කක්කුස්සිකාරයෝ හෙවත් අන්ටචබල්ස්ලාද මිනිසුන් ය. ලංකාවේ රෝහල් වල මා දුටු දෙයක් නම් කක්කුස්සිකාරයෝ හෙවත් වැසිකිලි සුද්ධ කරන්නවුන් සහ දොස්තරලා අතර මහා පරතරයක් තිබෙන බවයි. සමහර දොස්තරලා වැසිකිලි සුද්ධ කරන්නවුන් වාට්ටු හරහා ගියද ඔවුන්ව නොදකිති. හෙදියන් සහ ඇටෙන්ඩන්වරුන් නිතරම ඔවුනට බැණ වදිති. ඔවුන්ද හිස් පහත් කරගෙන වැසිකිලි ශුද්ද කොට නිහඞව යති.
කළුබෝවිල රෝහලේ වාට්ටු වැසිකිළි ශුද්ද කිරීම සඳහා කෙට්ටු පුද්ගලයෙක් විය. ඔහු ගිණි වතුර කෑන් එකක් රැගෙන එයි. ඉන්පසු ඉදළකින් වැසිකිළි ශුද්ද කර දමයි. ඔහු වැසිකිළි ශුද්ද කර ගිය මොහොතේ පටන් යළිත් රෝගිහු වැසිකිළි ජරා කරති.
මාතලේ රෝහලේ මේ කහළ වැඩය කලේ පළනී නම් දෙමල මිනිසෙකි. ඔහු රෝහලේ ලේ සැරව ගෑවුනු රෙදි හෝදා අමතර ආදායමක්ද ලැබුවේය. ඔහු මේ රෙදි හේදුවේ ලොකු යකඩ බැරල් එකකය. මෙම යකඩ බැරල් එකට දර හිස් සේලයින් බෝතල දමා හවසට ගිණි ගහයි. එවිට පරිසරය දුමින් පිරී යයි. අපගේ වෛද්‍ය නේවාසිකාගාරය තිබුනේ පළනීගේ වෙල්ලහැළිය ආසන්නයේය. පළනීගේ දුමේ ප්ලාස්ටික් විශ කාරකයන් තිබුනද ඉන් මදුරුවන් පළා ගිය හෙයින් කිසිවෙකු පළනීගේ වෙල්ලහැළිය ගැන පැමිණිලි කලේ නැත.
වරක් පළනී අසනීප වූ නිසාදෝ වැසිකිලි පවිත්‍ර කිරීමේ කාර්‍යය ඇණ හිටුනේය. වාට්ටු නරකාදි මෙන් දිස් වූයේයමේ හේතුවෙන් පළනීගේ රැකියාවේ වැදගත්කම කාටත් අවබෝධ විය.එම නිසා සෞඛ්‍ය අධ්‍යාපන පංතියකදී වරක් රෝහලේ වැගත්ම පුද්ගලයා කවරෙක්ද කියා විශේසඥ ප්‍රජා වෛද්‍යවරියක් මගෙන් ඇසුවාය. ඇය මගෙන් අපේක්‍ෂා කලේ රෝහලේ වැගත්ම පුද්ගලයා රෝගියා යන පිළිතුරයි. නමුත් මම කීවේ රෝහලේ වැගත්ම පුද්ගලයා කක්කුස්සි හෝදන්නා බවයි. එයට හේතුවද මම කීවෙමි. වෛද්‍ය අධ්‍යක්‍ෂක නොමැති විට විශේසඥ වෛද්‍යවරයෙකුට අධ්‍යක්‍ෂක ගේ වැඩ ආවරණය කළ හැකිය. විශේසඥ වෛද්‍යවරයා නොමැති විට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීට වැඩ ආවරණය කළ හැකිය . වෛද්‍යවරයා නොමැති විට හෙදියට වාට්ටුව බලා ගත හැක. නමුත් කක්කුස්සිකරු නොමැති විට ඔහුගේ වැඩ ආවරණය කිරීමට කෙනෙකු නැත. එම නිසා රෝහල කඩා වැටෙයි.
කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ වැසිකිලි පවිත්‍ර කලේ විජේකෝන් බණ්ඩා නම් පුද්ගලයෙකි. ඔහුගේ ගම අඹගහපැලැස්ස වූවද අඹගහපැලැස්ස රෝහලට හූවක දුරක ඔහුගේ නිවස තිබුනද ඔහු සැතපුම් හතලිහකටත් වඩා දුරින් පිහිටි කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ සේවය සඳහා පැමිණියේ ගමේ රෝහලේ වැඩ කිරීම නිසා පාසලේදී තමන් ගේ දරුවන් නින්දාවට ලක් වෙන නිසා කියමිනි. රෝහලේ සුද්ධ පවිත්‍ර කිරීම් කරන ඔහු රාත්‍රියට මදුරුවන් පිරි බාහිර රෝගී අංශයේ බංකුවක් මත නිදයි.
ඒ කාලයේ මම කොලොන්ගොඩ ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා විය. දිනකට පැය හතරකට සීමාවූ අතිකාල දීමනා සහිතව මගේ වැටුව රුපියල් 20,000 ආසන්න විය. නමුත් විජේකෝන් බණ්ඩාගේ වැටුප රුපියල් 1800 කි. මේ නිසා මට යම් වරදකාරී හැඟීමක් ද ඇති විය. නව වාරයක් පටන් ගන්නා විට මම විජේකෝන් බණ්ඩාගේ දරුවන්ට පොත් පත් රැගෙන දුනිමි. නමුත් පසු කාලයක මට පෙනී ගියේ විජේකෝන් බණ්ඩාට ලොකු අහේනියක් නොමැති බවයි. අඹගහපැලැස්සේ ඔහුට තමන් ගේ ඉඩමක නිවසක් තිබුණි. එම ඉඩමේ පොල් එළවළු වගා කොට තිබුණි. කුඹුරෙන් හාල් ලැබුනේය. රැකියාව ඔහුට අතිරේක ආදායම් මාර්ගයක් මෙන්ම විශ්‍රාම වැටුප මහළු කාලයේ ආරක්‍ෂණයක් විය.
මීගමුව රෝහලේ වාට්ටු වැසිකිළි ශුද්ද කිරීම සඳහා කිහිප දෙනෙකු සිටි අතර ඔවුන් ප්‍රදේශයේ දේශපාලකයාගේ හෙන්චයියන් වූ හෙයින් ඔවුන් බීඩි බිබී රෝහලේ මුල්ලක වාඩිවී වල්පල් කතා කරමින් සිටියහ. මේ නිසා වැසිකිළි ශුද්ද කරන ලද්දේ අනියම් කම්කරුවන් දෙතුන් දෙනෙකි. මතු දින රැකියාව ස්ථිර කරනු ඇතැයි සිතාගෙන ඔවුන් වෙහෙසී වැසිකිලි ශුද්ද කලද රෝගීන් කොරිඩෝරවලද ජරා කල නිසා ඔවුන් ගේ වෑයම සඑල වූයේ නැත.
යුද හමුදා රෝහලේදී රාත්‍රී වැඩමුරය කල දිනයක මම අපගේ වාට්ටුවට පැමිනෙන කොල්ලෙකු අතට මුදල් දී යුද හමුදා කැන්ටිමෙන් මාළු පාන් හෝ රෝල්ස් දෙක තුනක් ගෙන එන ලෙස කීවෙමි. එහෙත් වාට්ටුවේ සිටි සාජන් මේජර් කොල්ලාගේ අතින් මුදල් ගෙන ඔහු කැන්ටිමට ගොස් මගේ උදෑසන ආහාරය ගෙන ආවේය. පසුව සාජන් මේජර් මට පැවසුවේ කොල්ලා වාට්ටුවේ කක්කුස්සි සුද්ධ කරන්නා බවයි. එය ඇසූ පසු මගේ මුවට සිනහවක් ආවේය. එහෙත් වාට්ටුවේ කක්කුස්සි සුද්ධ කරන කොල්ලාට සිනහවකින් සංග්‍රහ කිරීමට මම අමතක නොකලෙමි.
කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ වැසිකිලි ශුද්ද කරන්නා ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයෙකි. ඔහු මා දුටු මුල් දිනයේදී මම සිංහලයෙකු ලෙස හැඳිනගෙන මා දෙස නොබලාම ගියේය. වරක් ඔහු වැසිකිලිය ශුද්ද කිරීමෙන් පසු මම වැසිකිලියට ගියෙමි. ඒ යන අතරතුර වැසිකිලිය ශුද්ද කිරීම ගැන මම ඔහුට ස්තූති කලෙමි. ඔහු හිස් සැලීමෙන් ඒ ස්තූතිය පිළිගත්තේය.
කක්කුස්සිකාරයෝත් මිනිසුන් ය. ඔවුනටද බඩගින්න සංතාපය වේදනාව දැනේ.
වෛද්‍ය රුවන් එම් ජයතුංග