Selasa, 21 Julai 2015

නාලන්දේ ක්‍රිකට්



නාලන්දේ ක්‍රිකට් වර්ග තුනක් තිබුණි. ගුරුසිංහලා මහානාමලා විකට් පෑඩ් සහිතව ලෙදර් බෝල වලින් ගැසූ වැදගත් ක්‍රිකට්, රට අඹ ලෑල්ලකින් කපාගත් බැට් එකකින් සහ විද්‍යාලය අසල ප්‍රභාත් කඩයෙන් සත 75 මිළට ගත් බෝලයකින් ගැසූ  රබර් බෝල ක්‍රිකට් සහ පන්තියේ කුණු කූඩයෙන් ගත් පත්තර කෑල්ලක් ගුළි කර අහිංසක කොල්ලෙක් ගෙන් බලෙන් (නමුත් තාවකාලිකව) උදුරා ගත් මොනිටර් එක්සසයිස් පොතක් බැට් එක ලෙස ගෙන ගැසූ කොල බෝල ක්‍රිකට්‍ ය​. 

වැදගත් ක්‍රිකට් ගැසුවේ විද්‍යාල පිට්ටනියේය​. රබර් බෝල ක්‍රිකට් පිට්ටනියේ අයිනක ගැසූ අතර විකට් එකට තක්‍ෂිලා හෝල් එකෙන් පුටුවක් පන්නා එය තක්‍ෂිලා හෝල් එකේ පිටු පසට ගෙන ගොස් පොලවේ ගසා කැඩුනු විට පුටුවේ හේත්තු වන ඇන්ද සහ​ එය හිටවා තබන ආධාරකය ලෙස  එක පුටු කකුලක් ද  ගනියි. සජිත් නම් කොල්ලෙක් අපේ කාලයේ සිට අතර මේ කොළුවා පුටු කඩා ක්‍රිකට් ගසන (ජාතික අපරාධයේ ) කප් ගැසූවෙකි. සමහර විට පුටු කඩා සදාගත් විකට් කරේ තබාගෙන  යාබද කැම්බල් පිටියටද ගෙන යාමට සමහර ළමුන් පුරුදුව සිටියහ​.  විද්‍යාලයේ පිට්ටනියේ ක්‍රිකට් ගසා විකට් එක (පුටු ඇන්ද)  සහ  විකට් ආධාරකය​  (පුටු කකුල)  එම ස්ථානයේම දමා ඒම ළමුන් ගේ සිරිතකි. ඒවා හවස අස් පස් කරන්නේ පිට්ටනිය බලා ගන්නා ඇඩ්ඩියා හෝ බෙනට් විසිනි. මොවුන් කොල්ලන් ගේ මව්වරුන් ගේ ගුණ ගායන කරමින් කැඩුණු පුටු ආදිය​ පිටියෙන් ඉවතට ගෙන යති. 

කොල බෝල ක්‍රිකට් ගැසීමට ධම්මික පුරුදුවී සිටියේය​. ඔහුගේ සම්පූර්ණ නම එල් ධම්මික වීරවර්ධනය. 'පහේ ශිෂ්‍යත්වය සමත් වී අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් නාලන්දාවට පැමිණි අයෙකි. ඔහුගේ ලිපිනය මට තාමත් මතකය​. එල් ඩී  වීරවර්ධන ගල්කුළම අනුරාධපුරය ඔහුගේ ලිපිනයයි. අපි හතේ පන්තියේ සිටියදී (1979) ධම්මික , මම , චන්දික , ප්‍රියදර්ශන , සහ රොෂාන් පන්තියේ ගුරුවරයෙකු නොමැති අවස්ථාවකදී ගෝසා කරමින් කොල බෝල ක්‍රිකට් ගැසුවෙමු. බැට් කලේ ධම්මිකය​. මම බෝල් කලෙමි. 

 කොල්ලන් ගේ ගෝසාව නිසා යාබද පන්තියේ ගණිතය උගන්වමින් සිටි සී. ඕ. විතාණ ( ලොකු විතාණ) සර්ට මළ පැන පන්ති දෙක වෙන් කරන ලද ලී දාරයේ සිදුරකින් ක්‍රිකට් ගසන කොල්ලන් දෙස බලා ඔවුන්ව නෝට් කර ගත්තේය​. ඉන් පසු කසිප්පු අල්ලන්නට පනින ඉන්ස්පැක්ටර මෙන් අපගේ පන්තියට කඩා වැදුණි. මට සහ ධම්මිකට ඉඳ ගැනීමටවත් වේලාවක් නොවීය​. 

 ප්‍රියදර්ශන පන්තියේ කොණක (හතරේ සීමාව​ අසල​ ) සිටි නිසා සයන්ස් එකේ වාඩි විය​. මුලින්ම ලොකු විතාණ සර් ගේ අතට හසු වූයේ පන්තියේ දොරටුව අසලම සිට පන්දු රැකීමේ නිරත වූ චන්දිකවය​. මෙහෙ වර බිංජූරා කියා ඔහුගේ කණ මිරිකනු ලැබීය​. (එදා සිට චන්දිකට බිංජූරා යන නම රෙජිස්තර විය​) මෙහෙ වර අස්පයා කියා ලොකු විතාණ සර් ධම්මිකගේ පිට මැද්දට ලොකු හතරේ පහරක්   ගසනු ලැබීය​. මට ලැබුනේ  තද ටොක්කකි. රොටියා හෙවත් රොද්‍රිගු ටීචර් ගේ පුතා වූ රොෂාන්ට ලැබුනේ සාමාන්‍ය තරමේ ටොක්කකි. ක්‍රිකට් නොගැසූ නමුත් අප අසල සිට ක්‍රිකට් ක්‍රීඩාව නැරඹූ වජිර ද සිල්වා   (බෝඩිමේ සිටි සිසුවෙකි) " සර් මම ක්‍රිකට් ගැහුවේ නැහැ බලාගෙන හිටියා විතරයි කීවේය​. 

 වජිරට ටොකු දෙකක් ද පිටට හයේ පාරක් සමග කණද මිරිකා දමනු ලැබීය​. හේතුව ලෙස ලොකු විතාණ සර්  කිව්වේ මෙයයි. දවසක්  බූරුවා ගසා මිනිසුන් හතර දෙනෙක් නඩුකාරයෙකු ඉදිරියට දමනු ලැබීය​. තිදෙනෙක් වරද පිළිගත් හෙයින් ඔවුන්ට රුපියල් සීය බැගින් දඩ ගසන ලදි. හතර වැන්නා තමා බූරුවා නොගැසූ බවත් එය බලා සිටියා බවත් කීය​.  නඩුකාරයා  ඔහුට රුපියල් දෙසීයක් දඩ ගැසුවේය​. ඒ නිකම් බලා සිටීම නිසාය​. 

 ප.ලි: චන්දික නොහොත් බිංජූරා නාවික හමුදාවේ වෛද්‍යවරයෙක් ලෙස පසු කාලයක සේවය කලේය​. රොෂාන් රොද්‍රිගු ගම්පහ ප්‍රදේශයේ ඉන්නවා විය හැක​. අනුරාධපුරයේ ධම්මික මෙන්ම විද්‍යාලීය බෝඩිමේ නතරවී සිටි වජිර ගැන තොරතුරක් නැත​.   මට අවසන් වතාවට සී. ඕ. විතාණ මහතා හමු වූයේ 2002 වසරේ නාලන්දා විද්‍යාලයේදී මගේ අධ්‍යපන ප්‍රතිකාර නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදීය​. ගුටි නොකා බේරුණු ප්‍රියදර්ශන  අබේවීර ගුණවර්ධන පසු කාලයක ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු විය​. ඔහු  ක්‍රියාන්විතයේදී මිය යන ලදි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

46 ulasan:

  1. ඇයි ඩොක්ටර් රුවන් මිට අමතරව පන්තිවල දඟලන්නේ නැති අය ලොකු බුද්ධාගම අච්චු පොත අරන් බුක් ක්‍රිකට් කියලා එකක් ගැහුවා නේද ඔයිට දශක 2 කකට විතර උඩදී...නම් එහෙම එකක් තිබුනා...... ඔය කාලෙත් එක තියෙන්න ඇති

    BalasPadam
    Balasan
    1. බුක් ක්‍රිකට් ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕනේ. ඇයි ඒ කාලේ 6 වසර සිංහල අච්චු පොතත් නියමයි

      Padam
  2. නියමයි.. තමන්ගේම අතීතය කාමයෙන් ඇවිස්සීම..

    BalasPadam
    Balasan
    1. හිතේ තෙරපෙන මතකයන්

      Padam
  3. ආයේ තක්කලි පෙත්තක්. :ඪ්

    මටත් මතකයි ඔහොම ලිපිනයක්.

    (රංජිත්?) පණ්ඩිත, ආරෝග්‍යායතනය, එප්පාවල.

    ඒ දවස්වල ඇඩ්ඩියට අපිව නයාට අඳුකොල වගේ. ඒ නිසාමයි අපි මේක තාලෙට කියලා පොරට උපහාර දක්වන්නේ,

    ඇඩ්ඩිං පැඩ්ඩා
    කොළඹට ඇහුනා
    කොළඹ මිනිස්සුන්
    අඬබෙර ගැහුවා

    ඇත්තෙන්ම ගුරුවරු ගුටි දෙන්නේ කස්ටමයිස් කරලා නේද රුවන්? මේ ලඟදි එක බ්ලොග් එකක අහලා තිබ්බා ඇයි මේ ගණස් ගුරුවරු මෙච්චර දරුණු කියලා. ගණං ගුරුවරු ගණං කාරයෝ උනේ නැතිනම් හරියන්නේ නැද්ද? මටනම් ගණං එපාම වුනේ ඔය නිසා.

    රොද්‍රිගෝ කියන නමට අපි කිව්වේ රෙද්දෙ *ඌ කියලා

    මිනිස්සු හතර දෙනෙක් බූරුවා ගහලා. පළවැන්නා කියලා එයා එතනට ආවේ එයාගේ සහෝදරයා ඉන්නවද කියලා බලන්න. ඒ වෙලාවේ පොලිසියෙන් පැනලා එයාවත් අල්ලගෙන කියලා. දෙවෙනියා කියලා එයා ආවේ ඉනිමග ඉල්ලගෙන යන්න, නිකං අපරාදේ මාවත් අල්ලගෙන ආවේ කියලා. තුන්වෙනියා කියලා එයා ආවේ ඉල්ලගෙන ගිය ඉරිද පත්තරේ ආපහු දීලා යන්න කියලා. මිනිහත් අපරාදේ අල්ලගෙන තියෙන්නේ. මේවා අහං හිටපු OIC හරි තමුසෙලා යනවා එලියට කියලා එයාලව එලියට යවලා හතර වෙනියාගෙන් අහලා "දැන් තමුසේ මොකටද එතනට ගියේ. දැන් තමුසෙත් කියන්නේ බූරුවා ගැහුවේ නෑ කියලද?
    "මමනම් ගියේ බූරුවා ගහන්න හිතාගෙනම තමයි බොස්. ඒ වුනාට දැන් මම කා එක්කද දැන් බූරුවා ගැහුවයි කියන්නේ?

    ස්තුතියි රුවන් රසවත් මතක අවදෛ කලාට

    BalasPadam
    Balasan
    1. //රොද්‍රිගෝ කියන නමට අපි කිව්වේ රෙද්දෙ *ඌ කියලා// අපිත් එහෙමලු ඉත්න්.. ඒත් දැන් ඔෆීස් වල මහත්තුරුන්ට එහෙම කියන්න බැරි නිසා ඒක මොඩිෆයි කරල 'රොඩ්ඩා' කියනවා.. හැක්.

      Padam
    2. ඩුඩ් : අර අන්තිම එකා නම් මාරම මීටරේ... හෙහ්..

      කොහොමත් ඔය වැරද්දක් කරලා අහුවෙනකොට ළමයින් දෙන උත්තර වලට ( විශේෂයෙන් පිරිමි ළමයින්ගේ) ගුරුවරුන්ට පිස්සු නොහැදුනොත් තමයි පුදුමේ.

      Padam
    3. ඩුඩ් ගුරුවරු ගුටි දෙන්නේ කස්ටමයිස් කරලා

      Padam
  4. නේවි එකේ හිටියේ ඩොක්ටර් චන්දික මාරඹේ ද? පන්තියේ 'වන් බම්ප්' ගැහුවේ නැද්ද නාලන්දියන්ස් ල? බයි ද වේ.. මගේ අළුත් නවාතැන නාලන්දේ දොරකඩමයි.. :D

    BalasPadam
    Balasan
    1. චන්දික / බිංජූරා නම් තමයි දන්නේ වාසගම මතක නැහැ

      Padam
  5. පුටුව කඩන්නෙ නැතුව පිටිපස්සට හරවල විකට් එක හදාගන්න පුලුවන්නෙ

    BalasPadam
    Balasan
    1. අපේ එවුන්ට එහෙම සිහියක් තිබුනේ නැහැ

      Padam
  6. ලිපින මතක තියනව වගේ අපේ නම් ලැයිස්තු දෙක(ප්‍රාථමික සහ මහා විද්‍යාලයේ) මට තාමත් බාගයක් විතර මතකයි.

    ඔය බූරු ගහපු එක වගේ ඇත්තම කතාවක් තියනව. ඉස්සර කාලෙ බූරු පිටියක් වටලලා අල්ලපු චූදිතයො උසාවි දාල. මේ අතරෙ ඉඳල තියනව ගමේ ප්‍රභූ පවුලක කෙනෙකුත්. මිනිහ තෝල්කයට අල්ලසක් දීල. තෝල්කය කරල තියෙන්නෙ නම් ලිස්ට් එක අඬගහන වෙලාවට අර මනුස්සයගෙ නම අන්තිමට කියවීම පමණයි.
    හෑම කෙනෙක්ම තමුන් සූදු කෙලියාද කියන ප්‍රශ්නෙට උත්තර දීල තියෙන්නෙ "කෙලියා ස්වාමීනි" කියල. එයාලට සත පහක්ද කොහෙද දඩ ගහල. අන්තිම මෑන් කියල තියෙන්නෙ "බලං හිටිය විතරයි ස්වාමීනි" කියල. එයාට සත විස්සක් ගහල. කරගත්ත පාඩුව කල්පනා වෙද්දි පරක්කුයි. අර මනුස්සය ආයෙ කියල "නෑ නෑ ස්වාමීනි මාත් කෙලිය" කියල. ඒ ගමන උසාවිටය බොරුකීමටත් එක්ක සත පනහක් ගැහුවලු.

    BalasPadam
  7. අපේ ඉස්කෝලෙ තිබුනෙ ටෙනිස් බෝල ක්‍රිකට් විතරයි. යකඩ පුටුවක් තමයි විකට් එක. පුටු කැඩීමක් නං සිද්ධවුනේ නෑ.

    BalasPadam
    Balasan
    1. අපේ අයියලා යකඩ පුටුත් කඩයි

      Padam
  8. This is nice Ruwan. Few days ago I met Col... (don;t remember the name, is he Col. Somaweera? - volunteer officer) ur friend who was victimized by Sarath Fonseka. Once I met him at ur residence. He is in working with the Psychiatrist Col (Dr) Monaragala. I told him that I'm in touch with u.

    BalasPadam
  9. අපි නම් පෑන් ගැහුවා

    BalasPadam
    Balasan
    1. තම තමුන්ගෙ පෑන් ඩෙස් එකක් උඩ තියලා(උඩ දාලා අතාරිනවා.) අනිත් ඒවගෙ අත වදින්නෙ නැතිව තමන්ගෙ පෑනට නිය පිටින් පහර දීලා තමන්ගෙ පෑන විසිවී වැදීම නිසා අනිත් පෑන් බිම දැමීම.ඉතිරි වෙන කෙනා දිනුම්.
      (ඇතුලෙ බට අයින් කරලා වැලි පුරවලා බරට හදාගත්තු පෑන් වෙනම තිබුනා මේකටම.)

      Padam
    2. ගස් , ඒක නම් අපි කලේ නැහැ, රබර් පටි වලින් විද ගත්තා , වරක් මම බිංජූරා ගේ පිටට එල්ල කරලා විද්දා බිංජූරා ටිකක් ගොත ගහනවා පහරේ වේදනාවට බිංජූරාට අම්මෝ කියවුනත් ගොත තත්වය නිසා වචන පිට වූයේ නැහැ. ඒ නිසා බිංජූරාට මළ ඩබල්

      Padam
  10. මම අන්තිමට හිටියෙ තක්ෂිලා හෝල් එකේ පඩිපෙළ නැඟපු ගමන්ම ඇතුලට වෙන්ට තියන පන්තියෙ. පිට්ටනිය අයිනෙ මාරගස් යට හෙවණෙ තමයි අපේ ක්‍රිකට් පිටිය. එතන අපේ පන්තියෙ එවුන් සින්නක්කරව ලියාගෙන හිටියෙ. වෙන කවුරුවත් අතන ආක්‍රමණය කලානම් ඉතින් ඉවරයි...:)

    පලි - කලින් හිටියෙ තක්ෂිලා එකටම එහා පැත්තෙ තිබ්බ ටකරන් මඩුවෙ...හප්පෝ දවල් දොළහ වගෙ වෙනකොට ඒකෙ ඉන්ටම බෑ. දැන් ඔය භාෂා විද්‍යාගාරය තියෙන්නෙ එතන.

    BalasPadam
  11. ඒ කාලේ කුවේජු කියලා සර් කෙනෙක් නේද ඔතන සෙක්‍ෂන් එකේ හෙඩ්

    BalasPadam
    Balasan
    1. හම්මේ..නම කියන කොටත් බඩ හීතල වෙලා යනව..බුරිය ගාවින් අල්ලනව ඇල්ලිල්ලක් දබරැඟිල්ලයි මහපටඇඟිල්ලයි දෙක පාවිච්චි කරල ඔන් ද ස්පොට් එතනම හුලිජ්ජ පහ නොවෙන්නෙ බයටම අරක ඇකිලිලා හින්ද....හෙහ්,හෙහ්...

      Padam
    2. කේජු කොටා one and only.

      Padam
    3. මට 2004 විතර කුවේජු මහතා මුණ ගැසුනා කේරි විද්‍යාලයේදී ඔහු කේරි එකට ගියා නාලන්දෙන් විශ්‍රාම යාමෙන්

      Padam
    4. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    5. ඔය කුවේජු සර් වගේම බඩ බුරිය ලඟින් අල්ලල මිරිකන තව කෙනෙක් හිටිය එයා නිලවීර සර්. හොඳ වෙලාවට මම හිටපු 9,10 වසර දෙකේම අපිට සිංහල,බුද්ධාගම දෙකම කලේ අමරසිංහ සර්.ඒත් එයා ආවෙ නැති එකම එක බුද්ධාගම පීරියඩ් එකකට නිලවීර සර් ආව.මොකක් හරි අහපු ප්‍රශ්නයකට උත්තර දීගන්න බැරුව පංතියෙ ගැමෝම වගෙ ඔය බුරි මසාජ් එක ලබාගත්ත.තොපිට මේවනම් මතක නෑ ඒත් "බෝ මැඩ මුලදී ජිනරත්න තන මිරිකීය" කියල කිව්ව නම් හොඳට මතක තියනව කිය කිය තමයි බුරි මිරිකුවෙ.

      Padam
    6. නිලවීර ගැන වෙනම පෝස්ට් එකක් දාන්න වටිනවා. මම 10 පන්තියේදී ගල් බතා (නිලවීර​) ගෙන් කනේ පාරක් කාලා තියනවා. 1998 මම පාසලේ වෛද්‍ය සායනයකට ගියා. නිලවීර මාව දැකලා ගියා , බේත් ගන්න ආවේ නැහැ.

      Padam
  12. 'බාප්පේ මෙහෙට වරෙන්කෝ' මෙන්න ලොකු විතාන සර්ගෙ ආමන්ත්‍රනය.ඔය නම් දාන එකනම් කොහෙන් එන ඒවද මන්දා.අපේ පංතියෙ හිටියා කෙමෙස්ට්‍රි කරපු ලෝරන්ස් සර්ගෙ මස්සිනා. ඌට නමක් දැම්මා තෙල් ඌරා කියල. ගනන් හදන්න බෝඩ් එකට ගන්නව මිනිහව මෙහෙට වරෙන් තෙලෝ මගෙ පුතේ කියල.' හොඳම ගුරුවරයෙක් මට අන්තිමට හම්බවුනේ 90 විතර.

    BalasPadam
    Balasan
    1. තෙල් ඌරා කිව්වේ නීලකද ?

      Padam
    2. No . I am talking about 1974 10A science class Dr Ruwan.

      Padam
    3. ඒ සෑහෙන කාලෙකට ඉහතදී 1974ත් Mr. Withana හිටියද ? අනිත් එක හැමෝටම නම් දැම්මට සර් ට නමක් තිබ්බද ?

      Padam
    4. ඒ කාලෙත් ලොකු විතාන සර් හිටිය නේන්නම් තනියම නෙමෙයි මල්ලිත් හිටිය.ලොකු විතාන ,පොඩි විතාන කියක හිටිය මතකද? මම හිතන්නෙ අපිට උගන්නපු ගුරුවරුන්ගෙන් ඔය මහත්වරුත් ඉගෙන ගන්න ඇති. බයෝ කරපු ජයවර්ධන සර්, පිසික්ස් කරපු ජයසූරිය සර්, කාලිදාස,ලෝරන්ස් සර්ල දෙන්න කෙමෙස්ට්‍රි කලා.රංජනී අක්කා,කුලවංශ,නීල් ප්‍රනාන්දු,එහෙම. රංජනී අක්කා පස්සෙ කාලෙක ඇමරිකා ගිහින් .

      Padam
    5. ප්‍රසාද්9 November 2016 pada 4:43 PG

      මම හිතන්නේ රුවන් ඒ කලේ 1979 කාලේ සාමාන්‍ය පෙළ පන්තිවලදීම විද්‍යාව විෂය Chemestry Physics Biology කියල විෂය 3 ට වෙන්කරලා ගුරුවරු 3 දෙනෙක් උගන්වපු ලංකාවේ එකම පාසැල නලන්දවයි. ඒ නිසා අපි උසස් පෙලට යනකොටම අපි දන්නවා Physics, Chemestry වෙන වෙනම. මම හිතන්නේ එලෙසෙ වෙන් කරලා උගන්නන තීරණය ගන්න ඇත්තේ ජයවර්ධන සර් විය යුතුයි. ලංකාවේ අනෙක් පාසල් ඒ තීරණය ගත්තේ ඊට වසර 25 කට විතර පසුවයි. ඒ ගැන ජයවර්දන සර්ට අපේ ප්‍රණාමය.

      විශේෂයෙන්ම ජයසුරිය සර්ගේ physics ඉගැන්වීම ගැන කිව යුතුයි. ඉතා සරලව පිළිවෙලට AL වලට Physics වලට අවශ්‍ය මුලික දැනුම සාපෙළදීම ලබාදුන්නා.

      ලෝරන්ස් සර් කිව්වේ Chemistry වල සුත්‍ර මතක නැත්තම් "සුත්තර පාරන්න" කියලයි.

      Padam
  13. එහෙනම් නිකම්ම ඉඳලා නැහැ ඉස්කෝලේ යනකාලේ නේද? මදැයි ඔයින් ගියා.

    BalasPadam
    Balasan
    1. කරපු කියපු දේවල් පොතක ලියන්න පුළුවන්

      Padam
  14. අයියලා හිටියට ගොඩ කාලෙකට පස්සේ අපි හිටියේ ...ඒත් ඔය කියන සිද්දි ටිකේ නම් වෙනසක් තිබ්බේ නෑ ..ඔය ක්‍රිකට් ගැහිල්ල ඒ විදිහටම අපිත් ගැහුවා ..පිට්ටනිය හේමන්ත සර් ලස්සනට හැදුවට පස්සේ විකට් කූරු හිටවන එක තහනම් උනා ,,හැබැයි අපි අත අරීද එහෙම කියලා ..ඉතිං එඩ්ඩියා එනවා අංගුලිමාල වගේ ඉතින් අපි දුවනවා ...හැබැයි අපිව පන්නලා එඩ්ඩියාට එපා වෙන්නෙත් නෑ හොරෙන් විකට් හිටවලා අපිට එපා වෙන්නෙත් නෑ ...අපි ක්‍රිකට් ගහන්න අන්තිමේට අල්ල ගත්තේ බාස්කට්බෝල් කෝට් එක ඒකෙ ගැහුවේ හතරේ පාර ...නාලන්දේ කොහොමත් කවදාවත් වෙනස් නොවන දේවල් ටිකක් තියෙනවා

    BalasPadam
    Balasan
    1. අපේ 1985 කට්ටිය එකතු වෙලා එඩ්ඩියාට මුදල් ප්‍රධානයක් කරලා තියනවා. එඩ්ඩියා ගැන වෙනම පෝස්ට් එකක් දාන්න ඕනේ

      Padam
  15. හපොයි මරු කොල්ලෝ..මරු කාලයක් නේ???????????????

    BalasPadam
  16. මං නං ඇත්තටම හොඳ ළමයෙක්. ඔය නරක වැඩ කළේම නෑ!

    BalasPadam
  17. වජිර මගේ ෆ්බි මිත්‍රයෙක් ....ලින්ක් එක එවන්නද....ඉස්සර වගේම නානාප්‍රකාර පින්තූර දදා...ගම්පලයා ඉන්නව.....���� අතීත කතා කොහොමද බං ඔච්චර හොදට මතක.....සුබපැතුම්...ජයවේවා.....ඔස්ට්‍රේලියා එනකොට මතක ඇතිව දන්වන්න....අතීත කතා බහක යෙදෙන්න හරි ආසයි....

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook