Ahad, 22 Mei 2016

කොල සිගරට්




1979 වසරේ හතේ පන්තියේ සිටි අප කොල්ලන් සිගරට් ලබා ගැනීම අපහසු හෙයින් කොල සිගරට් බීමට කතා කර ගතිමු. මේ කාන්ඩයට කාවින්ද , රොශාන් හෙවත් රොටියා, තිලක් ජයසේකර , ලාල් රූපතුංග , මනෝජ් නීලාංග ආදීන් සිටි බව මතකය​. 

ගම්පහ සිට පැමිණි රොටියා දුම් බීම සඳහා තම ප්‍රදේශයේ වැවෙන පාවට්ටා කොල ගෙන ඒමට පොරොන්දු විය​. නියමිත දිනයේදී විවේක කාලයේදී කොල්ලන් නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ වැසිකිලියට වැද පාවට්ටා කොල  සහ පත්තර කොල වලින් එතූ සිගරට් පත්තු කර ගත්හ. මේ දිනයේදී මම පන්තියේ කොල්ලෙකු සමග ගෝරියක් දමා ගත් හෙයින් දුම් පූජාවට යාම ප්‍රමාද විය​. 

මේ අතර වැසිකිලියෙන් දුම් පිටවනු දුටු කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් වැසිකිලියේ දොර කඩාගෙන ඇතුළු වී දුම් බිබී සිටි කොල්ලන් කනෙන් අල්ලාගෙන තිලකරත්න සර් වෙත ගෙන යන ලදි. තිලකරත්න සර් සැරය​. එසේම තිලකරත්න සර් ලඟ මහත දිග වේවැලක් තිබුණි. මේ නිසා තෙමුණු කුකුළන් මෙන් වරදකරුවන් බියෙන් ගැහෙමින් තිලකරත්න සර් ගේ කාර්‍යාලයට ගියහ​. බඩුත් සමහ හොරු අසුවූ හෙයින් නිදහසට කීමටද දෙයක් ඔවුනට නොවීය​. 

තිලකරත්න සර් සැර රැවීමකින් වරදකරුවන් පිළි ගත්තේය​. එසේම මෙය බරපතල ක්‍රිමිනල් වර්ගයේ වරදක් නිසා ඉහල උසාවියට එනම් කනිෂ්ඨ අංශයේ විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා වෙත ඉදිරිපත් කල යුතු බව කීවෙන් කොල්ලන්ට සුළු දිය පහ වූහ​. එහෙත් වරදකරුවන් අතර රොඩ්‍රිගෝ ටීචර්ගේ පුතා රොෂාන් රොඩ්‍රොගෝද වූයෙන් නඩුව වෙනත් මාවතකට අවතීර්ණව වේවැල් පහරවල් කීපයකින් සහ තරයේ අවවාද කිරීමෙන් කේස් එක ඉවර විය​. ඉන්පසු  තෙමුණු කුකුළන් පන්තියට ආහ​. 

මේ අතර මම බියෙන් ගැහෙමින් සිටියේ උක්ත දුම් පූජාවට මමද ඒමට සිටි බව යම් අයෙක් තිලකරත්න සර්ට කියා තිබේද යන බියෙනි. කෙසේ නමුත් මා හට සිතාසි නාවෙන් මාගේ හෘධ ගැස්ම සාමාන්‍ය තත්වයට පත් විය​. 

පසු දින අපට විද්‍යාව උගැන්වූ ජී. ගෞතමදාස මහතා පාඩමට පෙර දුම් පානයේ ආදීනව පන්තියට කියා දුන්නේය​. කිසිවෙකු වරදකරුවන් නොකරමින් චුදිතයන් යළි පීඩනයට පත් නොකරමින්  දුම් පානය ගැන පැහැදිලි කල ගෞතමදාස සර් අවසානයේදී  අට වසරේ විද්‍යාව අච්චු පොතේ දුම් පානය කල පුද්ගලයෙකු පෙනහළු පිලිකාවට ගොදුරු වී මැරුණු අන්දම කියවෙන කතාව කියවීමට අප හට නියම කලේය​. 

හතේ පන්තියේ සිටි මම එදින නිවසට විත් අයියාගේ විද්‍යාව අච්චු පොතේ එම කතාව කියවූයෙමි. එය දුම්පානය කල පුද්ගලයෙකුගේ ආත්ම කථනයකි. ඔහු විවාහකයෙකි. අළුතින් තනන නිවසේ වහලය ගසන දින ඔහුට තදබල වියළි කැස්සක් සෑදේ. වෛද්‍යවරයෙකු වෙත යන ඔහු  යම් බෙහෙතක් අපේක්‍ෂා කරයි. නමුත් වෛද්‍යවරයා ඔහුව රෝහලේ නවතා ගනී. අකමැත්තෙන් එයට එකඟ වන ඔහු තවත් පරීක්‍ෂාවන්ට ලක්වේ. වෛද්‍යවරු මේ පුද්ගලයා පෙනහළු පිළිකාවකින් පෙලෙන බව සොයා ගනිති. අවසානයේදී නව නිවසේ වැඩ අවසන් කිරීමට ප්‍රථම ඔහු මරණයට පත් වේ. 

දුම් බීම පිළිබඳව ගෞතමදාස මහතාගේ සෞඛ්‍යය අධ්‍යාපන පාඩම මා ජීවිතයටම ලැබූ හොඳම පාඩමයි. එහි සාර්ථකතාව කෙසේද යත් මම තවමත් දුමින් තොර පුද්ගලයෙකි. එසේම පසුකාලීනව ඇඩික් ආයතනයේ පුබුදු සුමනසේකර මහතා , මෙල් මැදුරේ වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු , මහාචාර්‍ය දියනාත් සමරසිංහ , වෛද්‍ය නීල් ප්‍රනාන්දු යන මහතුන් සමග එක්ව යුද හමුදාවේත් , පුත්තලම් දිස්තික්කයේත් දුම් බීම වැලැක්වීමේ වැඩසටහන් ගනනාවක් කලෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

41 ulasan:

  1. ඩොක්ට.. දුම් පානයෙන් මිදෙන හැටියකුත් කියල දුන්නනම් හොදයි නේද? ස්තුතියි.

    BalasPadam
    Balasan
    1. ඒක ටිකක් දිග කෝස් එකක්

      Padam
  2. හෙහ් හෙහ්, පාවට්ටා කොලේ නියම ගාණට වේලා, ඔතා, බීම, අපිත් හතේ අටේ පන්තියේදී කල ත්‍රාසය මුසු ප්‍රීතිය ලද ක්‍රියාවකි.

    මම දුම්බීම ආරම්භ කර තිබෙන්නේ, ඔබතුමා 5 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී බව පෙනෙයි. එතැන් සිට 1994 දක්වා, දුම්බීම කලෙමි. කීප වතාවක් නැවත්වුවද, යලි පටන්ගත්තෙමි. නමුත්, පෙනහළු දුර්වලවී, කිලෝමීටරයක්වත් දුවන්න අමාරු තරමට, හුස්ම ගැනීම අපහසු බව තේරුණු බැවින්, 1994 දී දුම්බීම අත්හළෙමි. එවකට මා දිනකට සිගරට් 42 ක් බිව්වෙමි. අද නම් දිනකට රු 1260 ක් වියදම් වෙයි.

    මා දුම්බීම අත්හල බව මගේ බිරිඳ විශ්වාස කලේ, දුම්බීම නවතා වසරකට පසුවය. ඒ සඳහා ඇගෙන් ලද උපහාර සහතිකය වුයේ, 'දැන්නම් ඔයාගේ තොල් දෙක දුම් රහ නැහැ' යන අවංක ප්‍රකාශයයි. එයට මගෙන් ලද ප්‍රතිචාරය වූයේ, ඇයට ඒ නව රසය තව තවත් ලබාදීම සහ, දුම්බීමට වියදම්වූ මුදල ඉතිරිවීමෙන්, එම මුදලින්, වරින් වර, සාරි අරන් දීමෙනි.

    අපේ කාන්තාවන් කෙටි කාලයකට හෝ දුම්බීම පටන් ගත්තොත්, පිරිමින් දුම්බීම අත්හැරීම ඉක්මන් වනු ඇත.

    BalasPadam
  3. අත්හැරීම, ඇබ්බැහිවිමට වඩා බොහෝ සේ අමාරුයි...සමහරු අත් හරින්නට උත්සාහ කරන්නත් බයයි...ඒත් දුම් බිමේ ආදීනව දැනෙනකොට ඒ අය බොහෝ සේ ප්‍රමාද වැඩියි...

    BalasPadam
  4. හම්මේ පාවට්ටා කතාවක් මටත් තියනවා ඒක ඉවර උනේ ගංජා මිටියකට ගස් නැගල

    BalasPadam
    Balasan
    1. බීලා නෙමෙයි නිරපරාදේ ඇග හිරිවැටෙන කතාවක් ලියන්නම් බලන්න

      Padam
    2. ලියන්න ලියන්න

      Padam
  5. ඉතා වටිනා පණිවුඩයක්. අපිටත් අදහසක් එකතු කරන්න අවසර ඉල්ලමි.

    දුම්බීම නැවත්වීම අපහසු යයි මම නොසිතමි. වසර කීපයකට පෙර මාරාන්තික ඩෙංගු රක්තපාත රෝගය වැළඳුන පසු ප්‍රකෘති ස්වභාවයට පැමිණෙන තෙක් මාස 4ක් පමණ දුම් හෝ එතිල් මද්‍යසාර භාවිත නොකළ සිටියෙමි. ඒ මැරෙන්නට බියවූ නිසයි. ඉන්පසු නැවත දුම්බොන විට මට දුම දැනුනේ ඉතා අප්‍රසන්න ලෙසයි. දුම්බීම නැවැත්වූ මිතුරු මිතුරියන්ගේ අදහස් අනුව මෙන්ම මගේ අත්දැකීම අනුවද දුම්බීම යම් ක්‍රමයකින් සති දෙකක් නවතාගතහොත් සදහටම නවතාගැනීම ඉතා පහසුයි.

    හොද මානසික අධිෂ්ටනයක් තිබේ නම් දුමට ඇති ශාරීරික ඇබ්බැහිය පරාජය කිරීම ඉතා පහසු කටයුත්තකි.

    BalasPadam
    Balasan
    1. දුම්බීම යම් ක්‍රමයකින් සති දෙකක් නවතාගතහොත් සදහටම නවතාගැනීම ඉතා පහසුයි./////// good observation

      Padam
    2. හෙට අනිද්දට කියන්නං නවත්තපු විදිහ , තව සති දෙකක් තුනක් යයි , ට්‍රයි කොරන්නයි ඉන්නේ

      Padam
  6. සිගරැට් උරන්නන්ගෙන් 90%කටම පෙණහැලි පිළිකා වැළඳෙන්නේ නැත නමුත් පෙණහැලි පිළිකා නමුත් පෙණහැලි පිළිකා සෑදෙන්නන්ගෙන් 99%ක්ම දුම් පානය කරන අයයි. එබැවින් සිගරැට් ඉරීම හා දුම් පානය අතර සම්බන්ධයක් ඇති බව විද්‍යාත්මක ව නිගමනය කල හැක.

    දෙමළුන්ගෙන් 90%ක් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් නොවන නමුත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ගෙන් 99%ක් දෙමළු වෙති එබැවින් සෑම දෙමළක්ම එල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමට සිදුවේ.

    BalasPadam
    Balasan
    1. දෙවන උදාහරණයනම් රළුයි

      Padam
    2. ඒ මොකද? ඒක වැරදිද?

      Padam
    3. අපි මිනිසුන් ගේ ජාති ගැන නොඇදගෙන ඉමු ; සිගරට් උදාහරණය නම් හරි

      Padam
    4. කෙලින් උත්තරයක් දෙන්න බැරිද? නැතිනම් උත්තරේ කියන්න ලැජ්ජයිද?

      Padam
    5. ඔබට යම් මානසික පීඩන තත්වයක් තිබෙන බව පෙනී යයි. කරුණාකර පීඩනය පිට කිරීම සඳහා මගේ බ්ලොගය යොදා නොගන්නේ නම් ස්තූති වෙමි.

      Padam
    6. 100% of rapists are males. Hence all males are rapists. RIP Logic

      Padam
  7. ගස්ලබ්බටත් ඩෙංගු හැදිල ඉන්න ටිකේ මාස හතරක් නැවතිලා තිබුනා.කොටින්ම ඇඩ්මිට් කරන්න අම්මා එක්කගෙන යනකොට උණෙන් ගැහි ගැහි සාක්කුවෙ තිබුන සිගරට් හොරෙන් විසි කරන ගානට සැරට බිව්ව. හොඳවෙලා සයිට් ගියා ආයෙ පටන් ගත්තා.
    ඇක්සිඩන්ට් උනා.මාස පහක් ගෙදර හිටියා. බිව්වෙම නෑ.ආයෙ සයිට් ගියා.පටන් ගත්තා.දවසට 30ක් 35ක් වත් බිව්වා.
    දැන් ආයෙ ගෙදර මාස හයක් විතර...දුම නෑ. මොනව වෙයිද දන්නෑ... කොහොම උනත් නවත්තන්න බෑ කියන එක පිලිගන්න බෑ.උවමනාව ආපු ගමන් නවත්තන්න පුළුවන්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. උවමනාව ආපු ගමන් නවත්තන්න පුළුවන්////// true

      Padam
  8. අවශ්‍යතාවක් තියෙනවා නම් දුම්බීම නවත්වන්න පුළුවනි.හැකියාවක් තියෙනවා නම් ඉතාම තදින් දුම් පානයට ඇබ්බැහිවී සිටින අපේ බ්ලොග් කරුවන්ගේ ඒ පුරුද්ද නතර කරන්නට උත්සාහ කළොත් අගෙයි ඩොක්ට.

    BalasPadam
    Balasan
    1. Dr මනෝජ් ප්‍රනන්දුගේ වැඩසටහනක් තියනවා ඒකෙන් හොඳ ප්‍රථිඑල මම දැක්කා

      Padam
  9. දුම්කොල යනු මළ ජරාවකි.
    වෝල්ටර් රැලේ අපායේ යැවේවා!
    ජෝන් ප්ලේයර් භංගවේවා!!

    BalasPadam
    Balasan
    1. නේටිව් ඇමරිකානුවන්ට දුම්කොල ගස ශුද්ධ ය. අපට බෝ ගස මෙන් වේ.

      Padam
  10. කවදාවත් පුරුද්දක් තිබිලා නෑ. සමහර මේ අවස්තාවල බොනවා එකක් දෙකක් :- http://www.dailymail.co.uk/health/article-2373458/Drinking-smoking-hand-hand-recent-research-suggests-Nicotine-dampens-feel-good-chemicals-brain-making-crave-alcohol.html
    ජීවිතේටම සීයකට වඩා නැතුව ඇති

    ඒ ඇරෙන්න සුරුට්ටු කලාතුරකින්. පයිප්ප ( කරදර වෙන්න පුලුවන් නම් :- D ) .

    හැබැයි කොලඹ නගරයේ පයින් හෝ ඒ සී නැති වාහනයක ගියාම නහය ඇතුලෙ බැඳෙන කලු තට්ටුව වගේ පෙනහැල්ලටත් යනව ඇතිනේද?

    BalasPadam
    Balasan
    1. හැබැයි කොලඹ නගරයේ පයින් හෝ ඒ සී නැති වාහනයක ගියාම නහය ඇතුලෙ බැඳෙන කලු තට්ටුව වගේ පෙනහැල්ලටත් යනව ඇතිනේද?/////// ඒක නම් එහෙමයි

      Padam
    2. Out door air quality ගැන කතා කරනවාට වඩා පහසුයි Indoor air quality ගැන කතා කරන එක. USEPA IAQ models මා සතුව තිබෙනවා. ඒ ගැන කතා කිරීමෙන් පලක් ඇති පණිවුඩයක් දෙන්න හැකිවේවිද ?

      Padam
  11. හතේ පංතියෙදි අපි ඕව කරන්න හිතලවත් නෑනෙ ඒ කාලෙ.

    BalasPadam
  12. ඌ--යා සර් ගෙන් ගුටි කාලා බේරුන එක මදෑ පොල්ටොක්කක් කන්නේ නැතුව.

    BalasPadam
  13. සිගරට්, අරක්කු හිතිච්ච වෙලාවට නවත්තන්න පුලුවන්. ඒක මම කරලා තියෙනවා. දවස් ගනන් සිගරට් නොබී ඉන්නවා. දැන් මම e-cigarette එක පාවිච්චි කරනවා. ඕන දෙයක් නවත්තන්න පුලුවන්. මම මෑතක් වනතුරු සිගරට් 20ක් බිව්වා දවසට. බීබීසි එකේ ඊයේ ගියා මේ Horizon: E-Cigarettes - Miracle or Menace?වැඩසටහන. ඒක සිගරට් බොන අයට බලන්න හොඳයි.

    BalasPadam
    Balasan
    1. 1) Great

      2) අරුණ ඔබගේ කතාවේ ඉතිරි කොටස ලියනකම් බලා සිටිමි

      Padam
  14. ලොකු කතා වැඩක් නැහැ හිත විතරයි ඕන.. ඒක තමා නැත්තෙත්.

    හැබෑට සිගරට් බොන එක නවත්තන්න උපදෙස් දෙන්න ඕන.. නං වලින් අඩගහල. ඇත්ත්මයි.. හැක්

    BalasPadam
  15. වෛද්‍යතුමා මේ කථා කරලා තියෙන්නේ තවත් බොහෝම වැදගත් මාතෘකාවක්. මම නම් 84 85 කාලයේ පාසලේදීම මගේ තවත් මිත්‍රයෙක් එක්ක ශ්‍රී ලංකා පිළිකා මර්ධන සංගමයේ යාව ජීව සාමාජිකත්වය ගත්තා. අපි දෙන්නා එදා ඉඳලම පිළිකා මර්ධනයේ අධ්‍යාපන ඒකකයත් එක්ක හුඟක් වැඩ වලට සහභාගි වුනා. අපේ ඉස්කෝලේ ඇතුලෙත් ප්‍රදර්ෂන වලදී අපි මුල් වෙලා දුම් බීමේ ආදීනව ගැන විශාල වැඩ සටහන් සංවිධානය කලා.
    ඒ අභාෂයත් එක්ක මම සම්පූර්ණයෙන්ම දුම් නොබොන්නෙක් වුනා. මගේ මිත්‍රයත් එහෙමයි.
    හැබැයි මම ඒ අත්දැකීම බලන්න දුම්වැටියක් මුව තියලා දුම මුඛයට අරගෙන පිට කරල තියෙනවා. එතකොට ඒකෙන් එන අපුල රස්ය නිසාම ඒ අත්දැකීමත් එතැනින්ම ඉවර වුනා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook