Isnin, 8 Februari 2016

මගේ ප්‍රථම සීසර් ශල්‍යකර්මය​


මීගමුව දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය  අජිත් සේමසිංහ මහතා සීසර් ශල්‍යකර්මයක් සඳහා සහායක වෛද්‍යවරයා ලෙස මාව කැඳවාගෙන ශල්‍යාගාරයට ගියේය​.  අත් හොඳින් සෝදා අත්වැසුම් සහිතව ශල්‍ය ඇඳුම් ඇඳගත් අප ගැබිනි මාතාව සීසර් ශල්‍යකර්මයට ලක් කිරීම ඇරඹුවෙමු. වෛද්‍ය  අජිත් සේමසිංහ ශල්‍ය සැතෙන් නිර්වින්දනයට ලක් කරන ලද ගැබිනියගේ බඩෙහි කැපුමක් කලේය​. මම රුධිරය ගැලීම නවතනු වස් ගෝස් කෑල්ලකින් රුධිර නාලිකා තද කලෙමි. එසේම කැපුණු රුධිර නාලිකා ශල්‍ය නූල් වලින් ගැට ගැසීමට උදව් කලෙමි. 


ගර්භාශය දක්වා කැපුම් යෙදූ වෛද්‍ය  සේමසිංහ සෙමෙන් සෙමෙන් ගර්භාශය පාදා එමතින් සුළු කැපුමක් දමා ගර්භාශය ආංශිකව විවෘත කොට භූණ හිස ගර්භාශයෙන් පිටතට ගත්තේය​. ඉන්පසු ගර්භාශ කැපුම තවත් දිගු කොට නවජ බිළිඳා ඉවතට ගත්තේය​. හේ නිරෝගී පිරිමි දරුවෙකි. පෙකනි වැල කැපීමෙන් පසුව නවජ බිළිඳා ස්වාධීන ජීවියෙකු බවට පත් විය​. බිළිඳාව වින්නඹු නිලධාරිනියගේ අතට දෙන ලදි. ඒ සමගම විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය  අජිත් සේමසිංහ මහතා තමන්ට වෙනත් රෝගියෙකු බැලීමට තිබෙන බව පවසා මට ගර්භාශය මසා ශල්‍යකර්මය නිම කරන ලෙස පවසා ඉවතට ගියේය​. 

ශල්‍ය හෙදියත් සමග මම තනිවූයෙමි. එය ගුවන් යානයක පාලනය සහය නියමුවා අතට දී ගුවන් නියමුවා පැරශූටයක ආධාරයෙන් යානයෙන් පැනීමක් බඳු විය​. මීට ඉහතදී විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය ජී ඒ රණතුංග මහතා සමග බොහෝ සීසර් ශල්‍යකර්ම වලට සහයකයා ලෙස සහභාගි වී ඇතත් මම තනිවම සීසර් ශල්‍යකර්මයක් අධීක්‍ෂණයකින් තොරව සිදු කොට නොමැත​. මගේ නලල මතට දාඩිය බිඳු ගැළුවේය​. එහෙත් මම චිත්ත ධෛර්‍යය වඩවාගෙන ශල්‍යකර්මය කරගෙන ගියෙමි. වෙහෙස ගෙන ගර්භාශයෙන් ගලන ලද රුධිරය නවතා ගර්භාශ කැට්ගට් නූල් වලින් මැසුවෙමි . ඉන් පසු කැපී ගිය පේශි සහ පටකද මසා අවසානයේදී චර්මයද  මසා ශල්‍යකර්මය නිම කලෙමි. 

ශල්‍යගාරයේදී සිහිය ලැබූ මාතාව වාට්ටුවට ගෙන යන ලදි. ශල්‍ය අත්වැසුම් ගැලවූ මම වෛද්‍ය විවේකාගාරයේ හාන්සි පුටුවේ ඇල වූයෙමි. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය  අජිත් සේමසිංහ මහතා කිසිම සංඥාවකින් තොරව මාව ගැබිණිය සමග තනි කොට ශල්‍යකර්මය මැද ඉවතට යාම ගැන මට ඇතිවූයේ කේන්තියකි. නමුත් පසුව හෙළි වූයේ වෛද්‍ය සේමසිංහ ශල්‍යාගාරයෙන් ඉවතට නොගොස් දොර අසල රැඳී මා ශල්‍යකර්මය අවසන් කරන තෙක් සිටි බවයි . එසේම එතුමා වරින් වර වෙනත් හෙදියකගේ මාර්ගයෙන් ශල්‍යකර්මයේ තත්වය විමසා තිබේ. වෛද්‍ය සේමසිංහ එලෙස මාව තනි කොට යන ලද්දේ මට ප්‍රතිහානය ( confidence) ලබා දීමටය​. මෙයින් ලත් අාත්ම විශ්වාසය නිසා පසු දින මම තනිවම සීසර් ශල්‍යකර්මයක් කලෙමි. විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය  අජිත් සේමසිංහ මහතා මගේ සහයකයා විය​. මම ඉතා පරිස්සමෙන් සීසර් ශල්‍යකර්මය කොට ස්ව දක්‍ෂතාවය එතුමා ඉදිරියේ පෙන්වූයෙමි. ඉන් පසු සීමාවාසික වෛද්‍යවරයෙකු සහයට ගෙන තනිවම සීසර් ශල්‍යකර්ම කිරීම  මට පවරන ලදි. 

මෙලෙස මීගමුව දිස්ත්‍රික් රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස මම බොහෝ සීසර් ශල්‍යකර්ම කලෙමි. ඒ අතර සංකූලතා තිබූ ගැබිණි මාතාවන් ද වූහ​. එක් දිනක් මම සීසර් ශල්‍යකර්ම 13 උදේ නවයේ සිට පස්වරු පහ දක්වා එක දිගට කලෙමි. පසු කාලයක නෝත් යෝක් ජෙනරල් රෝහලේ කැනේඩියානු   නාරි හා ප්‍රසව  වෛද්‍යවරයෙකුට මෙම අත් දැකීම කියූ විට මම අසත්‍යක් පවසනවා කියා ඔහු සමච්චලයට සිනාසුනේය​. " කිසි කෙනෙකුට එක් දිනකදී සීසර් ශල්‍යකර්ම 13 කිරීමට නොහැකියි" ඔහු කෙටියෙන් කීවේය​. එහෙත් මීගමුව රෝහලේ මසකට දරු උපත් 400- 450 අතර සංඛ්‍යාවක් වන බවත් එක් විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකුත්  එක්   ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකුත් සහ සීමාවාසී වෛද්‍යවරුන් හතර දෙනෙකුත් විසින් වාට්ටු දෙකක් සහ සූතිකාගාරයක් බලා කියා ගත් බව ඔහු නොදැන සිටියේය​. 

මෙලෙස් කාලයත් සමගම මගේ සීසර් ශල්‍යකර්ම කිරීමේ වේගය වැඩි විය​. වරක් මම නිර්වින්දන වෛද්‍ය නිලධාරී එච් ජී සුබසිංහ නිර්වින්දන වෛද්‍ය නිලධාරී  මාංජේෂ්ඨ පීරිස් යන වෛද්‍යවරුන් ඉදිරියේ විනාඩි 20 තුල සීසර් ශල්‍යකර්මයක් සිදු කලෙමි. එහෙත් සෑම විටම සුපරික්‍ෂාකාරී වීම මම අත් නොහැරියෙමි. 

මෙසේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නාරි හා ප්‍රසව අංශයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස  එක් මාතෘ මරණයක්වත් නොමැතිව මම සීසර් ශල්‍යකර්ම 723 කලෙමි.  මට පෙර සිටි ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී අතින් මාතෘ මරණ දෙකක් සිදුවී තිබුණි. මේ නිසා මීගමුව  රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී පී. සිවරාජා විසින් මට සහතිකයක්ද දෙන ලදි. 

මා විසින් සීසර් ශල්‍යකර්ම කොට එළියට ගත් දරුවන් දැන් අවුරුදු 17-18-19 වයසේ පුද්ගලයෝ වෙති. මීගමුව  රෝහලේ ගිලන් රථ රියැදුරු ජෝතිපාලගේ නැගනියගේ සීසර් ශල්‍යකර්මය කරන ලද්දේද මා විසිනි. මාව දකින විට ජෝතිපාල " සර් එලියට ගත්ත කොල්ල දැන් නියමට ඉන්නවා " කියයි. එය මට සතුටකි.    සීසර් ශල්‍යකර්ම කිරීම මගින් මම දළ වශයෙන් මිනිස් ජීවිත 1446 බේරාගෙන තිබේ. එය සිහිපත් වන විට මට නිරාමිශ සතුටක් දැනේ. 

වෛද්‍යවරයෙකු ලෙස බොහෝ යහපත් දේ කල හැකිය එසේම එම බලපත්‍රය යොදාගෙන බෝහෝ අවැඩද කල හැකිය​. මට මීගමුව රෝහලේ සිටි වෛද්‍ය සුදර්ශන බාලගේ මතක් වේ. තරුණියක දූෂණය කොට ගොඩනැගිල්ලකින් බිමට දමා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් ඔහු මේ වන විට මරණීය දණ්ඩනයට ලක්ව සිපිරි ගෙයක කාලය ගත කරයි.  

අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

58 ulasan:

  1. කියවීමෙන් සිත පහන් විය,ඔබට ස්තුතියි මහත්මයා!

    BalasPadam
    Balasan
    1. සිත පහන් වී නම් මගේ අරමුණ ඉටු විය

      Padam
  2. //සීසර් ශල්‍යකර්ම කිරීම මගින් මම දළ වශයෙන් මිනිස් ජීවිත 1446 බේරාගෙන තිබේ. එය සිහිපත් වන විට මට නිරාමිශ සතුටක් දැනේ

    අපිත් සාදු කිව්ව කියල හිතාගන්ටකො :)

    BalasPadam
    Balasan
    1. ඒ කුසලය ඔබටත් අනුමෝදන් වේවා

      Padam
  3. ඩොක්ටර්, ඔබවැනි අය අප සියලුදෙනාටම ආද්‍ර්ශයක්,
    // අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය.//
    මිනිසුන් හැටියට අප කිසිවිටක අපගැන නොසිතන දේ මෙයයි

    BalasPadam
    Balasan
    1. මම සාමාන්‍ය මිනිසෙකි සුපිරි පරමාදර්ශී මිනිසෙකු නොවෙමි නමුත් යහපත් දේ කිරීමට උත්සහ කරමි

      Padam
  4. අම්මෝ බය හිතුනා විස්තරේ කියවලා.. යුද්දෙදි වෙන තුවාල, මිනීමස් ගොඩවල් දැක්කත්, මේ වගේ ශාල්ය කර්මයක් නම් බලාගෙන ඉන්න අමාරු වෙයි. .............

    BalasPadam
    Balasan
    1. යුද හමුදා රෝහලේ -පුහුණුවකදී මෝටාර් එකකට කකුල් දෙක ගිය සෙබලෙක් දැක්කා එය භයානකයි

      Padam
  5. //තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.//
    ඔබ නිවැරදියි, කිසිම පුද්ගලයෙක් සුදු හෝ කළු චරිතයක් ලෙස වර්ග කල නොහැකියි.

    BalasPadam
    Balasan
    1. කිසිම පුද්ගලයෙක් සුදු හෝ කළු චරිතයක් ලෙස වර්ග කල නොහැකියි.+++++

      Padam
  6. මේ ලියවිල්ල හරියටම භාවනාවක් වගෙයි. පහන් සිතින් කියෙව්වා.
    //අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.// විශේෂයෙන් මේ කොටස, අපි හැමෝටම අදාලයි.

    බොහොම ස්තුතියි මේ ලිපිය ලියුවාට.

    BalasPadam
    Balasan
    1. ඔබටත් තුති මගේ අදහස ඉස්මතු කිරිම ගැන​

      Padam
  7. ඔබ කර ඇති සේවයට මගේ ප්‍රණාමය

    BalasPadam
    Balasan
    1. ඉයන් ඉතා නිහතමානීව ඔබගේ ආචාරය පිලිගන්නවා

      Padam
  8. කැට්ගට් නූල් කියන්නේ මොනවාද

    BalasPadam
    Balasan
    1. ශල්‍ය නූල් වර්ගයක් බලන්න ; Catgut is a type of cord[1] that is prepared from the natural fibre found in the walls of animal intestines.[2] Catgut makers usually use sheep or goat intestines, but occasionally use the intestines of cattle,[3] hogs, horses, mules, or donkeys.[4] Despite the name, catgut manufacturers do not use cat intestines.

      Padam
    2. ආ හරි දැන් තේරුනා , සාමාන්‍ය මිනිස්සු ( අපි ) දියවෙන මැහුං කියන ජාතිය

      Padam
  9. ලංකාවට සාපේක්ෂව බටහිර රටවල්වල් වල් සීසර් ශල්‍යකර්ම කරන්නේ ඉතාම අඩුවෙන් බව මගේ වෛද්‍ය මිත්‍රයෙක් වරක් පැවසුවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

    BalasPadam
    Balasan
    1. එහෙම කතාවක් මමත් අහල තියනවා , ඇත්තටම ඇයි ඒ ඈ.......

      අනික බලන්න සමහරක් ජංජාලේ තියන වීඩියෝ . තමන්ගේ ගෙදර අනිත් දරුවන් බලාගන ඉන්නකොට හිටගන දරුවන් බිහිකරනවා , සමහරක් විට විනාඩියක් දෙකක් ඇතුලත සියලු පහසුකම් සමග කන්ඩායමක් ඇම්බියුලන්ස් එකක් එක්ක ගෙදරට ගෙන්න ගන්ඩ තරම් දියුන් හින්දා වෙනසකටත් එක්ක එහෙම කරනවා ඇති ,

      ගැටලුව ඒක නෙමෙයි ස්වාභාවිකවම දරුවන් බිහිකරන්න බටහිර රටවල් හැම විටම උත්සාහ කරනකොට , අපේ රටවල්වල දොස්තර මහත්තුරු කපලම ගන්ඩ බලන්නේ ඇයි , අපේ ගෑනුන්ගේ වරදක්ද , නැත්තං ඒ ගෑනුන්ගේ මිනිසුසුන්ගේ වරදක්ද .

      අනික් කාරනවා තමයි ගැභිණි අම්මල තාත්තල , ගෙවන ඉස්පිරිතාලවල දොස්තර මහත්තුරුන්ට හොද නැකත් බලාගන ගිහින් ඒ වෙලාවෙම බඩ කපල ගන්ඩ කියන එක .

      ඔය ගැන මට ජෝතිෂ පොරක් නං කියුවේ ඒ තමයිලු ඒ ළමයි ඇත්තටම එන්න හිටපු වෙලාව කර්මානු රූපියව කාරනාකටයුත් ඒ විදිහට යෙදෙන්නේ වාසනා ශක්තිය හින්දල

      Padam
    2. ලංකාවේ දොස්තරලත් මේක encourage කරනවා නේද සල්ලි කඩා ගන්න. හුඟක් ප්‍රසිද්ද දොස්තර කෙනෙක් consult කරපු මගේ යෙහෙලියක් කිව්වා එයාගේ pregnancy කාලේ තුලදී ඒ දොස්තර මහත්තය එයට නිතරම දොස් කිව්වා කියල natural birth එකකට යන්න decide කලාට. පොඩ්ඩ බැරි වෙන කොට බනිනවලු ඕක තමයි ඔයාට සීසර් කරන්න කිව්වේ කියල.

      Padam
    3. ආණ්ඩුවේ රෝහල් වල සීසර් කරන්නේ සංකූලතා මතුවෙයි කියලා හිතන ගැබිනියන් ගේ. සංකූලතා මතුවී මව මිය ගියොත් කේස් ඇදෙනවා.

      Padam
    4. ආණ්ඩුවේ රෝහල් වල ඒ කතාව හරි තමා , සීසර් කරන්න අනුබල දෙන්නේ නැ මයේ හිතේ

      Padam
  10. ඇස්වහක් කටවහක් නැ ...දෙයියනේ ...විනාඩි විස්සකිං ....974 මෙෂින් එකක් මේන් ෂාෆ්ට් එකක් මාරු කරන්ඩත් පැය දෙකක්වත් යනවා ........දොස්තරල තමයි හොදම බාස්ල

    BalasPadam
    Balasan
    1. දැන් කාලයත් සමග ඒ ස්කිල් එක වියැකිලා

      Padam
    2. ඒ ඇයි ඒ ලංකාවේ ඉන්න හොදම වැඩකාරයෝ පනහ හැට පැන්න අයනේ

      Padam
    3. එහෙමත් එකක් තියනවද අටම් ?

      Padam
  11. අපේ ප්‍රණාමය රුවන්. සෝවියට් දේශයේ ඉගෙනුම් ලත් වෛද්‍යවරයකු වශයෙන් ඔබට ආඩම්බරයක් නැත්ද?

    BalasPadam
    Balasan
    1. සෝවියට් දේශයේ ඉගෙනුම් ලත් වෛද්‍යවරයකු වශයෙන් මට අභිමානයක් තිබෙනවා . ඊලාම් යුද්දය ආරඹ්හ වූ අවස්ථාවේ අනුරාධපුරය පොලොන්නරුව ප්‍රදේශ වල යුද හමුදා රෝහල් වල සෝවියට් දේශයේ ඉගෙනුම් ලත් වෛද්‍යවරු විශාල සේවයක් කලා. මේ සේවය තවම අගය කොට නෑ

      Padam
    2. ඕක විතරක් නෙමේ. අර සුදික එක්ක කුමාරිහාමි ගේ බ්ලොගයේ කල කටහ්වෙන් පස්සේ මම ලියන්න හිතන් ඉන්නවා ඔය ගැන. දැන් වගේම පෞද්ගලික් විශ්ව විද්‍යාල වලට විරුද්ධව උද්ඝෝෂණ කරන සහෝදර වයිද්‍ය්වරුන්ට අපි සහය දුන්නට වයිද්යවරුන් වුනු පසු බොහෝ අය සෝවියට් උපාධිධාරීන්ට අවඥාවෙන් සැලකු බව මට දැන ගන්නට ලැබුන. බොහෝ අය ඒ නිසාම රට හැර ගිය බවත් තවත් අය වෘත්තීය වෙනුවට මැනේජ්මන්ට් වලාට් ගිය බවත් දැන ගන්නට ලැබුණා . ලියන්න කියල හිතන් ඉන්නවා මේ ගැන. දෙබරෙට ගලක් ගැහුවා වගේ තියෙයි හැබැයි.

      Padam
    3. PMC එකේ හිටපු ඔරිජිනල් වෛද්‍යවරු පසු කාලයක මට හමු වෙලා තියනවා ඔවුන් බොහෝ දෙනෙකු අද කන්සල්ටන්ට් ලා.

      Padam
  12. දැන ගන්න අහන්නෙ... ලංකාවෙ අම්මල ගොඩක් වෙලාවට සීසර් කරල ළමයි ගන්න ඕනෙ කියල හිතාගෙනම නේද රෝහලට එන්නෙ (ස්වාභාවික උපතකට තියෙන බය නිසා)? එහෙම වෙන්නෙ පෞද්ගලික රෝහල් වල විතරද? නැත්තන් රජයේ රෝහල් වලත් අම්මට ඕනෙ නම් සීසර් කරල ළමය එලියට ගන්නවද (අම්මටවත් ළමයටවත් අනතුරක් නැතිව ස්වාභාවික උපතක් වෙන්න පුලුවන්කම තියෙද්දිත්)?

    BalasPadam
    Balasan
    1. ලංකාවෙ අම්මල ගොඩක් වෙලාවට සීසර් කරල ළමයි ගන්න ඕනෙ කියල හිතාගෙන එනවා. පුද්ගලික රෝහල් වල එය ප්‍රවර්ධනය කරනවා මුදල් නිසා. මගේ අදහස ස්වභාවිකව ප්‍රසුතිය වෙන්නට ඉඩදීම හොඳයි. නමුත් සංකූලතා එනවා නම් සීසර් කල යුතුයි.

      Padam
  13. //සීසර් ශල්‍යකර්ම කිරීම මගින් මම දළ වශයෙන් මිනිස් ජීවිත 1446 බේරාගෙන තිබේ. එය සිහිපත් වන විට මට නිරාමිශ සතුටක් දැනේ. // Respect!

    BalasPadam
  14. //කාලයත් සමගම මගේ සීසර් ශල්‍යකර්ම කිරීමේ වේගය වැඩි විය ...එහෙත් සෑම විටම සුපරික්‍ෂාකාරී වීම මම අත් නොහැරියෙමි//,
    //සීසර් ශල්‍යකර්ම කිරීම මගින් මම දළ වශයෙන් මිනිස් ජීවිත 1446 බේරාගෙන තිබේ. එය සිහිපත් වන විට මට නිරාමිශ සතුටක් දැනේ//

    ඔබ විශිෂ්ඨයෙකි, මගේ ප්‍රණාමයත්. ලංකාවේ සෞඛ්‍ය පරිපාලනය යහපත්වූ දිනෙක නැවත ආපසු එන්න.

    BalasPadam
    Balasan
    1. තුති ; කාවේ සෞඛ්‍ය පරිපාලනය යහපත්වූ දිනෙක ????? දැන් අර කෝමා චිත්‍රපටියේ වගේ වකුගඩු ගසාගෙනත් කන තත්වයක් තියෙන්නේ

      Padam
    2. ඩොක්.. ඇත්තටම වෙන ශල්‍යකර්මයක් සිදුකරන අතර තුර වකුගඩු හොරකම් කරගන්න පුළුවන් ද?

      Padam
    3. ඉන් දියාවෙ එහෙම කරපු සිද්ධියක් අහලා තියනවා

      Padam
  15. හැමවිටම ඔබේ ලියවිල්ල උසස් ගණයේ පරයේෂණ පත්‍රිකාවක් වගේ. General introduction to specific–specific to General conclusion.

    //අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.//+++++++++++

    ඕනෑම මොහොතක පසුතැවීමකින් තොරව මියනොයාමට හේතුවක් නොතිබිය යුතුය.

    BalasPadam
  16. Well done to you. Great work.

    මමත් කැමතිම කොටස තමයි මේ.

    "එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​".

    BalasPadam
    Balasan
    1. බුදුන් වහන්සේ මේකට කිවේ යෝනිසෝ මනසිකාරයෙන් බලන්න කියලා අපගේ සැම ක්‍රියාවක් ගැනම

      Padam
  17. ගෙම්බෝ කැරපොත්තෝ නම් විච්චේදනය කරා ඉස්කෝලෙදි, පස්සෙ ඉස්සෝ හැචිරියේදී ලොකු ඉස්සන්ගේ එක ඇහැක් ඔබ්ලේට් කරා, (ගැහැණු සතුන්ගේ) බිත්තර මොරන්ඩ. දැන්නම් සීසර් කිරීම මොඩ් එකක් වෙලා නේද?

    BalasPadam
    Balasan
    1. ලොකු ඉස්සන්ගේ එක ඇහැක් ඔබ්ලේට් කරා, (ගැහැණු සතුන්ගේ) බිත්තර මොරන්ඩ /// ඒක මම හලාවත ඉස්සෝ ෆාම් එකකදි දැක්කා , සීසර් කිරීම මොඩ් එකක් වෙලා - Yes

      Padam
  18. //තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​.//

    අනිවර්යෙන්ම,ඔබ අපටත් සතුටු විය හැකි වෛද්‍යවරයෙක්.

    BalasPadam
    Balasan
    1. මනෝජ් ඔබගේ කම්ප්ලිමන්ට් එක නිහතමානීව හිස නමා පිලිගනිමි

      Padam
  19. අර අපිතුල යක්ෂයෙකු සිටින බව පිළිගන්න තරම් නිහතමානීවීමම අනිත් හැම දේටම වඩා වටිනවා මමනම්. Some people claim they are all saints.

    BalasPadam
  20. සතුටක් ඔබව කියවීම.. නැවතත් කියන්නෙ ඔබ බ්ලොග් ලොවට ගෞරවයක්..

    BalasPadam
  21. /අප සෑම දෙනා තුලම සුදර්ශන බාලගේ කෙනෙකු සිටියි. එම නිසා සෑම විටම තමන් ගේ හැසිරීම බාහිරව සහ අභ්‍යන්තරව නිරීක්‍ෂනය කල යුතුය​. තමන් තුල සිටින යක්‍ෂයා යටපත් කොට සාදුවරයා බාහිරයට ගෙන ආ යුතුය​./

    මේ කතාව කීම ගැන මම හිස නමනවා...

    BalasPadam
  22. Respect !!!!!!!!!!!

    BalasPadam
  23. සුපරික්ශාකාරීව වාර්තාගත ජීවිත ප්‍රමාණයක් ගොඩ දැමීම ඔබට කොහොම සතුටක්දැයි කියවන අපට මෙහෙම දැනෙන සතුටත් එක්ක හිතෙනවා...
    ජයවේවා..!!

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook