Selasa, 2 Ogos 2016

රිය අණතුරු

 



1977 දී අප පහ වසරේ ඉගෙනුම ලබමින් සිටියදී අප අතර සිටි සිසුවෙකු වූ ජයත් ගේ මව මෝටර් රථ අණතුරකට ලක්ව මිය ගියාය​. එය ඉතා දුක්මුසු මරණයක් විය​. ජයත් ගේ මවගේ මරණය සිදු වන විට ඔහුගේ මල්ලි කිරි බොන අත දරුවෙකුව සිටියේය​. ජයත් ගේ පවුල ජීවත් වූයේ නාලන්දා විද්‍යාලය අසලය.  ජයත්ලාගේ මවගේ  අවමගුලට සහභාගි වූ අපගේ පන්ති භාර ගුරුවරිය මව අහිමි වූ අත දරුවා  මවගේ උණුසුම සොයමින් කොට්ටයක් බදා ගත් අයුරු කීවේ කඳුළු වෑස්සෙන දෙනෙතිනි. 

ජයත් ගේ මව මිය ගියේ අපගේ පාසලේ ගුරුවරියකගේ පුතෙකු පැදවූ මෝටර් රථයකට යට වීමෙනි. මරදානේ මවුලානා පාරේ සිදුවූ අණතුර ගැන ඒ කාලයේ පුවත් පත් වලද වාර්තා පළ විය​. මෙම ගුරුවරියගේ සැමියා සිරිමා බණ්ඩාරනායක රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු විය​. ඔහුගේ නිල රථය එලවීමට රියැදුරෙකු සිටියද තවමත් දහ අට විය නොලැබූ ලේකම් පුතා අධික වේගයෙන් රිය පදවා ජයත් ගේ මව යට කලේය​. ඇය ඒ අවස්ථාවේදීම මිය ගියාය​. පසුව රියැදුරා වාහනය පැදවූයේ ලේකම් ගේ පුතා නොව තමා බව කියා පොලිසියට භාර විය​. 

දේශපාලන බලය හමුවේ ජයත් ගේ පවුලට යුක්තිය හා සාධාරණය ඉටු නොවීය​. ඒ කාලයේ මම මව අහිමි වීම නිසා දුක්මුසුව සිටි ජයත් හමු වී කතා බස් කලෙමි. ඔහුගේ පියා සේවය කලේ රිච්ඩ් පීරිස් ආයතනයේය​. බිරිඳ අකාලයේ මිය යාම නිසා කිරි දරුවෙක් සහ ලාබාල වියේ සිටින ළමුන් කිහිප දෙනෙකුගේ පියෙකු පත්වූ දුෂ්කර තත්වය ගැන කිව යුතු නැත​. එහෙත් මේ අසීරුතා මැද ජීවිතය ජයගත් ජයත් මැදපෙරදිග සේවය කරයි. එදා කිරිකැටියෙකුව සිටියදී මව අහිමි වූ දරුවා අද නීතීඥවරයෙකි.  නමුත් මේ ළමුන් තුල මවගේ වියෝ දුක තවමත් තිබේ. 

මම හලාවත රෝහලේ සිටියදී එක් වෛද්‍යවරයෙකු ඔහුගේ ජීවිත කතාව මා සමග කීවේය​. පාසල් සිසුවෙකුව සිටියදී ඔහුගේ පියා මාර්ග අණතුරකින් මිය යන්නේය​. මවත් අක්කාත් මල්ලීත් සමග මෙලොව තනි වෙන ඔහු පාසල් යමින් බිත්තර විකුණා ගෙදර ආර්ථිකයට උර දෙයි. පියා අහිමි මේ ළමයාට පාසලේ සිසුන් විහිළු කරන්නේ බිත්තර මුදලාලි කියාය​. ඔහු හොඳින් ඉගෙන ගෙන වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබයි. වෛද්‍ය විද්‍යාලයේද ආර්ථික දුෂ්කරතා මැද උගත් ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු තමාගේ අතීතය අමතක කොට නැත​. මේ උදාර මිනිසා මගේ ලෝකයේ වීරයෙකි.  

ජාතික රෝහලේදී මට හමුවූ තවත් වෛද්‍යවරියකගේ පියා රිය අණතුරකින් මිය යන්නේ ඇය පස් හැවිරිදි වියේ සිටියදීය​. පියා පිළිබඳ යම් මතකයන් ඇය තුල තිබේ. එසේම පියා මිනී පෙට්ටියක සිටි අයුරුත් මව සහ අනෙකුත් නෑදෑයින් අඞමින් සිටි අන්දමත් ඇයට මතකය​. පියාගේ වියෝව නිසා මතු වූ සමාජ අාර්ථික ගැටළු වලට මුහුණ දී ඇය ජීවිතය ජය ගත්තාය​. 

නමුත් මේ වාසනාව සැමටම නැත​. එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මැද ටැක්සි රියැදුරෙක් තම ටැක්සිය අනාරක්‍ෂිත දුම්රිය රේල් ගේට්ටුවක් අසලදී  දුම්රියක හැපී ජීවිතක්‍ෂයට පත් විය​. පසුව ඔහුගේ බිරිඳත් අට හැවිරිදි දරුවාත් හිඟමනට වැටුනි. ඔවුන් යාචකයන් ලෙස ගෙයින් ගෙට ගිය අයුරු මම දුටුවෙමි. 

වාර්‍ෂිකව බරපතල රිය අණතුරු 6000ක් පමණ  දිවයින තුල වාර්තාවන අතර  එම හේතුවෙන් වාර්‍ෂිකව 2000 කට අධික පිරිසක්  මිය යන බවත් විශාල පිරිසක්  සදාකාලික අබාධිත තත්වයට පත්වන  බවත්  වාර්තා වේ.  මේ නිසා අනාත වන පිරිස අති විශාලය​. මෙය සමාජ මෙන්ම සෞඛ්‍යය ගැටළුවක් ලෙස දැකිය යුතුය​. එසේම රිය අනතුරු වැලැක්වීම සඳහා නිසි පියවර ගත යුතුය​.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 ulasan:

  1. කුඩා කල දෙමවුපියන්ගෙන් අයෙකු අහිමිවීම දරුවෙකුට සිදු විය හැකි නරකම දෙයක්. ඒ හානිය පූරණය කර ගත හැකි වෙනත් කිසිදු විකල්පයක් ඇතැයි මා සිතන්නේ නැහැ.

    BalasPadam
  2. අනතුරු නේද? (ණ න)

    BalasPadam
  3. වැරදීම් ඕනම කෙනෙක් අතින් වෙන්න පුලුවන්. ඒකනෙ ඒවට වැරදිම් කියන්නෙ. වැරදීම් අවම කරගන්නත් ක්‍රම වේද තියෙනවා. නමුත් තනිකර නොසැලකිල්ල සහ මිනිස් ජීවිත තුට්‍ටුවකට නොසලකා රිය පදවන , මාර්ග නීති විහිළුවක් ලෙස සලකන කාලකන්නිගෙන් පාර වැහිලා.

    BalasPadam
    Balasan
    1. නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ

      Padam
  4. //නමුත් තනිකර නොසැලකිල්ල සහ මිනිස් ජීවිත තුට්‍ටුවකට නොසලකා රිය පදවන , මාර්ග නීති විහිළුවක් ලෙස සලකන කාලකන්නිගෙන් පාර වැහිලා.//

    ලංකාවේ නැතිම දේත්, අවශ්‍යම දේත්, නීතිය ක්‍රියාවේ යෙදවීමයි.

    BalasPadam
  5. අපි මාර්ග නීති පිලිපැද්දට වැඩක් නෑ.නීති කඩන අයගෙන් බේරෙන හැටිත් රිය පදවන අයට ඉගෙනගන්න වෙනවා.

    කිරිබොන වයසේ ලමයෙක් කොට්ටය අම්මා කියලා බදාගෙන. ඇස්වලට කඳුලුත් එනවා.

    BalasPadam
    Balasan
    1. ඒක ඉතා දුක හිතෙන සිදුවීමක්

      Padam
  6. පෝස්ට් එක කියෙව්වේ නෑ... ඔබ වැනි වෛද්‍යවරයෙක් මේ වගේ ෆොටෝ එකක් දාන එක මට තේරුම් ගන්න අපහසුයි... වලියට නම් නෙමේ.. මේන් වැන්දා රජෝ...

    BalasPadam
    Balasan
    1. මාතලන් හා එකඟයි. ඒ බිහිසුණු බව පෙන්විය යුතුම නම් යම් බොඳකිරීමක් හෝ කලා නම් අගෙයි.

      Padam
    2. ඇත්ත මාතේ ඒක ටිකක් ග්‍රැෆික්

      Padam
  7. ඇති හැකි අයවළුන් අතින් සිදුවන,සිදු කරන රිය අනතුරු වලට වෙන්නෙම ඔය වැඩේ තමා.. ආසන්න උදාහරණත් ඕන තරම්.
    ලොකු උදවිය හැප්පුනත් ගානක් නෑ... වාහනේ කොලිටිය නිසා ආරක්සා වෙනවා.ඒත් බයික් කාරයෝ එහෙම කී දෙනෙක් දවසකට අබ්බගාත වෙනවද? නිසි මාර්ග පාලනයක් නැති එකත් විනයක් නැති එකත් ලොකු හේතුවක්.
    ජයවේවා..!!

    BalasPadam
  8. ලංකාවෙ වාහන රක්ෂණ සමාගම් තුන්වන පාර්ශවයට හානි වුනහම සමථයක් ලෙස යෝජනා කරන රිඩිකියුලස් ගණන් දන්නවද?

    BalasPadam
  9. ලංකාවේ දිනපතා සිදුවන වාහන අනතුරු නිසා සිදුවන මරන ගනන අදහන්නත් බැරි තරම් වැඩියි කියන එකයි මගේ අදහස.ඊට අමතරව තව කී දෙනෙක් ආබාධිත වෙනවද,කී දෙනෙක් දීර්ග කාලීනව දුක් විඳිනවද කියන දේ ගැන සංඛ්‍යා ලේඛන කොහෙවත් නැතුව ඇති.ලොකුම වරද මාර්ග නීති පිලිපදින්නේ නැතිකම සහ නීතිය පොතට විතරක් සීමා වීම. මුදල් ටිකක් වියදම් කලහම ලයිශන් එක ගන්න පුලුවන්නේ. ඉති එහෙම අය පාරට ආවහම නීතිගරුක අයටත් දෙවි පිහිටයි. ලංකාවේ අධිවේගී මාර්ග හැදුවට ඒවයේ වාහන එලවන කොට පිලිපැදිය යුතු දේ ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් කලේ නෑ.ඉතින් ඒකේ එලවන අය කරන වැරදි ඕන තරම්.ඇත්තටම රක්ශන සමාගම් වලට තමන්ගේ ලාබය වැඩි කරගන්න නම් කලයුතු හොඳම දේ තමයි වාහන පැදවීම ගැන අධ්‍යාපනයක් දෙන එක රූපවාහිනී මගින්. පොලීසිය හිතාගෙන ඉන්නේ දඩ ගහලා සහ උසාවි දාලා මාර්ග අන්තුරු අවමකරගන්න නම් ඒ දකින්නේ හීනයක්.

    BalasPadam
    Balasan
    1. විනයක් නෑ ඒකයි හේතුව

      Padam
  10. රුවන්ට මතකද 75 දි නාලන්දේ ප්‍රයිමරියේ ලමයෙක් මැරුනා ස්කූල් බස් එකෙන් විසි වෙලා ඔලුව පාරේ මොකක හරි වැදිලා?

    BalasPadam
    Balasan
    1. අණතුරු කීපයක් මතකයි

      Padam
  11. අද මේ ලිපිය කියවන්නේ අවාසනාවන්ත සිදුවීමක් රූපවාහිනියේ නැරඹීමෙන් පසුවයි. තාවකාලික රේල් ගේට්ටු මුරකරුවන්ගේ වැඩ වර්ජනයක් තිබෙන බව නොදත් මවක්, (වැල්ලව ප්‍රදේශයේ) තම හය හැවිරිදි සහ දෙහැවිරිදි දියණියන් දෙදෙනා සමග, මෝටර් සයිකලයකින්, විවෘතව තිබුණු දුම්රිය ගේට්ටුවෙන් යාමට උත්සාහ කරද්දී, දුම්රියේ හැපී, තිදෙනාම එතනම මියගොස් තිබෙනවා.

    යුද්දෙන් පස්සේ, දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ, මාර්ග අනතුරු වලින්.

    BalasPadam
    Balasan
    1. යුද්දෙන් පස්සේ, දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ, මාර්ග අනතුරු වලින්.////// What is the National plan for this ??????

      Padam
    2. මා දන්නා තරමින් මොරටුව විශ්ව විද්‍යාලය, ප්‍රවාහන අමාත්‍යාංශය, සහ තවත් ආයතන එක්ව, යම් වැඩපිළිවෙලක් සූදානම් වෙමින් පවතිනවා. බස් ලේන් සැකසීම, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් සඳහා නව නීති පැනවීම, වේග සීමා අනිවාර්ය කිරීම, වැනි දේ එහි ඇතුලත්.

      Padam
  12. මා නැවත නැවතත් කියා සිටින්නේ මාර්ග අනතුරු වැඩි වීමට හේතුව මාර්ග නීති නොපිළිපැදීම බවයි. පොලිස් කාරයෝ දන්නේ ඉරි කපන නීතිය විතරයි. ඇක්සිඩන්ට් එකක් රිපෝට් වුනොත් දෙන්නටම නඩු දානවා. අනතුරු වළක්වා නොගැනීම කියල ලබ්බෙ නීතියක් හදාගෙන ඉන්නෙ. අනතුරු ඇති කිරීම නෙවෙයි වළක්වා නොගැනීම තමයි මුංගෙ ගැටළුව.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook