Jumaat, 27 Mei 2016

රතු ඉන්දියානුවන්

 

මුල් වරට මට රතු ඉන්දියානුවෙකු මුණ ගැසෙන්නේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේදීය​. ඔහු පැනමාවෙන් පැමිණි සිසුවෙකි. එහෙත් අනෙකුත් ලතින් ඇමරිකානු සිසු සිසුවියන් මෙන් ඔහුට ස්පාඤ්ඤ සංකලනයක් නොතිබුනු බව මම සිතමි. ඔහු පැනමාවේ ආදි වාසියෙකු විය හැක​. ඔහුගේ මුහුණ දකින විට මට මතක් වූයේ ප්‍රිස්නස් ඔෆ් ද සන් නම් ටින් ටින් පොතේ එන ඉන්කා රජුය​. ඔහු සමහර විට ඉන්කා ජාතිකයන් ගෙන් පැවතගෙන එන්නෙකු වන්නට පුළුවන​. 

කුඩා කාලයේදී අප අසල්වැසි ළමුන් සමග  රතු ඉන්දියානුවන් සහ කව්බෝයි සෙල්ලම කෙරුවෙමු. කව්බෝයිස්ලා වීරයන් ය​. රතු ඉන්දියානුවන් ක්‍රෑරය​. එම නිසා නිතරම  කව්බෝයි කෙනෙකු වීමට මම උත්සුක වූයෙමි. තවද කුඩා කාලයේ මට  කුඩා ප්ලාස්ටික් සෙල්ලම් කව්බෝයිස් සහ රතු ඉන්දියානුවන්  තොගයක් තිබුනේය​. කව්බෝයිස්ලා නිල් පාටය​. රතු ඉන්දියානුවන් රතු පාටය​. ඔවුන් ගේ අශ්වයන් ද ඒ ඒ පාටින් විය​. මේ ප්ලාස්ටික් කව්බෝයිස් සහ රතු ඉන්දියානුවන් සටන් කර ගනිති. මා රතු ඉන්දියානුවන් එක පෙලට සිටුවා මාබල් එකක් විසි කරමි. මාබල්  එක වැදී රතු ඉන්දියානුවන් අසුන් සමග ඇද වැටෙති. මේ සටන් වලින් නිතරම දිනන්නේ මගේ ලෝකයේ වීරයන් වූ නිල් පැහැති කව්බෝයිස්ලාය​. 

පසුකාලයක මට අවබෝධ වූයේ රතු ඉන්දියානුවන් ස්වභාව ධර්මය සමග ජීවත් උසස් ශිෂ්ටාචාරයක් තිබූ මිනිසුන් බවයි. ඔවුන්ව සුදු මිනිසුන් විසින් ජන ඝාතනයකට ලක් කරන ලදි. මුල් කාලයේදී ක්‍රෑර රතු ඉන්දියානුවන් පිලිබඳ ගොතන ලද කතා ඇතුලත් Mackenna's Gold වැනි හොලිවුඩ් චිත්‍රපට ආශාවෙන් නැරඹූ මා පසු කාලයක කෙවින් කොස්නර් රඟපෑ Dances With Wolves වැනි චිත්‍රපට වලට ආශක්තවී රතු ඉන්දියානුවන් පිලිබඳව අධ්‍යනය කලෙමි. 

යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරියක වන ටාන්‍යා ශුල්ට්ස් හරහා මට හමුවූ මීරියම් ඇමරිකාවේ ආදිවාසී ජනතාව හෙවත් රතු ඉන්දියානුවන් ගෙන් පැවතගෙන එන කාන්තාවකි. ඇය මට ඇමරිකාවේ ආදිවාසී ජනතාව ගැන බොහෝ කතා කියා දුන්නාය​.රතු ඉන්දියානුවන් අතර බොහෝ ජන කතා තිබේ. එම කතා වල සතුන් සහ මිනිසුන් අතර වෙනසක් නැත​. සතුන් කතා කරති. එසේම පර්වත කඳු වලටද පණ තිබේ. ස්වභාව ධර්මයට ඔවුන් ගරු කරති. දඩයමකට සතෙකු මරා ගත් පසු එම සතාගේ ආත්මයට ඔවුන් යාඥා කරති. එම සතාගේ මස් ඔවුන් ගේ බඩගින්න නිවීමට දීම පිලිබඳව ස්තූති කරති. 

ආචාර්‍ය මායන් කැනේඩියානු ආදී වාසීන් ගෙන් පැවතගෙන එන උගත් කාන්තාවකි. ඇය ඔවුන් ගේ මව් බසින් ගීත ගැයීමේ හැකියාවෙන් ද යුක්තය​. යුරොපියානුවන් විසින් ඇමරිකා මහද්වීපයේ ආදිවාසී ජනතාව ජන ඝාතන වලට ලක් කොට ළමුන් සංස්කෘතික වහලුන් කරගත් අන්දම වරක් ආචාර්‍ය මායන් අපට කීවාය​. මේ ළමුන් පල්ලියේ ආගමික නායකයකයන් නායිකාවන් අතින් බරපතල කායික මානසික ලිංගික අපයෝජනයන්ට ලක් වූහ​. 

මේ ක්‍ෂිතිමය පරම්පරාවේ කිහිප දෙනෙකුට මා මනෝ ප්‍රතිකාර ලබා දී තිබේ. එක් පුද්ගලයෙකු එන්නේ වැන්කුවර් නගරයෙනි. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙකි. තවත් පුද්ගලයෙකු මධු ලෝලියෙකි. ඔහු කුඩා කාලයේ ලිංගික අපයෝජනයන්ට ලක්වී තිබේ. ඔහු කිසිම සුදු මිනිසෙකු විශ්වාස නොකරයි. ඔහු මාවද මුල් කාලයේ විශ්වාස කලේ අඩ වශයෙනි. 

රතු ඉන්දියානු ජාතිකයෙකු සමග දුම්කොළ හුවමාරු කර ගන්නා ටුබැකෝ පැක්ට් නම් චාරිත්‍රයක් තිබේ. මේ චාරිත්‍රය ගැන මට කීවේ  ටාන්‍යා ශුල්ට්ස්‍ ය​. රතු ඉන්දියානු ජාතිකයන්ට දුම්කොළ ගස අපට බෝ ගස මෙන් ශුද්ධ පූජනීය ගසකි. රතු ඉන්දියානු ජාතිකයෙකු සමග දුම්කොළ හුවමාරු කර ගත් විට ඔහු හෝ ඇය සදාකාලික මිතුරෙක් බවට පත් වේ. 

මම ෆර්ස්ට් නේෂන් නමින් හඳුන්වන රතු ඉන්දියානු ජාතික කෙන් සමග දුම්කොළ හුවමාරු කර ගත්තෙමි. දැන් අප දෙදෙනා සදාකාලික මිත්‍රයන් වෙති. ඔහු ඉනුඉට් ජාතිකයෙකි. උස මහතින් සහ දිගු කොණ්ඩයකින් යුක්තය. ​කෙන් වන් ෆ්ලිව් ඕවද කුකුස් නෙස්ට් චිත්‍රපටයේ ඉන්නා රතු ඉන්දියානු ජාතිකයා මෙනි. ඔහු එය වරදවා වටහාගනී කියා මා එය මෙතෙක් ඔහුට කීවේ නැත​. 

කෙන් නැචුරල් හීලිං හෙවත් ආදීවාසීන් ගේ චාරිත්‍ර ක්‍රම මගින් මිනිසුන්ට ප්‍රතිකාර කරයි. වරක් ඔහු මට ඔහුගේ හීලිං සෙෂන් එකකට ආරාධනා කලේය​. ඔහු දුම්කොළ ධූමය සහ රාජාලි පිහාටුවක් ගෙන ප්‍රතිකාර වටය කලේය​. එසේම රබානක් වැනි බෙරයක් ද වැයුවේය​.මේ ප්‍රතිකාර ක්‍රමය වසර දහස් ගනනක් පැරණි ස්වභාව ධර්මය සමග මුසු  කල ශරීරයේ ස්වාභාවික  සුව කිරීමේ යාන්ත්‍රණය පණ ගන්වන ප්‍රතිකාර ක්‍රමයකි. මෙවැනි ප්‍රතිකාර ක්‍රම ලංකාවේද තිබෙන බව මම කෙන්ට කීවෙමි.

වරක් මා නිව් යෝක් සිට කැනඩාවේ නයගරා දක්වා රිය ධාවනය කලෙමි. මගේ ජී.පී.එස් එකේ වැරදීමකින් මුදල් අය කර ගන්නා ටෝල් රෝඩ්ස් මඟ හරින්න කියා නියෝගය දී තිබුනි. මේ නිසා මා විශාල වටයක් ගොස් කැනඩාවේ නයගරා වෙනුවට මතු වූයේ  ඇමරිකා -කැනඩා බෝඩරයේ කුබෙක් ප්‍රාන්තයට අයත් කුඩා දේශසීමා කපොල්ලකිනි. මේ ගමනේදී මා රතු ඉන්දියානුවන් ජීවත් වන රෙසවේෂන් එකක් මැදින් ගියෙමි. එය ගෝස්ට් ටවුන් එකක් විය​. නිව් යෝක් හි සුවිසල් අහස උසට නැගි ගොඩනැගිලි වෙනුවට මෙහි තිබුනේ 1800 ගනන් වල මෙන් ලී වලින් සාදන ලද ජරා ජීර්ණ වූ ගොඩනැගිලිය​. පාරවල් වල සමහර පහන් කනු වල බල්බ් නොතිබූ නිසා නගරය අඳුරු මූසල ස්වරූපයක් දැරීය​. මාර්ගය දෙපස බීමත් වූ සහ දුප්පත් ඇඳුමින් සැරසුනු රතු ඉන්දියානුවන් සිටියහ​. එම නගරයේ අලංකාරම නවීනතම ගොඩනැගිල්ල වූයේ කැසිනෝවකි. නමුත් එම කැසිනෝවට සුදු ඇමරිකානුවන් ආවේ නැත​. කැසිනෝව වටා දිරා ගිය පරණ වාහන වලින් ආ රතු ඉන්දියානුවන් නම් සිටි බව මතකය​. මේ 2018 වසර විය යුතුය​. එය රෙසවේශන් එකක් සියැසින් දුටු අවස්ථාව විය​.  බලාපොරොත්තු රහිත බව , දුගී බව , කාලකන්නි බව  මේ රෙසවේශන් එකේදී මා දුටුවෙමි) 


වෛද්‍ය රුවන් එම්. ජයතුංග

16 ulasan:

  1. රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් කියල අහල තියෙනවා.එයාලගෙ බටනලා වාදන හරිම මිහිරියි...අපිවත් කම්පනය වෙනවා වගේ ඒවා අහනකොට. රාජාලියා,වෘකයා වගේ දුශ්ඨ යයි සම්මත සත්තු වීරයො වන විචිත්‍රවත් ජනකොටසක්.. ඔබ වාසනාවන්තයි දුම්කොල මිතුරෙක් දක්වා ඔවුන් හා සම්බන්ධවීමට ලැබීම.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. රතු ඉන්දියානු කියන නමම සුද්දට වැරදිලා දාපු නමක් ඇත්ත , ඔවුන් ඉන්දියනුවන් නෙවේ

      Padam
  2. නවලෝකය සොයා යාමේදී බටහිර මිනිසා කල විනාශය අති මහත්.මෙහිදී ඔවුන්ට පූර්වාදර්ශ ලැබුනේ බයිබලයෙ වර්ගසමූලඝාතන වලින් කියා ත් මතයක් තියනවා.යම් රටකටකඩාවැදිල ඒ රටේ මිනිස්සු මරල ඉඩම් මංකොල්ල කෑමට දිව්‍යමය පසුබිමක් තිබීම.

    BalasPadam
    Balasan
    1. පාප් වහන්සේගේ අනුමැතිය ලැබුනා මේ ජනඝාතන වල​ට

      Padam
  3. මමත් ඉස්කෝලේ යන කාලෙත් හිතුවේ රතු ඉන්දියානුවා කියන්නේ පිහාටු තොප්පි දාගෙන මිනී මරණ වනචාරියෙක් කියල. පස්සේ සියටෙල්ගේ (නම හරිද මන්ද) ලියවිල්ලක් කියවල තේරුම් ගත්ත,ඔවුන් සටන් කරේ තම උපන්බිම සුද්දන්ගෙන් බේරා ගැනීමට කියල..

    BalasPadam
    Balasan
    1. ඔවුන් සටන් කරේ තම උපන්බිම සුද්දන්ගෙන් බේරා ගැනීමට ++++++

      Padam
  4. මගේ ප්‍රියතම රතු ඉන්දියානුවා තමයි විලි නෙල්සන්.... අනික් අය හම්බවෙලා නෑ නේ...

    ඩොන්ල්ට් ට්‍රම්ප් බලයට ආවොත් විලි නෙල්සන්ලා විතරක් ඇමරිකාවේ ඉතුරු වෙලා ට්‍රම්ප්ට හිටන් යන්න වෙනවා කියලා ලස්සන ඩොකියුමන්ට්‍රයක් ළඟදි දැක්කා...

    BalasPadam
  5. යුරෝපීයයන් native ඇමරිකානුවන්ගෙන් මහා පරිමාණයෙන් ඉඩම් අල්ලාගෙන ඔවුන් අවතැන් කලා. එහෙත්ඔය ක්‍රියාවලිය විවිධ මට්ටම්වලින් ගෝත්‍රවශයෙන් උතුරු හා දකුණු ඇමරිකාවල ආදියේ සිට තිබුනා. මං ආස ගෝත්‍රවන ( වැඩිපුර කියවා ඇති ) Comanche, Apache, Sioux වැනි තැනිතලා ඉන්දියානුවන් ඊට ඉහත සිටි ගෝත්‍ර පලවා හැරියා.දකුණු ඇමරිකාවේ ඉන්කා ඇස්ටෙක් ශිෂ්ඨාචාර දියුණුවුනේත් අනිත් අය යටත් කර ගැනීමෙන්. යුරෝපීයයනුත් කලේ ඒවගේ දෙයක් තමයි හැබැයි ඒකෙ අසාධාරණය වැඩියෙන් පෙනෙනවා ඔවුන් කාර්මික හා අනිකුත් දේවලින් රතු ඉන්දියානුවන්ට වඩා ඉතා ඉහලින් සිටි නිසා unfair fight එකක් නිසා හා කෑදරකම වැඩි වූ නිසා.

    රුවන් අහල තියනවද (මට fascinating එකක් තමයි) now extinct giant tribe එක? ඉතා උස මිනිසුන් සිටි ( මිනී කෑම ගැනත් චෝදනා තිබූ ) ගෝත්‍රයක්. මුලින්ම කියෙව්වෙ Michener ගෙන්.ගෝත්‍රයේ නම මතක නෑ දැන්.


    මේක අහල තියනවද?
    https://researchnews.osu.edu/archive/tallind.htm

    BalasPadam
    Balasan
    1. now extinct giant tribe එක? ඉතා උස මිනිසුන් සිටි ( මිනී කෑම ගැනත් චෝදනා තිබූ ) ගෝත්‍රයක්. මුලින්ම කියෙව්වෙ Michener ගෙන්.ගෝත්‍රයේ නම මතක නෑ දැන්. /////// I dont know

      Padam
  6. මේ අයට ඇමරිකා එක්සත් ජනපදය තුළ යම් විශේෂ වරප්‍රසාද ලැබෙනවද?

    BalasPadam
    Balasan
    1. කැනඩාව තුල ඔවුන් ජීවත් වන රෙසවේෂන්ස් තියනවා මේවා වල සමහර බදු අය කිරීමක් නෑ

      Padam
  7. රතු ඉන්දියානුවන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන පිරිසක්. ඔවුන් භාවිතා කරන බටනළාව ඉතා සුවිශේෂි. එය pan flute නම් වේ.

    BalasPadam
  8. සූවස් ඇල ස්වාභාවිකව පිහිටා තිබුණා නම් රතු ඇමරිකානුවන් තවත් කලක් නිරුපද්‍රිතව ඉන්නට ඉඩ තිබුණා නේද?
    දකුණු ඇමරිකාවේ දී ස්පාඤ්ඤයින් කර ඇති විනාශය අති දරුණුයි.

    BalasPadam
    Balasan
    1. දකුණු ඇමරිකාවේ දී ස්පාඤ්ඤයින් කර ඇති විනාශය අති දරුණුයි.///////////////////// athha

      Padam
  9. මං දන්න රතු ඉන්දියානුවෝ කීප දෙනෙක් ඉන්නවා . ඒ ගොල්ලංගෙ ලොක්කා තමයි "සාධාරණ උකුස්සා". එයා කවුද බෝයිගෙ යාලුවනෙ.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook