Khamis, 25 Februari 2016

දැදිගම වී රුද්‍රිගු නම් අසහාය පරිවර්තකයා





දැදිගම වී රුද්‍රිගු සම්භාව්‍ය රුසියන් ග්‍රන්ථ  සිංහලට පරිවර්තනය කල විශිෂ්ට පරිවර්තකයෙකි. මට එතුමාව හමුවී නැතත් මගේ පියා රුද්‍රිගු මහතාව දැන සිටියේය​. දැදිගම වී රුද්‍රිගු මහතා සෝවියට් දේශයේ වෛද්‍ය උපාධියක් හදාරා තිබුනද එතුමා වෛද්‍ය වෘත්තිය වෙනුවට තෝරා ගත්තේ සාහිත්‍යයි.   රුද්‍රිගු මහතා සාමාන්‍ය පරිවර්තකයෙකු නොවේ. එතුමා තුල විශිෂ්ඨ ගනයේ සාහිත්‍යධරයෙකු සිටියේය​. එම නිසා මූලකෘතියට ඉතා සමාන ආකාරයට මුල් කෘතියේ ජීව ගුණය එලෙසටම පාඨකයාට සමර්පණය  කිරීමේ අනර්ඝ හැකියාව එතුමා සතු විය​. 

දැදිගම වී රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලද කෘති බොහෝ ගනනකි. ඔහුගේ රුසියානු භාෂා දැණුම ප්‍රශස්තය​. එතුමා රුසියානු සාහිත්‍ය පරිශීලනය කලේ වෙනත් විදේශීය බසකින් නොව රුසියානු භාෂාවෙනි. එසේම රුසියානු සහ සෝවියට්  සංස්කෘතිය පිළිබඳවද එතුමාට උසස් දැණුමක් තිබුනේය​. එම නිසා තොල්ස්තෝයි, පුෂ්කින්, දොස්තයෙව්ස්කි , ගෝගොල් , නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කි යනාදී සාහිත්‍ය පතාකයන් ගේ  නිර්මාණ කිසිදු විකෘතියකට ලක් නොකොට  එලෙසින්ම සිංහල පාඨකයන්ට දීමට රුද්‍රිගු ශූරීන්ට හැකි විය​. එසේම ඔහුගේ සිංහල බස පිළිබඳ දැණුමද විශිෂ්ඨ විය​. මෙම භාෂා දෙකේ හැකියාවන් මත සංකලනයෙන් දැදිගම වී රුද්‍රිගු නම් සාහිත්‍යධර පරිවර්තකයා ඔපවත් වූයේය​. 

දැදිගම වී රුද්‍රිගු මහතා විවහා වී සිටියේ රුසියානු කාන්තාවක් සමගය​. සෝවියට් දේශය ඔහුගේ දෙවන නිවහන විය​. ඔහුට පුතුන් දෙදෙනෙකු විය​. දැදිගම වී රුද්‍රිගු මහතා මිය ගියේ අනූව දශකයේදීය​. මොස්කව් වල තිබූ එතුමාගේ අවමගුලට සහභාගි වූ මා මිත්‍ර අනුර ඇතුලත්මුදලි  පසුව මට පැවසුවේ දැදිගම වී රුද්‍රිගු මහතා වෙනුවෙන් ලංකාවේ තානාපති කාර්‍යාලය මෙන්ම ලංකාවේ සාහිත්‍යධාරීන්ද හරවත් යමක් නොකල බවයි. ඇත්ත පුවත්පතේ පමණක් එතුමා පිළිබඳව සුළු විස්තරයක් පළ විය​.   

දැදිගම වී රුද්‍රිගු යන නාමය සිංහල පාඨකයන්ට අමතක කල නොහැකි නාමයකි. දැදිගම වී රුද්‍රිගු විසින් පරිවර්තනය කරන ලද නිකොලායි  ඔව්ස්ට්‍රොව්ස්කිගේ වානේ පන්නරය ලැබුණු හැටි , චිංගීස් අයිත්මාතව්ගේ පළමු ගුරුවරයා (ගුරු ගීතය​) ,අම්මා සහ මිහිකත ,  මැක්සීම් ගෝර්කි ගේ අම්මා ,බොරිස් පලවෝ‍යිගේ සැබෑ මිනිසෙකුගේ කතාවක් ,  වී. කරලෙන්කෝ ගේ  අඳ වාදකයා ,නේස්තුර්හ් ගේ මිනිසාගේ සම්භවය යන කෘතීන් සිංහල පාඨකයන් විසින් ඉමහත් සෙනෙහසින් වැළඳගත් කෘතීන් වෙති. 

පහත දැක්වෙන්නේ දැදිගම වී. රුද්රිගු විසින් පරිවර්තනය කරන ලද චිංගීස් අයිත්මාතොව් ගේ “අම්මා සහ මිහිකත” කෘතියේ ‘තල්ගනායී’ නම් අම්මා සමඟ පෘථිවි මාතාව කළ සංවාදය ඔහු විසින් සිංහලට පෙරලා තිබූ අපූර්ව ආකාරයයි. 

“මේ ලෝකයේ ජීවත්වන ජනයිනි. නුඹලාට ඕනෑ මොනවා ද? පෘථිවිය ද? මෙන්න මා තමයි පෘථිවිය. මම සියලු දෙනාට ම එක හා සමානයි. නුඹලා ගේ කලහවලින් මට පලක් නෑ. මට අවශ්‍ය වෙන්නේ නුඹලා‍ගේ මිත්‍රත්වයයි, නුඹලාගේ ශ්‍රමයයි. පෙරළුෑ බිමට එක ධාන්‍ය ඇටයක් දීපල්ලා. මම නුඹලාට ධාන්‍ය සියයක් ලබා ‍දෙන්නම්. කුඩා පැළයක් සිටුවාපල්ලා, මම නුඹලාට මහ ගොඩක් පලතුරු දෙන්නම්. සතුන් ඇතිකරපල්ලා, මම උන්ට තණ ආහාර සපයන්නම්, ගෙවල් හදාපල්ලා, මම තාප්ප හා බිත්ති වෙන්නම්. විවාහ වී දරුවන් ඇති කරපල්ලා, මම නුඹලා සියලු දෙනාට ම සුන්දර නිවහනක් වෙන්නම්. මම අනන්තය වෙමි. සීමා රහිත වෙමි. මා ගැඹුරුයි. උසයි. නුඹලා සියලු දෙනාට ම මගේ ඇකයේ ඉඩ තිබේ" 


සෝවියට් ළමා පොත්ද එතුමා පරිවර්තනය කලේ ළමා මනසට ගෝචර වන ලෙසටය​. ලස්සන වසීලිස්සා එක් නිදර්ශනයකි. එසේම දැදිගම වී රුද්‍රිගු රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයන්ට හඳුන්වාදීමේලා කරන ලද සේවය විශාලය​. නමුත් මෙම අසහාය සාහිත්‍යධර පරිවර්තකයා ජීවත්ව සිටි කාලයේ ඔහු  උපන් දේශයන් කිසිදු ඇගයීමක් නොලද්දේය​. 2002 වසරේදී මා විසින් ලියන ලද ඉවාන් ගේ ලෝකය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) නම්  නවකතාව පිදෙන්නේ දිවංගත දැදිගම වී රුද්‍රිගු මහතාටය​.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 ulasan:

  1. වටිනා තොරතුරු රැසක් දැන ගත්තා, වානේ පන්නරය කියවා තිබුණත් පරිවර්තක ගැන විස්තර දැන ගෙන හිටියේ නැ.

    BalasPadam
  2. එයා මගේ පුංචි කාලේ වීරයෙක්, ලෙනිනුත් ඒ කාලෙ මගේ වීරයෙක් හැබැයි දැදිගම වී රුද්‍රිගූ නොහිටින්න ලෙනින් වීරයෙක් නොවෙන්න තිබුනා.

    BalasPadam
  3. දැදිගම වී රුද්රිගු පරිවර්තන කරලා තියෙන්නේ තනිවමද? නැතිනම් සිංහල පරිවර්තක කණ්ඩායමේ ප්‍රධානියද?
    එයාගෙ පරිවර්තනවල විශේෂ ව්‍යාකරන රටාවක් තියෙනවා. මෙන්න මෙහෙම.
    බිත්තිවල කහ තීන්ත ගාලාය.
    පාරවල් හොඳින් හදලාය.
    ගමේ බොහෝ දොනක් ගිහිල්ලාය. වැනි වාක්‍ය ඔහුගේ පොත්වල අතරින් පතර තියෙනවා.

    BalasPadam
    Balasan
    1. සිංහල පරිවර්තක කණ්ඩායමේ ප්‍රධානියද?ඒකනම් මම දන්නේ නෑ නමුත් බොහෝ ඒවා ස්වතන්ත්‍ර

      Padam
  4. සැබෑ මිනිසෙකුගේ කතාවක් කියන පොත තමයි එතුමාගේ මං කැමතිම පරිවර්තනය. කොහොමත් ඒ ජාතියේ පරිවර්තනවල තියෙන රුසියානු ගතියට මං ආසයි.

    BalasPadam
    Balasan
    1. සැබෑ මිනිසෙකුගේ කතාවක් හොඳ පොතක්

      Padam
  5. දැදිගම වී රුද්‍රිගු මහතා නොහිටින්නට රුසියානු සාහිත්‍යය ලංකාවේ මේ තරම් ප්‍රචලිත නොවනු ඇත.

    //දැදිගම වී රුද්‍රිගු මහතා විවහා වී සිටියේ රුසියානු කාන්තාවක් සමගය​. සෝවියට් දේශය ඔහුගේ දෙවන නිවහන විය​."// මේ පිලිබඳ අදයි දැනගත්තේ .

    ලංකාව තුලදී පවතින හෝ පැවතුන රජයට කිනම් හෝ අයුරකින් සම්බන්ධ නොවුණු කළා කෙරුවෙක් නිසි බුහුමන් ලබුවෙනම් ඒ බොහෝ කලාතුරකිනි

    BalasPadam
    Balasan
    1. සාහිත්‍ය ලෝකයේ කුහක බව

      Padam
  6. පෝස්ට් එකක් ලියන්න තරං හිතෙනවා.. ස්තුතියි..

    BalasPadam
  7. දැදිගම මහතගේ සියලුම වගේ කෘති කියවා අත්තෙමි. ඔහු විශිෂ්ඨයෙකි.

    BalasPadam
  8. ගස්ලබ්බාගේ වීරයෙක්.ඇත්තටම එතුමාගේ පරිවර්තන නොවන්නට ශ්‍රීලංකාවේ සාහිත්‍යයේ හැඩයේත් පැහැදිලි වෙනසක් විය හැකියි.ඒ තරම්ම එතුමාගේ පරිවර්තන අපට බලපෑවා..රුසියාව,මනුස්සකම,යුද්ධය,සහ හැඟීම් හැඟීම් ලෙසම එතුමා පරිවර්තනය කරන්නට ඇති.අපට දැනෙන්නෙ මෙතරම්ම ඒ නිසා වෙන්න ඇති.
    ඔබ විසින් රචිත රුසියානු ආරයේ යුධ කතාව මතක් උනා.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. මටත් එතුමාගේ පරිවර්තන බලපෑවා

      Padam
  9. රුසියන් සාහිත්‍යය ජීවිතයට සමීප කළ අපූර්වතම පරිවර්තකයා. දැදිගම වී රුද්‍රිගු නාමය හිතින් මැකෙන්නෙ නැහැ.

    BalasPadam
    Balasan
    1. රුසියන් සාහිත්‍යය ජීවිතයට සමීප කළ අපූර්වතම පරිවර්තකයා +++++++++++++

      Padam
  10. "මගේ හපන්කම්"

    BalasPadam
  11. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඔහු අසහාය පරිවර්තකයෙකි.ඔහුට සිය රටෙන් කිසිම උපහාරයක් ලැබී නැතත් ඔහුගේ පාඨකයන්වූ අප දහස් ගණනකගේ හදවත් තුළ ඔහු සදා ජීවත්වෙනවා ඇති.මේ අගනා සටහනට ස්තුතියි රුවන්.

    BalasPadam
  12. ohugen thawamath jeewth wana maha grantha prakashakyoo lankwe innwa , e kalakannai hatta ohuge namawth prasidda karanne na

    BalasPadam
  13. මම දන්නා විධිහට නම් ඔහු රුසියානු පෙම්වතිය විවාහ කරගෙන විසා ලැබුනට පස්සේ රැකියාවක් හෙව්වා. ප්‍රගති ප්‍රකාශක මන්දිරයේ පරිවර්තක රැකියාව හොයා ගන්න උදව් දීල තිබුනේ මිත්‍ර සංගමය විසින්. ඒ තරුණිය විවාහ කරගෙන එහි ජිවත්විමත් ලොකු දෙයක්. එවැනි කිහිප දෙනෙක්ම හිටියා ඒ දවස් වල . එම්බසියේ වැඩකළ පෙම්මාවඩු අන්කල් හෙම එවැනි කෙනෙක්.

    BalasPadam
  14. හරිත වර්ණ දූපත එතුමාගේ පරිවර්තනයක් ද?

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook