Wednesday, January 18, 2017

කඩචෝරු

 


පොලිස් කාරයන් පැමිණ නාලන්දේ ගේට්ටුව අසල අච්චාරු , අයිස්ක්‍රීම්  සහ අනෙකුත් කඩචෝරු විකුණන මිනිසුන් ගේ කෑම විසි කර දමනවා මම එම් ජේ කේ පෙරේරාත් සමග ගේට්ටුවේ කූරු අතරින් හිස දමා බලාගෙන සිටියෙමි. 

මේ 1974 වසරයි අපි සිටියේ දෙකේ පන්තියේය​. නාලන්දේ ගේට්ටුව අසල විකුණන  කඩචෝරු කන්නට එපා යැයි විදුහල්පතිතුමා වරක් එසෙම්බ්ලියේදී කීවේය​. එහෙත් අයිස් ක්‍රීම් , අන්නාසි , කපන ලද අඹරැල්ලා , කඩල , අච්චාරු දකින විට කටට කෙළ උනයි ඒ නිසා පාසල අවසන් වී නිවෙස් වලට යන විට අපි වැඩිහිටියන්ට කන්නලව් කොට මේවා මිළට ගන්නෙමු. 

අයිස්ක්‍රීම් කාරයා අයිස්ක්‍රීම් දාගෙන එන්නේ පෙට්ටියක් වැනි තල්ලු කර ගෙන යා හැකි කුඩා කරත්තයකය​. අයිස්ක්‍රීම් (කුඩා පොප්සිකල් ) එකක් සත පහකි. සත දහයට තරමක් විශාල එකකි. ඒවා සාදන්නේ අපිරිසුදු වතුර  වලින් බවත් සීනි වෙනුවට දමන්නේ සැකරින් බවත් ගුරුවරු කියති. සැකරින් වලට ඇටකටු දිරන බව අබේකෝන් ටීච් දිනක් කීවාය​. එහෙත් සත පහක් ආයාගෙන් ඉල්ලා ගන්නා මම අයිස්ක්‍රීම් කරු වෙත දුවන්නෙමි. 

ඇය සත පහක් නොදුන්නේ නම් මම පාසලේ සෙල්ලම් පිට්ටනියට ගොස් ඔන්චිලි පදිමි. ඇය ඇය සත පහක් දුන් විට මම ඇය සමග ගෙදර යාමට සැරසෙමි. සවස ගනන් බේරන විට ඇය " බේබි අයිස් ක්‍රීම් එකක් කන්න සත පහක් ඉල්ලා ගත්තා "  කියන්නීය​. මේ නිසා මව ඇයට වැඩිපුරද මුදල් දීමට පුරුදු වූවාය​. තවමත් අපගේ නිවසේ ජීවත් වන මේ තැනැත්තිය දැන් මහළු වියට පා තබා තිබේ. ඇය අපගේ පවුලේ සාමාජිකාවක් වැනිය​. පසුගිය වසරේ ඇයගේ පාදයේ ශල්‍යකර්මයකට මුදල් ඩොලර් වලින් මා යැවුවෙමි. තාමත් ඇයට මා බේබිය​. අපගේ නිවසට ආ විට ඇය අප සමග එක මේසයේ ආහාර ගත යුතු බවට මම නීතියක් පනවා තිබේ. 

මගේ මව සමග ඇය ඉන්දියාව , වියට්නාමය , චීනය වැනි රටවල් වලටද ගියාය​. එහෙත් ඇයට කැනඩාවට ඒමට විසා නොලැබුනේ ඇය පවුලේ ඤාතියෙකු ලෙස සනාථ කිරීමට අප ව්‍යාජ ලියකියවිලි කැනඩා මහ කොමසාරිස් කාර්‍යාලයට නොදුන් නිසා වෙනි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ බී.ජේ.සී පෙරේරා මහතා යටතේ සිටි  1993 කාලයේ අයිස් පැකට් කෑම නිසා හෙපටයිටිස් හෙවත් සෙංගමාලය වැළඳුණු ළමුන් රැසක් මම දුටුවෙමි. ඔවුන් ගේ අක්මාවන් ඉදිමී ඇත​. මම වෛද්‍ය සුන්දරී අරුලම්පලම් සමග ඒ ළමුන් පරික්‍ෂා කරමි. 

"ඇයි අයිස් පැකට් කෑවේ ? කියා ඇඳ මත වැතිරී සිටින ළමයාගෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තැන අසයි. වයස අවුරුදු අටක් නවයක් පමණ වූ ළමයා වරදකාරී සිනහවක් අපට දෙයි. 

මම මගේ ළමා කාලයට යමි. පාසල අසල අයිස්ක්‍රීම්කරු ගෙන් මම අයිස්ක්‍රීම් විශාල ප්‍රමානයක් කා තිබේ. පුදුමයකට මෙන් මට ඒ කාලයේ සෙංගමාලය හැදුනේ නැත​. 

පොලිස්කාරයන් අන්නාසි කාරයාගේ බේසම කාණුවට හැළුවෝය​. අන්නාසි කරු විලාප දුන්නේ ඔහුගේ බඩට පහර වැදුණු නිසාය​. ඔහු යාප්පු වී තම එනැමල් බේසම ඉල්ලාගෙන ඉවතට දිව්වේය​. ඇඹරැල්ලා ආචිචිගේ ඇඹරැල්ලාද කාණුවට හලන ලදි. 

පොලිස් ජීප් එක එන විට අයිස්ක්‍රීම්කරු තම ශිත පෙට්ටිය සහිත  බයිසිකලය ගෙන යාබද පන්සල් වත්තට පැන්න හෙයින්  ඔහු පොලිස් අතවරයෙන් බේරුණි. 

අඩ පැයක් යන විට පොලිස් මෙහෙයුම නිමා විය​. දැන් වෙලෙන්දෝ පාසල අසල නැත​. පොලිස් ජීප් එක සැර දමා යන්නට සැරසෙයි. 

 පොලිස් නාටකයෙන් පසු එම් ජේ කේ පෙරේරා තමාගේ විශාල හිස මා දෙස හරවා කතාවක් කීවේය​. 

" ගිය සුමානෙ මම අන්නාසි බේසමක් අරගෙන ඒකට අර මදුරුවන්ට ගහන මොකක්ද  මේ ( මම - ෙෂල්ටොක්ස් ද ? ) ඔව් ඔව් ඒක තමයි. මම ඒවා අන්නාසි වලට විදලා   අන්නාසි බේසමත් අරගෙන ආනන්දේ ලඟට ගිහින් විකුණන කොට පොලිසියෙන් ඇවිත් මට දුප් දුප් කියලා මාව එලෙව්වා. පොලිස්කාරයෝ අන්නාසි කාණුවට හැලුවේ නෑ වටේ හිටපු එවුන්ට දුන්නා . උං ඒවා කාලා මළා " 

මම එම් ජේ කේ පෙරේරා ගේ කතාව ඉතා විශ්වාසයෙන් අසා සිටියෙමි. 

මම එම් ජේ කේ පෙරේරා නාලන්දා විද්‍යාලයේ තවත් වසර තුන හතරක් පමණ ඉගෙනුම ලබා ඩ්‍රොප් අවුට්   කෙනෙකු විය​. ඔහු වෙනත් පාසලක තම අධ්‍යාපනය කරගෙන ගියා යැයි මම නොසිතමි. 

ඒ කාලයේ එම් ජේ කේ පෙරේරා වැනි දුගී පවුල් වලින් පැමිණි අරුණදීප , නාලන්දාව අසල වත්තක සිට ආ සුදු අයියා මලෝ දෙදෙනා යනාදී සිසුන් හය වසරට පා තැබීමටත් ප්‍රථම පාසල් අධ්‍යාපනය හැර යන ලදි. 

ඉතා ධනවත් මෙන්ම ඉතා දුගී සිසුන් සමග ඉගෙනුම ලැබූ මා හට එම් ජේ කේ පෙරේරා වැනි සිසුන් ඩ්‍රොප් අවුට්   වූයේ මන්ද කියා  ඒ කාලයේ හරි හැටි තේරුනේ නැත​. එසේම දුගී බව නිසා එලෙස ඩ්‍රොප් අවුට්  වූ සිසුන් පාසලෙන් ඩ්‍රොප් අවුට් නොවන ලෙසට ඉගෙනුම කරගෙන යාමට ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොතිබුනේ මන්ද කියාත් අද දිනයේ මට නොතේරේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Tuesday, January 17, 2017

පී.ජී.අයි.එම් හෙවත් Postgraduate Institute of Medicine අායතනය ගැන වෛද්‍යවරයෙක් කතා කරයි




පී.ජී.අයි.එම් හෙවත්  Postgraduate Institute of Medicine අායතනය ලංකාවේ වෛද්‍යවරුන් ගේ විශේෂඥතාවයන් සාක්‍ෂාත් කර ගැනීම සඳහා විභාග පවත්වන ආයතනය වෙයි.  වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා මේ ආයතනය මගින් පවත් වන විභාග වලට මුහුණ දී පසුව එංගලන්තය , ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වැනි විදේශ රටකට ගොස් වැඩිදුර පුහුණුව ලැබිය යුතුය​. ඉන් පසුව ඔහු හෝ ඇය​. අදාල ශාස්ත්‍රාලයේ සාමාජිකයෙකු බවට පත් වෙයි. 

 පී.ජී.අයි.එම්  අායතනය ගෞරව සහිත බහුමානයෙන් සැලකිය යුතු ආයතනයකි. බොහෝ කාලයක් පුරා ලංකාවේ විශේෂඥ වෛද්‍යවරු බිහි කිරීමට ක්‍රියා කල මණ්ඩලයකි. මේ ආයතනයට සුවිශේෂ සම්ප්‍රදායන් චිරාත් කාලයක් පුරා පැවතගෙන එයි. එහි සේවය කරන සාමාජිකයන් අපක්‍ෂපාතීව අවංකව සේවය කිරීමට බැඳී සිටිති. 

 පී.ජී.අයි.එම්  අායතනය ගැන ලිවීම හෝ එහි කටයුතු විවේචනය කිරීම සියතින් ගෙල සිඳ ගැනීමක් ලෙස බොහෝ වෛද්‍යවරු සලකති. එසේම පී.ජී.අයි.එම්  අායතනය සමග නඩු කියූ අතලොස්සක් වූ වෛද්‍යවරු අවසානයේදී කුණු කූඩයට විසිවී ගියහ​. මේ ආයතනය ඉතා ශක්තිමත් ජාලයකි. වෘත්තීමය වශයෙන් සහ දේශපාලනමය වශයෙන් බලපෑම් කල හැකි ආයතනයකි. එම නිසා  පී.ජී.අයි.එම්  අායතනය ගැන විවේචනය කිරීම කළු ගලේ ඔළුව ගසා ගැනීමකි. 

මුදවපු විගස කිරි මිදෙන්නේ නැතුවාක් මෙන් පී.ජී.අයි.එම්  අායතනය විවේචනය කරන වෛද්‍යවරුන්ට බඩු එන්නේ තැපෑලෙන් අනපේක්‍ෂිතවය​. නමුත් පැස්ටර්නාක් කිව්වාක් මෙන් තමන් දන්නා සත්‍ය කතා කරන මුග්ධයෝ සෑම යුගයකම සිටිති. මමද එවැනි මුග්ධයෙක්මි. එම නිසා වසර 16 ආසන්න කාලයක් ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල කාලයේ  පී.ජී.අයි.එම්  අායතනය ගැන මා විසින් අද්දුටු සිද්ධීන් මෙන්ම මගේ සමහරක් වෛද්‍ය මිතුරන් ලැබූ අත්දැකීම්ද සටහන් කරමි. 

මේ නිසා සමහර වෛද්‍යවරු මා සමග අමනාප වීමටද ඉඩ තිබේ. එසේම සමහරු මාව දඩයම් කිරීමටද ඉඩ තිබේ. මෙහි භයානක කම මම දනිමි. එහෙත් සත්‍ය කවදා හෝ පැවසිය යුතුය​. මම මේ සෙල්ලම් කරන්නේ ගින්නත් සමගය. ඉදිරි කාලයේ මා පිලිස්සී  යාමට ,අපවාද වලට ,කොන් කිරීම් වලට මුහුණ දීමට නියමිතය​. එහෙත් මම පුද්ගලිකව කිසිවෙකු සමග අමනාප නැත​. මම පෙන්වා දෙන්නේ ලංකාවේ උගත් වෘත්තිකයන් සමහරක් අතර පවතින මාෆියා සබඳකම් මෙන්ම ඔවුන් සමහර විසින් කරන අකටයුතුකම් ය​. අනාගත වෛද්‍යවරුන් ගේ අභිවෘද්ධිය මෙන්ම ඔවුනට සාධාරණය ඉටු කිරීම සඳහා මම මේ හෙළි කිරීම් කරමි. 
පී.ජී.අයි.එම්  අායතනය ගැන යම් අදහසක් මට ලැබෙන්නේ 1995 වසරේදීය​. ඒ කාලයේ මාතලේ රෝහලේ පී.එම්. සී හෙවත්  රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉන්ටර්න්වරියක් සිටියාය​. ඇයගේ ඉංග්‍රීසි භාෂා දැණුම මෙන්ම  වෛද්‍ය විද්‍යා දැණුම විශිෂ්ඨ වූවාය​. ඇය අංකුර විශේෂඥ වෛද්‍යවරියක් බව සියල්ලන්ටම වැටහුණි.

මේ නවක වෛද්‍යවරියට Pediatrics හෙවත් ළමා රෝග පිලිබඳව විශේෂඥතාව ලබා ගැනීමට අවශ්‍යතාව තිබුන නමුදු ඒ කාලයේදී Pediatrics විශය විශේෂඥතා විභාගයට පෙනී සිටීම සඳහා සීමාවාසික නොහොත් ඉන්ටර්න් කාලයේ Pediatrics කර තිබිය යුතු බවට කැකිල්ලේ නීතියක් එකල පනවා තිබුණි. මේ නිසා අපගේ කතා නායිකාවට තමන්ට ප්‍රිය වූ විශය හැදෑරීමට ඉඩ ලැබුනේ නැත​. මින් කලකිරීමට පත් වූ ඇය රජයේ සේවයන් අස්වී ඇමරිකා එක්සත් ජනපදය බලා ගියාය​. අති දක්‍ෂ වෛද්‍යවරියක් අපගේ සෞඛ්‍යය සේවය / පී.ජී.අයි.එම්  අායතනය විසින් පළවා හැරියේ එසේය​. නමුත් ඇය පීඑම්සී එකේ ඉගෙන ගත් සිසුවියක් නිසා කිසිවෙකු සංවේදී වූයේ නැත​. 

 ඉන් වසර කිහිපයකට පසුව මෙම කැකිල්ලේ නීතිය තවමත් තිබේද කියා මම සොයා බැළුවෙමි. එහිදී මට පේරාදෙනිය රෝහලේ වෛද්‍යවරයෙකු අපූරු කතාවක් කීවේය​. පී.ජී.අයි.එම්  අායතනයේ Pediatrics අංශයේ සිටි එක් බලවත් ළමා රෝග පිලිබඳව විශේෂඥ වෛද්‍යවරියකගේ ඥාති දියණියට Pediatrics කිරීමට අවශ්‍යව තිබිණි. එහෙත් ඇය තම සීමාවාසික සමයේ Pediatrics කර නොතිබිණි. නමුත් උභය කුළ පරිශුද්ධතාවය නිසා ඥාති දියණිය වෙනුවෙන් මේ කැකිල්ලේ නීතිය ඉවත් කෙරුණි. 

උභය කුළ පරිශුද්ධතාවය පිලිබඳව මට තවත් නිදසුනක් මතක් වෙයි. මාතලේ රෝහලේ සිටි එක් වෛද්‍යවරයෙකු සීමාවාසික කාලයෙන් පසුව දඹුල්ල රෝහලට ගියේය​. ඔහුගේ බාප්පා  මධ්‍යම ප්‍රදේශයේ ශික්‍ෂණ  රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම පී.ජී.අයි.එම්  අායතනයේ බලවත් පුද්ගලයෙකු වූයේය​. මෙම නවක වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීම ගෙන දඹුල්ල රෝහලට යන විට මගේ මිතුරෙකු වූ පේරාදෙනිය වෛද්‍ය පීඨයේ මොහාන් මට අමුතු කතාවක් කීවේය​. මේ වෛද්‍යවරයා පශ්චාත් සීමාවාසික පත්වීමට දඹුල්ල රෝහලට ගියද ඔහු එහි මාස 6 වඩා නොසිටින බවත්  ඉතා කෙටි කාලයකින් තම බාප්පා සිටින රෝහලේ ඔහුගේ අංශයේ වෛද්‍ය පුරප්පාඩුවකට එන බවත් ඉන් පසු බාප්පා විශේෂඥතාවය දරණ විශය හදාරා පී.ජී.අයි.එම් එකෙන් විභාග පාස් වී ඔහු බාප්පා ගේ තැනට එන බව අණාවැකි කීවේය​. එම අණාවැකිය එලෙසටම ඉටු විය​. එහෙත් උභය කුළ පරිශුද්ධතාවය නොතිබූ වෛද්‍ය මොහාන් සාමාන්‍ය වෛද්‍යවරයෙකු වී කුරුණෑගල ප්‍රදේශයේ තම පුද්ගලික ඩිස්පැන්සරිය දමාගෙන ජීවත් වෙයි. 

1998 කාලයේ පමණ මීගමුව රෝහලේ  විශේෂඥ ළමා වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතාගේ වාට්ටුවේ තරුණ වෛද්‍යවරියක් වූවාය​. ඇය පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව ( Diploma in family Medicine) හැදෑරීමට උත්සුක වූවාය​. අප තරුණ වෛද්‍යවරු සේවා මුරයෙන් පසු මීගමුව බීච් කලාපයේ රස්තියාදු වෙමින් මුහුදේ පිහිනමින් සිටින විට ඇය වාට්ටුවට වී අධ්‍යනයේ යෙදුනාය​. ඉතා මහන්සිවී වැඩ කලද ඇයට පවුල් වෛද්‍ය ඩිප්ලෝමාව සමත් වීමට නොහැකි විය​. පසු කාලයක පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගය කල සමහර අපේක්‍ෂකයන් ගේ ලකුණු වෙනස් කොට තමන් ගේ හිතවතුන් පාස් කර බවට චෝදනා ප්‍රසිද්ධියේ ආවේය​. එවිට මට මේ වෛද්‍යවරිය මතක් විය​. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය  විශේෂඥ ඩී.ඩබ් වීරසූරිය මහතා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු මට මතක් වේ. මම ඔහු සමග වැඩ කොට තිබුණි. ශල්‍ය වෛද්‍ය විද්‍යාවට ඔහු දක්‍ෂයෙකි. හොඳ වැඩකාරයෙකි. සම්භවය පී.එම්.සී හෙවත් රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේය​. ලංකාවේ පී.ජී.අයි.එම්  අායතනයේ කැපිලි කෙටිලි වලට බිය නිසා ඔහු කෙලින්ම එංගලන්තයට ගොස් ශල්‍ය වෛද්‍ය විද්‍යාව එංගලන්තයේ හදාරා ශල්‍ය වෛද්‍ය විභාගය සමත් විය​. 

ඔහු එංගලන්තයේ ශල්‍ය වෛද්‍ය  විභාගය සමත් වී ලංකාවට ආවද පී.ජී.අයි.එම්  අායතනය ඔහුව ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු ලෙස පිලි ගත්තේ නැත​. හේතුව ඔහු ලංකාවේ පී.ජී.අයි.එම්  අායතනය පවත්වන  MS  විභාගය කර නොතිබීම නිසාය​. කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ විට කෝරලේ මහත්තයා කෝප ගනී. එසේම පී.ජී.අයි.එම්  අායතනය මේ වෛද්‍යවරයා සමග උරණ විය​. ඔහු ලංකාවේ MS විභාගය කිහිප වතාවක් කරද ඔහුව අසමත් කරන ලදි. එංගලන්තයේ  ශල්‍ය වෛද්‍ය  විභාගය සමත් වීමට හැකියාව තිබූ මොහුට ලංකාවේ MS විභාගය සමත් වීමට නොහැකි වීම මවිතය ගෙන දුන්නේය​. 

මෙයාකාරයෙන්ම කෝරලේ මහත්තයා මග හැර ඒජන්ත මහත්තයා හමු වූ නොහොත් පී.ජී.අයි.එම්  අායතනය යටතේ MS විභාගය නොකොට කෙලින්ම එංගලන්තයට ගොස් එංගලන්තයේ  ශල්‍ය වෛද්‍ය විද්‍යා විභාගය සමත් වූ වෛද්‍ය රංජන සෙනෙවිරත්න මහතා යලි ලංකාවට පැමිණි විට ඔහුටද මහත් වටයක් යන්නට සිදු විය​. යුද්දය කාලයේ ශල්‍ය වෛද්‍ය අංශයේ පලාලි වැනි රෝහල් වල වැඩ කරමින් ජාතික සේවාවක් කල රණවිරු  සේවා (RSP) පදක්කම්ලාභී  වෛද්‍ය රංජන සෙනෙවිරත්න පී.ජී.අයි.එම් ගිලටීනයෙන් බේරුනේ අනූ නවයෙනි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ  සේවය කල කාලයේදී මා මිතුරු වෛද්‍ය පද්මරාජ්  පී.ජී.අයි.එම් විභාගයකට සූදානම් විය​. මේ නිසා මම අතිරේක සේවා මුර කරමින් ඔහුට පාඩම් කිරීමට උදව් කලෙමි. පද්මරාජ් ගේ පී.ජී.අයි.එම් විභාගයට දින දෙකකට පමණ පෙර මම රෝහලේ කන්සල්ටන්ට් ලොවුන්ජ් එකට ගියේ ශල්‍ය වෛද්‍ය  විශේෂඥ රනිල් ප්‍රනාන්දු මහතා හමු වීමටය​. 

මම එම ස්ථානයේ සිටින විට එක්තරා විශේෂඥ වෛද්‍යවරියක් ආවාය​. ඇය පී.ජී.අයි.එම් එකේ බලවත් තැනැත්තියකි. මා එතන සිටි බවට කිසිම තැකීමක් නොකල ඈ තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට යම් කෙනෙකුට කතා කලාය​. ඇයගේ කට හඞ ඝෝෂා සහිත විය​. ඇය කතා කලේ පී.ජී.අයි.එම් එකේ වෛද්‍ය පද්මරාජ් වාඩිවීමට නියමිත විභාගය පිලිබඳව බව අවට සිටි සැම දෙනාට ඇසුනි. එහෙත් එහි වගක් ඇයට නොවීය​. 

ඇය වෛද්‍ය පද්මරාජ් සහ තවත් වෛද්‍යවරියක් ( මේ තැනැත්තිය රුහුණ වෛද්‍ය පීඨයේය​. තරමක් ගෝරියට බරය​. ඇය වෙනත් විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්කක් ද දාගෙන තිබුණි) ගැන කියමින් ඔවුන් ගේ වැඩ අසතුටුදායක බව කීවාය, එසේම  ඇයගේ සිත් ගත් වෙනත් වෙනත් වෛද්‍යවරියක් පාරට්ටු කලාය​. 

මේ විභාගය රෙස්ලිං මෙන් ජය පරාජිතයන් කලින්ම වෙන් කරගෙන තිබෙන බව මට වැටහුණි. වෛද්‍ය පද්මරාජ්ට බඩු බනිස් ය​. (හඳ පෙන්වන විට පූර්ණ චන්ද්‍රයා දෙස නොව ඇඟිල්ල දෙස බලන බම්මන්නන් මම විශේෂඥ වෛද්‍යවරියකගේ දුරකථනයට හොරෙන් සවන් දුන්නා කියා චෝදනා කරනු නිසැකය​. බම්මන්නනි මම දුරකථනයට හොරෙන් සවන් දුන්නේ නැත​. ඇය මා ඉදිරියේ  මාව තැකීමකට නොගෙන​ උස් කටහඞින් කල සංවාදය මගේ සවනට වැටුණා පමණි)  

මම වාට්ටුවට යන විට පද්මරාජ් ඉතා උනන්දුවෙන් පාඩම් කරමින් සිටියි. එහෙත් හෙට අනිද්දා පවත්වන විභාගයෙන් පද්මරාජ් ෆේල්‍ ය​. මම ඔහුට කිසිවක් නොකීවෙමි. මේ සිදුවීම සිදු වී වසර 16 පමණ ගතවී තිබේ. මම තවමත් ඔහුට මේ සිද්ධිය කියා නැත​. 

යාපනය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ පද්මරජ් විභාගයට ගොස් මහත් සතුටින්  ආවේය​. ඔහු විභාගයට හොඳින්  පිලිතුරු දුන් බව මට කීවේය​. එහෙත් ඔහුගේ ඉරණම මම දැනගෙන සිටියෙමි. සති කීපයකට පසුව  ප්‍රතිඑල  ආවේය​.  අනුමාන කල පරිද්දෙන් පද්මරාජ් සහ විශේෂඥ වෛද්‍යවරියක් සමග කොක්ක  දාගෙන තිබූ වෛද්‍යවරිය අසමත්ව  තිබුණු අතර දුරකථනයෙන්  රෙකමදාරු කල වෛද්‍යවරිය  සමත්ව තිබුනාය​. 

පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වීමෙන් පසු පද්මරාජ් යළි විභාග කිරීමට උනන්දු නොවීය​. ඔහු එක්සත් ජනපදයට ගියේය​. පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ නමුත් ඇමරිකාවේදී ඔහු United States Medical Licensing Examination (USMLE )  හෙවත් ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට කල යුතු විභාගය ඉහලින්ම සමත් විය​. දැන් ඔහු ඇමරිකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.  ඉතා අසීරු විභාගයක් වූ USMLE සමත් වීමේ හැකියාව තිබූ වෛද්‍ය පද්මරාජ් ප්‍රාථමික පී.ජී.අයි.එම් විභාගයෙන් අසමත් වූ අයුරු පුදුමාකාරය​. 

විදේශ උපාධිධාරී වෛද්‍යවරු පී.ජී.අයි.එම් ආයතනයට බියය​. ඔවුන් විභාග වලදී තම සම්භවය සැඟවීමට වෙර දරති.  සමහර විට විභාග වලදී සම්භවය එළියට ආවහොත්  එය ධනාත්මක නම් වන්නේ  නැත​. මේ අතිරේක උදළු කඩුළු උඩින් පැන පී.ජී.අයි.එම් විභාග වලින් සමත් වී  විශේෂඥ වෛද්‍යවරු වූ සෝවියට් දේශයේ වෛද්‍ය පීඨයන්හි ඉගෙනුම ලැබූ වෛද්‍ය කීත් චැප්මන් , වෛද්‍ය වික්ටර් මෙන්ඩිස් , වෛද්‍ය අජිත් තෙන්නකෝන් , වෛද්‍ය නිල්මිණි විජේසූරිය එක්තරා ආකාරයකට විරුවන් වෙති. 

මීට වසර කීපයකට පෙර විශේෂඥ  මනෝ වෛද්‍ය වරුන් ගේ හිඟය නිසා මනෝ වෛද්‍ය ඩිප්ලෝමාවක් ආරම්භ කෙරුණි. මෙම මනෝ වෛද්‍ය ඩිප්ලෝමාව කරන ලද සමහර දක්‍ෂයන් අසමත් වූ බවත් අස්පට් ජොකියන් ජයග්‍රහණය කල බවත් වරක් වෛද්‍ය ක්වින්ටස් මට පුත්තලම රෝහලේදී කීවේය​. එවිට මට මතක් වූයේ පවුල් වෛද්‍ය ඩිප්ලෝමා විභාගයේදී සමහර අපේක්‍ෂකයන්ට සිදුවූ අසාධාරණයන්ය​. මේ හැර පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද එක් වෛද්‍යවරියක් විදේශ පුහුණුව සඳහා නවසීලන්තයට හෝ  ඔස්ට්‍රේලියාවට ගිය මුත් ඇයට විදේශ පුහුණුව සාර්ථකව නිම කිරීමට නොහැකි වූවාය​. ඇය කාලයක් පුත්තලම දිස්තික්කයේ මනෝ වෛද්‍යවරියක ලෙසද සේවය කොට තිබුණාය​. 

පී.ජී.අයි.එම් ආයතනය විසින් සමත් කරන ලද හලාවත රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ලෙස තමන්ව හඳුන්වාගත් පුද්ගලයා පිලිබඳව යමක් මෙහිදී සටහන් කල යුතුය​. ඔහු තුල මනෝ විද්‍යාව , මනෝ චිකිත්සනය ගැන තිබෙන ඌන දැණුම සලකා බැලූ විට ඔහු මෙම පී.ජී.අයි.එම් විභාග සමත් වූයේ කවර ප්‍රාතිහාර්‍යකින් ද කියා මට සිතුණි. මේ මහතා සමග මට කිසිදු පුද්ගලික තරහක් නැත​, ඔහු යහපත් මිනිසෙකු මෙන්ම හොඳ වෛද්‍යවරයෙකු බව ඔහුව දන්නෝ පවසති. එහෙත් ගුණ යහපත්කම සහ විජානනය යනු දෙකකි. එය පටලවා ගත යුතු නොවේ. 

 2002 වසරේදී කොලඹ  ඉන්ටර්කොන් හෝටලයේ වෛද්‍ය  සම්මන්ත්‍රණයක් තිබූ අතර එක් වෛද්‍ය ජ්‍යෙෂ්ඨ රෙජිස්ටාර්වරයෙක් කෙටි දේශනයක් කලේය. ව්‍යාකරණ දෝශ සහිතව ඔහු කතා කල ඉංග්‍රීසි ඇසූ බොහෝ දෙනෙකුට නැගුණු ප්‍රශ්නය වූයේ මෙවැනි ඉංග්‍රීසි ඌණ දැණුමක් සහිතව මොහු පී.ජී.අයි.එම් ආයතනයේ විභාග සමත් වූයේ කෙසේද කියාය​. මේ පුද්ගලයා වෛද්‍ය විද්‍යාව රුසියන් , චීන හෝ ස්පාඤ්ඤ භාෂාවෙන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබුනේ නම් යම් සමාවක් දීමට ඉඩක් තිබුනේය​. නමුත් ඔහු වෛද්‍ය විද්‍යාව දේශීය වෛද්‍ය පීඨයක ඉංගිරිස් භාෂාවෙන්  හදාරා තිබුණු බව පසුව දැන ගන්නට ලැබුනේය​.  

පී.ජී.අයි.එම් ආයතනයේ  නීති ගරුක කිසිදු අසාධාරණ ක්‍රියාවන් නොකරන වෛද්‍ය විශේෂඥවරු සිටිති ඔවුන් සාධාරණ ලෙස විභාග පවත්වමින් දක්‍ෂ වෛද්‍යවරු තෝරාගෙන ඔවුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙති. අප ඔවුන්ට ණය ගැතිය​. එහෙත් නීත්‍යාණුකූල මුදල් අතර හොර සල්ලි තිබෙන්නාක් මෙන් මේ ආයතන වල හොරු අතලොස්සක් සිටිති. මොවුන් නිරාවරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, January 15, 2017

ෆෝර්සෙප්ස් ඩිලිවරි

 



දරු උපත් වලදී ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු සමහරක් විට භාවිතා කරති. මෙලෙස ඩැහි අඬු භාවිතා කරන්නේ දරුවාගේ හිස උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදීය​. සමහර විට දරුවාගේ තට්ටම් ද උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා තිබේ. එවැනි අවස්ථා වලදී ද ඩැහි අඬු භාවිතා කරති. 

ෆෝර්සෙප්ස් හෙවත් ඩැහි අඬු භාවිතය සියවස්  තුන හතරක් ඈත අතීතයට යයි. මධ්‍යකාලීන යුරෝපයේ ඩැහි අඬු භාවිතා කොට ප්‍රසව වේදනා අඩු කොට දරු උපතකට උදව් කල වින්නඹුවක්  පල්ලිය විසින් පණ පිටින් පුලුස්සා මරා දමන ලදි. ඊට හේතුව වූයේ දෙවියන් විසින් ගැහැණියට ආරෝපණය කර තිබූ ප්‍රසව වේදනාව කෘතිම ලෙස ඩැහි අඬු භාවිතයෙන් වින්නඹුව අඩු කරන ලද නිසාය​. 

ෆෝර්සෙප්ස් ඩිලිවරි වල සංකූලතා තිබිය හැකිය​. ළදරු හිස හෝ තට්ටම් උපත් මාර්ගයේ සිරවී ඇති අවස්ථා වලදී අඞු භාවිතා කල යුත්තේ ඉතා ප්‍රවේශමිනි. අනිසි ලෙස අඞු භාවිතා කල හොත් මවගේ යෝනි මාර්ගය ඉරී යාම , ළදරු හිස තුවාලවී පසුකාලීනව වලිප්පු වැනි තත්වයන් , අධ්‍යාපන දුබලතා ඇතිවීමේ සම්භාවිතාවන් තිබේ. 

වරක් මාතලේ මූලික රෝහලේදී එක් නවක වෛද්‍යවරියක් වැරදි ලෙස අඞු දමා ළමයා එලියට ගැනීමට තැත් කල අතර ළදරු හිස ගෙලෙන් වෙන් වී අතට ආවේය​. ළදරු හිස චක් හඞ නගමින් සූතිකාගාරයේ පොළවට වැටුනි. මෙය දුටු සූතිකාගාරයේ හෙදියක් ක්ලාන්ත වූවාය​.  ළදරු සිරුර කවන්ධ රූපයක් සේ ප්‍රසව මාර්ගයේ හිරවී තිබූ අතර පසුව එය ඉවතට ඇද ගන්නා ලදි.   

අද මෙන් නොව ඒ කාලයේ (1994) සෝෂල් මීඩියා නොතිබූ නිසා මේ සිද්ධිය යට ගියේය. එසේම නවක සීමාවාසික වෛද්‍යවරියක වූ නිසා මේ සඳහා ඇයට චෝදනා ගොනු නොකරන ලදි.   සිතා මතා නොවූවද මේ සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීම එකී  වෛද්‍යවරියට බලපෑ අතර ඇය නිහඞව තැවුනා කියා මම සිතමි. 

මාගේ වෘත්තීය ජිවිතයේදී මම ෆෝර්සෙප්ස් ඩිලිවරි විසි පහක් තිහක් පමණ කොට තිබේ. දෙවියන්ට ස්තූති වන්නට මේ ෆෝර්සෙප්ස් ඩිලිවරි වලදී සංකූලතා මතු වූයේ නැත​. මෙලෙස නිවැරදි අන්දමින් මට ෆෝර්සෙප්ස් නොහොත් අඞු භාවිතා කිරීම උගන්වන ලද්දේ ආනන්ද රණතුංග , නීල් සෙනෙවිරත්න , අජිත් සේමගේ යන නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරු විසිනි. ඒ නිසා මම ඔවුන් විසින් දුන් දැණුමට නය ගැති වෙමි. 

මීගමුව රෝහලේදී මා විසින් කරන ලද ෆෝර්සෙප්ස් ඩිලිවරියක් මට තවමත් මතකය. 

උදෑසන දහයට පමණ ලේබර් රූම් එකේ සිටි මාතාවක් තවමත් දරුවා ප්‍රසූත කර නැති බව සීමාවාසික වෛද්‍ය බාස්කරන් මට දැණුම් දුන්නේය​. මම මේ කාන්තාව පරික්‍ෂා කොට බැලුවෙමි. ළදරු හිස ප්‍රසව මාර්ගය අවහිර කොට ඇත​. අඞු දමා දරු උපත සිදු කල යුතුය​. ඒ සඳහා මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යතුමාව දුරකතනයෙන් අමතා ඔහුගේ අනුමැතිය ගත්තෙමි. 

ගුණපාල මිස් මට කොළ පැහැති රෙද්දක ඔතා තිබූ ෆෝර්සෙප්ස් දෙක දුන්නාය​. මම අඞු දෙක ප්‍රසව මාර්ගයට දමා ළදරු හිස දෙපසට තබා ස්ථායි කර ගත්තෙමි. වෛද්‍ය බාස්කරන් මගේ දකුණු පසින් ද මිඩ් වයිෆ් තිසේරා වම් පසින් ද සිටි අතර ගුණපාල මිස් මඳක් පසුපසට වී සිටියාය​. 

මම සෙමෙන් සෙමෙන්  අඞු දෙක ඇද්දෙමි. උපත් මාර්ගයේ සිරවී තිබූ ළදරු හිස ක්‍රමක් ක්‍රමයෙන් එලියට එන්නට විය​. ඒ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනිය වූ තිසේරා ගැබිණි මවට " තටමන්න තටමන්න "කියා නියෝග කලාය​. ගතවූයේ මොහොතකි. ගැබිණි මවට මළපහ පිට වූවාය​. ලේබර් රූම් එකට ඒමට පෙර මව්වරුන්ට වස්ති දෙන ලෙස පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ට දන්වා තිබුනද මේ වස්ති දීම නිසි ලෙස සිදු නොවන බව මට තේරී තිබුනි. එය මම දැන් අත් විඳිමි. 

ගැබිණි මව තැටමීමත් සමගම දියර ලෙස හෝස් ගා කක්කා පිටවූ අතර මගේ අත් වල සහ කමිසයේ කලිසමේ අසූචි තැවරිනි. බාස්කරන් සහ තිසේරා ඇසිපිය හෙලන මොහොතකදී පසෙකට දිව් අතර ළදරුවා අතරමග හිරවී සිටින නිසා මම අසූචි ස්ප්‍රේ එකද නොතකා අඞු දෙක සෙමෙන් සෙමෙන් ඇද්දෙමි. 

ගුණපාල මිස් " අනේ ඩොක්ටර් කක්කා නෑවුනා නේද?  කියා අනුකම්පිත ස්වරයකින් කීවාය​. එය ඇසූ මා මඳක් කෝපව " ඒකට කමක් නෑ පී.එච්.ඕ ට එන්න කියන්න කියා උස් හඞින් කීවෙමි. ගුණපාල මිස් දුරකථනය වෙත දිව්වාය​. ඒ අතරවාරයේ මම ළමයාව එලියට ගත්තෙමි. 

ළදරුවා හුස්ම ගන්නේ නැත​. මම ළදරුවාව කකුල් දෙකෙන් ඔසවා පිටට තට්ටු කලෙමි. තවද සකර් එක ක්‍රියාත්මක කොට ළදරුවාගේ නාස් මාර්ගය මුඛය සුද්ද කලෙමි. ඒ අතර වාරයේ පී.එච්.ඕ හෙවත් ළදරු වෛද්‍යවරිය ආවාය​. ඇය නාසය වසාගෙන මඳක් ඈතින් සිට ළමයා මවගේ ඇඳ මත තබන ලෙස කීවාය​. මම ඇයට කීකරු වූයෙමි. 

 පී.එච්.ඕ ළදරුවා අරගෙන  අවශ්‍ය කටයුතු කළාය​. මම මව වෙත ගොස් ඇයගේ එපිස් එක මසා රුධිර වහනය නවතා දැමුවෙමි. 

එදින ක්ලිනික් දිනයක් නිසා මා ඇඳ සිටියේ අත් දිග කමිසයකි. ටයි   එකක්ද දමා සිටියෙමි. නමුත් දැන් මා කක්කා වලින් නෑවී තිබේ. සමහරු මා වසූරිය රෝගියෙකු මෙන් සලකා ඈත් වූවද ගුණපාල මිස් ග්ලවුස් දෙකක් දමාගෙන මගේ කමිසයේ තැවරී තිබූ අසූචි ගෝස් කැබැල්ලකින් සුද්ද කලාය​. 

ඒ අතරවාරයේ ක්ලිනික් එකට එන්නට කියා මට නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඇමතුමක්ද ආවේය​. එය මගේ ඛණ්ඩන සීමාව විය​. " ගුණපාල මිස් මම ක්වාටස් එකට යනවා " කියා මම නිල නිවස වෙත ගියෙමි. අතර මගදී මාව හමුවූ වෛද්‍යවරු , හෙදියෝ රෝගීහු  වහ වහා ඈත් වූහ​. 

නිල නිවසට ගිය මම ඇඳුම් සියල්ල කුණු ගොඩට දමා පැයක් පමණ ස්නානය කලෙමි. ඉන් පසු අළුත් ඇඳුමක් ඇඳ සෙන්ට් පවුඩර් දමාගෙන  වාට්ටුවට ගියෙමි. ඒ යන අතරමගදී වෛද්‍ය සිරිවර්ධන මට හමු විය​. 

වෛද්‍ය සිරිවර්ධන ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ නිලධාරීය​. ඔහු ශල්‍ය වෛද්‍ය විශේෂඥ බදුර්දීන් මහතා යටතේ වැඩ කලේය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙකි. එසේම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වෛද්‍ය සිරිවර්ධන විහිළුවට බරය​. මා දුටු විගසම ඔහු මට කතා කලේය​. 

" රුවන් කොහොමද ? ජී - සෙවන් ( ගූ හතයි) කියලා ආරංචියි මොකද උනේ ? 

" කක්කා වේලෙන්නත් ඉස්සර උඹලට නිවුස් එක ගියානේද ? කියා මම සිරාගෙන් ඇසුවෙමි. 

වෛද්‍ය සිරිවර්ධන කිසිවක් කීවේ නැත​. ඔහු සිනාසුනේය​. මමට සිරාට සිනහවකින් සංග්‍රහ කොට ලේබර් රූම් එකට ගියෙමි. 

අඞු දැමූ මව දරුවාට කිරි පොවමින් සිටියාය​. සංකූලතාවයකින් තොරව අඞු උපත සිදුවී තිබේ. මවත් ළදරුවාත් සුවෙනි. මම සුසුමක් හෙළුවෙමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

පාසල් නාමකරණය



ලංකාවේ පාසල් වලට නම් තබන්නේ ආදි සිසුන් තුල හීනමානය වැඩෙන ආකාරයටය​. මේ තත්වය බොහෝ ග්‍රාමීය පාසල් වල දක්නට ලැබේ. එම පාසල් වල නම් පොල්පිති මූකාලාන විදුහළ , ජාපාල විදුහළ , යනාදී වශයෙන් නාම කරණය කොට තිබේ. මේ පාසල් වල ඉගෙනුම ලබා දිස්ත්‍රික් කෝටාවට විශ්ව විද්‍යාලයට එන සිසුන් බොහෝ දෙනෙකු කොලඹ ආදී ප්‍රධාන නගර වල ඉගෙන ගත් සිසුන් කෙරෙහි ඉරිසියාවද , වෛරයද  අනුගත කිරීම දක්නට ලැබේ. එසේම මේ ඉරිසියාවද , වෛරය සහ හීනමානය මත කොලඹ ආදී ප්‍රධාන නගර වල ඉගෙන ගත් සිසුන්ව නවක වධයට ලක් කරති. මේ මේ ඉරිසියාවද , වෛරය සහ හීනමානය අඩු කිරීම වෙනුවට ඒවා තීව්‍ර කරවමින් සමහර අන්තවාදී දේශපාලන පක්‍ෂ මේ ග්‍රාමීය පසුගාමීත්වයෙන් පෙලෙන සිසුන් තම දේශපාලන වේල් කරත්තය තල්ලු කර ගැනීම සඳහා උපයෝගී කර ගනිති.මේ තත්වය වෙනස් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මූලික පියවරවල්  ගන්නේ කවදාද ? 



Saturday, January 14, 2017

කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට





මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සඳහා ජනතාව වෙත සෞඛ්‍ය අධ්‍යාපනය නොලැබීම යම් ප්‍රමාණයකට හේතු කාරක වන බව  මගේ හැඟීමයි. ජනතාවට ප්‍රශස්ථ ලෙස සෞඛ්‍ය අධ්‍යාපනය නොලැබීම  නිසා  විසි එක් වන සියවසේ වූවද තවමත් මේ සිදුවීම් ගැන තවමත් අසන්නට ලැබේ.  මෙම කපුවන් බොහෝ දෙනෙකු කපටීන් වෙති. නැතහොත් විඝටන ආබාධ හෙවත් Dissociative Disorders වලින් පෙලෙති.  ජනමාධ්‍යවේදීන් , දේශපාලකයන් මිත්‍යාව ප්‍රවර්ධනය කරන යුගයක සෞඛ්‍ය අංශයේ සාමාජිකයන් සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කල යුතුය​. ඝන අන්ධකාරය බිඳින්නට අප කුඩා මැටි පහණක් හෝ දල්වමු. 

කපුවා ආරූඪයෙන් පෙවූ දියරය විසවී දෙදරු මව මරුට

කුලියාපිටිය - උපේන්ද්‍ර සේරසිංහ


දේවාලයක කපුවකු විසින් කාන්තාවකට පෙවූ යම් දියරයක්‌ විෂ වී එම දේවාරූඪයට සහභාගිවූ කාන්තාවක පෙරේදා ( (11 දා) රාත්‍රියේ මිය යැමේ පුවතක්‌ දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.



වැලිපැන්නගහමුල්ල පාලියගාර වැව අසල පිහිටි දේවාලයකදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ එසේ දියරයක්‌ පානය හේතුවෙන් මියගොස්‌ තිබුණේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි ඉශාරා උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී සිටි අයකි. තමන්ට මතුව ඇති අපල හා වෙනත් අයෙකු විසින් කළ බව කියන දෝෂ සහිත තත්ත්වයක්‌ සඳහා පිළිසරණක්‌ ලබා ගැනීමට අදාළ කාන්තාව සිය ඥාති නැගණියකද සමඟ දේවාලයට පැමිණ තිබේ. දේවාලයේ කට්‌ටඬියා විසින් ඇය ආවේෂකොට අවසිහියෙන් යම් දියරක්‌ පානය කිරීමට ලබාදී ඇති අතර එය පානයෙන් පසුව ඇය දැඩි අපහසුතාවට පත්ව සිටි බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

සැකකාර කපුවා දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය වූ ස්‌ථානයට (12 වැනිදා) පෙරවරුවේ ගිය කුලියාපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් නිහාල් ජයසිංහ මහතා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළ අතර මෘත දේහය තැන්පත්කර තිබූ දුනකදෙණිය රෝහලට ගොස්‌ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඥාතීන්ට භාරකිරීමට නියම කරන ලදී.

දුම්මලසූරිය පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කපිල සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් කුලියාපිටිය පොලිස්‌ අපරාධ ස්‌ථානීය පරීක්‍ෂක කණ්‌ඩායමද, උප පොලිස්‌ පරීක්‍ෂක රංජින් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ද විසින් මූලික පරීක්‍ෂණ සිදුකොට තිබිණි.

Find Us On Facebook