Rabu, 27 April 2016

කාලි මුත්තු



මමත් වෛද්‍ය සුජීව දහනායකත් සිකුරාදා දිනෙක සවස වාට්ටු වල වැඩ කිරීමෙන් පසු  සීමාවාසික නිල නිවාසයට ආවෙමු. අප රාත්‍රී ආහාර ගැනීමට සූදානම්  වූවා පමණි හදිසි රෝගියෙකු ශල්‍ය වාට්ටුවට ඇතුලත් කල බව කියමින් කෝල් බෝයි වාට්ටු පොත ගෙන පැමිනියේය​. මේ නිසා මම ලහි ලහියේ ශල්‍ය වාට්ටුවට ගියෙමි. 

රෝගියා රත්තොට පැත්තේ ලයිමක මිනිසෙකි. වයස අවුරුදු තිහක් පමණ අයෙකි. තේ ගස් කපන පිහියකින් ඔහුගේ ශරීරය කපා දමා තිබුණි. අත් දෙක කටු දක්වා කැපී තිබේ. ඔහුගේ කමිසය  රුධිරයෙන් තෙමිලාය​. වාට්ටුවේ සිටි එකම වෛද්‍යවරයා මාය​. මම වහාම ඔහුගේ රුධිර සාම්පලයක් ගෙන ලේ බැංකුව වෙත දිව්වෙමි. ඉතා ඉක්මනින් ඔහුගේ රුධිර වර්ගය සොයා ගත් මා ඊට අනුකූල රුධිර ෆ්ලැකොන් කීපයක් ගෙනැවිත් රුධිර පාරවිලනය ඇරඹුවෙමි. ඒ අතර ඔහුගේ ශරීරයේ තුවාල මැසුවෙමි. 

මේ මිනිසාගේ මුළු ශරීරය පුරා කැපුම් තුවාලය​. ඔහු කෙරෙන් දාඩිය ගඳ මෙන්ම අමු රුධිර ගඳ හමයි. මා මේ ගන්ධයන් නොතකා ඔහුගේ තුවාල මසා ලේ වහනය නතර කලෙමි. මේ අතර සුජීවද පැමින මට උපකාර කලේය​. අප දෙදෙනා එක්ව මධ්‍යම රාත්‍රිය වෙන තෙක් මේ මිනිසාව මැසුවෙමු. 

ඔහුගේ අත් දෙකේ කැනියුලා දෙකකි ඉන් රුධිර ෆ්ලැකොන් දෙකක රුධිරය එකවර  ඔහුට ලබා දේ. එසේම කකුලේ රුධිර වාහිනියකට සවි කරන ලද සේලයින් බෝතලයකි. එයද ඔහුගේ සංසරන පද්ධතියට එකතු වේ. මගේ ග්ලවුස් සහිත අත් දෙකේ මෙන්ම සුදු වෙද කබායේ ලේ ගෑවී තිබේ. රාත්‍රිය නිසා මදුරුවන් මගේ  වටා කැරකෙති. ඉතා දීර්ඝ වේලාවක් හිටගෙන මැහුම් දැමීම නිසා මගේ කොන්ද රිදුම් දේ. මම සුජීවට නිල නිවසට යන ලෙස කියා රෝගියා සමග සිටියෙමි. 

මිනිසා තවමත් අඩ සිහියෙනි. රුධිරය විශාල ප්‍රමානයක් ගලා යාම නිසා ඔහුගේ හෘධයද ස්පන්දනය​ වන්නේ දුර්වල ලෙසටයි. මේ මිනිසා මිය යයිද ? මම මගෙන්ම ඇසුවෙමි. කෙසේ හෝ මේ මිනිසාගේ ජීවිතය බේරා ගත යුතුය​. මම යළිත් වරක් ලේ බැංකුවට ගොස් තවත් රුධිර ෆ්ලැකොන් කීපයක් ගෙනාවෙමි. හෙදිය ඒවා මඳ උණු වතුරක බහාලූයේ ඉක්මනට පාරවිලනය කිරීම සඳහාය​. 

අධික වෙභෙස සහ නිදිමත නිසා මම රෝගියාගේ ඇඳේ දාරය අල්ලාගෙන සිටියෙමි. නමුත් රෝගියා ලඟින් ඉවත් වීමට මට සිත නොදේ.හෙදිය මට සීනි වැඩිපුර දැමූ ප්ලේන් ටී එකක් දුන්නාය​. ලේ වැකුණු ග්ලවුස් ගැලවූ මම තේ එක පානය කලෙමි. එය අමෘතයක් ලෙස මට දැනුනේය​. තවත් පැයක් පමණ රෝගියා අසල සිටි මම නාඩි වැටීම අඩු වුවහොත් හෝ රුධිර පීඩනය අඩු වුවහොත් මට කතා කරන ලෙස කියා වෛද්‍ය විවේකාගාරයේ පුටුවක ඇලවූයෙමි. 

උදේ පහන් විය​. රෝගියාගේ තත්වය මඳක් යහපත් ය​. කෙසේ නමුත් වතු කම්කරුවා මරණය පරාද කලේය​. සතියකට පමණ පසු අප ඔහුව යළිත් ශල්‍යාගාරයට ගෙන ඔහුගේ කැපී තිබෙන පේශී, විලම්බක (ligaments )  හැකි පමණ එකට පුරුද්දා මැසුවෙමු. ඔහුගේ දෑත් වල ක්‍රියාකාරිත්වය යලි ලබා දීම අපගේ අභිප්‍රාය විය​. 

 තරමක සුවය ලැබූ පසු ඔහු අප සමග කථා කලේය​. නමින් ඔහු කාලි මුත්තු වේ. වත්තේ ගැහැණියක සමග යහළු වීම නිසා ඉන් උරණ වූ ගැහැණියගේ මල්ලී තේ පඳුරක් තුල සැඟවී කාලි මුත්තු  ලයිමට  එන විට ඉතා තියුණු තේ ගස් කපන පිහියකින් ඔහුට කෙටුවේය​. ගෙලට එල්ල කල පහරවල් වැලැක්වීම සඳහා ඔහු අත් දෙක පිහියට පෑවේය​. එයින් ඔහුගේ අතේ අස්ථීන් පවා ගැඹුරට කැපී ගියේය​. කාලිමුත්තු පහර පිට පහරකා අවසානයේදී බිම ඇද වැටුනේය​. ප්‍රහාරකයා දිව ගොස් සැඟවුනේය​. ලේ විලක වැටී සිටි කාලිමුත්තුව රෝහලට ගෙන එන්නේ ඥාතියෙකි. 

ඔහු  සිංහල කතා කලේය​. ඔහුගේ දිවි බේරා දීමට අප කරන ලද කර්තව්‍ය ඇගයූයේ සිනහවකිනි.  කාලි මුත්තු කෑලි මුත්තු උනා නේද කියා හෙද නිලධාරියෙකු ඇසූ විට  ඔහු දසන් පෙන්වා සිනාසුනේය​. ඒ අතරවාරයේ ඔහුගේ පෙම්වතියද  කාලි මුත්තු බලන්නට වරින් වර ආවාය​. තුවාල සුව වූවද ඔහුට අත් දෙක  එසවීමට නොහැකි විය​. වැසිකිලියට ගිය විට අන් රෝගීන් කාලි මුත්තුට උදව් කලහ​. ඔහුට යටත් පිරිසෙන් කමිසයක් ඇඳ ගැනීමට පවා අසීරු විය​. 

මෙසේ මාසයක් පමණ අප කාලි මුත්තුව වාට්ටුවේ තබාගෙන ප්‍රතිකාර කලෙමු. ඉන් පසු ශල්‍ය සායනයට එන ලෙස දන්වා ඔහුගේ ටිකට් කැපුවෙමු. මාස දෙකකට පමණ පසු මට කාලි මුත්තුව සායනයේදී හමු විය​. ඔහුගේ තත්වය එලෙසමය​. දෑත් ක්‍රියා නොකරයි. අප ඔහුව නුවර වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කලෙමු. එහෙත් ඔහු දිගු මගක් ගෙවා මහ නුවර යයිද කියා සැකය මට මතු විය​.  

කාලි මුත්තුට පිහියෙන් කොටපු මිනිහාට මොකද උනේ කියා මම ඇසුවෙමි : " ඌ මාතියා මට රුපියල් අටදාහක් දුන්නා ඒ නිසා අපි ෂමාදාන උනා"  ඔහු කීවේය​.

ඉන්ටන්වරයෙකු ලෙස ඒ කාලයේ මගේ මාසික වේතනය රුපියල් හත් දහසකි.  රුපියල් අටදාහක් යනු කාලි මුත්තුට ලොකු මුදලක් වූවද දෑත් පණ නැති ඔහු ජීවිකාව ගැට ගසාගන්නේ කෙසේද කියා මා කම්පිතව සිතුවෙමි. කාලි මුත්තු මේ වියසනය ඉදිරියේ ප්‍රත්‍යාවර්තය. ඔහු මට සිනහවකින් සංග්‍රහ කොට යන්නට ගියේය​. 

මා කාලි මුත්තුගේ ජීවිතය බේරාගත් නමුත් මට ඔහුගේ දෑත් බේරනු නොහැකි විය​. ජේෂ්ඨ ශල්‍ය වෛද්‍ය නිලධාරී ෆාහීම් ද , විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිලධාරීද කාලි මුත්තුගේ හානියට පත් වූ දෑත් යථා තත්වයට ගෙන ඒමට උත්සහ කල මුත් එය සාර්ථක වූයේ නැත​.  

 මේ සිදුවීම වී මේ වන විට වසර විසි දෙකක් ගතවී තිබේ. කාලි මුත්තු තවමත් ජීවතුන් අතර සිටින බව මගේ සිත කියයි. රත්තොට ප්‍රදේශයේ වතු පීරා කාලි මුත්තුව සොයා ගත හැකි නම් ? ඔහුගේ අත් දෙක යන්තමින් හෝ වැඩ කරනවා නම් හොඳය​. නැතහොත් ඔහු මිය යන තුරු අනුන්ට අතපා ජීවත් වනු ඇත​.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

47 ulasan:

  1. කාලි මුත්තු ලා වගේ අය අනුන්ට අතපානව අඩුයි
    එයාල ඕන දේකට ඕන විදියකට ඔරොත්තු දෙන ජාතිය
    මොකක් හරි කරල ජීවිතේ ගැටගහගනනව අැති

    BalasPadam
    Balasan
    1. ඔවුන් ගේ දරාගැනීම් ස්වභාවය විශාලයි ඒත් .............

      Padam
  2. මහා නවකතාවක් කියෙව්වා වගෙයි. හැබෑට මේ සියළු කාරණා සංශිප්ත කොට ඉදිරිපත් කරන ඔබගේ මේ ශෛලියටයි මා වඩාත් කැමති..

    ඩොක්ටර්ට ඕන නං අපි හොයමු මුත්තුව..

    BalasPadam
    Balasan
    1. මාතලේ දිස්ත්‍රික්කයේ වත්තක ජීවත් වෙන අත් දෙක පණ නැති කැපුම් සහිත කාලි මුත්තු යලි සොයා ගත හැකි නම් ?

      Padam
  3. වෛද්‍යවරුන්ගෙ සේවය ට නිසි ඇගයීමක් ලැබෙනවද කියන සැකය මට කවදත් තිබුන. ඒකයි අඩුතරමින් ලක්ෂ 2 ක වත් මූලික වැටුපක් දිය යුතුයි කියල දවසක් කොමෙන්ට් එකක දැම්මෙ. බුද්ධිගලනය වලක්වා ගැනීමත් එහි එක් අරමුනක් වුනා.
    අත් දෙක නැතිව මුලු ජීවිත කලයම අනුන්ට අත පපා ජීවත් වෙන්න වෙනවනම් ජීවිතේ බේරුන එකෙනුත් එහෙමට පලක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

    BalasPadam
    Balasan
    1. ලෙඩ්ඩුන්ගෙ කරදර තමන්ගේ කරදර කරගන්නා මේ වගේ දොස්තරලට ලක්ශ 2 ක් නෙමෙයි ලක්ශ 20 ක් ගෙව්වත් කමක් නැහැ.

      Padam
    2. එකෙන්ම...කරුමේ කියන්නේ ඒ වගේ දොස්තරලා අද ජීවත්වෙන්නේ පිටරට!

      Padam
    3. ඔබලාගේ කාරුනික වදන් වලට මම සිරස නමා ආචාරය කරමි. මම පරමාදර්ශී වෛද්‍යවරයෙකු, පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එදා මා කලේ මගේ ඩියුටියයි.

      Padam
    4. ඩියුටිය හොඳින් කරපු එකනේ අගය කරන්න ඕනේ.

      Padam
  4. ජීවිතේ අමාරු ඇති.
    නමුත් මේ මිනිස්සු එයාලගෙ අමාරුව, බලං ඉඳලත් අමාරු වෙන අපිට තරම්වත් ගනං ගන්නෙ නෑ. ජීවිතේ සිද්ධවෙන අනන්තවත් සිදුවීම්වලින් එකක් විතරයි ඒ සිද්ධියත්.

    BalasPadam
    Balasan
    1. ඒකෙත් ඇත්තක් තියනවා

      Padam
  5. තමංව මරන්න ආපු මිනිහත් එක්ක රුපියල් අටදාහකට සමාදාන වෙනව කියන එකත් අදහන්න බැරි දෙයක්.
    මොනව උනත් මනුස්සයගෙ ජීවිතේ හරි බේරගත්ත එක වටිනව.

    BalasPadam
    Balasan
    1. ඒ කාලේ රුපියල් 8000 අද ලක්‍ෂ 1- 1/2 වගේ ඒත් හානිය ඊට වැඩී

      Padam
    2. රුපියල් 35000ට වකුගඩු විකුණන්නෙ අද කාලෙ.. ඔව්ව මොනවද..?

      Padam
  6. මේ මිනිස්සු පුදුම දුක් කන්දරාවක් විඳින මිනිස්සු මේ වගේ දේවල් ඔවුන් අනන්තවත් අත්දකිනවා . මට මතකයි එක සැරයක් උඩුවර එස්ටේට් එකේ ගෑනු කෙනෙක් ,තමුන්ගේ මනුස්සයව මරලා බෙල්ල කපලා පොලිතින් එකක ඔතලා පොහොර බෑග් එකක දාගෙන බදුල්ල පොලිසියට අරං ආවා . කිලෝමීටර් හයක් බස් එකෙත් ඇවිත් තමා මේ ගෙනාවේ . එක මෙසේ උද තිබ්බම පොලිස් කාරයා කලන්තේ දාලා වැටුනලු

    BalasPadam
  7. ඇත්තටම සංවේදී කතාවක්..
    කාලිමුත්තුලා වගේ මිනිස්සු ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්.. එහෙම කෙනෙක්ට මෙහෙම උනාම මොනතරම් ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙන්න ඇතිද??

    වෛද්‍යතුමාගේ කැපවීමනම් කියල වැඩක් නෑ..

    BalasPadam
    Balasan
    1. කාරුනික වදන් වලට මම සිරස නමා ආචාරය කරමි. මම පරමාදර්ශී වෛද්‍යවරයෙකු, පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එදා මා කලේ මගේ ඩියුටියයි.

      Padam
  8. වතු කම්කරුවන් ගැන කිසිදු අත්දැකීමක් මට නැහැ.නමුත් අසා කියවා තිබෙනා හැටියට ඒ මිනිසුන් මහත් දුක්ඛිත ජිවිත ගත කරන්නේ.වතුකම්කරුවා උකසට තබා හාම්පුතුන් සහා වතු සමිති නායකයෝ සහා දේශපාලකයෝ වැජබෙනවා.

    BalasPadam
  9. salute you sir !!!!!!!!!!!!!

    BalasPadam
  10. ආචාර වේවා ජීවකතුමනි !!!

    BalasPadam
  11. කෑලි මුත්තු ඒ පෙම්වතියවම බැන්දා නම් අළුත් මස්සිනාට කළ පව් ගෙවා දමන්න අවශ්තාවක් උදා වෙන්නැති.

    BalasPadam
    Balasan
    1. පෙම්වතියටත් මල්ලී කොටලා තිබුනා ඒත් එවා සුලු තුවාල නමුත් ඇය දිගටම ඔහුව බලන්න ආවා , දෙන්නා තාම එකට ඉන්නවා නම් කාලි මුත්තුට එය උදව්වක්

      Padam
  12. Very inspiring.
    Btw, you didn't get any award in Nelum yaya ceremony? Just wondering.

    BalasPadam
    Balasan
    1. I am not interested in awards , write for my readers and for my satisfaction

      Padam
    2. True. But I think there's just a handful who write on the range of topics that you cover.

      Padam
  13. Replies

    ඉයන්April 28, 2016 at 1:31 AM
    ලෙඩ්ඩුන්ගෙ කරදර තමන්ගේ කරදර කරගන්නා මේ වගේ දොස්තරලට ලක්ශ 2 ක් නෙමෙයි ලක්ශ 20 ක් ගෙව්වත් කමක් නැහැ.


    Udaya DissanayakeApril 28, 2016 at 8:14 AM
    එකෙන්ම...කරුමේ කියන්නේ ඒ වගේ දොස්තරලා අද ජීවත්වෙන්නේ පිටරට!
    ---------------------------------------------------------------
    100% Agreed.....!!!!

    BalasPadam
    Balasan
    1. ෆවාස් සහෝදරයා එදා මා කලේ මගේ ඩියුටියයි

      Padam
  14. වතුකරයේ ද්‍රවිඩ ජනතාව ගැන මා දන්නා දේ මෙහෙමයි.

    1. ඔවුන් නොකඩවාම ඉතා අවාසනාවන්ත ලෙස දේශපාලකයන්ගේ නොමග යැවීම් වලට ලක්වෙනවා. ඔවුන් හැමදාමත් රැවටීමට ලක්වෙනවා. එය රටේ අනෙක් ජනතාව රැවටීමට ලක්වීමට සාපෙක්ෂව වඩාත් බරපතලයි.

    2. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉතා පහලයි. පාසල් යන දරුවන්ගෙන් 1% ක් වත්, උසස් අධ්‍යාපනයට යොමුවනවාද යන්න සැක සහිතයි. හැකි ඉක්මනින් වත්තේ රස්සාවකට යන්නත්, හැකිතරම් ඉක්මනින් විවාහ වෙන්නත් තමයි බහුතරයක් තරුණ පරපුර පෙරුම් පුරන්නේ.

    3. නීතිය ගැන ඔවුන්ගේ දැනුම ඉතා දුර්වලයි. 'තලෙයිවර්' නමින් හඳුන්වන ග්‍රාමීය නායකයන්, නීතිය ලෙස අර්ථකථනය කරන දේ තමයි ඔවුන් විශ්වාසකරන්නේ.

    4. සෑහෙන පිරිසක් ඉතිරිකිරීමට යොමුවී තිබෙනවා. ස්වර්ණාභරණ මිලදී ගැනීම ඔවුන්ගේ ඉතිරි කිරීමේ එක මාර්ගයක්. නමුත් අලුත් අවුරුද්ද වෙනුවෙන් සහ කෝවිල් වල පැවැත්වෙන උත්සව වෙනුවෙන් අසීමිතව වියදම් කරනවා. මුදල් කළමනාකරණය ඉතා දුර්වලයි.

    5. මොවුන්ගේ දියුණුවට අකුල් හෙලන්නෙත් දේශපාලුවෝ.

    BalasPadam
    Balasan
    1. ඔවුන් තමන්ට ලැබෙන සුළු පඩියෙන් හරියට බොනවා. උපදෙස් දීලා අඩු කල යුතු දෙයක්.

      Padam
    2. බීමත්කමත් ජීවිත අංගයක් වෙලා

      Padam
  15. සෞඛ්‍ය සේවයටත් දොස්තරවරුන්ටත් ස්තූතිවෙන්න ලෙඩා ගොඩ එයි. ඒත් එතනින් එහාට පස්සේ තමයි මලානම් හොඳයි හිතෙන්නේ. අපේ රටේ ආබාධිතයාගේ ඉරණම තවමත් ඔහොමයි මගේ හිතේ. ඒ ජාතික ප්‍රශ්නයක් කියලා තාම කවුරුත් හිතලා නැහැ,

    මේ වෙනස් ආබාධිතයෙක්.

    BalasPadam
    Balasan
    1. Rehabilitation අපේ රටේ තාම වර්ධනය වෙලා නෑ

      Padam
  16. සමහර විට අපි කොයි තරම් බලාපොරොත්තු වුනත් අපිට සුභදායක ලෙස විසඳන්න පුළුවන් කොයි තරම් අඩු ප්‍රශ්න ප්‍රමාණයක් ද? රිසසිටේට් කරපු කී දෙනෙක්ව දාන්න අයි සී යූ ඇඳන් නැතිව ඒ ප්‍රශ්න නිසා අපි බැනුම් ඇහුවද ? අදත් පී බී යූ බෙඩ් එකක් හොයන්න කොයි තරම් වෙහෙසක් ගන්න වෙනවාද කොළඹ තියෙන ප්‍රධාන රෝහල් වල නැත්නම් ! මේ සටහන් අපූරුයි වෛද්‍යතුමනි !

    BalasPadam
    Balasan
    1. ඔබ කියන දේ ඇත්ත සමහර විට රෝගීන් නිසා අපි අන් අය සමග කොපමණ ගැටී තිබෙනවාද ? ඉස්සර හදිසි සීසර් අරගෙන එන විට සර්ජන් බනින්නේ මට.

      Padam
  17. වතුකම්කරුවන්ගේ ජීවිත පිළිබඳව මගෙත් පළමෝත අත්දැකීම් තියෙනවා වරක් ගම්පොළ-නුවර එළිය මාර්ගය ඉදිකල සමාගමේ සේවය කල සමයේදි.

    ඔවුන් තරම් දුක් විඳින ජන කොටසක් තවත් නෑ කියල අපි හිතුවට බොහොම සරළව හෙට ගැන නොසිතා ජීවත්වන ඔවුන් ඒ ජීවිතයෙන් මිදිය යුතුයැයි කිසිවිටක හිතන්නෙ නැහැ. එහෙම හිතුවත් ඒ ඉතාම සුළු දෙනෙක්.

    BalasPadam
    Balasan
    1. අසරණකම ජීවිතයට බද්ධ වෙලා

      Padam
  18. මානුශිකව සේවය කළ,කරන ඔබට ආචාරය..!
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස් එදා මා කලේ මගේ ඩියුටියයි.

      Padam
  19. කාලෙකින් ඔබව කියෙව්වා . අපේ රටේ ජීවකයන්ගේ රස්නයට ඇස් ගිනි කන වැටෙන මොහොතක ඔබ වැනි අයගේ සේවය අහිමිවූවන් ගැන මහා දුකක් දැනෙනවා.

    BalasPadam
    Balasan
    1. අධිකාරී මහත්මිය අළුත් පරපුරෙත් තම ඩියුටිය කරන වෛද්‍යවරු ඉන්නවා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook