Pages

Sunday, July 12, 2026

යුද්ධයේ අපි නොදුටු පාර්ශවය කතා කරන හිටපු හමුදා නිලධාරියෙක්



මම යුද්ධය ගැන කතා කරන්න කැමති නැහැ.

මම විතරක් නෙමෙයි… ඇත්තටම යුද්ධයේ හිටපු ගොඩක් අය ඒ ගැන කතා කරන්න කැමති නැහැ. මොකද ඒක වීර කතාවක් විතරක් නෙමෙයි. ඒක ඇතුළෙන් මනුස්සයාව වෙනස් කරන අත්දැකීමක්.

හැබැයි මම කතා දෙකක් කියන්නම්. දැන් 51ත් පැනලා, ඊයේ රණවිරු දිනයත් තිබුණු නිසා, මම හිතුවා — මම මේක නොකියා මැරුණොත් අපරාදෙ කියලා.

Story 1
1999 නොවැම්බර් මාසයේ LTTE එක “නොනවතින රැල්ල” ප්‍රහාර ආරම්භ කළාට පස්සේ, ජයසිකුරු මෙහෙයුමේ අල්ලගෙන තිබුණු ප්‍රදේශ එකින් එක කඩාගෙන ගියා. ඒ කාලේ මම හිටියේ කොක්කුතුඩුවායි ඉදිරි ආරක්ෂක වළල්ලේ.

Camp කියුවට ඒවා තාල් අතු ගහපු huts. Mobile phones නැහැ. Electricity නැහැ. කිසිම පහසුකමක් නැහැ. ලිවුම් සති ගාණකට දවස් ගිහින් තමයි එන්නේ. නිවාඩු ගිහින් එන අයගේ foot patrol එකෙන් තමයි ලියුම් එවන්නේ.

එක පැත්තකින් මුහුද. අනිත් පැත්තෙන් කොකිලායි කලපුව. ඉස්සරහින් මුළුමනින්ම කොටි පාලනයේ තිබුණු මුලතිව් jungle ප්‍රදේශය.

නිවාඩුවක් යන්න, කොක්කුතුඩුවායි වලින් කොකිලායි වලට කිලෝමීටර් 15ක් විතර පයින්, කැලේ මැදින් foot patrol එකක් එක්ක එන්න ඕන. ඊට පස්සේ boat එකකින් කිලෝමීටර් 5–6ක් විතර තෙන්නමරාවඩි වලට යනවා. එතැනින් tractor එකක නැගලා තව කිලෝමීටර් 10–15ක් විතර සිංහපුරට එනවා.

ඊට පස්සේ camp එකේදී civilian ඇඳුම් ඇඳලා, weapon බාරදීලා, Army bus එකකින් කිලෝමීටර් 15–20ක් විතර පදවි ශ්‍රීපුරට යනවා. එතැනින් තමයි Army convoy එකකින් අනුරාධපුරයට එන්නේ. අනුරාධපුරයට එන්නම දවසක් යනවා.

LTTE එකේ “නොනවතින රැල්ල” ප්‍රහාර නිසා එකින් එක කඳවුරු හැමෝම පස්සට බැස්සා. හැබැයි එකම එක කඳවුරක් පස්සට බැස්සේ නැහැ. ඒක තමයි මම command කරපු කඳවුර.

අපි දවස් 10ක් සම්පූර්ණයෙන්ම cut off වෙලා හිටියා. Artillery support නැහැ. Communication නැහැ. රාත්‍රියට mortar, artillery, machine gun fire නවතින්නේ නැහැ. සමහර වෙලාවට bunker ඇතුළට වැලි වැටෙනවා blast වලට.

මම මගේ සෙබළුන්ට කිව්වා: "අපි අඩියක්වත් පස්සට යන්නේ නෑ. මෙතනම ඉඳලා මුහුණ දෙනවා.”

සටන් අතරේ මගේ තුන් දෙනෙක් මැරුණා. අදටත් ඒ මුහුණු අමතක නැහැ.
Cpl. Jayaweera – Matale
Cpl. Weerakon – Ampara
Sgt. Perera – Kandana
ඊට පස්සේ මට දවස් 14ක special නිවාඩුවක් ලැබුණා.
හැබැයි ගෙදර ඇවිල්ලත් මේ දේවල් කාටවත් කිව්වේ නැහැ. හැමෝම අහපු ප්‍රශ්න තුන විතරයි:
“කවද්ද ආවේ?”
“කවද්ද යන්නේ?”
“කෝහෙද ඉන්නේ?”

පස්සේ දැනගත්තා, කොටි 150ක් විතර මැරිලා හිටියා කියලා. මාව රණසූර පදක්කම (RSP) සඳහා නිර්දේශ කරලා තිබුණා.

මම Australia වලට පදිංචියට එන්න කලින් General Neville Weerasinghe හම්බුණු වෙලාවක මේ සිද්ධිය මතක් කරලා මට කිව්වා: "xxxxx, එදා ඔයා එක එක අඩියක් හරි පස්සට ආවා නම්, Army එක නවතින්නේ Trinco වලින්.”

ඒ වචන ටික මට අදටත් අමතක නැහැ.

රණවිරුවන් ගැන මතක් කරන දවසක, ආපහු නොඑන අයත්… ආපහු ආවත් ඇතුළෙන් වෙනස් වෙලා ආපු අයත්… මතක් වෙනවා.

1998 මේ සිද්ධිය වෙද්දී මම අලුතින්ම ලුතිනන් නිලයට උසස්වීම් ලැබූ තරුණ නිලධාරියෙක්.

ඒ කාලේ මම හිටියේ වෙළිඔය ප්‍රදේශයේ. කොකිලායි කලපුවේ අග, මුල්ලෙයිටිව් කැලෑව ඇතුළේ “කෝවිල් පොයින්ට්” කියන කඳවුරක් තිබුණා.

මීට අවුරුදු 5–6කට කලින් LTTE එක ඒ කඳවුර අල්ලගෙන තිබුණා. එදා ඒ කඳවුරේ හිටපු කිසිම සෙබළෙක් ජීවත් වෙලා නැහැ.

අපි අහලා තිබුණ විදියට, එදා Detachment Commander ව ගහකට බැඳලා ඉතා අමානුෂික විදියට වධ දීලා මරලා තිබුණා.

ඒ නිසා “කෝවිල් පොයින්ට්” කියන නමම ඒ කාලේ සෙබළුන් අතර බය හිතෙන මතකයක්.

අවුරුදු කිහිපයකට පස්සේ, ඒ කඳවුර නැවත ස්ථාපිත කරන්න 40 දෙනෙකුගේ කණ්ඩායමක් එක්ක යන්න මට නියෝග ලැබුණා.

බුද්ධි අංශ තොරතුරු අනුව, ඒ ප්‍රදේශයේ අඩියෙන් අඩිය “Johnny Mines” තිබුණා. එතනට යන්න පුළුවන් බෝට්ටුවෙන් විතරයි.

මාව මේ mission එකට තෝරාගත්තේ Special Small Group Operations training ලබා තිබුණු නිසාත්, officersලා සහ soldiersලාට ඒ ක්ෂේත්‍රයේ පුහුණුව දෙන Chief Instructor කෙනෙක් ලෙස වැඩ කරපු නිසාත්.

මාත් එක්ක එකම රෑන්ක් එකේ හිටියත්, මට වඩා සීනියර් වෙච්ච Lt චන්දන වික්‍රමනායක (දැන් මේජර් ජෙනරාල්) ට මුලින්ම ඒ ප්‍රදේශය අල්ලාගෙන, ආරක්ෂා කරලා, දවස් කිහිපයක් හෝල්ඩ් කරගෙන ඉන්න කාර්යය භාර වුණා. ඊට පස්සේ මගේ වගකීම වුණේ එයාලාව රිලීව් කරලා, එතන ස්ථිර කෑම්ප් එකක් පිහිටුවන එක.

අපි ක්‍රියාත්මක වුණේ 4 දෙනාගෙ කණ්ඩායම් 10ක් විදියට. වාසනාවකට LTTE එක කඳවුර අතහැරලා ගිහින් තිබුණා. ඒ නිසා direct engagement එකක් ඇති වුණේ නැහැ. හැබැයි මුළු ප්‍රදේශයම mines වලින් පිරී තිබුණා.

අපි කලපුව පැත්තෙන් mine clearing ආරම්භ කළා.

ඒ අතර මෝසම් වැසිත් පටන්ගෙන තිබුණා.

රෑ දවල් නොනවත්වා වැස්ස.

වැස්ස මැද නිදාගන්න වෙනවා කියලා හිතලා බලන්න. දවල්ට mine clearing… රෑට පඳුරු ඇතුළේ හැංගිලා ඉන්නවා. මදුරුවෝ නම් ඉවසන්න බැරි තරම්.

තුන්වෙනි දවසේ රෑ එක soldier කෙනෙක්ගේ weapon එක misfire වෙලා ඇඟිල්ලකට වෙඩි වැදුණා.

Casualty evacuation එකක් කරන්න අපිට කලපුව පැත්ත secure කරලා army boat එකක් ගෙන්නන්න වුණා. ඒක ලොකු අවදානමක්. Boat movement එක LTTE එකට ඇහෙන්න පුළුවන්.

කොහොමහරි පැය 4–5ක අමාරු උත්සාහයකින් casualty එක evacuate කළා.

හැබැයි ඊළඟ දවසේත් ඒම වෙලාවේම තවත් soldier කෙනෙක්ගේ ඇඟිල්ලකට misfire එකක්.

එතකොට මම හැමෝටම කිව්වා — “අද මම boat එකක් ගෙන්වන්නේ නැහැ. ලේ ගලලා මැරුණත් evacuation නැහැ. හෙට එළිය වැටුණාම තමයි boat එක එන්නේ.”

Field dressing දාලා bleeding control කළා.

පහුවදා boat එක ආවම ඔහු ලේ ගැලීම නිසා ගොඩක් දුර්වල වෙලා හිටියා.

හැබැයි…

ඒ දවසෙන් පස්සේ තවත් කිසිම misfire එකක් වුණේ නැහැ.

Commander කෙනෙක් විදියට ඒක ඉතාමත් අමාරු තීරණයක්.

සමහර විට මගේ ජීවිතේ ගත්ත අවදානම්ම තීරණ වලින් එකක්.

Battlefield එකේ සමහර තීරණ හදවතින් ගන්න බෑ. ඒවා ගන්න වෙන්නේ responsibility එකෙන්.

මම දැනගෙන හිටියා —
තවත් evacuation එකක් කියන්නේ unnecessary risk එකක්

ඒ තීරණයෙන් මම soldiersලාට message එකක් දුන්නා —

“අපි මේ mission එක complete කරනවා. කවුරුත් battlefield එකෙන් පැනලා යන්නේ නැහැ.”

හැබැයි battlefield leadership කියන්නේ rank එකෙන් විතරක් මිනිස්සු පාලනය කරන එක නෙමෙයි.

ඔවුන්ගේ හිත දිනාගන්න එක.

මගේ soldiersලා මට බයයි… ඒත් ඔවුන් මට ආදරෙයිත් කළා.

මම ඔවුන්ව ඉස්සරහට දාලා පස්සට වෙලා ඉන්න officer කෙනෙක් නෙමෙයි කියලා ඔවුන් දැනගෙන හිටියා.

මමත් ඔවුන් එක්කම වැස්සේ තෙමුණා.
ඔවුන් එක්කම පඳුරු ඇතුළේ නිදාගත්තා.
ඔවුන් කෑ දේම කෑවා.

Battlefield එක ඇතුළේ වුණත් මම බලපු දේවල් තිබුණා —
ඔවුන්ට වෙලාවට leave ලැබෙනවද…
හොඳ කෑම ලැබෙනවද… (Example ; සොල්දාදුවන්ට කෑම ලබාදෙන්න වල් ඌරන් දඩයම් කිරීම සඳහා මම දඩයම් කණ්ඩායමක් සංවිධානය කර තිබුණා.)
ඔවුන්ගේ ප්‍රශ්න මොනවද කියලා.

සෙබළෙක්ගේ හිත දිනාගන්න පුළුවන් නම්, ඔහු ඔබ වෙනුවෙන් ජීවිතේ දෙනවා.

සතියක් ඇතුළත අපිට තාවකාලික shelters ටිකක් හදාගන්න පුළුවන් වුණා.

කඳවුර ඇතුළේ හින්දු කෝවිලක් තිබුණා. මුලදී ඒක ඇතුළටවත් යන්න බැරි වුණේ LTTE එක booby traps දාලා තිබුණු නිසා.

පස්සේ අපි ඒක clear කරලා භාවිතා කළා.

ඒ කෑම්ප් එක සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරන්න මට මාස දෙකක් විතර ගියා. ඊට පස්සේ තවත් සෙබළුන් සහ නිලධාරීන් එතැනට ආවා. මම ඒ කෑම්ප් එකේ අවුරුද්දකටත් වැඩි කාලයක් සේවය කළා.

ඒ කාලේ මට මුහුණ දෙන්න වෙච්ච තවත් ලොකු ප්‍රශ්නයක් තමයි නිවාඩු ගිය සෙබළුන් ආපහු කෑම්ප් එකට නොඑන එක — ඒ කියන්නේ AWOL හෝ absent වෙන එක. ඒත් යුද්ධ තත්ත්වය නිසා අලුත් අය හමුදාවට එකතු වෙන්නත් බය වුණා, ඒ නිසා replacements ලැබුණේ නැහැ.

ඒ කාලෙ තමයි මම මගේ පළවෙනි Human Resources experiment එක කළේ (today I am a HR consultant). මම කලින් කිව්වා වගේ, මම special small group operations chief instructor කෙනෙක්. ඒ training වලදී අපි ඉගෙනගත්ත ලොකුම දෙයක් තමයි කුඩා කණ්ඩායමක — විශේෂයෙන් 4 man team එකක — unit bond එක සහ team cohesion එක mission success එකට ගොඩක් වැදගත් කියන එක.

මම කරපු දේ තමයි සෙබළුන්ව එයාලගේ ගම් පළාත් අනුව regroup කරපු එක. උදාහරණයක් විදියට අම්පාරේ අය එක 4 man team එකක්, කුරුණෑගල අය වෙනම team එකක් වගේ.

ඊට පස්සේ මම structured leave roster එකක් හැදුවා. ඒ අනුව මේ 4 දෙනාගේ team එක මේ දවසේ leave යනවා, මේ දවසේ අනිවාර්යයෙන් return වෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි, ඒ team එක ආපහු camp එකට ඇවිල්ල land වෙන මොහොතේම, ඊළඟ team එක leave යන්න boat එකට නැගලා ඉන්නවා.

එතකොට teams එකිනෙකට interlocked වුණා. Leave ගිය team එකට, leave යන්න බලාගෙන ඉන්න team එක literally plead කරනවා — “මචංලා, වෙලාවට එන්න, අපිටත් යන්න තියෙනවා” කියලා. ඒක peer pressure එකක් නෙමෙයි, responsibility එකක් සහ loyalty එකක් වුණා.

තවත් වැදගත් දෙයක් තමයි එකම ගමක අය එකට leave ගිය නිසා, එයාලා එකිනෙකාගේ ගෙවල් වලට ගියා, පවුල් අඳුරගත්තා, relatives ලා හමුවුණා. ඒක team bond එක තවත් ශක්තිමත් කළා. කෙනෙක් absent වෙන්න හිතුවත්, අනිත් තුන්දෙනාම encourage කළා “එකට යමු, එකට ආපහු එමු” කියලා.

ඒ system එක නිසා absenteeism almost zero මට්ටමට අඩු වුණා. අද HR වලින් කතා කරන employee engagement, peer accountability, team cohesion කියන concepts මම ඒ jungle එකේ, යුද්ධය මැද practically test කරලා දැක්කා.

තවත් මම කරපු වැදගත් දෙයක් තමයි ඒ leave roster එක සෙබළුන් කෑම කන තැන — අපි “mess” කියන තැන — display කරපු එක. මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, එකම සෙබළා දවසට කීප වතාවක් ඒ roster එක දිහා බලනවා.

ඒක leave date එක බලන්න විතරක් නෙමෙයි. ඒක එයාලට තිබුණු uncertainty එක අතරේ hope එකක් වුණා. “මටත් මේ දවසේ ගෙදර යන්න පුළුවන්… මමත් ඉක්මනට මගේ මිනිස්සු බලනවා…” කියන හැඟීම එයාලට psychological strength එකක් දුන්නා.

යුද්ධයේ මැද මිනිස්සුන්ව තියාගන්නේ ආයුධ වලින් විතරක් නෙමෙයි. සමහර වෙලාවට hope එකකින්. Predictability එකකින්. තමන්ව කවුරුහරි plan කරලා, care කරනවා කියන හැඟීමෙන්. ඒ leave roster එක කඩදාසියක් විතරක් නෙමෙයි — ඒක morale system එකක් වුණා.
මගේ Officer Commanding වෙච්ච Major Bohoran ට මම විශේෂ ගෞරවයක් දෙන්න ඕනේ. මොකද ඔහු මාව විශ්වාස කරලා, මට මගේම තීරණ ගන්න ඉඩ දුන්නා.

යුද්ධ භූමියක ඒ වගේ trust එකක් කියන්නේ ලොකු දෙයක්. හැමදේකටම ඉහළින් order එනකම් බලන් ඉන්නේ නැතුව, ground situation එකට ගැලපෙන තීරණ ගන්න freedom එක මට ලැබුණා. ඒ නිසාම මට මේ වගේ initiatives practically implement කරන්නත්, troopsලාගේ morale සහ discipline maintain කරන්නත් පුළුවන් වුණා.

අදටත් ඒ කෝවිලේ තිබුණු විශාල සාම්ප්‍රදායික යතුර souvenir එකක් විදියට මගේ ළඟ තියෙනවා.

ඒ යතුර දකිද්දී අදටත් මට මතක් වෙන්නේ —
වැස්ස…
කැලෑව…
මගේ සෙබළු…
සහ ඒ දවස්.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments