Isnin, 10 Ogos 2015

වෙද මහත්තයා




සිංහරත්න වෙද මහත්තයා පාරම්පරික වෙදෙකි. ගුලි, කල්ක පිළිබඳ මනා දැනුමක් තිබෙන සිංහරත්න වෙද මහත්තයා නිතරම සිංහල වෙදකම පාරට්ටු කළේ ගෞරවයෙනි.

"අපේ මේ වෙදකම එන්නේ රාවණාගේ කාලේ හිටං. ඕනෑම ලෙඩකට බෙහෙත් අපේ පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. ඉස්සර කාලේ අපේ වෙද්දු මොලේ ශල්‍යකර්ම පවා කරලා තියෙනවා"

තැපැල් මහත්තයා සිංහරත්න වෙද මහත්තයා සමග ඉඳ​හිට වාද කළේය.  ඉංග්‍රීසි බෙහෙත් වලට පුරුදුව සිටි තැපැල් මහත්තයගේ දියවැඩියා බෙහෙත් වල අගුණ කියාපෑමට සිංහරත්න වෙදමහතා පැකිලූණේ නැත.

" බලන්න තැපැල් මහත්තයෝ,  ඔහේ දියවැඩියාවට ඔය කොච්චර කරල් ගන්නවද? දැන් අවුරුදු දෙකයි. කෝ, ලෙඩේ සනීපද?

පරාදවීමට අකමැතිවූ තැපැල් මහත්තයා සිංහරත්න වෙදමහත්තයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ තවත් ප්‍රශ්නයකිනි.

" ඉතිං සිංහල වෙදකමේ දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට බෙහෙත් තියෙනවද?

"නැතුව  තැපැල් මහත්තයෝ,  අපේ පුරාණ පොත් වල දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට හැකි බෙහෙත් වට්ටෝරු තියෙනවා."

" ඉතිං තියෙනවා නම් ඒවා එළියට දාලා  මේ රටේ ඉන්න දියවැඩියා රෝගීන් ටික සනීපකරලා දානවකෝ" තැපැල් මහත්තයා දුමක් අදින ගමන් කීවේය.

"ඒවා එහෙම එළියට දාන්න පුළුවන් වට්ටෝරු නෙවෙයි. ඒවා පරම්පරාගත රහස්. ඒවා ඔය එක එකාට ඕනෑ විධියට එළියට දාන්න බැහැ. එක එකා අතට පත්කරන්න බැහැ."

" ඒක මොන කුහක කමක්ද වෙදමහත්තයෝ. දැන් බලමු. සුද්දා වසූරිය රෝගය වලක්වන්න එන්නත හොයා ගත්තා. ​ ඒක පරම්පරා රහස් වට්ටෝරුවක් කියලා හංගාගෙන හිටියේ නැහැනේ. මුළු ලෝකේම යහපතට ඒක ඉදිරිපත් කළා. දැන් බලන්න, වසූරිය මේ ලෝකෙන් තුරන්වෙලා. බැරිවෙලා හරි වසූරිය එන්නත ඔහේලගේ වෙද මහත්තයෙක් සොයාගත්තනම් ඒක වට්ටෝරුගත කරලා මඩිගහ ගනියි. ඒක උන්දැගේ මරණෙත් එක්කම යට යාවි."

තැපැල් මහත්තයාගේ කථාවට සිංහරත්න වෙදමහතාට ඇතිවූයේ කෝපයකි. "කථාකරන්න එපා තැපැල් මහත්තයෝ සුද්දෝ ගැන. පස්ස හොදාගන්නේ නැති මිනිස්සු නෙවැ. උන් කොච්චර උත්සාහ කරනවද අපේ රහස් වට්ටෝරු අරගන ඒවා පිටරට ගෙනියලා ඛෙහෙත් හදන්න."

"ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? තැපැල් මහත්තයා  ශාන්තව ඇසුවේය. "සුද්දා  ඒක අරගන යයි. ඒක පේටන්ට් ගතකරලා වෙළදපෙළට දායි. ඊට පස්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඒක මිළදී ගන්න පුළුවන්. වට්ටෝරු ගතකරලා කාටවත් නොදී යටි මඩි ගහගෙන ඒක එක්ක මැරිලා යනවාට වඩා ඒක හොඳ නැද්ද?˜

තැපැල් මහත්තයාගේ කථාවට වෙදමහත්තයාට හොඳටම තරහ නැග්ගේය.

"මොන දේශද්‍රෝහී කථාවක්ද තැපැල් මහත්තයා ඔහේ කියන්නේ. එතකොට අපේ පාරම්පරික දැණුම සුද්දට විකුණා ගෙන කන්න දෙන්න ඕනෑ"

" වෙදමහත්තයා දැන් බලමු, ගිය අවුරුද්දේ ඔහේගේ ලොකු අයියා වකුගඩු අමාරුවක් හැදිලා ඉන්දියාවට ගිහිල්ලා වකුගඩුවක් බද්ධ කරගන ආවා. ඒක කළේ සුද්දා හොයාගත්ත දැණුමෙන් නේද? බැරිවෙලා සුද්දා වකුගඩු බද්ධ කිරීම පිළිබඳ දැණුම තුන් වෙනි ලෝකේ රටවලට දෙන්න බැහැ  කියලා තහනමක් දාලා තිබුනා නම් ඔහේගේ ලොකු අයියා අද මේ ලෝකේ හුස්ම ගන්නවාද? මේ බලන්න වෙද මහත්තයෝ, ඔහේලාගේ කට්ටිය කුහකකමට දැණුම හංගාගෙන හිටපු එකයි කරේ.  ඒක හරියට දිමියන් වසා ගන්නා දිමි ගොට්ට වගේ. කාටවත් පළප්‍රයෝජනයක් ගන්න දුන්නේ නැහැ.  ඒ දැණුම එක්ක උන්දලාද මිය ඇදුණා. පරම්පරාවල මිනිස්සු පුස්කොල වට්ටෝරු හැංගුවා. අන්තිමට වංශේ කබල්ගානවා වගේ සිංහල වෙදකමේ ප්‍රාතිහාර්ය ගැන කථාකරනවා."

"එහෙම කථාකරන්න එපා තැපැල් මහත්තයා˜" වෙදමහත්තයා   ආවේගයෙන් කථාකළේය. "ඔහේ ළිඳෙන්  වතුර බීලා මුහුදට ආවඩනවා."

තැපැල් මහත්තයත් අත ඇරියේ නැත. "ළිඳෙන්  වතුර බොන්න ළිඳේ   වතුර තියෙන්න එපැයි වෙද මහත්තයෝ,   ඔය පෙනිසිලින් කියන ප්‍රති ජීවකය හොයා ගැනීම නිසා මිලියන ගණනක ජීවිත බේරුණා කියලා මම ළඟදී පත්තරේක කියෙව්වා. දැන් ඔය පෙනිසිලින් බෙහෙත  වෙද මහත්තයෙක් සොයා ගත්තා නම් ඒක ලෝකේ ජනතාව අතරට පත්කරයිද, නැත්නම් වට්ටෝරු ගත කරලා  හංගා ගනියිද, කියලා ඔහේම කල්පනා කරල බලන්න. වෙදකමට රහස් තියෙන්න බැහැ. සුද්දා කරත් වෙද මහත්තුරු කරත් කරන්නේ ජීවිත බේරගන්න එක. ඒ නිසා මිනිස්සු ජීවත් කරවන මිනිස්සු සුවපත් කරවන දැණුම සමාජ ගත කරන්න ඕනෑ. ඒවා හංගාගෙන ඉන්නේ අන්තිම කුහකයෝ. ඒ මිනිස්සු අන්තිමට කසාය වලට ඉංග්‍රීසි  බෙහෙත් දියකරල දෙනවා කිසිම ලැජ්ජවක් නැතුව. ඔන්න වෙදකමට ගිය කල"

"ඔහේ එක්ක වාද කරන්න අපි ඉගෙන ගත්තා මදි තැපැල් මහත්තයෝ. ඔහේලා ඉතිං සුද්දට කත් ඇද ඇද ඉන්නවකෝ. මම යනවා."

වෙද මහත්තයා තම බස්තම අතට ගත්තේ තැපැල් කාර්යාලයෙන් පිටවීමටය. වෙද මහත්තයාට තරහා ගියබව දැනගත් තැපැල් මහත්තයා සන්සුන්ව කතා කළේය.

" වෙද මහත්තයෝ, මම සුද්දන්ට කත් අදින්න කතා කළේ නැහැ. මම කතා කළේ ඇත්ත යුක්ත. සුද්දා  උනත් හොඳක් කළොත් ඒක කියන්න ඕන. දැන් බලන්න වෙද මහත්තයා පොඩි කාලේ ක්ෂය රෝගයට එන්නත් ලබා ගත්තනේ. මටත් පොඩි කාලේ එන්නත් කරලා තියෙනවා. අපිට කාසෙ නොහැදුණේ ඒ එන්නත් නිසා. ඒක හොයාගත්තේ සුද්දෙක්. සුද්දගේ දැනුමෙන් අපි ජීවත් වෙනවා. අපේ දැණුමෙන් සුද්දත් ජීවත් කරවනවා. අන්න ඒකයි අපි කරන්න ඕනේ. ඔය රහස් වට්ටෝරු තවදුරටත් රහස් වශයෙන් තියාගෙන ඉන්න එපා. මිනිසුන්ගේ යහපතට මානව වරගයාට ඒක දෙන්න."

සිංහරත්න වෙද මහත්තයාගේ මුහුණට සමච්චල් සිනහවක් අවේය.

"මහත්තයෝ, ඔය එක එකා කියන විදියට අපේ රහස් වට්ටෝරු එළියට දාන්නේ නැහැ. ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවේ පණ වගේ. මං යනවා යන්න"

මෙසේ කියූ වෙද මහත්තයා තැපැල් කාර්යාලයෙන් ඉවතට පැමි‚යේ තැපැල් මහත්තයාට හොඳ හැටි හිතෙන් බනිමින්ය.



 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

47 ulasan:

  1. දැං නං වෙද්දු කරන්නෙම කල්ක වලට ඉගිරිසි බෙහෙත් කලවමට අඹරන එක . ඒ අතරේ හොරි විල වෙද මහත්තයගේ පරම්පරාව. වැල්ඩිං වෙදමහත්තයගේ පරම්පරාව වගේ ඇත්තටම සාත්තරය දන්න අයත් ඉන්නව.

    BalasPadam
    Balasan
    1. කවුද යකෝ වෑල්ඩිං?

      Padam
    2. මෙන්න මෙතන තියනවා විස්තරේ..
      http://walaspathi.blogspot.com/2015/08/blog-post_60.html

      Padam
    3. Prednisolone කල්ක වලට අඹරලා ඇදුම ලෙඩුන්ට දෙන එක ප්‍රසිද්දයි

      Padam
    4. මම මගේ ඇස්දෙකෙන් දැකල තියනව සෙටපයිරින් සහ සල්බියුටමොල් තවුසන් පැක් දෙකක් ගෙනියනව . පත්තරෙත් දැන්විම් දාන පොරක්

      Padam
  2. අගෙයි, කතාවේ ඉතිරි කොටස හවසට පන්සලේදී දිගඇරෙයි ද?
    තැපැල් ස්තානාධ්පති කම පරපුරින් උරුමවෙන එකක් වුනත්, සංඝ වෙද ගුරු ගණයට ඇතුලත් නෑ නේද?

    BalasPadam
    Balasan
    1. නැහැ දැන් ඉන්නේ වෙනම පංච මහා බලවේගයක්

      Padam
  3. sinhalayege thiyena dushata , sata kapata, bawa thama mewayin penne...diyawadiyawata athi behethak na mama hithanne. lankawe thiyena wedakamth indiyawen awa ekak

    BalasPadam
    Balasan
    1. රන්සකු මේ ලීන්ක් එකෙන් සිංහල කොටන්න​ http://www.lexilogos.com/keyboard/sinhala.htm

      Padam
  4. ඇත්තටම සිංහල වෙදකමේ මේ වගේ එලියට නොදාන රහස් වට්ටෝරු තියෙනවද?

    BalasPadam
    Balasan
    1. මම හිතන්නේ ඒවා අභාවයට ගිහිල්ලා

      Padam
  5. මට මතක් උනේ අපේ ඇම් ඇස් පුනාන්දුගෙයි සමන් ද සිල්වගේයි ඩොකා - වෙදා වාද බයිලාව..

    BalasPadam
    Balasan
    1. ඒකේ ලින්ක් එකක් නැද්ද

      Padam
    2. ගීද මෝපසාං හෙවත් සින්දු ඇනෝ ගෙන් අහමු.

      Padam
  6. දොස්තර මහත්තයා හී නූලෙන් වෙද මහත්තයට ඇරලා දාලා නේද? ඒ වුණාට කතාවෙනං ඇත්තක් තියනවා.

    BalasPadam
    Balasan
    1. අනේ නැහැ නලීන් මම මාතලේ ඉස්පිරිතාලේ වැඩ කරන කාලේ කොටින්කඩුව වෙද මහත්තයා හර්නියා එකකට ආවා . මම කොටින්කඩුව වෙද මහත්තයා එක්ක හරි හරියට වාද කලා. සර්ජරි එක ඉවර වෙලා ගෙදර යනකොට කොටින්කඩුව වෙද මහත්තයා කැවුම් පාර්සලයක් ඔපරේශන් තියටර් එකට දීලා මිසීලට කියලා තියනවා අනිවාර්‍යෙන්ම මටත් කැවුම් දෙන්න කියලා.

      Padam
  7. සිංහල වෙදකම කියල හඳුන්වන දේශීය වෙදකමට උනේ කාලානුරුපිව වෙනස් වෙන්න බැරි වීම.. කියුව වගේ අපරාදේ දන්න හොඳ දෙයක් තියෙනවනම් වෙදා එක්කම මැරිලා යටපත් වෙනවා..
    මං මේ බලන් ඉන්නේ සිංහල වෙදෙක් බ්ලොග් එකක් ලියන්න එනකම්..
    බයි ද වේ.. වෙදා පොලොන්නරුව පැත්තේ එකෙක් වගේ හිටං.. :p

    BalasPadam
    Balasan
    1. ඒ මොකද වකුගඩු කතාව නිසාද ?

      Padam
  8. ඇයි මේ ලඟදී එලියට ආවා නේද වෙද නෝනා කෙනෙක් ඩෙංගිවලට බේතක් හොයා ගෙන නමුත් අමුඑු කොන්දේසි දාගෙන ඉන්න, මොකද එයාට වුනේ?

    BalasPadam
    Balasan
    1. ඒක බොරුවක් පත්තර වාර්තාකාරයන්ට ගෙවලා ගත්ත පබ්ලිසිටියක්. මේක බැලුම්ගල මගින් පෙන්නුවා http://nethfm.com/article/43473

      Padam
  9. ඉන්දියානු රජය විසින් යෝගාසන සඳහා පේට්න් බලපත් ගන්න වැඩසටහනක් අරඹලා.අපේ තියෙනෙ මේ අනර්ඝ දැණුමත් ඒ ආකාරයට වගකීමක් ඇතිව බැදා හදාගත්තා නම් අගෙයි.නැතත් කොම්පැණි කාරයෝ ඇවිත් ඕවා පන්නගෙන යනවා යස අගේට.. හොඳ මාතෘකාවක්.
    ජයවේවා..!!

    BalasPadam
    Balasan
    1. ගස් මම ඒකට එකඟයි බුද්ධ භාවනා අද CBT , Mild fullness Meditation , Mindfulness Based Stress Reduction කියලා වෙනම ප්‍රොමෝට් කරනවා

      Padam
  10. වට්ටෝරුව පරම්පරාවෙන් පිට නොදීම ඔබේ චරිත හරහා පෙන්වා දී ඇති පරිදිම වර්තමානයේදීනම් සමාජ යහපත සඳහා හේතු නොවන පුරුද්දක්. ජීව විද්‍යාත්මක පරිණාමයේදී වගේම සමාජ පරිණාමයේදීත් මෙවැනි සමාජ යහපතට හේතු නොවන පුරුදු දීර්ඝකාලීනව නැතිවී යා යුතුයි. එවැනි පුරුද්දක් සියවස් ගණනක් පැවතිය හැක්කේ ඒ පුරුද්දෙන් සමාජයට යම් ඵලදායී කාර්යයක් වුනානම් පමණයි. පේටන්ට් මගින් බුද්ධිමය දේපල අයිතිය එහි හිමිකරුවන්ට රැකදීම ඉතා මෑතකදී ඇරඹුණු ක්‍රමවේදයක්. එවැනි ක්‍රමයක් නොතිබුණු පෙර කාලයේදී වට්ටෝරුව පරම්පරාවෙන් පිට නොදීම මගින් එක්තරා ආකාරයක බුද්ධිමය හිමිකම් තහවුරුවක් සිදුවෙනවා. බොහෝ දැනුම ලිඛිතව නොපැවතුනු, එමෙන්ම ලිඛිත දැනුම වුවත් පිටපත් කිරීම අදමෙන් පහසු නොවූ යුගයක මේ දැනුම වෙනත් කෙනෙකුගෙන් ලබා ගැනීමට යොදවන කාලය විශාල ආයෝජනයක්. ඒ ආයෝජනයට ප්‍රතිලාභ ලැබීමටනම් තරඟකාරිත්වය වැළැක්විය යුතුයි. වට්ටෝරුව පරම්පරාවෙන් පිට නොදීම මඟින් එක් යුගයකදී සිදු වී ඇත්තේ අද කාලයේ පේටන්ට් වලින් වන දෙයම තමයි. හැබැයි මේ ආකෘතිය වැඩකරන්නේ කුඩා ගම් වටා කේන්ද්‍ර වුනු සරල සමාජයකට පමණයි. එවැනි ක්‍රමයකින් අද ඇති සංකීර්ණ සමාජයට සිදුවන කාර්ය භාරයක් නැහැ.

    BalasPadam
    Balasan
    1. ඉකොන් එහෙමත් කියන්න එපා මේ වගේ ප්‍රචාර නිසා මිනිස්සු හිතනවා රහස් වට්ටෝරු වෙදුන් ලඟ තියනවා කියලා. එකෙන් මිනිස්සු නිසි ප්‍රතිකාරය වෙනුවට බොරු ප්‍රතිකාර හොයාගෙන යනවා , හොර විශ්ව බලය වෙද්දු , හොර ඩෙංගු වෙද හාමිනේලා මිනිස්සු මුලා කරගෙන ගසා කනවා

      Padam
    2. ඔව්. වැරදි අදහසක් ඉස්මතු වෙන්න පුළුවන් තමයි. මම කතා කලේ අවුරුදු දහස් ගණනකට පෙර තමන් සතු දැනුමක් පරම්පරාවෙන් පිට නොදීමේ පුරුද්ද ඇති වීමට සාධක විය හැකි වුණු කරුණු පමණයි. අඩුවශයෙන් පසුගිය සියවස් කිහිපය තුල සම්ප්‍රදායික වෙදකමට සැලකිය යුතු අලුත් දැනුමක් එකතු වූවා යැයි මම සිතන්නේ නැහැ. ප්‍රායෝගිකව දැන්නම් 'රහස් වට්ටෝරු' කියන වචනය ඇතුලෙම තියෙන්නේ කොළේ වසා ගසමින් රැවටීමයි. මගේ අදහසනම් ඔය පුරුද්ද නිසා කලින් තිබුණු රහස් වට්ටෝරු නැතිවී යාමක්ද සිදුවී ඇතත්, මෙහිදී වැඩිපුරම සිදුවී ඇත්තේ වඩා හොඳ වෙනත් විකල්ප නැති කාලයක මේ සම්ප්‍රදායික ක්‍රම වලට තිබුණු සාපේක්ෂ වැදගත්කම බටහිර වෙදකම දියුණු වන විට නිකම්ම අහෝසි වී යාම බවයි. එහෙත්, මේ සම්ප්‍රදායික දැනුම තුල අලුත් පර්යේෂණ වලට තල්ලුවක් විය හැකි ඇතැම් දේ තිබිය හැකියි.

      Padam
  11. මොනවා වුනත් කතාව නම් ඇත්ත ,

    BalasPadam
    Balasan
    1. ඉවාන් අපේ සමාජය මුලා කරන්න ලේසියි

      Padam
  12. මේ සාම්ප්‍රදායික පසුගාමී චින්තනය නිසා වැනසීගොස් තිබෙන දැනුම් සම්භාරය මෙතෙකැයි කියන්න බැහැ. අදත් සමහර නිවෙස්වල, පන්සල්වල සඟවාගෙන සිටින මෙවැනි දැනුම සහිත පුස්කොලපොත් තිබෙනවා. මා ඒ බව දැක තිබෙනවා. මේ චින්තනය වෙනස් කරන්න දේශපාලකයන්ට කවදාවත් උනන්දුවක් නැහැ. වෛද්‍ය සභාව මේ ගැන කතිකාවතක් ඇතිකිරීම සුදුසුයි කියා හිතනවා.

    BalasPadam
    Balasan
    1. හොඳ වට්ටෝරු ( prescriptions ) තියෙන්න ඇති ඒවා හොයාගෙන පරියේෂන මට්ටමින් සක්‍රියතාව හොයා බැලුවොත් හොඳ ප්‍රබල බෙහෙත් හ්දන්න පුලුවන්. නමුත් කුහක කම නිසා ඒවා අද එලියට එන්නේ නැහැ

      Padam
  13. මේ හා සමාන දෙයක් ලංකාවේ දත්ත (සමීක්ෂණ / පර්යේෂණ / GIS) වගේ දත්ත රැස් කරන ආයතන වලත් සිද්ධ වෙනවා, පොදු මුදල් යොදවා රජයේ ආයතන විසින් රැස්කරනු ලබන දත්ත වෙනත් ආයතන වෙත ලබා නොදී (බෙදා හදා නොගෙන) තබා ගන්නවා, එවා ප්‍රයෝජන නොගෙන කල් ඉකුත් වූ අවලංගු දත්ත වශයෙන් අපතේ යනවා. එය බැළු බැල්මට රජයේ තවත් එක් අකාර්යක්ෂමතාවක් ලෙස හෝ ආයතන අතර තරඟකාරීත්වය යෙන් ජය ගැනීමට අනෙකාගෙන් දත්ත සගවනවා ඇතැයි අප සිතුවත්. එසේ ආයතන අතර දත්ත හුවමාරුවට මැලිවන වැදගත් කරුණක් වන්නේ එම දත්ත වැරදි බව ඔව්න් දැන සිටීමයි, එනිසා නිවැරදිව විෂයකරුණු දන්නා අය අතට එම දත්ත ලැබීම වැලැක්වීමට ඔවුන් හැකිහැම දෙයක්ම කරනවා.
    මේ වට්ටෝරු සඟවාගෙන ඉන්න කේස් එකත් ඒවගේ වෙන්න පුළුවනි, ඒ කියන්නේ වට්ටෝරුවේ වැරදි වෙන වෙදෙකුට / ආයතනයකට හසුවීම වැලැක්වීම. බේත වැරදුනාම ලෙඩාට බයිලයක් ගහන එක (කිල්ලට අහුවුනා නේද? අය්යෝ උෂණකෑම පත්තියන් නෑ කියල කීව නේද? වගේ දෙවල්) වගේ නොවේ දන්න කියන කෙනෙකුට සෙට් වුනාම, සායම ඔක්කොම යනවා.

    BalasPadam
    Balasan
    1. එසේ ආයතන අතර දත්ත හුවමාරුවට මැලිවන වැදගත් කරුණක් වන්නේ එම දත්ත වැරදි බව ඔව්න් දැන සිටීමයි, එනිසා නිවැරදිව විෂයකරුණු දන්නා අය අතට එම දත්ත ලැබීම වැලැක්වීමට ඔවුන් හැකිහැම දෙයක්ම කරනවා ++++++++++++++++++++සහතික ඇත්ත ඇණ අනෙක සඟවාගෙන ඉන්න බොහෝ වට්ටෝරු placebo ඒවා . ඒවා එලියට දාලා ස්ටෑන්ඩඩ් පරීක්‍ෂණ කලහොත් බොරුව අසු වන නිසා දේශප්‍රේම කතා කිය කියා හංගනවා

      Padam
  14. අර මතකද කතාවක් තියෙන්නෙ . සුද්දෙක්ට බඩ යන එක නවත්ත ගන්ඩ බැරුව . අස්සය පිටෙ හරහට දාල එක්කගන ආවාලු වෙදමහත්තයෙක් ගාවට . එනකොට වෙදා වෙලට ගිහින් හන්දා ආවලු. කුඹුරට . නියර මඩ තියල ගෙදර ගිහින් බෙහෙත් දෙනකං මේක බිහං කියල .වක්කඩෙං කිරිමැටි ගුලියක් අරං දියකරල පෙව්වලු සුද්දට. බඩ යැම ඒකෙන්ම නැවතුන හන්දා .සුද්ද එංගලන්තෙට කිරිමැටි ගෙනිහිං .පරික්ෂා කොරල එහෙම කෙවුලින්ද .කෙවුලර්ද කියල බෙහෙතක් හැදුවලු කිරිමැටි වගේ .

    BalasPadam
    Balasan
    1. අටම් මේ කිරි මැටි ප්‍රතිකාරය වැඩි දියුණු කරලා තව පරියේෂණ කරලා හොඳ බෙහෙතක් හදාගන්න තිබුණා. නමුත් දේශීය ප්‍රතිකාර එසේ අප්ග්‍රේඩ් කරන්න විශන් එකක් අපේ වෙදුන්ට තිබ්බේ නැහැ. ඒකට හේතුව මාකට් ඉකොනොමි කියන්නේ පාපයක් කියා සිතීම​.

      Padam
  15. පාරම්පරික වෙදකමේ හොඳ පැත්තක් තිබුන වගේම මේ වගේ කුහක පැතිත් තියනව.
    http://pathiruva.blogspot.com/search/label/%E0%B7%80%E0%B7%99%E0%B6%AF%20%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB
    මෙන්න මේ කතන්දරයත් බලන්න.

    BalasPadam
  16. වෙදමහත්ත‍යගෙ කතාවෙ මුල් හරිය ඇත්ත. පොළොන්නරුවෙ ආලාහන පිරිවෙනේ කැණීම් වලින් සැත්කම් ආයුධ පවා හොයාගෙන තියෙනවා. මහාවංශයත් කියනවනෙ බුද්ධදාස රජතුමා මානසික ප්‍රතිකාර පවා කරලා තියෙන වග.

    වෙද මහත්තයගෙ කතාවෙ අග හරියත් ඇත්ත. පෙරේත යක්කු ගුරු මුෂ්ඨිය තියාගෙන මැරිල ගියායිං වටිනා ප්‍රතිකාර ක්‍රම අභාවයට ගියා.

    අපි පොඩි කාලෙ ‍අපේ ගමේ හිටියා ඇස් වෙද මහත්තයෙක්. එයා වෙදකම කරන්න බෙහෙත් හොයන්නෙ, අඹරන්නෙ, එයාමයි. කාටවත් කියන්නෙ නෑ මොන පැළෑටිද ගන්නෙ කියලා. උන්දැ මැරිලා ගියාට පස්සෙ ලෙඩ්ඩු අනාථයි. අපි පණ්ඩිත නර්ස්ලගෙ සැර බල බලා, රජයේ රෝහලට යන්න ඕනෙ ඉතිං...

    BalasPadam
    Balasan
    1. ඩ්‍රැකී අභයගිරිය මියුසියම් එකේ මම දැක්කා ඇසේ සර්ජරි පවා කල හැකි සියුම් සැත් . ඒ දැණුමට මොකද උනේ .

      Padam
  17. වෛද්‍යතුමා-

    මෙම ප්‍රශ්ණය පැති ගණනාවකින් බලන්න ඕන.

    1. එක පරම්පරාවක රහස් වට්ටෝරු තවත් අයට නොදෙන්නේ (දල වශයෙන් 1956 ට පෙර) එක් එක් පරම්පරාවල ගෞරවය උදෙසා කියලයි මට හිතෙන්නේ. ඊට හේතුව සිංහල (දේශීය) වෙදකම මුදලට නොව සේවයක් ලෙස පැවතීමයි. ගොඩ මඩ ඉඩම් සහිතව ජීවත්වන්න ගැටළුවක් නැතිව හිටපු සිංහල වෙදවරුන්ට වටින්නේ පරම්පරාවට ලැබෙන ගෞරවය විතරයි. අනිත් එක, ඒ කාලෙ පවුලක දරුවන් ගණන ඉහල (අඩුම ගානේ 5ට වැඩි) නිසා මේ සියළුම ගුරු මුෂ්ටි දිගටම ගලාගෙන ගියා. (හොරිවිල වෙදකම සලකන්න- හේරත්හාමි වෙද මහතාගේ දරුවන් එය හොරිවිල වගේම වෙනත් ප්‍රදේශවලත් ප්‍රතිකාර කරනවා)

    2. පරම්පරාවක් සතු ගුරු මුෂ්ටිය තමන්ගේම දරුවන්ටවත් නොදෙන අවස්ථාත් තියනවා. එ් අදාල ශිල්පය දරාගන්නා දරුවා යහපත් කෙනෙක්නම් විතරයි ශිල්පය දෙන්නේ. සමාජයට අයහපතක් කරන්න අදහස් තියන අයට මේව දෙන්නෙ නැහැ.

    3. සිංහල වෙදකම සමග බැදී තිබුන සටන් කලාව, නක්ෂත්‍රය, ... ආදී බොහෝ කොටස් දැන් එකිනෙකින් වෙන්වෙලා. මේ සියල්ලම දරාගන්න පුළුවන් මොළ ටිකක් පේන්න නැහැ.

    4. පාරම්පරික සිංහල වෙදකමට 1956න් පස්සේ ඉන්දියානු ආයුර්වේදය කලවම් කලායින් පස්සේ ඔක්කොම දැන් පැටලිලා තියෙන්නේ.
    අනිත්එක දේශීය වෛද්‍ය රාජ්‍ය ආයතන කරන්නේ පාරම්පරික සිංහල වෙදකමට කෙලවෙන වැඩමයි. බටහිර වෛද්‍ය සංගම්, දේශීය වෛද්‍ය ආයතන වලට නැගීසිටින්නට ඉඩ නොදෙනවා මෙන්ම දේශීය වෛද්‍ය ආයතනද පාරම්පරික සිංහල වෙදවරුන්ට නැගීසිටින්නට ඉඩ නොදෙනවා. අපේ රටේ කිසිම වෙදවරයකුට පර්යේෂන කරන්නට ඉඩ නොදී කකුලෙන් අදින රාජ්‍ය නිළධාරී තන්ත්‍රයක් තිබේ.

    5. අනිත් කාරනය 1977න් පස්සේ විවෘත ආර්ථිකයත් එක්ක හැඩගැහෙන්න බැරිවුන වෙද පරම්පරා අද වෙනකොට ඉවරයි. බුලත් අත (පඩුර ඇතිව හෝ නැතිව) කල ප්‍රතිකාරය මුදලම මූලිකකරගත් ආර්ථිකය ආවට පස්සේ ඊට සමුදී මුදල් ගත්තු අය අද දිනුම්.

    6. බෙහෙත් හදන්න ඕන පංචාංගය අද කෙරෙන මහා පරිමාණ ආයුර්වේද නිශ්පාදනයට කොහොමද සපයාගන්නේ. ගස් කියන්නේ දවස් 30/45 හේ බ්‍රොයිලර් කුකුල්ලු නෙමේනේ. මේ නිශ්පාදනවල ප්‍රමිතිය කොහොමද? (පැරණි ග්‍රාමීය වෙදවරු තමන්ම නිපදවාගත් ඔසුවලට අනුව).

    7. අනික විදේශිය ආක්‍රමණ නිසා අපේ නැතිවුන දැනුම, නැතිවුන පුස්කොල පොත්, ගිණිතබනලද පුස්කොල පොත් කොපමණද?
    පොලොන්නරු යුගයෙන් පස්සේ හදපු මහවැවක් වත් තියනවද? කාලිංඝ මාඝ ලා ඒ දැනුම ගිණීබත්කලා නේද?

    8. අපිට ඉතිරිවෙලා තියෙන්නේ ඉතිහාසෙ සුවඳ විඳින්න විතරයි කියලයි හිතෙන්නේ. මං ලියපු ඒව හරි උනත් වැරදි උනත් කාලය ඉදිරියට ගලායමින් තියනව. බහුතරයක් වෙද පරම්පරාවල වර්තමාන පුරුක් දිගටම පවත්වාගෙන යන්නේ ඒ පරම්පරාවල ජානටික විතරයි. ඒත් පිරිමි දරුවො ඉන්නකල් විතරයි. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය කියා වදාලේ අපේ බුදුහාමුදුරුවෝ නොවැ. ඉතිං සිංහල වෙදකමට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ඒකම තමයි උරුම.

    දිගටම බ්ලොග් ලියන්න. තෙරුවන් සරණයි!

    BalasPadam
    Balasan
    1. ඔබගේ හේතු දැක්වීම් හරි

      Padam
  18. ඉහත කරුණුවලට අමතරව ලිවියයුතු තව කරුණක් ඇත.
    එනම්, පැරණි වෙද ගුරු සහ වෙද සිසු සම්බන්ධතාව වර්තමානයේ නොමැති වීමයි. වෙද නිවස තුල හිද වෙද (ගුරු) විසින් කරන රෝගී පරීක්ෂාව, නියමිත හෝරාවල බෙහෙත් ඔසු හදුනාගැනීම, නෙලීම, බෙහෙත් සෑදීම, පදම් ගැනීම ආදී කොට ඇති ප්‍රායෝගික තත්ත්ව දේශිය වෛද්‍ය විශ්ව විද්‍යාල ආයතනවල කෙසේ ඉගැන්විය හැකිද? නාඩි මගින් රෝග නීර්ණය භාවිතයෙන්ම ගුරු සමග හිද ඉගෙනගන්නවා මිස කෙසේ වෛද්‍ය විශ්ව විද්‍යාල ආයතනවල උගන්වන්නද? ඉතින් මෙසේ සිදුවන විට ගුරු මුෂ්ටිය දීමටවත් තමන්ගේම දරුවකුවත් හිදීද? (දරුවනුත් පාසලට, වි.විද්‍යාල පසුපස යනවිට මෙම සාම්ප්‍රදායික දැනුම දෙන්නේ කෙසේද? සිද්ධාන්ත මිස ප්‍රායෝගික දැනුමක් නැති අයට).... මට හිතෙන විදිහට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්දක් ඇත. දැන් අප ලබාගන්නට උත්සාහකරන කඩදාසි සහතික මත දැනුම මනින ක්‍රමයේ වැරද්දක් තිබේ, වර්තමාන සමාජය සාම්ප්‍රදායික දැනුම ගන්නට මන්දෝත්සාහීවේ. මේ හේතුව නිසා එම දැනුම අතුරුදහන් වී ඇත. ගුරු මුෂ්ටිය දෙන්නේ නැහැ කියා එය දන්න අයට දොස් කීම පමණක් හරිද? ගුරු මුෂ්ටිය බලාපොරොත්තුවන අය අත වරදක් නැතිද? මට හිතෙන්නේ වැරැද්දේ වගකීමෙන් 75%ක් පමණ ඇත්තේ අප අත බවයි.

    BalasPadam
    Balasan
    1. . දැන් අප ලබාගන්නට උත්සාහකරන කඩදාසි සහතික මත දැනුම මනින ක්‍රමයේ වැරද්දක් තිබේ,++++++++++++++++++++++++

      Padam
  19. තව කරුණක් එක් කරමි-
    ගුරු මුෂ්ටිය කියා කියන්නේ මම හිතන විදිහට යම් පරම්පරාවක වර්තමාන වෙද මහතාට සාපේක්ෂව ඔහුට කලින් හිටපු එම පරම්පරාවේම අතීත වෙදවරුන්ගේ දැනුම ලබාගැනීම නොහොත් රෝගියාගේ රෝග නිධානය, කල යුතු බෙහෙත මියගිය වෙදවරුන්ගේ ශුද්ධ ආත්ම වලින් දැනගැනීමයි. (මහසෙන් මහ රජ මින්නේරි දෙවියන් වූවා සේම රටට දැයට පුද්ගලික ලාභයකින් තොරව සේවයකළ සිංහල වෙදවරු දේව ආත්ම වල ඉපිද තම පරම්පරාවේ වර්තමාන පුරුක මගින් එම සේවය දිගටම කරගෙන යාමට ඉදිරිපත්වීම ගුරු මුෂ්ටිය ලෙස මම සිතමි- මේ අය ප්‍රාදේශික/ ග්‍රාමීය දෙවිවරුන්ය, ප්‍රධාන දේව මණ්ඩලවලට අයත්/ ජනවහරට අනුව දෙවියන්ගේ ගණන 33න් කෝටියකි)
    නමුත් වර්තමාන සමාජයේ අය සියළුම දුසිරිත්වලින් සම්පූර්ණව ගතකිරීම නිසා එම ශුද්ධආත්ම වලට පෙර ලෙස තමන්ගේම අයලඟටවත් කිට්ටු විය හැකිද?

    අත තබා සුවකිරීම ගැන වචනයක්-
    මේ අයුරු ප්‍රතිකාර ක්‍රමයක් වූ බව බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නා හිමියන්ගේ ලේඛන වල සඳහන්ය. වෛද්‍යවරයා (පැරණි) පරමවිඥානවාදීහුය. සෙන්පති ඕල්කට් තුමාටද මෙම හැකියාව තිබී ඇත. සිතේ කේන්තිය නැතිව මෛත්‍රියෙන් මෙම ක්‍රමය සාර්ථකබව කියවා ඇත්තෙමි. එම ලේඛන සොයා කියවා අවබෝධ කරගෙන නැවත බ්ලොග් සටහන් ලියන්න. (ජයන්ත චන්ද්‍රසිරි මහතා අකාල සන්ධ්‍යා ටෙලිය කල පසු අංගම් ගුරාලා බිහිවූවාක් මෙන්ම ඒ මහතාම සතර දෙනෙක් සෙන්පතියෝ කල පසු අත තබා සුව කරන්නට හැකි වෙදුන් රට පුරා වූ බව ඉරිදා පුවත්පත් වල දැන්වීම් මගින් දුටිමි- කළ දුටු කල වල ඉහින්නන් නිසා තිබෙන ශිල්පද වලටම වැටෙන බව සිතෙයි මට)

    BalasPadam
    Balasan
    1. සමාවන්න, අකාල සන්ධ්‍යා නොවේ, දඬුබස්නාමානය ලෙස නිවැරදිවිය යුතුයි.

      Padam
  20. මේ වටිනා ලිපිය මට මග හැරී තිබෙන බව දැනගත්තෙ මූනු පොත හරහා

    BalasPadam
  21. මේක මම දැක්කෙ අද. මම බ්ලොග් ලියන්න ඇවිත් වසර පහකටත් වැඩියි. ඉදිරියේදී අපි මේවා ගැන ආයි කතා කරමු. ගුරු මුෂ්ටිය ගැන මගේ අදහස් වෙනස්. තව මම නම් මේ වෛද්‍ය ක්‍රම දෙකම වටිනා විදියට දකිනවා. අනික මම මේ සැරේ ඩෙංගුවලින් නොමැරී බේරුනෙත් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා නිසා.

    BalasPadam

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook