Isnin, 28 Mac 2016

යුද ආතතියේ දෝංකාරය​




මුලතිව් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තුවාල ලත් සෙබලුන් ගෙන ඒම 


යුද හමුදා රෝහලේදී යුද ආතතියට ලක් වූ සොල්දාදුවන් නිලධාරීන් රැසක් සොයා ගැනීමටත් ඔවුනට ප්‍රතිකාර කිරීමටත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුටත් මටත්  හැකි විය​. සමහර සොල්දාදුවන් සහ නිලධාරීන් ගේ රෝගී තත්වය ඉතා දීර්ඝ  කාලයක් පුරා වර්ධනයව තිබුනද ඔවුන්ව මනෝ ප්‍රතිකාර සඳහා යොමු කොට තිබුනේ නැත​. මට එක් උදාහරණයක් මතක් වේ. 

ගැමුණු හේවා බලකායේ සෙබලෙකු 1997 වසරේදී මන්නාරමේදී සේවය කරමින් සිටියේය​. ඔහු වරක් අනෙකුත් සෙබලුන් සමග බසයකින් ගමන් කරමින් සිටියදී එම බසය බිම්  බෝම්බයකට අසු විය​. ඔහු එම අවස්ථාවේදී සුළු තුවාල ලැබුවද බිම් බෝම්බය නිසා මිය ගිය මිතුරන් ගේ සිරුරු දැකීමෙන් කම්පනයට පත් විය​. එහෙත් එම අවස්ථාවේදීවත් පසුව   හෝ මෙම  බිහිසුණු සිදුවීම නිසා ඔහුට උපදේශන හෝ මනෝ ප්‍රතිකාර නොලැබුනේය​. මෙම සිදුවීම නිසා සසලවූ මනසින් ඔහු දිගටම ක්‍රියාන්විත සේවයේ නිරත විය​. 

මාස පහක් පමණ යන විට ඔහු කෙරෙන් පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයේ (PTSD) ලක්‍ෂණ මතු විය​. එහෙත් ඔහුට කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණි. ඔහුට මනෝ විද්‍යාත්මක රෝගී ලක්‍ෂණ වලට අමතරව තද හිසරදය , හන්දි රුදාව ඇති විය​. මේ නිසා ඔහුට සැහැල්ලු රාජකාරී යැයි කියමින් මිය ගිය සොල්දාදුවන් ගේ අවමංගල උත්සව වලට සහභාගි වීමට නියම කෙරුණි. මින් ඔහුගේ පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථාවයේ ලක්‍ෂණ තව දුරටත් උත්සන්න විය​. මේ නිසා ඔහු යුද හමුදාවෙන් පැන ගියේය​. එහෙත් ඔහුට සිවිල් රැකියාවක් සොයා ගැනීමට අපහසු විය​. යළිත් ඔහු හමුදාවට භාර විය​. 

පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයේ ලක්‍ෂණ යටපත් කිරීම සඳහා ඔහු මේ කාලයේ තදින් මත් පැන් පානය කලේය​. රාත්‍රී නින්ද අඩු වීම , රාත්‍රී නින්දේ බියවීම අවම කරනු වස් ඔහු මත් පැන් බී නිදාගත්තේය​. මේ නිසා ඔහුගේ කායික මානසික රෝගී තත්වය තවත් උත්සන්න විය​. ඔහු කිහිප වතාවක් බංකරයේදී වෙඩි තබා ගැනීමට ගිය මුත් මිතුරන් විසින් එය වලකන ලද්දේය​. අවසානයේදී 2004 වසරේදී සුනාමි වියසනයේ දී මාතර රෝහලේ ගොඩ ගසා තිබූ මෘත ශරීර දැකීමෙන් ඔහුගේ රෝගී තත්වය දැඩි ලෙස උත්සන්න වූ අතර අවසානයේදී ඔහුව යුද හමුදා රෝහලේ මනෝ විද්‍යා ප්‍රතිකාර ඒකකයට යොමු කරන ලදි. එහිදී ඔහු තුල තිබූ සංකූලතා සහිත පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව (Complex PTSD) අප හඳුනා ගත්තෙමු. 1997 දී පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව මතු වූ ඔහුට නිසි ප්‍රතිකාර ලැබුනේ 2004 දීය​. මේ කාල සීමාව පුරා ඔහුත් ඔහුගේ දරු පවුලත් ජීවත් වූයේ අපායකය​. එසේම ඔහුගෙන් එලදායී සේවයක් ද හමුදාවට ලැබී තිබුනේ නැත​. මේ පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව වැළඳුනු එක් සොල්දාදුවෙකුගේ කතා පුවතය​. මෙවැනි තත්වයන් රැසක් අප සොල්දාදුවන් අතරින් නිරීක්‍ෂන කලෙමු. 

පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව නිසා සොල්දාදුවන් තුල බිය, තිගැස්ම , අනිසි කෝපය , නුරුස්නා බව ,විශාදය ඇතිවේ. එසේම ක්‍රියාන්විත මඟ හැරීමට ඔවුනට අවශ්‍ය කෙරේ. මෙවැනි කොටස් වලට මනෝ ප්‍රතිකාර ලබා දී යළි ප්‍රකෘති කිරීම වෙනුවට ලැබී තිබුනේ දඞුවම් වෙති. මේ නිසා පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවයට ලක් වූ සොල්දාදුවන් රැසක් හමුදාවෙන් පළා ගොස් විවිධ ප්‍රචණ්ඩ කිර්‍යා වල යෙදුනහ​. එසේම තවත් කොටසක් බංකර වලදී වෙඩි තබාගෙන දිවි තොර කර ගත්හ​. ඊලාම් යුද්දය පුරා සොල්දාදුවෝ රැසක් බංකර වලදී දිවි නසාගෙන තිබේ. මොවුන් ගේ ක්ලමථ ලක්‍ෂණ මුල් කාලයේදී හඳුනාගෙන උපදේශනය ලබා දුන්නේ නම් මේ ජීවිත බේරා ගැනීමට හැකිව තිබුණි. 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා සහ මම යුද හමුදාව තුල පැතිරී යන පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව පිළිබඳව අධ්‍යනය කරන විට සමහර උසස් නිලධාරීන් මෙන්ම සමහර විශේෂඥ මනෝ වෛද්‍යවරු පවා අපට සිනාසුනහ​. එක් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු පැවසුවේ පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාව ඇමරිකානු රෝගයත් බවත් ලංකාවේ පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථාව නොමැති බවත් ය​. එහෙත් අප මේ අවලාද නොතකා අපගේ අධ්‍යනය සහ රෝගී ප්‍රතිකාරය කරගෙන ගියෙමු. 

අප විසින් 2002 -2006 අතර කාලයේදී සොල්දාදුවන් සහ නිලධාරීන් 823 දෙනෙකු මනෝ විද්‍යාත්මක තුලනීක්‍ෂණයට ලක් කරන ලද අතර ඔවුන් අතරින් 56 දෙනෙකු පශ්චාත් ව්‍යසන  ක්ලමථ අක්‍රමථාවට ලක් වී ඇති බව සොයා ගතිමු. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත් විසින් කරන ලද පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා අධ්‍යනයට ලංකාවෙන් එතරම් ප්‍රතිචාරයක් නොලැබුනද ඇමරිකාව , එංගලන්තය , කැනඩාව​, ඕස්ටෙ‍්‍රලියාව , ඩෙන්මාර්කය යන රටවල මනෝ චිකිත්සකයෝ ඊට ධනාත්මක ප්‍රතිචාර දැක්වූහ​. බටහිර ලෝකයේ මනෝ විද්‍යා පරියේෂණ ලිපි සමහරක  මෙම අධ්‍යනය ගැන සඳහන් කොට තිබේ. මෙම අධ්‍යනයේදී ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ​, ජෙනරාල්  වෛද්‍ය ඩඩ්ලි පෙරේරා, වෛද්‍ය කර්නල් සුනිල් සෝමවීර ,මනෝ විද්‍යාඥ පද්මාල් ද සිල්වා , මනෝ වෛද්‍ය සරත් පඞුවාවල , මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා  යන මහතුන් විසින් දෙන ලද සහාය අප අගය කලෙමු. එසේම යුද හමුදා රෝහලේ විශේෂඥ කායික වෛද්‍ය එන් . කේ ආරියරත්න මිය , විශේෂඥ කායික වෛද්‍ය මොරීන් විජේවර්ධන  මිය , විශේෂඥ ශල්‍ය  වෛද්‍ය එස් එස් ජයරත්න , විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න, විශේෂඥ වෛද්‍ය එම් මුතුමාල යන  විශේෂඥ වෛද්‍යවරු රෝගීන් අප වෙත යොමු කිරීමෙන් ද දිරිමත් කිරීමෙන් ද අපට සහාය වූහ​.

පශ්චාත් ව්‍යසන   ක්ලමථ අක්‍රමථාවට ලක් වූ නිලධාරීන් කිහිප දෙනෙකුද අප හඳුනා ගත්තෙමු. මින් එක් නිලධාරියෙක් බලවේග යුද මෙහෙයුමේදී යුද ක්ලමථයකට ලක් විය . නමුත් ඔහු එය යටපත් කරමින් දිගින් දිගටම ක්‍රියාන්විතයේ යෙදුනේය​. ඉන් වසර කිහිපයකට පසුව මෙම රෝගී තත්වය ඔහුට දරා ගත නොහැකිව ඔහු අධි තීව්‍ර ක්ලමථ වික්‍රියාවකට (acute stress reaction)  ලක් වූයෙන් අප වෙත යොමු කරන ලදි. එහෙත් ඔහු තමන්ට යුද ආතතියේ ලක්‍ෂණ තිබේ යන්න පිළිගැනීමට අකමැති විය . එසේම සමහර රෝග ලක්‍ෂණ අපගෙන් සැඟවීය​.  අධි තීව්‍ර ක්ලමථ වික්‍රියාව හටගත් මොහොතේ ඔහු ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දුටු බව ඔහුට කියවුනේය​. මෙය පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා ප්‍රතිජ්වලනයක් (flashback) බව මම වටහා ගත්තෙමි. එහෙත් තම රෝගී තත්වය පිළිගැනීමට අකමැති වූ ඔහු අප විසින් නියම කල ප්‍රතිකාරද ප්‍රතික්ශේප කලේය​. ඉන් මාස හයකට පසුව යළිත්  පශ්චාත් වියන ක්ලමථ අක්‍රමථා අධි තීව්‍ර  වික්‍රියාවකට ලක් වූයෙන් ඔහුගේ අත් පා ගැට ගසා පලාලි වල සිට අපගේ ප්‍රතිකාර ඒකකයට එවන ලදි. 

යුද ආතතිය නිසා හටගත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය පමණක් නොව සංග්‍රාම විඩාව (Combat Stress) ​, යුද ආතතිය නිසා හටගත් විශාදිය(Depression)  , මනෝ කායික රෝගාබාධ (Somatoform Disorders)  , විඝටන රෝග (Dissociative Disorders)  , මනෝව්‍යාධික (psychotic illnesses)  රෝග ආදියෙන් පෙලුනු සොල්දාදුවන්ට අප ප්‍රතිකාර කලෙමු. මෙම රෝගී අධ්‍යනයන් ගැන මා විසින් ලියන ලද සංග්‍රාමයෙන් පසු (සරසවි ප්‍රකාශකයෝ) කෘතියේ දැක්වේ. එසේම දිවි නසා ගැනීමට යොමුව සිටි සොල්දාදුවන් රැසකගේ ජීවිත අප බේරාගතිමු. 
එසේම 2004 වසරේ සුනාමි ව්‍යසනය නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයට ගොදුරුවූ සොල්දාදුවන්ට අප සාර්ථකව ප්‍රතිකාර කලෙමු. ඊට එක් හේතුවක් නම් 2004 පමණ වන විට යුද හමුදා රෝහල් වල සේවය කල වෛද්‍යවරුන්ට පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය ගැන අවබෝධයක් තිබීමයි. එම නිසා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථා ලක්‍ෂණ පෙන්වූ සොල්දාදුවන් බොහෝ දෙනෙකු ප්‍රමාදයකින් තොරව අපගේ ඒකකයට එවන ලදි.  මේ සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් ලංකාවේ විවිධ හමුදා කඳවුරු වල මෙන්ම උතුරුකරයේ හමුදා කඳවුරුවලත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවයට යුද ආතතිය ගැන කරන ලද දැනුවත් කිරීම් ඉවහල් වූ බව සිතමි. 

යුද හමුදාවේ සොල්දාදුවන් සහ නිලධාරීන් අතර තිබූ යුද ආතතියට ප්‍රතිකාර කිරීම නිසා අපට ලැබුණු තෑග්ග කුමක් ද කියා යමෙකු අසනු ඇත​. සිදු වූයේ අහේතුවකි. දිනෙන් දින ජනප්‍රිය වන මෙම ඒකකයේ සාර්ථකතාව නොඉවසූ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම ඉහට ගැසූ යුද හමුදා රෝහලේ එක්තරා අණ දෙන නිලධාරියෙකු විසින් මෙකී ප්‍රතිකාර ඒකකයට බොහෝ බාධා පමුණුවා අවසානයේදී එය වසා දමන ලදි. යුද හමුදාවෙන් යාන වාහන බඩියන් ඇතුළු සියළු සැප පහසුකම් ලබා ගන්නා නිලධාරියෙකු ක්‍ෂිතිමය යුද ආතතියට ලක්වූ ගම් වලින් පැමිණි දුප්පත් සොල්දාදුවන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වසා දමා කුරිරු සතුටක් ලබා ගත්තේ එසේය. නමුත් සායනික අත්දැකීම් බහුල අන්තර්ජාතික අවධානයට ලක්වූ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු වැන්නෙකුගේ සේවය යුද හමුදාවට අහිමි කිරීම සමස්ථ යුද හමුදාවටම කල ද්‍රෝහී කමක් බව මම කියමි. කෙසේ නමුත් අප විසින් ප්‍රතිකාර කොට සුවපත් කරන ලද සොල්දාදුවන් පිළිබඳ සිහිපත් වන විට විශාල සතුටක් දැනේ. එසේම පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය ගැන අප විසින් කරන ලද දැණුවත් කිරීම යුද හමුදාව තුල තිබේ. එසේම   වර්තමානයේදී බොහෝ නිලධාරීන්  තම ඒකක වල සොල්දාදුවන් විසින් පෙන්වන ක්ලමථ ලක්‍ෂණ කෙරෙහි පරීක්‍ෂාකාරීය​. එයද අප ලැබූ ජයග්‍රහණයකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

29 ulasan:

  1. ඔබ මේ කර ඇති සේවාව වචනවලින් අගය කිරීම අපහසු කාර්‍යයක්. අපට කල ඇකි දේ එයට සීමා වන බැවින් එය පමණක් වත් කරමි. ඔබ රටට ණය නැත.

    BalasPadam
    Balasan
    1. //ඔබ රටට ණය නැත//
      ++++++++++++++++++++++++++++

      Padam
    2. ඉයන් සහ ගස් මම කලේ මගේ ඩියුටියයි. එය අගය කිරීම ගැන තුති

      Padam
  2. ඩොක්ටර්
    ස්කයිප්, වයිබර් හරහා ඔබගෙන් උපදෙස් ලබාගත හැකියාවක් තිබේද?
    තිබේනම් කරුණාකර ඊමේල් ලිපිනය කියන්න.

    BalasPadam
  3. නිළධාරී වාදය වගේම ඔබ ඔය කියන රෝග ලක්ෂණ(පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමථාවය නොවේ) යුද්ධ හමුදාවේ බරපතලවම තියෙනව. මේ දවස් වල බරපතලම ඒත් බෙහෙත් ගන්න අකමැති සත්තුන්නෙ නම් කියන්න අකමැති කෙනෙක් ඉන්නව ඔය ලෙඩෙන් දරුණුවටම පීඩා විඳින.
    ඇත්තටම අර යුනිට් එක වැහැව්ව එක නං අමුම අමු මුග්ධ කමක්

    BalasPadam
    Balasan
    1. යුනිට් එක වැහැව්ව එක නං අමුම අමු මුග්ධ කමක්. 2009 සිට මේ දක්වා සොල්දාදුවන් 400 අධික ප්‍රමානයක් දිවි නසාගෙන තිබේ. මේ ජිවිත වලට අර මුග්ධ නිලධාරියා වග කියනවද ?

      Padam
  4. මේ අත්දැකීම් සහිත ඔබ ගැන අපිට ආඩම්බරයි...... ජයවේවා

    BalasPadam
  5. නොඉවසූ ඉරිසියාව , කුහකකම සහ මෝඩකම ඉහට ගැසූ යුද හමුදා එක්තරා අණ දෙන නිලධාරියෙකු කියලා ලොකුවට කියන්නේ
    අහ වලා ගැන නේද අපි දන්නවා එයාගෙ වැඩ කොහේ ගියත් ගැහැණු ළඟ සිට වීර කම්පා ඇක්ට කරන පොරණේ .

    BalasPadam
    Balasan
    1. මෙය හමුදා රෝහලේ සිටි බ්‍රිගේඩියර්වරයකුගේ වැඩක් බවයි අහන්නට ලැබුනේ.

      Padam
  6. ජෙනරාල් (විශේෂඥ වෛද්‍ය) සංජීව මුණසිංහ විසින් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ගැන ලියූ ලිපියක්.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=92410

    ඔහු වෛද්‍යවරයෙකු හා ගුරුවරයෙකු ලෙස ඉතාමත් දැඩි, මහන්සි වී වැඩ කරන පුද්ගලයෙක් ලෙසයි කියවෙන්නේ.

    ඇත්තටම බුද්ධාගම හා ලංකාවේ දැනට නැගලා යන "ලිබරල් මානුසිකවාදී" මතත් එක්ක මෙවැනි රෝග වැඩි උනොත් එය පුදුමයක් නොවේ.

    BalasPadam
    Balasan
    1. විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ගේ සේවය යුද හමුදාවට අහිමි කිරීම සමස්ථ යුද හමුදාවටම කල ද්‍රෝහී කමක්

      Padam
  7. මුලතිව් හමුදා කඳවුර නැවත අත්පත් කරගැනීමට උත්සාහ කිරීමේදී, මගේ සහෝදරයා බරපතල තුවාල ලැබුවා. ඔහු අනුරාධපුර රෝහල වෙත ගුවනින් රැගෙන විත් ඇතුළු කලෙත්, මට නිල උසස්වීමක් ලැබුනේත් එකම දවසේ. අලුත් නිල ලාංඡන හැඳ, මා පළමුවෙන්ම ගියේ, ඔහුව බලන්නයි. අපි කඳුළු මුසු දෙනෙතින් එකිනෙකා වැළඳගත්තා.

    BalasPadam
  8. ඔබ ඔබේ සේවය නිසි පරිදි ඉටු කර තිබෙනවා.එය සතුටක්.නමුත් අපේ රටවල් වල තියෙන සමහර කුහක,පටු ආකල්ප නිසා වැඩක් කරන මිනිසුන්ගෙන් වැඩක් ගන්න නොහැකි වීම අවාසනාවක්.

    BalasPadam
    Balasan
    1. එය අපේ ජාතික ගතියක් ද කොහෙද

      Padam
  9. වැළපෙන්න තහනම් කර තිබීම නිසා දෙමළ මිනිසුන් ආතතියට පත්වෙලා තියෙනවා බොහොම බරපතල විදියට...
    මට වරක් අවතැන් කඳවුරක හමුවුණා බොහොම ලස්සන තරුණියක්. ඇය කලුවර කාමරයකින් එළියට එන්නෙ නෑ යුද්ධයෙන් කම්පනයෙන් පත්වෙලා අම්මා ඇ වෙන කෙනෙක් ලඟට ආවොත් ඇය බය වෙලා කෑගහනවා

    BalasPadam
    Balasan
    1. ඔවුන්ට ප්‍රතිකාර අවශ්‍යයි

      Padam
  10. ඩොක්.. මේක මෙහෙම කියන එක හරිද මන්දා.. ඒත්.., අදාල නිලධාරීන් නම් සහිතව හෙලිදරව් කලේ නම් වටිනවා.මොකද ඔවුන් දිගින් දිගටම බැටළු හම් පොරවාගෙන සැබෑ රණවිරුවන්ව තලා පෙලා දමන නිසා.
    අගනා මෙහෙයක් ඉටුකොට පමණක් නොවේ ඒ ගැන නැවත ලියා දැක්වීමෙන් තවත් අයවලුන්න්වත් ඒ කරා යොමු කරන ඔබ ඇත්තටම රටට ණය නෑ..
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ඔහුට කවදා හරි මේ කල වැඩයට වග කියන්න වේවි හෘධ සාක්ශියට හෝ

      Padam
  11. //යුද හමුදා රෝහලේ විශේෂඥ කායික වෛද්‍ය එන් . කේ ආරියරත්න මිය , විශේෂඥ කායික වෛද්‍ය මොරීන් විජේවර්ධන මිය , විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න , විශේෂඥ ශල්‍ය වෛද්‍ය තිස්ස විජේරත්න, විශේෂඥ වෛද්‍ය එම් මුතුමාල යන විශේෂඥ වෛද්‍යවරු//

    මේ අයටත් හමුදා නිළ පත්වීම් තියනවා නේද? උදාහරණ:- විශේෂඥ කායික වෛද්‍ය එන් . කේ ආරියරත්න මිය = බ්‍රිගේඩියර්

    BalasPadam
  12. කියන්න වචන නැ ++++++++++++++++

    BalasPadam
  13. මේක තමා ලංකාවේ තත්වය. හමුදාවේ විතරක් නෙවේ මොන සේවයේත්. අසනීපයක් උනහම හරි ප්‍රතිකර්මයක් කරන්නේ නෑ. අන්තිමට එයාගෙන් වෙන සේවයකුත් නෑ, වෙන්න පුළුවන් ලොකු අනතුරකුත් හැදෙනවා.

    BalasPadam
  14. රෙස්පෙක්ට්! ඔය වැඩ බැරි සීනියර් දාසලාගේ ඉරිසියාවට මාත් සෑහෙන්න අහු වෙලා තියෙනවා.. :(

    ට්‍රාන්සිල්වේනියාව පැත්තේ ගොඩ උනේ සැහෙන දවසකින්.. ෆුල් බිසී.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook