Sabtu, 24 Oktober 2015

" පෝන් එක දෙන්නේ කොහොමද ළමයෙකුට "





සුජී පෝන් එක දීපන් ළමයෙකුට
ඇයි  කෑගහන්නේ උඹ
ළමයි එකෙක්වත් නෑ ගෙදර 
දීපන් නොම්බරේ මට
මම සල්ලි අරගෙන  දෙන්නම් උන්ට 

කොහේ බිංදුවක්ද 
අනූවයි හැට නවයි 
අනූවයි කියපං නොම්බරේ 
කමක් නෑ මට හෙණ ගැහුවත්

කියපං නොම්බරේ ප​ණ
ළමයෙක් අතට පෝන් එක දෙන්නේ නෑ මම​
සුද්දා නෑ මෙතන 
කියපං නොම්බරේ 

ඇයි උඹ කියන්නේ මම කසිප්පු ගහලා කියලා 
අද ටිකක් දා ගත්තා තමයි 
කවදාවත් කුඩු ගහලා නෑ මම 
නොම්බරේ මට දීපන් 

සල්ලි නාස්ති කරන්නේ නෑ මම උඹ එවන 
ගෙවල් කුලී වෙලාවට ගෙවනව මම
කොල්ලන් ගේ ඉස්කෝලේ වැඩ වලට
පොඩි එකීගේ වියදමට 
මම සල්ලි දෙනවා 
කවදාවත් නෑ මම උන්ව බඩගින්නේ තියලා 

උඹ අරාබියේ කඹුරලා එවන 
තුට්ටු දෙකෙන් තමයි උන් පණ ගැටගහගන්නේ 
ඒ තුට්ටු දෙකෙන් තමයි මමත්
ඉඳහිට ඇඟ  රත් කර ගන්නේ 

බැනපන් මට 
මම පොන්නයෙක් තමයි 
ගෑණි රට යවලා 
ඒකිගේ දාඩිය වලින් ජීවත් වෙන 

මම විතරක් නෙවෙයි 
ගමෙන් බාගයක් ජීවත් වෙන්නේ
ගෑණු අරාබියට යවලා

උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි 
ගමත් දුවෙන්නේ
රටත් දුවන්නේ 
රට කරවන එවුනුත් සැප ගන්නේ
ඔය​ තුට්ටු දෙකෙන් තමයි 

දීපන් නොම්බරේ මට
මම සල්ලි අරගෙන උන්ට දෙන්නම් 
බැනපන් මට කුණුහරපෙන්
ඒකත් සැපයි අහගෙන  ඉන්න​

උඹ රට ගියදා හිටන් පාළුයි ඇඳ 
මම තනියම නිදි කොට්ටයක් බදාගෙන 
වෙන අවලමුන් වගේ 
කවදාවත් නෑ මම පොඩි එකී 
ඇඳට අරගෙන 

ඒකී දැන් ලොකුයි 
අම්මා කෙනෙක් නැතිව 
බයයි මට ඒකිව තනියෙන්
එහෙ මෙහෙ යවන්න​

පෝන් එක කාටවත් දෙන්නේ නැහැ මම 
අහගෙන ඉන්නවා උඹේ බැණුම 
කියපන් තව කුණුහරප 
ආසයි අහගෙන ඉන්න උඹේ කටහඞ

වැදුනා මට අද බඹර පදමට
ගුණී ගේ පොට් එකෙන් ගහපු වීදුරු දෙකෙන් 
ඒකී මිනිහා මළ වැන්ඳබුවී 
හතලිහ උනත් ඇහට කණට පේන 

ථූ විතරක් ගෑණු   මොටද මට
කරුවලේ උඹගේ ඇඟ උඩ දඟලන්ට තිබේ නම් 
අරාබියේ උඹ පතිවත රැකගෙන හිටපන්
මගේ ප​ණ

කමක් නෑ මාව බය කළාට
පෝන් එකේ සල්ලි ඉවරයි 
එත් මම දන්නවා උඹ උන් එක්ක 
නිදි නොවදින වග 

මම පොන්නයෙක්
මම කම්මැලියෙක්
මම අපතයෙක් 
ගෑනි අරාබියට යවලා
ඒකිගේ රීරි මාංසයෙන් ජීවත් වන 

කියපන් තව කුණුහරප​
මම අහගෙන ඉන්නම්
මම විතරක් නෙවෙයි 
මුළු රටම දුවන්නේ 
 උඹලාගේ දාඩිය වලින් 

මතකද අපි හමු උන පළමු දවස 
බස් එකේ මම උඹට හේත්තු උණා
වෙන අපත ගෑණු වගේ
මට රවන්නේ නැතිව 
උඹ මගේ බඩගින්න හා ගිණියම 
තේරුම් ගත්තා  

උඹට හේත්තු වී හිටි මම​
උඹට කර ගැහුවා
ගැහැනියෙක්ව හිටියත්
මම උඹව බැන්දා 
කිසිම සෝලියක් නැතිව 

උඹේ බඩ ලොකු වෙනකොට 
අග හිඟකම් එනකොට
අපේ ආලේ පෑළ දොරින් ගියාදෝ

ළමයි වදපු උඹ 
උන්ට අම්මා කෙනෙක් වෙන්නේ කොහොමද​
කාසි හොයන්න 
අරාබියට ගිය උඹ 

බැනපන් මට
කියපන් තව කුණුහරප 
ඒත් මම දන්නවා 
ආරබින් ගේ ඇඳට 
නොනගින බව උඹ 

දීපන් නොම්බරේ මට
මම සල්ලි අරගෙන  දෙන්නම් උන්ට 
මේ අහපන් මගේ පණ
දීපන් මට ගන්න ඔය සල්ලි ටික 

ඇයි උඹ පෝන් එක කට් කලේ
කොහේද ගියේ උඹ 
කතා කරපන් මගේ පණ
අහගෙන ඉන්නම් උඹේ බැණුම 

කමක් නෑ
උඹ පළයන් 
මම යනවා ගුණීගේ පොට් එකට
ඒකි මට මනාපයි 
ඒත් මම නෑ ඒකිට එකඟ 

අරාබියේ කඹුරා
උඹ යළි එන දවසට
පිළිගන්නම් මම උඹව 
රාජ කුමාරියෙකු වගේ 

දූවිලි ගසා බසා
කොට්ට අැඳ ඇතිරිළි සෝදා
වඩා ගෙන උඹව  දෝතින්ම 
ගන්නම් ඇඳට මගේ ප​ණ





12 ulasan:

  1. ජනාධිපතිකමෙත් සුජීලා
    පාර්ලීමේන්තුවෙත් සුජීලා
    උසාවියෙත් සුජීලා
    පොලිසියෙත් සුජීලා
    පාසැලෙත් සුජීලා
    පන්සලෙත් සුජීලා
    රෝහලෙත් සුජීලා
    වෙබ් එකෙත් සුජීලා
    මාධ්‍යයෙත් සුජීලා
    මඟතොටෙත් සුජීලා
    නිවසෙත් සුජීලා
    අැදෙත් සුජීලා

    හැම තැනම නොම්බරයක් දෙන්න විශ්වාස නැති....සුජීලා.

    ඉතින්....
    අයියෝ.. හැමිනෙනවා ...

    BalasPadam
    Balasan
    1. සුජීලා සුජීලා සුජීලා අයියෝ..

      Padam
  2. තම සතුට, සැනසුම පසෙක දමා තුන් තිස් පැයේම දරුවන්ට හා සැමියාට කඹුරන, දැලි ගැසුණු වැරහැලි අඳින, කුස්සිය මුල්ලට වී බත් තම්බන, දරුවන් හා සැමියා ඒ බත් ගිල දැමූ පසු ඉතුරු බිතුරු අනුභව කරන, ඒ සියල්ල කිරීමෙන් පසුවද සිය පවුලට වගතුවක් නොවන බව දැන මැද පෙරදිග වහල් මෙහෙයට යන, එහිදී ශාරීරික, මානසික හා ලිංගික වශයෙන් දස වධ වලට ලක්වෙන, ඒ සියල්ලමත් විඳ දරාගෙන දරුවන්ට පාසල් යන්නට, සැමියාට කසිප්පු බොන්නට හා වෙනත් ගැහැණුන් පසු පස යන්නට මුදල් එවන සුවහසක් ශ්‍රී ලාංකේය අම්මාවරුන්ගේ හෙවත් ‘ගෙදර බුදුවරුන්ගේ’ කතාව මෙය විය යුතුය.

    BalasPadam
  3. //කියපන් තව කුණුහරප​
    මම අහගෙන ඉන්නම්
    මම විතරක් නෙවෙයි
    මුළු රටම දුවන්නේ
    උඹලාගේ දාඩිය වලින්//
    ජයවේවා..!!

    BalasPadam
  4. නවකයෙක් ලෙස බ්ලොග් ලොවට ඇවිත් ඔන්න මමත් මේ පැත්තේ ආවා. පෝස්ට් එක කියෙවුවා. ඔය සීන් එක දැන් ලංකාවම හිනාගස්සන කොමඩියක් වෙලා. ඉතින් මගේ බ්ලොග් එක පැත්තෙත් කට්ටිය ඇවිත් යන්න එහෙනම්

    BalasPadam
  5. ලමයෙකුට තියා දැන් අපිත් ෆෝන් එක ගන්නෙ බයෙන්. ඉතින් කොහොමද අපි ලමයෙකුට ෆෝන් එක දෙන්නෙ?

    BalasPadam
  6. උඹලා එවන තුට්ටු දෙකෙන් තමයි
    ගමත් දුවෙන්නේ
    රටත් දුවන්නේ
    රට කරවන එවුනුත් සැප ගන්නේ
    ඔය​ තුට්ටු දෙකෙන් තමයි

    Niyamai !

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook