Khamis, 10 Mac 2016

ග්‍රාමීය රෝහලකදී




රිංගෝ සමග කොලොන්ගොඩ වැවේ ඔරු පදින මා 



මුල් පත්වීම ගෙන ස්ථාන භාර වෛද්‍ය නිලධාරී ලෙස කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට පැමිණි මා හට   විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු විය​. කොලොන්ගොඩ යනු  මිනිපේ දිස්ත්‍රික්කයේ තිබූ නොදියුණු ගමකි. රෝහල ගරා වැටී තිබේ. දුරකථන පහසුකම් නැත​. පිරිසිදු වතුර නැත​. බෙහෙත් හිඟය​. හරි හමන් කඩයක් හෝටලයක් නැත​. පාරවල් චන්ද්‍රයාගේ ආවාට වැනිය​. 

මගේ සමහර සමකාලීනයන් දුෂ්කර සේවය මග හැර සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මාර්ගයෙන් කොලඹ මහනුවර වැනි  නගර වල රෝහල් වලට මාරුවීම් ලබා ගත්හ. විශ්ව විද්‍යාලවල අම්මා , තාත්තා , බාප්පා , නැන්දා පුංචි අම්මා ආදී ඥාතීන් සිටි කොටස් විශ්ව විද්‍යාල වලට හේත්තු වූහ​.  මෙවැනි වරප්‍රසාද නොතිබූ මා දුෂ්කර සේවයට සූදානම් වූයෙමි. 

මෙම ගම්මානයේ ඉතා කුඩා කඩයක් තිබුනේය​. වරක් පෑනක් මිලදී ගැනීමට මම එම කඩයට ගියෙමි. මැදි වියේ මුදලාලි මාව සාදරයෙන් පිළිගත් අතර කඩය පුරා තිබෙන දිළිඳුකම මම නිරීක්‍ෂනය කලෙමි. එහි වූ එක් මැස්සක ලොසිංජර අඩංගු වීදුරු බෝතල් කීපයක් විය​. එම කඩයේ තිබූ   එකම බෝල්පොයින්ට් පෑන මම මිලට ගත්තෙමි. යළි රෝහලට පැමිණි මම බෝල්පොයින්ට් පෑනේ කතාව රෝහලේ කම්කරුවෙකුට කීවෙමි. "අපෝ සර් ඕකා ධනපතියා" කියා රෝහල් කම්කරුවා මුදලාලිව හෙලා දැක්කේය​. කොලඹට දිලිඳු කඩ හිමියා ගමේදී ධනපතියන් ලෙස සැලෙකෙන බව මම එදින වටහා ගත්තෙමි. 

මට නිල නිවාසයක් නැත​. පසුව අසීරුවෙන් උළු හෙවිල්ලන ලද නිවසක් කුලියට ගත්තෙමි. එසේම මගේ නිසාන් මාච් දොර දෙකේ මෝටර් රථය මේ ගමේ පාරවල් වලට ඔරොත්තු නොදේ.  පාරවල් සේදී තඩි ගල් මතුවී තිබේ. මේ ගල් වාහනයේ යට වැදී ඔයිල් සම්ප් එක පවා පැලී යා හැකි බැවින් මම කුරුණෑගලට ගොස් යමහා ට්‍රේලර් වර්ගයේ මෝටර් සයිකලයක් මිලදී ගත්තෙමි. 

මගේ බිරිඳ සහ තවමත් දණ ගාන දරුවා කොලඹය. මගේ තනියට සිටියේ රිංගෝ නම් ජර්මානු ශෙපඩ් බල්ලාය​. මම මේ බල්ලා පැටියා කාලයේදී 1994 දී මාතලේ රෝහලේ සේවය කල කාලයේදී  මිලට ගත් අතර ඌ පුරා වසර අටක් මගේ සෙවනැල්ල මෙන් සිට 2002 වසරේ මිය ගියේය​. මමත් රිංගෝත් විවේක අවස්ථා වල ගමේ ඇවිද්දෙමු, ඇළ දොල වල නෑවෙමු. 

බොහෝ වෛද්‍යවරු සේවා කාලයෙන් පසුව (සමහරු සේවා කාලයේත්) පුද්ගලික සේවයේ යෙදෙති. පීපී එකක් හෙවත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එකක් කලේ නම් කාන්සිය මග ඇරෙනු ඇතැයි මගේ මිතුරෙක් කීවෙන් මම කඩ කාමරයක් කුලියට ගෙන  පීපී එකක් පටන් ගත්තෙමි. නමුත් සති කීපයක් යන විට මට පීපී එක එපා විය​. බෙහෙත් ගන්නට එන්නේ අන්ත දුගී ගොවීන් වෙති. සමහරු බෙහෙත් ගැනීම සඳහා වී බුසලක් දෙකක් කඩයකට විකුණා මුදල් ගෙන එති. කුඹුරු නොකැපෙන අහේනි කාලයේ මේ මිනිසුන් කන්නේ මයියොක්කා කොල මළවා  බත් සමග ය. මේ නිසා මට මහා වරදකාරී බවක් දැණුනි.  මේ දුගීන් ගේ රීරි මාංශය හූරා කෑමට මට අවශ්‍ය නොවීය​. 

මාසයක් පමණ ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් එක කොට එය නවතා දමා ඉතිරි බෙහෙත් රෝගීන්ට නොමිලේම දුන්නෙමි. ඉන් පසු මම කොලොන්ගොඩ ග්‍රාමයේ පමණක් නොව මිනිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන කාලයේදීවත් පීපී නොකලෙමි. මම මිනිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විට මට අළුත් නිල නිවාසයක් තිබූ අතර නිල නිවාසයට බෙහෙත් ගැනීමට එන රෝගීන් මම හරවා යැව්වෙමි. මම පුද්ගලික සේවයේ යෙදුනේ කොලඹට පැමිණි පසුවය​. ඒ සති අන්තයේදී පමණි. 

නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු සීමාවසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති. රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්‍ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති.ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්‍රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති.  (වරක් මට මහනුවර සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ තෙන්නකෝන් නම් නිලධාරියෙක් කොලොන්ගොඩ රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට උපකාර කල හැකි බව කීවේය​. නමුත් මම එය එක හෙලා ප්‍රතික්ශේප කලෙමි).

එසේම පීපී වෙනුවෙන් තම සහෝදර වෛද්‍යවරු සමග ගහ මරා ගනිති. වෛද්‍ය චර්‍යා ධර්මයන් කඩ කරමින් අනෙකුත් වෛද්‍යවරු රෝගීන් ඉදිරියේ  හෙලා දකිති. තම රෝහලේ කාර්‍ය මණ්ඩලයේ සේවකයන් යොදවා අනෙක්  වෛද්‍යවරු ගැන අගුණ ප්‍රචාරය කරවති. රෝහල් කාර්‍ය මණ්ඩල භේද කරවති. තම පීපී එකට නොඑන රෝගීන් හරි හැටි නොබලති. ඔවුනට ඇඳන් පවා නොදෙති. මේවා සත්‍ය සහ මම දෑසින් දුටු දේවල් ය​. 

මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ  විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන්  පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය​.    

පී.පී කිරීම නවතා දැමීමෙන් පසු මට මහත් නිදහසක් දැනුනේය​. රෝහලේ සේවය කිරීමෙන් පසු මම බල්ලාත් සමග ගමේ ඇවිදිමි,  මිනිසුන් සමග කතා කරමි. වැව් වල ඔරු පදිමි නාමි. කුඹුරු කොටනවා බලන්නට යමි. එසේම ගම් වදින අලි බැලීමටද යමි. වර්තමානයේ සියළු සැප පහසුකම් සමග පළවන ලෝකයේ ජීවත් වූවද දුරකථන පාරවල් නොතිබූ නොදියුණු ගමක ඒ ගත කල කාලය මම මහත්සේ අගය කරමි. ඊට ඇළුම් කරමි. එකම අපහසුව තිබුනේ සුරතල් වියේ සිටි පුතා ලඟ නොසිටීමයි. එහෙත් මසකට වරක් මම කොලඹ ගියෙමි.  

රෝහලේ වතුර නැති ප්‍රශ්නය නිසා රෝහල් කාර්‍ය මණ්ඩලයටද බොහෝ අපහසුතා ඇති විය​. බොහෝ දෙනෙකු යළි මාරුවක් ගෙන ගියේ වතුර ප්‍රශ්නය නිසාය​. මට පෙර මෙම රෝහලේ සිටි වෛද්‍යවරු වතුර  ප්‍රශ්නය ගැන සෞඛ්‍යය දෙපාර්තමේන්තුවට ලියුම් තොග ගනන් ලියා තිබුනද ඒවා හමස් පෙට්ටියට යන ලදි. සෞඛ්‍යය දෙපාර්තමේන්තුවෙන් මීට පිළියම් නොලැබෙන බව මට පසක් විය​. මේ නිසා ලිඳක් කැපිය යුතු බව මම සිතා ගත්තෙමි. 

රෝහල් කාර්‍ය මණ්ඩලයේ සහ ගම්වාසීන් ගේ සහායෙන් මම රෝහල් භූමියේ ලිඳක් කැපීම ඇරඹුවෙමි.  මුලදී මේ සඳහා අනුග්‍රහයක් ගම් වාසීන් ගෙන් නොලැබුනද පසුව ගම්වාසීන් ලිඳ කැපීම සඳහා ආවා පමණක් නොව ලිඳ කපන්නන්ට තේ වතුර පවා ගෙන ආවේය​. මෙසේ මාස කීපයක් වෙහෙසවී අඩි 29 ක  ලිඳක් අප කැපුවෙමු. එසේම  ලිඳ බැඳීම සඳහා අපට බොහෝ දෙනෙකු උපකාර කලහ​.  බාස්ලා කීප දෙනක් නොමිලේ  තම සේවය ලබා දුන්හ​.  

මෙලෙස වසර ගනනාවක් පුරා කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලට මහත් ප්‍රශ්නයක්ව තිබූ ජල ගැටළුව විසඳීමට අපට හැකි විය​. එහෙත් මෙම ගැටළුව රෝහල් කාර්‍ය මණ්ඩලයේ සහ ගම්වාසීන් ගේ සහායෙන්  විසඳූ බව සෞඛ්‍යය අමාත්‍යාංශය තවමත් නොදන්නවා විය හැකිය​. 

වර්තමානයේ කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ නව වෛද්‍ය නිල නිවාසයක් තිබේ. හොඳ රෝහල් කාර්‍ය මණ්ඩලයක් ද සිටිති. එය සතුට දනවයි. නමුත් එදා අප ජල ගැටළුව නොවිසඳුවේ නම් මෙම වර්තමාන දියුණුව  තවමත් සිහිනයකි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

71 ulasan:

  1. "රින්ගො" කියන නම කොහෙන්ද හොයාගත්තෙ?
    දන්නවද ජපන් වලින් රින්ගො කියන්නෙ ඇපල් වලට.

    BalasPadam
    Balasan
    1. ඒ නම දැම්මේ බීට්ල්ස් ගායක රිංගෝ ස්ටා මතක් වීම​ට

      Padam
    2. http://dogtime.com/dog-names/dog-names-by-theme/1542-beatles-dog-names

      ලෝකෙ තියන අසාධාරණම දෙයක් සමහර ඉබ්බො අවු 100කට වඩා ඉන්නකොට බල්ලෙක් අවු 20ක්වත් ඉන්නෙ නැති එක.
      හැම අවුරුදු 10කට වගේ වරක් පවුලේ සාමාජිකයෙක් මියයනවා.

      Padam
    3. මරණය ජීවිත යතාර්ථයක් වෙලා

      Padam
  2. Nice article. Why did you migrate?

    BalasPadam
    Balasan
    1. no professional prospects in sri lanka ; needed higher education to my son and also to see the world

      Padam
  3. පෞද්ගලික ජීවිතයට වඩා ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබඳව තබන ලද අගනා ඓතිහාසික සටහනක්. අදටත් මෙවැනි දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන ග්‍රාමීය රෝහල් නැතුවාම නොවේ.

    සීමාවාසික සමය අවසන් කොට, දහසක් ජීවිත සිහින, ආර්ථික සිහින මවමින් සිටින, මගේ වෛද්‍ය දියණියට සහ බෑණාට, මේ ලිපිය කියවන්න යයි දැනුම් දෙමි.

    BalasPadam
    Balasan
    1. නවක වෛද්‍යවරුන්ට කියවීමට දීම හොඳයි. මුදල් අවශ්‍යයි නමුත් මුදල් වෙනුවෙන් වෘත්තිය පාවා නොදිය යුතුයි. එයයි මගේ පනිවිඩය

      Padam
    2. මගේ වෛද්‍ය දියණියට සහ බෑණාට, දෙවිසරණයි වැඩිවැඩියෙන් පොල් කඩන්නට තණ්හාව ඇති [නො]වේවා!!!!
      ඒවගේම කයිවාරු ගැසීමෙන් රට හිනස්වන්නේ නැතිවේවා!!!! ඔබලාට නාථ දෙවියන්ගේ පිහිටයි ????

      Padam
    3. ගස්ලබ්බා ද මේ බ්ලොගයේ විශේෂ ලිපි ලිංකු දොස්තර පැටියන්ට යවා ඇත්තෙමි.මේ ලිපියත් යැවිය යුතුමය..

      Padam
    4. තට්ට කණ්නාඩි පොළඟාගේ දුවට මෙන් දෙමළෙකුගේ සරණ යන්න නොලැබේවා

      Padam
    5. මොකද මේ අනවශ්‍ය කතා ?

      Padam
  4. ඔබේ සිත මැනවින් හෙළිදරව් වන ලස්සන කතාවක්. ඒ උනත් මයියොක්කා කොළ මැල්ලුම ගැන කියපු එකට නම් එකඟ වෙන්න අමාරුයි. මයියොක්කා කොළ මැල්ලුම උඩරටට විතරක් සීමාවූ ජනප්‍රිය රසවත් ආහාරයක්. කොල්ලු මාළුවත් ඒවගේ එකක්.

    සමරසේකර

    BalasPadam
    Balasan
    1. මයියොක්කා කොළ මැල්ලුම මිනිපේ මිනිස්සු කනවා අහේනි කාලේ.

      Padam
    2. //මයියොක්කා කොළ මැල්ලුම උඩරටට විතරක් සීමාවූ ජනප්‍රිය රසවත් ආහාරයක්// මෙය විය නොහැකියි. බස්නාහිර පළාතේ මගේ මව ඇතුළු ඥාතීනුත් දකුණු පළාතේ මගේ නැන්දම්මා ඇතුළු ඥාතීනුත් මේ මැල්ලුම රසවත්ව හදනවා.

      Padam
    3. ගෑණු ළමයි ඉන්න ගෙවල් වලින් මැල්ලුම් විශේෂයෙන් මයියොක්ක කොළ මැල්ලුම් කන්න එපා කියලා අළුතෙන් රස්සා වලට පිට පළාත්වලට යන කොලුවන්ට උපදෙස් ලැබෙනවාලු ඈ.. හෙහ් හෙහ් ඒ කියන්නෙ මේක ලංකාව පුරා මිනිස්සු හදන කෑමක්.රසයි.

      Padam
    4. ගෑණු ළමයි ඉන්න ගෙවල් වලින් මැල්ලුම් විශේෂයෙන් මයියොක්ක කොළ මැල්ලුම් කන්න එපා //// Why ?

      Padam
    5. මන්තර ගුරුකම්,ඉනා වගේ දේවල් විශ්වාස කරන උදවිය කියන කතා.

      Padam
    6. මයියොක්කා කොළ මැල්ලුම බස්නාහිර පළාතේ අන්තයේ පිහිටි ගමක් වන අපේ ගමක පිහිටි අපේ ගෙදරද සාදයි...
      රත්නපුරේ පිහිටි මාගේ බිරිඳගේ ගමේද එය සාදයි...

      Padam
    7. I am Muslim from Colombo. We eat මයියොක්කා කොළ මැල්ලුම

      Padam
  5. ආකර්ශනීය ලිවීමේ රටාවක් , මම හිතන්නේ මේක තමයි සාමනය මධ්‍යම පාන්තික මිනිස්සු නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන වෘත්තිකයන් බවට පත්වීමේදී මුහුන දෙන්න වෙන ක්‍රියාවලිය. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ සේවය ලබා දෙන්න නෙවෙයි . ඊළඟ අත්තට පැනගන්න . තමන් එක්ක එකට හිටිය රූමාට වඩා ලොකු කාර එකක් ගන්න , එයාට වඩා ලස්සන සල්ලි තියෙන තැනකින් විවාහයක් කරගන්න, ලොකු ගෙයක් හදන්න . එහෙම ටාගට් තියාගත්තම වෘත්තීය ආචාර ධර්ම අමතක් කරනවා .

    වෛදය ක්ෂේත්‍රයේ එහෙම වගේම ඉංජිනේරු ක්ෂේත්‍රයේත් මේ දේවල් මෙහෙමයි . සයිට් වල සැපයුම් කරුවන්ගෙන් කීයක් හරි ගහ ගන්න, ප්‍රමිතියෙන් තොර දේවල් වලට අනුමැතිය දෙන්න , වැඩබිමට එන සිමෙන්ති ලොරියෙන්, වැලි ලොරියෙන් බාගයක් ගෙදර බාගන්න් වගේ දේවල් අවුට් වෙලා මාස දෙක යනකොට කරපු එවුන් අනන්තවත් හිටිය. මේක තමා අපි අත්දකින කටුක යතාර්ථය .

    ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වය ගන්නකොට පොරොන්දු වෙන ආචාර දහර්ම පද්ධතිය එක වාරයක් වත් කියවපු අය කීදෙනක් ඉනනවද කියන එක ප්‍රශ්නයක් . ඉගෙන ගත්තට මනුස්සයෙක් බිහි වෙන්නේ නෑ . ඒවගේ දේවල් වල හොඳ නරක කියා දෙන්න ගියාම , පිස්සෙක්, මෝඩයෙක් ගානට වැටිච්ච අවස්ථා ඕන තරම් තිබ්බා. හැම දේම පුද්ගලානුබද්ධයි .

    oba විශිෂ්ටයෙක් ඒ වෛදය උපාධිය නිසා නෙවෙයි , කුඩාකල ඉඳන්ම තිබ්බ මනුස්සකම නිසා .

    BalasPadam
    Balasan
    1. ඉවාන් මම සුපිරි මිනිසෙකු නොවෙමි ; මම සාමාන්‍ය මිනිසෙක්මි. සමහර විට වෛද්‍යවරයෙකු ලෙස මගේ අතින් ද වැරදි වී තිබේ. ඒ ගැන මම අද පසුතැවෙමි. සාහිත්‍ය කියවීම මා නිවැරදි කලා

      Padam
    2. "....මම සාමාන්‍ය මිනිසෙක්මි. සමහර විට වෛද්‍යවරයෙකු ලෙස මගේ අතින් ද වැරදි වී තිබේ. ඒ ගැන මම අද පසුතැවෙමි. සාහිත්‍ය කියවීම මා නිවැරදි කලා..."

      Respect! අන්න එහෙමයි නියම මිනිස්සු, අපෙ සිඩ්නි සලුවඩන හිතන් ඉන්නෙ එය සර්ව සම්පුර්ණ කවදවත් වැරද්දක් වෙච්ච නති කෙනෙක් කියලනෙ. රනිල්වගෙ උද්ධච්ච කම ඉහවහල!

      Padam
    3. //"ඉවාන් මම සුපිරි මිනිසෙකු නොවෙමි ; මම සාමාන්‍ය මිනිසෙක්මි."// ඔව් අද අමාරුම දේ සාමාන්‍ය මිනිහෙක් වෙන එක. හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන්න ඕන සාමාන්‍ය මිනිහෙක් වෙන්න . :)

      Padam
    4. //මම සුපිරි මිනිසෙකු නොවෙමි ; මම සාමාන්‍ය මිනිසෙක්මි."//

      මගේ ජීවිතේ මම කිහිප වතාවක් මේ වචන ටික විවිධ භාෂාවන්ගෙන් අහල තිබෙනවා. හැබැයි ඒ කියපු හැම කෙනෙක්ම වගේ ලෝකේ මිනිස්සුන්ගෙන් 0.001 විතර වුන අති සාර්ථක සුපිරි බවට ආසන්න මිනිස්සු. තමන් සුපිරි මිනිහෙක් නොවේ කියන එක තේරුම් ගන්නේ සුපිරි බවට ආසන්න වුනහම වෙන්න ඇති.

      මට විශේෂ වරප්‍රසාද එපා මට සාමාන්‍ය මිනිහෙල් විදියට සලකපන් කියන්න හිත හයිය තියෙන මිනිස්සු ඉන්නේ ලෝකේ බොහොම ටිකයි.

      Padam
    5. ඒ වුනාට තට්ට කන්නාඩි පොළඟා උගේ පරණ දේවල් ඔක්කොම පම්පෝරි ගහනවා. ඌ සියල්ල දත් වගේ හැම එකටම හොට දානවා.

      Padam
    6. ඇනෝ ලන්ඩන් නුවර ඇතැම් වෙළඳසැල් වල බෝතල් කරන ලද ගව මුත්‍රා විකිණීමට තබා තිබෙනවා ඔබට අවශ්‍ය නම් දන්වන්න

      Padam
  6. සුන්දර විස්තරයක්. මේක කියවද්දී මා හිතුව ලංකාවේ වැඩි දෙනෙක් සල්ලි වලට කොයි තරම් තමන්ගේ ආත්මය පාවලා දෙනවද කියල. මා අවුරුදු කීපයකට පෙර ලංකාවේ බැංකුවක වැඩ කරද්දී අපිත් එක්ක project lending කරපු සමහර අය consultancy services දාගෙන clientsලට project reports ලියල දෙනවා සල්ලි වලට. කොයි තරම් conflict of interest එකක්ද. මේ රටවලට ඇවිල්ල ඉන්න හුඟක් ලාංකිකයෝ සල්ලි කිව්වොත් මැරෙයි. උඩ ඉවාන් කියල තියෙන විදිහට මනුස්සකමයි වැදගත් කියල හුඟ දෙනෙකුට අමතක වෙනවා.

    Very inspiring work Ruwan.

    BalasPadam
  7. conflict of interest කියන එක වෛද්‍යවරුන්ට පමනක් නොව ලංකාවේ අනිත් බොහෝ දෙනාත් ගනන් නොගන්නා දෙයක්.

    මගේ නිරීක්ෂනය අඟහිඟකම් නැතිනම් කරුනාවන්තවීම ලේසියි. මේ රජයෙන් වෛද්‍යවරුන්ගේ හා අනිත් වෘත්තීයවේදීන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට මම විරුද්ද ඒ නිසයි. කාර් පර්මිට් නැති උනා කියා කාගේවත් මානුශිකභාවය වැඩි වෙන්නේ නෑ. නමුත් රටහැර යාම හා වැටුපට අමතර මුදල් සෙවීම (උදා: PP ) නම් වැඩි වේවි. ඒ වගේම කොතරම් මුදල් හා වරප්‍රසාද තිබුනත් සමහරුන්ගේ මානුශිකභාවය හා ආචාරධර්ම රැකෙන්නෙත් නෑ. ඒ සඳහා සුදුසු ක්‍රම සහ විධි තිබිය යුතුයි.

    අනිත් අතට වෘත්තීය අචාරධර්ම කියන්නේ මුදල්ම සම්බන්ධ දේ පමනක්ම නොවේ.
    උදාහරනයක් ලෙස මුදල් අතින් කරදරයක් නැති බටහිර රටවල සිටින මහාචාර්යවරුන්ගෙන් සැලකියයුතු කොටසක් තමන් යටතේ සිටින පශ්චාත් උපාධි සිසුන් (සිසුවියන්) සමඟ නිදියනවා.

    BalasPadam
    Balasan
    1. //බටහිර රටවල සිටින මහාචාර්යවරුන්ගෙන් සැලකියයුතු කොටසක් තමන් යටතේ සිටින පශ්චාත් උපාධි සිසුන් (සිසුවියන්) සමඟ නිදියනවා//

      සැලකිය යුතු කොටසක් නම් නෙවෙයි. ඉතා කුඩා කොටසක් කිව්වොත් නිවැරදියි.

      සැබෑ මහාචාර්ය වරු නම් ගණිකාවෝ එක්ක නිදාගත්තත් තමන්ගේම සිසුවියෝ එක්ක නිදාගන්න අවස්ථා ඉතාම ඉතාම අඩුයි. අනික ඊට ගෙවිය යුතු වන්දියත් ඉතා ඉහලයී. සුප්‍රසිද්ධ STAP cells ගැන සිදු වීමේදී හරුකෝ ඔබෝකත ගේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ වල උපදේශකයා වුන මහාචාර්ය සතොෂි සුනේදාට සියදිවි නසාගන්න වුනේ ඔය හේතුව නිසා ම මිසක් පර්යේෂණයේ තිබුන වැරදි නිසා නෙවෙයි.

      Padam
    2. මේ කියන්නේ undergraduate ගැන නෙමේ post graduate student ගැන.
      මේ ගැන ඕන තරම් ලිපි අන්තර්ජාලයේ තිබෙන අතරම පුද්ගලිකව දැන ගත් කරුනු අනුවත් මෙය ඔබ හිතන තරම් දුලබ නෑ.

      Padam
    3. මම ඉහත කියල තියෙන්නේ post grad ගැන නොවෙයි post doc ගැන.:D :D

      Padam
  8. න්සාන් මාච් - මා කැමතිම රථයකි.

    රටෙන් පිටවීමට පෙර මා සතුව තිබුණු නිසාන් මාච් රථය විකිණීමට දැන්වීමක් පළ කළ විට සෑහෙන පිරිසක් එය බැලීමට ආවෝය.

    ඒ අය අතරින් එක් පිරිසක් වූයේ දෙමව්පියන් යුවලක්, තරුණ දියණියක් සහ බාස් උන්නැහේ කෙනෙකි.

    මේ දොස්තර නෝනාටයි කාර් එක හොයන්නේ බාස් උන්නැහේ තරුණිය පෙන්වා මට කීවේය.

    ආ ඇත්තද, ඔයා කොයි කැම්පස් එකේ ද ඉගෙන ගත්තේ? දැන් කොහෙද වැඩ කරන්නේ මම ඇගෙන් ඇසුවෙමි.

    තරමක් ලැජ්ජාවෙන් දුන් ඇගේ පිළිතුරෙන් මට වැටහී ගියේ ඇය ෆයිනල් ලියා සීමාවාසික පුහුණුව සඳහා යාමට බලාපොරොත්තුව සිටින ළමයෙකු පමණක් බවයි.

    BalasPadam
    Balasan
    1. මතකයි අර මයිත්‍රීත් එක්ක පැරලල් යන්න ගිහින් තැබිලි කඩයක් ඇතුලට ගියා නේද

      Padam
    2. වෙන්ඩ දොස්තර ; අපිත් ඒ කලේ ඔහොම තමයි

      Padam
  9. මා වෙසෙන සිඩ්නි නගර පිහිටි නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ රජයේ රෝහල්වල වැඩ කරන ස්ටාෆ් ස්පෙෂලිස්ට්ලාට පුද්ගලික සේවයේ නොයෙදීම වෙනුවෙන් දිමනාවක් ගෙවනවා.

    යමෙකු පුද්ගලික සේවයේ දෙදෙන පැය ගනන අනුව ඒ දීමනාව අඩු වෙනවා.

    BalasPadam
    Balasan
    1. නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ රජයේ රෝහල්වල වැඩ [නො]කරන ස්ටාෆ් ස්පෙෂලිස්ට්ලා හැටියට ..දහසක් ජීවිත සිහින, ආර්ථික සිහින මවමින් සිටින, මගේ වෛද්‍ය දියණියට සහ බෑණාට, දොස්තර කමක් හොයාගන්න බැරිද ?

      Padam
    2. "....මම සාමාන්‍ය මිනිසෙක්මි. සමහර විට වෛද්‍යවරයෙකු ලෙස මගේ අතින් ද වැරදි වී තිබේ. ඒ ගැන මම අද පසුතැවෙමි. සාහිත්‍ය කියවීම මා නිවැරදි කලා..."

      Respect! අන්න එහෙමයි නියම මිනිස්සු, අපෙ සිඩ්නි සලුවඩන හිතන් ඉන්නෙ එය සර්ව සම්පුර්ණ කවදවත් වැරද්දක් වෙච්ච නති කෙනෙක් කියලනෙ. රනිල්වගෙ උද්ධච්ච කම ඉහවහල!

      Padam
    3. මම පුද්ගලික සේවය ට විරුද්ධ නොවෙමි ; පුද්ගලික සේව්‍ය නැති කලොත් රජයේ රෝහල් උතුරයි. පුද්ගලික සේවය අවශ්‍යයි රෝගීන් ගේ ඉහ මොල හූරන්නේ නැතිව

      Padam
  10. පළමුව තමන් තමන්ට අවංක විය යුතුයි.ඉගෙන ගත් දෙයින් දරිද්‍රතාවයෙන් පෙලෙන අසරණයින්ට උපරිම සේවයක් කළෙමි යනුවෙන් හිතට එකඟව පැවසීමට ලැබීම පවා මහත් භාග්‍යයයකි.

    ඔබට මගේ ස්තූතිය සහ ආචාරය!

    BalasPadam
    Balasan
    1. Ravi මම පාසලේ පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
      මම විවි පරමාදර්ශී සිසුවෙකු නොවූයෙමි
      මම පරමාදර්ශී වෛදවරයෙකුද නොවෙමි
      එසේම පරමාදර්ශී මිනිසෙකුද නොවේ.
      මමත් අනෙකුත් දෙනා මෙන් සිහින දකින සාමාන්‍ය මිනිසෙකි

      Padam
  11. මේ සියලුම වෛද්‍යවරුන් විසින් කියවිය යුතු අපුරු කතාවක් ඩොක්ට රුවන්.

    BalasPadam
  12. අනේ මම ගැන මෙහෙම හිතයි,අරහෙම හිතයි කියල නොලිය ඉන්නවාට වඩා මේ ලෝකෙ එකෙක් හරි වැඩක් ගනිං කියල මෙහෙම අත්දැකීම් ලියන එක ඇත්තටම පුන්‍යකර්මයක්..
    ජයවේවා..!!

    BalasPadam
  13. අගනා කතාවක් ඔබට ස්තුතියි!

    BalasPadam
  14. ලංකාවට අවශ්‍ය වන්නේ ඔබ වැනි සැබෑ වෛද්‍යවරුන් මිස කට මැත දොඩවන ඩිස්පෙන්සරිකාරයින් නොවේ. මගේ අවංක ස්තූතිය සහ ආචාරය පිළිගන්න !!!

    BalasPadam
    Balasan
    1. මම පරමාදර්ශී වෛදවරයෙකු නොවෙමි , Thank you Sir

      Padam
  15. රෝහල් සේවයේ කතා කියලා පොතක් පල කල හැකි නේද? මොන තරම් අමාරුවුනත්, ඒ ගම ගැන තියෙන විස්තරය හරිම සුන්දරයි.

    මිනිස්සු කියන ජාතිය වෙනස් කරන්ට අමාරුයි. පොඩි කාලේ ඉඳන් පුහුනුවක් නොදුන්නොත්. මේ දේවල් ගොඩක් වෙලාවට වෙන්නේ රටක දුප්පත්කමත් එක්ක වෙන්ටත් පුලුවන්.

    BalasPadam
    Balasan
    1. ම්ම්ම් එහෙනං පොතක් ලියන්න​ං

      Padam
  16. ඔබ ක්‍රියා කරන ආකාරයෙන් අනෙකුත් වෘත්තිකයින්ද කටයුතු කරයි නම් ඔය රෝහල්,පාසල් වල තියෙන " දුෂ්කර "බව නැති වෙන්නත් ඉඩ තියෙනවා.

    BalasPadam
    Balasan
    1. Manoj මෙය අමුතු වියායාමයක් නොවේ මිනිසුන්ට ගරුත්වයෙන් සලකන සමාජයක මේවා අනිවා විය යුතු දේ. වරක් පී පී එකට නාව නිසා හසලක රෝහලේ ඒ කාලේ හිටපු DMO; dengue හැදුනු පාසල් දැරිවියක් නොසලකා හැරියා අවසානයේ ළමයා මලා . සත්‍ය සිදුවීමක් ඇයගේ මවගේ නම තාමත් මතකයි යසා - ගෙවල් කොලොන්ගොඩ. මේවා සමාජයේ නොවිය යුතු දේවල්.

      Padam
  17. 😃😃😃😃😃😃😃😃😃😃😃

    BalasPadam
  18. 😃😃😃😃😃😃😃😃😃😃😃

    BalasPadam
  19. //ලංකාවට අවශ්‍ය වන්නේ ඔබ වැනි සැබෑ වෛද්‍යවරුන් මිස කට මැත දොඩවන ඩිස්පෙන්සරිකාරයින් නොවේ. මගේ අවංක ස්තූතිය සහ ආචාරය පිළිගන්න //

    BalasPadam
  20. මෙච්චරයි වැදගත් වෙන්නේ ඔබට මේකේ තියෙන අමනුස්සකම තේරුණ එකයි. ඔබ පීපී කරත් කමක් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළ යුතු නැහැ... ඒක මනුස්සයෙක් විදිහට මනුස්සයින් වෙනුවෙන් කරනවා කියලා දැනගෙන කරානං එච්චරයි. ඒත් බොහොමයක් තැන්වල වෙන්නේ අමනුස්සකමෙන් ඒකට එන අය මනුෂ්‍යෙයා් කියලා නොදැන කිරීමයි....

    BalasPadam
    Balasan
    1. 100% ekangayi ; පුද්ගලික සේව්‍ය නැති කලොත් රජයේ රෝහල් උතුරයි. we need it

      Padam
  21. මම ආසම කෑල්ල "ඕකා ධනපතියෙක් සර් " හැමදෙයක්ම වගේ ධන්පතිකමත් සාපේක්ෂයි නේද ??

    BalasPadam
    Balasan
    1. ධන්පතිකමත් සාපේක්ෂයි ++++++++++

      Padam
  22. ඉතා අගනා සහ අවංකව ලියු සටහනක්...
    මමත් ප්‍රයෝගික පුහුණු සමයේ තිරප්පනේ ප්‍රදේශයේ ගතකළ මාස හයේ කාලය ඉතාම සුන්දරයි, ජිවිතයේ කුඩා කාලයක් හෝ එවැනි තැනක ගත කරන්න ලැබුණ එක මගේ වාසනාවක්...

    දැනට රටේ තියෙන අසමතුලිත තත්ත්ව යටත් PP තිබීමත් අවශ්‍යයි...
    ඒ වගේම ලංකාවේ ප්‍රධාන රෝහල් වලින් ලැබෙන සේවය දැන් ගොඩක් ගුනාත්මකයි සහ කාර්යක්ෂමයි කියල මට හිතෙනවා...

    BalasPadam
    Balasan
    1. ඔබගේ කොමෙන්ටුව අගයමි

      Padam
  23. Minipe not a district, Divisional Secretariat
    ww.minipe.ds.gov.lk

    BalasPadam
  24. මා කියවා ඇති ඔබේ ලිපිවලින් වඩාත් සතුටක් ලැබුනේ මේ ලිපිය කියවීමෙන් යැයි සිතේ .

    BalasPadam
  25. මෙම ලිපිය හරිම රසවත් අත්දැකීම් සමුදායක් සටහන් වෙලා තියෙනවා. දෙයක් කලාම ඇතිවන සතුට සදාකාලිකයි. මමත් එවන් අත්දැකීම් සපුරාගෙන තියෙනවා ජීවිතේ. යම් දෙයක් කල පසු එයින් අනිත් අය ඵල නෙලා ගන්නාවිට ඇතිවන නිරාමිස ප්‍රීතියට අගයක් දෙන්න බැහැ. වෘත්තියෙන් කවුරු වුනත් සංවේදි අයෙකුට දැනෙන ප්‍රමාණයටම යම් දෙයක් පිලිතුරක් හෝ සෙවීමට උත්සුක වෙනවා. අපි ලබන මිනිසත්බවයේ උපරිම වශයෙන් ලඟාවිය හැකි ස්ථානය එයයි.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook