඇමරිකාවේ මා දකින ලද ලෙසට මිනිසුන් තම හැකියාවන්  ,දක්‍ෂතාවන් , මස්තකප්‍රාප්තින් ගැන අභිමානයෙන් යුතුව කතා කරති. පාසල් වලදී ළමුන්ට ආත්ම ශක්තියකින් යුතුව තම ශක්‍යතාවන් ගැන කතා කිරීමට උගන්වති. එහෙත් ලංකාවේ අධ්‍යාපනය මෙන්ම සමාජ ආකල්පද බොහෝ සෙයින් වෙනස් ය​. එයට හේතුව කුමක් ද​?

තුන්වන ලෝකයේ දිළිඳු  කුඩා දිවයිනක වාසය කරන ශ්‍රී ලාංකිකයන් තුල විරක්‍ෂීභාවයන් බොහෝ සෙයින් තිබෙන බව පෙනී යයි. එම නිසා අනාරක්‍ෂිතභාවය , සමාජය පුරා පැතිරී තිබෙන ඉරිසියාව , කුහකකම හමුවේ බොහෝ දෙනෙකු තම හැකියාවන් දක්‍ෂතා සඟවාගනිති. මේ නිසා පාසලේදී සිට අපගේ සමාජ අධ්‍යාපන ක්‍රමය පුහුණු කරන්නේ අනාරක්‍ෂිත හැඟීම් තිබෙන , ආත්ම ශක්තිය අඩු වෘත්තිකයෙකි. 

ඔහු උගතෙකු වූවද බියකින් යුක්තය.  තමාගේ දැණුම හැකියාව ගැන විචිකිච්චාවෙන් පෙලේ. තම නිගමනයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීමට බයය​. අන්‍ය වෘත්තිකයන් කෙරෙහි බියක් මෙන්ම ඉරිසියාවක් දක්වයි. යම් කෙනෙකුගේ දක්‍ෂතාවක් ඇගයීමට දිව නැවෙන්නේ නැත​. වෙනත් අයෙක් තම හැකියාවන් ගැන කතා කලහොත් මං පොර මානසිකත්ව වාදයෙන්  ඔහුව හෝ ඇයව කපා දමයි. 

වරක් සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ඔහුගේ සමකාලීන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පර්‍යේෂණයක්  ගැන මම අසුවෙමි. අදාල ප්‍රශ්නයට පිළිතුරු දෙනවා වෙනුවට මෙම සුප්‍රකට ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයා තමාගේ වෛද්‍ය විද්‍යාලයේ එකට ඉගෙනුම ලැබූ පුද්ගලයා ගැන කීවේ ඔහුව බොහෝ සෙයින් හෑල්ලු කරමිනි. තම සමකාලීනයා එක් වරක් වෛද්‍ය විද්‍යාලයේදී  විභාගයක් අසමත් වූ බවත් ,  ඔහුගේ පෙම්වතිය වෙනත් අයෙකු සමග යාලුවීම නිසා ඔහු කාලයක් මනෝ ගසා සිටි බවත් යනාදී වශයෙන් ජීවිතයේ ජයගත් ස්ථාන නොව වැරදුනු ස්ථාන වැලක් හෙතෙම මට කියාගෙන ගියේය​. 

එහෙත් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේදී මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් ගෙන් ඔහුගේ සමකාලිනයෙකු ගේ කර්තව්‍යයන් ගැන ඇසූ විට මහාචාර්‍ය  මැක්ෆාඩ්න් තම සමකාලීනයා ගේ දක්‍ෂතා වැලක් කියවා ගොස් ඔහුව වර්ණනාවට ලක් කලේය​. මේ ලෝකයේ යායන් දෙකක වෙසෙන උගතුන් වර්ග දෙකක ස්වභාවයන් ය​. 

පෙනී යන පරිදි ලංකාව වැනි රටවල් දිළිඳු භෞතික වශයෙන් පමණක් නොව ආකල්ප අතින් ද අපගේ සමාජය දිළිඳුය​.

28 ulasan:

  1. පැහැදිලිව ලංකාවේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න

    BalasPadam
  2. අමූලික ඇත්ත. ඇත්තම කියනවනම් ලංකාවේ සමාජයට විවෘත වීමට සිදුවන අවස්ථා වලදී මේ පැකිළීම මටත් තියෙනවා.

    BalasPadam
    Balasan
    1. අපි ඔක්කොටම තියනවා

      Padam
  3. //පෙනී යන පරිදි ලංකාව වැනි රටවල් දිළිඳු භෞතික වශයෙන් පමණක් නොව ආකල්ප අතින් ද අපගේ සමාජය දිළිඳුය​.// +++++++ මෙව්වා වෙනස් කරන්න තමයි බ්ලොග් ලියන අපි මහන්සි ගන්න ඕනේ..

    BalasPadam
    Balasan
    1. මෙව්වා වෙනස් කරන්න තමයි බ්ලොග් ලියන අපි මහන්සි ගන්න ඕනේ////////// agree

      Padam
  4. කරුණාකර අර දෙදෙනාගේ උපන් වෙලාව සහ අත්ලේ පින්තූරයක් ලබා දෙන්න.... මෙය ග්‍රහ බලපෑමක් නිසා සිදුවූවක් විය හැකියි....

    අපගේ මාමණ්ඩීගේ පොතෙන් බලා මට මෙය පහදා දිය හැකියි....

    BalasPadam
  5. ඔව්. ලාංකීය ආකල්ප බොහෝදුරට දිළිදුයි. මේ මොහොතේ සිට හෝ පන්ති කාමරේ කුඩා ළමුන්ගේ ආකල්ප හොද තත්වයකට ගෙනෙන වැඩ පිළිවෙලක් තිබෙයිනම් ඉදිරියේදී අපිට සතුටු වියහැකි වේවී.

    ජයවේවා!!!

    BalasPadam
  6. ඔච්චර ඕන නෑ අපි කවුරුත් කැමති ගායන ක්ෂේස්ත්‍රය බලන්න.

    හැබයි මට නම් මෙහෙම දෙයක් පේනවා. මේ සමාජ ජාල මාධ්‍ය හේතුවෙන් ගොඩාක් ක්ෂේස්ත්‍රයන් තුල මං පොර මානසිකත්වයට කෙල වෙලා තියෙනවා වාගේම. අළුත් මං පොරවලුත් බිහි වෙලා තියෙනවා. ඒ වගේම තවත් කෙනෙකුගේ හැකියාවන් අගය කිරීමකුත් තියෙනවා. කොහොමත් කැනඩාව වගේ රටක් එක්ක මේ ගෝත්‍රික රාජ්‍ය සංසන්දනය කරන්න නම් යන්න එපා. මේ තියෙන වටපිටාව අනුව තව පරම්පරා දෙක තුනකටවත් මේ රටේ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ නෑ. අනාගතේ එන්නේ පට්ට පීඩනයකින් ඉන්න දරුවන් පිරිසක්. තරඟකාරි අජ්ජාපන ක්‍රමය තුල ඔවුන් ඉන්නේ දැදි මාන්සිකත්වයක්. දරුවන්ට දරුවන් විදියට ඉන්න නොදි උන් වැඩිහිටයන් පිරිසක් කරලා තියෙන්නේ පොඩි කාලෙම. අනාගතය වඩාත් අඳුරුයි..

    BalasPadam
    Balasan
    1. අනාගතේ එන්නේ පට්ට පීඩනයකින් ඉන්න දරුවන් පිරිසක්. තරඟකාරි අජ්ජාපන ක්‍රමය තුල ඔවුන් ඉන්නේ දැදි මාන්සිකත්වයක්. දරුවන්ට දරුවන් විදියට ඉන්න නොදි උන් වැඩිහිටයන් පිරිසක් කරලා තියෙන්නේ පොඩි කාලෙම. අනාගතය වඩාත් අඳුරුයි..///////////// so sad

      Padam
  7. උතුරු ඇමරිකාවේ තත්වය යුරෝපයටත් අදාලද, නිතර හමුවන යුරෝපයේ මහාචාර්ය වරු කීප දෙනෙකුම මංපොර ටෝක් වලට කැමති නෑ, හැබැයි යාළුවන්ව නම් වර්ණනා කරනවා. එ අය සමහරු අතරත් කුහකත්වය එකෙන්ම, බෙලි කපාගන්නවා, එහෙම බෙලිකපාගන්න ආචාර්යවරියෝ දෙන්නෙකු ගේ වලිය නොදැන අනෙකාගේ පේපර් එකක් වර්ණනකරන්න ගිහින් මම මේ දවස්වල ලකුණු කපාගෙනයි ඉන්නේ. ඒ බෙලි කපාගැනිලි අපිව දිගුකාලයක් ආශ්‍රය කරලා ඇක්වයර් කරගත්තු ගතිගුණයක්ද වෙන්නත් පුළුවනි.

    අද හොද සිංහල වචන දෙකකුත් අළුතෙන් ඉගෙන ගත්තා - මස්තකප්‍රාප්තින්,විරක්‍ෂීභාවයන්

    BalasPadam
  8. මේ ගැන කතා කිරීමේදී කිවයුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි ආකල්පවල වෙනස වගේම ලන්කාවේ සිටින බහුතරයක් මංපොර කතා කාරයන් කියන්නෙ අතිශයෝක්තියට නැංවූ කතන්දර පමණයි . ඒ කතා තුල බොහෝ විට සැබවින්ම ගතයුත්තක් නෑ. ඉතිං සැබෑ පොරවල්ට පවා තමන්ගේ පොර කතා සඟවාගෙන ඉන්නට සිද්ධවෙනවා

    BalasPadam
  9. මම නම් පොරක් මි. එදත්, අදත්, හෙටත්.

    BalasPadam
  10. I would be very good if some of of the heavy Sinhala word like 'Virakshibawayan' had a English word in bracket. Pl don't take this wrong way, suggested only for easy reading.

    BalasPadam
    Balasan
    1. විරක්‍ෂීභාවයන් means insecurities
      මස්තකප්‍රාප්තින් - achievements

      Padam
  11. මං පොර වීම නං හොඳ දෙයකි.මං විතරයි පොර වීම නම් විහිළුවකි. මං විතරයි පොර ජාතක කතාව හොඳටම ඇහෙන්න පටන්ගන්නේ ටියුශන් කාරයන්ගෙනි.එතැන් සිට දිගටම ඇත්තේ එකම සිංදුවයි..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මං විතරයි පොර වීම නම් විහිළුවකි//////////// +++++++++++++++

      Padam
  12. ආකල්ප වල වෙනස කුහක කමත්, හීනමානයත් නිසා ඇතිවී තිබෙන්නක්.නිහතමානී වීමට හෝ සත්‍යවාදී වීමට උගන්වන්නේ නැති අධ්‍යාපන ක්‍රමය, කෙසේ හෝ ජය ගැනීමටත්,පරාජිතයා හෙලා දැක ජයග්‍රාහකයා වර්ණනා කරන කිරීමටත් උගන්වන ක්‍රමයක් තුල ඒ අධ්‍යාපනයෙන් හැදෙන උගතුන් කුහක වීමත්,පීඩකත්වය නිසා උරුම වන හීනමානයත් බලාපොරොත්තු නොවිය යුත්තක් නොවෙයි.

    BalasPadam
  13. කතාව ඇත්ත. ඔය අපත ගතිය වැඩියෙන් ම තියෙන්නේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ. ඉතින් ඒකට කෙළ වුණා ම අනෙක් දැ ගැන කවර කතා ද?

    BalasPadam
  14. ඇත්ත. ලාංකිකයන් ආකල්ප අතින් දිළිදු ය. විදේශ ගත ලාංකික පිරිස් අතරද එයම දකිමි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook