Rabu, 1 Jun 2016

ඇඩ්ඩිං සහ නාලන්දේ සුළු සේවකයෝ



නාලන්දේ සුළු සේවකයෝ කිහිප දෙනෙකු වූහ​. මෙයින් ගුණසේකර අයියා එකල ප්‍රයිමරියේ විදුහල්පති වූ ධර්ම ගුණසිංහ මහතාගේ කාර්‍යාලයේ වැඩ කලේය​. උප විදුහල්පති ධර්ම ගුණසිංහ මහතාගේ පණිවිඩ පන්ති වලට ගෙන යාමටත් ඔළු පලාගත් ළමයින්ට බෙහෙත් දැමීමත් ගුණසේකර අයියා කල බව මට මතකය​. ඔහු කාල වර්ණය​. සුදු ජාතික ඇඳුම ඇන්දේය​. පසු කාලයක ගුණසේකර අයියා නාලන්ද විද්‍යාලයේ පුස්ථකාලයේ සේවය කලේය​. 

ගුණසේකර අයියා ප්‍රයිමරියෙන් ගිය පසු රෙද්ද හැට්ටය ඇඳි ගැහැණියක් ප්‍රාථමිකයේ වැඩට ආවාය​. ඇයව අපේ කොල්ලන් විසින් හැඳින්වූයේ කැවුම් ආයා කියාය​. ඇයගේ මුහුණ කැවුමක් වගේය​. එසේම නිතරම කෝප ගන්නීය​. ඒ කාලයේ හය වසරේ සිටි අපට තවමත් ඔන්චිල්ලා පැදීම රුචි නිසා අප ප්‍රයිමරියේ ඔන්චිල්ලා වෙත ගියෙමු. එවිට කැවුම් ආයා පැමිණ අපට බැන වැද අපව එලවා දමන්නීය​. අපද කැවුම් ආයාට "කැවුම් ආයෝ" කියා  පසු නොබලා දුවන්නෙමු.   

ප්‍රයිමරියේ ගේට්ටුවේ චන්ද්‍රපාල නම් මුරකාරයෙකු විය​. ඔහු කොට කලිසම ඇඳ කමිසයේ උඩ බොත්තම නොපියවා සිටියි. මම 1996 කාල වකවානුවේ පාසලට ගිය විට චන්ද්‍රපාල දුටුවෙමි. ඔහු එදාත් සිටියේ කොට කලිසමෙනි. 

නවය වසරට පා තැබීමත් සමගම අපගේ පන්ති අපර්ස් ස්කූල් හෙවත් ජ්‍යෙෂ්ඨ පාසල් කලාපයට ගෙන යන ලදි. මේ කාලයේ කොල්ලන් ගේට්ටුවෙන් පැනීම උත්සන්න කොට තිබූ නිසා ගුණපාල හෙවත් සූකිරියා නිතරම ගේට්ටුවේ සිටියේය​. ඉංග්‍රීසියෙන් ලියුමක් (දෙමාපියන් ලියන ලෙසට) ලියාගෙන ගිය විට ගුණපාල ගේට්ටුව අරින බව කොල්ලන් කී නිසා මමද වරක් මේ සෙල්ලම අත් හදා බැලුවෙමි. එදින ගුණපාල අමාරුවෙන් අමාරුවෙන් වචන ගලපා ලියුම කියවා ඔයාට දතේ අමාරුවක් නිසා ආනන්දේ ඩෙන්ට්ල් එකට යන්න තියනවා නේද කියා  ගේට්ටුව ඇරියේය​. 

ගුණපාල ඉංග්‍රීසියට කැමතිය​. ගුණපාලට කොල්ලන් " දිස්වේ දිස්වේ" කියා නමක් දමා තිබුනෝය​. ඒකට නිධාන කතාව නම් මෙසේය​. වරක් සුද්දෙක් පැමිණ විදුහල්පති කාර්‍යාලය කොහේද කියා විමසීය​. විදුහල්පති කාර්‍යාලය දිශාව අතින් පෙන්වූ ගුණපාල " දිස්වේ දිස්වේ " කියා "ගෝ ගෝ ගෝ ගෝ හෝල්ට් (ඒ විදුහල්පති කාර්‍යාලය ඉදිරිපිට නවතින්න කීමයි) කීවේය​. මෙය ඇසූ කොල්ලන් කීප දෙනෙකු " දිස්වේ දිස්වේ " කතාව පාසලේ පැතිරුවෝය​. ඉන්පසු අප ගුණපාල යන විට  " දිස්වේ දිස්වේ " කීවෙමු. එවිට ඔහු අපට රැව්වේය​. ඒ කාලයේ "ඈත අතීතය දිස්වේ දිස්වේ " කියා සිංදුවක් ගුවන් විදුලියේ අරුණ කිරණින් නිතරම උදයට වාදනය විය​. වරක් එක් කොළුවෙක් ගුණපාල අසලින් යන ගමන් "ඈත අතීතය දිස්වේ දිස්වේ "කියා ගායනා කලේය​. මින් කිපුණු ගුණපාල "තොගෙ අම්මට" කියා කොළුවාට ටොක්කක් දීමට පැන්නේය​. කොළුවා පණ එපා කියා දිව්වේය​. පසුව ඔහු වෙත ගිය අප එම කොළුවාගේ පියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලොක්කෙකු බව කීවෙමු. එවිට ගුණපාල " මළ කෙලියයි හෙට ගෙදෙට්ටම ප්‍රමෝසන් එකක් ලැබෙයි කියා මැතිරුවේය​. 

උස මහතින් යුතු කොල්ලන් සමහර විට ගුණපාලගේ සරම කඩති. ඔවුන් හමුවේ ගුණපාල දුවයි. සමහර විට අප හමුවේ ගුණපාල ඔහුගේ දුක කියයි. මාස කීපයකට වරක් ඔහුගේ මාමා ඔහු හමුවීමට එයි. එදිනට ගුණපාල ඉන්නේ මූඩ් ගසාය​. "අදත් මාමා බැන්නා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තේ නෑ"  කියලා මෙසේ කියමින් ගුණපාල අපට ඔහුගේ ජීවිත කතාව කියයි.  අප ඔහුට සවන් දෙන්නෙමු. 

නාලන්දේ තවත් සුළු සේවකයෙකු වූ සීබට් ද මෙහිදී මතක් කල යුතුමය​. සීබට් අපගේ පන්තියට එන විට රණසිංහ හෙවත් බිත්තරේ "සීබ , සීබෝ " කියා අමුතු හඞකින් කියයි . එවිට සීබට් ඔහු දෙස රවා බලයි. පසු කාලයක  රණසිංහ යුද හමුදාවට ගියේය​. 2004 පමණ කාලයේ ඔහු ඕමන්තේ සිටින විට මම රනේට දුරකථනයෙන් කතා කලෙමි. එහිදී මම ඒ කාලයේ මෙන් "සීබ " කියා අමුතු හඞකින් යලිත් වරක් ප්‍රතිරාව  කරන ලෙස ඉල්ලුවෙමි. මගේ ඉල්ලීම ඉටු කරමින් මේජර් රණසිංහ ඕමන්තේ සිට  "සීබ " කීවේය​.  

වරක් නවය වසරේ අපගේ සිංහල ගුරුවරිය වූ ගුණතුංග මහත්මිය පන්තියට එන විට කොල්ලන් නොයෙකුත් වැඩ කරමින් සිටි නිසා නැගිටීම ප්‍රමාද විය​. මෙහිදී ගුණතුංග ටීචර් පන්තියටම බැණ වැදී ගුරුවරයෙකු පැමිණි විට ගුරු ගෞරවය පෙන්වා පුටුවෙන් නැගිට ආයුබෝවන් කිව යුතු බව තරයේ කීවාය​. මේ අවස්ථාවේදී අංශ භාර ජයවර්ධන මයාගේ පණිවිඩයක් ගෙන සීබට් පන්තියට පැමිනියේය​. එවිට කොල්ලන් සියළුම දෙනා කලින් කතාකර ගත්තාක් මෙන් නැගිට  සීබට්ට ආයුබෝවන් සර් කීවෝය​. සීබට් අන්ද මන්ද විය​. 

ලක්‍ෂ්මන්  විදුහල්පතිවරයාගේ පියන් විය​. ඒ නිසා ලක්‍ෂ්මන් කොල්ලන්ව කෙයාර් කරේ නැත​. මේ නිසා කොල්ලන් ලක්‍ෂ්මන්ට වයිස් ප්‍රින්සිපල් කියති. එවිට කෝප වන ලක්‍ෂ්මන් සමහර විට කොල්ලන්ට පහර දීමට එයි. මෙසේ වරක් අපගේ උසස් පෙල පන්තියේ සිටි කොල්ලෙක් ලක්‍ෂ්මන්ව ප්‍රකෝප කලේය​. ලක්‍ෂ්මන්  ඔහුට පහර දීමට ආ විට ඔහු ලක්‍ෂ්මන්ට පහර දුන්නේය​. මේ කේස් එක ඇදී විදුහල්පති කොල්ලාට සිතාසි නිකුත් කලේය​. කොල්ලා එදාට පසු යලි පාසල් ආවේ නැත​. ඔහුගේ උසස් පෙළ අධ්‍යාපනය ඉන් නිම විය​. මේ විහිළු දුර  දිග ගිය අවස්ථාවකි.  

මේ සියළු සුළු සේවකයන් අතරින් ඇඩ්ඩින් හෙවත් ඇඩ්ඩිං ප්‍රකට චරිතයකි. ඔහු නාලන්දේ බොහෝ කාලයක් සේවය කලේය​. මම එක වසරේ (1973) සිටියදී පවා ඇඩ්ඩිං ට්‍රැක්ටරයක් වැනි තණකොල කපන යන්ත්‍රයකින් ක්‍රීඩා පිටියේ තණකොල කපනවා මතකය​. එ් කාලයේ මම නසරානි කොළුවෙකු වූ සරත්නරත්න නොහොත් සරත් හෙවත් ටිප්ටොප් සමග ක්‍රීඩා පිටියට ගොස් ඇඩ්ඩිං තණකොල කපනවා බලා සිට එකවරම කපන යන්ත්‍රයේ ෆෑන් එක යටට ගල් විසි කලෙමි. ( මට මෙසේ කරන ලෙස ඉගැන්වූයේ ටිප්ටොප් ය​) මා විසින් විසි කරන ලද ගල ෆෑන් එකේ වැදී විසිවන්නේ මහ හඞක් නගමිනි. එවිට ඇඩ්ඩිං තණකොල කපන යන්ත්‍රයෙන් බැස අප දෙදෙනා පසුපස එලවයි. අප දිවිල්ල නවත්වන්නේ ප්‍රයිමරියේ අපගේ එක ඩී පන්ති කාමරයට පැමිනීමෙන් පසුවය​. මේ දඟකාර වැඩ නිසා නිසා විශයමාලා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කල මගේ මව  අදිසි හස්ථයක් මගින් මාව එක ඩී පන්තියෙන් ගලවා ඊ අබේකෝන් මහත්මියගේ එක ඒ පන්තියට දමන ලදි.  ඉන් පසු මගෙන් ඇඩ්ඩිංට කරදරයක් නොවීය​. 

මම  පහ වසරේ සිටියදී මිතුරන් කිහිප දෙනෙකු සමග කතා කරමින් නොදැනුවත්වම ක්‍රීඩා පිටියේ පිච් එක උඩින් ගියෙමි. හිටි හැටියේම එක මිතුරෙක් "ඔන්න ඇඩ්ඩියා එනවා දුවපං "කියා දිව්වේය​. පසුපස බලන විට මම දුටුවේ සරම කැහැපොට ගසාගෙන මාරාවේශයෙන් මා වෙත දිව එන ඇඩ්ඩියාය. මම පවනට බඳු වේගයෙන් දිව ගොස් ඇඩ්ඩියා ගෙන් ගැලවුනෙමි.  ඉන් පසු බොහෝ කාලයක් යන තෙක්  මම  ක්‍රීඩා පිටියේ  ශුද්ධවූ පිච් එක නොපෑගුවෙමි.   

පසු කාලයක 1996 දී පමණ සීමාවාසික පුහුණුවෙන් පසුව මා පාසලට ගියෙමි. ක්‍රීඩා පිටිය අසලදී මට ඇඩ්ඩිං හමු විය​. " මොකද දැන් ලොකු මහත්තුරු උනාම  ඉස්කෝලේ පැත්තේ එන්නේත් නෑනේද ? ඔහු මා දුටු විගස නෝක්කාඩුවක් කීවේය​. නෑ ඇඩ්ඩිං දන්නේ නැද්ද මම පිටරට ගිහිල්ලා හිටියේ කියා නිදහසට කාරණා කීවෙමි. ඇඩ්ඩිං ඇත්ත වශයෙන්ම පාසලට ආදරේය​. අපගේ 1985 සිසු කණ්ඩායම මුදල් එකතු කොට විශ්‍රාමික ඇඩ්ඩිංට දුන් බව මට සෙන් පීටර්ස්බර්ග් නගරයේ ජීවත් වන සමන්ත ජයවීර වරක් කීවේය​. එසේම මුහුණු පොතේ 2016 ආනන්ද නාලන්ද ක්‍රිකට් තරඟය බැලීමට විශේෂ ආරාධිත කුටියේ සිටි ඇඩ්ඩිං ගේ චායාරූපය මම දුටුවෙමි. 

ඇඩ්ඩිං නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියෙ භාරව සිටි සුළු සේවකයා විය​. සුළු සේවකයෙකු වූවද ඔහු සේවය කලේ තම වෘත්තිය කෙරෙහි ලැදියාවක්, කැපකිරීමක් මෙන්ම අභිමානයකිනි. මම මගේ වෘත්තීය ජීවිතය තුලදී විවිධ විශේසඥයන්, මහාචාර්‍යවරු , හමුදා ජෙනරාල්වරු යටතේ සේවය කොට තිබේ. එහෙත් ඔවුන් කිසිවෙකු ඇඩ්ඩිං මෙන් තම වෘත්තිය කෙරෙහි අභිමානයකින් යුතුව සේවය කරනවා මම නොදුටුවෙමි. සුළු සේවකයෙකු වූවද ඇඩ්ඩිං මට විශාල පාඩමක් නිහඞවම කියා දී තිබුනේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග

32 ulasan:

  1. ඒ වගේ මනුස්සයෙක්ට ඔබතුමාලාත් නිසි විදිහට ප්‍රති උපකාර දක්වලා තියනවා වගේ.. අගෙයි..
    මේ විදිහට ඇඩ්ඩින් ගැන කතා කරන්න හේතු උනෙත් අර කියුව වගේ ඒ මනුස්සයා ලඟ තිබුණු ගති ගුණනේ... කාටත් ඒක ආදර්ශයක්..

    BalasPadam
  2. අර සමලිංගික තට්ටයගේ ජංගම දුරකථන හෑලි වලට වඩා මේ දොස්තර මහත්තයගේ ලිවිල්ල කොච්චර රසවත්ද.

    BalasPadam
  3. //එහෙත් ඔවුන් කිසිවෙකු ඇඩ්ඩිං මෙන් තම වෘත්තිය කෙරෙහි අභිමානයකින් යුතුව සේවය කරනවා මම නොදුටුවෙමි. සුළු සේවකයෙකු වූවද ඇඩ්ඩිං මට විශාල පාඩමක් නිහඞවම කියා දී තිබුනේය​. //

    +++++++++++++++

    BalasPadam
    Balasan
    1. සුළු සේවකයෙකු වූවද ඇඩ්ඩිං මට විශාල පාඩමක් නිහඞවම කියා දී තිබුනේය​. //
      ++++++++++++++

      Padam
  4. රුවන්ට මතකද බොටනි ලැබ් එකේ හිටපු පෑලිස් අයියා.අපේ කාලේ 76 ඒතර කොල්ලෝ කිව්වෙ කුලවන්ස සර් මොනව හරි මතක නැති වුනහම පෑලිස් අයියගෙන් අහනව කියල.

    BalasPadam
    Balasan
    1. පෑලිස් අයියා මතකයි ,

      Padam
  5. අයිසේ නාලන්දේ කියන්නේ කොළඹ තියෙන 3rd ක්ලාස් ඉස්කෝලයක්නේ.

    BalasPadam
    Balasan
    1. යකඩෝ මේ සර ස තුමාවත් ද?

      Padam
    2. නෑ අයිසේ 4 th ක්ලාස් ඉස්කෝලයක්

      Padam
  6. රෝයල් එකේ හිටිය කඩලේ කියල පොරක්. රටකජු සහ මෙකී නොකී දෑ විකුණන. වෙන අය ගැන මතක නැහැ.

    BalasPadam
  7. රටපුරා ඇති ප්‍රධාන පෙලේ විද්‍යාලවල සිටින මෙවැනි සුළු සේවකයන් සෑහෙන පිරිසක්, තම ජීවිත කාලයම, සොච්චම් වැටුපකට කැපකර, අවසානයේ දුක්ඛිත මහලු කාලයක් ගෙවා මියයන හැටි, මා දැක තිබෙනවා. නමුත් දැන් දැන් බොහෝ ආදී ශිෂ්‍ය සංගම්, මෙවැනි අයගේ අවසාන කාලය සතුටින් තබන්නට, විවිධ ආකාරයෙන් දායක වීම සතුටට කරුණක්.

    අර රණසිංහ හරේන්ද්‍ර රණසිංහද?

    BalasPadam
    Balasan
    1. නෑ දැන් Lt Col (Ret) STDP Ranasinghe

      Padam
  8. අපූරු මතක සටහන්. ඉස්කෝලේ ගාව අච්චාරු ආච්චිලා, අඹ කරත්ත තිබුනේ නැද්ද?

    BalasPadam
    Balasan
    1. තිබ්බා තිබ්බා ඒවගෙත් මාර කතා තියනවා

      Padam
  9. ප්‍රින්සිපල්ගෙ පියන් නම් ඉන්නෙ හොඳම ලොකු එකෙන්.පිනා හොරකම් කරනවා නම් පියන්ගෙ ඝණඛම බොහොම වැඩියි.
    පිට්ටනියක් හරියට තියාගන්න නම් ඒකට ආදරේ කරන කෙනෙක් ඉන්නම ඕනෙ.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ඇත්තමයි, ලක්‍ෂ්මන් කාරයා ඒවා නම් කරේ නැහැ

      Padam
  10. " දිස්වේ දිස්වේ " කියා "ගෝ ගෝ ගෝ ගෝ හෝල්ට්".
    Being able to direct a person this much is still great. Some Sri Lankans run when just one 'Kadu' word is spoken.

    BalasPadam
  11. 85 කණ්ඩායමේ?
    හොඳයි හොඳයි අපි අල්ලපු පැත්තේ 85 කට්ටිය
    ඔය බල්ගේරියාවේ විද්‍ය විද්‍යාලේ ජයන්ත කියල කෙනෙකුත් හිටියා ඔබතුමා දන්නවද? ඒ මගේ යාලුවෙක්.

    BalasPadam
    Balasan
    1. නයනේ බල්ගේරියාවේ ජයන්ත ? mmmm සම්පූර්ණ නම මොකක්ද ?

      Padam
    2. Ulasan ini telah dialihkan keluar oleh pengarang.

      Padam
    3. No Nayane sorry do not remember

      Padam
  12. ඇඩ්වින් පිට්ටනියේ තණකොළ පා ගන්නවත් දෙන්නේ නැති කාලයක් එනවා. ඒ 19 පහළ ක්‍රිකට් පැවැත්වෙන කාලය. අපේ පස්සෙන් පැන්නුවේ සෙල්ලම් කරන නිසා නොව. පිට්ටනිය ලඟින් යනකොට තණකොළ පෑගුනා කියල.සුකිරියගේ පුතත් නාලන්දෙ නේද. මට මතක හැටියට අපේ බැච් එකේද කොහෙද? හැබැයි කොල්ල හැංගිලා වගේ හිටියේ.
    පසු කලෙක මට දුෂ්කර පළාත්වල විදුහල්පතිවරු දුටුවිට මට සුකිරියව මතක් වෙනවා. බුලත් කන නැෂනල් සුට් අදින චරිත.

    BalasPadam
    Balasan
    1. සුකිරියගේ පුතා නාලන්දේ කියලා මම දන්නේ නැහැ, ඇත්තෙන්ම කොල්ලට උදව් කරන්න ඕනේ අභිමානයට හානියක් නොවන ලෙස

      Padam
  13. Ruwan, my comment about Addin Ayya is missing. Was it spammed?

    BalasPadam
  14. ඉතාමත් ආසාවෙන් කියෙව්වෙමි. මටනං (ඇඩ්ඩින් අය්යා ඇරෙන්න) නම්මතක නැත. ඒ නිසා, මෙවන් රසවත් මතක සටහන් තබන අපේ සොයුරැ රැවන්ට ඉතාමත් ස්තුතියි....
    - චන්න වැලිහිඳ

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook