Selasa, 3 Mei 2016

නිර්වින්දන වෛද්‍යවරයා






නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස මම වසර කීපයක් සේවය කලෙමි. මම නිර්වින්දන වෛද්‍ය පුහුණුව ලැබුවේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය යටතේ රාගම රෝහල හෙවත් උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේදීය​. මෙම පුහුණුව ලැබූ කාලය 1999 වසර අග භාගය විය​. මේ කාලයේදී මා සමග වෛද්‍ය ග්‍රේශන් ජයවර්ධන , වෛද්‍ය විරාජ් පෙරමුණ වැනි ජොලි සීයලාද සිටි හෙයින් නිර්වින්දන   පුහුණුව ඉතා විනෝද ජනක විය​. එය මාගේ වෘත්තීය ජීවිතයේ රසවත් කාලයකි. 

1999 අග සිට 2000 වසර අග දක්වා වසරක් ආසන්න කාලයක් අප උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ සිටියෙමු. මුල් කාලයේදී වෙහෙසී පුහුණුවීම් කල අප විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න , විශේෂඥ නිර්වින්දන වෛද්‍ය කාමෙල් විජේසේකර , විශේෂඥ නිර්වින්දන වෛද්‍ය දුෂ්‍යන්ති පෙරේරා යන මහත්මීන් ගෙන් බැනුම් ද ඇසුවෙමු. 

ඒ කාලය පාසල් කාලය මෙන් විය​. අපට මේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරියන් තිදෙනා සමග ගුරු ශිෂ්‍ය සැබැඳියාවක් තිබූ අතර බැනුම් ඇසීම​, කට්ටි පැනීම , ශේප් ටෝක් දැමීම , අසරණ පාට් දැමීම , මැඩම්ලාට තරහා යන විට මාරු වීම , ඔවුන් සමග වෛද්‍ය නොවන දේවල් (සිනමාව , ගීත , පිටරට සවාරි) ගැන කතා කිරීමද යහමින් තිබුනේය​. කෙසේ නමුත් මාස දෙක තුනක් යන විට අප තනිවම රෝගීන් නිර්වින්දනය කිරිමට සමර්ථ වූ හෙයින් විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මිය අපව තනියම ශල්‍යාගාර වලට දැමුවාය​. මීට අමතරව සවස් කාලයේද , රත්‍රී කාලයේද නිර්වින්දන රාජකාරී කිරීමටද නියමිත විය​. මේ නිසා වැඩ පෙන්වීමට ගොස් අප කෙලවාගත් බව වැටහෙන විට අප ප්‍රමාද  වී තිබුණි​. 

මේ මේ හේතුවෙන්  මමත් ග්‍රේශනුත් විරාජුත් අපට වූ හදිය ගැන කතා කිරීමට රාගම කසා රෙස්ටුරන්ට් එකට ගියෙමු. රාගම කසා රෙස්ටුරන්ට් එක උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරුන් අතර ප්‍රසිද්ධය. එහි කෑම රසය​. වරක් ශල්‍යාගාරයේ හෙදියක් කසා රෙස්ටුරන්ට් එකේ කෑම රස මොකද කියා විමසූ විට විරාජ් කීවේ වැලිසර කාස රෝහලේ   ප්ලුරීය ආසක්තිය  ( pleural puncture ) කොට ගන්නා ශ්‍රාවය මේ කෑමට දමන නිසා එය රසවත් බවයි. මෙය ඇසූ හෙදියන්ට ඔක්කාරය ආවෙන් අප විරාජ්ට බැන්නෙමු. 

අප තනිවම නිර්වින්දකයන් ලෙස රාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන වෛද්‍ය නීල් ෆොන්සේකා, වෛද්‍ය ඩී. ඩබ්. වීරසූරිය, වෛද්‍ය රනිල් ප්‍රනාන්දු , වෛද්‍ය සරත් කොල්ලූරේ , වෛද්‍ය ජයන්ත ආරියරත්න  මෙන්ම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරු වන වෛද්‍ය අජිත විජේසුන්දර , වෛද්‍ය අසෝකන් යනාදීන් සමග වැඩ කලෙමු. 

ඒ කාලයේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියන් බොහෝ දෙනෙකු වූ අතර පිරිමි නිර්වින්දන වෛද්‍යවරු සිටියේ පහකට නොවැඩි ප්‍රමාණයකි. අප තිදෙනා නවකයන් වූවද දඩි බිඩිගා සාර්ථකව රෝගීන්ට නිර්වින්දනය ලබා දුන් හෙයින් වෛද්‍ය කොල්ලූරේ , වෛද්‍ය රනිල් ප්‍රනාන්දු , වෛද්‍ය අජිත විජේසුන්දර අපට විශේෂ කැමැත්තක් දැක්වූහ​. එසේම හදිසියේ අපගේ වැඩ පිරික්සීමට මැඩම් ආරියරත්න හෝ මැඩම් කාමෙල් විජේසේකර එන විට ඔන්න ට්‍රැපික් පොලිස් එනවා කියා මේ වෛද්‍යවරු අපව දැණුවත් කලෝය​. මේ හැර ශල්‍යකර්ම කරන ගමන් ආතති සමනයට ඔවුන් විවිධ විෂයන් ගැන අප සමග කතා කලෝය​. 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු මා සමග සයිමන් සහ ගාෆන්කල් යන සංගීතඥයන් ගැන කතා කලේය​. වෛද්‍ය සරත් කොල්ලූරේ රුසියාව , එංගලන්තය , නැගෙනහිර යුරෝපය , දේශපාලනය වැනි විශයන් ශල්‍යකර්ම කරන අතරතුර මා සමග කතා කලේය​.  වෛද්‍ය නීල් ෆොන්සේකා ඔහු මැදපෙරදිග රෝහලක සේවය කල කාලයේ ලැබූ අත්දැකීම් මා සමග කීවේය​. වෛද්‍ය ජයන්ත ආරියරත්න ක්‍රිකට් ගැන කතා කලේය​. 

වෛද්‍ය සරත් කොල්ලූරේ ඉතා වේගවත් ලෙස සාර්ථකව ශල්‍යකර්ම කරයි.  ඇපෙන්ඩික්ස් ශල්‍යකර්මය විනාඩි කීපයකි. ඔහු තරම් වේගයෙන් සාර්ථකව ශල්‍යකර්ම කරන වෛද්‍යවරයෙකු මෙතෙක් මා දැක නැත​. 

අපගේ වැඩ පරීක්‍ෂාවට මැඩම්ලා එන විට අප වෙන මාතෘකාවක්  තෝරාගෙන මැඩම්ලා සමග කතා කිරීමෙන් ඔවුන්ව ඩිස්ට්‍රැක්ට් කිරීමෙන් බැනුම් සහ අමතර බර වැඩ වලින් බේරුනෙමු. වෛද්‍ය දුශ්‍ෂන්තී පෙරේරා  ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ චිත්‍රපට වලට කැමතිය​. ඇය දෝස්මුරයක් දීමට එත්ම මම සයිකෝ , වර්ටිගෝ , ෆැමලි ප්ලොට් වැනි චිත්‍රපට ගැන ඇය සමග කතා කරමි. එවිට සංවාදය පැය භාගයක් සමග ඇදේ. ඒ සමගම ඇයට දෝස් මුරය අමතකව යන්නීය​.  

මේ කාලය තුල විවිධ විනෝද ජනක දේ සිදු විය​. වරක් විරාජ් වෙසක් කාලයේදී අප සැමට වෙසක්  කාඩ් එවන ලදි.  මේ කාඩ් වල සිරිත් පරිදි කවි තිබූ අතර  වෛද්‍ය කාමෙල් විජේසේකර මහත්මියට යවන ලද වෙසක් පතේ " ආසිරි පතමු ඔබට මේ වෙස ෙඟ්  කියා කවි පදයක් තිබූ හෙයින් ඇය මඳක් වික්‍ෂේපණය වී මේ විරාජ් මොකක්ද ඕන නැති කවි එවලා කීවාය​. වෛද්‍ය කාමෙල් විජේසේකර ක්‍රිස්තියානි තැනැත්තියෙකි. එසේම සිංහල ගැඹුරු දැණුමක්ද නැත​. මේ නිසා අප වහාම වෙස ෙඟ්  යන වචනයේ තේරුම කියා දී විරාජ්ව පෝරියල් එකකින් බේරා ගත්තෙමු. 

තව දිනක්  විරාජ්ගේ රෝගියෙකු නිර්වින්දන ලැබිමෙන් අවදි නොවූ නිසා අප කලබල වූයෙමු. ඇත්ත වශයෙන්ම සිදුවී තිබුනේ රෝගියාට නිර්වින්දන ඖෂධ මඳක් අධිකව දී තිබීම නිසාය​. මා මෙය වටහාගත් පසුව නිර්වින්දන ඖෂධ නිෂ්ක්‍රිය කිරීමට බෙහෙතක් විද එතෙක් ආතතියෙන් සිටි විරාජ්ගේ සිත සැහැල්ලු කිරීමට විහිලුවක්ද කලෙමි. 

මම සත විසිපක් ගෙන එය ගෝස් කැබැල්ලකින් ඔතා නිර්වින්දන යන්ත්‍රයේ යකඩ කණුවක ගැට ගසා ඔන්න මම ගම්බාර දෙයියන්ට බාරයක් උනා කියා කීවෙමි. මේ අතරවාරයේ ලෙඩාට සිහිය ආවේය​. මා විසින් නිර්වින්දන යන්ත්‍රයේ ගැට ගැසූ පඞුර  දුටු නිර්වින්දන වෛද්‍ය රූබි පෙරේරා බඩ අල්ලාගෙන සිනාසුනාය​.  එම පඞුර  බොහෝ කාලයක් තිබුනු අතර පසුව මම එය කපා ඉවත් කලෙමි. 

2000 සහස‍්‍රවර්‍ෂය  එළැඹෙන විට විද්‍යුත් උපකරණ අඩාල විය හැකි බවට මතයක් වූයෙන් 1999 දෙසැම්බර් 31 දින සවස නිර්වින්දන උපකරණ අක්‍රිය වේද යන බියෙන් අප සිටියෙමු. මේ නිසා අප සැම දෙනාටම එදින රාත්‍රියේ සූදානම් පිට ඉන්නට කියා නියෝග ලැබුණි. එහෙත් ජනවාරි 1 දින කිසිදු වියාකූලතාවයකින් තොරව ශල්‍යාගාරයේ සහ දැඩි සත්කාර ඒකකයේ  නිර්වින්දන උපකරණ ක්‍රියා කලෙන් අප සැනසුම් සුසුම් හෙලුවෙමු.

වරක් ජා ඇල බෝම්බය නිසා තුවාල ලැබූ රෝගීන් බොහෝ ගනනක් රාගම රෝහලට ගෙන එන ලදි.  අප දිවා රෑ නිවාඩු නොබලා ඔවුන්ට ප්‍රතිකාර කලෙමු. මේ රෝගීන් අතර සිටි ගායිකා රූපා ඉන්දුමතීද අප නිර්වින්දනයට ලක් කලෙමු.

වරක් වෛද්‍ය වර්ජනයක් පැවති විට බසයක හැපුණු තරුණයෙකු ගෙන ආවේය​. අප සැම ( විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මහත්මිය ද ඇතුළුව ) වර්ජනය පසෙකලා රෝගියාට ප්‍රතිකාර කලෙමු. නමුත් පත්තර වල ගියේ වර්ජනය නිසා සිදුවූ අපහසුතාවයන් ය​. එහෙත් ඒ ගැන කම්පාවක් නැත​. 

මෙසේ වසරක කාලයක් ආසන්නව පුහුණුව ලැබූ අප තිදෙනාට ස්ථානමාරු ආවේය​. මට හලාවතත් විරාජ්ට පුත්තලමත් ග්‍රේශන්ට මාරවිලත් ලැබී තිබුණි. රාගම සේවය කල අවසාන දිනයේදී අප කසා අවන්හල වෙත ගොස් අවසානය සැමරුවෙමු. මේ හැර සති අන්තයේදී අප විරාජ් පෙරමුණ ගේ නිවසේ නිර්වින්දන මැඩම්ලා තිදෙනාට දහවල් භෝජන සංග්‍රහයක්  ද සංවිධානය කලෙමු. වෛද්‍ය දුශ්‍ෂන්තී පෙරේරා මිය ඩියුටි වැටුණු හෙයින් වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්නත් , වෛද්‍ය  කාමෙල් විජේසේකරත් ආවෝය​. මේ හැර විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරුන් වන වෛද්‍ය සුනිල් ප්‍රනාන්දු සහ වෛද්‍ය ප්‍රශාන්ත විජේසිංහත් සාදයට ආ බැවින් එය ආලෝකමත් විය​. විරාජ්   වෙහෙසී සාදයට   ආහාර සකස් කොට තිබූ අතර වල් ඌරු මස්  රසවත් ලෙස උයා තිබුණි. 

අපට මෙතෙක් තදබල මුහුණක් පෙන්වා සිටි මැඩම්ලා අප තිදෙනා ඉතා හොඳින් පුහුණුව ලැබූ බවත් හොඳින් සේවය කල බවත් කියා අපව ප්‍රණයනය කලහ​. එවිට වැඩිවියට පැමිනුනු බවක් අපට දැණුනි.  මැඩම්ලා අපව කළයකින් නහවා ලේන්සු පෙට්ටියකුත් දුන්නේ නම් අගේ බව අප සිතුවෙමු. 

අප මාරුවීම් ලබා ගියෙමු. මම ගියේ හලාවත රෝහලටයි. හලාවත රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොවූ  අතර අපට තනිවම වැඩ කිරීමට සිදු විය​. එම නිසා රෝගියාගේ ජීවිතය මුළුමනින්ම රැඳී තිබුනේ අපේ කර මතය​. එය විශාල වගකීමක් විය​. එහෙත් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වූවද කිසිදු සංකූලතාවයකින් , රෝගී මරණවලින් තොරව අප සේවය කලෙමු. 

හලාවත රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී . ජී. එන් රත්නසේන මහතාද අපට මනා සහයෝගයක් දුන්නේය​. වරක් දින 3 වයසැති අළුත උපන් දරුවෙකුගේ බඩවැලේ තිබූ සංකූලතාවක් නිසා ශල්‍යකර්මයක් කිරීමට නියමිතව තිබුණි. විශේෂඥ ශල්‍ය වෛද්‍ය බී . ජී. එන් රත්නසේන මහතා මේ බිළිඳාව නිර්වින්දනය කල හැකිදැයි මගෙන් ඇසීය​. හදිසි තත්වයක් නිසා මම වගකීම ගෙන බිළිඳාව නිර්වින්දනය කලෙමි. වෛද්‍ය රත්නසේන මහතා සාර්ථකව ශල්‍යකර්මය කලේය​. බිළිඳාගේ ප්‍රාණය අප බේරාගත්තෙමු. මෙය සිදු වූයේ 2001 වසරේදී පමණය​. මේ වන විට උක්ත බිළිඳා වයස 15 ක ඉලන්දාරියෙකු විය යුතුය​. 

නිර්වින්දන වෛද්‍ය වෘත්තිය ඉතා ආතතිජනකය​. නිර්වින්දන වෛද්‍යවරු අතර රාජකාරීමය දැවීයාම් ( Occupational burnout ) බහුලය​. එහෙත් හාස්‍ය බෙහෙතක් ලෙස යොදා ගනිමින් 1999 සිට 2002 දක්වා මම නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කලෙමි. මා වෘත්තීය දැවී යාමකට ලක් නොවූයේ හාස්‍ය අනුපාන ලෙස යොදාගත් බව නිසා බව සිතමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

60 ulasan:

  1. කසා රෙස්ටුරන්ට් දැන් ටික ටික මහත්වෙනවා , ඉස්සර තිබුනට වඩා හතරපස් ගුනයක් විශාලයි, තවම රසයේ වෙනසකුත් නැ , කෙළඹින් එලියට ආපුවහම තියන හොදම තැනක් , නුවරපාරෙන් ආවත් මීගමුපාරෙන් ආවත් එහෙම තැනක් නැ , දුර ඉදන් එනවා මිනිස්සු කාල යන්න , බ්ලොග්කාරයොත් කිහිපදෙනෙක් ඉන්නවා එතනට කැමති , එක්කෙනෙකුට නං හොදම තැනක්ලු , අපි ඒකාලේ නිතර දකිනවා දොස්තර නුවන් සහ දොස්තර උදිත ඉස්පිතාලය පල්ලෙහා නිම්ෂා රෙස්ටුරන්ට් එකේ ඉන්නවා

    BalasPadam
    Balasan
    1. කාසා එක ගැන කීවම මතක් වුනේ. මට මතක විදියට ඔවුන්ගේ රහම ඌරු මස් එක. ඒත් මට නම් කන්න බැරි වුනා. ඔස්කා අන්කල් නම් බොහොම සුන්දර මනුස්සෙක්. අපි 2010 බ්ලොගර්ස් ට්‍රිප් එක ගියෙත් කාසා එකේම බ්‍රාන්ච් එකක් වෙන කාසා විලේජ් කතරගම. ඒ කාලේ කමුබොමු එකේද කොහෙද කාසා ගැන ආටිකල් එකක් රචින්ත ලියලත් තිබ්බා. කොයි කොයි තැන් තිබුනත් කාසා එකේ අර පරණම රෙස්ටොරන්ට් එකෙන් කනවා වගේ නෑ.

      Padam
    2. අටමා මට මුලින්ම හමු උනේද කාසා එකේය...

      Padam
    3. කාසා එකේ එකේ කෑම නියමයි ඒ වගේ කඳානේ ෆිල් එකේ බත් එක ඒ කාලේ හරි රහයි

      Padam
  2. රාගම රෝහලේ මිතුරෙකු මුණ ගැසීමට ගිය දිනක මාත් ඔය කියන ආපනශාලාව වැනි තැනකට ගොස් තියෙනවා. මිදුලේ විදුලි බුබුලු වැල් දමා ඇති තැනක් නේද?

    BalasPadam
  3. නිර්වින්දනය පුරුදු වෙමින් සිටි මිතුරෙකුට මා නිතරම කීවේ වැඩි මහන්සියක් නැතුව ලෙඩාට ගේ සිහි නැති කරවන්න නම් හැකි වේවි, මුණ පෙන්වන එක විතරයි තියෙන්නේ කියායි!

    ඔහු භාවිතා කළ පොතක මුලින්ම තිබුණු කාටූනයක් මට තාම මතකයි. එහි ඇඳ තිබුණේ අත් දහයක් විතර ඇති දොස්තරෙකුවයි. එක අතකින් නර්ස් කෙනෙකුට තට්ටුවක් දානවා. Nurse pacifier!

    BalasPadam
  4. නිර්වින්දන වෛද්‍යවරු ගැන විශාල ගෞරවයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු නැතිව උතුරු කොනේ රෝහල් වල ශල්‍යාගාර පවත්වාගෙන ගිය අතර... අපට ද ශල්‍යකර්ම අතර උදව් කරන්නේ ඔවුන් ය. ඒ වෙනුවට අප නිදහස්ව සිටින විට , මාස්ක් එක අල්ලාගෙන සිටීමට, උගුර පෙදෙසට ප්‍රෙශර් එකක් දීමට, හෝ එන්නත් ඇතුල් කිරීමට සිදුවේ...ඒවා සුන්දර මතක යන් ය. සීමාවාසික වෛද්‍ය කාලයේ...SHO ලා, දැන් අපේ HO ලා ඇනස්තීසියා HO ලාද වේ යනුවෙන් හින්ට් ගැහුවා මතකය.

    BalasPadam
  5. හාපෝ...........නිර්වින්දන වෛද්‍ය තුමියක් මට කෙටමින් ගහලා, නිර්වින්දනය කරලා, මට අලි අකරතැබ්බයක් වුනා.

    මේ ලිපියේ, 'කෙටමින් ශක්තිය' කියන කොටස බලන්න

    සටනේදී තුවාල ලබා රෝහල් ගතවන සෙබළුන් සහ වෛද්‍යවරුන් අතර දැඩි බැඳීමක් ඇතිවෙනවා.

    BalasPadam
    Balasan
    1. what's your rank in the salvation army? How did the salvation army join the country war?

      Padam
    2. Hi Ano what's your appointment in scavenger party

      Padam
    3. general. is it problem ? anyone......

      Padam
    4. කෙටමින් ගහලා සිහිය එනකොට හොඳ කතා කියනව ඇහිලා තියනවා

      Padam
  6. කාසා ඉස් ද බෙස්ට්.... එක කාළයක් තිබුනා අපි කොළඹ ඉදන් ඔහේ යනවා සෙට් වෙන්න...

    BalasPadam
  7. නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ ‍රැකියාව ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ‍රැකියාවටත් වඩා ආතතියක් තියෙන එකක් කියලා මට හිතුනේ නෑ.

    ඉතාම රසවත් රුවන්. එහෙම වුනේ හාස්‍ය අනුපාන ලෙස යොදාගත් බව නිසා බව මමත් සිතමි

    BalasPadam
  8. මගේ අදහස වී තිබුනේ නිර්වින්දන ක්ෂේත්‍රය අනිකුත් වෛද්‍ය ක්ෂේත්‍ර වලට සාපේක්ෂව පහසු බවයි. ඒක වැරදි අදහසක් බව වැටහුනේ මේ ලිපියෙන්. කසා රෙස්ටුරන්ට් එකෙන් කන්න ඕනේ දවසක.

    BalasPadam
    Balasan
    1. නිර්වින්දන ක්ෂේත්‍රය අමාරුයි , රිස්කි වැඩියි

      Padam
  9. දැන් මෙහෙ යන විදිහට ඇත්තටම පඬුරු යන්ත්‍රවල ගැට ගහයි වගේ.
    දැනටමත් ගැට ගහනව ඇති දොස්තරවරු කාර්වල මිරිස් දෙහි එල්ලන විදිහට

    BalasPadam
    Balasan
    1. Pra Jay කියන කතාවේ දෙපැත්තක් තිබෙනවා කියලයි මම හිතන්නේ. මිනිස්සු වාහන එලවන හැටියට අපේ රටේ වාහනයක යනකොට අපි කොයි තරම් පරෙස්සමෙන් ගියත් අනතුරක් නොවී ගමන යන්න නම් දෙවියන්ගේ පිහිට නැතුව අමාරුයි. වෛද්‍යවරු පමණක් නොවේ, ජීව විද්‍යාව නොබෙල් ත්‍යාගය සඳහා නිර්දේශ වුන ජපන් ජාතික මහාචාර්යවරයෙක් පවා සිද්ධස්ථානයක පඬුරු දමනවා මම දැක තිබෙනවා. තරුණ විද්‍යාඥයෙක් වෙන මමත් පඩුරු දමා තිබෙනවා සහ තවමත් සමහරවිට දමනවා. නමුත් ඒ මත යැපෙමින් දෙවියන් අදාළ දේ කරදෙනතුරු බලාසිටීම හෝ පඩුරක් දැමු නමුත් එය පසෙක තිබියදී අපි සාමාන්‍ය විදියට අපේ කර්තව්‍ය කිරීමයි අවිද්‍යාවේ සහ විද්‍යාවේ වෙනස. ඇත්තටම කලාව සහ දර්ශනය ඉදිරිපිට තැබූ විට විද්‍යාව තවම ළදරුවෙක්. සමහර සංකෘතික කාරණා එසේ කිරීම ගැන උපහාස කරන්න නරකයි. නමුත් ඒවායේ එල්බ ගැනීම නම් උමතුවක්.

      ලක්ෂ ගණන් වියදම් කරමින්, බිලි දෙමින්, කපුවන් ලවා ලිංගික අතවරවලට ලක්වෙමින් අවිද්‍යාවේ ඉතා අගතිගාමී අන්තයට යාම නම් අති භයානකයි.

      ඇත්තෙන්ම බටහිර විද්‍යාත්මක පර්යේෂන්නවල පවා වාසනා ගුණය නමැති අදට දන්නා බටහිර විද්‍යාවෙන් විද්‍යාවෙන් පැහැදිලි කල නොහැකි අවස්ථා තිබෙනවා. ලෝකයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී පසුගිය වසරේ ලොව පළමුතැන දිනාගත් MIT හි වෙබ් අඩවියේ ඇති පහත http://web.mit.edu/x-ray/cystallize.html පිටුවේ 3 වැනි වාක්‍යය (Even though growing crystals is more of an art than a science and luck is a major factor, there are some things to do and some other things not to do.) මීට හොද උදාහරණයක්.

      ඒකාධිපති වියරුවෙන් නීතිය ආගමික නායකයන් ඇතුළු සියලම අවස්ථා දේශපාලන බලයෙන් යටකරගෙන සිටි කිසිම විදියකට කිසිම දෙකට බයනැති සමහර පාලකයෝ කැබිලිත්තේ දේවාලේ ගිහින් යදිනවාට බයවී සමහර නපූරු දේවල් වලින් වැලකීමත් මේ අවිද්‍යාවේ අපූරු බලය පෙන්වන හාස්‍යජනක අවස්ථාවක්.

      Padam
    2. අපේ රටේ වාහනයක යනකොට අපි කොයි තරම් පරෙස්සමෙන් ගියත් අනතුරක් නොවී ගමන යන්න නම් දෙවියන්ගේ පිහිට නැතුව අමාරුයි.//// true

      Padam
    3. ඉංජිනේරු / තාක්ෂ විශේෂඥ වරු දෙහි මිරිස් එල්ලගෙන යන එක නම් පැහැදිලියි, වාහනේ තත්වය ගැන හොඳ අවබෝධයක් ඇති නිසානේ ඒවා එල්ලගෙන යන්නේ. එත් ජීවයේ පරිණාමය ගැන ඉගෙන ගන්න දොස්තර මහත්තුරු එහෙම කරනවා කියන්නේ ... අනේ අපටත් දෙයියන්නේ පිහිටයි.

      Padam
  10. නිර්වින්දනය වෙලා ඉන්න එකෙත් සෑහෙන ලල් එකක් තියෙනවා. හැබැයි කෙටමින් නැත්තන්.මේ ලඟදි සැත්කමකට මුහුණදෙන්න පෙර දවසෙ ගස්ලබ්බ බොහොම බයෙන් හිටියෙ කෙටමින් ලැබෙයිද කියලා.. කොහොමත් තියටර් එකේදි ඇලජික් කියන්න හිත හදාගෙන ගියත් දැන් කෙටමින් භාවිතා නොකරන බවක් ඔවුන් කීවා.කරදරයක් උනෙත් නෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    BalasPadam
  11. ඔබට ස්තුතියි!

    BalasPadam
  12. කාසා... හ්ම් ආයේ කාලා බලන්න වෙනවා මේ ‍කියන තරම් රසද කියලා. :)

    BalasPadam
    Balasan
    1. ගෙදරට සුවදත් එනවා ඇති

      Padam
    2. වැලිසර කාස රෝහලේ ප්ලුරීය ආසක්තිය ( pleural puncture ) කොට ගන්නා ශ්‍රාවය මේ කෑමට දමන නිසා එය රසවත්

      Padam
  13. Very interesting post. Yiu can write good novel with this experience. I also have lot of incidence about anesthesia during 2009 - 2014

    BalasPadam
  14. Very interesting post. Yiu can write good novel with this experience. I also have lot of incidence about anesthesia during 2009 - 2014

    BalasPadam
  15. ඔබ නිර්වින්දනය කරනවා විතරක් නෙවෙයි මිත්‍යාෙවන් නිර්වින්දනය වෙච්ච ජනතාවක් නැඟිට්ටවන්නත් ලොකු සේවයක් කරනවා...
    අපෙත් හීනය මේ නිර්වින්දනය වුණ මිනිස්සුන්ව ඇහැරවන එක තමයි

    BalasPadam
  16. නිර්වින්දනය කරපු රෝගීන් කෙසේ වෙතත් නිර්වින්දනය වෙච්චි සමාජය අවදිකරන එක නම් හරිම අපහසු වැඩක්.

    BalasPadam
  17. නිර්වින්දන වෛද්‍යවරු ගැන කියද්දී මට මතක් උනා අර සර් සිඩ්නි ස්මිත්ගේ "Mostly Murdered" පොතේ ඔය ගැන තිබ්බ සඳහනක්. එක ශල්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ ශල්‍ය කර්මය කරන අතරතුර, ඒක නවත්තලා, නිර්වින්දක වෛද්‍යවරයට කිව්වලු " ඔබේ පැත්තෙන් රෝගියාගේ තත්වය කොහොමද? මගේ පැත්තෙන් නම් ඔහු මිය ගිහිං බව මට කියන්න පුළුවන්" කියලා.

    BalasPadam
  18. මගේ යාලුවෙක් හිටියා මෙඩිකල් කොලෙජ් ඉන්න කාලේ ඉඳලා හිටලා පෙතඩින් ඩෝස් එකක් ගහගෙන ඉන්නවා හොස්ටල් කාමරේට වෙලා. පොඩි කික් එකක් තියෙනවා කියලා. දැන් ලොකු දොස්තර කෙනෙක් මෙහේ.

    මොහිදින් බේග්ට සිහිය ආවේ නැත්තෙත් නිර්වින්දන ඕවර්ඩෝස් එකක් කියලා ඒ දවස්වල කියවුනා.

    BalasPadam
    Balasan
    1. නිර්වින්දන ඕවර්ඩෝස් අවුලෙන් මියයන ලෙඩුන්ගේ වගකීම ලංකාවේ නිර්වින්දන දොස්තරවරු බාරගන්නවද

      Padam
    2. නිර්වින්දන ඕවර්ඩෝස් අවුලෙන් මියයන ලෙඩුන්ගේ වගකීම ලංකාවේ නිර්වින්දන දොස්තරවරු බාරගන්නවද? /////////// anesthesia වැරැද්දක් නම් බාර ගන්න වෙනවා

      Padam
    3. හීනි ජොයින්ට් ෆීලිං එකක් අරූ..නිදිමතක් එක්ක.. වේදනා කැක්කුම් ඔක්කොම මිසිං..(ලෙඩෙකුට නම් පුදුම සහනයක්.) වැඩේ තියෙන්නෙ මූණ දැක්කාම ඩොකෙක් ලේසියට දෙන්නෙ නෑ නෙව.

      Padam
    4. anesthesia වැරැද්දක් නම් බාර ගන්න වෙනවා//////////// එතැනදී ඔවුන් පැවරෙන වරද මොකක්ද රාජකාරි නොසලකිල්ලද / අනියම් මිනිමැරිමක්ද / හෝ වෙනත් වරදක්ද / කුමක්ද ? එහෙම දෙයක් ලංකාවේ මිට කලින් වෙලා තියනවද? කිසිම දවසක් මෙවන් දෙයක් ගැන ලාංකිකයන් වශයෙන් පුවත්පත් කින්වත් දැනුවත් වෙලා නැ

      Padam
    5. Aruna Pethidine (meperidine ) addiction is very common. But its harmful

      Padam
    6. ඕවර්ඩෝස් ද කියා දන්නේ නෑ නමුත් විවිද ලෙඩ රෝග සහිත මහලු දුර්වල අයව සිහි නැති කිරීම සෑහෙන අවදානම් සහිත වැඩක්.

      එසේ නැති උනත් anesthesia කියන්නේ සෑහෙන අවදානමක් සහිත දෙයක්.කොතරම් සැලකිලිමත් උනත් ඒ අවදානම නැති වෙන්නේ නැහැ.

      විවිද වැරදිවලට වෛද්‍යසභාව වගේ ආයතන මඟින් පරීක්ශන පවත්වා දඬුවම් දෙනවා. වෛද්‍ය ලියාපදිංචිය අහිමි කිරීම පවා සිදු වෙනවා. උදාහරන ලෙස ලමා වාට්ටු වල සේවය එහෙම වෛද්‍යවරයාට අවදානම් රාජකාරියක් ලෙසයි සැලකෙන්නේ. නමුත් වෛද්‍ය සභාව තමන්ගේ පරීක්ශන වල වාර්තාව මාධ්‍යට නිකුත් අරන්නේ නැහැ (මෙය මම හිතන්නේ බොහෝ ආයතන වලට පොදු දෙයක් ).

      අපරාධ නීති මඟින් ක්‍රියා කරන්න සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කල හැකි පැහැදිලි චේතනාවක් තිබිය යුතුයි. බොහෝ වෛද්‍ය (රෝහල් වල වැරදි ) වැරදි මේ ඝනයට අයත් වන්නේ නැහැ.

      වෛද්‍ය වැරදි පමන නොවේ අනිත් ඒවාටත් නීතිය මෙයමයි. උදාහරනයක් ලෙස බොහෝ මාරක රිය අනතුරු වලදි රියදුරා හිරේ යන්නේ නැහැ.


      Padam
  19. රුසියාවේ හිටපු සුබෝධ දැන් මෙහෙ වැඩ කරන්නේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය. ෆස්ට් මෙඩිකල් එකේ හිටපු සුදත් කුමාරසිංහ මෙහෙ වැඩ කරන්නෙත් නිර්වින්දන වෛද්‍වරයෙක් ලෙස. සෝවියට් දේශයේ මෙඩිසින් කල සිසුන් ගෙන් ගොඩක් අය නිර්වින්දන වෛද්‍යවරු හැටියට පුහුණු වෙන්න කැමැත්තක් තිබෙනව කියල මට හිතෙනවා. රුවන් ගේ උතුරු කොනේ අත්දැකීම් ගොඩක් ලියා තිබෙනවා නේද?

    BalasPadam
  20. මම රාගමින් පිටවුනේ 1999 මාර්තු. ලංකාවේ කරපු අන්තිම රස්සාව. ඒ කියන්නේ අපි ඒ කාලේ හමු වෙලාත් ඇති. (බණත් අහන්නැති ඒ කාලේ)

    BalasPadam
  21. එක එක රස්සා වල හැටි තමා. ඒත් ඒවා වෙනස් විදිහකට දකින්න සහ සතුටින් වැඩ කරන තැන් කරගන්න අපිටම තමා හැකි......

    BalasPadam
  22. ඇත්ත කුරුටු

    BalasPadam
  23. හරිම රසවත් රුවන් මම ලියා තියෙනවා නිර්වින්දක සහ යටි සිත ගැන කවි පෙලක්.... ඔබට මෙසේ එය පල කරමි
    2015.09.30 දිනලියා ඇති මේ කව

    නිර්වින්දක සහ යටි සිත

    ඇස් දෙක නිලංකාරව තතු දන්නෙ නැති
    රැස් එක මුදු වුවනක් වත් මතක නැති
    ගියා වගේ දිව්‍යලෝකේ දැනුනෙ නැති
    සිත දිවුවේ පංකාවට වැඩක් නැති

    මගේ හුස්ම ටික ගත්තා සිටි මේ වින්දක
    දොස්තර සැත්කමටම කැපවී චින්තක
    කතුරු අඬු මෙල්ල කරයි අරුමෙයි චුන්දක
    මස් කඩයක මෙනි ලේ විලක්ය රන්දක

    වින්දක වෙලාවට ඇහැ ගහ ගෙන ඉන්නේ
    සැත්කමෙ ඇත්තෝ නැත ඉස්පාසුව ලන්නේ
    ටික් ටික් හඬ තමයි ඔරලෝසුව දෙන්නේ
    ලබ් ඩබ් ඇසෙන්නෑ මොකදෑ මේ වෙන්නේ

    ලොව දැක ගන්ට මට නො ලැබෙනවාට
    ටිකකට තුටින් සිටිනව පංකාව යට
    වින්දක තැවෙනවා සිහි නැහැලු මට
    දෑතින් පිසලමින් දාබිඳු සිතයි වට

    හුස්ම ටික ගිහිං දොස්තර කියයි දුකෙන්
    කාඩ් ටිකටි ලියා ගත්තා මිසී දුවන්
    කුදලා දා ගත්තා ට්‍රොලියට තල්ලු කරන්
    ගෙන යන්නේ යම ලෝකෙට යන්න කියන්

    මෝචරියට යනු දුටුවම සිත සැලුනේ
    ගෙදර උන්දැ දරුවෝ ටික මතක් වුනේ
    උන් හද තලන්නට මට නැහැ සිතුනේ
    අම්මප මගේ දරුවෝ සිත කීරී ගැසෙන්

    රිංගුව කඩි මුඩියෙ මගෙ පංචස් කන්දයට
    කෙඳිරිය පිටවුනෙන් දොස්තර එයි ලඟට
    වින්දක පියැඹුවා කට නම් කන ලඟට
    දැන් නම් හොඳයි අත ගෑවා හිස සොඳට

    වින්දක මගෙ හුස්ම නුඹට දෙන්නේ නැති
    නුඹට වැඩිය යටි සිත බලවත්ව ඇති
    මරණය මගුලකට හැරවු සිත බලය ඇති
    නුඹ පරදන්න තාමත් මේ සිතට හැකි
    ෴නාලි ෴

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook