Rabu, 18 Januari 2017

කඩචෝරු

 


පොලිස් කාරයන් පැමිණ නාලන්දේ ගේට්ටුව අසල අච්චාරු , අයිස්ක්‍රීම්  සහ අනෙකුත් කඩචෝරු විකුණන මිනිසුන් ගේ කෑම විසි කර දමනවා මම එම් ජේ කේ පෙරේරාත් සමග ගේට්ටුවේ කූරු අතරින් හිස දමා බලාගෙන සිටියෙමි. 

මේ 1974 වසරයි අපි සිටියේ දෙකේ පන්තියේය​. නාලන්දේ ගේට්ටුව අසල විකුණන  කඩචෝරු කන්නට එපා යැයි විදුහල්පතිතුමා වරක් එසෙම්බ්ලියේදී කීවේය​. එහෙත් අයිස් ක්‍රීම් , අන්නාසි , කපන ලද අඹරැල්ලා , කඩල , අච්චාරු දකින විට කටට කෙළ උනයි ඒ නිසා පාසල අවසන් වී නිවෙස් වලට යන විට අපි වැඩිහිටියන්ට කන්නලව් කොට මේවා මිළට ගන්නෙමු. 

අයිස්ක්‍රීම් කාරයා අයිස්ක්‍රීම් දාගෙන එන්නේ පෙට්ටියක් වැනි තල්ලු කර ගෙන යා හැකි කුඩා කරත්තයකය​. අයිස්ක්‍රීම් (කුඩා පොප්සිකල් ) එකක් සත පහකි. සත දහයට තරමක් විශාල එකකි. ඒවා සාදන්නේ අපිරිසුදු වතුර  වලින් බවත් සීනි වෙනුවට දමන්නේ සැකරින් බවත් ගුරුවරු කියති. සැකරින් වලට ඇටකටු දිරන බව අබේකෝන් ටීච් දිනක් කීවාය​. එහෙත් සත පහක් ආයාගෙන් ඉල්ලා ගන්නා මම අයිස්ක්‍රීම් කරු වෙත දුවන්නෙමි. 

ඇය සත පහක් නොදුන්නේ නම් මම පාසලේ සෙල්ලම් පිට්ටනියට ගොස් ඔන්චිලි පදිමි. ඇය ඇය සත පහක් දුන් විට මම ඇය සමග ගෙදර යාමට සැරසෙමි. සවස ගනන් බේරන විට ඇය " බේබි අයිස් ක්‍රීම් එකක් කන්න සත පහක් ඉල්ලා ගත්තා "  කියන්නීය​. මේ නිසා මව ඇයට වැඩිපුරද මුදල් දීමට පුරුදු වූවාය​. තවමත් අපගේ නිවසේ ජීවත් වන මේ තැනැත්තිය දැන් මහළු වියට පා තබා තිබේ. ඇය අපගේ පවුලේ සාමාජිකාවක් වැනිය​. පසුගිය වසරේ ඇයගේ පාදයේ ශල්‍යකර්මයකට මුදල් ඩොලර් වලින් මා යැවුවෙමි. තාමත් ඇයට මා බේබිය​. අපගේ නිවසට ආ විට ඇය අප සමග එක මේසයේ ආහාර ගත යුතු බවට මම නීතියක් පනවා තිබේ. 

මගේ මව සමග ඇය ඉන්දියාව , වියට්නාමය , චීනය වැනි රටවල් වලටද ගියාය​. එහෙත් ඇයට කැනඩාවට ඒමට විසා නොලැබුනේ ඇය පවුලේ ඤාතියෙකු ලෙස සනාථ කිරීමට අප ව්‍යාජ ලියකියවිලි කැනඩා මහ කොමසාරිස් කාර්‍යාලයට නොදුන් නිසා වෙනි. 

උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ බී.ජේ.සී පෙරේරා මහතා යටතේ සිටි  1993 කාලයේ අයිස් පැකට් කෑම නිසා හෙපටයිටිස් හෙවත් සෙංගමාලය වැළඳුණු ළමුන් රැසක් මම දුටුවෙමි. ඔවුන් ගේ අක්මාවන් ඉදිමී ඇත​. මම වෛද්‍ය සුන්දරී අරුලම්පලම් සමග ඒ ළමුන් පරික්‍ෂා කරමි. 

"ඇයි අයිස් පැකට් කෑවේ ? කියා ඇඳ මත වැතිරී සිටින ළමයාගෙන් ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී තැන අසයි. වයස අවුරුදු අටක් නවයක් පමණ වූ ළමයා වරදකාරී සිනහවක් අපට දෙයි. 

මම මගේ ළමා කාලයට යමි. පාසල අසල අයිස්ක්‍රීම්කරු ගෙන් මම අයිස්ක්‍රීම් විශාල ප්‍රමානයක් කා තිබේ. පුදුමයකට මෙන් මට ඒ කාලයේ සෙංගමාලය හැදුනේ නැත​. 

පොලිස්කාරයන් අන්නාසි කාරයාගේ බේසම කාණුවට හැළුවෝය​. අන්නාසි කරු විලාප දුන්නේ ඔහුගේ බඩට පහර වැදුණු නිසාය​. ඔහු යාප්පු වී තම එනැමල් බේසම ඉල්ලාගෙන ඉවතට දිව්වේය​. ඇඹරැල්ලා ආචිචිගේ ඇඹරැල්ලාද කාණුවට හලන ලදි. 

පොලිස් ජීප් එක එන විට අයිස්ක්‍රීම්කරු තම ශිත පෙට්ටිය සහිත  බයිසිකලය ගෙන යාබද පන්සල් වත්තට පැන්න හෙයින්  ඔහු පොලිස් අතවරයෙන් බේරුණි. 

අඩ පැයක් යන විට පොලිස් මෙහෙයුම නිමා විය​. දැන් වෙලෙන්දෝ පාසල අසල නැත​. පොලිස් ජීප් එක සැර දමා යන්නට සැරසෙයි. 

 පොලිස් නාටකයෙන් පසු එම් ජේ කේ පෙරේරා තමාගේ විශාල හිස මා දෙස හරවා කතාවක් කීවේය​. 

" ගිය සුමානෙ මම අන්නාසි බේසමක් අරගෙන ඒකට අර මදුරුවන්ට ගහන මොකක්ද  මේ ( මම - ෙෂල්ටොක්ස් ද ? ) ඔව් ඔව් ඒක තමයි. මම ඒවා අන්නාසි වලට විදලා   අන්නාසි බේසමත් අරගෙන ආනන්දේ ලඟට ගිහින් විකුණන කොට පොලිසියෙන් ඇවිත් මට දුප් දුප් කියලා මාව එලෙව්වා. පොලිස්කාරයෝ අන්නාසි කාණුවට හැලුවේ නෑ වටේ හිටපු එවුන්ට දුන්නා . උං ඒවා කාලා මළා " 

මම එම් ජේ කේ පෙරේරා ගේ කතාව ඉතා විශ්වාසයෙන් අසා සිටියෙමි. 

මම එම් ජේ කේ පෙරේරා නාලන්දා විද්‍යාලයේ තවත් වසර තුන හතරක් පමණ ඉගෙනුම ලබා ඩ්‍රොප් අවුට්   කෙනෙකු විය​. ඔහු වෙනත් පාසලක තම අධ්‍යාපනය කරගෙන ගියා යැයි මම නොසිතමි. 

ඒ කාලයේ එම් ජේ කේ පෙරේරා වැනි දුගී පවුල් වලින් පැමිණි අරුණදීප , නාලන්දාව අසල වත්තක සිට ආ සුදු අයියා මලෝ දෙදෙනා යනාදී සිසුන් හය වසරට පා තැබීමටත් ප්‍රථම පාසල් අධ්‍යාපනය හැර යන ලදි. 

ඉතා ධනවත් මෙන්ම ඉතා දුගී සිසුන් සමග ඉගෙනුම ලැබූ මා හට එම් ජේ කේ පෙරේරා වැනි සිසුන් ඩ්‍රොප් අවුට්   වූයේ මන්ද කියා  ඒ කාලයේ හරි හැටි තේරුනේ නැත​. එසේම දුගී බව නිසා එලෙස ඩ්‍රොප් අවුට්  වූ සිසුන් පාසලෙන් ඩ්‍රොප් අවුට් නොවන ලෙසට ඉගෙනුම කරගෙන යාමට ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොතිබුනේ මන්ද කියාත් අද දිනයේ මට නොතේරේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


18 ulasan:


  1. ඉස්කෝලෙ ලඟ වඩේ විකුණපු වඩේ අංකල්ගෙ තරම් රස වඩ මම ඉන්දියන් රෙස්ටොරන්ට් එකකින්වත් කාලා නෑ...

    BalasPadam
    Balasan
    1. අඹ , වෙරළු අච්චාරු කොහොමද ?

      Padam
  2. ඔබ කියන වසරට වසර කීපයකට පසු ළමයි පංතියෙන් පෙල් කිරීම නවතා දැමුවානේ, ඒත් පාසලේ ප්‍රගති වාර්තාවේ යහපත තකා අදටත් ළමයි ඩ්‍රොප්අවුට් කරන විදුහල්පති වරයකු මා දන්නවා, මම ඔහුට විරුද්ධව පැමිණිලි කළත් බලවත් ඔහුට විරුද්ධව දෙමාපියන් පැමිණිල්ල ඉදිරියට ගෙනගියේ නෑ, එම දෙමාපියන්ට දරුවන්ට පාසල් යෑමට නිතිපතා වියදම් දැරුව නමුත් පවුල් පසුබිම දරුවන්ගේ අධ්‍යායපනයට දිරි දුන්නේ නෑ. අපේ ටවුමේ ගංජා කාරයෝ වෙලා තියෙන්නේ ඒ ප්‍රින්සිපල්ගේ ඩ්‍රොපවුට්.

    BalasPadam
    Balasan
    1. ඔහුට විරුද්ධව දෙමාපියන් පැමිණිල්ල ඉදිරියට ගෙනගියේ නෑ, //// හේතුව ඩ්‍රොපවුට් ළමයින් ගේ දෙමාපියන් දුප්පතුන් ඔවුන්ට නඩු කියන්න මුදල් නෑ. කොල්ලා ඊට පස්සේ රස්තියාදුකාරයෙක් වෙනවා

      Padam
  3. දැන් නම් එහෙම වෙනවා අඩුයි... ඉස්සරහට අවූරුදු 13 ක්ම පාසල් ජීවිතය අනිවාර්යයයි. ඉදිරිය සුභ වේවී...

    BalasPadam
  4. අපි කඩචෝරු කනවට වඩා කැමති උනේ ඉස්කෝලෙන් පැනල ගිහිල්ල අහල පහල ගෙවල් වල අඹ, දිවුල් අනං මනං ගෙඩි කඩං කන්න තමා. කඩචෝරු කන්න කියල අතේ සල්ලි තියෙන එකක්යැ

    BalasPadam
    Balasan
    1. අහල පහල ගෙවල් වල//// ammo

      Padam
  5. පොඩි වයසින් ඉස්කෝලේ දොරෙන් එලියට විසිවෙනවා කියන්නේ, හිරගෙදර දොරෙන් ඇතුලට යනවා වගේ වැඩක්. එහෙමත් කීප දෙනෙක් තමයි ගොඩ එන්නේ. මම කියන්නේ නගරයෙ තත්වය.

    BalasPadam
  6. පාසැලෙන් පනින එක කෙසේ වෙතත් පවුලෙන්ම පැන්නීමට ලක්වූ දරුවන් කොතෙක් ඇද්ද.... කඩචෝරු තරන් ත්තවයෙන් උසස් යැයි පිළිගත් තැන් වල කෑම රස නැත්තේ කුණු රසයට ඇදෙන එක (නොහික්මුනු )මිනිස් සතාගේ හැටි නිසා ද රුවන් ?

    BalasPadam
    Balasan
    1. කුණු රසයට ඇදෙන එක (නොහික්මුනු )මිනිස් සතාගේ හැටි ; yes

      Padam
  7. අයිස් පැකට් කාල සෙං‍ගමාලෙ හැදුනයි කියල ඇහුවමයි. මේ පැත්තෙ ළමයි අයිස් පැකට් කන විදියට එහෙනං ඉතුරු වෙන එකක් නෑ.

    BalasPadam
    Balasan
    1. ඔව් දැං කාලෙ පොඩි එවුන් ඒවා කනවා

      Padam
  8. // " ගිය සුමානෙ මම අන්නාසි බේසමක් අරගෙන ඒකට අර මදුරුවන්ට ගහන මොකක්ද මේ ( මම - ෙෂල්ටොක්ස් ද ? ) ඔව් ඔව් ඒක තමයි. මම ඒවා අන්නාසි වලට විදලා අන්නාසි බේසමත් අරගෙන ආනන්දේ ලඟට ගිහින් විකුණන කොට පොලිසියෙන් ඇවිත් මට දුප් දුප් කියලා මාව එලෙව්වා. පොලිස්කාරයෝ අන්නාසි කාණුවට හැලුවේ නෑ වටේ හිටපු එවුන්ට දුන්නා . උං ඒවා කාලා මළා " //

    මට ඒ කොටස පැහැදිලි නෑ ...

    BalasPadam
    Balasan
    1. ඒ කියන්නේ අන්නසි වලට වස දාලා ගෙන ගියා. පොලිසිය ඒවා පාරේ ගිය මිනිසුන්ට බෙදුවා. විස අන්නාසි කාපු මිනිස්සු මලා

      Padam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook