Rabu, 15 Jun 2016

දහ අට වංගුව




මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී සහ මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල කාලයේදී කොලඹ ඒම යාම සඳහා මා වැඩිපුරම භාවිතා කලේ දහ අට වංගුවයි. ඉතා කලාතුරකින් මම රන්දෙනිගල රජ මාවතින් නුවර හරහා කොලඹ ගියද දහ අට වංගුව මාර්ගයට මම ප්‍රිය කලෙමි. 

ඒ කාලයේ අද මෙන් දහ අට වංගුව නවීකරණය කොට තිබුනේ නැත . මම මේ කියන්නේ 1995 වැනි කාලයකය​. වාහන දෙකක් මාරු වීමට පවා අසීරු වන අන්දමේ පටු පාරවල් තිබූ අතර දහ අට වංගුවේ සිට පහලට වැටුනු වාහන , විශේෂයෙන් බස් , ලොරි නිබඳවම දක්නට තිබුනි. එම නිසා දහ අට වංගුව මාර්ගයේ වාහන ධාවනය කලේ ඉතා සෙමෙනි. 

වරක් කොලඹ තිබෙන රැස්වීමකට යාම සඳහා හසලකින් මධ්‍යම රාත්‍රී දොලහට මම පිටත් වූයෙමි. දහ අට වංගුව මාර්ගය ආසන්න වෙත්ම දැඩි මීදුමක් තිබූ හෙයින් අඩි දෙක තුනකට වඩා ඉදිරිය පෙනුනේ නැත​. මගේ මෝටර් රථය පසුපසින් ලොරියක් ආවෙන් මම අසීරුවෙන් මගේ වාහනය පාරේ අද්දරට ගෙන ලොරියට යාමට ඉඩ දුන්නෙමි. මට අවශ්‍ය වූයේ ලොරිය යන පාරේ පසුපස සුරක්‍ෂිව  පසුපසින් යාමටය​. එහෙත් ලොරි රියැදුරාද කට්ටයෙකු වූයෙන් ඔහුට අවශ්‍ය වූයේ මාව බිලිබෝයි කොට මා පසුපසින් ඒමටය​. එම නිසා ලොරි රියැදුරාට දොස් දෙවොල් තියමින් මම  දහ අට වංගුව මාර්ගය මතකයට නඟා ගනිමින් සුපරික්‍ෂාකාරීව වාහනය ධාවනය කලෙමි. ලොරි රියැදුරා දිගන දක්වා මා පසු පස පැමින පසුව ඔල්ලොක්කුවට මෙන් ලොකු හෝන් එකක් ගසා මා පසු කොට ඉදිරියට ගියේය​. 

මේ සිදුවීමෙන් පසු මම  දහ අට වංගුව මාර්ගය මතකයේ රඳවාගෙන වාහනය එලවීමට පුරුදු වූයෙමි. මෙසේ ටික කාලයක් යන විට දහ අට වංගුව මාර්ගය කෙටි කාලයකින් නිමා කිරීමට මම සමත් වූයෙමි. 

දහ අට වංගුව මාර්ගයේ යන විට හුන්නස්ගිරිය රොටී කඩය අමතක කල නොහැක​. මා කොලඹ යන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරි ඉන්ජිනේරු බැසිල් දසනායක මහතා මා සමග නුවර දක්වා යාමට පුරුදුව සිටි අතර අප බොහෝ විට හුන්නස්ගිරිය රොටී කඩය අසල වාහනය නවතා උනු රොටී කා කිතුල් හකුරු සමග කහට තේ බීවෙමු. කෙසේ හෝ මම මිනිපේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බව දැනගත් හුන්නස්ගිරිය රොටී කඩ මුදලාලි මා එන විට කඩයේ පවිත්‍රතාව පෙන්වීමට අමතර වෑයමක් ගත්තේය​. එහෙත් මේ රොටී කඩය තිබුනේ මගේ වැයික්කයේ නොව මැද මහනුවර සෞඛ්‍යය වෛද්‍ය වැයික්කයේය​. 

දහ අට වංගුව මාර්ගයේ යන විට ස්වභාව ධර්මයා ඉතා අලංකාර ලෙස දිස්වේ. මැදමහනුවර , හුන්නස්ගිරිය , ගුරුළුපොත යන ප්‍රදේශ වල විචිත්‍ර බව මට තවමත් මතකය​. එහෙත් අහේතුවකට මෙන් මේ ප්‍රදේශ වල නූගත් චන්ඩීන් ප්‍රාදේශීය සභා මෙන්ම පළාත් සභා වලට පත් වූ අතර ඔවුන් ඉවක් බවක් නොමැතිව ගස් කපා දැමූහ​. එසේම දඩයම් කිරීම සඳහා කඳු බෑවුම් ගිනි තැබූහ​. මේ නිසා අනාගතයේ දහ අට වංගුවේ ස්වභාවික සෞන්දර්‍ය්‍ය රස විඳීමට මතු පරපුරට හැකිවේද කියා බලවත් කුකුසක් මා තුල තිබේ. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

37 ulasan:

  1. /* ඔල්ලොක්කුවට මෙන් ලොකු හෝන් එකක් ගසා */

    ස්තුති කිරීමේ හෝන් එක ඉතා කෙටි බීප් දෙකක් නේද?

    BalasPadam
    Balasan
    1. දුර ගමන් කරන රියැදුරන් අතර ඉතාම හොඳ ගති තිබෙනවා. එම හෝන් එකේ අදහස ඔබගෙන් ගත් උදව්වට ස්තූතියි කීමක්.

      Padam
    2. /දුර ගමන් කරන රියැදුරන් අතර ඉතාම හොඳ ගති තිබෙනවා. / විශේෂයෙන්ම රෑ දහයෙන් පසු, ඈත ගමනක් යන්න හොඳම වෙලාව.
      /හුන්නස්ගිරිය රොටී කඩ මුදලාලි මා එන විට කඩයේ පවිත්‍රතාව පෙන්වීමට අමතර වෑයමක් ගත්තේය​./ බොහොම අසාර්ථක වෑයමක් නේද?

      Padam
    3. එක බීප් එකයි ලංකාවේ

      Padam
    4. එහෙනම් කමක් නෑ

      Padam
  2. දහ අට වංගුවේ යනකොට අදත් මතක් වෙන්නේ මිසි එකේ කල්ල (සුදත්)

    BalasPadam
  3. ඔබතුමාගේ පරිසර වර්නනාවන් කියවන්න ආසා හිතෙනවා.
    නූගත් චන්ඩීන් දේශපාලනය කිරීම නිසා අපිට නැති වෙන්නේ දහ අට වංගුවේ සුන්දරත්වය විතරක්ද? මේ නිහීන දේශපාලන භාවිතය නිසා අපිට ජාතියක් හැටියට අහිමි වෙන දේවල් බොහෝමයි.
    දේශපාලනයේ ඉන්න උගතුන් යැයි සම්මත බොහෝ උන්ද හැසිරෙන්නේ ආත්මාර්ථකාමි ජඩයින් ලෙසින්ම නේ. ඉතින් කොහේද විසඳුමක්.
    රටට ජාතියට ආදරය කරන, තමන් කරන දේ ගැන වගකීමක් දරන්න තරම් නිහතමානී හැඟීම් සහිත මිනිසුන් කිහිප දෙනෙක් වත් අපේ දේශපාලනය මෙහෙයවන්න යොදා ගන්න පුළුවන්නම්?

    BalasPadam
    Balasan
    1. ඒත් ඒවගේ මිනිස්සුත් කල් යනකොට හොරු වෙනවා

      Padam
  4. ඉස්සර අපි කැඩෙටින් කෑම්ප් යන කාලෙ යන්නෙ ඔය පාරෙන් තමයි. බස් එහෙම ඉස්සරහට යන්නෙ නැතුව අඬනවා. ගාටලා ගාටලා බොහෝම අමාරුවෙන් තමයි ඔය හරිය පාස් කරන්නෙ. අපේ නෑදෑවෙන සීටීබී රියදුරෙක් හිටියා. මිනිහා බීපු වෙලාවට කියන්නෙ ඒ පාරෙ එලවපු හැටි. හම්බුදාවෙ ඩ්‍රයිවර්ලා බඩගාද්දි මිනිහා ඇරලා ගියාලු.

    BalasPadam
    Balasan
    1. පාර පුරුදු සීටීබී ඩ්‍රයිවරලට පාර පේන්න ඕන නෑ. මම එකපාරක් පාන්දර රක්වානෙ ඉඳල සූරියකන්දට යනකොට වංගු 10 හරියෙ අඩි 3 ක් 4 ක් වත් පාර පේන්නෙ නැතුව මීදුම තියෙද්‍දි මූ ඇරිය නේද ඇරිල්ලක්.

      Padam
    2. මගේ ගාව කලින් තිබ්බ වාහනයක් අරගත්තු දවසෙම අපේ යාළුවෙක්ව හසලක ඉන්න වෙද මහත්තයෙකුට පෙන්නන්න යන්න සිද්ධ උනා...
      අපි ගමන යන්න පිටත් උනේ රෑ 12:00 ට කිට්ටු කරලා. එදා තමයි මම මුලින්ම දහඅට වංගුවේ වාහනයක් එලෙව්වේ...
      දහඅට වංගුව හරියට යද්දී එළි වේගෙන එනවා, මාව පහු කරගෙන මහියංගන දිහාට ඇදිච්ච වැලි පටවන්න යන එම්ප්ටි ටිපර් එක්ක හැරෙන්නවත් අපිට බැහැ...
      උන් යක්ෂ වේගෙකින් පල්ලම බැස්සේ, ඒ කාලේ වෙද්දී හොරා පාර හොඳට හදලා වංගු වල කණ්නාඩි එහෙම හයි කරලා තිබුනේ...

      Padam
    3. උන් යක්ෂ වේගෙකින් පල්ලම බැස්සේ ( මම පස්සෙ පස්සෙ විනාඩි 12 න් බැස්සා නිසාන් මාච් එකකින් )

      Padam
  5. රුවන්ට තිබුණෙ ලොරි කාරය යනකල් උපවාසයක් කරන්න. හැක්..
    දේශපාලුවො වින කරන්නෙ ඔතනට විතරක් නෙමෙයි නෙ.

    BalasPadam
  6. සුද්දා කැළේ කපලා පාරක් හදද්දී එ කාළේ අයත් මේ වගේ හිතන්න ඇති. හැබයි ඒ කාලෙට වඩා අද ඒ පාරත් සුපිරි. සුන්දරත්වයත් බොහෝම වැඩියි.

    ගස් කපන එක බොහෝම ලේසියෙන් සල්ලි හොයන්ම පුළුවන් ගේමක් දෙසපාලුවන්ට. ඉතිරි වනාන්තර ටික මෙයාලා කපා ගත්තාම ඒකත් ඉවරයි.

    දෙනියායේ ඉඳලා රත්නපුරයට තියෙන පාරෙත් තියෙනවා මේ වගේම සුන්දර වන්ගු ටිකක්.

    BalasPadam
    Balasan
    1. ඔයි කැලෑපාළුවොත් කලාත්මක දේවල් අගයන්න දන්නවා, චිත්‍රශිල්පියෝ අඳින විදිහේ අතු ඇඹරුණ බෙන, ගැට තියන ගස් ඉතුරු කරලා කෙලින් කද තියන ගස් විතරයි එයාල ඉවත්කර ගන්නේ.

      Padam
    2. මගේ බඩ කොර උනා බං කොමෙන්ට් එකට... උඹ බොගක් දාන්නේ නැද්ද... දානවා නම් ලින්ක් එක එවහන්..

      Padam
    3. බොගග්නං දාල තියෙනව. ඒත් ඒක මගේ එකට වැඩිය හොඳයි. හැක්..
      http://nutmansrilanken.blogspot.com/

      Padam
    4. එම්බා පෙසන්නය. එතනට ගිහාම මොකුත් නැත. ඇනෙන බොගක් බව දුටිමි. බොග වෙනුවට සොරිය දුටුවෙමි.

      Padam
    5. බොග වෙනුවට සොරිය දුටුවෙමි

      Padam
  7. පාර හොඳට හදලා වංගු වල කණ්නාඩි හයි කලාට පස්සේ ඒවට ගල් ගහල කුඩු කරලා දාපු නරුමයොත් ලංකාවේ හිටියා...

    BalasPadam
    Balasan
    1. හා හා දරුවා, ඒවා අපේ ජාතික සිරිත්.

      Padam
  8. ඔය පාරේ මගේ අත්දැකීම් දෙකක් තියනවා.1988 විතර.පලවෙනි එක පරන මිට්සුබිශි ජීප් එකක ඔය වංගු 18 බහිනකොට 12 ක් විතර පහු වුනහම බ්‍රේක් වොශර් ලීක් වෙලා බ්‍රේක් නැතුව යාම . ගියර් වලින් වේගය පාලනය කරගෙන කොහොමහරි මහියංගනේට ගිහින් බ්‍රේක් හදා ගත්තා.දෙවෙනි එක VW Beetle එකක ගිරාඳුරුකෝට්ටේ යනකොට යාලුවෙක් එක්ක ඔය රොටි කඩේ පහුකරලා ටික දුරක් ගියහම එන්ජිමේ වෑල්ව් හිරවෙන්න අර්ගෙන මිස් කරන්න ගත්තා. කම්මල අරගෙන යන නිසා අපි දෙන්න හොඳ දිය ඇල්ලක් ලඟ නතරවෙලා හෙඩ් දෙක ගලවලා වෑල්ව් හිරවීම හදා ගත්තා. ඔය පාරේ එක තැනක් තියනව නේද තෙත් කලාපයෙන් වියලි කලාපයට මාරුවෙන වෙනස දැනෙන?

    BalasPadam
    Balasan
    1. ඔය පාරේ එක තැනක් තියනව නේද තෙත් කලාපයෙන් වියලි කලාපයට මාරුවෙන වෙනස දැනෙන? ///// Yes හුන්නස්ගිරිය බැස්සම නේද ?

      Padam
    2. අපේ මාමගෙ ඩොල්ෆින් එකෙත් ඔහොම කේස් එකක් තිබ්බා. පල්ලම් බහිද්දි කර ගඳක් ඇවිත් බේක් නැතුව යනවා ටිකක් දුර ගියාම. එක්කො එයා පල්ලමේ බේක් පාග පාග එනවා ඇති. නැත්නම් බේක් එකට කකුල තියාගෙන.

      Padam
  9. මගේහිතෙත් සටහන් වෙලා තියන සුන්දර තැනක් තමයි දහ අට වංගුව....

    BalasPadam
    Balasan
    1. දහ අට වංගුවසුන්දර තැනක්

      Padam
  10. මට එකපාරටම මතක්වුණේ, 'එක හිත නැති උඹේ හිතත් දහඅට වංගුව වාගේ' කියන ගී පදය.

    ඔබේ සේවය, රන්ටැඹේ ශිෂ්‍යභට කඳවුරේ නිලධාරීන් අගය කළා, වරක් මා සමග කතාකරමින් සිටියදී.

    BalasPadam
    Balasan
    1. තවත් කරන්න තිබ්බා නමුත් බ්‍රිගේඩියර් තම්මිට ගෙන් පසු මහත්මා යුගය අවසන් වී වෛද්‍ය ඒකකයේ බෙහෙත් පවා විකුනගෙන කන හොරෙක් ආවා. ඔහු පසුව ඇවන්ගාඩ් නඩුවේ බොරු සාක්කි දී චෝදනා ලැබුවා. හොරුත් එක්ක අපිට සවයිව් වෙන්න බෑ .

      Padam
  11. අපිත් ඔය පාරෙ අවුරුදු ගණනාවක් ගියා අනූ දෙක වෙනකල්.

    BalasPadam
    Balasan
    1. ඊට පස්සේ මොන පාරෙද ගියේ ?

      Padam
  12. ගස්ලබ්බත් හරි ආසයි ඔහොම ගමනක් යන ගමන් ගහක් යට පොඩි කඩ කෑල්ලක නැවතිලා යන්න.දුම් ටිකක් වැදිලා.. රස්නෙට රොට්ටක්,බඩඉරිඟුවක් කාල කඩේ අය හොඳයි වගේ නම් කයියක් ගහලා යනකොට හරිම සැහැල්ලුයි.හෝටල් වල ඒ ගතිය නෑ..
    ජයවේවා..!!

    BalasPadam
  13. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

    BalasPadam
  14. ඔබේ සිතුවිලි මගේ කවියෙන් ............

    දහඅට වංගුව මං අද ඇස ලඟ දැක්කට
    මිහිදුම හැංගුව පරිසරෙ වටකොට තිබුනට
    ලොරි මාමා හිනැහෙනවා නෙව මගෙ පස්සට
    බඩගාගෙන ඉඩ දෙන්නේ උන්දැට මක්කට

    කට්ට කමට මාමා පසු පසින්ම ආවට
    තට්ට හිසේ කෙස් ගැනලම බලමුද හනිකට
    වෙට්ටු දමා ඉස්සර කර හිනැහුනාට මට
    නලාව ඇයි දෙවරක් ගැහුවේ තුති පිදුමට

    වංගු දහ අටෙන් ඉගිලී යන එන ගමනට
    හිමින් සැරේ සුක්කානම ගෙන කරකැවුවට
    ලිස්සන මග යන ගමනේ හෙමිහිට ඇදුනට
    සුනංගුවක් හිත පතුලට දැනුනෙම නෑ මට

    උනු රොටියක රස ලං කර ගන්නට හිතුවට
    තනි නොතනිය බිඳ මිතුරෙකු මා ලඟ ගෙවුවට
    කහට වතුර සප්පායම කටවට කෙරුවට
    කඩයම හැඩ මුදලාලිගෙ සිහිනෙ පෙනෙයි මට

    හුන්නස්ගිරියෙන් නිතරම යන මගෙ දෙපයට
    ලස්සන වෑහෙන සුන්දර ගම් බිම් අතරට
    හැකිනම් ආයිත් ගමනක් ඉගිලී යන්නට
    කුරුලු වෙසක් ගෙන පියඹමි අහසේ ඉහලට

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook